Home Blog

චෝදනා කළ කොමිසමත් එක්ක වැඩ බලන පොලිස්පති හවුලකට යයි : ශානි අධීක්ෂණයට ෆ්‍රයිඩ් රයිස් වෝටර් මෙලන් – අනුර ඊළඟට මොනවා කරයිද ?

ආන්දෝලනයට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අධ්‍යක්ෂ ධුරය දරන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය බාර නියෝජ්‍ය පොලිස්පති ධුරයට කුප්‍රකට ඉතිහාසයක් සහිත නිලධාරියකු පත්කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිඛිතව දැනුම්දීමට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් තීරණය කර තිබේ.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මීට පෙර බාර ව සිටියේ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව ය. ඔහු මොනරාගල බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති අතර, ඒ වෙනුවට පත්කර ඇත්තේ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ඩයස් ය.
රොෂාන් ඩයස් මීට පෙර දරන ලද්දේ පොලිස් මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ධුරයයි. එම ධුරයට ඔහු පත්කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පති ධුරයේ රාජකාරි කිරීම අත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ය.

රොෂාන් ඩයස් නිලධාරියා සමාජයේ හාස්‍යයට ලක්වූ අවස්ථාවක් වූයේ පාර්ලිමේන්තුව ආසන්නයේ පැවති විරෝධතාවක් මර්දනය කිරීමේදී ෆ්‍රයිඩ් රයිස්, වෝටර් මෙලන් යන වචන භාවිත කරමින් අමුතු හැසිරීමක් පෙන්නුම් කිරීම නිසා ය. එසේම ගෝඨාභය රාජපක්ෂ පලායෑමෙන් පසු පාර්ලිමේන්තුව හරහා ජනාධිපති ධුරයට පත්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාලයේදී කොළඹ පැවති විරෝධතාවලට හේතුවක් නොමැතිව ජල ප්‍රහාර, කඳුළු ගෑස් එල්ල කිරීම, පහර දීම, පුද්ගලයන් විශාල වශයෙන් නිකරුණේ අත්අඩංගුවට ගැනීම සහ වධහිංසා කිරීම පිළිබඳ බරපතළ චෝදනා රැසක් ද ඔහුට එල්ල වී තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කිසිදු පියවරක් ගෙන නැති බවයි. බලය අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කිසිදු අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා නොමැති අතර, ඔහුට එරෙහිව මර්දනයට ලක්වූවන් විසින් සිදුකරන ලද පැමිණිලි විධිමත්ව විමර්ශනය කිරීමක්ද සිදු ව නැත.

2022 ඔක්තෝබර් 09දා ඉටිපහන් දැල්වීම සඳහා ගෝල්ෆේස් පිටියට රැස්වූ පිරිසකට අත්තනෝමතික ලෙස පහර දුන් පොලිස් නිලධාරීන් මෙහෙයවුයේ ද මේ නිලධාරියා විසින් ය.එහිදී ළමයින්ට ද පහර දීම සිදු විය. ඔක්තෝබර් 10දා ඊට එරෙහිව පැවති විරෝධතාවක් අතරතුර ගාලු-කොළඹ මාර්ගය වසා දැමූ රොෂාන් ඩයස් එම අවස්ථාවේ පාරේ ගමන් කළ පුද්ගලයන්ට ගමන් කරන්නට නොදී අයුතු අවහිරයක නිරත විය. ඊට එරෙහිව මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පෞද්ගලිකව කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ රොෂාන් ඩයස් සහ නලින් දිල්රුක් යන නිලධාරීන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමක් සිදු කළේය. එහෙත් නීතිපතිවරයා එයට එරෙහි වූ නිසා එම නඩුව විභාගයට නොගැනිණි.

දේශබන්දු තෙන්නකෝන්ගේ විශේෂ සැලකීම ලැබූ චුදිත පොලිස් නිලධාරීන් අතර රොෂාන් ඩයස් ඉදිරියෙන්ම සිටී. මෙවැනි නිලධාරියකු අදාළ තනතුරට පත්කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්, එම නිසා මේ තීරණය වහාම වෙනස් කළ යුතු බවත් ජනාධිපතිවරයාට මේ පිළිබඳව දැනුම්දීමට සුදානම් වන විශ්‍රාමික පොලිස් නිලධාරීහු අවධාරණය කරති. එසේම වැඩ බලන පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මෙවැනි තීරණ ගැනීමේ පදනම පැහැදිලි කළ යුතු බව ද ඔවුහු පෙන්වා දෙති.

පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීමේ වගකීම තමන්ට පවරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කළ ඉල්ලීමක් ජාතික පොලිස් කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර තිබූ අතර, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පියවර ගෙන තිබිණි. මෙසේ පොලිස් කොමිෂන් සභාව සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අතර ඇති වී ඇති ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් 2025 පෙබරවාරි 22දා පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේය. එහිදී වැඩ බලන පොලිස්පතිවරයා පිළිතුරු දුන්නේ මෙසේ ය.

‘පොලිස් කොමිසම සමග හඳුනාගත් ප්‍රශ්න තියෙනවා. ඔවුන් ලංකාවේ නීතිය අනුව කටයුතු කරනවා. ලෝකයේ නීතිය අනුව පොලිස් කොමිසම තියෙන්නේ පොලිසියේ අභ්‍යන්තරය පාලනය කරන්න නොවේ. ඒක තියෙන්නේ මහජනතාවගේ ප්‍රශ්න විසඳන්න සහ පොලිස් නිලධාරීන්ගේ යම් විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කිරීමටයි. ඒ දෙකම පැත්තක තියලා වැරදි තැනකට පොලිස් කොමිසම ඇවිත් තියෙනවා.

එහිදී අපට පොලිසිය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම පොලිස් කොමිසමට ලිඛිතව දැනුම්දී තියෙනවා. විශේෂයෙන් පත්කිරීම්, විනයානුකූලව කටයුතු කිරීම් සහ ස්ථාන මාරුකිරීම් කරන්න බැරි නම් පොලිස්පතිවරයා නාමිකව විතරක් පත්වෙනවා. ස්ථානාධිපති පත්කිරීම ගැන නීතිපතිගෙන් අර්ථකථනයක් ගත්තා. එහිදී කියැවුණේ පත්කිරීම කියන්නේ පත්කිරීමක් නොවෙයි ස්ථාන මාරුකිරීමක් කියලායි.

මේ නිසා අපි නිතරම ඉල්ලා සිටින්නේ පොලිස් ස්ථානාධිපති පත් කිරීම, ඔහු සම්බන්ධයෙන් කටයුතු කිරීම පොලිස්පතිවරයාට පැවරිය යුතුයි කියලයි. පසුගිය කාලයේ නැවත සේවයට පත් කිරීම්වලත් ලොකු ගැටලුවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් කොමිසමට දැනුම් දීලා තියෙනවා.’

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පළකළ මෙම අදහස් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක පවසා තිබිණි. ඔහු අවධාරණය කර තිබුණේ පොලිස් කොමිසමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා ඇති රාජකාරි සිදු කළ යුතු ව ඇති බවය.

මේ අවස්ථාවේදී වැඩ බලන පොලිස්පතිවරයා පළකළ අදහස් සම්බන්ධයෙන් සමාජයේ බහුතරයකගෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබිණි. පොලිස් කොමිසමේ සභාපතිවරයාගේ ඇතැම් අත්තනෝමතික ක්‍රියාකාරිත්වයන් සහ පොලිස් කොමිසමේ සාමාජිකයන්ගේ ස්වාධීනත්වය පිළිබඳව ඇති ගැටළු ද එහිදී අවධානයට ලක් විය.

මෙවැනි තත්ත්වයක් යටතේ පොලිස්පතිවරයාගේ නිර්දේශයකට අනුව පොලිස් කොමිෂන් සභාව විසින් රොෂාන් ඩයස් වැනි අත්තනෝමතික නිලධාරියකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය බාර නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත්කිරීම බරපතල ගැටලුවකි. එනම් ගැටුම් සහිතව පැමිණි මග අත්තනෝමතික තීරණයකදී එක තැනකට පැමිණ ඇත.

මෙහිදී මතක් කළ යුතු තවත් කරුණක් වන්නේ ප්‍රියන්ත වීරසුරියගේ වැඩ බලන පොලිස්පති ධුරය ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක විසින් දිගින්-දිගටම අභියෝගයට ලක්කිරීමයි. ඒ වීරසුරියට වැඩ පතිනායක ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉදිරියෙන් සිටීම නිසා ය. මේ අර්බුදය පිළිබඳව වැඩ බලන පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්නට ද පැමිණිලි කර තිබිණි.

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකරන බහුතරයක් විසින් දිගින්-දිගටම නිරීක්ෂණය කරන ලද කරුණක් වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක සමග බොහෝ ස්ථානවලට යෑමට වැඩ බලන පොලිස්පතිවරයා දක්වන දැඩි උනන්දුවයි.

මේ අතර දේශබන්දු තෙන්නකෝන්ගේ පොලිස්පති ධුරය පිලිබඳ විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති විමර්ශන කමිටුවේ සාක්ෂි විභාගය හෙට (26) අවසන් කිරීමට නියමිත ය. ඉන්පසු ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට දෙපාර්ශ්වයටම අවස්ථාව ලැබේ. එම කටයුතු අවසාන වීමෙන් පසු කමිටුව විසින් සිය වාර්තාව සකස් කොට පාර්ලිමේන්තුවට යොමුකළ යුතුය. 2002 රාජ්‍ය නිලධරයන් පත්කිරීමේ ඉවත්කිරීමේ පනතට අනුව පාර්ලිමේන්තුව සරල බහුතරයෙන් එම යෝජනාව සම්මත කළ යුතුය. දේශබන්දු තෙන්නකෝන්ගේ පොලිස්පති ධුරය පිළිබඳ තීරණය වන්නේ එසේ ය. ඔහුගේ පොලිස්පති ධුරය මේ වන විට මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කර ඇති අතර, එම පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. ඒ තහනම් නියෝගයක් ද සමග ය. ඊට අමතරව වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීම පිළිබඳ නඩුව ඇතුළු ආන්දෝලනාත්මක නඩු කිහිපයකට අදාළ විමර්ශන ද දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව සිදු වේ.
මේ තත්ත්වය යටතේ දේශබන්දු තෙන්නකෝන්ගේ පොලිස්පති ධුරය අහිමි කිරීමට පාර්ලිමේන්තුව කටයුතු කළහොත්, ජනාධිපතිවරයා විසින් මීළඟ පොලිස්පති ධුරයට අයෙකු නිර්දේශ කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යැවිය යුතුය. ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් නව පොලිස්පතිවරයා පත්කිරීම සිදු වේ.

වර්තමාන වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය 2026 වසරේදී විශ්‍රාම යෑමට නියමිත අතර, ඔහු සමග ජ්‍යෙෂ්ඨත්වය පිලිබඳ බරපතළ ගැටුමක සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක විශ්‍රාම යෑමට නියමිත ව ඇත්තේ 2033 වසරේදී ය. ඔහු සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස පොලිස් සේවයට එක්වූ අයෙකු වන අතර, වීරසූරිය උප පොලිස් පරීක්ෂකවරයෙකු පොලිස් සේවයට එක්වී තිබේ. උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක්වූ නිලධාරියකු පොලිස්පති ධුරය දක්වා පැමිණ ඇත්තේ මුල් වතාවට වන අතර, ඔහුගේ සේවය පිලිබඳ බලාපොරොත්තු සහගතව විවිධ අදහස් පළවිය.

පොලිස් සේවය ස්වාධීන, මිත්‍රශීලී හා මහජනයාට සමීප සේවාවක් බවට පත්කිරීම තම අරමුණ බව ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වේ. පොලිස් මහජන සබඳතා කමිටු පිහිටුවීම, පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් සම්බන්ධයෙන් පැය 24ක් තුළ සැකකරුගේ ඥාතීන්ට දැනුම්දීම, පොලිස් ස්ථානයකින් යම් සැකකරුවෙක් එළියට ගෙනයන්නේ නම් මහෙස්ත්‍රාත්ට දැනුම්දීම, පැමිණිලි ඉක්මනින් විමර්ශනය, පොලිස් සේවයේ ස්ථාන මාරු පොලිස් කොමිසම හරහා සිදුකිරීම, උසස්වීම් පටිපාටි විධිමත් කිරීම, පොලිස් සේවයේ වැටුප් සහ දීමනා රාජ්‍ය සේවකයින්ට සමානුපාතිකව ඉහළ දැමීම යන කරුණු ද එහි නිශ්චිතව දක්වා ඇත.

එසේම එහි නීතිය මත පාලනයක් – සම්ප්‍රවේශී අධිකරණ පද්ධතියක් යන ශීර්ෂය යටතේ දක්වා ඇත්තේ අධිකරණය මගින් ස්වාධීනව හා කාර්යක්ෂමව යුක්තිය පසිඳලීම මෙන්ම මහජනයාට ඒ ක්‍රියාවලිය පිළිබඳව ඇති විශ්වාසයත් නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරිමෙහිලා අතිශය වැදගත් වන බවයි. එහෙත් රොෂාන් ඩයස්ලාට එරෙහි චෝදනා පිලිබඳ විධිමත් විමර්ශනයක් හෝ මෙතෙක් සිදු කර නැත.
එවැනි තත්ත්වයක් යටතේ ආණ්ඩුව පවසන ස්වාධීන, කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් හා මහජනතාවට දැරිය හැකි අධිකරණ පද්ධතියක් ඇති කිරීමෙන් ඒ පිළිබඳව බිඳීගිය ජනතා විශ්වාසය නැවත ගොඩනගා දිය හැකිද යන්න ගැටලුවකි.

“තවදුරටත් ට්‍රම්ප්ගේ වචන විශ්වාස කරන්න බෑ. මින් ඉදිරි හෝරා කිහිපය අතිශයින්ම තීරණාත්මකයි” – ඉරානය

ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනක් ඉලක්ක කරගෙන 22 වැනිදා අළුයම ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පැය කිහිපයකට පස්සේ අල්-ජසීරා රූපවාහිනය ඉරානයේ ටෙහෙරාන් විශ්වවිද්‍යාලයේ ගෝලීය දේශපාලනය පිළිබඳ මහාචාර්යවරයෙක් එක්ක පවත්වපු සාකච්ඡාවකදි මාධ්‍යවේදිනිය අහනවා ඇමරිකන් ප්‍රහාරයෙන් පස්සේ ඉරානයේ ප්‍රතිචාරය මොන වගේ වේවිද කියලා.

ඒකට මහාචාර්යවරයා පිළිතුරු දෙන්නේ, ඉරානයේ පිළිතුර Measured Retaliation එකක් ඒ කියන්නේ බොහොම පරිස්සමෙන් කරන සැලසුම්සහගතව සිදුකරන ප්‍රාමාණික එකක් මිස ඉතා දැඩි ප්‍රහාරයක් නොවේවි කියලා.

ඒ වගේම ඔහු සඳහන් කළා ඇමරිකන් ප්‍රහාරයෙන් පස්සේ ඉරානයේ ප්‍රතිචාර විදිහට ඔහු අනුමාන කරන කරුණු කිහිපයක්. ඉන් එකක් තමයි හොර්මුස් සමූද්‍ර සන්ධිය වසා දැමීම. මේක මේ වෙද්දිත් ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිලා උත්තරීතර ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය එක්ක ක්‍රියාත්මක වෙන්න නියමිත දෙයක්.

දෙවැන්න මැද පෙරදිග ඇමරිකන් හිතවාදී රටවල්වල පිහිටලා තියන ඇමරිකන් කඳවුරු ඉලක්ක කරගෙන සිදුකරන අනතුරු ඇඟවීමේ ප්‍රහාරයක්. අද අළුයම සහ ඊයේ රාත්‍රියේ ඉරානය මේ දෙවැන්නත් සිදුකරනවා. හරියටම 2019දි ඇමරිකාව ඉරානයට එල්ල කරපු ප්‍රහාරයකට පිළිතුරු විදිහට ඉරානයේ ඉරාකයේ පිහිටා ඇති ඇමරිකන් කඳවුරකට ප්‍රහාරයක් එල්ල කරලා, එයින් ඇමරිකන් සෙබලු 200කට අධික පිරිසක් තුවාල ලැබුවා.

ඒ හා සමානවම ඊයේ සහ අද අළුයම ඉරාන විප්ලවීය හමුදා කටාර් රාජ්‍යයේ පිහිටුවා තියන අල් උදෙයිද් ඇමරිකා ගුවන් හමුදා කඳවුරට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කලා, ඒ වගේම ඉරාකයේ පිහිටි වික්ටරි බේස් ඇතුළු ඇමරිකන් හමුදා කඳවුරු පහකට ඉරාන මිසයිල ප්‍රහාර එල්ලවෙලා තියනවා.
මේ ප්‍රහාර සම්බන්ධයෙන් අමරිකාව කලින්ම කටාර්, කුවේට්, ඉරාකය වගේ රටවල්වල ඇමරිකන් පුරවැසියන්ට සහ ආරක්ෂක අංශවලට දැනුම්දීලා තිබුණා. ඒ නිසා තමයි මේ ප්‍රහාරය අනතුරු ඇඟවීමේ ප්‍රහාරයක් විදිහට සලකන්න පුළුවන් වෙන්නේ.

මේ අතරෙම අවස්ථා පහකදි ඉරානය විසින් මිසයිල ප්‍රහාර ඊශ්‍රායලයේ නගර ගණනාවක් ඉලක්ක කරගෙන එල්ල කරලා තියනවා. එහිදී බීර්ෂෙබා තාක්ෂණික නගරයට එල්ලවුණු ප්‍රහාරය දැවැන්ත එකක්.

ඊශ්‍රායලය මේ අතරේ දිගින් දිගටම ටෙහෙරාන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරමින් ඉන්නවා. ටෙහෙරාන් නගරයේ අති බහුතරයක් ජනතාව මේ වෙද්දි නගරය අතහැර පලා ගිහින් තියනවා කියලා CNN වෙබ් අඩවිය වාර්තා කරනවා.

ඉරානයේ ප්‍රහාරය දැඩිවීමත් එක්ක ඇමරිකානු ජනාධිපතිවරයා වහාම සටන් විරාමයක් ප්‍රකාශ කරන්න කියලා දෙපාර්ශවයටම දැනුම් දීලා තියනවා. ඒක හරි අපූරු වැඩක්. ඇමරිකාව මේ යුද්ධයට උදව් කිරීම, මැදිහත්වීම, සටන් විරාම ප්‍රකාශයට ලක්කිරීම සිදුකරන්නේ හරියටම නිකන් ලෝකයේ පාලකයා ඇමරිකාව වගේ අදහසක් තියාගෙන කියන එක පැහැදිලියි.

ට්‍රම්ප් පැහැදිලිවම තමන්ගේ මැතිවරණ පොරොන්දු පැත්තකට දාලා, තමන්ගේ පක්ෂයේ මත බෙදීමක් ඇතිවෙද්දි පවා ඉරානයට පහර දෙන්න මැදිහත් වෙන්නේ ඉරානයෙන් ලේසි පහසු ප්‍රතිචාරයක් බලාගෙන නෙවෙයි කියලා කාටවත් කියන්න බෑ. ඇමරිකාව කියන වෙලාවට යුද්ධ පටන්ගන්නත්, ඇමරිකාව කියන වෙලාවට යටත් වෙන්නත්, ඇමරිකාව කියන වෙලාවට යුද්ධ නතර කරන්නත් ඇමරිකාවට තියන වුවමනාවෙන් පෙනෙන්නේ පැහැදිලිවම ඇමරිකාවේ
ඉලක්කය ඉරානයේ බල පෙරලියක් බවයි.

ඇමරිකාවේ සටන් විරාම ‘අණ කිරීමට‘ ප්‍රතිචාර විදිහට ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කලේ තවත් කවුරුන් විසින් හෝ පනවපු යුද්ධයක් හෝ සාමයකට තමන්ගේ එකඟත්වයක් නෑ කියලා, ඒ වගේම අවසන් හුස්ම දක්වාම, අවසන් මොහොත දක්වාම සටන් කිරීම ඉරාන ජනතාවගේ අරමුණයි කියන එක.
කොහොමවුනත් මීට ටිකකට කලින් ඉරාන රජයේ රූපවාහිනිය ඉරානය පැත්තෙන් සටන් විරාමය ආරම්භ කරන බව ප්‍රකාශ කරලා තියනවා. ඊශ්‍රායලය පැත්තෙන් තවමත් මේ සම්බන්ධයෙන් නිළ ප්‍රකාශයක් නිකුත් වෙලා නෑ.

ඉරානයේ මිසයිල ප්‍රහාර නිසා මේ වෙද්දි මැද පෙරදිග ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම අඩාල වෙලා තියනවා. විශේෂයෙන්ම ලෝකයේ වැඩිම ගුවන් යානා ප්‍රමාණයක් ගමන් කරන දෝහා සහ ඩුබායි ගුවන් මාර්ගයේ ගුවන් යානා අවලංගු වීම විශාල ගැටළුවක් බවට පත්වෙලා තියනවා.

කොහොමවුනත් මේ සටන් විරාම යෝජනාව ඉරානය සහ ඊශ්‍රායල් ජනතාවට විතරක් නෙවෙයි අසල්වැසි රටවල් ගණනාවකම මිනිස්සුන්ට අස්වැසිල්ලක් කියන එක සහතිකයි. ඒත් ඉරානය ඉන්නේ තවදුරටත් ට්‍රම්ප්ගේ වචන විශ්වාස නොකරන තැනක නිසා මින් ඉදිරි හෝරා කිහිපය අතිශයින්ම තීරණාත්මකයි.

ජනරංග විජයිඳු දේවසුරේන්ද්‍ර

2025.06.24

“අරගලයෙන් ඔබ්බට 200+”: මලයහ දෙමළ ජනයා පිළිබඳ ප්‍රබල දෘශ්‍ය වංශකථාවක්

0

දීර්ඝකාලීනව ලාංකික සිවිල් සමාජයේ බිම් මට්ටමේ ප්‍රජා සේවාවන්හි නියැ⁣ලෙන Center for Policy Alternatives, Suya Shakthi Institute සහ Uva Shakthi Institute ප්‍රධානත්වයෙන් සංවිධානය කල “200+Beyond the struggle”, බොහෝ කලකට පසු දුටු විශිෂ්ට ශ්‍රී ලාංකික ඡායාරූප ප්‍රදර්ශණයකි. ලයනල් වෙනඩ්ට් කලාගාරයේ පැවති මෙම ප්‍රදර්ශණය සඳහා ආධුනික ඡායාරූප ශිල්පීන් 12 දෙනෙකු ඡායාරූප ඉදිරිපත් කර තිබූ අතර, ඔවුන්ගේ නම් මෙහි සඳහන් කිරීම ඔවුනට කරන ගෞරවයක් වනු ඇත. එ නම්, P. Sahidaran, S.Ketheesh, S. Ashwini, K.G. Bevere Peter, M. Tania, P. Mikshala, K. Lakishan, M. Dhanushika, Pratikshan, J. Narayan, J. Dhanush සහ P. Priyanthani.

ජනාමාධ්‍යකරුවෙකුගේ දෘෂ්ටි කෝණයෙන් ඉදිරිපත් කරන මෙම ඡායාරූප ප්‍රදර්ශණයේ ඇති සුවිශේෂ බව පිළිබඳ මගේ අවධානයට යොමු වූ පැති කීපය අතරින් ප්‍රධාන වන්නේ, සමස්තයක් ලෙස ඡායාරූප වල ඇති අව්‍යාජ බව වේ. දේශීය පුවත් පත් කලාවෙන් වියැකී යන ජනමාධ්‍ය ඡායාරූපකරණයේ තිබිය යුතු ඒ අව්‍යාජ බව පවත්වා ගැනීම සඳහා මේ ආධුනික ඡායාරූපශිල්පීන් මෙහෙයවීම පිළිබඳ මෙම ශිල්පීන්ගේ උපදේශකයන්ට මාගේ ගෞරවය හිමි වේ.
ඡායාරූපයක නිර්ව්‍යාජබව යනු කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි අදහසක් බොහෝ දෙනෙකුට නැති බව මම දනිමි. කෙටියෙන් කියනවානම්, සත්‍යතාව, ප්‍රභවය සහ අඛණ්ඩතාවය වේ. “200+Beyond the struggle” ඡායාරූප ප්‍රදර්ශණයේ ඡායාරූපයන්හි සත්‍යතාවය නැතිනම් ඡායාරූප ශිල්පියා විසින් රූපගත කරන මොහොතේ තිබූ යථාර්තය භෞතික මුද්‍රිත පිටපතේ ප්‍රකාශණය තුලද රැඳී තිබීමය. ඡායාරූප නරඹන්නා නොමග නොයවන අතර අර්ථය චිත්තවේගීය සත්‍ය සහ එහි නිවැරිදි බව ආරක්ෂා කරමින් ප්‍රස්තුත “මලයියාහ” ජනතාවගේ සංස්කෘතික සහ මානව පැවැත්මට ගරුකරයි. කෙටියෙන් කියනවානම්, ප්‍රදර්ශනයේ අන්තර්ගතය පුවත් පත් කලාවට අයත් වාර්තාමය සහ වෘත්තීමය සන්දර්භය තුල වන සදාචාරාත්මක වූත් වෘත්තීය ප්‍රමිතීන්ට අනුකූල වන විශ්වාසදායක දෘෂ්‍යමය වාර්තාවකි.

මලය්යහ දෙමළ (Hill Country Tamils / Indian-Origin Tamils) ලෙස හඳුන්වන මෙම ජන කණ්ඩායම, 19 වැනි සියවසේදී බ්‍රිතාන්‍ය යටත්ව්ජිතකරණය විසින් දකුණු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වාලන ජනකොටසක් වන අතර ඔවුන් බ්‍රිතාන්‍යයන්ගේ තේ, කෝපි සහ රබර් වතුයායවල වැඩ කිරීමට බඳවා ගන්නා ලදී. එම කම්කරු ක්‍රමය තුළ ඔවුන් භූගෝලිකව සහ සමාජීයව තනිවූ, නොතකා හරිනු ලද සමාජ පන්තියක් ලෙසින් සලකනු ලැබූහ. 1948දී ශ්‍රී ලංකාව ස්වාධීන වූ පසු, ඔවුන්ට පුරවැසිභාවය අහිමි කරන පනත් මඟින් ඔවුන්ව තවත් වංචාකාරී භාවිතයකට ලක්විය. නීතිමය, ආර්ථික සහ සමාජීය වශයෙන් ඔවුන් විශාල වශයෙන් වන්දි නොලැබූ යුගයක් ගෙවූ අතර, එම භූමිකාව මෙතෙක් නවීන සමාජය තුලද සම්පූර්ණයෙන්ම වෙනස් වී නැත. පරම්පරා ගනණාවක් පුරා හැරී හැරී පැමිණි ඔවුන්ගේ ඉතිහාසයට නව පරම්පරාව විසින් මෙම ඡායාරූප හරහා ගැඹුරු සමාජීය සබැඳි තත්ත්වයක් එක්කරයි.
සන්දර්භීය සත්‍යතාවයෙන් යුක්ත ප්‍රදර්ශණයේ ඡායාරූප සත්‍ය ලෙසම “මලය්යාහ” ජනතාවගේ දෛනික ජීවිතවල සිදුවීම් වල කාලය, ස්ථානය සහ යථාස්වරූපය පෙන්වයි. ප්‍රදර්ශණය පුරා මට තොරතුරු විස්තර කරමින් සිටි ඡායාරූපශිල්පීනී K.G.Bevere Peter ගිනි ගනිමින් තිබෙන නිවෙසක ඡායාරූපයක් පෙන්වමින් කියා සිටියේ, එම සිදුවීම දැනගෙන ඉතා සූළු මොහොතකින් ඇය එතනට ගොස් එම ඡායාරූපය ගත් බවය.

ඇගේ කතාව ප්‍රදර්ශණය පිළිබඳ තවත් සිත් ඇදගන්නා සුළු කරුණක් හෙළිදරව් කෙරුවේය. එනම්, ප්‍රදර්ශණයේ සියළු ආධුනික ඡායාරූප ශිල්පීන් “මලය්යාහ” ජන කොට්ඨාශයට අයත් නව පරම්පරාවේ තරුණ තරුණියන් වීමයි. බ්‍රිතාන්‍ය යටත් යටත් විජිතකරණය ඉතිරි කර ගිය තවමත් පොදු මානව ඇගැයීම් යටතේ නොවිසිඳුනු, තමා අයත් ජනකොට්ඨාශය දෙස ඔවුන් ඉතා සියුම් ලෙස බලන බව ඡායාරූප සාක්ෂි දරයි. ඡායාරූප රැවටීමට අදහස් කරන ලද ගොතන ලද හෝ වේදිකාගත ප්‍රකාශනවලට වඩා අව්‍යාජ මිනිස් හැඟීම් හෝ සැබෑ ජීවිත තත්වයන් ග්‍රහණය කරයි. මෙය විශේෂයෙන් මානුෂීය, ගැටුම් හෝ සමාජ ගැටළු ඡායාරූපකරණයට අදාළ වේ.

“200+ Beyond the Struggle” ප්‍රදර්ශනය යනු සරල ඡායාරූප ප්‍රදර්ශනයක් නොවෙයි. මෙය සත්‍යය, මතකය සහ හැමෝම නොතකා හරින ලද ජීවිතවල කථා දෘශ්‍ය වශයෙන් ලියන ලද සාක්ෂියකි. මේ තුළින් නව පරම්පරාවක් – තමන්ට අයත් ජාතික කතාව, ඉතිහාසය, සංස්කෘතිය සහ අර්ථයක් කැමරාව මඟින් ඉදිරිපත් කරයි.

අනුරුද්ධ ලොකුහපුආරච්චි

ඇමරිකානු නිළධාරීන් පුදුමයට පත්කරමින් ට්‍රම්ප් සටන් විරාමයක් නිවේදනය කරයි…

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඉරාන නිලධාරීන් සමඟ කතා කිරීමෙන් පසු ජනාධිපති ට්‍රම්ප් හදිසියේම ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාම ගිවිසුමක් ප්‍රකාශයට පත් කළ අතර, කටාර් රාජ්‍යය මෙම මැදිහත් වීමට සහාය වූ බව ධවල මන්දිර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
ට්‍රම්ප්ගේ සටන් විරාම නිවේදනය ඔහුගේම ඉහළ නිලධාරීන් පුදුමයට පත් කර ඇත.

ඉරානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වී ඇති බව ප්‍රකාශ කිරීමට පෙර, ජනාධිපති ට්‍රම්ප් ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඉරාන නිලධාරීන් සමඟ කතා කර ඇති අතර, කටාර් රාජ්‍යය මෙම මැදිහත් වීමට උදව් කර ඇත.

සාකච්ඡා ප්‍රසිද්ධියේ කිරීමට අවසර නොමැති බව ප්‍රකාශ කළ නිලධාරියා, සටන් විරාම සාකච්ඡාවලදී කාර්යභාරයක් කටාර් රාජ්‍ය ඉටු කළ බව කටාර්හි එමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි පැවසීය.

නැගෙනහිර වේලාවෙන් සවස 6 ට මිනිත්තු කිහිපයකට පසු කරන ලද මෙම නිවේදනය, ට්‍රම්ප් මහතාගේම ඉහළ පරිපාලන නිලධාරීන් කිහිප දෙනෙකු පවා පුදුමයට පත් කළේය. ඊශ්‍රායලය තවමත් සටන් විරාමය තහවුරු කර නොමැති අතර, ට්‍රම්ප් මහතාගේ නිවේදනයෙන් පැය තුනක් ඇතුළත, ඉරානයට එරෙහිව ඊශ්‍රායලයෙන් නව ප්‍රහාර එල්ල වූ අතර, සියලු පාර්ශවයන් එයට එකඟ වී ඇත්ද යන්න පිළිබඳව ප්‍රශ්න මතු වී ඇත.

සටන් විරාමයක් සඳහා බලපෑම් කිරීමට ට්‍රම්ප් මහතාට සහාය ලැබුණේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සීමා කිරීමේ ගිවිසුමක් සඳහා පසුගිය මාස දෙක තුළ උත්සාහයන් මෙහෙයවූ ට්‍රම්ප් මහතාගේ විශේෂ නියෝජිත උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ ස්ටීව් විට්කොෆ් යන අයගෙන් බව කටාර් රාජ්‍යයේ නිලධාරියා පැවසීය.

ඉරාන වැසියන් වෙත ළඟා වීමට මෙම පුද්ගලයින් තිදෙනා “සෘජු සහ වක්‍ර” මාර්ග ඔස්සේ කටයුතු කළ බව නිලධාරියා පැවසීය. ඉරානයෙන් තවදුරටත් ප්‍රහාර එල්ල නොවන තාක් කල්, ඊශ්‍රායලය සටන් විරාමයට එකඟ වූ බව ද නිලධාරියා පැවසීය.

ඉරානය එකඟ වී ඇත්තේ කුමන කොන්දේසි වලටද යන්නත්, එහි බලගැන්වූ යුරේනියම් තොගය කොහේද යන්න පිළිබඳවත් යන ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේද යන්න නිලධාරියා ප්‍රකාශ කළේ නැත.

සුනිල් ගාමිණී ජයලත්ගේ

අකටයුතු නාදකයන්ගේ දිනය අදයි – ඒ කවුද? : මොනවද කරන්නෙ?

අද (23) අකටයුතු නාදකයන්ගේ ජාත්‍යන්තර දිනයයි. (International Whistleblowers Day) අකටයුතු නාදකයන් යනු කවුද, ඔවුන් සමාජයක ඉදිරි ගමනට කොපමණ අවශ්‍ය ද සහ ඔවුන්ට බය කවුද යන්න පිළිබඳව අප දැනගත යුතු ම ය. ඊට හේතුව අප ද නොදැන හෝ ඇතැම් අවස්ථාවලදී අකටයුතු නාදකයන්ගේ භූමිකාව ඉටු කරයි.

මේ, ඒ සම්බන්ධයෙන් සකස් කරන ලද ලිපියකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසිකමක් ලෙස සුරක්ෂිත කර ඇති භාෂණයේ නිදහස භුක්ති විඳිමින් යූටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකළ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි. කල් ඉකුත් වූ රුධිර ප්ලාස්මා පිළිබඳ අනාවරණය කිරීමට මැදිහත් වූ සෞඛ්‍ය සේවකයකුගේ වැඩ තහනම් කෙරිණි. මෙවැනි උදාහරණ කීයක් ද? 

කොළඹ – කුරුඳුවත්ත පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන් විමල් ජයසේකර (අංක 10412) විසින් යූටියුබ් ඔස්සේ වීඩියෝ 03ක් මුදාහරිමින් සඳහන් කර තිබුණේ පොලිස් දෙපාර්තමේන්තුවේ විෂමාචාර සම්බන්ධයෙන් ය. කොළඹ දකුණ දිස්ත්‍රික් iii සහකාර පොලිස් අධිකාරි සී.ඒ. අබේසිරිගුණවර්ධන විසින් මීට අදාළ වැඩ තහනම් කිරීමේ නියෝගය කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා මාර්ගයෙන් සරයන් ජයසේකර වෙත යොමු කර තිබිණි.

අදාළ වැඩ තහනම් කිරීමේ නියෝගයේ මෙසේ සඳහන් වේ.

‘නිසි අවසරයක් නොමැතිව ශ්‍රී ලංකා පොලිසියේ හොඳ නමට කැළලක් ඇති වන අන්දමින් හා ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් කෙරෙහි මහජනතාව තුළ අප්‍රසාදයක් ඇති වන අන්දමින් ඔබගේ නමින් සකස්කරන ලද ඔබගේ සමාජ මාධ්‍ය ජාල ගිණුම් ඔස්සේ 2023. 06. 17, 2023. 06. 18 සහ 2023. 06. 20 යන දිනයන්හි නිල ඇඳුමින් සැරසී වීඩියෝපට ප්‍රචාරය කරවමින් හා සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහැරීමෙන් ඔබ පොලිස් නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා පොලිස් නියෝග ඒ 7 බී පරිශිෂ්ඨයේ විනය සංග්‍රහය යටතට ගැනෙන වැරදි හෝ විෂමාචාරයන් එකක් හෝ කිහිපයක් සිදු කර ඇත.’

මෙය තදබල විනය විරෝධී ක්‍රියාවක් බව අදාළ ලිපියේ දක්වා ඇති අතර, එම නිසා ඔහු සතු නිල ඇඳුම්, නිල හැඳුනුම්පත සහ ලිපිලේඛන සියල්ල වහාම බාරදෙන ලෙසත්, ඉදිරියේදී චෝදනා පත්‍රයක් ලබාදෙන බවත් එහි සඳහන් ය.

ඒ අනුව පසුව ඔහුට චෝදනා බාරදෙන ලදි.

පොලිස් දෙපාර්තමේන්තුවේ අකටයුතුකම් සහ අත්තනෝමතික ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් අදාළ සැරයන්වරයා විසින් පළකර ඇති මෙම වීඩියෝ මගින් අනාවරණය කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිහිපයක් ඉදිරිපත් විය.

අකටයුතු නාදකයන්ගේ දිනය

අකටයුතු නාදකයන් ලෙස හඳුන්වන්නේ යම් ආයතනයක් තුළ සිදු වන නීතිවිරෝධී ක්‍රියා හෝ විෂමාචාර පිළිබඳ පෙරට පැමිණ හඬ නැගීමට කටයුතු කරන්නන් ය. එසේ වැරදි පෙන්වා දෙන්නේ ඒවා නතර කිරීමට, නිවැරදි කරගැනීමට හෝ ඒවායින් සිදු වන හානි අවම කරගැනීමේ බලාපොරොත්තුවෙන් ය. පෞද්ගලික අවදානමක් ගනිමින් ඔවුන් කටයුතු කරන්නේ පොදු යහපත වෙනුවෙනි.

අදාළ පොලිස් සැරයන්වරයා ද මෙහිදී කටයුතු කර ඇත්තේ අකටයුතු නාදකයකුගේ භූමිකාවෙන් බව විවිධ පාර්ශ්ව පෙන්වා දෙයි.

ව්‍යවස්ථාවේ 14 (1)(අ)

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාවේ මෙසේ දක්වා ඇත. සෑම පුරවැසියෙකුට ම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය. එනම් ව්‍යවස්ථාවට අනුව එය පුරවැසියන්ට ඇති අයිතියකි.

14(1)(අ) ව්‍යවස්ථාවේ සීමාව

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 ව්‍යවස්ථාවේ දක්වා තිබෙන්නේ ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති මූලික අයිතිවාසිකම් සීමා කළ හැකි අවස්ථා ය. එහි 15(2)ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ හෝ ක්‍රියාත්මක විය හැක්කේ ආගමික හෝ වාර්ගික සහයෝගිතාව තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසය හෝ වරදකට පෙළඹවීම සම්බන්ධයෙන් නීතියෙන් නියම කරනු ලැබූ සීමාවන්ට යටත්ව බව ය.

එසේම 15(7) ව්‍යවස්ථාවේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ රාජ්‍ය ආරක්ෂාව ද, රටේ යථාපැවැත්ම ද තහවුරු කිරීම පිණිසත්, මහජන සෞඛ්‍ය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත්, අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට නිසි පරිදි ගරු කරන බවට වග බලාගැනීම පිණිසත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු සුබසාධනය සඳහා යුක්ති සහගත අවශ්‍ය දෑ සපුරාලීම පිණිසත් නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාකිරීම්වලට යටත්ව බව ද සඳහන් ය.

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගනිමින් නඩු තීන්දු රාශියක් ලබාදී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දු ලබාදීමේදී ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාව පමණක් හුදෙකලා කොට තීන්දු ලබා දී නැත. එම ව්‍යවස්ථාවෙන් සංස්ථාපනය කොට ඇති අයිතිය සලකා බැලිය යුත්තේ 15(2) සහ 15(7) ව්‍යවස්ථාවල සඳහන් තත්ත්වයන් සමග ය.

නඩු තීන්දු

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දු කිහිපයක භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ගැන මෙසේ දක්වා ඇත.

වනිගසූරිය එදිරිව පීරිස් (SC/FR/199/87)

දැනුම බෙදාදීම ද භාෂණයේ නිදහස තුළට ගැනෙන බව මෙම තීන්දුවේ දක්වා ඇත.

විජේරත්න එදිරිව පෙරේරා (SC/FR/379/93)

රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය විවේචනය කිරීම ද භාෂණයේ නිදහස යටතේ පිළිගත හැකි ක්‍රියාවක් බව මේ තීන්දුවේ දක්වා ඇත. මේ තීන්දුවේ මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා මෙසේ සඳහන් කොට ඇත.

(Those who begin coercive elimination of dissent soon find themselves exterminating dissenters. Compulsary unfication of opinion achieves only the unanimity of grave yard. It seems trite but necessary to say that the first amendment was designed to avoid these ends by avoid these ends by avoiding these beginings.)

දේශප්‍රිය එදිරිව නගරාධිපති, නුවරඑළිය මහ නගර සභාව (1995(1)SLR/362)

මෙම නඩුවට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ මෙසේ දක්වා ඇත.

‘විධායක හෝ පරිපාලන ක්‍රියාවකින් සිදුවන 14(1)(අ) ව්‍යවස්ථාව උල්ලංඝනය වීමකදී එය විවිධාකාරයෙන් සිදුවිය හැකි අතර, සෘජුව හෝ වක්‍රාකාරයෙන් ද සිදුවිය හැකිය. රජය විසින් පාලනය කරනු ලබන ප්‍රවෘත්ති පත්‍රවල රජයට කෙරෙන විවේචනයන් පළනොකිරීම දේශපාලන මතය යන කාරණය මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තිය උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකි අතර, රජයෙන් පාලනය නොවන පුවත්පතක් (යුක්තිය) බලහත්කාරයකින් හෝ වෙනත් ආකාරයකින් සැඟවීම හෝ යටපත් කිරීම ද මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වන අතර, එය පෙර සඳහන් දෙවන වර්ගයට අයත් අතර වඩාත් භයානක වරදක් වේ.’

නුවරඑළිය නගරාධිපතිවරයා විසින් යුක්තිය පුවත්පත් 450ක් බෙදාහරින්නට පෙර, පැහැරගෙන යෑමෙන් තම අයිතිවාසිකම් කඩ වූ බවට පැමිණිලි කරමින් එහි කර්තෘ සුනන්ද දේශප්‍රිය විසින් මෙම නඩුව ගොනු කොට තිබූ අතර, ඔහුගේ අයිතිවාසිකම් කඩ කොට ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය වින්දිතයාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස නගරාධිපතිවරයාට නියෝග කළේය.

අමරතුංග එදිරිව සිරිමල් සහ තවත් අය (1993(1)SLR/264) (ජනඝෝෂා නඩුව)

රට පුරා විනාඩි 15ක් විවිධ ශබ්ද ඇති කරමින් එවකට පැවති එජාප රජයට විරෝධතාව ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් තීරණය කරනු ලැබූ අතර, නඩුවේ පෙත්සම්කරු ඉංගිරියේදී බෙරයක් ගසමින් එසේ විරෝධතාව දක්වන අතරතුර එය නවත්වන්නට දුන් අණ නොතකා බෙරය වැයීම නිසා පොලිස් පහරදීමකට ලක්වූ අතර, බෙරය ද පොලිසිය විනාශ කළේය. පසුව ඔහු පොලිස් අත්අඩංගුවට පත්විය.

මේ පූර්ණ ක්‍රියාවලියට එරෙහිව පැවරූ නඩුවේදී ඒ ආකාරයේ ප්‍රකාශනයක්ද මූලික අයිතිවාසිකම් යටතට ගැනෙන බව තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුට රුපියල් 100,000ක වන්දියක් ‌ගෙවන්නැයි නියම කළේය. එසේම එම තීන්දුවේ රජයට එරෙහි සටන් පාඨ නීතිය කඩකිරීමක් නොවන බව ද, එය පොලිස් ආඥා පනත යටතේ ගැනෙන වරද නොවන බව ද සඳහන් කෙරිණි.

  • ශාලික විමලසේන

මේ දිනවල ලොවම කතාබහ වන විශිෂ්ට වාර්තාමය චිත්‍රපටය

0

බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝග් ( Sir David Frederick Attenborough / B 1926) ) වූ කලී ලොව එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ජීව විද්‍යාඥයෙකි, ජීව ඉතිහාසඥයකි, සාගර විශේෂඥයෙකි , පරිසරවේදියෙකි හා ගුවන් විදුලි හා රුපවාහිනී මාධ්‍යවේදියෙකි. එසේම ලෝප්‍රකට ලේඛකයෙකි. බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ( University of Cambridge ) තම උසස් අධ්‍යාපන ලද එතුමා ලෝකය පිළිබඳව තම ගවේෂණය ආරම්භ කරනුයේ හතලිහේ දශකයේ ආරම්භයේ දී ය. ඒ මුහුදු ගවේෂකයකු ලෙසිනි. වර්තමානය මුදුමහත් ලෝකයේම සම්භාවනාවට පාත්‍ර වන එතුමා විශිෂ්ට පරිසර ගවේශකයකු හා පරිසර විද්‍යාව පිළිබඳව ප්‍රාමාණික විද්වතෙකු ද
වන්නේ ය.

එතුමාගේ ගවේෂණ ඇසට හසුනොවූ ලෝකයේ මහද්වීපයක් , වැසි වනාන්තරයක් , කාන්තාරයක් – සාගර කලාප හෝ ගොඩබිම් – මුහුදු පතුල් ( Ocean floors / beds ) , සාගර නිධි ( Ocean deposits ), නානා විධ කොරල්පර හෝ මුහුදු ජීවියකු නොවූ තරම්ය. එදාමෙදාතුර එතුමාගේ උපදේශකත්වයෙන් තිර රචනයෙන් හා ඉදිරිපත් කිරීමෙන් නිර්මාණය වූ පාරිසරික රූපවාහිනී වැඩසටහන් , වාර්තා චිත්‍රපට මෙතෙකැයි කියා කියනු බැරිය. එසේම එතුමන් ට යුරෝපයේ විවිධ ප්‍රකට විශ්ව විද්‍යාලවලේන් පිරිනමන ලද සම්මාන ආචාර්ය උපාධි හා ලද විවිධ ගෞරව සම්මාන ද මෙතෙකැයි කියා කියනු බැරිය.

එවන් අති – විශිෂ්ටයකුගේ හා ජේෂ්ඨතමයකුගේ නවතම වාර්තාමය චිත්‍රපටය ( පරිසර වාර්තා චිත්‍රපටය / A Nature Documentary ) වනුයේ Ocean – 2025 ය. මෙය මෙමස එනම් , ජූනි මස 08 වැනිදින Hulu හා Discovery ලෝප්‍රකට
රූපවාහිනිය නාලිකාව ඔස්සේ විකාශය කරන ලදි. පසුව පෙරේදා දින එනම්, ජූනි මස 18 වැනිදින අන්තර්ජාලයට මුදාහරින ලදි.

Ocean වාර්තා චිත්‍රපටයේ නාමාවලිය:

             Release Date: June 8, 2025 
                            Directors
                       Colin Butfield
                        Toby Nowlan
                        Keith Scholey
                Producer Toby Nowlan
                 Executive Producers
                              Albert II
                      Prince of Monaco
                       Louise Pedersen 
               Francoise Van Rappard 
                  Language: English 
         Country  United Kingdom 🇬🇧 
               Running Time: 1h 35m

මගේ විචාර සටහන :

Ocean : සමුද්‍රය , සාගරය හා මහ මුහුද යන මේ විවිධ නාමයන්ගෙන් හැදින්වෙන මහ මුහුද අපගේ මිහිමඬලෙන් 3/4 පමණක් පුරා පැතිර පවතින්නේ ය. එය විටෙක නෙතට සුන්දර දසුනක් මවන අතර තවත් විටෙක රුදුරු රළ , කුණාටු හෝ සුනාමි යනාදිය සමගින් අතිශයින්ම ප්‍රචණ්ඩ වන්නේ ය. එහො ඉතිහාසය වසර මිලියන ගණනාවකට දිවයයි. එහි ජීවත් වන නානාවිධ ලක්ෂ සංඛ්‍යාත ජලජ හා වෙනත් සත්ව කොටස් පිළිබඳව වෙනමම කතාබහ කරනු වටී. එවන් කතාබහකට මා සුදුසු නැත. මොකද සත්ව විද්‍යාව හෝ සාගර විද්‍යාව පිළිබඳව මගේ දැනුම එවන් ශාස්ත්‍රීය කතාබහකට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බැවිනි. සමස්තයක් වශයෙන් ගත් කල්හි සාගරය යනු මානව ශිෂ්ඨාචාරයේ කවම කවදාවත් අධ්‍යනය කොට අහවර කළ හැකි මාතෘකාවක් හෝ විෂයයක් නොවන්නේ ය. ඒ පිළිබදව මානවයා විසින් එදාමෙදාතුර අණාවරණය කරගත් කරුණු කාරණාවලට පරිභාහිරව තවත් ගවේෂණය කොට අණාවරණය කරගත යුතු වැදගත් කරුණු කාරණා මෙතෙකැයි
කියා කියනු බැරිය. ඒ තරමටම සාගර විද්‍යාව යන විෂයය ඉතා පුලුල් හා සංකීර්ණ වපසරියක් පුරා පැතිර පවතින්නේ ය.
Ocean වාර්තාමය චිත්‍රපටය සමුද්‍රය හෝ මහ මුහුද පිළිබඳව හරස් කඩකි. එහිලා
මීට අවුරුදු ලක්ෂ ගණනාවකට පෙර එහි මූලාරම්භය, එය විවිධ සාගර කලාපවලට බෙදී වෙන්විය ආකාරය , එම සාගර කලාපවල විවිධත්වය, ඒවා විවිධ දේශගුණික හා කාලගුණික තත්ත්වයන් යටතේ වෙනස්වන ආකාරය , එම සාගර කලාපවල ජීවත්වන විවිධ ජීවීන් හා ඔවුන්ගේ හැසිරීම් රටාවන් , එම සාගර කලාපවල කොරල්පර හා ඒවායේ විවිධත්වය, ලෝකයේ විවිධ ජනතාව දෛනිකව මහ මුහුද සමගින් කරන ගණුදෙනු හා එහිලා බැදුණු ලෝක සංචාරක ව්‍යාපාරය යනාදිය පිළිබඳව අතිශයින්ම තියුණු විවරණයක් මෙමගින් ඉදිරිපත් කෙරේ.

ඊළග කාරණාව නම් මෙහි කැමරාකරණය යි. මෙහි කැමරාකරණයේ විශිෂ්ටත්වය පිළිබඳව කීමට හෝ විස්තර කිරීමට මගේ ශබ්දකෝෂයේ වචන නැතුවා සේය. ඒ තරමට මෙහි කැමරාකරණය විශිෂ්ට ය . මෙහිලා මුහුද පත්ලේ චමත්කාරය, එහි තල්මසුන් – මෝරුන් ඇතුළුව ලක්ෂ සංඛ්‍යාත විවිධ ජීවීන්ගේ ජීවන ස්භාවය ද මුහුදු ගල්පර මුහුදු කලාපයෙන් කලාපයට වෙනස්වන ආකාරය මෙහි කැමරාකරුවන් විසින් තම විවිධ කැමරා කෝණ ( Camera Angeles ) ඔස්සේ කැමරා කාචවල සටහන් කරගෙන ඇති ආකාරයට සැබවින්ම විශ්මයජනක ය. ඊළග කාරණාව නම් සමස්ත වාර්තාමය චිත්‍රපටයේ “වර්ණ සරණිය” ( Color grading ) යි. එය එහි විශිෂ්ටත්වය කොතරම්දයත් ප්‍රේක්ෂකාගාරයේ පුරා විනාඩි අනූපහක පමණ කාලයක් විටෙක ප්‍රේක්ෂකාගාරය විවිධ මුහුදු කලාප පරිසර වෙතද තවත් විටෙක විවිධ මුහුදු කලාපවල ගැඹුරු විසිතුරු ලෝකයට ද මනෝමය වශයෙන් කැඳවාගෙන යන්නේ ය.

Ocean වාර්තාමය චිත්‍රපටයේ තවත් විශේෂ කාරණාවක් වනුයේ ප්‍රේක්ෂකාගාරය මවිත කරන එහි දසුන්වල ඇති චමත්කාරය ( A Picture Quality ) ය. ඒ ඇයිද යන්න සොයා බලන්නකුට එක අතකින් එය පුදුමවීමට කාරණාවක් ද නොවන්නේ ය.

Ocean වාර්තාමය චිත්‍රපටය රූපගත කිරීම හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් ඉෂ්ට-සිද්ධ කර ඇතිබව කියැවේ. ගොඩබිමෙහි රූපගත කිරීම්වලට වඩා ගැඹුරු මුහුදෙහි රූපගත කිරීම් අතිශයින්ම අසීරු හා අභියෝගාත්මක වන්නේ ය. ඊට විශේෂ පුහුණුවක් තිබිය යුතුය. මෙහි විශේෂ කැමරා කණ්ඩායමක් යොදාගෙන ඇත්තේ ලොව විවිධ ස්ථානවල පිහිටි සාගර කලාපවල රූපගත කරනු පිණිස ය. එහිලා ගොඩබිම් හා මුහුදු ජලයෙන් යට රූපගත කිරීම් පිණිස භාවිත කර ඇත්තේ SONY VENICE – 2 / 8.6K or Full Frame Sensor අති-නවීන සිනමා කැමරා යි. එවන් සිනමා කැමරා දහතුනක් පමණ මෙම කාර්යය සදහා භාවිතා කර ඇතිබව වැඩිදුරටත් කියැවේ. එය මට නම් පුදුමවීමට කාරණාවක් නොවනු ඇත. මොකද .. National Geographic හා Disney Company යන ලෝප්‍රකට ආයතන එදාමෙදාතුර නිර්මාණය කරනුයේ ලොව ඉහළම තාක්ෂණයෙන් යුතු වෘතාන්ත චිත්‍රපට හා වාර්තාමය චිත්‍රපට බව බැවින. එහි දිගුවකි, Ocean වාර්තාමය චිත්‍රපට ය.

Ocean වාර්තාමය චිත්‍රපටය ඉදිරිපත් කරනුයේ ලෝප්‍රකට National Geographic හා Disney Company විසිනි. එය ඉදිරිපත් කරනුයේ ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝග් විසිනි. මේ වනවිට එතුමාගො වසය අවුරුදු අනූනමයකි. සාමාන්‍ය මිනිසකුගේ උපරිම ආයුෂද අතික්‍රමණය කොට තවමත් ඉතා ඉහළ කායික හා මානසික තත්ත්වයකින් පසුවන මහල්ලකු විසින් මේසා වූ දැවැන්ත වාර්තාමය චිත්‍රපටයක් ඉදිරිපත් කිරීම සැබවින්ම විශ්මය දනවන කාරණාවක් නොවන්නේ ද ? මට නම් ඒසා වූ වයසක මහල්ලකු වැඩසටහනක් ඉදිපත් කිරීම තියා කොන්ද කෙලින් තබාගෙන මුහුදු වෙරළක ඇවිදීමත් පුදුමයක් හෝ ආශ්චර්යයක් වන්නේ ය.

Ocean වාර්තාමය චිත්‍රපටයේ මා දකින අනෙක් විශේෂත්වය වනුයේ මෙම වාර්තාමය චිත්‍රපට ඉදිරිපත් කරන ඩේවිඩ් ඇටන්බරෝග් විටෙක කිමිදෙමින් ද තවත් විටෙක විශේෂ රොබෝ යානයකින් ගැඹුරු මුහුද ගවේෂණය කරමින් ද ප්‍රේක්ෂකාගාරය දැනුවත් කිරීම යි. එය සැබවින්ම විශ්මයජනක ය.
Ocean වාර්තාමය චිත්‍රපටය තුළ ඔහුගේ ඉදිරිපත් කිරීම ද තවත් විටෙක පසුබිම් කථිනයද ( Narration ) ඉතා ඉහළම තලයක තිබෙන අතර එහිලා එතුමන් ගෙනහැර දක්වන දැනුම් සම්භාරය කොතරම්ද යන්න සිතන විට මට නම් හැගෙන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි විශ්මයකි. එතුමන්ගේ දැවැන්ත පෞරුෂය Ocean වාර්තාමය චිත්‍රපටය වසාගෙන පැතිර ඇත්තේ රාජාලියකු තම තටු දෙක දිගුකර තමාගේ පැටවුන් ආරක්ෂා කරන්නේ සේය. එතරම්ම පෞරුෂයක් එතුමන් විසින් Ocean වාර්තාමය චිත්‍රපටය පුරාම ‍පුකට කරන්නේ ය. එම දැවැන්ත පුරුෂය තම ප්‍රාමාණික දැනුම් සම්භාරය හා අත්දැකීම් සමගින් ද එසේම තම වයස සමගින් ද සම්මිශ්‍රණය වී ඇතැයි කියා මට සිතේ.

“ගසේ කටු උල් කිරීමට අවශ්‍ය නැතැයි” කියා අපේ ජන-කියමනක් තිබේ. එවන් ජන-කියමන් අපේ ආදි-මුතුන් මිත්තන් විසින් කියා ඇත්තේ කට-කහනවාට නොවේ යැයි සිතෙනුවේ පහත සදහන් කරන කාරණාවලට අනුව බව පෙනේ.

ඩේවිඩ් ඇටන්බරෝග් ට සොහොයුරන් දෙදෙනකු සිටියේ ය. එනම් ඒ වැඩිමහල් සොහොයුරා ශ්‍රීමත් රිචඩ් ඇටන්බරෝග් ( Richard Attenborough 1923 – 2014 ) ය. එතුමා ඇකඩමි සම්මානනීය නළුවෙකි, නිෂ්පාදකයෙකි , අධ්‍යක්ෂකවරයෙකි. එතුමා විසින් අධ්‍යක්ෂණය කරන ලද සම්මානනීය චිත්‍රපට අතර A Bridge Too Far 1977 / Gandhi – 1982 / Cry Freedom – 1987 / Chaplin ( A Cinama Biography ) – 1992 / In Love and War – 1996 / Grey Owal – 1999 යනාදිය චිත්‍රපට ප්‍රධාන වේ.

ඩේවිඩ් ඇටන්බරෝග් ගේ බාලා සොහොයුරා වූයේ ජෝන් ඇටන්බරෝග් ( John Attenborough 1929 – 2012 ) ය. ඔහු වෘත්තියෙන් කීර්මත් බ්‍රිතාන්‍ය කාර්මික ඉංජිනේරුවෙකු වූයේ ය.

Ocean වාර්තාමය චිත්‍රපටය පිළිබඳව:
Discovery Magazine
Daily Mail
TV Times
The Garden
Washington Post

මගේ විශේෂ සටහන :

Ocean වාර්තාමය චිත්‍රපටය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ට වාර්තාමය චිත්‍රපටයක් බව වරක් නොව දෙවරක් නොව තෙවරක්ම සදහන් කරනු වටී. එසේම මෙම වාර්තාමය චිත්‍රපට මෙරට ඕනෑම තරාතිරමක චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු කැමරාශිල්පියකු හා සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණවන්නට බලාපොරොත්තුවෙන් පසුවන ඕනෑම අයකු විසින් අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම විශිෂ්ට වාර්තාමය චිත්‍රපටයක් ද වන්නේ ය.
එපමණක්ද නොව මෙරට පාසැල්වල , විශ්ව විද්‍යාලවල අනිවාර්යයෙන්ම ප්‍රදර්ශනය කළ යුතු අතර මෙරට පරිසරය පිළිබඳව උනන්දුවකු දන්වන හා ඒ පිළිබදව විවිධ ගවේෂණයන් කරන සෑම අයකු විසින්ම අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම වාර්තාමය චිත්‍රපටයක් ද වන්නේ ය.
අධ්‍යනය – ගවේෂණය හා කැපවීම පිළිබඳව දියහැකි හොදම උදාහරණයකි, Ocean වාර්තාමය චිත්‍රපටය.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

ශ්‍රීමත් ඩේවිඩ් ෆ්ඩ්රික් ඇටෙන්බර්ග්
( Sir David Frederick Attenborough : 1926) )

ජෝන් ඇටන්බරෝග්
( John Attenborough 1929 – 2012 ) ශ්‍රීමත් රිචඩ් ඇටන්බරෝග්
( Richard Attenborough 1923 – 2014 )
Ocean – මුහුදයට දර්ශනය රූපගත කිරීම්
Ocean – මුහුදයට දර්ශනය රූපගත කිරීම්

පොලිස් වධහිංසාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තවත් තීරණාත්මක තීන්දුවක් !

2019 වර්ෂයේදී තරුණයකුට වධහිංසා පැමිණවීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ඌරගස්මන්හන්දිය පොලිසියේ හිටපු නිලධාරීන් දෙදෙනකුට රුපියල් මිලියනය බැගින් වන්දි සහ නඩු ගාස්තු ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි වින්දිතයකු අත්අඩංගුවට ගෙන පහරදීමක් සම්බන්ධයෙන් මෙම තීන්දුව ලබා දී තිබේ.
එහිදි ඔහු නීතිඥයකු සමඟ පොලිස් ස්ථානයේ පෙනීසිටියද, පසුව එවකට අපරාධ අංශය බාර නිලධාරියා සහ තවත් නිලධාරියකු විසින් ඔහුට පහර දී ඇත. පෙත්සමේ සඳහන් වන්නේ වින්දිත පුද්ගලයාට මාංචු දමා කාමරයකට ඇදගෙන ගොස් ඔහුගේ ලිංගික අවයව ඉලක්ක කරමින් දරුණු පහරදීමක් සිදුකර ඇති අතර, එම පහරදීමෙන් ඔහුට සිහි නැති වූ බවයි.
එසේම වින්දිතයා ඔහුගේ තුවාල හේතුවෙන් දින 12 ක් රෝහල්ගත කර ඇති බවද පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වේ.
ශිරාන් ගුණරත්න, එස්. තුරෙයිරාජා සහ ඒ. එච්. එම්. ඩී. නවාස් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මේ තීන්දුව මගින් පවසා ඇත්තේ පොලිසිය මේ අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීමට හෝ චෝදනා ප්‍රතික්ෂේප කිරීමට අපොහොසත් වූ බවත් ,වින්දිතයා දැඩි වධහිංසාවලට ලක්ව ඇති බව වෛද්‍ය වාර්තාවලින් තහවුරු වූ බවත් ය.
එවකට අදාළ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ හරිත් සහ අපරාධ අංශයේ ස්ථානාධිපති හිරාන් ලෙස හඳුනාගෙන ඇති අතර, එම නිලධාරීන් දෙදෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තීන්දුවේ පිටපත් ජාතික පොලිස් කොමිසමට යවන ලෙස ද අධිකරණය නියෝග කර තිබේ.

‘සුනිල මිණි’ – වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල

0

ලෝකයේ නන් දෙස විහිදී පැතිරී තිබෙන කෙටි කවිය පිළිබඳ සංවාදයක යෙදෙන්නේ නම්, මුදු මානවීය ගුණය හාත්පස විහිදුවා සුඟද හුඟද ප්‍රස්තුත කරගෙන හෘදයාංග්‍රාහී තෙත් කළාපයම වාසභූමිය කරගත් ප්‍රකට ජපන් කවියා වන කොබයාෂි ඉසා තරමටම ගැනෙන අන් කවියෙකු නැති තරම්ය. (මෙහිදී අපේ දෙටු කවි ආරියවංශ රණවීරයන්ගේ දෑසද මහත් සේ ව්‍යාප්ත වූවක් බවද පැවසිය යුතුය)

එබැවින් ඉසා පිළිබඳ “කොහොමදැ”යි පවසනු වස් පහත කවි ත්‍රිත්වය වචනාර්ථයෙන් දක්වා සිටිමි.

*Under shady trees
Sharing space with a butterfly
this ,too ,is a karma

සෙවනැති තුරක් අස
සමනලයෙකු හා
වෙසෙනු වුව
කර්මයයි

*I know everything
about the old householder
even his shiver

දැන සිටිමි
පැරණි ගෙහිමියා සතු
සියලු තතු
ඔහුගේ වෙවුලුමද

*Beautiful full moon
nothing extraordinary
to the old scarecrow

අලංකෘත පුරහඳ
වෙසෙස් කිසිවක් නොදකින
මහලු පඹයා
ඉතින් මේ සුනිල මිණි පිළිබඳ

කෙටි කවිය මලක් වැනිය. එය පෙත්තෙන් පෙත්ත දිග හැර බැලිය යුත්තකි. එය ලිහෙන ලිහෙන කල්හි නෙ දිසා වෙත දිවෙයි.
කොබයාෂි ඉසාගේ මෙන් නිවුන්හැල්ලගේ ද කාව්‍ය මඟ අතිශය සුමට, සෞමය තෙත් කළාපය හරහා වැටී තිබෙන බවට සුනිල මිණි උදාහරණ සපයන බව මගේ හැඟීමයි.

ඉතින්

වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල ගේ කෙටි කවි කළඹින් තරමක් ගෙන මම ඔබ අත තබමි.ඒ එමල් රුවෙන් කවරාකාරද, කවර දෙසට සුවඳ විහිදවන්නේ දැයි ඔබටම විනිශ්චය කරගනු පිණිසය.

2 මා මුහුණෙහි
අම්මාගේ මුහුණ
වෙිදනාව කැඳවන
කැඩපත

6 සඳ පහන් රැයෙහි
වැඩි වැඩියෙන්
ඉවුරුවල තෙරපෙන
ගඟදිය

10නාය ගිය පෙදෙස්වල
ආයෙමත්
මල් පිපෙන්නට
පටන් අරගෙන

12 ඔබ නික්ම ⁣යන
ගුවන් යානය
හැම යානයකටම වැඩිය
දෙදරුම් කන හඬ

17සිහිනයෙන්
දකිනවිට පවා
ඔබ ළඟ
මල් සුවඳ

16හෙට
හිමි
ගෙදර එන දවස
කිලිටි ඇඳ ඇතිරිලි
සෝදන
ඇය

32 ටැංකි පතුලේ
රන් වන් මසුන්ගේ
කළු සෙවණැලි

63 රාත්‍රියෙහි
සමීපව ඇසෙයි
දුර ගමන් යන
තවලමක හඬ

43 අසල්වැසි නිවසක
පොකුණ තුළ
ලස්සනට පෙනෙයි
පුරහඳ

53 විභාගය
නිම වූ දා
රැයෙහි
කණමැදිරි
ගණන් කරන
පුංචි දරුවෙක්

ජගත් සී. ජයසිංහ

සිතුවමක් නැති සිත්තරාගේ කාව්‍ය සිත්තම්

0

ශර්මිලා බංදුනි දංවත්ත කිව්ඳියගේ කවිගැන ඉතා කෙටි කියවීමක්.

ශ්‍රී ලංකා හයිකු ලෙස හඳුන්වමින්, “සඳට රහසින් පෙම් කළා මම” නමින් සංග්‍රහයක් 2023 වසරේදී මුද්‍රණයෙන් පල කළ, ශර්මිලා බංදුනි දංවත්ත කිවිඳිය, 2025 වසරේදී සිංහල කවියන් අතරට

නැවත පැමිණෙන්නේ සිතුවමක් නැති සිත්තරා නම් කාව්‍ය සංග්‍රහයත් සමඟය. සමාජ මාධ්‍යයේ සහ ජාතික තලයේ පුවත් පත් පිටු අතරත් නිරන්තරයෙන් ඇයගේ නිර්මාණ දක්නට ලැබෙයි.

ශ්‍රී ලාංකීක වන හයිකු කවියක් පවතින්නේද යන කාරණය විවාද සම්පන්නය. එකී විවාදය පසෙක තබා ඈ විසින් නිර්මිත සංක්ෂිප්ත කවි කිහිපයක් විමසා බලන්නේ කිවිඳියගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහයෙන් හමුවන රසවත් කවිතා හඳුනා ගන්නටය.

ගඟත් පිට පාරෙම යන හැටි
අනේ මේ කුඹුරු
වියළෙනවා බල බල.

මේ කවිය යම් කිසි දේශපාලන අරුතකින් අපට කියවා ගන්නට පුළුවන. වර්තමාන සමාජයේ වගකිව යුතු තනතුරු දරන්නන්ගේ සමාජ භාවිතයේ ඇති වයාජත්වය සහ අකාරයක්ෂමතාව කෙරෙහි කිවිඳිය සතු විවේචනය මේ කවියට හේතු වූවා වන්නට ඇත. ගඟ ගලා යා යුත්තේ වියළි බිම් තෙත් කරමින් ය. ” වහින්ට හැකිනම් ගිඟුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්” කියා නන්දා මාලනිය ගැයුවේ ඒ උතුම් මිනිසත් කමේ යුතුකම් ගැන ය. එහෙත් අප සමාජ දේහය වසාගෙන ඇත්තේ ඒ යුතුකම් ප්‍රමුඛ අවැසිතාවලියකින් නොවීම කණගාටුවට හේතුවකි. සමාජයේ වගකිවයුත්තන් තමන් තනා ගතා ඉලක්ක කරා හැල්මේ දිව යනු මිස තමන්ගෙන් අනකාට ඉටු විය යුතු යුතුකම් පිළිබඳව තැකීමක් හැඟීමක් නැත. ගඟ යන පාරේම යනවා මිසක අවට වියැළෙමින් ඇති කෙත් බිම් වලට දිය දෙන්නේ නැත. දිය පතන කුඹුරු වියළී හැකිළි විනාශ වී යයි. කිවිඳියගේ පැතුම “නිදන්නට හැකිනම් දෙනෙත් තුළ – සැබෑවෙන සුබ සිහිනයක් ” වන්නටය.

ඔහු සමඟ
සඳත්
ගෙට එමින්

ඔහු යනුවෙන් අදහස් වන්නේ, නිවැසි කතගේ ස්වාමියා විය හැක. ඔහු ගෙට එන්නේ රාත්‍රියේය. ඒ වෙහෙසකාරි දහවලකට පසුව විය හැක. මේ දහවල් කාලය පුරාවට කවියේ කථකයා, සැමියා නොමැති නිවසේ යම් තරමක වෙහෙසක් තනිකමක් පාලුවක් අත්වින්දා වන්නට පුළුවන. කවියට හසු කරගන්නා මොහොත රාත්‍රිය උදාවන මොහොතයි. ඒ සැමියා රැකියා කට‍යුතු නිමවා නිවසට පැමිණෙන වෙලාවයි. ඔහු එන විට ඔහු සමඟ සඳත් පැමිණෙනවා ය යි පැවසීමෙන් කිවිඳිය රාත්‍රියේ සොඳුරු කලාපයක් රසිකයාට විවෘත කර පෙන්වන්නීය. සඳ එළිය, සඳ සිසිල මිනිස් ගතත් සිතත් නිවා සනසවා වෙහෙස සංසිදවන්නට සමත් වන්නාසේ ම, අකාශය ඒකාලෝක කරයි, අවට පරිසරය ද සුන්දරවත් කරවයි. ඒ සැම දෙයටත් වඩා මිනිස් හදවත් තුළ ශෘංගාරය වඩවයි. ගේහසිත ප්‍රේමයේදි ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා ශක්තිමත් වන්නට ශෘංගාරාත්මක සැන්දෑවල් කෙතරම් අගනේ ද?
මේ එම කාව්‍ය සංග්‍රහයේ හමුවන තවත් රසවත් කවි කිහිපයකි.

මකන්න මකන්න
මතුවෙන හැටි
මේ ඡායාව
**
මෙගොඩ වී
එගොඩ බලමි
හිස් බව!
**
වසන්තය
දළඹුවෝ
නැද්ද තවමත් තටු

සිතුවමක් නැති සිත්තරා කාව්‍ය සංග්‍රහයෙ, මුද්‍රණයෙන් පළවන ඇයගේ දෙවන කාව්‍ය සංග්‍රහය යි. ඇය මෙම කව්‍ය සංග්‍රහය ගෙන එන්නේ “ශ්‍රි ලංකා හයිකු” නෑදැකමක් නැතිව වීම විශේෂයකි. එහි හමුවන්නේ, නිදහස් ආරෙන් නිර්මිත කවි පන්තින් ය.
එහි හමුවන “මිහිරැති වසන්ත කාලේ” යන සිරසින් යුතු කවිය මා සිත් ගත් කවියකි.

“මිහිරැති වසන්ත කාලේ”

ගියා කොවුලෙක් කියාගෙන
කෝ…
කොහිද ඒ වසන්තය
බැලුවා වට පිට මම
ගස් උඩ
ගස් යට
තණ පදුරු මත
වැටී තිබුණා මල් තුහින
මේක වෙන්න ඇති වසන්තය
සිතුනා මට
සිනාසී…
අහැක් ගැහුවා ඉර
අහවරයි වසන්තය
මිය ගියා මල් තුහින
දහවල පුටුව මත
නින්ද අගුණයි මට
නැගිටලා…
මම ගියා ගෙට

උක්ත කවියේ නාමකරණය පවතින්නේ කවියෙන් පිටත රසිකයාට මග සලකුණු කියන්නට නොව කවිය ඇතුළත ම කවියේ කොටසක් ලෙසටය. එහිද වසන්ත කාලේ යන යෙදුම මිහිරැති යන වචනයෙන් වෙන් කර තබා ඇත්තේ, ඇත්තෙන් ම වසන්ත කාලය මිහිරිදැයි විමසන්නට රසිකයාට ඉඩ හරිමින් ය.
එකී කවිය තුළ සදය උපහාසයක් ද ඇත. කථකයා තමාට කොතැන හෝ වැරදින බවක් සිතා තමාට ම සිනා සෙන්නාක් මෙනි. “ඇහැක් ගැහුවා ඉර අහවරයි වසන්තය – මිය ගියා මල් තුහීන” කාලය සහ සෘතු වෙනස්වීම තීරණය වන්නේ ඉර නැගීම බැසීම අනුවය. කථකයා වසන්තය එන තුරු බලා හිඳී. කථකයා පසුකර යන කාලයේ වෙනස්වීම නොදකී. ඔහුටත් හොරා කාලය ගෙවී යයි. ඔහු දැන් වියපත් ය. ඔහු සොයමින් හුන් ජීව්තය ඔහුටත් හොරාම ගත වී ගොස් ය. අප බොහෝ දෙනෙක් අනාගතයේ උදාවෙන හොඳ දවස එනතුරු වර්තමානය කල් දමමින් සිටින්නෝ නොවෙත් ද?

කවිය රසිකයා වෙත ආගමික විදර්ශනාලෝකයක් විහිදුවන බවද කෙනෙකුට සිතෙන්නට පුළුවන. එය මේ ධම්මපද ගාථාවේ වඩා පුළුල් අරුතින් කියැවෙන බව මගේ අදහසයි.

“අපපමාදො අමතපදං
පමාදො මච්චුනො පදං
අප්පමතාත න මියනති
යෙ පමතත යථ මතා”

සිතුවමක් නැති සිත්තරා යන හිසින් යුතු කවියේ ඇය ස්පර්ෂ කරන්නේ ජීව්තයේ එකම එක ක්ෂණයක අත ගැටි ගිලිහී යන සංසාරගත දැන හැදුනුම්කමක උණුසුමකි.

සිතුවමක් නැති සිත්තරා

ඔබව දැක්කේ දුරින්
තරු මැද දිලෙන
සඳටත් වැඩිය එලියෙන්
ඔබත් සිටියා
බිත්තියේ තිබුණ
සිතුවමක් අගයමින්
වහා ඒ සිතුවමින්
ඇයින්කර සුර ලියක්
ඇන්දා මවව මම
නෙත් දෙකින්
මගේ හද කැන්වසය
ඔබ රුවට උමතුවෙන්
වෙන කිසිම සිතුවමක්
අඳෙන් නෑ පින්සලෙන්
එදා තුර
මෙදා තුර
සොයනවා මම
ගැලපෙනම පින්සලක්

මේ කවියත් සමඟ, මට පෝලෝ කොයිලෝ කතුවරයාගේ බ්‍රීඩා සිහිපත් වෙයි. “ඔබව දැක්කේ දුරින් – සඳටත් වැඩිය එලියෙන්” යන කොටස මට සිහි කරන්නේ, බ්‍රීඩා අමතා විකා පවසන මේ වචන ය. “You could tell your Soulmate by the light in their eyes” කෙනෙක්ට හමු වූයේ සිය ආත්ම සහකරුද යන්න හඳුනාගත හැක්කේ ඔවුන්ගේ දෑසේ දිලෙන ආලෝකයෙන් බව විකා බ්‍රීඩාට කියා දෙන්නේය. කිවිඳිය දුරින් සිටී “ඔබ” සඳටත් වඩා ආලෝකයකින් දකින්නේ ඒ සිය ආත්ම සහකරුවා වන බැවින් නොවෙද?

පෝලෝ කොයිලෝ පවසන ආකාරයට, අපගේ ආත්මය දෙකඩ වී ඇත. ඒ ගැහැනු පිරිමි වශයෙනි. ආත්මයේ අපෙන් ගිලිහිනු අනෙක් කොටස සොයා ගැනීමේ වගකීම අප සතු ය. අඩුම තරමින් ජීවිතයේ එක අවස්ථාවක අපෙන් බිඳුන ආත්මයේ අනෙක් කොටස අපට හමු වන්නට නියමිතය. එම හමුවීමේ මොහොතය අපේ ජීවිතයේ ඉදිරි ඉතිරි දවස්වල පැවැත්ම තීරණය කරනු ඇත. එබැවින් සැබෑ ලෙසම මේ හමු වීම පවා විටෙක මහ විශාල අවදානමක් ගැනීමකි.

මගේ හද කැන්වසය
ඔබ රුවට උමතුවෙන්
වෙන කිසිම සිතුවමක්
අඳෙන් නෑ පින්සලෙන්
එදා තුර
මෙදා තුර
සොයනවා මම
ගැලපෙනම පින්සලක්

මෙම කාව්‍ය සංග්‍රහය පුරාවට ම රසවත් කවි නිර්මාණ රැසක් ඇතුළත් ය. කිවිඳිය සිය අත්දැකීම් කවි කරන්නේ ඉවසීමෙන් හා සංයමයෙන් ය. ඇය නැවුම් නොඉඳුල් කාව්‍යෝක්ති නිර්මාණය කරන්නට සමත් ය. කටවහරින් – ගැමි වහරින් පෝෂණය කරගත් ඇගේ කවි බස නිරවුල් ය. ඇය නි බයව සි‍ය අත්දැකීම් කවි කර ඇති බවක් දක්නට ලැබේ.

ශර්මිලා බංදුනි දංවත්ත කිවිඳියට ඇයගේ නැවුම් කාව්‍ය අස්වැන්නේ සාර්ථකත්වය වෙනුවෙන් අපගේ උණුසුම් සුබපැතුම්.

නිරෝෂ ප්‍රනාන්දු

05/25/25

බෞද්ධ භික්ෂුණීන්ගේ අරගලය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ජයග්‍රහණය කරයි !

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණී යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

මෙතෙක් භික්ෂුණීන් වහන්සේලාට නිල නීතිමය පිළිගැනීමක් ලැබී නොතිබුණු අතර, භික්ෂුණීන් වහන්සේලාට එවැනි පිළිගැනීමක් ලබාගැනීම සඳහා දීර්ඝ කාලයක් ඉල්ලීම් කරමින් තිබිණි. අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ විනිසුරු ගාමිණී අමරසේකර එකඟත්වය ලබාදුන් බහුතර තීන්දුවක් ලෙස එම තීන්දුව ලබා දී ඇත. භික්ෂුණීන් වහන්සේට හැඳුනුම්පත් ලබානොදීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 12 (1) වගන්තිය උල්ලංඝනය කර ඇති බව එහිදී තීන්දු කර තිබේ.

වැලිමඩ ධම්මදින්නා මෙහෙණින් වහන්සේ සහ සියම් නිකායේ රංගිරි දඹුලු‍ පාර්ශ්වයේ මහ නායක හිමියන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. මෙහෙණින් වහන්සේ සිය පෙත්සමේ සඳහන් කර ඇත්තේ දඹුල්ල රන්ගිරි රජමහා විහාර පාර්ශ්වයේ මහ නායක හිමියන්ගෙන් තහවුරු කිරීමක් ලබානොගෙනම පෙත්සම්කාරියගේ ජාතික හැඳුනුම්පතට භික්ෂුණී යන නාමය ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කළ බවයි.

එමෙන්ම මෙය පැහැදිලි ලෙස වෙනස් කොට සැලකීමක් බව විනිසුරු අමරසේකර සිය තීන්දුවේ සඳහන් කර ඇත. ඇය පුරුෂ භික්ෂුවක වූයේ නම් මෙසේ හැඳුනුම්පත ලබාගැනීම අසීරු නොවන බව එම තීන්දුවෙහි සඳහන් කර තිබිණි.

කෙසේවෙතත්, උක්ත බහුතර තීන්දුවට පටහැනි තීන්දුවක් ලබා දෙමින් විනිසුරු මහින්ද සමයවර්ධන පෙත්සම නිෂ්ප්‍රභ කරමින් තීන්දුව ලබා දී තිබේ. ඔහු සිය තීන්දුවේ සඳහන් කළේ අදාළ ආගමික බලධාරීන්ගේ විෂයපථයට අයත් ආගමික කාරණාවලට ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වීමෙන් වැළකිය යුතු බවයි.