Home Blog Page 219

‘මේ කාලයේ කිසිවෙකුත් කෙහෙල් ලෙලි මතින් ලිස්සා වැටෙන්නේ නැත’

0

පැරණි ලෝකය දෙසට සිය අඬු දික් කර ඒ මැටි පිත්තල ලෝහ කැබලිවල අත්පා වැදෙන්නට සලස්වා ඒවා සලාං ගා බිම පෙරළා දමන, වටපිට බලා නිසි තැන දී ඊට ගල් බෝර වුව දමා පුපුරුවන, නව චක්‍රාවාට වෙත පියාඹන – කාල තරණය කරන ලෝකයක් වෙනුවෙන් බලාපොරොත්තුවෙන් බලා සිටින, ආයෙමත් හිටිගමන් පස්ස හැරී බලා මග නොනැවතී ඉදිරියට පිම්මේ දුවන, විල් දියේ පාවෙන පෙද පාසි එහා මෙහා කර වතුරේ සැබෑ ස්වභාවය පිරික්සා බලනා සේ – පය තියන පොළොව කැණ ඊ යට ඇති ස්ථර මොනවාදැයි විමසන්නා සේ පොදු මිනිස් සමාජ තත්වයන් දෙස බලා උඩින් උඩින් දෙපා තබා මඩින් මිදෙන, උපහාසයෙන් මදහාස නගන, එහෙත් ටික වෙලාවක් යද්දි තමාත් අයත්වන්නේ ඒ සමාජයට ම නොවේදැයි සිහි ඇතිව උපහාසය මුදුමොළොක් කර සුමටව පෙර දේ දෙසම වෙන ලෙසකින් නෙත් යොමන රචකයෙකි, රංගන ආරියදාස.

ඔහු ලියූ, ‘මේ කාලයේ කිසිවෙකුත් කෙහෙල් ලෙලි මතින් ලිස්සා වැටෙන්නේ නැත’, කෙටිකතා එකතුව, අර කී පරණ ලෝකයත් අනාගත ලෝකයත් අතර පාඨකයාව දෝලනය කරන්නකි. ශිල්පීය ලකුණු සහිත කෙටිකතා, අවධානයෙන් ලියූ කතා, කෙටිකතා ලක්ෂණ ගැන නොසිතා ලියූ කතා මෙන් ම හදිසියෙ ලීවා යැයි සිතෙන, තවදුරටත් වර්ධනය කළ හැකි කෙටිකතාත් මෙහි ඇතුළත් ය. පළමු කතාව සහ අවසාන කතාව යන දෙක, එක ම රචකයාගේදැයි සිතිය නොහැකි තරම්‍ ය. කාලය හා අවකාශය අතර පාඨකයාව ගෙනයමින් රචකයා කරන සියුම් ගනුදෙනුවක් මේවායේ ඇත. ගන්දබ්බ ආත්ම මෙන්, අභ්‍යවකාශයේ අතරමං වූ යානාවක ගගනගාමියෙකු මෙන්, පණ ගැහෙන යලි නිමෙන යමක් පොදුවේ මේ කතා අරක් ගනි.
කෘතියේ නමින් එන කෙටිකතාව, මාර්ටින් වික්‍රමසිංහගේ මුල්කාලීන කතාවල ඉන්නා ‘අන්දො අයියා’ වැනි චරිතයක් කතාව තුළට විත් කතාවක් කියන්න සේ, ප්‍රධාන කතාව ඇතුළට එන චරිතයක් අතුරු කතාවක් ඉදිරිපත් කරයි. ඉන්පසු, ප්‍රධාන කතාව, අතුරු කතාව බවට පත්ව, අතුරු කතාව, ප්‍රධාන කතාව වෙයි. රචකයා, විද්‍යාව සහ මිත්‍යාව, හැඟීම සහ බුද්ධිය, අලුත් ලෝකය සහ පරණ ලෝකය අතර පාඨකයාව සෙක්කුවේ බන්දා දුවවයි. මේ කෙටිකතාකරුවාගේ ‘වට මාරු ක්‍රමය’ක් ඇත. යමක් ගැන ඔහු දරන අදහස අපට දැනගන්නට නොතියා, වටේ යවා අපව ‘කන්ෆියුස්ඩ් උංගා බුංගා’ කරයි. කෙසෙල් ලෙලි මතින් ලිස්සා වැටෙන්නෑයි කියා, කතාවසානයේදී ලිස්සා වට්ටවයි.

‘අවසන් තරුණයා’ කතාවේදී මහ පොළොව සෙල්ලම් බඩුවක් බවට රචකයා පත්කරයි. රචකයා නොව එය සෙල්ලම් බඩුවක් කර ඇත්තෙ, මෙහි ම වෙසෙන්නන් විසින්මයි. වියපත් මිනිසුන් නැති, තරුණ පිරිස පාලනය කරන රටක් එහි වෙයි. සැබෑවක් නොව සිහිනයකි. නැත, රචකයා එය සිහිනයක් නොව වෙළඳ දැන්වීමක් බව කියා ඔබට අන්තිමේදී ටොක්කක් අනී.

‘පාරාදීසයේ උද්‍යානය’, පිළිම බඳු මිනිසුන් ගැනය. කතා සංග්‍රහයේ එන පළමු කතාවෙන් හිරිවැටුණු – මිය ගිය – රූපාන්තරණය වූ මිනිසුන්, මේ කතාවේදී පිළිම ලෙසින් අපිට පෙනීම අරුමයකුත් නොවේ. යුද්ධයෙන් ඉතිරි කළේ එයයි. පිළිමයක් විදියට ඉන්නා පියෙක් කතාවසානයෙදී පුතාටත් පිළිමයක් ලෙස ඉන්න උගන්වන්නම් යැයි කියයි. මිනිසෙක් පිළිමයක් ලෙස දිවිගෙවීමේ හොඳ නරක දෙකම ඇත. එකක් නම්, සමාජය කියන කරන ඕනෑ දෙයකට රිද්දවා නොගෙන, ගණන් නොගෙන, ප්‍රතිචාර නොදක්වා සිටීමට හිත පාලනය කරගැනීමේ හැකියාව නොහොත් තමන්ගේ ලෝකයේ ජීවත්වීමේ සුඛය ලැබීම නමැති පිළිමයක් ලෙස හිඳීමයි. එය අවශ්‍ය දෙයකි. අනෙක් අතින්, අසාධාරණය හමුවේ, හෘද අසංවේදීව, නොදැක්කා සේ, හිතක් නැත්තා සේ හිඳීම නමැති ගල් පිළිම ස්වභාවයයි. එය අයුතු දෙයකි. ගරු සත්කාර ලැබීමේ අරමුණින් පිළිම වෙන මිනිසුන් ගැන වුව මේ කතාව කියවද්දී සිහිවෙනු ඇති.

රංගන, මේ කතාවලදී නිශ්චිත නිගමන ඉදිරිපත් නොකරයි. එබැවින් රචකයා ඉන්නේ අසවල් මාතෘකාව සම්බන්ධයෙන් කුමන පැත්තේද, ඔහු මේ දෙයට කැමතිද නැද්දයි කෙලින්ම පාඨකයාට සිතාගන්නට බැරිය. පැනයක් ඔබ ඉදිරියේ ඇත්නම්, ඊට පිළිතුරු මේවායි කියා පෙන්වා, ‘ඔය ටික මදි නම් මෙන්න විකල්පත් තියෙනවා’ කියා ඒවාත් ඉදිරිපත් කරන්නා සේ ය. ඔහු ලොව ගැන සිතන පතන දේ එකතැනකට ලඝු නොවෙයි. එබැවින් පාඨකයාට අමතර ගෙදර වැඩ පැවරෙන කතාවකි, ‘දඩයමක අසම්පූර්ණ සටහන්’. මෙය නවකතාවක් දක්වා වර්ධනය කළ හැකි ලකුණු පෙන්වන්නකි.

අහසේ පාවෙන මකර සේනා, කිරිබත් පිසින ගෙවල්, අළු වැටුණු කිරිබත්, මිය ගියායින් පසු මකරු බවට හැරවුණු වීරයින්, මෑතකාලීන ඉතිහාසය දන්නා සියල්ලන්ට අර්ථ පෙන්නා දිය යුතු තැන් නොවේ. යෙව්ජිනි ෂ්වාට්ස්ගෙ මකරාගෙන් මතුවී එන මකරු, මේ මොහොත වෙද්දී ‘මටත් මකරෙක් ඕනෑ’ලෙසින් මුහුණුපොතේ සුරතල් මකර පැටියෙක් ඉල්ලා සිටින ගෑනු ළමුන් ඉලක්ක කරගත් පෝස්ට් දක්වා පැමිණ ඇත. ඒ ‘මකර ආස්ථානය’ දැන් ඇත්තේ කොහිද? ඔලු තුනේ මකරා මරා දැමූ වීරවරු ආයෙම මකරු වෙන වර්තමානයකි මේ. කිරිබත් පිසුණු දෑතින් ම, ඊළඟ පාලකයනුත් පත්කෙරෙන රටකි මේ. මෙතැනින් එහාට කියවීම ඔබට ය. මේ කතාවේ ආඛ්‍යාන රටාව ආකර්ෂණීය එකකි. කෙටි චිත්‍රපටයක් මෙනි. චරිත නිරූපණය ඇඟට පතට නොදැනීම සිදුවෙයි. සිද්ධි එක් තැනකට සීමා නොකරගෙන, විදාහැර, යුතු පරිදි ලංකාවේ සමාජ, දේශපාලන, කුදුමහත් පදාස යුතු යුතු තැනින් ගෙන නිමවන ලද්දකි. නොනිමි ගැටලුවකට කරන ඇමතුමකි. කතා සංග්‍රහයේ සාධනීය ම කතාවත් මෙය බව මගේ අදහසයි.

ඩිල්ශානි චතුරිකා දාබරේ

මේකාලයේ කිසිවෙකුත් කෙහෙල් ලෙලි මතින් ලිස්සා වැටෙන්නේ නැත

කවර නිර්මාණය : මොල සෙනෙවිරත්න

කෙටිකතා | ගොඩගේ ප්‍රකාශන

උතුරේ ඉඩම් අක්කර 108ක් නැවත ජනතාවට – දීර්ඝකාලීන අරගලයක ජනතා ජයක්!

0

ආරක්ෂක අංශ යටතේ පැවති උතුරු පළාතේ ඉඩම් අක්කර 108ක බිම් ප්‍රමාණයක් එම පළාතේ පවුල් 197ක් අතරේ බෙදාදීම සිදුකරන බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි. යුද සමයේ සහ ඉන් අනතුරුව දිගු කාලයක් මුළුල්ලේ මෙම ඉඩම් ආරක්ෂක අංශ විසින් පාලනය කරනු ලැබීය.

75 වැනි නිදහස් උළෙලට සමගාමීව මින් පෙර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් උතුරේ ජනතාව වෙත ලබාදුන් පොරොන්දුවක් ඉටුකිරීමක් ලෙසින් මෙම ඉඩම් බෙදාදීම සිදුකරනු බව දැනගන්නට ලැබේ. පසුගිය දිනක ජනාධිපතිවරයා උතුරේ සංචාරය සිදුකළ අවස්ථාවේ ඔහු සඳහන් කරනු ලැබූවේ උතුරේ පුද්ගලික හිමිකම් යටතේ පැවති ඉඩම් අක්කර 3000කට වැඩි ප්‍රමාණයක් ආරක්ෂක අංශ යටතේ පවතින බවය.

ඒ නිසා එකී ඉඩම් නිශ්චිත හිමිකරුවන් පිළිබඳ තොරතුරු සොයාබලා ඔවුන් වෙත නැවත පවරාදීම හෝ එසේ හිමිකරුවන් නොමැති ඉඩම් උතුරේ ඉඩම් අහිමි පවුල්වෙත ලබාදීමට කටයුතු කිරීම සඳහා අවශ්‍ය කටයුතු යෙදීම සම්බන්ධයෙන් ආරක්ෂක බලධාරීන් සමග සාකච්ඡා කරන බව ජනපතිවරයා ප්‍රකාශකර තිබේ.

එහි මූලික පියවරක් ලෙසින් අද(03) ඉඩම් අක්කර 108ක ප්‍රමාණයක් උතුරේ පවුල් අතරේ බෙදාදීමට කටයුතු කරනු ලබයි.

2017 දී කළ ඉල්ලීම්

යහපාලන ආන්ඩුව සමයේ 2017 වර්ෂයේ ජිනීවා මානව හිමිකම් සැසිවාරය අතරතුරදී උතුරේ ඉඩම් ගැටළුව පිළිබඳ කතාබහ නැවත කරළියට පැමිණීම සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස එවකට උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් සහ දෙමළ ජාතික සන්ධානයේ ආර්.සම්පන්දන් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා ගණනාවක් පවත්වනු ලැබීය.

එහිදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පොරොන්දුවූයේ උතුරේ ආරක්ෂක අංශය යටතේ පවතින ඉඩම් ඒවායේ මුල් හිමිකරුවන් වෙත පැවරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවය. එහෙත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමේදී ආරක්ෂක අංශ ප්‍රකාශ කලේ ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගතවන බවය.

ඒ සම්බන්ධයෙන් බරපතල අප්‍රසාදයක් උතුරේ දේශපාලන පක්ෂ සහ ජනතාව අතරේ මතුවීම සිදුවිය. එකවට උතුරේ ඉඩම් ගැටළුවට දෙමළ සන්ධානයේ මැදිහත්වීම පවා ප්‍රමාණවත් නැතිබවට විවේචන මතුවිය.

ආන්ඩුකාරවරයාට විරෝධය

පසුගිය නොවැම්බර් මාසයේ උතුරේ ජනතාව සහ සිවිල් සංවිධාන දැඩි විරෝධතාවක් පවත්වමින් උතුරේ ඉඩම් කොල්ලය නවත්වන ලෙසත් ජනතාවගේ ඉඩම් නැවත ඔවුන්ට ලබාදෙන ලෙසටත් රජයට බලකරනු ලැබීය. මෙහිදී උතුරු පළාත් ආන්ඩුකාර ජීවන් ත්‍යාගරාජාට දැඩි විරෝධයක් එල්ලවිය.

ආන්ඩුකාරවරයා විසින් ඉඩක් නැවත නිදහස් කිරීමේ ක්‍රමවේදය ගැන ආවේගශීලීව අදහස් දැක්වීම හේතුවෙන් ඔහුට දැඩි පීඩනයක් එල්ලවිය.

කෙසේ වෙතත් මෙවැනි සිදුවීම ගණනාවකට පසුව උතුරේ ජනතාවට හිමි ඉඩම් නැවත ඔවුන් අතට පත්වීම ඉතා වැදගත් කරුණකි.

සබැඳි පුවත්

වසන්ත මුදලිගේ තීන්දුව පොලිසියට ගැටළුවක් – නීතිපති නිහඬයි : අපි ඉල්ලීමක් කළා විතරයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

0

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ එල්ල කර තිබූ චෝදනාවලින් නිදහස් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය පිළිබඳ ප්‍රතිශෝධනයක් ඉදිරිපත් කිරීමට හෝ අභියාචනයක් කිරීමට සලකා බලන ලෙස පොලිස් මූලස්ථානය නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

අවසාන තීරණය නීතිපති අතේ

පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් මූලස්ථානයේ නීති කොට්ඨාසය මගින් ඊයේ (02) මෙම ඉල්ලීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව thetime.lk වෙත සඳහන් කළේය. පොලිසියට මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් පමණක් කළ හැකි බවත්, එසේ කටයුතු කරන්නේද යන්න සම්බන්ධයෙන් අවසාන තීරණය ගත යුත්තේ නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

අධිකරණයට එරෙහිවීමක් නෑ

මෙමගින් අධිකරණ තීන්දුවට එරෙහි වීමක් හෝ එය විවේචනය කිරීමක් සිදුනොවන බවත්, ඕනෑම තීන්දුවක් සම්බන්ධයෙන් නීතියේ ඇති අභියාචන අවස්ථා භාවිතයට ගැනීමක් පමණක් සිදුවන බවත් අප කළ විමසීමේදී ඔහු තවදුරටත් සඳහන් කළේය.

නීතිපති නිහඬයි

කෙසේ වෙතත් නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් අප කළ සොයාබැලීමේදී හෙළිවූයේ මෙතෙක් අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව අවසාන තීරණයක් ගෙන නැති බවයි. එම දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නීතිඥවරයෙකු පැවසුවේ සාමාන්‍යයෙන් මෙවැනි තීරණයක් නීතිපතිවරයා තනි ව නොගන්නා බවත්, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරුන් ඇතුළු ජ්‍යේෂ්ඨ නීතිවේදීන් සමග එක්ව ගන්නා බවත් ය.

එහෙත් මෙය මුළුමනින්ම දේශපාලන තීන්දුවක් වීමේ වැඩි ඉඩක් නොපවතින්නේද යනුවෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ එසේ විය හැකි වුවත්, මෙහි අභියාචනයක් කිරීමට පදනමක් තිබේද, එය පවත්වාගෙන යා හැකිද යන කරුණු නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් ජ්‍යේෂ්ඨයන් එක්ව අධ්‍යයනය කරන බවයි.

වසන්ත වරදක් කර නෑ !

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් පසුගිය 31දා වසන්ත මුදලිගේ නිදහස් කිරීමට නියෝග කරන ලදි. ඒ, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔහුට එරෙහිව කටයුතු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොවීමත්, එම පනත යටතේ ඔහු වරදක් කර ඇති බව අනාවරණය නොවීමත් නිසා බව අධිකරණ තීන්දුවේ දැක්විණි.

සබැඳි පුවත්

සුසන්තිකා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල හා එක්වෙයි : පෙරළියක් කරනවා – චමරි

කාන්තා ක්‍රිකට් T20 ලෝක කුසලාන තරගාවලිය එලඹෙන 10 වැනිදා දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ” ඒ ” කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිත අතර , මෙහි පළමු තරගය මෙම 10 වැනි දින පැවැත්වීමට නියමිතය .

ක්‍රීඩිකාවන් 15 පුහුණුකරුවෝ,නිලධාරීහු 10 දෙනෙක් මෙම කණ්ඩායමට ඇතුළත් වෙති.

ඔවුන් අද (03) අලුයම කටුනායක ගුවන් තොටුපලින් දකුණු අප්‍රිකාව බලා පිටත් ගියේය.

පෙරළියක් කරනවා

ලෝක කුසලාන තරගාවලියට එක් වන කණ්ඩායමට නිල අනුග්‍රාහකත්වය පිරිනැමීම සහ නිල ජර්සිය එළිදැක්වීම සඳහා පෙරේදා (01) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති අතර එම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසා සිටියේ තරගාවලියට මුහුණ දීම සඳහා තම කණ්ඩායම හොඳ සූදානමකින් පසු වන බවයි.

එහිදී කණ්ඩායමට පෙරළියක් කිරීමට හැකි වනු ඇය පවසා සිටියාය.

සුසන්තිකාට ක්‍රිකට් තනතුරක්

මේ අතර ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් හි සංවර්ධන උපදේශිකාවක ලෙස පත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පිටියේ විශිෂ්ටතම දක්ෂතාව පෑ ක්‍රීඩිකාවක වන ඇයගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට්හි අනාගතයට වැදගත් වනු ඇති බවයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් රිදී පදක්කමක් දිනූ පළමු හා එකම ක්‍රීඩිකාව වන්නේ සුසන්තිකා ජයසිංහයි.

තරුණ ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා කිරීමට, අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට සහ තරු බවට පත්වීමට උපකාර කිරීමට තමාට අවස්ථාව ලැබී ඇති බවත් මෙම නව අභියෝගය ගැන අතිශයින්ම සතුටට පත් වන බවද ඇය පැවසූවාය.

පුංචි ඡන්දය : තැපැල් ඡන්දයට දින නියම කෙරේ

0

2023 පළාත් පාලන මැතිවරණයේ ඡන්දය විමසීමට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව පෙබරවාරි මස 22,23 සහ 24 යන දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට කටයුතු යොදා ඇත.

තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් තැපෑලට භාර දීම ලබන 15 වැනිදා සිදු කෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනිදා පැවැත්වීමට අදාල ගැසට් නිවේදනයද පසුගියදා නිකුත් කළේ ය.

සබැඳි පුවත්

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසියි ? : වාසි – අවාසි ගැන සාකච්ඡා වටයක් : ජාත්‍යන්තරයට දුන් පොරොන්දු මෙන්න !

0

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡාවක් ඇති වී තිබේ.

ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජායිශන්කර්ගේ මෙරට සංචාරයේදී මේ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කර ඇති අතර, ඇමතිවරයා සහ දෙමළ ජාතික සන්ධානය අතර පැවති සාකච්ඡාවේදී ද මේ පිළිබඳව පුළුල් අවධානයක් යොමුකර ඇත. රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග අනුව මෙහිදී ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා විසින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සිරකරුවන් සහ ලංකාව විසින් යුරෝපා සංගමය ප්‍රමුඛ අන්තර්ජාතික ප්‍රජාවට මේ සම්බන්ධයෙන් ලබාදී ඇති පොරොන්දු පිළිබඳව ද සිහිපත් කර ඇත.

මෙම සාකච්ඡාවෙන් පසු ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක සාගල රත්නායක සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් කිහිපදෙනෙකු අතර සාකච්ඡාවක් ද පවත්වා තිබේ. මෙම සාකච්ඡාවෙන් පසු ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රධානීන්ට මේ පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

ජාතික ආරක්ෂාව ?

එහිදී ආණ්ඩුව නියෝජනය කරන බහුතර පිරිසකගේ අදහස වී ඇත්තේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්පූර්ණයෙන් ම අහෝසි නොකොට, සංශෝධනය කළ යුතු බවයි. ඊට හේතුව ලෙස ඉදිරිපත් වී ඇත්තේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැනි ප්‍රහාරයක් හෝ එවැනි අවස්ථාවක් මතුවුවහොත්, ක්ෂණිකව ක්‍රියාත්මක වීමට තරම් ප්‍රමාණවත් නීති නොමැති බවයි.

නීති ප්‍රමාණවත් !

මේ පිළිබඳව thetime.lk කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු සඳහන් කළේ එය වලංගු තර්කයක් නොවන බවයි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නොමැතිව එවැනි කටයුතුවලදී ක්‍රියාත්මක වීමට ප්‍රමාණවත් තරම් නීති ඇති බව ද ඔහු සඳහන් කළේය. දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත එවැනි කිහිපයක් බව ද පෙන්වා දුන් ඔහු, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පසුගිය කාලය පුරා භාවිත කර ඇත්තේ දේශපාලන හේතු මත පුද්ගලයන්ට ඇප ලබා නොදී රඳවා ගැනීමට වන බවයි.

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත ද එහි කරුණු සහ අරමුණුවලට පටහැනිව යමින් ලේඛක ශක්තික සත්කුමාර වැන්නන් සිරගත කොට, පීඩාවට පත්කළ ආකාරය ද සිහිපත් කළ ඔහු, පවතින නීති අරමුණින් බැහැර ව වාසියට යොදාගැනීම මෙරටදී බරපතළ තත්ත්වයක් බව ද අවධාරණය කළේය.

වැඩි වාසි ගන්න හැටි

මේ අතර ජනාධිපතිවරයාට සමීප රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ද මේ පිළිබඳ පුළුල් ව සංවාදයට ලක්ව තිබේ. ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මීළඟ සැසිවාරය ඉලක්ක කොට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කළහොත්, එය ලංකාවට දැඩි වාසි සහගත තත්ත්වයක් ඇති කරනු ඇතැයි ඊට සහභාගි වූ කිහිපදෙනෙකු පවසා තිබේ. එසේ ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකරන සාකච්ඡාවලදී එවැන්නක් මගින් ඇති කරන බලපෑමත්, යුරෝපා සංගමයට ශ්‍රී ලංකාව රටක් ලෙස ලබා දී ඇති පොරොන්දුවක් ඉෂ්ඨ කිරීම නිසා ඇතිවන යහපත් බලපෑමත් මෙහිදී සාකච්ඡාවට ලක්වී ඇත.

කෙසේ වෙතත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙහිදී ජනාධිපතිවරයා විසින් නිශ්චිත අදහසක් දක්වා නැති බවයි.

2021 ජුනි කැබිනට් තීරණය

මේ අතර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බැලීම සඳහා සිදුකෙරෙන කාර්යයන් පිළිබඳව යුරෝපා සංගමයට දැනුම් දුන් බව 2021 ජූලි මාසයේදී විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ඒ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ ය.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සමාලෝචනය කිරීමට සහ තෙමසක් ඇතුළත අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් සහ එම අමාත්‍ය මණ්ඩලයීය අනුකමිටුවට සහාය වීම සඳහා නිලධාරීන්ගේ කමිටුවක් පත්කිරීමට 2021 ජුනි 21 දා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ද විදේශ අමාත්‍යංශය මගින් යුරෝපා සංගමයට දැනුම් දුන්නේය.

මේ සඳහා වූ නිලධාරීන්ගේ කමිටුව අධිකරණ, ආරක්ෂක, විදේශ කටයුතු, මහජන ආරක්ෂාව යන අමාත්‍යාංශ සහ නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික බුද්ධි අංශ ප්‍රධානී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජන සහිතව 2021 ජූනි 24 දින පත්කරනු ලැබූ බව ද එම දැනුම්දීමේ සඳහන් විය.

යුරෝපා පාර්ලිමේන්තුව

ශ්‍රී ලංකාවේ පවතින මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව සලකා බලමින් ලංකාවට ලබාදී ඇති ජීඑස්පී සහනය අහෝසි කිරීමට කටයුතු ආරම්භ කිරීම ඇතුළු කරුණු ඇතුළත් යෝජනාවක් යුරෝපා පාර්ලිමේන්තුව 2021 ජුනි 10දා සම්මත කරන ලදි. මේ සඳහා ප්‍රධාන හේතුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සිදුකරන අත්අඩංගුවට ගැනීම් බව එම යෝජනාවේ දැක්විණි.

ශ්‍රී ලංකාවට ලබාදී ඇති ජීඑස්පී සහනය සහ එයින් ලැබෙන ප්‍රතිලාභ තාවකාලිකව ඉවත් කර ගැනීම සඳහා වන ක්‍රියා පටිපාටියක් ආරම්භ කිරීම සඳහා ප්‍රමාණවත් හේතු තිබේද යන්න පිළිබඳව තක්සේරුවක් කරන ලෙස ද යුරෝපා පාර්ලිමේන්තුව එහිදී යෝජනා කර තිබිණි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අඛණ්ඩව භාවිත කිරීමට එරෙහිව දැඩි විරෝධය පළකරන බවත්, එම පනත සමාලෝචනය කිරීමට හා අවලංගු කිරීමටත් එය අන්තර්ජාතික නියමිත භාවිතයන්ට අනුකූල වන ත්‍රස්ත විරෝධී නීති මගින් ප්‍රතිස්ථාපනය කිරීමටත් දුන් පොරොන්දුව ඉටු කරන ලෙසත් යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් එහිදී ඉල්ලා සිටියේය.

විදේශ අමාත්‍යංශ නිවේදනය

මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය නිකුත් කළ විශේෂ නිවේදනයේ මෙසේ සඳහන් විය.

‘යුරෝපා සංගමය සමඟ පවතින නිරන්තර සම්බන්ධතාවයේ සහ සංවාදයේ කොටසක් ලෙස, ප්‍රතිසන්ධානයේ නිශ්චිත ක්ෂේත්‍රයන්හි ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකා රජය යුරෝපා සංගමය වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව, ජුනි 25 වැනි දින විදේශ අමාත්‍යාංශය විසින්, දැනට පවත්නා නීති සම්පාදනය, අතීත භාවිතයන් සහ ජාත්‍යන්තර විශිෂ්ට පරිචයන් අධ්‍යයනය කිරීමත් සමඟ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බැලීම සඳහා සිදුකෙරෙන කාර්යයන් පිළිබඳව යුරෝපා සංගමයට දැනුම් දී ඇත.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සමාලෝචනය කිරීම සහ තෙමසක් ඇතුළත අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස, අමාත්‍ය මණ්ඩලයීය අනු කමිටුවක් සහ එම අමාත්‍ය මණ්ඩලයීය අනුකමිටුවට සහාය වීම සඳහා නිලධාරීන්ගේ කමිටුවක් පත් කිරීම සඳහා ජුනි 21 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය පිළිබඳව යුරෝපා සංගමයට දැනුම් දෙන ලදී. මේ සඳහා වූ නිලධාරීන්ගේ කමිටුව අධිකරණ, ආරක්ෂක, විදේශ කටයුතු, මහජන ආරක්ෂාව යන අමාත්‍යාංශ සහ නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික බුද්ධි අංශ ප්‍රධානී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජන සහිතව ජූනි 24 වැනි දින පත් කරනු ලැබීය.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තිය ප්‍රකාරව තම බලතල ක්‍රියාත්මක කරමින්, ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වරදකරුවන් කොට දඬුවම් නියම කරනු ලැබ සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකයින් දහසය (16) දෙනෙකුට ජුනි 24 වැනි දින සමාව ලබා දීම පිළිබඳව ද යුරෝපා සංගමය වෙත තවදුරටත් දැනුම් දෙන ලදී.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලයක් තිස්සේ අධිකරණ භාරයේ රඳවා සිටින රැඳවියන් නිදහස් කිරීම සඳහා ක්‍රියාවට නංවා ඇති ක්‍රියාවලිය පිළිබඳව ද සංවිධානය දැනුවත් කරන ලදි.’

2021 ජනවාරි 25

මේ අතර සුදුසු සංශෝධන සිදුකිරීමේ අරමුණ සහිතව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බැලීමට අපේක්ෂා කරන බවට ශ්‍රී ලංකා රජය 2021 ජනවාරි 25දා ද යුරෝපා සංගමයට සනාථ කර තිබේ.

මානව හිමිකම් සහ ප්‍රතිසන්ධාන ගැටළු පිළිබඳව අඛණ්ඩව සමීපව කටයුතු කීරීම සඳහා ද ශ්‍රී ලංකාව මෙහිදී යුරෝපා සංගමයට එකඟ වී තිබේ.

මානව හා කම්කරු අයිතිවාසිකම්, පරිසරය සහ යහපාලනය පිළිබඳ ජීඑස්පී+ යෝජනා ක්‍රමය මඟින් ආවරණය වන ජාත්‍යන්තර සම්මුතීන් 27ක් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ඇති කැපවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය එහිදී යළි තහවුරු කර තිබිණි.

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා රජය සිය 23 වැනි ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමේදී මෙම එකඟතාවට පැමිණ තිබිණි.

ශ්‍රී ලංකාව විසින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනය කොට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගෙන ඒමේ අවශ්‍යතාව යුරෝපා සංගමය අවස්ථා ගණනාවකදී අවධාරණය කර තිබේ. තිරසර සංවර්ධනය හා යහපාලනය සඳහා වූ විශේෂ දිරිගැන්වීමේ විධිවිධාන (ජීඑස්පී+) යටතේ ප්‍රදානය කළ යුරෝපා සංගමයේ ඒකපාර්ශ්වික තීරුබදු සහන මඟින්, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු අන්දමේ දායකත්වයක් ලබා දී ඇති බවට ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය එම සාකච්ඡාවේදී එකඟ වී තිබිණි. ශ්‍රී ලංකාවේ සිට යුරෝපා සංගමය වෙත කරන අපනයන යූරෝ බිලියන 2.3ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, එමඟින් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන වෙළඳපොළ බවට පත්වී ඇති බවත් එහිදී අවධාරණය කෙරිණි.

ව්‍යවස්ථාවට හා නීතිවලට අනුකූලව ජාතික සංහිඳියාව හා ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව ශ්‍රී ලංකාව මෙහිදී පැහැදිලි කර තිබූ අතර, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විමර්ශන කොමිෂන් සභාවක් පත්කරන බව ශ්‍රී ලංකාව නිවේදනය කර ඇති බව ද එහිදී පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් අතර සංහිඳියාව, යුක්තිය, වගවීම සහ සාමකාමී සහජීවනය වර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව යුරෝපා සංගමය එහිදී නැවත වරක් අවධාරණය කර තිබිණි.

යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ ආසියා සහ පැසිෆික් කලාපයේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ පැවෝලා පැම්පලෝනි සහ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඒ.එම්.ජේ. සාදික්ගේ සම සභාපතිත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

වාර්ෂිකව යුරෝපා සංගමය සහ රජයයන් අතර මෙවැනි සාකච්ඡා වටයක් පවත්වනු ලැබේ.

පොලිසිය තොරතුරු සැඟවීම

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සහ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින පුරවැසියන්ගේ සංඛ්‍යාව ලබාදීම ශ්‍රී ලංකා පොලිසිය විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේදී ප්‍රතික්ෂේප කිරීම ද පසුගිය කාලයේ කතාබහට ලක්විය.

ජාතික ආරක්ෂාවට බලවත් අගතියක් විය හැකි බව කියමින් පොලිස්පතිවරයා නියෝජනය කරමින් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට පැමිණි පොලිස් නීති කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක නීතිඥ වසන්ත කුමාර කොටියාකුඹුර එසේ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබිණි.

විජයදාස – අලි සබ්රි – ටිරාන් සාකච්ඡාව

මේ අතර පසුගිය නොවැම්බර් 18දා අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ, විදේශ කටයුතු ඇමති අලි සබ්රි සහ මහජන සාමය ඇමති ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ජනාධිපතිවරයාගේ උපදෙස් මත පැවති බව සඳහන් කෙරුණු මෙම සාකච්ඡාවට පොලිස්පති චන්දන වික්‍රමරත්න, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර ඇතුළු අධිකරණ, පොලිස්, නීතිපති යන විෂයයන් නියෝජනය කරන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වී තිබිණි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කොට රඳවාගෙන සිටින පුද්ගලයන් සංඛ්‍යාව, ඔවුන් රඳවා ගැනීමට හේතු, ඔවුන් රඳවාගෙන සිටින කාලය පිළිබඳව මෙහිදී අවධානය යොමුකළ බව අධිකරණ අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

ලොහාන්ගේ බන්ධනාගාර වාර්තාව මුදාහැරීමේ නියෝගයක් : තොරතුරු පනත වැරදි ලෙස යොදාගැනීමේ උත්සාහය වරදී !

0

අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරවලට ලොහාන් රත්වත්තේ මන්ත්‍රීවරයා ගොස් ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ඒක පුද්ගල කමිටු වාර්තාව තොරතුරු පනත යටතේ මුදාහරින ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව අද (02) අධිකරණ අමාත්‍යංශයට නියෝග කළේය.

කොමිෂන් සභාව එම නියෝගය කළේ සමාජය සහ සාමයික කේන්ද්‍රයේ (සීඑස්ආර්) පර්යේෂණ කණ්ඩායම කළ තොරතුරු ඉල්ලීමකට අදාළ අභියාචනයක් විභාග කිරීමෙන් පසුව ය.

කැබිනට් දැනුම්දීමක්

අධිකරණ අමාත්‍යංශයට මෙම තොරතුරු ඉල්ලීම යොමු කළ අවස්ථාවේ එම වාර්තාව ලබාදීම ප්‍රතික්ෂේප කරමින් එම අමාත්‍යංශය දැනුම් දී තිබුණේ මෙම වාර්තාව සකස් කළේ කැබිනට් මණ්ඩලයේ දැනුම්දීමක් මත බවයි. වාර්තාව සටහනක් සමඟ අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කළ ද, ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ගැන දැනුම්දීමක් කර නැති නිසා පනතේ 5(1)(ක) යටතේ තොරතුරු ලබා දිය නොහැකි බව කියමින් අමාත්‍යංශය තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණි.

කමිටු වාර්තාවක්

අද මෙම අභියාචනය විභාගයට ගත් අවස්ථාවේදී කොමිෂන් සභාව මෙම වාර්තාව කැබිනට් සංදේශයක් ද එසේ නැතිනම් වෙනත් යමක් ද යන්න ප්‍රශ්න කළ අතර, එම අවස්ථාවේ අධිකරණ අමාත්‍යංශය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එම්.එම්. අලීෆ් ප්‍රකාශ කළේ මෙය කමිටු වාර්තාවක් බවත්, එම කමිටු වාර්තාව සහටනක් (නෝට්) සමග කැබිනට් මණ්ඩලයට යොමු කළ බවත් ය.

පනතේ වගන්තිය

ඒ අනුව පනතේ 5(1)(ක) යටතේ ඇත්තේ කැබිනට් සංදේශයක් සම්බන්ධයෙන් පමණක් බවත්, කැබිනට් මණ්ඩලයට යොමු කළ සටහනක් (නෝට්) කැබිනට් සංදේශයක් ලෙස නොගැනෙන බවත් තීරණය කළ කොමිෂන් සභාව මෙම වාර්තාව මුදාහැරිය යුතු තොරතුරක් බවට තීන්දු කළේය.

නොදුන්නොත් නඩු

අදාළ කමිටු වාර්තාව පෙබරවාරි 23දාට පෙර කොමිෂන් සභාවට පිටපතක් සහිතව සමාජය සහ සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම වෙත මුදාහරින ලෙස අධිකරණ අමාත්‍යංශයට දැනුම් දුන් කොමිෂන් සභාව, නියමිත දිනට ප්‍රථම එම වාර්තාව ලබාදීමට අපොහොසත් වුවහොත් පනතේ 39 වැනි වගන්තිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට ද තීරණය කළේය.

අද මෙම අභියාචනය කැඳවූයේ තොරතුරු කොමිසමේ සභාපති උපාලි අබේරත්න, කොමසාරිස්වරුන් වන නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන, නීතිඥ ජගත් ලියන ආරච්චි සහ ඒ.එම්. නහියා ඉදිරියේ ය. අභියාචනා විභාගය සඳහා සමාජය සහ සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම වෙනුවෙන් නීතිඥ සුරේන් ඩී. පෙරේරා, නීතිඥ මනුෂිකා කුරේ සමග තරිඳු ජයවර්ධන සහ ෆාතිමා රස්මා පෙනී සිටි අතර, අධිකරණ අමාත්‍යංශය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එම්.එම්. අලීෆ් පෙනීසිටියාය.

පොදුජන පෙරමුණ කොළඹට එයි : අපි ජනතාවට දැනෙන වැඩක් කරනවා – මහ ලේකම්

0

මැතිවරණ වියදම් සීමා කිරීමේ නව පනතට අනුව වෙනස් ම සහ ජනතාවට වඩාත් දැනෙන ආකාරයේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අද (02) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළ බව එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් thetime.lk වෙත පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි එම පෙරමුණේ මූලස්ථානයට අද පෙරවරුවේ ආසන සංවිධායකවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවා තිබිණි.

බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී සියලුම ආසන සංවිධායකවරුන්ට මැතිවරණයට අදාළ විශේෂ උපදෙස් රැසක් ලබාදුන් බවත්, වෙනස් සහ ජනතාවට දැනෙන ප්‍රචාරක ව්‍යාපාරයක් මෙම මැතිවරණයේදී සිදුකිරීම තම පෙරමුණේ අරමුණ බවත් මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තම පෙරමුණට ජනතාව ළඟට යෑමේ කිසිදු ප්‍රශ්නයක් නැති බවත්, ඇතැම් පක්ෂ එවැනි මතයක් ඇති කරන්නට උත්සාහ කරණ බවත් පැවසූ මහ ලේකම්වරයා, රටේ පවතින ආර්ථික තත්ත්වය තේරුම් ගනිමින් ප්‍රචාරක කටයුතු කරන ලෙස ආසන සංවිධායකවරුන්ට උපදෙස් දුන් බව ද සඳහන් කළේය.

උ.පෙළ විභාග සමයේ විදුලි කප්පාදුව : මණ්ඩලයෙන් ප්‍රතිඥාවක් : හදිසියි, කල්දාන්න බෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

0

හෙට (පෙබරවාරි 03) දින දක්වා විදුලි කප්පාදුවක් සිදුනොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබේ.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුවක් නොකරන බවට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශව ලබාදුන් එකඟතාව කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පසුගිය ජනවාරි 30 වැනිදා නඩුවක් ගොනු කළේය.

අදාළ නඩුව අද (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ විදුලිබල මණ්ඩලය මෙම ප්‍රතිඥාව ලබා දී ඇත.

එහිදී මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් තම සේවාදායකයන්ගේ මත විමසීම සඳහා කාලය අවශ්‍ය බවත් එබැවින් එම නඩුව හෙට දින කැඳවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවා තිබුණු අතර, එහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ පෙන්වා දී ඇත්තේ මෙය හදිසි කටයුත්තක් බැවින් කල්දැමීම සුදුසු නොවන බවයි.

ඒ අනුව අදාළ නඩුව යළි හෙට කැඳවීමට නියමිතය.

මීට අදාළ ව ලංකා ගුරු සංගමය මගින් ද ඊයේ (01) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකෙරිණි.

සබැඳි පුවත්

ක්‍රිකට් විගණන වාර්තා එනතෙක් ඇමති සීරුවෙන් : ක්‍රිකට් ආයතනය අර්බුදයක!

විගණකාධිපතිවරයාගේ වාර්තාව ලැබෙන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධව කිසිඳු පියවරයක් නොගන්නා බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා සහ එම ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා විසින් ගොනු කළ ගොනුකළ පෙත්සමක් ඊයේ (‍පෙබරවාරි : 01) සලකා බැලූ අවස්ථාවේදී අමාත්‍යවරයා එම ප්‍රතිඥාව ලබාදී ඇත.

ඕස්ට්‍රේලියාවේ පැවැති කුසලාන විස්සයි – 20 ක්‍රිකට් තරගාවලිය සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් පැනනැගුණු සිදුවීම් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සමයේ සිදුකරන ලද මූල්‍ය අවභාවිතාව සම්බන්ධයෙන් වන චෝදනා පිළිබඳ සොයා බැලීම සඳහා පත්කරන ලද පංච පුද්ගල විමර්ශන කමිටු වාර්තාව පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අහෝසි කිරීම වළක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාල පෙත්සම ගොනු කර තිබිණි.

මේ වනවිට ක්‍රිකට් බලධාරීන් 16 දෙනකු එරට සංචාරය කිරීමට මුදල් වැය කළ ආකාරය පිළිබඳ වෝහාරික විගණනයක් සිදුකිරීමට රජයේ විගණකාධිපතිවරයාට යොමු කර ඇත.

පසුගිය ( ජනවාරි 30) වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති ජාතික ක්‍රීඩා සභාවේ සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ පළමු රැස්වීමෙන් පසු විෂය බාර ඇමති රොෂාන් රණසිංහ මේ බව සඳහන් කළේය.

අදාල විමර්ශන කමිටුවේ සභාපතිත්වය විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන දැරූ අතර, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල, විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් කිංග්ස්ලි ප්‍රනාන්දු, විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලින් ද අල්විස් මෙම විමර්ශන කමිටුවේ සාමාජිකයෝ වූහ.

සබැඳි පුවත්