රැඳවුම් නියෝග දීර්ඝ නොකරයි : මුදලිගේ – සිරිධම්ම හිමි ත්‍රස්තවාදී චෝදනා දිගටම ?

Share post:

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ නිකුත් කර තිබෙන රඳවා තබාගැනීමේ නියෝගය තවදුරටත් දීර්ඝ නොකරනු ඇතැයි වාර්තා වේ.

මෙම රැඳවුම් නියෝග හෙට (18) දිනෙන් අවසන් වේ.

නීතිපතිට වාර්තාවක්

කෙසේ වෙතත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ඔවුන්ට එල්ල කර ඇති චෝදනා තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමට නියමිත බව ද වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් ත්‍රස්තවාදී අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සකස් කළ වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා ඇත.

හෙටත් අධිකරණයට

හෙට (18) වසන්ත මුදලිගේ යළිත් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය. මීට පෙර පසුගිය 14 දින ඔහු අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් පසුව ය.

ගල්වැව සිරිධම්ම හිමියන් වෙනුවෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකෙරුණු අතර, එය තාක්ෂණික හේතුවක් මත කල් දැමිණි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව

පසුගිය 10දා වසන්ත මුදලිගේගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කළ විජිත් මලල්ගොඩ සහ එස්.තුරෙයිරාජා යන විනිසුරුවරුන් නියෝග කළේ වහාම ඔහු මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කරන ලෙසයි. ඔහු අධිකරණ වෛද්‍යවරයා වෙත ද ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කෙරිණි. මෙහිදී වසන්ත මුදලිගේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රමුඛ නීතිඥ පිරිසක් අධිකරණයේ පෙනීසිටියේය.

එම නියෝගයට අනුව 14දා ඔහු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී හඳුනාගැනීමේ පෙරට්ටු කිහිපයකට ඉදිරිපත් කළ යුතු යැයි පවසමින් ඔහුගේ මුහුණ ආවරණය කොට අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබිණි.

කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරයා විසින් එම හඳුනාගැනීමේ පෙරට්ටුවලට අදාළ නඩු මොනවාදැයි විමසීමේදී, එබඳු කිසිදු නඩුවක් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට ත්‍රස්ත විමර්ශන නිලධාරීන් සමත් වූයේ නැත.

පොලිසියේ උපක්‍රම

එහිදී වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි කරුණු දක්වමින් අධිකරණයට දැනුම් දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග මත වසන්ත මුදලිගේ අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවද, ඔහුව තවදුරටත් කෙසේ හෝ රක්ෂිත භාරයේ තබාගැනීමේ අරමුණින් මෙබඳු කූඨ උපක්‍රම පොලිසිය විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

තාවකාලික පනතක්

1979 වර්ෂයේදී එවකට පාර්ලිමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත කරන ලද්දේ තාවකාලික පනත් කෙටුම්පතක් වශයෙනි. නමුත් ඒ තාවකාලික පනත අද දක්වාම වසර 43 ක කාලයක් අපගේ නීති පද්ධතිය තුළ, මර්දනය සඳහා ම රඳවාගෙන සිටින බවට පැවති සියලු ආණ්ඩුවලට චෝදනා එල්ල විය.

ව්‍යවස්ථා විරෝධීයි !

ව්‍යවස්ථා විශාරදයන් පෙන්වා දෙන්නේ මෙම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් සහ නිදහස සම්බන්ධ ප්‍රතිපාදනවලට පටහැනි බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සෑම සැකකරුවෙකුට ම තහවුරු කර ඇති නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයට සහ නඩු නැතුව දීර්ඝ කාලයක් රඳවාගැනීම ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති වධහිංසාවන්ගෙන් සහ කෲර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම්වලින් වැළකීමේ නිදහසට මෙය පටහැනි බවත් ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...