පූර්ව දැනුම්දීමකින් තොරව මානව හිමිකම් කොමිසම වසන්ත මුදලිගේ පරීක්ෂා කරයි – බන්ධනාගාර නිලධාරීන් කොමිසමට කැඳවයි !

Share post:

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රඳවා සිටින කොළඹ රක්ෂිත බන්ධනාගාරයට ගිය මානව හිමිකම් කොමිෂන් සභාවේ නියෝජිතයන් ඔහුගේ රැඳවුම් තත්ත්වය සහ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ නිරීක්ෂණය කර තිබේ.

ඊයේ (11) මෙසේ පූර්ව දැනුම්දීමකින් තොරව බන්ධනාගාරයට ගොස් ඇත්තේ කොමිෂන් සභාවේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි, කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (අධීක්ෂණ සහ ඇගයුම්) නිහාල් චන්ද්‍රසිරි සහ කොමිෂන් සභාවේ තවත් නිලධාරීන් දෙදෙනෙකි. මෙසේ පූර්ව දැනුම්දීමකින් තොරව සිරකරුවන් නිරීක්ෂණය කිරීමට යා හැකිදැයි thetime.lk කළ විමසීමකදී කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයෙකු පැවසුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 11(ඈ) සහ 28(2) වගන්ති ප්‍රකාර ව හිමිවී ඇති බලතල අනුව මෙවැනි හදිසි පරික්ෂා කිරීම් කළ හැකි බවයි.

මෙහිදී වසන්ත මුදලිගේ රඳවා සිටින ස්ථානය වෙත ම ගොස් ඔහුගේ රැඳවුම් තත්ත්වය පරීක්ෂා කළ බවත්, රැඳවුම් තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා කළ යුත්තේ මොනවාද යන්න පිළිබඳව බන්ධනාගාර නිලධාරීන් දැනුවත් කළ බවත් කොමිසමේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මෙය සිදු කර ඇත්තේ කොමිෂන් සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන වධහිංසා වැලැක්වීමේ ජාතික යන්ත්‍රණයේ (National Preventive Mechanism – NPM) කොටසක් ලෙස ය.

මෙහිදී රැඳවියන්ගේ ආහාර සහ එම ආහාර පිළියෙළ කරන ආකාරය ද කොමිසමේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වී තිබේ. එහිදී හඳුනාගත් කරුණු පිළිබඳ වැඩිදුර විමසීම සඳහා බන්ධනාගාර නිලධාරීන් ඉදිරියේදී කොමිසම වෙත කැඳවීමට නියමිත බව ද එහි මාධ්‍ය ප්‍රකාශකවරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මේ අතර සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව, සිරකරුවන් සම්බන්ධයෙන් පර්යේෂණ සහ ඔවුන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳව වැඩසටහන් සිදුකරා සෞඛ්‍ය අංශ සහ නීතිඥවරුන් පෙන්වා දෙන්නේ මානව හිමිකම් කොමිසමේ මෙවැනි හදිසි පරීක්ෂා කිරීම් අතිශය වැදගත් බවයි. එය සියලුම බන්ධනාගාරවල සිදුකරන්නේ නම් වඩා වැදගත් බවත්, එමගින් සිරකරුවන්ගේ රැඳවුම් තත්ත්වය ඉහළ නැංවීමට සැලකිය යුතු දායකත්වයක් ලැබෙනු ඇති බවත් ඔවුහු අවධාරණය කරති.

මේ අතර හෙට (13) වසන්ත මුදලිගේ යළිත් කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. ඒ, පසුගිය මැයි මාසයේ සිදුවූ පහරදීමකට අදාළ නඩුවක් සඳහා ය.

සබැඳි පුවත්

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...