අරගල භූමියෙන් එලවූ චූදිතයාගේ කරේ ත්‍රස්ත විමර්ශනය එල්ලෙයි : මොකුත් කියන්න බෑ – බස් ගැමුණු

Share post:

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හිරකිරීම සඳහා, අත්තනෝමතික ලෙස මුදල් එකතු කිරීමේ චෝදනාව මත ගෝල්ෆේස් අරගල භූමියෙන් පලවාහරින ලද අයෙකු යොදාගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කටයුතු කර ඇතැයි  නීතිවේදීහු අනාවරණය කරති.

ඊයේ (13) මීට අදාළ නඩුව අවසන් වීමෙන් පසු වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනීසිටින නීතිඥ නුවන් බෝපගේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල ප්‍රකට ව සිටින මෝටිවේෂන් අප්පච්චි නොහොත් පියුමාල් සමරසිංහ විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත ලබාදී ඇති ප්‍රකාශයක් හේතුවෙන් වසන්ත මුදලිගේ තවදුරටත් රඳවා තබාගෙන සිටින බවයි.

‘අපි සාමකාමීයි’

එම සාක්ෂියට අනුව ගෝල්ෆේස් භූමියේ ආරම්භ කළ අරගලය, ඔහු ඇතුළු පිරිස විසින් මුල් කාලයේ ඉතා සාමකාමී ලෙස පවත්වාගෙන ආවද, පෙරටුගාමී සමාජවාදී  පක්ෂය  සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එය බලෙන් පැහැරගෙන විනාශකාරී ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු කර ඇත. මෙම සාක්ෂිය මත පදනම් ව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වසන්ත මුදලිගේට ඇප ලබාදීම වලක්වමින් සිටී.

ඊයේ ඔහු ව ලබන ජනවාරි 17දා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

දින 116ක්

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු මේ වන විට දින 116ක් සිර කර ඇත. ඒ අතරින් දින 89ක් අධිකරණයට හෝ ඉදිරිපත් නොකර අනීතික ව රඳවාගෙන සිටියේය. වහාම ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් නියෝගයක් මත වසන්ත මුදලිගේව අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඔහුට එරෙහිව මේ වන විට පවතින අධිකරණ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඊයේ (13) අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කරන ලදි.

පහත පළවන්නේ එම නිවේදනයයි.

(උපුටා ගැනීම ආරම්භය)

දින 116ක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සිරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සම්බන්ධව නීතිපති නිර්දේශ ලබාදීම සඳහා එම නඩුව 12/12 දින අලුත්කඩේ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවන ලදි.

විමර්ශන අවසන් නෑ

එහිදී වසන්ත මුදලිගේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, නීතිඥ නුවන් බෝපගේ ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටි අතර, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පෙනී සිටියේය.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි දිලීප පීරිස් සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ තවමත් මෙම නඩුවේ විමර්ශන කටයුතු අවසන් වී නැති බවට ත්‍රස්ත විමර්ශන ඒකකය සඳහන් කරන නිසා වසන්ත මුදලිගේ සඳහා ඇප ලබාදීම නිර්දේශ කළ නොහැකි බවයි.

හිතාමතා ප්‍රමාද කරනවා

වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කළේ නීතිපති උපදෙස් නොමැතිව අධිකරණයට ඇප දිය නොහැකි නිසා විමර්ශන සිතාමතා ප්‍රමාද කරන බවයි. එසේම වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් මේ වන විට ඉදිරිපත් කර ඇති බී වාර්තාවේ සඳහන් කර ඇති චෝදනා මේ වන විටත් සාමාන්‍ය අපරාධ නීතිය යටතේ වෙනත් උසාවිවල විභාග වන බැවින්, මෙම නඩුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතෙන් ඉවත් කර, අධිකරණයට ඇප දීමේ බලය පවතින බව සඳහන් කළහ.

ඒ සඳහා ඇපෑලක් යොමුකිරීමට දිනයක් ලබාදෙන ලෙස සිදු කළ ඉල්ලීමට අනුව මහේස්ත්‍රාත්තුමිය 12/13 දිනය ලබාදෙන ලදි.

චෝදනා නෑ

ඒ අනුව 13 දින නැවත මෙම නඩුව කැඳවූ අතර, එහිදී මෙම නඩුව සම්බන්ධව ඉදිරිපත් කර ඇති බී වාර්තාවේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් නඩු පැවරීමට කිසිදු චෝදනාවක් නොමැති බවට ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු ඉදිරිපත් කළ අතර, නීතිපති දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් කියා සිටියේ තවමත් විමර්ශන අවසන් නොමැති බවයි.

මහේස්ත්‍රාත් ප්‍රශ්න කරයි

එහිදී මහේස්ත්‍රාත්තුමිය මාස 04ක් රඳවා තබාගෙන තවදුරටත් විමර්ශන අවසන් කිරීමට නොහැකි වූයේ ඇයි දැයි ප්‍රශ්න කළ අතර, අරගලයට විශාල ප්‍රමාණයක් සම්බන්ධ වුවත් වසන්ත මුදලිගේ පමණක් කොටුකර පහර දීම යුක්ති සහගත නොවන බවත් සඳහන් කළාය.

බස් ගැමුණුත් ඇවිත්

එහිදී නීතිපති වෙනුවෙන් කරුණු දක්වමින් සඳහන් කළේ මෝටිවේෂන් අප්පච්චි නම් පුද්ගලයෙකු හා ගැමුණු විජේරත්න යන අය වසන්ත මුදලිගේ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ බවට ප්‍රකාශ ලබාදී ඇති බවයි.

හෘද සාක්ෂියට අනුව කටයුතු කරන්න

දිගින් දිගටම ත්‍රස්ත විමර්ශන ඒකකය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම සලකා බැලූ මහේස්ත්‍රාත්තුමිය වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් 2023 ජනවාරි 17 වන දිනට පෙර ඉදිරිපත් කරන ලෙස ත්‍රස්ත විමර්ශන ඒකකයට නියෝග කරන ලදි. තවදුරටත් මහේස්ත්‍රාත්තුමිය ත්‍රස්ත විමර්ශන ඒකකය සහ නීතිපති දෙපාර්තමේන්තුව වෙත සඳහන් කළේ මේ සම්බන්ධයෙන් හෘද සාක්ෂියට අනුව කටයුතු කරමින් ජනවාරි 17ට පෙර පරීක්ෂණ අවසන් කර ඇප ලබාදීමට කටයුතු කරන ලෙසයි.

කායික හා මානසික වධහිංසා

මෙම නඩුව සම්බන්ධව උපදෙස් දෙන සහකාර පොලිස් අධිකාරි රත්නායක විසින් වසන්ත මුදලිගේට සහ සිරිධම්ම හිමිට කායික හා මානසික වධහිංසා ලබාදීම සම්බන්ධව පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති අතර, මීට පෙර ද ඔහු වෙනත් චෝදනාවක් සම්බන්ධයෙන් යම් කාලයක් පොලිස් සේවයෙන් ඉවත් කළ පුද්ගලයෙකි. මෝටිවේෂන් අප්පච්චි යනු අරගලය භාවිතා කර මුදල් ගැරීම නිසා අරගල භූමියෙන් එළවා දැමූ පුද්ගලයෙකි. බස් ගැමුණු යනු රනිල්ගේ ගෙදර වහල්කම් කරන දාසයෙකි. එවැනි ආණ්ඩුවේ නිවට හෙන්චයියන් යොදාගෙන ප්‍රකාශ ලබාගනිමින් කිසිදු සාක්ෂියක් නොමැතිව වසන්ත මුදලිගේ සිරකර තැබීමේ ආණ්ඩුවේ බියගුළු කුමන්ත්‍රණය පරාජය කළ යුතුය. ඒ සඳහා රටක් ලෙස අපි එකට එක්වෙමු. අරගලය ජය ගමු.’

(උපුටා ගැනීම අවසන්)

පිළිතුරු නෑ

මෙම මෝටිවේෂන් අප්පච්චි නමින් තමන්ව හඳුන්වා ගන්නා පුද්ගලයා විසින් අරගල භූමියට පහසුකම් සැපයීමට යනුවෙන් සඳහන් කරමින් විදේශ රටවල් රැසකින් විශාල මුදලක් එකතු කර ඇති බවට චෝදනා එල්ල විය. ඊට අදාළ රිසිට්පත් ඇතුළු සාක්ෂි ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණි.

ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවලට තමන් ව එයින් ඉවත් කර ගැනීමට අවශ්‍ය වී ඇති බවයි. එහෙත් ඔහු අදාළ මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් පළකර තිබුණේ නැත.

මාධ්‍යයට කියන්න බෑ

මේ සම්බන්ධයෙන් thetime.lk පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ තමන්ට ඒ පිළිබඳ කිසිවක් මාධ්‍යයට පැවසිය නොහැකි බවයි.

සබැඳි පුවත්

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...