ආණ්ඩුව ඉස්සරහා දණගහන්න අපි ලෑස්ති නෑ : ඝාතනය කරන්න සැලසුම් හදපු හැටි නම් ගම් එක්ක හෙට හෙළිකරනවා – වසන්ත මුදලිගේ

Share post:

මර්දනයට එරෙහිව සටන් කළ සියලු ජනතාවට හිස නමා ආචාර කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ දින 160කට වැඩි කාලයක් අත්තනෝමතික ලෙස සිරගතව සිට, ඇප ලබා අධිකරණ භූමියෙන් එළියට පැමිණීමෙන් පසු පැවසීය.

මේ, ඔහු එහිදී කළ සම්පූර්ණ අදහස් දැක්වීමයි.

ආණ්ඩුවේ පරාජය !

‘අපි දන්නවා මාස හයක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ආණ්ඩුවේ මර්දනය තුළ සිරගත කරලා තිබිලා, දැන් ආණ්ඩුවට අඩියක් පස්සට තියන්න වෙලා තියෙනවා. මේ සමාජය පුරා ම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට වගේ ම මේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව සිදු වුණු අරගලය නිසා දැන් නිදහස් කරන්න සිදුවෙලා තියෙනවා.

තක්කඩි ආණ්ඩුවක්

අපි පහුගිය කාලෙ අඛණ්ඩ අරගලයක් අරගෙන ගියා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න, දැවෙන ප්‍රශ්න, ආර්ථික ප්‍රශන අවම වශෙයන් ජීවත් වීමේ කොන්දේසිවත් සපුරන්න ඕනෙ කියන එකත් එක්ක. ගෝඨාභය රාජපක්ෂ පළවාහරින්න අපි අඛණ්ඩ අරගලයක් අරගෙන ගියා. ශිෂ්‍ය ව්‍යාපාරය වගේ ම මේ රටේ වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන සියල්ල එකතු වෙලා කරපු මහජන අරගලයක් ඉස්සරහා තක්කඩි ආණ්ඩුවකට දණගහන්න වෙලා ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න වුණා.

තක්කඩි ජනාධිපති

ගෝඨාභය රාජපක්ෂට, මහින්ද රාජපක්ෂට, බැසිල් රාජපක්ෂට අකුලගෙන ගෙදර යන්න වුණාට පස්සෙ ඒ මහජන බලය ඉස්සරහ දණගහනවා වෙනුවට ආණ්ඩුව මොකද කළේ, තක්කඩියෙක් ජනාධිපති කළා. මෙහෙමයි රට කරන්න ඕනෙ කියලා, වහසි බස් දොඩවමින් දැන් රට කරගෙන යනවා. ඒකට එරෙහි අරගලයේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිව අත්අඩංගුවට ගත්තෙ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට වගේ ම මේ රටේ සටන් කරන ජනතාවටත් මර්දනය අරගෙන ආවෙ මේ තක්කඩි ක්‍රමය අරගෙන යන්න.

එකමුතුවේ ශක්තිය

ඒ මර්දනය පරාජය කරන්න සමත් වෙලා තියෙනවා මේ රටේ ජනතාව. ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයේ මූලිකත්වයෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණු නීතිඥවරුන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති සිය-දහස් ගණනකගේ අඛණ්ඩ මැදිහත්වීමක් මේ තුළ තියෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය තුළ එක පෝස්ට් එකක් හරි මේ මර්දනයට එරෙහිව ෂෙයා කරලා සටන් කරපු ජනතාව ඉස්සරහ මේ රටේ ආණ්ඩුවට දණගහන්න සිද්ධ වෙලා තියෙනවා.

ඇලඩින්ගේ පුදුම පහන

ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා, අපේ ප්‍රශ්න එකක්වත් තවම විසඳිලා නෑ. දැන් ඔය ඉස්සරහට ඡන්දෙ තියාගෙන, මොනව හරි ප්‍රතිඵලයක් ආවා කියල ආණ්ඩුවට ඇලඩින්ගේ පුදුම පහනවත්, රටේ ජනතාවට ඇලඩින්ගේ පුදුම පහනවත් හම්බෙන්නෙ නෑ මේ ප්‍රශ්න විසඳන්න.

ජනතාව වළපල්ලට

අපි දන්නවා, උසස් පෙළ ශිෂ්‍යයන්ට විභාග ටික හරියට කරගන්න විදුලි පහසුකම් අඛණ්ඩව නෑ. රටේ ජනතාවට තුන් වේල කන්න විදිහක් නෑ.

අපි සිරගත වෙලා ඉද්දි දහස් සංඛ්‍යාත සිරකරුවන් අපිට හම්බුණා. අපි ඔවුන් එක්ක අත්දැකීම් බෙදාගත්තා. බන්ධනාගාර නිලධාරීන් සිය ගණනක් අපිට හම්බුණා. රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් ප්‍රශ්න තවම විසඳිලා නෑ. හැබැයි බදු පිට බදු ගහගෙන ආණ්ඩුව මේ රටේ ජනතාව වළපල්ලට දක්කගෙන යනවා.

තවත් ආරම්භයක් !

ඒ නිසා අපි ලෑස්ති නෑ මේ ආණ්ඩුව ඉස්සරහ දණගහන්න. අපි කියනවා ආණ්ඩුවට, මේක අරගලයේ තවත් ආරම්භයක්. ඒ නිසා මහජන බලය කියන්නෙ මොකක්ද කියන එක අපි ඉස්සරහට පෙන්නන්නම්.

ආණ්ඩුවට ඕනෙකම තිබුණේ අපිව හිරකරලා, ඝාතනය කරන්න පුළුවන් නම් ඝාතනය කරලා දාන්න. ඒවට සැලසුම් කොහොමද වුණේ, කොහොමද-කොහෙදිද සැලසුම් කළේ කියන කාරණා අපි හෙට දවසේදී මාධ්‍ය හමුවක් අරගෙන නම් – ගම් එක්ක හෙළිකරනවා. බොරු සාක්ෂි දීලා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් මාස ගණන් අපිව හිරකරපු නිලධාරීන්ට විරුද්ධවත් අපි ගන්න ඕනෙ සියලු ක්‍රියාමාර්ග ගන්නවා.

සටන් කරපු ජනතාවට !

ඒ වගේම මර්දනයට එරෙහිව සටන් කරපු සමස්ත ජනතාවට අපි හිස නමා ආචාර කරනවා. හෙට දවසේදී හම්බෙමු.’

සබැඳි පුවත්

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...