මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙයි : අලුත් කොමිසමක් පත්කිරීමේ තීරණය ගනී !

Share post:

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක වන පී.එස්.එම්. චාල්ස් කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස්වී තිබේ.

මීට අදාළ ලිපිය ඇය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අද (25) යොමුකර ඇත. අද උදෑසන කතානායක මහින්ද යාපාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ව්‍යවස්ථාදායක සභාව මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් බඳවාගැනීමට තීරණය කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය මගින් ස්ථාපිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායකවරයාගේ සභාපතිත්වයෙන් යුතු ය. එහි මුළු සාමාජිකයන් සංඛ්‍යාව 10කි.

ඒ අනුව කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, ජනාධිපතිවරයා විසින් පත්කරන මන්ත්‍රීවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, විපක්ෂ නායකවරයා විසින් පත්කරන මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්, ආණ්ඩුවේ බහුතර මන්ත්‍රීවරුන් නියෝජනය කරන පක්ෂයේ නියෝජිතයා ලෙස පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මේ වන විට ව්‍යවස්ථා සභාවට නම් කර ඇත.

කෙසේ වෙතත් අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා නියෝජනය නොකරන පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයා ලෙස දෙමළ ජාතික සන්ධානය විසින් ධර්මලිංගම් සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා නම් කළ ද, ඒ සඳහා උත්තර ලංකා සභාගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසින් උදය ගම්මන්පිල නම් කිරීමත් සමග යම් මතබේදාත්මක තත්ත්වයක් ද මතුවී තිබිණි. එහෙත් අද දිනයේ එය ගැටළුවක් නොවූ බව වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් ලෙස අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවයෙන් ආචාර්ය ප්‍රතාප් රාමනුජම්, වෛද්‍ය අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න පත්කිරීමට පසුගියදා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිණි.

ඒ අනුව අද පූර්ණ සභාවක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්විය. එහිදී මැතිවරණ කොමිසම, විගණන කොමිසම, පොලිස් කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම, මානව හිමිකම් කොමිසම, මුදල් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, සීමා නිර්ණ කොමිසම, විගණන කොමිසම යන ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් පත්කිරීමට තීරණය කර තිබේ.

තර්ජන?

මේ අතර මැතිවරණ කොමිසමේ සේවය කරන නිලධාරීන් දෙදෙනෙකුට පොලිස් ආරක්ෂාව ලබාදීමට පසුගියදා තීරණය කෙරිණි.

මැතිවරණ කොමිසමෙන් වහාම ඉවත් වන ලෙසත්, එසේ නොවුණහොත් ජීවිත තර්ජන ඇති විය හැකි බවත් පවසමින් මෙම නිලධාරීන් දෙදෙනාට දුරකතන ඇමතුම් මගින් තර්ජන එල්ල වී ඇතැයි එම නිලධාරීන් විසින් පොලිසියට පැමිණිලි කර තිබීම ඊට හේතු විය. මෙම නිලධාරීන් දෙදෙනා වන්නේ එස්. බී. දිවාරත්න සහ කේ. ජී. ජී. පතිරණ ය.

මුදල් තිබේද?

අද (25) මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා විසින් මහා බැංකු අධිපතිවරයා වෙත ලිපියක් යවමින් නිල වශයෙන් විමසා ඇත්තේ මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් ය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...