ක්‍රිකට් කමිටු වාර්තාව එළියට – බෝන් අගේන් ක්‍රිකට්වලින් ඈත් කරන්න – නිර්දේශ ගණනාවක්!

Share post:

ලෝක කුසලාන විස්සයි -20 ක්‍රිකට් තරගාවලිය සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් පැනනැගුණු සිදුවීම් ගණණාවක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සමයේ සිදුකරන ලද මූල්‍ය වංචා සම්බන්ධයෙන් මතු ඇති චෝදනා පිළිබඳ සොයා බැලීම සඳහා පත්කරන ලද පංච පුද්ගල විමර්ශන කමිටුවේ වාර්තාව පසුගියදා ඉදිරිපත් කෙරිණි.

ඒ අනුව ක්‍රිකට් ආයතනය සිදුකර ඇති මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කිරීම් සහ ක්‍රීඩකයන්ගේ විනය කඩකිරීම් සම්බන්ධ චෝදනා ගණනාවකට අදාලව නිර්දේශ සහ හෙළිදරව් කිරීම් මෙම වාර්තාවේ අන්තර්ගත වේ.

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාව බලා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් 16 වෙනුවෙන් දිනකට ඩොලර් 700 ක් මුදලක් වෙන් කර තිබේ. ඒ අනුව එම නිළධාරීන් වෙනුවෙන් දින දහයකට ඩොලර් 7000 ක් මුදලක් ලබා දී ඇත. ඊට අමතරව ඔවුන්ට ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශපත් වෙනුවෙන්ද වෙනම මුදල් වෙන් කර ඇත.

මෙම මූල්‍ය අවභාවිතා කිරීමට අමතරව ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක විසින් ඕස්ට්‍රේලියාවේ පදිංචි කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධ චෝදනාව මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඕස්ට්‍රේලියාවේ හෝටල් කාමරයක් තුළ පහනක් දැල්වීම සම්බන්ධයෙන්ද ‘බෝන් අගේන්’ නැමති ආගමික නිකායක් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වන අනිසි බලපෑම් සම්බන්ධයෙන්ද විමර්ශන කමිටුව විසින් පරීක්‍ෂණ කටයුතු කරනු ලැබිණ.

මෙහිදී ජාතික ක්‍රීඩා සභාවේ සභාපති හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග විසින් මෙම වාර්තාව සකස් කිරීම සඳහා තොරතුරු රැස් කිරීම සඳහා විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ තතු දන්නා රාජ්‍ය නිලධාරීන්, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ පාස්ටර් ජෙරොම් ප්‍රනාන්දු, බෝර්න්-අගේන් ආගමික නිකායේ ප්‍රධානීන් කැඳවා සාක්ෂි ලබාගෙන තිබුණි.

එහිදී ‘බෝන්-අගේන්’ ආගමික නිකායේ නායකයා යැයි කියන ජෙරොම් ප්‍රනාන්දු ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කිසිවකු ඔහුගේ සහය පතා පැමිණ නැති බවයි. එහෙත් තවත් අවස්ථාවක පරස්සපර සාක්ෂි ලබාදෙමින් ඔහු පවසා තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන තම දේවස්ථානයේ සාමාජිකත්වය ලබාගත් අනුගාමිකයින් හත් දෙනෙකු පමණ සිටින බවට ඔහු පවසා තිබිණි.

ඒ අතර රුවන් කල්පගේ, භානුක රාජපක්ෂ, වැන්ඩර්සේ, ලින්ඩන් හැනිබල්, රොෂාන් අබේසිංහ එහි සාමාජිකයන් බවත් කුමාර් සංගක්කාරද මීට පෙර එහි සාමාජිකත්වය දැරූ නමුත් දැන් එසේ නොවන බවද ඔහු පවසා ඇත.

මීට අමතරව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී 2022-10-11 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සුදානම් කර තිබූ නිල උත්සවය සඳහා පිළියෙල කළ රාත්‍රි භෝජන සංග්‍රහයේදි ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිතයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් මලික් ෂවීර් ප්‍රවේශපත්‍ර විකුණා ඇති බවත් එහෙත් ඉන් ලැබුණු ආදායම පිළිබඳ තොරතුරක් නොමැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා සාක්ෂි දෙමින් හෙළිකර ඇත.

තවද ක්‍රිකට් ආයතනයේ වියදමින් පුහුණු උපදේශකවරයකු ලෙස ඔස්ට්‍රේලියාවට ගිය මහේල ජයවර්ධන Ministry of Crabs නමින් අවන්හලක් විවෘත කිරීමකට සහභාගි වී ඇති බවද අනාවරණය වී ඇත.

එම කමිටුවේ සභාපතිත්වය විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන දැරූ අතර, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල, විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් කිංග්ස්ලි ප්‍රනාන්දු, විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලින් ද අල්විස් මෙම විමර්ශන කමිටුවේ සාමාජිකයෝ වූහ.

විමර්ශන කමිටු වාර්තාවේ, 50 සහ 51 පිටුවල සටහන් ප්‍රධාන නිර්දේශ 5 කි.

I. 2022 ලෝක කුසලාන තරග සංචාරයේ ආදායම් සහ වියදම් පිළිබඳ වහාම ස්වාධීන විගණනයක් කිරීම

II. එසේ විගණනය කිරීමට පෙර සිදුකිරීමට පෙර, අදාළ ලේඛන වෙනස් වෙනස් කිරීමට හෝ සැඟවීම වලක්වාලීමට අවශ්‍ය පියවර ගැනීම

III. අනතුරුව ඉදිරිපත් කරුණු සලකා බලමින් ආයතනයේ අරමුදල් අවභාවිතා කළ සහ ඊට ආධාර උපකාර කළ සියලු දෙනාටම එරෙහිව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව මුදල් වංචා කිරීම, සාපරාධී විශ්වාසය කඩකිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම, අනර්ථය, යනාදී චෝදනා/චෝදනාවන් ඉදිරිපත් කරමින් නීති මගින් කටයුතු කිරීම

IV. 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32 (අ), (ආ) සහ (ඇ) වන වගන්ති වලට අනුව පහත දැක්වෙන අයුරින් ක්‍රියාකළ හැකිය.

V. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් ඉදිරියට පරිහරණය කිරීමේදී විශ්වාසනීයත්වය සහ විනිවිදභාවය තහවුරු කිරීම පිණිසත්, අවභාවිතා කිරීම/දූෂණ වළක්වාලීමටත්, ක්‍රීඩා අමාත්‍යංශයේ අධීක්‍ෂණය යටතේ, රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධවිධාන වලට අනුකූලව කටයුතු කිරීම.

1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32 (අ), (ආ) සහ (ඇ) වන වගන්ති පහත පරිදි වෙයි

32 (අ) සංගමයේ නිලධාරීන්ගේ හෝ සාමාජිකයන්ගේ දූෂණ, විෂමාචාරතා හෝ අක්‍රමිකතා යමක් සඳහා ප්‍රතිකර්ම යොදන ලෙස අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ලිඛිත නිවේදනයක් මගින් දැනුම් දෙනු ලැබූ විට, ඒ නිවේදනයේ සඳහන්ව තිබිය හැකි කාලය තුළදී එසේ ප්‍රතිකර්ම යෙදීමට අපොහොසත් වීම හෝ ප්‍රතිකර්ම යෙදීම නොසළකා හැරීම නිසා හෝ,
(ආ) අමාත්‍යංශයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙහි ලා අකර්මන්‍යව සිටීම සහ සහයෝගය නොදීම හෝ අවහිර කිරීම නිසා හෝ
(ඇ) සංගමයේ යුතුකම් හා කාර්යයන් ඉටු කිරීම පැහැර හැරීම නිසා
ජාතික ක්‍රීඩා සංගමයක් ලියාපදිංචි කිරීම ප්‍රතිශක්ති කිරීම හෝ එහි ලියාපදිංචිය අත්හිටුවීම හෝ අවලංගු කිරීම අමාත්‍යවරයාට සිදුකළ හැකි බවටද නිර්දේශ කරමු.

මෙම මූල්‍ය අවභාවිතා කිරීමට අමතරව ආරම්භක පිතිකරු ධනිෂ්ක ගුණතිලක විසින් ඕස්ට්‍රේලියාවේ පදිංචි කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධ චෝදනාව මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඕස්ට්‍රේලියාවේ හෝටල් කාමරයක් තුළ පහනක් දැල්වීම සම්බන්ධයෙන්ද ‘බෝන් අගේන්’ ආගම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වන අනිසි බලපෑම් සම්බන්ධයෙන්ද විමර්ශන කමිටුව විසින් පරීක්‍ෂණ කටයුතු කරනු ලැබිණ. එම කරුණු සම්බන්ධයෙන් ප්‍රධාන නිර්දේශ 4 කි.

■ ධනිෂ්ක ගුණතිලක මෙම චෝදනාවට ලක්වූයේ ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කරමන් සිටියදී වන බැවින් එහි අපකීර්තිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙන්ම සමස්ත ශ්‍රී ලංකාව හරහාත් යන බැවින්, අදාළ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ඔහුට දෙන දඬුවම, සියලුම ක්‍රීඩකයන්ට විනයගරුක වීමේ සහ ස්වයං පාලනයේ වැදගත්කම ලබාදෙන දඬුවමක් විය යුතුය.

■ චාමික කරුණාරත්න ඕස්ට්‍රේලියාවේදී නවාතැන් ගත් හෝටලයේදී පහනක් දැල්වීම සහ පුද්ගලයකු සමග ආරවුල් ඇතිකරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනටමත් දඬුවම් නියම කර ඇති බැවින්, තවදුරටත් ඔහුට දඬුවම් නොදිය යුතුය.

■ ‘බෝන් අගේන්’ ආගම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට යම් බලපෑමක් සිදු වී ඇත් ද යන්න නිශ්චිතවම නිගමනය කළ නොහැක. එසේ වුවද, ‘බෝන් අගේන්’ ආගම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරියේදී බලපෑම් සිදුවීමට ඉඩ ඇති බවට නිරීක්‍ෂණය වන හෙයින්, ඒ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කිරීම

■ ශ්‍රී ලංකාවට ජයක් අත්පත් කරදීම සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන් බුදුරජාණන් වහන්සේගෙන් සහ විවිධ දෙවියන් වහන්සේලාගෙන් පිහිට පතන බව පෙනී යන හෙයින්, ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩකයන් පිටත්ව යාමට පෙර, මීට පෙර වසර ගණනාවක් අනුගමනය කළ ආගමික වතාවත් නැවතත් ඇතිකරමින්, අප රටේ සුදුසු බෞද්ධ භික්ෂූන්වහන්සේ නමක් සහ/හෝ ආගමික පූජකතුමන්ලා සහභාගි කරවාගෙන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ආශිර්වාද කිරීමේ ක්‍රියාවලියක් නැවත ආරම්භ කිරීම.

තොරතුරු මූලාශ්‍ර – www.dailynews.lk / ලංකාදීප

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...