ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ ඒකකය අක්‍රීය කරයි : වගකීම තියෙන්නෙ ඇමතිට – අමාත්‍යංශ ලේකම්

Share post:

කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගන පරිශ්‍රයේ ස්ථාපිත කර තිබූ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශය විසින් පවත්වාගෙන ගිය  ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ විමර්ශන ඒකකය පසුගිය 06දා සිට අක්‍රීය කිරීමට විෂය බාර ඇමති රොෂාන් රණසිංහ කටයුතු කර තිබේ.

මෙම ඒකකය ස්ථාපිත කරන ලද්දේ 2020 පෙබරවාරි 15දා පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ ය.

මෙම ඒකකය  ආරම්භයේ සිට එහි ප්‍රධානියා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා පසුගිය 04දා සිට නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරිණි. ඔහු මේ වන විට රාජකාරි කරන්නේ වෙරළ ආරක්ෂණ සහ සංචාරක කොට්ඨාසයට අනුයුක්තව ය. ඔහු යටතේ මෙම විශේෂ ඒකකයේ සේවය කළ අනෙකුත් නිලධාරීන් ද වෙනත් පොලිස් ස්ථානවලට මාරු කර ඇත.

ඒ අනුව පසුගිය 06දා සිට මේ ඒකකයේ කටයුතු කිසිවක් සිදු නොවේ.

මේ සම්බන්ධයෙන් thetime.lk නියෝජ්‍ය පොලිස්පති ජගත් ෆොන්සේකාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ තමන්ට දැන් ඊට අදාළ ප්‍රකාශ කළ නොහැකි බවත්, ඒකකය මගින් අවසන් කළ විමර්ශන වාර්තා අමාත්‍යංශය වෙත යොමුකර ඇති බවත් ය. අමාත්‍යංශ ලේකම්වරයා යටතේ මෙම ඒකකය ක්‍රියාත්මක වූ බව ද අප කළ විමසීමේදී ඔහු පැවසීය.

ඒ අනුව thetime.lk ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් ටී. මහේෂන්ගේ මේ පිළිබඳව විමසා සිටි අතර, ඔහු පැවසුවේ අදාළ විමර්ශන ඒකකය නවතා දැමීමට තීරණයක් ගෙන නොමැති බවයි. පනතේ වගන්ති පෙන්වාදෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අදාළ ඒකකයේ පිරිස පතකරන්නේ වසර තුනකට බවයි. එම නිසා අදාළ පිරිසේ සේවා කාලය අවසන් වූ නිසා ඔවුන් වෙනත් ස්ථානවලට අනුයුක්ත කිරීම පොලිස් දෙපාර්තමේන්තුව මගින් සිදුවන්නට ඇතැයි ද පැවසූ ඔහු, නව ඒකකය පත්කිරීමේ වගකීම පනතට අනුව පැවරී ඇත්තේ තමන්ට නොව විෂය බාර ඇමතිවරයාට බව ද සඳහන් කළේය.

විමර්ශන ලිපිගොනු සම්බන්ධයෙන් විමසීමේදී ඔහු පැවසුවේ තමන් ක්‍රීඩා අමාත්‍යංශයේ මෙම ධුරයට පත්වූයේ මෑතකදී වන නිසා ඒ පිළිබඳ අධ්‍යයනයකින් තොරව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

ඒ අනුව ක්‍රීඩා විෂය බාර ඇමති රොෂාන් රණසිංහගෙන් මේ පිළිබඳව විමසීමට thetime.lk අවස්ථා ගණනාවකදී උත්සාහ කළ ද, ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි විය. දුරකතනයට ප්‍රතිචාර දැක්වූ පුද්ගලයා දිගින්-දිගටම පැවසුවේ ඇමතිවරයා රැස්වීම්වල සිටින නිසා සම්බන්ධ කළ නොහැකි බවකි.

කරාටේ දෝ සම්මේලනයේ ප්‍රධානියෙකු සම්බන්ධ යැයි පැවසෙන මූල්‍යමය වංචාවක් සම්බන්ධයෙන් මෙන්ම LPL  තරගාවලියේ කණ්ඩායම් අනුග්‍රහයට බුකීකරුවකු සම්බන්ධ වී සිටි බවටත් පසුගියදා අදාළ ඒකකයට අලුතින් ම පැමිණිලි 2ක් ද ලැබී තිබිණි.

අදාළ විමර්ශන ඒකකය මගින් ක්‍රීඩා වැරදිවලට සම්බන්ධ සිද්ධි 55ක් පමණ විමර්ශනය කර ඇති අතර, ඒ අතරින් කිහිපයක් ක්‍රීඩා අමාත්‍යංශයට බාර දී තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...