ලොහාන්ගේ බන්ධනාගාර වාර්තාව මුදාහැරීමේ නියෝගයක් : තොරතුරු පනත වැරදි ලෙස යොදාගැනීමේ උත්සාහය වරදී !

Share post:

අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරවලට ලොහාන් රත්වත්තේ මන්ත්‍රීවරයා ගොස් ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ඒක පුද්ගල කමිටු වාර්තාව තොරතුරු පනත යටතේ මුදාහරින ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව අද (02) අධිකරණ අමාත්‍යංශයට නියෝග කළේය.

කොමිෂන් සභාව එම නියෝගය කළේ සමාජය සහ සාමයික කේන්ද්‍රයේ (සීඑස්ආර්) පර්යේෂණ කණ්ඩායම කළ තොරතුරු ඉල්ලීමකට අදාළ අභියාචනයක් විභාග කිරීමෙන් පසුව ය.

කැබිනට් දැනුම්දීමක්

අධිකරණ අමාත්‍යංශයට මෙම තොරතුරු ඉල්ලීම යොමු කළ අවස්ථාවේ එම වාර්තාව ලබාදීම ප්‍රතික්ෂේප කරමින් එම අමාත්‍යංශය දැනුම් දී තිබුණේ මෙම වාර්තාව සකස් කළේ කැබිනට් මණ්ඩලයේ දැනුම්දීමක් මත බවයි. වාර්තාව සටහනක් සමඟ අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කළ ද, ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ගැන දැනුම්දීමක් කර නැති නිසා පනතේ 5(1)(ක) යටතේ තොරතුරු ලබා දිය නොහැකි බව කියමින් අමාත්‍යංශය තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණි.

කමිටු වාර්තාවක්

අද මෙම අභියාචනය විභාගයට ගත් අවස්ථාවේදී කොමිෂන් සභාව මෙම වාර්තාව කැබිනට් සංදේශයක් ද එසේ නැතිනම් වෙනත් යමක් ද යන්න ප්‍රශ්න කළ අතර, එම අවස්ථාවේ අධිකරණ අමාත්‍යංශය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එම්.එම්. අලීෆ් ප්‍රකාශ කළේ මෙය කමිටු වාර්තාවක් බවත්, එම කමිටු වාර්තාව සහටනක් (නෝට්) සමග කැබිනට් මණ්ඩලයට යොමු කළ බවත් ය.

පනතේ වගන්තිය

ඒ අනුව පනතේ 5(1)(ක) යටතේ ඇත්තේ කැබිනට් සංදේශයක් සම්බන්ධයෙන් පමණක් බවත්, කැබිනට් මණ්ඩලයට යොමු කළ සටහනක් (නෝට්) කැබිනට් සංදේශයක් ලෙස නොගැනෙන බවත් තීරණය කළ කොමිෂන් සභාව මෙම වාර්තාව මුදාහැරිය යුතු තොරතුරක් බවට තීන්දු කළේය.

නොදුන්නොත් නඩු

අදාළ කමිටු වාර්තාව පෙබරවාරි 23දාට පෙර කොමිෂන් සභාවට පිටපතක් සහිතව සමාජය සහ සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම වෙත මුදාහරින ලෙස අධිකරණ අමාත්‍යංශයට දැනුම් දුන් කොමිෂන් සභාව, නියමිත දිනට ප්‍රථම එම වාර්තාව ලබාදීමට අපොහොසත් වුවහොත් පනතේ 39 වැනි වගන්තිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට ද තීරණය කළේය.

අද මෙම අභියාචනය කැඳවූයේ තොරතුරු කොමිසමේ සභාපති උපාලි අබේරත්න, කොමසාරිස්වරුන් වන නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන, නීතිඥ ජගත් ලියන ආරච්චි සහ ඒ.එම්. නහියා ඉදිරියේ ය. අභියාචනා විභාගය සඳහා සමාජය සහ සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම වෙනුවෙන් නීතිඥ සුරේන් ඩී. පෙරේරා, නීතිඥ මනුෂිකා කුරේ සමග තරිඳු ජයවර්ධන සහ ෆාතිමා රස්මා පෙනී සිටි අතර, අධිකරණ අමාත්‍යංශය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එම්.එම්. අලීෆ් පෙනීසිටියාය.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...