ලොහාන්ගේ බන්ධනාගාර වාර්තාව මුදාහැරීමේ නියෝගයක් : තොරතුරු පනත වැරදි ලෙස යොදාගැනීමේ උත්සාහය වරදී !

Share post:

අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරවලට ලොහාන් රත්වත්තේ මන්ත්‍රීවරයා ගොස් ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ඒක පුද්ගල කමිටු වාර්තාව තොරතුරු පනත යටතේ මුදාහරින ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව අද (02) අධිකරණ අමාත්‍යංශයට නියෝග කළේය.

කොමිෂන් සභාව එම නියෝගය කළේ සමාජය සහ සාමයික කේන්ද්‍රයේ (සීඑස්ආර්) පර්යේෂණ කණ්ඩායම කළ තොරතුරු ඉල්ලීමකට අදාළ අභියාචනයක් විභාග කිරීමෙන් පසුව ය.

කැබිනට් දැනුම්දීමක්

අධිකරණ අමාත්‍යංශයට මෙම තොරතුරු ඉල්ලීම යොමු කළ අවස්ථාවේ එම වාර්තාව ලබාදීම ප්‍රතික්ෂේප කරමින් එම අමාත්‍යංශය දැනුම් දී තිබුණේ මෙම වාර්තාව සකස් කළේ කැබිනට් මණ්ඩලයේ දැනුම්දීමක් මත බවයි. වාර්තාව සටහනක් සමඟ අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කළ ද, ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ගැන දැනුම්දීමක් කර නැති නිසා පනතේ 5(1)(ක) යටතේ තොරතුරු ලබා දිය නොහැකි බව කියමින් අමාත්‍යංශය තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණි.

කමිටු වාර්තාවක්

අද මෙම අභියාචනය විභාගයට ගත් අවස්ථාවේදී කොමිෂන් සභාව මෙම වාර්තාව කැබිනට් සංදේශයක් ද එසේ නැතිනම් වෙනත් යමක් ද යන්න ප්‍රශ්න කළ අතර, එම අවස්ථාවේ අධිකරණ අමාත්‍යංශය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එම්.එම්. අලීෆ් ප්‍රකාශ කළේ මෙය කමිටු වාර්තාවක් බවත්, එම කමිටු වාර්තාව සහටනක් (නෝට්) සමග කැබිනට් මණ්ඩලයට යොමු කළ බවත් ය.

පනතේ වගන්තිය

ඒ අනුව පනතේ 5(1)(ක) යටතේ ඇත්තේ කැබිනට් සංදේශයක් සම්බන්ධයෙන් පමණක් බවත්, කැබිනට් මණ්ඩලයට යොමු කළ සටහනක් (නෝට්) කැබිනට් සංදේශයක් ලෙස නොගැනෙන බවත් තීරණය කළ කොමිෂන් සභාව මෙම වාර්තාව මුදාහැරිය යුතු තොරතුරක් බවට තීන්දු කළේය.

නොදුන්නොත් නඩු

අදාළ කමිටු වාර්තාව පෙබරවාරි 23දාට පෙර කොමිෂන් සභාවට පිටපතක් සහිතව සමාජය සහ සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම වෙත මුදාහරින ලෙස අධිකරණ අමාත්‍යංශයට දැනුම් දුන් කොමිෂන් සභාව, නියමිත දිනට ප්‍රථම එම වාර්තාව ලබාදීමට අපොහොසත් වුවහොත් පනතේ 39 වැනි වගන්තිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට ද තීරණය කළේය.

අද මෙම අභියාචනය කැඳවූයේ තොරතුරු කොමිසමේ සභාපති උපාලි අබේරත්න, කොමසාරිස්වරුන් වන නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන, නීතිඥ ජගත් ලියන ආරච්චි සහ ඒ.එම්. නහියා ඉදිරියේ ය. අභියාචනා විභාගය සඳහා සමාජය සහ සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම වෙනුවෙන් නීතිඥ සුරේන් ඩී. පෙරේරා, නීතිඥ මනුෂිකා කුරේ සමග තරිඳු ජයවර්ධන සහ ෆාතිමා රස්මා පෙනී සිටි අතර, අධිකරණ අමාත්‍යංශය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එම්.එම්. අලීෆ් පෙනීසිටියාය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...