චෝදනා කළ කොමිසමත් එක්ක වැඩ බලන පොලිස්පති හවුලකට යයි : ශානි අධීක්ෂණයට ෆ්‍රයිඩ් රයිස් වෝටර් මෙලන් – අනුර ඊළඟට මොනවා කරයිද ?

Share post:

ආන්දෝලනයට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අධ්‍යක්ෂ ධුරය දරන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය බාර නියෝජ්‍ය පොලිස්පති ධුරයට කුප්‍රකට ඉතිහාසයක් සහිත නිලධාරියකු පත්කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිඛිතව දැනුම්දීමට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් තීරණය කර තිබේ.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මීට පෙර බාර ව සිටියේ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව ය. ඔහු මොනරාගල බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති අතර, ඒ වෙනුවට පත්කර ඇත්තේ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ඩයස් ය.
රොෂාන් ඩයස් මීට පෙර දරන ලද්දේ පොලිස් මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ධුරයයි. එම ධුරයට ඔහු පත්කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පති ධුරයේ රාජකාරි කිරීම අත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ය.

රොෂාන් ඩයස් නිලධාරියා සමාජයේ හාස්‍යයට ලක්වූ අවස්ථාවක් වූයේ පාර්ලිමේන්තුව ආසන්නයේ පැවති විරෝධතාවක් මර්දනය කිරීමේදී ෆ්‍රයිඩ් රයිස්, වෝටර් මෙලන් යන වචන භාවිත කරමින් අමුතු හැසිරීමක් පෙන්නුම් කිරීම නිසා ය. එසේම ගෝඨාභය රාජපක්ෂ පලායෑමෙන් පසු පාර්ලිමේන්තුව හරහා ජනාධිපති ධුරයට පත්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාලයේදී කොළඹ පැවති විරෝධතාවලට හේතුවක් නොමැතිව ජල ප්‍රහාර, කඳුළු ගෑස් එල්ල කිරීම, පහර දීම, පුද්ගලයන් විශාල වශයෙන් නිකරුණේ අත්අඩංගුවට ගැනීම සහ වධහිංසා කිරීම පිළිබඳ බරපතළ චෝදනා රැසක් ද ඔහුට එල්ල වී තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කිසිදු පියවරක් ගෙන නැති බවයි. බලය අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කිසිදු අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා නොමැති අතර, ඔහුට එරෙහිව මර්දනයට ලක්වූවන් විසින් සිදුකරන ලද පැමිණිලි විධිමත්ව විමර්ශනය කිරීමක්ද සිදු ව නැත.

2022 ඔක්තෝබර් 09දා ඉටිපහන් දැල්වීම සඳහා ගෝල්ෆේස් පිටියට රැස්වූ පිරිසකට අත්තනෝමතික ලෙස පහර දුන් පොලිස් නිලධාරීන් මෙහෙයවුයේ ද මේ නිලධාරියා විසින් ය.එහිදී ළමයින්ට ද පහර දීම සිදු විය. ඔක්තෝබර් 10දා ඊට එරෙහිව පැවති විරෝධතාවක් අතරතුර ගාලු-කොළඹ මාර්ගය වසා දැමූ රොෂාන් ඩයස් එම අවස්ථාවේ පාරේ ගමන් කළ පුද්ගලයන්ට ගමන් කරන්නට නොදී අයුතු අවහිරයක නිරත විය. ඊට එරෙහිව මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පෞද්ගලිකව කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ රොෂාන් ඩයස් සහ නලින් දිල්රුක් යන නිලධාරීන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමක් සිදු කළේය. එහෙත් නීතිපතිවරයා එයට එරෙහි වූ නිසා එම නඩුව විභාගයට නොගැනිණි.

දේශබන්දු තෙන්නකෝන්ගේ විශේෂ සැලකීම ලැබූ චුදිත පොලිස් නිලධාරීන් අතර රොෂාන් ඩයස් ඉදිරියෙන්ම සිටී. මෙවැනි නිලධාරියකු අදාළ තනතුරට පත්කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්, එම නිසා මේ තීරණය වහාම වෙනස් කළ යුතු බවත් ජනාධිපතිවරයාට මේ පිළිබඳව දැනුම්දීමට සුදානම් වන විශ්‍රාමික පොලිස් නිලධාරීහු අවධාරණය කරති. එසේම වැඩ බලන පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මෙවැනි තීරණ ගැනීමේ පදනම පැහැදිලි කළ යුතු බව ද ඔවුහු පෙන්වා දෙති.

පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීමේ වගකීම තමන්ට පවරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කළ ඉල්ලීමක් ජාතික පොලිස් කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර තිබූ අතර, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පියවර ගෙන තිබිණි. මෙසේ පොලිස් කොමිෂන් සභාව සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අතර ඇති වී ඇති ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් 2025 පෙබරවාරි 22දා පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේය. එහිදී වැඩ බලන පොලිස්පතිවරයා පිළිතුරු දුන්නේ මෙසේ ය.

‘පොලිස් කොමිසම සමග හඳුනාගත් ප්‍රශ්න තියෙනවා. ඔවුන් ලංකාවේ නීතිය අනුව කටයුතු කරනවා. ලෝකයේ නීතිය අනුව පොලිස් කොමිසම තියෙන්නේ පොලිසියේ අභ්‍යන්තරය පාලනය කරන්න නොවේ. ඒක තියෙන්නේ මහජනතාවගේ ප්‍රශ්න විසඳන්න සහ පොලිස් නිලධාරීන්ගේ යම් විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කිරීමටයි. ඒ දෙකම පැත්තක තියලා වැරදි තැනකට පොලිස් කොමිසම ඇවිත් තියෙනවා.

එහිදී අපට පොලිසිය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම පොලිස් කොමිසමට ලිඛිතව දැනුම්දී තියෙනවා. විශේෂයෙන් පත්කිරීම්, විනයානුකූලව කටයුතු කිරීම් සහ ස්ථාන මාරුකිරීම් කරන්න බැරි නම් පොලිස්පතිවරයා නාමිකව විතරක් පත්වෙනවා. ස්ථානාධිපති පත්කිරීම ගැන නීතිපතිගෙන් අර්ථකථනයක් ගත්තා. එහිදී කියැවුණේ පත්කිරීම කියන්නේ පත්කිරීමක් නොවෙයි ස්ථාන මාරුකිරීමක් කියලායි.

මේ නිසා අපි නිතරම ඉල්ලා සිටින්නේ පොලිස් ස්ථානාධිපති පත් කිරීම, ඔහු සම්බන්ධයෙන් කටයුතු කිරීම පොලිස්පතිවරයාට පැවරිය යුතුයි කියලයි. පසුගිය කාලයේ නැවත සේවයට පත් කිරීම්වලත් ලොකු ගැටලුවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් කොමිසමට දැනුම් දීලා තියෙනවා.’

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පළකළ මෙම අදහස් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක පවසා තිබිණි. ඔහු අවධාරණය කර තිබුණේ පොලිස් කොමිසමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා ඇති රාජකාරි සිදු කළ යුතු ව ඇති බවය.

මේ අවස්ථාවේදී වැඩ බලන පොලිස්පතිවරයා පළකළ අදහස් සම්බන්ධයෙන් සමාජයේ බහුතරයකගෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබිණි. පොලිස් කොමිසමේ සභාපතිවරයාගේ ඇතැම් අත්තනෝමතික ක්‍රියාකාරිත්වයන් සහ පොලිස් කොමිසමේ සාමාජිකයන්ගේ ස්වාධීනත්වය පිළිබඳව ඇති ගැටළු ද එහිදී අවධානයට ලක් විය.

මෙවැනි තත්ත්වයක් යටතේ පොලිස්පතිවරයාගේ නිර්දේශයකට අනුව පොලිස් කොමිෂන් සභාව විසින් රොෂාන් ඩයස් වැනි අත්තනෝමතික නිලධාරියකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය බාර නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත්කිරීම බරපතල ගැටලුවකි. එනම් ගැටුම් සහිතව පැමිණි මග අත්තනෝමතික තීරණයකදී එක තැනකට පැමිණ ඇත.

මෙහිදී මතක් කළ යුතු තවත් කරුණක් වන්නේ ප්‍රියන්ත වීරසුරියගේ වැඩ බලන පොලිස්පති ධුරය ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක විසින් දිගින්-දිගටම අභියෝගයට ලක්කිරීමයි. ඒ වීරසුරියට වැඩ පතිනායක ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉදිරියෙන් සිටීම නිසා ය. මේ අර්බුදය පිළිබඳව වැඩ බලන පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්නට ද පැමිණිලි කර තිබිණි.

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකරන බහුතරයක් විසින් දිගින්-දිගටම නිරීක්ෂණය කරන ලද කරුණක් වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක සමග බොහෝ ස්ථානවලට යෑමට වැඩ බලන පොලිස්පතිවරයා දක්වන දැඩි උනන්දුවයි.

මේ අතර දේශබන්දු තෙන්නකෝන්ගේ පොලිස්පති ධුරය පිලිබඳ විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති විමර්ශන කමිටුවේ සාක්ෂි විභාගය හෙට (26) අවසන් කිරීමට නියමිත ය. ඉන්පසු ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට දෙපාර්ශ්වයටම අවස්ථාව ලැබේ. එම කටයුතු අවසාන වීමෙන් පසු කමිටුව විසින් සිය වාර්තාව සකස් කොට පාර්ලිමේන්තුවට යොමුකළ යුතුය. 2002 රාජ්‍ය නිලධරයන් පත්කිරීමේ ඉවත්කිරීමේ පනතට අනුව පාර්ලිමේන්තුව සරල බහුතරයෙන් එම යෝජනාව සම්මත කළ යුතුය. දේශබන්දු තෙන්නකෝන්ගේ පොලිස්පති ධුරය පිළිබඳ තීරණය වන්නේ එසේ ය. ඔහුගේ පොලිස්පති ධුරය මේ වන විට මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කර ඇති අතර, එම පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. ඒ තහනම් නියෝගයක් ද සමග ය. ඊට අමතරව වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීම පිළිබඳ නඩුව ඇතුළු ආන්දෝලනාත්මක නඩු කිහිපයකට අදාළ විමර්ශන ද දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව සිදු වේ.
මේ තත්ත්වය යටතේ දේශබන්දු තෙන්නකෝන්ගේ පොලිස්පති ධුරය අහිමි කිරීමට පාර්ලිමේන්තුව කටයුතු කළහොත්, ජනාධිපතිවරයා විසින් මීළඟ පොලිස්පති ධුරයට අයෙකු නිර්දේශ කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යැවිය යුතුය. ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් නව පොලිස්පතිවරයා පත්කිරීම සිදු වේ.

වර්තමාන වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය 2026 වසරේදී විශ්‍රාම යෑමට නියමිත අතර, ඔහු සමග ජ්‍යෙෂ්ඨත්වය පිලිබඳ බරපතළ ගැටුමක සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක විශ්‍රාම යෑමට නියමිත ව ඇත්තේ 2033 වසරේදී ය. ඔහු සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස පොලිස් සේවයට එක්වූ අයෙකු වන අතර, වීරසූරිය උප පොලිස් පරීක්ෂකවරයෙකු පොලිස් සේවයට එක්වී තිබේ. උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක්වූ නිලධාරියකු පොලිස්පති ධුරය දක්වා පැමිණ ඇත්තේ මුල් වතාවට වන අතර, ඔහුගේ සේවය පිලිබඳ බලාපොරොත්තු සහගතව විවිධ අදහස් පළවිය.

පොලිස් සේවය ස්වාධීන, මිත්‍රශීලී හා මහජනයාට සමීප සේවාවක් බවට පත්කිරීම තම අරමුණ බව ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වේ. පොලිස් මහජන සබඳතා කමිටු පිහිටුවීම, පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් සම්බන්ධයෙන් පැය 24ක් තුළ සැකකරුගේ ඥාතීන්ට දැනුම්දීම, පොලිස් ස්ථානයකින් යම් සැකකරුවෙක් එළියට ගෙනයන්නේ නම් මහෙස්ත්‍රාත්ට දැනුම්දීම, පැමිණිලි ඉක්මනින් විමර්ශනය, පොලිස් සේවයේ ස්ථාන මාරු පොලිස් කොමිසම හරහා සිදුකිරීම, උසස්වීම් පටිපාටි විධිමත් කිරීම, පොලිස් සේවයේ වැටුප් සහ දීමනා රාජ්‍ය සේවකයින්ට සමානුපාතිකව ඉහළ දැමීම යන කරුණු ද එහි නිශ්චිතව දක්වා ඇත.

එසේම එහි නීතිය මත පාලනයක් – සම්ප්‍රවේශී අධිකරණ පද්ධතියක් යන ශීර්ෂය යටතේ දක්වා ඇත්තේ අධිකරණය මගින් ස්වාධීනව හා කාර්යක්ෂමව යුක්තිය පසිඳලීම මෙන්ම මහජනයාට ඒ ක්‍රියාවලිය පිළිබඳව ඇති විශ්වාසයත් නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරිමෙහිලා අතිශය වැදගත් වන බවයි. එහෙත් රොෂාන් ඩයස්ලාට එරෙහි චෝදනා පිලිබඳ විධිමත් විමර්ශනයක් හෝ මෙතෙක් සිදු කර නැත.
එවැනි තත්ත්වයක් යටතේ ආණ්ඩුව පවසන ස්වාධීන, කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් හා මහජනතාවට දැරිය හැකි අධිකරණ පද්ධතියක් ඇති කිරීමෙන් ඒ පිළිබඳව බිඳීගිය ජනතා විශ්වාසය නැවත ගොඩනගා දිය හැකිද යන්න ගැටලුවකි.

Related articles

“තවදුරටත් ට්‍රම්ප්ගේ වචන විශ්වාස කරන්න බෑ. මින් ඉදිරි හෝරා කිහිපය අතිශයින්ම තීරණාත්මකයි” – ඉරානය

ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනක් ඉලක්ක කරගෙන 22 වැනිදා අළුයම ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පැය කිහිපයකට පස්සේ අල්-ජසීරා රූපවාහිනය...

“අරගලයෙන් ඔබ්බට 200+”: මලයහ දෙමළ ජනයා පිළිබඳ ප්‍රබල දෘශ්‍ය වංශකථාවක්

දීර්ඝකාලීනව ලාංකික සිවිල් සමාජයේ බිම් මට්ටමේ ප්‍රජා සේවාවන්හි නියැ⁣ලෙන Center for Policy Alternatives, Suya Shakthi Institute සහ Uva...

ඇමරිකානු නිළධාරීන් පුදුමයට පත්කරමින් ට්‍රම්ප් සටන් විරාමයක් නිවේදනය කරයි…

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඉරාන නිලධාරීන් සමඟ කතා කිරීමෙන් පසු ජනාධිපති ට්‍රම්ප් හදිසියේම ඊශ්‍රායලය සහ ඉරානය අතර...

අකටයුතු නාදකයන්ගේ දිනය අදයි – ඒ කවුද? : මොනවද කරන්නෙ?

අද (23) අකටයුතු නාදකයන්ගේ ජාත්‍යන්තර දිනයයි. (International Whistleblowers Day) අකටයුතු නාදකයන් යනු කවුද, ඔවුන් සමාජයක ඉදිරි ගමනට කොපමණ...