“මුදලිගේ සහ සිරිධම්ම හිමියන්ට බලපාපු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කරුණා, පිල්ලෙයාන්, කේ.පී. ට තිබුනද?”

Share post:

ජාතික ජන බලවේගයේ නීතිඥ අකලංක උක්වත්ත පසුගිය දා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස්

“පරමාධිපත්‍ය බලය ජනතාවගෙන් අත්හැරිය නොහැකියි. ඒ බලය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ජනතාව පාරට බැස්සා. ඒ පාරට බැසීම නම් කළේ අරගලය කියලා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරමින් ජේ.ආර්. ජයවර්ධන ආවේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. මහින්ද රාජපක්ෂගේ සිට මේ ආණ්ඩුව දක්වා ක්‍රියාත්මක කරන්නේ ඒ ප්‍රතිපත්තිමයි. වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් විසින් සිදුකළ වරද ධර්මිෂ්ඨ පාලනයක් මේ රටේ ඇතිකිරීම සම්බන්ධයෙන් විරුද්ධ වීමද? ව්‍යවස්ථාව බිඳ ත්‍රස්ත ක්‍රියාවක් කර, ඒ නිසාම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිට දැන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින්නේ ඒ නිසාද? 1979 ඇති කළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන ආවේ ධර්මිෂ්ඨ සමාජය බිහිකිරීමට විරුද්ධව ක්‍රියාකරන අය මැඩපැවැත්වීමටද? වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි එවැනි ක්‍රියාවක් කර තිබෙනවා නම්, මේ රටේ බහුතර ජනතාවක් විසින්ද එය සිදුකර තිබෙනවා. ජනතාවගේ දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් හඬ නැගීම මර්දනය කිරීමට යොදා ගන්නා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ත්‍රස්තවාදය යන්නට පැහැදිලි නිර්වචනයක් නැහැ. අහිංසක මිනිසුන්ව කොටු කිරීමට එය යොදා ගන්නවා.

රනිල් වික්‍රමසිංහට කේ.පී. එදා

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැගෙනහිර ප්‍රදේශය බාරව සිටි සන්නද්ධ නායක කරුණා අම්මාන්, පිල්ලෙයාන් වගේ අයට විරුද්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදවා ගත්තාද? කේ.පී. සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට එදා විපක්ෂයේ සිට ලොකු විවේචන තිබුණා. ඒ කේ.පී.ට විරුද්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගත්තාද? නමුත් අරගල කාල වකවානුවේ වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හාමුදුරුවෝ ගල් කැටයක් හරි අතින් අරන් ඉන්නවා කවුරු හරි දැක්කාද? අපිට ලැබෙන්න තිබෙන දේවල් ආණ්ඩුවේ උදවිය හොරකම් කරල, සූරා කාලා තිබීම ගැන අපිට ප්‍රශ්න කරන්න බැරිද? ආරක්ෂක ඇමතිවරයාගේ අත්සන අනුව දින 90ක රැඳවුම් නියෝග යටතේ සිටි මේ දෙදෙනා සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් පවරා තිබුණා. රනිල් රාජපක්ෂ ඒ රැඳවුම් නියෝග දීර්ඝ නොකර දින 14න් 14ට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. දැන් නීතිපතිතුමා යටතේ මේ දෙදෙනා සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ හැකියාව තිබෙනවා. ඔවුන් දින 90ක් රඳවාගෙන සිටියාට ඒ කාලය පුරාම දින 03කදී පැය පහක් පමණක් ප්‍රශ්න කර තිබුණා. ඒ අවස්ථා තුනේදීම වසන්ත මුදලිගේ ප්‍රශ්න කර ඇත්තේ තමන් කළ ත්‍රස්තවාදී ක්‍රියාව කුමක්ද කියලයි. ඒ ප්‍රශ්නයට උත්තර නැහැ.

නීතිපතිතුමා වගකියන්නේ ජනරජයට, රටේ ජනතාවට මිස ආණ්ඩුවලට නොවෙයි

ඒ මුළු කාලයේම පොලීසියෙන් ප්‍රශ්න කර තිබෙන්නේ නිට්ටඹුවේදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඝාතනය කිරීම, ජනාධිපති මන්දිරයට ඇතුළු වීම, අරලියගහ මන්දිරයට ඇතුළු වීම, ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීම යන කාරණා ගැනයි. මන්ත්‍රීවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දැනටමත් අත්තනගල්ල උසාවියේ මිනීමැරුම් චෝදනා සම්බන්ධ නඩුවක් තිබෙනවා. අනෙක් චෝදනා සම්බන්ධයෙන් වෙන වෙනම කොටුව මහේස්ත්‍රාත් උසාවියේ නඩු පවරා තිබෙනවා. දණ්ඩ නීති සංග්‍රහය යටතේ අදාළ චෝදනා සම්බන්ධයෙන් අත්තනගල්ල සහ කොටුව උස්විවල දැනටමත් නඩු පවරා තිබියදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ දෙදෙනා රඳවා ගෙන ඉන්නේ මොකටද? අධිකරණවල නඩු පවරා තිබෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළ නොවන කරුණු සම්බන්ධයෙන්. ඒ චෝදනා සියල්ල දණ්ඩ නීති සංග්‍රහය යටතේ තිබෙන්නේ. එහෙම නම්, නීතිපතිවරයා යටතේ අත්තනගල්ල සහ කොටුව උසාවිවල පවරා තිබෙන නඩුවලට මොකද වෙන්නේ? නීතිපතිතුමා පොලීසියට උපදෙස් දෙනවා. දින 90ක් තිස්සේ පොලිස් විමර්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් නීතිපතිතුමා සවිඥානක වෙන්න ඕනෑ. දින 90ක් පසුවී තිබියදී විමර්ශන අවසන් නැහැ කියන්නේ හිරිහැර කිරීම හැර වෙනත් අරමුණක් නැති බවයි. දැන් නීතිපතිතුමා මේ දෙදෙනාට ඇප නොදීමට පවතින හේතු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. නීතිපතිතුමා වගකියන්නේ ජනරජයට සහ මේ රටේ ජනතාවට මිස කාලයෙන් කාලයට පත්වෙන ආණ්ඩුවලට නොවෙයි.

පාස්කු ප්‍රහාරය අතට අරගෙන ගෝඨාභය රාජපක්ෂ බලයට ඇවිත් මුලින්ම කළේ හිස්බුල්ලා නීතිඥ මහත්මයා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා ගැනීමයි. සහරාන් සම්බන්ධයෙන් මහාධිකරණයේ පවත්වාගෙන යන නඩුවේ හිස්බුල්ලා මහත්මයා වගඋත්තරකරුවෙකු කර සිටිනවාද? නැහැ. එහෙම නම්, ඒ කාලෙත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන බොරුවක් කළ බව පැහැදිලියි. දවස් 90කට වැඩිය රඳවාගෙන සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් නැහැ. ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, පොලිස්පති සහ නීතිපති වගකියන්න ඕනෑ. සහරාන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉතිහාසය මෙහෙම නම්, වසන්ත මුදලිගේ සහ සිරිධම්ම නිදහස් කිරීමේ අවකාශය නීතිපතිතුමාට තිබෙනවා. තමන්ගේ නීතිමය භාවිතය ඒ සම්බන්ධයෙන් ඉෂ්ට කරන ලෙස නීතිපතිතුමාට අපි අවධාරණය කරනවා.”

සබැඳි පුවත්

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...