ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසියි ? : වාසි – අවාසි ගැන සාකච්ඡා වටයක් : ජාත්‍යන්තරයට දුන් පොරොන්දු මෙන්න !

Share post:

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡාවක් ඇති වී තිබේ.

ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජායිශන්කර්ගේ මෙරට සංචාරයේදී මේ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කර ඇති අතර, ඇමතිවරයා සහ දෙමළ ජාතික සන්ධානය අතර පැවති සාකච්ඡාවේදී ද මේ පිළිබඳව පුළුල් අවධානයක් යොමුකර ඇත. රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග අනුව මෙහිදී ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා විසින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සිරකරුවන් සහ ලංකාව විසින් යුරෝපා සංගමය ප්‍රමුඛ අන්තර්ජාතික ප්‍රජාවට මේ සම්බන්ධයෙන් ලබාදී ඇති පොරොන්දු පිළිබඳව ද සිහිපත් කර ඇත.

මෙම සාකච්ඡාවෙන් පසු ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක සාගල රත්නායක සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් කිහිපදෙනෙකු අතර සාකච්ඡාවක් ද පවත්වා තිබේ. මෙම සාකච්ඡාවෙන් පසු ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රධානීන්ට මේ පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

ජාතික ආරක්ෂාව ?

එහිදී ආණ්ඩුව නියෝජනය කරන බහුතර පිරිසකගේ අදහස වී ඇත්තේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්පූර්ණයෙන් ම අහෝසි නොකොට, සංශෝධනය කළ යුතු බවයි. ඊට හේතුව ලෙස ඉදිරිපත් වී ඇත්තේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැනි ප්‍රහාරයක් හෝ එවැනි අවස්ථාවක් මතුවුවහොත්, ක්ෂණිකව ක්‍රියාත්මක වීමට තරම් ප්‍රමාණවත් නීති නොමැති බවයි.

නීති ප්‍රමාණවත් !

මේ පිළිබඳව thetime.lk කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු සඳහන් කළේ එය වලංගු තර්කයක් නොවන බවයි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නොමැතිව එවැනි කටයුතුවලදී ක්‍රියාත්මක වීමට ප්‍රමාණවත් තරම් නීති ඇති බව ද ඔහු සඳහන් කළේය. දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත එවැනි කිහිපයක් බව ද පෙන්වා දුන් ඔහු, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පසුගිය කාලය පුරා භාවිත කර ඇත්තේ දේශපාලන හේතු මත පුද්ගලයන්ට ඇප ලබා නොදී රඳවා ගැනීමට වන බවයි.

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත ද එහි කරුණු සහ අරමුණුවලට පටහැනිව යමින් ලේඛක ශක්තික සත්කුමාර වැන්නන් සිරගත කොට, පීඩාවට පත්කළ ආකාරය ද සිහිපත් කළ ඔහු, පවතින නීති අරමුණින් බැහැර ව වාසියට යොදාගැනීම මෙරටදී බරපතළ තත්ත්වයක් බව ද අවධාරණය කළේය.

වැඩි වාසි ගන්න හැටි

මේ අතර ජනාධිපතිවරයාට සමීප රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ද මේ පිළිබඳ පුළුල් ව සංවාදයට ලක්ව තිබේ. ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මීළඟ සැසිවාරය ඉලක්ක කොට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කළහොත්, එය ලංකාවට දැඩි වාසි සහගත තත්ත්වයක් ඇති කරනු ඇතැයි ඊට සහභාගි වූ කිහිපදෙනෙකු පවසා තිබේ. එසේ ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකරන සාකච්ඡාවලදී එවැන්නක් මගින් ඇති කරන බලපෑමත්, යුරෝපා සංගමයට ශ්‍රී ලංකාව රටක් ලෙස ලබා දී ඇති පොරොන්දුවක් ඉෂ්ඨ කිරීම නිසා ඇතිවන යහපත් බලපෑමත් මෙහිදී සාකච්ඡාවට ලක්වී ඇත.

කෙසේ වෙතත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙහිදී ජනාධිපතිවරයා විසින් නිශ්චිත අදහසක් දක්වා නැති බවයි.

2021 ජුනි කැබිනට් තීරණය

මේ අතර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බැලීම සඳහා සිදුකෙරෙන කාර්යයන් පිළිබඳව යුරෝපා සංගමයට දැනුම් දුන් බව 2021 ජූලි මාසයේදී විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ඒ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ ය.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සමාලෝචනය කිරීමට සහ තෙමසක් ඇතුළත අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් සහ එම අමාත්‍ය මණ්ඩලයීය අනුකමිටුවට සහාය වීම සඳහා නිලධාරීන්ගේ කමිටුවක් පත්කිරීමට 2021 ජුනි 21 දා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ද විදේශ අමාත්‍යංශය මගින් යුරෝපා සංගමයට දැනුම් දුන්නේය.

මේ සඳහා වූ නිලධාරීන්ගේ කමිටුව අධිකරණ, ආරක්ෂක, විදේශ කටයුතු, මහජන ආරක්ෂාව යන අමාත්‍යාංශ සහ නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික බුද්ධි අංශ ප්‍රධානී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජන සහිතව 2021 ජූනි 24 දින පත්කරනු ලැබූ බව ද එම දැනුම්දීමේ සඳහන් විය.

යුරෝපා පාර්ලිමේන්තුව

ශ්‍රී ලංකාවේ පවතින මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව සලකා බලමින් ලංකාවට ලබාදී ඇති ජීඑස්පී සහනය අහෝසි කිරීමට කටයුතු ආරම්භ කිරීම ඇතුළු කරුණු ඇතුළත් යෝජනාවක් යුරෝපා පාර්ලිමේන්තුව 2021 ජුනි 10දා සම්මත කරන ලදි. මේ සඳහා ප්‍රධාන හේතුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සිදුකරන අත්අඩංගුවට ගැනීම් බව එම යෝජනාවේ දැක්විණි.

ශ්‍රී ලංකාවට ලබාදී ඇති ජීඑස්පී සහනය සහ එයින් ලැබෙන ප්‍රතිලාභ තාවකාලිකව ඉවත් කර ගැනීම සඳහා වන ක්‍රියා පටිපාටියක් ආරම්භ කිරීම සඳහා ප්‍රමාණවත් හේතු තිබේද යන්න පිළිබඳව තක්සේරුවක් කරන ලෙස ද යුරෝපා පාර්ලිමේන්තුව එහිදී යෝජනා කර තිබිණි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අඛණ්ඩව භාවිත කිරීමට එරෙහිව දැඩි විරෝධය පළකරන බවත්, එම පනත සමාලෝචනය කිරීමට හා අවලංගු කිරීමටත් එය අන්තර්ජාතික නියමිත භාවිතයන්ට අනුකූල වන ත්‍රස්ත විරෝධී නීති මගින් ප්‍රතිස්ථාපනය කිරීමටත් දුන් පොරොන්දුව ඉටු කරන ලෙසත් යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් එහිදී ඉල්ලා සිටියේය.

විදේශ අමාත්‍යංශ නිවේදනය

මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය නිකුත් කළ විශේෂ නිවේදනයේ මෙසේ සඳහන් විය.

‘යුරෝපා සංගමය සමඟ පවතින නිරන්තර සම්බන්ධතාවයේ සහ සංවාදයේ කොටසක් ලෙස, ප්‍රතිසන්ධානයේ නිශ්චිත ක්ෂේත්‍රයන්හි ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකා රජය යුරෝපා සංගමය වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව, ජුනි 25 වැනි දින විදේශ අමාත්‍යාංශය විසින්, දැනට පවත්නා නීති සම්පාදනය, අතීත භාවිතයන් සහ ජාත්‍යන්තර විශිෂ්ට පරිචයන් අධ්‍යයනය කිරීමත් සමඟ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බැලීම සඳහා සිදුකෙරෙන කාර්යයන් පිළිබඳව යුරෝපා සංගමයට දැනුම් දී ඇත.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සමාලෝචනය කිරීම සහ තෙමසක් ඇතුළත අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස, අමාත්‍ය මණ්ඩලයීය අනු කමිටුවක් සහ එම අමාත්‍ය මණ්ඩලයීය අනුකමිටුවට සහාය වීම සඳහා නිලධාරීන්ගේ කමිටුවක් පත් කිරීම සඳහා ජුනි 21 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය පිළිබඳව යුරෝපා සංගමයට දැනුම් දෙන ලදී. මේ සඳහා වූ නිලධාරීන්ගේ කමිටුව අධිකරණ, ආරක්ෂක, විදේශ කටයුතු, මහජන ආරක්ෂාව යන අමාත්‍යාංශ සහ නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික බුද්ධි අංශ ප්‍රධානී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජන සහිතව ජූනි 24 වැනි දින පත් කරනු ලැබීය.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තිය ප්‍රකාරව තම බලතල ක්‍රියාත්මක කරමින්, ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වරදකරුවන් කොට දඬුවම් නියම කරනු ලැබ සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකයින් දහසය (16) දෙනෙකුට ජුනි 24 වැනි දින සමාව ලබා දීම පිළිබඳව ද යුරෝපා සංගමය වෙත තවදුරටත් දැනුම් දෙන ලදී.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලයක් තිස්සේ අධිකරණ භාරයේ රඳවා සිටින රැඳවියන් නිදහස් කිරීම සඳහා ක්‍රියාවට නංවා ඇති ක්‍රියාවලිය පිළිබඳව ද සංවිධානය දැනුවත් කරන ලදි.’

2021 ජනවාරි 25

මේ අතර සුදුසු සංශෝධන සිදුකිරීමේ අරමුණ සහිතව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බැලීමට අපේක්ෂා කරන බවට ශ්‍රී ලංකා රජය 2021 ජනවාරි 25දා ද යුරෝපා සංගමයට සනාථ කර තිබේ.

මානව හිමිකම් සහ ප්‍රතිසන්ධාන ගැටළු පිළිබඳව අඛණ්ඩව සමීපව කටයුතු කීරීම සඳහා ද ශ්‍රී ලංකාව මෙහිදී යුරෝපා සංගමයට එකඟ වී තිබේ.

මානව හා කම්කරු අයිතිවාසිකම්, පරිසරය සහ යහපාලනය පිළිබඳ ජීඑස්පී+ යෝජනා ක්‍රමය මඟින් ආවරණය වන ජාත්‍යන්තර සම්මුතීන් 27ක් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ඇති කැපවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය එහිදී යළි තහවුරු කර තිබිණි.

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා රජය සිය 23 වැනි ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමේදී මෙම එකඟතාවට පැමිණ තිබිණි.

ශ්‍රී ලංකාව විසින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනය කොට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගෙන ඒමේ අවශ්‍යතාව යුරෝපා සංගමය අවස්ථා ගණනාවකදී අවධාරණය කර තිබේ. තිරසර සංවර්ධනය හා යහපාලනය සඳහා වූ විශේෂ දිරිගැන්වීමේ විධිවිධාන (ජීඑස්පී+) යටතේ ප්‍රදානය කළ යුරෝපා සංගමයේ ඒකපාර්ශ්වික තීරුබදු සහන මඟින්, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු අන්දමේ දායකත්වයක් ලබා දී ඇති බවට ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය එම සාකච්ඡාවේදී එකඟ වී තිබිණි. ශ්‍රී ලංකාවේ සිට යුරෝපා සංගමය වෙත කරන අපනයන යූරෝ බිලියන 2.3ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, එමඟින් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන වෙළඳපොළ බවට පත්වී ඇති බවත් එහිදී අවධාරණය කෙරිණි.

ව්‍යවස්ථාවට හා නීතිවලට අනුකූලව ජාතික සංහිඳියාව හා ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව ශ්‍රී ලංකාව මෙහිදී පැහැදිලි කර තිබූ අතර, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විමර්ශන කොමිෂන් සභාවක් පත්කරන බව ශ්‍රී ලංකාව නිවේදනය කර ඇති බව ද එහිදී පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් අතර සංහිඳියාව, යුක්තිය, වගවීම සහ සාමකාමී සහජීවනය වර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව යුරෝපා සංගමය එහිදී නැවත වරක් අවධාරණය කර තිබිණි.

යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ ආසියා සහ පැසිෆික් කලාපයේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ පැවෝලා පැම්පලෝනි සහ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඒ.එම්.ජේ. සාදික්ගේ සම සභාපතිත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

වාර්ෂිකව යුරෝපා සංගමය සහ රජයයන් අතර මෙවැනි සාකච්ඡා වටයක් පවත්වනු ලැබේ.

පොලිසිය තොරතුරු සැඟවීම

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සහ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින පුරවැසියන්ගේ සංඛ්‍යාව ලබාදීම ශ්‍රී ලංකා පොලිසිය විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේදී ප්‍රතික්ෂේප කිරීම ද පසුගිය කාලයේ කතාබහට ලක්විය.

ජාතික ආරක්ෂාවට බලවත් අගතියක් විය හැකි බව කියමින් පොලිස්පතිවරයා නියෝජනය කරමින් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට පැමිණි පොලිස් නීති කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක නීතිඥ වසන්ත කුමාර කොටියාකුඹුර එසේ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබිණි.

විජයදාස – අලි සබ්රි – ටිරාන් සාකච්ඡාව

මේ අතර පසුගිය නොවැම්බර් 18දා අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ, විදේශ කටයුතු ඇමති අලි සබ්රි සහ මහජන සාමය ඇමති ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ජනාධිපතිවරයාගේ උපදෙස් මත පැවති බව සඳහන් කෙරුණු මෙම සාකච්ඡාවට පොලිස්පති චන්දන වික්‍රමරත්න, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර ඇතුළු අධිකරණ, පොලිස්, නීතිපති යන විෂයයන් නියෝජනය කරන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වී තිබිණි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කොට රඳවාගෙන සිටින පුද්ගලයන් සංඛ්‍යාව, ඔවුන් රඳවා ගැනීමට හේතු, ඔවුන් රඳවාගෙන සිටින කාලය පිළිබඳව මෙහිදී අවධානය යොමුකළ බව අධිකරණ අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...