ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් හිරගේ ඇතුළේ මරාදැමෙන ජීවිත : ‘විසාකේසගේ මුදලිගේ – සෙල්ලපුල්ලේ කාර්යයේ වටිනාකම කොපමණද ?’

Share post:

ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් විසින් ඔහුගේ නවතම චිත්‍රපටය වන ‘මනල්’ (Munnel) පළමු ජාත්‍යන්තර ප්‍රදර්ශනය වසන්ත මුදලිගේට සහ සෙල්ලපුල්ලේ මහේන්ද්‍රන්ට පිළිගන්වනු ලැබිණි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නම් මර්දන නීතියේ ගොදුරු 02ක් සංකේතවත් කරමින් සමස්ත වින්දිතයන්ට කළ මෙම ගෞරවය මෙරට යුක්තිය පිළිබඳ තීරණාත්මක සන්ධිස්ථානයක් ගොඩනගනු ඇත. මීට පෙර අසංක සායක්කාර ප්‍රමුඛ නාට්‍ය කණ්ඩායම විසින් ඔහුගේ ‘අයියා මලෝ’ වේදිකා නාට්‍යය අවසානයේදී ද වසන්ත මුදලිගේ නිදහස් කිරීම සඳහා බලකෙරෙන පෝස්ටර් ප්‍රදර්ශනයක් වේදිකාව මතදී සිදුකරනු ලැබිණි.

නවක සිනමා අධ්‍යක්ෂවරුන් සඳහා විශේෂීකරණය වූ අන්තර්ජාතික සිනමා උළෙල (Specialized International Film Festivals for New Filmmakers) කාණ්ඩය යටතේ වන ලෝකයේ ප්‍රධාන පෙළේ සම්මාන උළෙලක් වන්නේ නෙදර්ලන්තයේ රොටර්ඩෑම් අන්තර්ජාතික සිනමා උළෙලයි. (International Film Festival Rotterdam) එය පසුගිය ජනවාරි 25දා ආරම්භ කෙරිණි. එහි ප්‍රධාන ම තරගකාරී අංශයක් වන ටයිගර් තරගය (Tiger Competition) නියෝජනය කිරීමේ අවස්ථාව ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ ‘මනල්’ චිත්‍රපටයට හිමි වී තිබේ.

ඔහු වින්දිතයන්ට අදාළ ගෞරවය ලබාදෙනු ලැබුවේ එහිදී වීම සුවිශේෂී වේ.

වසන්ත මුදලිගේ !

දින 160කට අධික කාලයක් තිස්සේ අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටින අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව විමර්ශන අංශ මෙතෙක් නිශ්චිත කරුණක් අධිකරණයට ඉදිරිපත් කර නැත. විමර්ශන සඳහා කාලය අවශ්‍ය බව පවසමින්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ ප්‍රතිපාදන භාවිත කරමින් ඔහු තවදුරටත් රඳවා තබාගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

සකස් කළ බවට සැක කළ හැකි සාක්ෂි 02ක් ඒ සඳහා යොදාගැනෙන අතර, ඔහුට එරෙහි විමර්ශන පිළිබඳව නියෝග 02ක් ලබාදුන් මහේස්ත්‍රාත්වරියගෙන් නඩුව ඉවත් කරගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළ බලපෑම් සහගත ආකාරය නීති විශාරදයන්ගේ දැඩි විවේචනයට හේතු විය.

(වසන්ත මුදලිගේ සිදුවීම පිළිබඳ thetime.lk සම්පූර්ණ වාර්තා සඳහා සබැඳි පුවත් පහතින් එක්කොට ඇත.)

සෙල්ලපුල්ලෙයි මහේන්ද්‍රන් !

සෙල්ලපුල්ලෙයි මහේන්ද්‍රන් මඩකලපුව, වන්දාරමුල්ලේ, බේකාස් පාරේ පදිංචිකරුවෙකි. රැකියාව ලෙස රා මැදීම කර ඇත. විවාහකව දරුවෙක්ද සිටින බව කියතත්, කිසිදු පවුල් සම්බන්ධකමක් ඔහු සතුව තිබී නැත. ඔහුව බැලීමට හෝ බන්ධනාගාරයට කිසිවෙකු පැමිණ ද නැත. කොළඹ, මැගසින් බන්ධගාරයේ දී අවුරුදු 45දී ඔහු මියගියේය.
1993 සැප්තැම්බර් 27 දින වන්දාරමුල්ල ප්‍රදේශය යුද හමුදාව විසින් වටලා කළ සෝදිසි කිරීමකදී මහේන්ද්‍රන් අත්අඩංගුවට පත්ව ඇත. සැකපිට අත්අඩංගුවට ගත් ඔහු ව කොම්මාන්තුරයි හමුදා කඳවුරට ද, එතැනින් මඩකලපු බන්ධනාගාරයට ද ගෙනගොස් රඳවා තබාගෙන ඇත. එවකට මඩකලපු බන්ධනාගාරය ද තිබී ඇත්තේ හමුදා බාරයේ ය. ඔහු හමුදා බාරයේ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ, ඔහුට පහර දී වධහිංසාවට ලක්කර ඔහුගෙන් ප්‍රකාශවලට අත්සන් ලබාගෙන තිබේ. ඔහුගෙන් එදා අත්සන් ලබාගෙන තිබුණේ ඔහු කොහෙත්ම නොදත් සිංහල භාෂාවෙන් ලියැවුණු ප්‍රකාශ ලේඛනවලට ය.

එම පාපොච්ඡාරණ මත පදනම් වෙමින් කොළඹ මහාධිකරණයේ HC/6894/94 දරන නඩු අංකය යටතේ, ආණ්ඩුව නීත්‍යනුකූල නොවන අන්දමකින් බිඳහෙළීමට තැත්කිරීම සහ හමුදා කඳවුරුවලටත්, පොලිසිවලටත් පහර දුන් එල්ටීටීඊ මෙහෙයුම්වලට දායක වීම යන චෝදනා මත නඩු පැවරීමෙන් පසු, 1995 ජූලි 24 දින ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් සහ තවත් වසර 70ක සිරදඬුවමක් නියම වී ඇත.

සෙල්ලපුල්ලේ මහේන්ද්‍රන් එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ වී ඇත්තේ වයස අවුරුදු 16දී පමණ ය. ඔහු අධිකරණයට කර ඇති ප්‍රකාශ අනුව එවකට එල්ටීටීඊ නායකයකු මෙන්ම පසුව හිටපු ඇමති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු උප සභාපති වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් ඔහු ව පුහුණු කරවා, ක්‍රියාමාර්ගවලට යොදවා ඇත. පුහුණුව ලැබීමෙන් පසු ව ඔහු ව එල්ටීටීඊ කඳවුරු රැකවල් කිරීම, කඳවුරුවලට ආහාර-පාන සැපයීම වැනි රාජකාරිවල යොදවා ඇත.

ඔහු එවකට වයස 16ත් 18ත් අතර ළමයෙකි. හමුදා කඳවුරකට පහරදීම යනු දැවැන්ත ක්‍රියාදාමයකි. ඔහුව කුඩා කුඩා රාජකාරිවලට යොදවා තිබුණේ කරුණා අම්මාන් විසිනි. එහෙත් ඔහු දඬුවම් ලබාසිටින්නේ හමුදා කඳවුරුවලට සහ පොලිසිවලට ප්‍රහාර එල්ල කිරීමට අදාළ චෝදනාවලට ය.

මහේන්ද්‍රන්ට අනුව ඔහු එල්ටීටීඊ සංවිධානයේ කටයුතු කර ඇත්තේ ද වසරක් හෝ වසර එකහමාරක් පමණ කෙටි කාලයකි. සංවිධානයේ ජීවිතය කළකිරුණු ඔහු සංවිධානයෙන් පැනගොස් ඇත. පළායෑමෙන් අනතුරුව සිය නිවසෙහි සැඟවී සිටියදී එල්ටීටීඊ සාමාජිකයන් පැමිණ ඔහු ව නැවත රැගෙන ගොස් ඇත. සංවිධානයෙන් පළායෑමේ වරදට දඬුවම් ලෙස ඔහුව කඳවුරුවල ආයුධ සන්නද්ධ නොවන, සුළු-සුළු වැඩවල කෙටි කාලයකට යොදවා ඇත. ඉන්පසු ව ඔහු ව සංවිධානයෙන් ඉවත් කර නිදහස් කර හැර තිබේ. එයින් පසු නැවත නිවසට පැමිණි ඔහු රැකියාව ලෙස රා මැදීම කරමින් ජීවිකාව සපයාගෙන විවාහයක් ද කරගෙන ඇත. ඔහු පැවසූ කරුණු අනුව ඔහු හමුදා අත්අඩංගුවට පත්වන්නේ විවාහ වී මාස 5ක පමණ කාලයකිනි. එවකට ඔහුගේ බිරිඳ ගැබිනියක ව සිට ඇත. එකී දරුවා ඔහු කිසිදිනෙක දැක නැත.
සිංහලෙන් ලියන ලද පාපොච්ඡාරණ ලියවිල්ලක් මත පමණක් පදනම්වෙමින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නඩු අසා, ජීවිතාන්තය දක්වා සහ වසර 70ක සිරදඬුවම් 02ක් නියමවීමෙන් අනතුරුව CA/190/1995 අංක යටතේ ඔහු විසින් අභියාචනාධිකරණයට අභියාචනයක් ගොනු කෙරිණි. 2003 වසරේ දී එහිදී ද පෙර තීන්දුව ම නැවත ලැබී ඇත. ඉන්පසු ව sc (spl) LA.no. 165/2003 අංක යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නැවත ඉල්ලීමක් කළ ද, ඔහුට සහනයක් ලැබී නොමැත.

අවසානයේදී ඔහු වයස අවුරුදු 45දී සිරකරුවෙකු ලෙස ම මියගියේය.

මුත්තයියා සහාදේවන් !

හිටපු විදේශ කටයුතු ඇමති ලක්ෂ්මන් කදිරගාමර් ඝාතන නඩුව අවසන් කිරීමට කොළඹ මහාධිකරණය කටයුතු කළේ ද මෙවැනිම සිදුවීමක් නිසා ය. HC/42/26/2008 අංකය යටතේ මෙම නඩුව විභාග විය.

කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටි එකම සැකකරු 2019 ජුනි 22දා කොළඹ ජාතික රෝහලේදී මියගියේය. වකුගඩු රෝගී තත්වය උත්සන්න වීම නිසා සැකකරුව බන්ධනාගාර නිලධාරීන් විසින් ජාතික රෝහලට ඇතුළත් කර ඇත. මේ බව අධිකරණයට දැනුම් දීමෙන් පසු මෙම තීරණය ගැනිණි. 2005 වසරේ අගෝස්තු 12දා කොළඹ – 07 පිහිටි නිවසේදී ස්නයිපර් වෙඩික්කරුවකු විසින් හිටපු ඇමතිවරයාව ඝාතනය කෙරිණි. එය එල්ටීටීඊ ඝාතනයක් ලෙස හැඳින්විණි. එහෙත් එහි සැක මතු වන තැන් ද රැසක් විය.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන 2005 වසරේ පටන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මුත්තයියා සහාදේවන් නම් සැකකරු ය, 2019 ජුනි 22දා මිය ගියේ.
එදිනෙදා කුලී වැඩ කරමින් ජීවත් වූ ඔහු, කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ එම ඝාතනයට මාසයකට පෙර කදිරගාමර්ගේ නිවස ආසන්නයේ පිහිටි නිවසක බැල්කනියක් අසල තිබුණු අත්තක් කපා දැමීම නිසා ය. කදිරගාමර් ඝාතනය කෙරුණු වෙඩි උණ්ඩ එල්ල වූයේ එම බැල්කනිය ආසන්නයේ වූ ජනේලයකින් වීම නිසා ඔහු වසර 14ක් බන්ධනාගාරගතව සිටියේය. එහෙත් එම අත්ත සහිත ගස පිහිටි නිවසේ හිමිකරු අත්අඩංගුවට ගන්නට පොලිසිය කටයුතු කර නැත. ඒ කියන නිවසේ හිමිකරු පොලිසියේ හිටපු ඉහළ නිලධාරියකුගේ පුත්‍රයකු බවත්, ඔහු ව්‍යාපාර රැසක හිමිකරුවකු බවත් මාධ්‍ය මගින් එවකට වාර්තා කෙරිණි.

සිංහල හෝ දෙමළ හෝ ලියන්නට කියවන්නට සහාදේවන් දැන සිට නැත. ඔහුට වධහිංසා කොට පාපොච්ඡාරණ ලියවිල්ලකට අත්සන් ගෙන තිබේ ‘නොකරපු වරදකට මට තඩිබෑවේ, මං ඒක උසාවියෙදිත් කිව්වා‘ පහරකෑමෙන් ඉදිරි දත් හතරක් හැළී ගිය සහ ඉතිරි දත් ඇදවී ගිය ඔහු 2016දී පමණ සිරකරු අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කළ ක්‍රියාකාරී කණ්ඩායමකට එසේ කිව්වේය.

ඔහු කොළඹ-කිරුළපන, පොල්හේන්ගොඩ පදිංචිව සිටියෙකි. බිරිඳ ධනලක්ෂ්මී සහාදේවන් ය. ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටි අතර, ඒ දෙදෙනා ද විවාහකයන් ය. ජීවිකාව සඳහා එදිනෙදා කුලීවැඩ කළ ඔහු 2005 වසර වන විට කොළඹ බුලර්ස් පාරේ නිවසක කුලී වැඩට යාමට පුරුදුව සිටි අතර, ඒ අසල නිවෙස්වලද වැඩ පළ තිබූ විටෙක ඒවා ද කරදුන්නේය.

සිදුවීම ඇරඹෙන්නේ 2005 අගෝස්තු 13 වන දින ය. සහාදේවන් සිය බිරිඳ සමඟ කිරුළපන පොළට ගොස් එමින් සිටිය දී කොළඹ අරපාධ කොට්ඨාශයෙන් ඔහුව අත්අඩංගුවට ගැනිණි. ඉන්පසු ඔහු රැගෙන ගොස් ඇත්තේ බුලර්ස් පාරේ පිහිටි තලේසිංහම් නමැත්තෙකුගේ නිවසකට ය. එම නිවසේ බැල්කනිය අසල තිබුණු ගසක අතු පෙන්වා ඒවා කැපුවේ ඔහු විසින්දැයි ප්‍රශ්න කර ඇත. එම අතු ඊට මාසයකට පමණ පෙර දවසක තමන් විසින් කැපූ බව ඔහු පිළිගෙන ඇත. තලේසිංහම් නමැති නිවෙස් හිමිකරුද ඒ මොහොතේ පවසා ඇත්තේ එය තමන්ගේ උපදෙස් මත සිදු කළ බවයි. ඉන්පසු සහාදේවන් ගෙන ගොස් ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයටයි.

සහාදේවන් අදාළ කණ්ඩායමට පැවසූ ආකාරයට ඔහුගේ ජීවිකාව සඳහා කුලී වැඩ කළ අතර, මෙම තලේසිංහම් නමැත්තාගේ නිවසේ බැල්කනිය දෙසට වැවෙන පිහිඹියා ගසක අතු කපා දැමීමද මාස එක හමාරකට පමණ වරක් දිගින් දිගට ම කළ කටයුත්තකි. එදින ද ඔහුට එහි විශේෂයක් තිබී නැත. කොළඹ අපරාධ කොට්ඨාසයට ගෙන ගිය ඔහුගෙන් ප්‍රශ්න කිරීම අරඹා ඇත්තේ ‘ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයාට වෙඩි තියන්න උදව් කළේ තමුසෙද?‘ යනුවෙනි. සහාදේවන්ට අනුව ඒ සමගම ඔහුගේ මුහුණට දරුණු පහරක් ද එල්ල වී තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ මාස 03ක් රඳවා තබා ඇති ඔහු ව 2005 නොවැම්බර් 16 දින රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඉන්පසුව 2008 වසරේදී කොළඹ අංක 1 මහාධිකරණයේ HC/4226/08 නඩු අංකය යටතේ සහාදේවන්ට එරෙහිව නඩු පැවරෙන්නේ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඊට අනුබල දීම යන චෝදනා යටතේ ය. මෙම නඩුවේ චූදිතයන් අතර එල්ටීටීඊ නායක ප්‍රභාකරන්, එහි බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් වැන්නන් සහ සහාදේවන්ගේ දුරකතනයේ තිබූ අංකයක් නිසා අත්අඩංගුවට ගැනුණු ඔහුගේ අසල්වැසි ඥාතියකු වන බාබු නමැත්තෙකු ද විය.

සහාදේවන්ට නඩු පැවරීමට යොදාගෙන තිබුණේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔහුගෙන් ලබාගත් බව සඳහන් පාපොච්ඡාරණ ලියැවිල්ලක් පමණි.

කදිරගාමර් ඝාතනය කෙරුණු දවසේ සහාදේවන්ගේ හැසිරීම පිළිබඳව ප්‍රශ්න කිරීමට යැයි කියමින් ඔහුගේ දියණිය ද කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන ගොස් රාත්‍රිය වනතුරු ප්‍රශ්න කර ඇත. ඔහුගේ බිරිඳගේ සොහොයුරාගෙන්ද ප්‍රශ්න කර ඇත. ඔහු පැවසූ ආකාරයට මෙවැනි තත්ත්වයක් යටතේ ඔවුන්ව නිදහස් කිරීමට යැයි පවසා ලබා දෙන ඕනෑම ලියවිල්ලකට අත්සන් කිරීමට සහාදේවන් එකඟ වී තිබේ. කොළඹ මහාධිකරණය මගින් මෙම පාපොච්ඡාරණ ලියවිල්ල සහාදේවන් ස්වේච්ඡාවෙන් ලබාදුන්නක් බවට පිළිගෙන ඇත.

සරත් ෆොන්සේකා සිදුවීම !

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා යුද හමුදා මූලස්ථානය තුළදී ඝාතනයට තැත්කිරීමට ආධාර අනුබල දුන්නේයැයි අධිචෝදනා ලබාසිටි විත්තිකරුවකුට එරෙහිව ඉදිරිපත් කළ ඔහුගේ ම පාපොච්ඡාරණයක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කළ එකක් ලෙස පිළිගැනීමට කොළඹ මහාධිකරණය ගත් තීරණය අහෝසි කිරීමට 2021 දෙසැම්බර් 02දා අභියාචනාධිකරණය නියෝග කළේය.

මෙම පාපොච්ඡාරණය විත්තිකරු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරන ලද්දක් බවට පිළිගැනීමට කොළඹ මහාධිකරණය 2017 මැයි 28දා කළ නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලමින් චූදිත සෙල්වරාසා කිරුබාකරන් නම් නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි රිමාන්ඩ් සිරකරුවකු මෙම අභියාචනය යොමු කර තිබිණි. 2017 වසරේදී ඉදිරිපත් කළ අභියාචනය 2021 නොවැම්බර් 02දා සිට අධිකරණයේදී විවාදයට ගැනිණි.
අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙලගේ එකඟත්වයෙන් අභියාචනාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර විසින් මේ නියෝගය ප්‍රකාශයට පත්කරණ ලදි.

යුද හමුදා මූලස්ථානය තුළදී හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ කළේ 2006 අගෝස්තු 25දා ය. ඔහු ඝාතනය කිරීමට ආධාර අනුබල දීම ගැන මෙම සැකකරුට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇත්තේ 2012 වසරේදී වීම විශේෂත්වයකි.

මේ නඩුවේදී පැමිණිල්ලේ සාක්ෂි අතරතුර එවකට සහකාර පොලිස් අධිකාරි නිමල් රත්නායක විසින් සැකකරු කරන ලද පාපොච්ඡාරණයක් සලකුණු කිරීමට උත්සාහ කර ඇති අතර, විත්ති පාර්ශ්වය එම පාපොච්ඡාරණයේ ස්වේච්ඡාභාවය අභියෝගයට ලක්කරමින් විරෝධතා පළ කර තිබේ. එම විරෝධතාවයේ නියෝගය මහාධිකරණය ප්‍රකාශයට පත්කර ඇත්තේ චූදිතට එරෙහිව ය. එනම් පාපොච්ඡාරණය පිළිගෙන තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම චූදිත පුද්ගලයා රඳවාගෙන ප්‍රශ්න කර ඇති අතර, එම පනතේ 16 (1) යටතේ යැයි කියමින් පාපොච්ඡාරණයක් ද සටහන් කරගෙන තිබේ.

චූදිත දෙමළ භාෂාව කතා කරන දෙමළ ජාතිකයෙකි. අභියාචනාධිකරණයට පෙත්සම ඉදිරිපත් කර ඇති චූදිතගේ ප්‍රධාන තර්කය වී ඇත්තේ පාපොච්චාරණය ලබාගැනීමට පෙර, තමන්ට වධහිංසා පමුණුවා අමානුෂික ලෙස සැලකීමෙන් පසු එම පාපොච්ඡාරණය ලබාගත් බවයි. පාපොච්ඡාරණය යතුරු ලියනය කර ඇත්තේ තමන් විසින් ම හෝ භාෂා පරිවර්තකයකු විසින් නොවන බවත්, එය සිදු කර ඇත්තේ සහකාර පොලිස් අධිකාරි නිමල් රත්නායක විසින් ම බවත් පෙත්සම්කාර චූදිතගේ ස්ථාවරය වී ඇත. මෙම පාපොච්ඡාරණය දින හයක් තුළ දී ලියාගෙන ඇතැයි කියැවිණි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ගේ තර්කය වී ඇත්තේ පාපොච්ඡාරණය සටහන් කළ සහකාර පොලිස් අධිකාරිවරයා දෙමළ භාෂාව ඉතා චතුර ලෙස හසුරුවන නිසා පරිවර්තකයකුගේ පැමිණීම අවශ්‍ය නොවූ බවයි. සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් හරස් ප්‍රශ්න විමසීමේදී ප්‍රකාශ කර ඇත්තේ සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස් කිරීමට පෙර දෙමළ භාෂා ප්‍රවීණතා පරීක්ෂණයකට පෙනී සිටීමට සිදු වූ බවයි.
දින හයකට ආසන්න කාලයක් මෙම පාපොච්ඡාරණය සටහන් කර ඇති අතර, එය පෙත්සම්කරුට මහත් පීඩාවක් ඇති කළ බව පෙත්සම්කාර චූදිත කියා ඇත. පෙත්සමේ වගඋත්තරකරුවන් ප්‍රතිචාර දක්වමින් කියා ඇත්තේ දින හයක දීර්ඝ කාලයක් මේ සඳහා ලබාගෙන ඇත්තේ ඒ සම්බන්ධයෙන් අවශ්‍යතාවක් තිබූ නිසා බවයි.

පාපොච්ඡාරණය සටහන් කළ සෑම දිනකම සහකාර පොලිස් අධිකාරිවරයා පෙත්සම්කරුගේ සුබසාධනය ගැන සොයා බැලූ බවත් වගඋත්තරකාර පාර්ශ්වය ප්‍රකාශ කර ඇත.

සහකාර පොලිස් අධිකාරිවරයා ම ප්‍රධාන නඩු විභාගයේදී පිළිගෙන තිබුණේ තමන්ට දෙමළ භාෂාව පිළිබඳ එතරම් විශ්වාසයක් නොමැති බවත්, ඇතැම් අවස්ථාවල ශබ්දකෝෂය භාවිත කිරීමට සිදුවූ බවත් ය. සහකාර පොලිස් අධිකාරිවරයා විසින් ම පාපොච්ඡාරණය පරිවර්තනය කිරීම නිසා පෙත්සම්කරුගේ ප්‍රකාශය ඒ ආකාරයට ම පරිවර්තනය කළේ ද යන්න පිළිබඳව සැකයක් මතු කර තිබේ.

පාපොච්ඡාරණය සටහන් කිරීම දින හයකට ආසන්න කාලයක් දක්වා ව්‍යාප්ත වූ බැවින් සහකාර පොලිස් අධිකාරිවරයාට කළ හැකිව තිබූ දූරදර්ශීම දෙය නම් අවම වශයෙන් දිනකින් හෝ දෙකකින් භාෂා පරිවර්තකයකුගේ සේවය ලබාගැනීම බව මීට අදාළ අභියාචනාධිකරණ නියෝගයේ සඳහන් කර තිබේ. එබැවින් සහකාර පොලිස් අධිකාරිවරයා දින හයක් තුළ සම්පූර්ණ පාපොච්ඡාරණය පරිවර්තනය කිරීම නිසා එහි ස්වේච්ඡාභාවය සම්බන්ධයෙන් සැකයක් ඇති කර තිබේ.

එබැවින් සටහන් කර ඇති පාපොච්ඡාරණය සාක්ෂි ආඥා පනතේ 24 වැනි වගන්තියේ විධිවිධානවලට පටහැනි ද යන්න සම්බන්ධයෙන් අධිකරණය හොඳින් සලකා බැලිය යුතු බවත්, ඉදිරිපත් වූ කරුණු අනුව මෙම පාපොච්ඡාරණය සම්බන්ධයෙන් 2017 මැයි 28 දිනැති ව කොළඹ මහාධිකරණ විනිසුරුවරයාගේ තීන්දුව ප්‍රතිශෝධනය කරන බවත් එම අභියාචනාධිකරණ තීන්දුවේ සඳහන් වේ.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 16 (1) වගන්තිය

16(1) : වෙනත් යම් නීතියක විධිවිධාන නොතකා, මේ පනත යටතේ යම් තැනැත්තකු යම් වරදකට චෝදනා ලැබ ඇති අවස්ථාවක, ඒ තැනැත්තා විසින් යම් වේලාවකදී කරන ලද යම් ප්‍රකාශයක් –

(අ) එය අපරාධෝච්ඡාරණයක් වන්නේ හෝ නොවන්නේ හෝ වුවද;

(ආ) වාචික ව කරන ලද්දේ වුවද හෝ නැතහොත් ලියාගන්නා ලද්දේ වුවද:

(ඇ) එම තැනැත්තා පොලිස් නිලධරයෙකුගේ අත්අඩංගුවේ සිටියේ හෝ නොසිටියේ හෝ පොලිස් නිලධරයෙකු ඉදිරියේ සිටියේ හෝ නොසිටියේ හෝ වුවද;

(ඈ) විමර්ශනයකදී හෝ නොඑසේව කරන ලද්දේ වුවද;

(ඉ) එය යම් ප්‍රශ්නයකට දෙන ලද සම්පූර්ණ පිළිතුරක් හෝ පිළිතුරකින් කොටසක් වුවද හෝ නොවුවද

එම ප්‍රකාශය සාක්ෂි ආඥා පනතේ 24 වගන්තිය යටතේ අදාළ නොවන්නේ නැතිනම්, එය එම තැනැත්තාට විරුද්ධව ඔප්පු කරනු ලැබිය හැකිය.

එසේ වුවද එම ප්‍රකාශය සහකාර පොලිස් අධිකාරිවරයකුගේ තත්ත්වයට පහළ පොලිස් නිලධරයකු වෙත කරන ලද්දේ නම්, එම තැනැත්තාට විරුද්ධව එවැනි කිසිදු ප්‍රකාශයක් ඔප්පු කරනු නොලැබිය යුතුය.

සාක්ෂි ආඥා පනතේ 24 වගන්තිය

24. A confession made by an accused person is irrelevant in a criminal proceeding if the making of the confession appears to the court to have been caused by any inducement, threat or promise having reference to the charge against the accused person, proceeding from a person in authority, or proceeding from another person in the presence of a person in authority with his sanction, and which inducement, threat or promise is sufficient in the opinion of the court to give the accused person grounds, which would appear to him reasonable, for supposing that by making it he would gain any advantage or avoid any evil of a temporal nature in reference to the proceedings against him.

තාවකාලික පනතක් ස්ථිර වූ හැටි !

1979 වර්ෂයේදී එවකට පාර්ලිමේන්තුව විසින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්මත කරන ලද්දේ තාවකාලික පනත් කෙටුම්පතක් වශයෙනි. නමුත් ඒ තාවකාලික පනත අද දක්වා ම මෙරට නීති පද්ධතිය තුළ රඳවාගෙන සිටී.

මෙම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් සහ නිදහස සම්බන්ධ ප්‍රතිපාදනවලට පටහැනි ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සෑම සැකකරුවෙකුට ම තහවුරු කර ඇති නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයට පටහැනි ය. නඩු නොමැතිව දීර්ඝ කාලයක් රඳවාගැනීම ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති වධහිංසාවන්ගෙන් සහ කෲර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම්වලින් වැළකීමේ නිදහසට පටහැනි ය.

විසාකේසගේ කාර්යයේ වටිනාකම !

අවස්ථා ගණනාවකදී පැවති ආණ්ඩු මගින් මෙම පනත සංශෝධනය කරන බව හෝ අහෝසි කරන බව හෝ පැවසුවද, මර්දන නීතියක් ලෙස එය තවදුරටත් කිසිදු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යනු ලබයි.

එවැනි තත්ත්වයක් යටතේ, ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් කළ කාර්යය අතිශය බරපතළ වටිනාකමක් සහිත කාර්යයකි.

සබැඳි පුවත්

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...