ආණ්ඩුව පොලිසිය යොදවා සීමාවක් නැතුව අධිකරණයට අපහාස කරයි !

Share post:

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ චෝදනා ගොනුකර තවදුරටත් සිරගත කිරීමට එරෙහිව අද (18) කොළඹ නගරය පුරා ස්ථාන රැසකදී විරෝධතා රැසක් පැවැත්විණි.

පහරදීම් – අත්අඩංගුවට ගැනීම්

එම ශිෂ්‍ය බල මණ්ඩලය මගින් සංවිධානය කරන ලද මෙම විරෝධතා වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට, නාරාහේන්පිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාස මූලස්ථානය ඉදිරිපිට, මල් පාර, බෞද්ධාලෝක මාවත ඇතුළු ස්ථාන රැසකදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙම විරෝධතා මර්දනය සඳහා දැවැන්ත පොලිස් බලකායක් කොළඹ නගරය පුරා යොදවා තිබූ අතර, අවස්ථා ගණනාවකදී විරෝධතාකරුවන් මර්දනය සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කෙරිණි.
එසේම විරෝධතාකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය කටයුතු කළ අතර, අත්අඩංගුවට ගත් විරෝධතාකරුට පොලිස් ජීප් රථය තුළදී සහ පොලිසිය තුළදී පහර දී ඇතැයි විරෝධතාකරුවෝ චෝදනා කළහ.

‘පොලිසියට ගැහුවා’

මෙම චෝදනාව සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ විහාරමහාදේවි උද්‍යානය අසල දී පොලිස් නිලධාරියෙකුට පහරදීම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි. ඔහුට පහරදීමක් සිදු වූයේද යන්න සම්බන්ධයෙන් තමන් නොදැනුවත් බවත්, එසේ සිදු වී ඇත්නම් ඔහුට නීතිඥවරුන් මගින් එය අධිකරණයට දැනුම් දිය හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

‘නවත්තන්න බෑ’

විරෝධතාව සම්බන්ධයෙන් thetime.lk සමග අදහස් දක්වමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු ටෙරන්ස් රොද්‍රිගු පැවසුවේ විරෝධතා උත්සන්න වීම නිසා වසන්ත මුදලිගේ – සිරිධම්ම හිමිට එරෙහි රැඳවුම් නියෝග දීර්ඝ නොකළද, ඔවුන් හිර කිරීමේ උත්සාහය තවදුරටත් තීව්‍ර කරමින් සිටින බවයි. ඒ සඳහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ ම ඇතැම් වගන්ති යොදාගැනීමේ උත්සහයක් පවතින බවත්, ආණ්ඩුව කුමන මර්දනයක් දියත් කළ ද, මර්දනයට එරෙහි අරගලය අඩපණ කළ නොහැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් ජාතීන් කියන්නේ කුමක්ද?

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය අසලදී ද විරෝධතාකරුවන්ට පහර දීම සිදු විය. මේ පිළිබඳව thetime.lk සමග අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවසුවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ කොළඹ නියෝජිතයන් මේ සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද යන්න පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බවයි.
මේ සම්බන්ධයෙන් විමසීමක් කරමින් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට thetime.lk ඊමේල් පණිවුඩයක් යොමු කළ ද, මෙතෙක් ඊට පිළිතුරක් ලබාගත නොහැකි විය.

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගත් මූලික අයිතිවාසිකමකි. එම අයිතිය තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නඩු තීන්දු රැසක් ද ලබා දී තිබේ.

ව්‍යවස්ථාවේ 14 (1)(අ)

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාවේ මෙසේ දක්වා ඇත. සෑම පුරවැසියෙකුට ම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය. එනම් ව්‍යවස්ථාවට අනුව එය පුරවැසියන්ට ඇති අයිතියකි.

14(1)(අ) ව්‍යවස්ථාවේ සීමාව

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 ව්‍යවස්ථාවේ දක්වා තිබෙන්නේ ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති මූලික අයිතිවාසිකම් සීමා කළ හැකි අවස්ථා ය. එහි 15(2)ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ හෝ ක්‍රියාත්මක විය හැක්කේ ආගමික හෝ වාර්ගික සහයෝගිතාව තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසය හෝ වරදකට පෙළඹවීම සම්බන්ධයෙන් නීතියෙන් නියම කරනු ලැබූ සීමාවන්ට යටත්ව බව ය.

එසේම 15(7) ව්‍යවස්ථාවේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ රාජ්‍ය ආරක්ෂාව ද, රටේ යථාපැවැත්ම ද තහවුරු කිරීම පිණිසත්, මහජන සෞඛ්‍ය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත්, අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට නිසි පරිදි ගරු කරන බවට වග බලාගැනීම පිණිසත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු සුබසාධනය සඳහා යුක්ති සහගත අවශ්‍ය දෑ සපුරාලීම පිණිසත් නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාකිරීම්වලට යටත්ව බව ද සඳහන් ය.

නඩු තීන්දු

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගනිමින් නඩු තීන්දු රාශියක් ලබාදී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දු ලබාදීමේදී ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාව පමණක් හුදෙකලා කොට තීන්දු ලබා දී නැත. එම ව්‍යවස්ථාවෙන් සංස්ථාපනය කොට ඇති අයිතිය සලකා බැලිය යුත්තේ 15(2) සහ 15(7) ව්‍යවස්ථාවල සඳහන් තත්ත්වයන් සමග ය.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දු කිහිපයක භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ගැන මෙසේ දක්වා ඇත.

වනිගසූරිය එදිරිව පීරිස් (SC/FR/199/87)

දැනුම බෙදාදීම ද භාෂණයේ නිදහස තුළට ගැනෙන බව මෙම තීන්දුවේ දක්වා ඇත. 
විජේරත්න එදිරිව පෙරේරා (SC/FR/379/93)

රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය විවේචනය කිරීම ද භාෂණයේ නිදහස යටතේ පිළිගත හැකි ක්‍රියාවක් බව මේ තීන්දුවේ දක්වා ඇත. මේ තීන්දුවේ මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා මෙසේ සඳහන් කොට ඇත.

(Those who begin coercive elimination of dissent soon find themselves exterminating dissenters. Compulsory unification of opinion achieves only the unanimity of graveyard. It seems trite but necessary to say that the first amendment was designed to avoid these ends by avoid these ends by avoiding these beginnings.)
දේශප්‍රිය එදිරිව නගරාධිපති, නුවරඑළිය මහ නගර සභාව (1995(1)SLR/362)  

මෙම නඩුවට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ මෙසේ දක්වා ඇත.
'විධායක හෝ පරිපාලන ක්‍රියාවකින් සිදුවන 14(1)(අ) ව්‍යවස්ථාව උල්ලංඝනය වීමකදී එය විවිධාකාරයෙන් සිදුවිය හැකි අතර, සෘජුව හෝ වක්‍රාකාරයෙන් ද සිදුවිය හැකිය. රජය විසින් පාලනය කරනු ලබන ප්‍රවෘත්ති පත්‍රවල රජයට කෙරෙන විවේචනයන් පළනොකිරීම දේශපාලන මතය යන කාරණය මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තිය උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකි අතර, රජයෙන් පාලනය නොවන පුවත්පතක් (යුක්තිය) බලහත්කාරයකින් හෝ වෙනත් ආකාරයකින් සැඟවීම හෝ යටපත් කිරීම ද මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වන අතර, එය පෙර සඳහන් දෙවන වර්ගයට අයත් අතර වඩාත් භයානක වරදක් වේ.

'නුවරඑළිය නගරාධිපතිවරයා විසින් යුක්තිය පුවත්පත් 450ක් බෙදාහරින්නට පෙර, පැහැරගෙන යෑමෙන් තම අයිතිවාසිකම් කඩ වූ බවට පැමිණිලි කරමින් එහි කර්තෘ සුනන්ද දේශප්‍රිය විසින් මෙම නඩුව ගොනු කොට තිබූ අතර, ඔහුගේ අයිතිවාසිකම් කඩ කොට ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය වින්දිතයාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස නගරාධිපතිවරයාට නියෝග කළේය.
අමරතුංග එදිරිව සිරිමල් සහ තවත් අය (1993(1)SLR/264) ( ජනඝෝෂා නඩුව)

රට පුරා විනාඩි 15ක් විවිධ ශබ්ද ඇති කරමින් එවකට පැවති එජාප රජයට විරෝධතාව ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් තීරණය කරනු ලැබූ අතර, නඩුවේ පෙත්සම්කරු ඉංගිරියේදී බෙරයක් ගසමින් එසේ විරෝධතාව දක්වන අතරතුර එය නවත්වන්නට දුන් අණ නොතකා බෙරය වැයීම නිසා පොලිස් පහරදීමකට ලක්වූ අතර, බෙරය ද පොලිසිය විනාශ කළේය. පසුව ඔහු පොලිස් අත්අඩංගුවට පත්විය.

මේ පූර්ණ ක්‍රියාවලියට එරෙහිව පැවරූ නඩුවේදී ඒ ආකාරයේ ප්‍රකාශනයක්ද මූලික අයිතිවාසිකම් යටතට ගැනෙන බව තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුට රුපියල් 100,000ක වන්දියක් ‌ගෙවන්නැයි නියම කළේය. එසේම එම තීන්දුවේ රජයට එරෙහි සටන් පාඨ නීතිය කඩකිරීමක් නොවන බව ද, එය පොලිස් ආඥා පනත යටතේ ගැනෙන වරද නොවන බව ද සඳහන් කෙරිණි. ශ්‍රේෂ්ඨාධිකරණය එහි දී වැඩිදුරටත් භාෂණය සහ ප්‍රකාශනය සම්බන්ධයෙන් මෙසේ සඳහන් කොට ඇත.

(The right to support or to criticize the governments and political parties, policies, and programs is fundamental to the democratic way of life, and the freedom of speech and expression is one which cannot be denied without violating those fundamental principles liberty and justice which lie at the base of all political and civil institutions.)

අධිකරණයට අපහාස කරයි ?

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පෙන්වා දෙන්නේ ආණ්ඩුව දිගින්-දිගටම පොලිසිය යොදවා ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමත්, අධිකරණ තීන්දු නොසලකා හරිමින් අධිකරණයේ ගරුත්වයට හානි කිරීමත් අතිශය බරපතළ කරුණක් බවයි.

සබැඳි පුවත්

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...