Home Blog Page 208

“කවුළු ඇස පාමුල” මගේ සුරතින් පොඩි වී ගිය කවි පොතකි

0

ලහිරු කිතලගම ගේ “කවුළු ඇස පාමුල” රාජ්‍ය සම්මානිත කෘතියකි. එක් අතෙකින් එවැනි කෘතියක් සඳහා යමක් ලිවීම අභියෝගයක් වුවද (මා කවියෙකු හෝ විචාරකයෙකු නොවන නිසා) මේ ලියවිල්ල මුළුමනින්ම සහෘද සටහනක් පමණකි.

කලාකෘතියක් ලෙස කවිය ජීවිතය දෙස හෙලනන්නේ කුමන දෘශ්ටියක් ද ? කවියේ ඇති හැඩය අපිට ගැලපෙන්නේ කෙසේද නැතහොත් ඒවා අපේ හර්ද සහකම්පන අතර ගැලපී යන්නේ කෙසේද? කිනම් කලාවක් වුව යදම් වල කැටයම් ලෑමට පමණක් භාවිතයේ යෙදිය යුතුද එසේ නැතහොත් ඉන් යදම් සිදබිඳ දැමිය යුතු ද? කවිය කෙරේ වූ මෙකී කාරණා අතරෙහි වරින් වර සිතුවිලි දෝලනය වන නිමේශයක කවුළු ඇස පාමුල කියවීම ඇරඹීමී.

එහි පළමු කවියට මම කොහොමත් පෙම් බැඳ සිටියෙ මේ පොත අතට පත්වන්නටත් පෙරාතුවමය.

තරා නෑ මං අම්මේ…

රෑ බතට හදපු රොටී
අම්මේ අපි දෙන්නට හොඳටෝම ඇති
ඒත් ඇයි තව රොටී දෙකක්
නෑඹිලියට හොරෙන් යට කෙරුවේ……

මේ කවිය ස්ත්‍රීය දෙස හෙලන දයාර්ද මානව බැල්ම අතිශය නවීනය. අම්මා යැයි සංස්කෘතික පදයකට කොටු කරන ගැහැණිය වෙතින් අප බලාපොරොත්තු වන භූමිකාවක් තිබේ. ඇය පරමාදර්ශී පූජනීය චරිතයකි. එහෙත් ඇය මවක් ලෙස මුළු ජීවිතයම එකී භූමිකාවට සීමා කිරීම කෙතරම් යුක්ති යුක්තද? අප ඇය සාමාන්‍ය ගැහැණියක් බව අමතකකර සිටිමු. එසේ නැතහොත් අමතක කරන්නට කැමැත්තෙන් සිටිමු. එවැනි සම්ප්‍රදායික කලාපයට ළහිරු එල්ල කරන මේ ආලෝක කවි පහර මවත් ගැහැණියක බව එක්වරම අපට සිහිපත් කරන්නේ ආත්ම තිගැස්සීම් බහුල කරමිනි.

ළහිරුගේ කවි පද අතර භාෂාව සුඛනම්‍යයය, සුළලිතය. මුදුය. පැනනගින රිදුමක් පවා හද පිරිමදින සුළුය. ඔහු වරෙක සහෘදයා ඕවිල්ලක තබා මුදු නැලවිල්ලක යෙදෙන්නට හරියි.

‘‘ඇදල ඇදල ම පැණි වතුර
විඩාබර තාත්තෙක්
හති අරියි රෝස පෙත්තක වාඩිව….
‘‘සෞන්දර්යක වේදනා රිදුම්‘‘
ජීවත් වීමේ අරගලය පිළිබඳ අත්දැකීම කොයි තරම් කාෂ්ටක වුව ජීවිතයේ සෞන්දර්යය අප අත් හළ යුතු නොවේ.

මානව ප්‍රේමයේ ඉසියුම් තැන් අල්ලා අප නොරිදා රිද්දනන්ට කවියා තෝරා ගත් මාතෘකා ජීවිතයේ වෙනස් කියවීමක් අපට ඇති කරයි. ඔහුගේ කවි වල ඇත්තේ අප නොදන්නා කලාපයක් නොවේ. අප දන්නා අප එදිනෙදා අත්දකින කලාපයක සිට ඔහු ලියන කවි අපට දැනෙන්නට ගනී. අනෙක් ඕනෑම කිවියෙක් මෙන් ඔහුද ඉර හඳ තාරකා,මල් (ඒ මල් හා වෙනත් මල්) මුහුද, හුළඟ, තුරු පත් හා වැස්ස ගැන ද ගඳ ගසන මුඩුක්කු, පටු වීදී ද අත්හැරීම්, මඟහැරීම්, අහිමිවීම්, ඇදවැටීම්, ලෙස්සායාම් හා රැවටීම් යනාදිය පිළිබඳව මතක ද තමන්ගේම ක්‍රමයට කවිවලට අඩුක් කර තිබේ. ඒවා හද රිදවන්නේ අප පෞද්ගලිකව ඒවා විඳ ඇති බැවින් පමණක් නොවේ. ඔබ පෞද්ගලිකව විද නොමැති ඕනෑම යමක් ඔබගේ හර්ද කම්පන කරන්නේත් ඒවා පිළිබඳ ලතවන්නේත් නිර්මාණකරුවාගේ සමත්කම එහි වන බැවිනි. ළහිරුගේ කවි එවැනි සමත්කම් උසුළයි. ඔහු දකුණේ භාෂාවෙන් ලියන වදන් සබරගමුවේ ගැහැණියක වූ මට නුහුරු නොවන්නේ එබැවිනි.

හිමිව ඇති බොහෝ දෑ අතර හොඳම දේ අහිමිව ඇතැයි සිතමින් අප සොයා යන යමක් තිබේ. අඩු වැඩි වශයෙන් මේ සංචාරයේ දැන හෝ නොදැන ගමන් යන්නෝ බොහොමයකි. එහෙත් එවැනි නිවීමක් සොයා ගත් යමෙක් වෙද? එය හුදෙක් පුද්ගලයාගේ මානව සන්තානයේ ඇතිවන අතෘප්තිකර බව මිස වෙන යම් දෙයක් නොවේ. ළහිරුගේ කවි අතර ඇත්තේ එවැනි ගමන්යන්නෝ පිළිබඳ ලියවුණු දෑය. එය එකාතකින් අපට අප මුණ ගැහෙන යම් තැනක් වනවා සේම අනෙක් අතට ජීවිත් වීම පිළිබඳ රිද්මය වෙනස් කර ගන්නට සොඳුරු බලකිරීමක් කරවන පද පේලිය. කවියට කැමති මට අළුත් කවි ලියන්නට පොළඹවන

කවුළු ඇස පාමුල යටි පෙළ කවියාගේ දේශපාලන දෘශ්ටියෙන් විනිර්මුක්තව කතා කළ හැකි ද? ඕනෑම නිර්මාණකරුවෙකුගේ දේශපාලනික දෘශ්ටිය ඔහුගේ නිර්මාණ කෙරේ බලපැවැත්වීම සිදුවිය හැකි ක්‍රම කිහිපයකි. එක්කෝ ඔහු ඒ පිළිබඳ කෙළින් කිව යුතුය. නැතහොත් එහි සෙවණැලි සිය නිර්මාණ මත ඇතිරිය යුතුය. සෘජු ප්‍රකාශනයකට වඩා මට ළහිරුගේ කවි පුරා ඔහු විසින් නිරායාසයෙන් විසිරුවා හළ ඔහුගේ දෘෂ්ටිවාදී එළඹුම් වල ඡායාවන් හමුවේ. ඒවා සමපාත වන්නේ කිනම් දේශපාලනයකටදැයි මා ලිවීම අනිවාර්යය නැත. ධනේෂ්වර ක්‍රමයක මානවයාගේ ආස්ථානය කොයි තරම් ක්ෂුද්‍ර දැයි අත්දකින්ට මේ කවි අතර යටිපෙළ කියවා ගත යුතුය.

ඉරුණ කටු ගහපු ජීවිතෙන් හීන අරගෙන යන්න යැයි ළහිරු ලියන කවියකි. ඒ කවිය මට පෞද්ගලිකව ප්‍රිය නොවේ. ඒ පද අතර විශ්වාසයක් මට නැත. කවිය සිදාදියේ පොහොසත් පෙම්වත‍ෙ හා ගමේ දුප්පත් පෙම්වතා අතර පවතින දුර පිළිබඳවය. පංති ප්‍රශ්නයකි.

‘‘ ගලදාරියේ කාමරයකට
නුඹ මාව එක්ක යනකොට
අනේ මේ නාඹර හිත ගැහුණේ
ගමේ වැඩ කරපු වී මෝලේ
එංජිමටත් වැඩියෙන් හරි සද්දෙට….

ඒ කවියට ගලදාරියේ කාමරය දුර වැඩි යැයි මට සිතේ. ඒ කාමරය කොළඹ ගලදාරිය සහ ගම අතර මැද අතුරු නගරයක තිබිය යුතු යැයි මට සිතේ.
කවියෙන් කවිය උදාහරණ ගෙනෙන්නට අවශ්‍ය නැත. පොත කොහොමත් රහය. ළහිරුගේත් මගේත් මිත්‍රකම සයිබරයෙන් ඒපිටට පවතින මිත්‍ර සන්ථවයක් බැවින් ඒ්වා ඒකින් ඒක වෙනම වෙලාවක කෝපි කෝප්පයක් තොළ ගාමින් කතා කළ යුතු ඒ්වාය.

“කවුළු ඇස පාමුල” මගේ සුරතින් පොඩි වී ගිය කවි පොතකි. රාත්‍රී කිහිපයක් ඒ කවි කියවමින් යළිත් පොත වසා දමා කවි අතර සරමින් සිටි නිමේශයන් රැසක් ඒ පොතට අයිති විය. එහි එන කවි ප්‍රේමය සහ අපේක්ෂාවන් දල්වා ගැනීම පිළිබඳ යමක් ගැඹුරට සිතා බැලිය යුතු බව මට බලපෑම් එකකි. මේ සටහන මට ලියන්නට ඕනෑ වූයේ එහෙයිනි..

‘‘මට ආසයි මදුරුවෙක් වගේ වෙන්න
බෙල්ලෙ පැපොල් පැල්ලම ගාව ඉඳගන්න
විඳිනව වගේ බය කරල
නිදිමත හැදෙනකොට ඔයාව ඇහැරවගන්න…
‘‘සියුමැලිය මට ඕන
පුපුරලා ළය පැලෙන ආදරෙන් මියැදෙන්න…

-අනූපමා ගනේගොඩ

ටෙලිෆෝන් – හෙලිකොප්ටර් – අත සන්ධානයක් : ‘එක මෙහෙයුමක්’ ගැන පක්ෂ 3ම කතා කරයි !

0

පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත්, දැනට නම යෝජනා ලබාදී ඇති ආකාරයට ඊට වෙන-වෙනම තරග කර මැතිවරණයෙන් පසු සන්ධානයක් පිහිටුවීමට දේශපාලන පක්ෂ කිහිපයක් තීරණය කර ඇත.
ඒ අනුව සමගි ජන බලවේගය, නිදහස් ජනතා සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙසේ සන්ධානගත වී පළාත් පාලන ආයතනවල බලය රැකගැනීමේ සූදානමක් පිළිබඳ සැලසුම් කරන බව thetime.lk වෙත වාර්තා වේ.
මේ වන විට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, නිදහස් ජනතා සන්ධානය වෙනුවෙන් ඩලස් අලහප්පෙරුම සහ නිදහස් පක්ෂය වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන, සජින් වාස් ගුණවර්ධන ඇතුළු පිරිස මේ සම්බන්ධයෙන් එකගතාවකට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව නියෝජනය කරමින් සිට එහි ජනබලය පිරිහී යන අවස්ථාවේ උපක්‍රමිකව ඉන් ඉවත්ව විපක්ෂයේ ඡන්ද ඉලක්ක කරගෙන කටයුතු කරන ජනතා නිදහස් සන්ධානය බොහොමයක් පළාත් පාලන ආයතන වෙනුවෙන් හෙලිකොප්ටරයෙන් තරග වදී.

‘බලය ඇත්තේ පිටුපසින්’

ඒ අතර පොදුජන පෙරමුණට සම්බන්ධ අනෙකුත් පක්ෂ පොහොට්ටුව ලකුණින් සහ වෙනත් ලකුණුවලින් පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත්වී සිටියද පැහැදිලි ජන බලයක් ගොඩනැගීමට නොහැකි වනු ඇතැයි අනාවැකි පළවෙමින් තිබේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන හෙලිකොප්ටරය යටතේ තරග කරන කණ්ඩායම සමගි ජන බලවේගය සමග සන්ධානගතවීමට තිරණය කර තිබේ.
නිදහස් ජනතා සන්ධානයේ ඩලස් අලහප්පෙරුම මේ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ මේ මොහොතේ ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකාරිත්වය පරාජය කිරීම තම කණ්ඩායමේ ඉලක්කය බවත්, බලය සම්බන්ධ කාරණය ඇත්තේ ඊට පිටුපසින් බවත් ය.

‘කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවක්’

එසේම මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ නිදහස් පක්ෂයට ද බිම් මට්ටමේ එතරම් ප්‍රසාදයක් නොමැති වීම හේතුවෙන් පළාත් පාලන ආයතන ගණනාවක් වෙනුවෙන් තනිව තරග කර මන්ත්‍රී ධුර කිසියම් හෝ ප්‍රමාණයක් ලබාගැනීම සහ සමගි ජන බලවේගය සමග සන්ධානගතවීමේ එකගතාවක් ඇතිකරගෙන තිබෙන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු පැවසුවේ පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල වැනි කිහිපදෙනෙකුට මෙසේ සන්ධානගත වීමේ දැඩි අවශ්‍යතාවක් තිබෙන බවයි. එහෙත් ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ විධායක සභාව තුළදී මෙතෙක් එවැන්නක් සම්බන්ධයෙන් සාකච්ඡා නොවූ බව ද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් පොදුජන පෙරමුණට සම්බන්ධ වී සිටි පළාත් පාලන නියෝජිතයන්ට බිම් මට්ටමේ දැඩි විරෝධයක් ඇති නිසා මැතිවරණය කල්දැමීම ඔවුන්ගේ අරමුණ බව බව පැහැදිලි ය. කෙසේ වුවද යම් හෙයකින් මැතිවරණය පැවැත්වුවහොත් පොහොට්ටුවට සම්බන්ධ වී සිටි හෙලිකොප්ටර් කණ්ඩායම ආණ්ඩු විරෝධී භූමිකාවක් රඟදක්වා මැතිවරණයේදී ඡන්ද ප්‍රමාණය වැඩිකරගැනීමට උත්සාහ දරන බව පැහැදිලි ය.

‘එක අරමුණකට අපි එනවා’

සමගි ජන බලවේගය පළාත් පාලන මැතිවරණයෙන් පසු නිදහස් ජනතා සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගතවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ඉහළ පෙළේ මන්ත්‍රීවරුන් ගණනාවක් විරෝධය දක්වා ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ එවැනි එකගතාවකට පැමිණ නැති බවයි. මේ මොහොතේ තම පක්ෂයේ අරමුණ ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කරදීම බවත්, ඒ වෙනුවෙන් කටයුතු කරන පාර්ශ්ව සමග එක්ව කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

එසේ වුවද පවතින තත්ත්වය යටතේ ජාතික ජන බලවේගය පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන සිදුකරන ප්‍රචාරක කටයුතුවලදී බොහොමයක් ප්‍රදේශවල වැඩි ජන බලයක් ගොඩනගාගෙන ඇති බැවින් එකී පළාත් පාලන ආයතනවලදී සන්ධානගත වී හෝ බලය ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙලකට සමගි ජන බලවේගයට යොමුවීමට සිදුව ඇත.

එසේම යම් හෙයකින් පළාත් පාලන ආයතනයක වැඩි බලයක් ලබාගැනීමට මෙම සන්ධානයට හැකිවුවහොත් එහිදී සභාපති, උප සභාපති ඇතුළු තනතුරු බෙදාගැනීම සම්බන්ධයෙන් පක්ෂ 03 අතර එකගතාවක් ඇතිකරගෙන තිබෙන බව ද වාර්තා වේ.

ඡන්දයට බාධා කළ රාජ්‍ය නිලධාරීන්ට මොකද කරන්නේ? : පැෆ්රල් මැතිවරණ කොමිසමෙන් තොරතුරු ඉල්ලයි !

0

මැතිවරණ කොමිෂන් සභාවේ කටයුතුවලට සහයෝගය ලබානොදුන් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් දැනට ගෙන ඇති පියවර මොනවාදැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆ්රල් සංවිධානය එම කොමිසමෙන් ලිඛිතව විමසීමක් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මැතිවරණ කොමිෂන් සභාවේ බලතල සහ කාර්යයන් ක්‍රියාවේ යෙදවීමට සහාය වීම රාජ්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය වගකීමක් බවත්, එය ඉටුනොකිරීම පිළිබඳව ගන්නා පියවර දැනුම් දෙන ලෙසත් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චිගේ අත්සනින් යොමු කළ ලිපියක සඳහන් වේ.

කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවාට සහ එහි සාමාජිකයන් වන එස්.බී. දිවාරත්න, එම්.එම්. මොහොමඩ්, කේ.පී.පී. පතිරණ යන කොමසාරිස්වරුන්ට ඊයේ මෙම ලිපිය යොමු කර ඇත.

එම සම්පූර්ණ ලිපිය මෙසේය.

‘2023.03.09 වන දින පැවැත්වීමට සැලසුම් කොට ඇති පළාත් පාලන ඡන්ද විමසීම් කටයුතු මැතිවරණ කොමිෂන් සභාව මගින් නියමිත පරිදි පවත්වාගෙන යමින් සිටින අතරතුර එකී ව්‍යවස්ථාපිත කටයුත්ත සඳහා සහයෝගය ලබාදිය යුතු රාජ්‍ය නිලධාරීන් විවිධ හේතු ගෙන හැර පාමින් ඡන්ද විමසීමට බාධාවන අයුරින් කටයුතු කරන බවත් දිගින් දිගටම දක්නට ලැබිණි.

ඡන්ද විමසීමක් පවත්වනු ලබන අවස්ථාවක එම කටයුත්ත සාර්ථකව නිම කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය, පොලීසිය, රජයේ මුද්‍රණාලය, ඛනිජ තෙල් සංස්ථාව, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඇතුලු සියලු රාජ්‍ය ආයතන වල හා නිලධාරීන්ගේ සහයෝගය එකී ක්‍රියාවලියට අත්‍යවශ්‍ය සාධකයකි. නමුත් අවාසනාවකට මෙන් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා දින නියම කර, එම කටයුත්ත ඉදිරියට යද්දී ඉහත පාර්ශවයන් සහයෝගය ලබානොදීම හේතුවෙන් මැතිවරණ ක්‍රියාවලියට බරපතල බාධා එල්ල වූ බවත් අපහට නිරීක්ෂණය විය.

මෙම තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් සම්බන්ධයෙන් බලන කළ අතිශයින් හානිකර තත්ත්වයක් වන අතර ඉදිරියේදී පවත්වනු ලබන මැතිවරණ වලදී නරක පූර්වාදර්ශයක් වීමේ වැඩි සම්භාවිතාවක් පවතී. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති මැතිවරණ කොමිෂන් සභාවේ බලතල කාර්යය හා කර්තව්‍යයට සහයෝගය ලබා නොදුන් නිලධාරීන් සම්බන්ධව දැනට ගෙන ඇති පියවර කවරේද යන්නත් එලෙස පියවරක් ගෙන නොමැත්තේ නම් ඉදිරියේදී ගනු ලැබීමට අපේක්ෂිත පියවර කවරේද යන්නත් පිළිබඳවත් අපව දැනුවත් කිරීමට කටයුතු කරන්නේ නම් අතිශයින් කෘතඥවන්ත වෙමි.’

මේ අතර මැතිවරණ ක්‍රියාවලියේදී චෝදනාවට ලක්වූ රාජ්‍ය නිලධාරීන් බරපතළ ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට කටයුතු කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු අවධාරණය කළහ.

සබැඳි පුවත්

පාපන්දු නිලවරණය : පෙත්සම් විභාගය මාර්තු 08

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය නීතිවිරෝධී යැයි සඳහන් කරමින් එහි හිටපු සභාපති ජස්වර් උමර් ගොනුකළ රිට් පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා ක්‍රීඩා ඇමැතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට කල් ලබා දීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

ඒ අදාල පෙත්සම ඊයේ (පෙ.බ 21) අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර්. මරික්කාර් හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

ඒ අනුව පෙත්සමට එරෙහිව ඇති විරෝධතා ලබන මාර්තු මස 1 වැනිදා ගොනු කරන ලෙස වගඋත්තරකාර ක්‍රීඩා ඇමැතිවරයා එම අමාත්‍යාංශ ලේකම්වරයා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සහ පාපන්දු සම්මේලනයට තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලය ඇතුළු පිරිසට නියෝග කෙරිණි.

එමෙන්ම ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා මාර්තු මස 3 වැනිදා ගොනු කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වයට නියම කෙරුණු අතර පෙත්සම් විභාගය මාර්තු මස 8 වැනිදා සිදු කිරීමට නියමිතය.

පසුගිය (ජනවාරි 14) වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේදීදා පැවති පාපන්දු නිළවරණය “මූලධර්මවලට පටහැණිව සිදුවුණු බව පවසා එහි හිටපු සභාපති ජස්වර් උමර් අදාළ පෙත්සම ගොනු කළේය.

සබැඳි පුවත්

පුංචි ඡන්දය : සජබයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

0

එළැඹෙන මාර්තු 09 වැනිදා පැවැත්වීම නියමිතව තිබුණු පළාත් පාලන මැතිවරණයට සඳහා මුදල් ලබා නොදීමට එරෙහිව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර විසින් ඊයේ (පෙබ. 21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

2023 වර්ෂය සඳහා අයවැය ඇස්තමේන්තු යටතේ මැතිවරණ පැවැත්වීම සඳහා මුදල් වෙන්කර තිබියදීත්, පලාත් පාලන මැතිවරණ පැවැත්වීම සදහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිසමට ලබා නොදීම මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව අදල පෙත්සමෙන් පෙන්වාදෙයි.

එමෙන්ම 2023 පළාත් පාලන ඡන්ද විමසීම් පැවැත්වීම සඳහා ක්‍රියාකාරකම් අය-වැය ඇස්තමේන්තු මගින් වෙන් කරන ලද මුදල් ලබා නොදීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කරු ඉල්ලා සිටියේ ය.

අදාල පෙත්සම මගින් මුදල් අමාත්‍යංශයේ භාණ්ඩාගාර ලේකම්, මැතිවරණ කොමසාරිස් ජනරාල්, සහ නීතිපතිවරයා ඇතුළු නවදෙනෙකු වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.

ඉලෙක්ට්‍රොනික් ඡන්ද විමසීමේ ක්‍රමය ලංකාවටත් – ඡන්ද කට් කරන ආණ්ඩුවට වෙට්ටුවක්!

0

රජය විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ප්‍රමාණවත් මුදල් නොමැති බව පවසමින් ඡන්දය කල්දැමීමේ උත්සහයක නිරතවන පසුබිමක ඉලෙක්ට්‍රොනික් ඡන්ද විමසීමේ ක්‍රමයක් පිළිබඳ කතිකාව නැවතත් මතුවෙමින් තිබේ.

ඉතා විශාල පිරිවැයක් අඩුවනවා සේම අඩු කාලයක් ඇතුලත නිරවද්‍ය සහ සවිස්තරාත්මක මැතිවරණ ප්‍රතිඵලයක් ලබාගත හැකි ඉලෙක්ට්‍රොනික් ඡන්ද විමසීමේ ක්‍රමයක් ලංකාව තුල ස්ථාපිත කිරීමේ වැදගත්කම පිළිබඳ ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමයද ඉස්මතු කර තිබේ.

විශේෂයෙන් මෙවැනි ක්‍රමයක් හරහා මැතිවරණයට අවශ්‍ය ඡන්ද පත්‍රිකා ඇතුළු විශාල ලේඛන ප්‍රමාණයක් මුද්‍රණය කිරීමේ වියදම නතර කිරීමට හැකියාව තිබේ. එවැනි පසුබිමක මුදල් නැතිබව පවසමින් ඡන්ද කල්දැමීමට ඇති ඉඩකඩද අඩුවනු ඇත. ඒ නිසා මෙකී ක්‍රමය ලංකාව වැනි රටකට පිරිවැයක් නොව ආයෝජනයක් බව පැහැදිලිය.

ඉන්දියාව ඉදිරියෙන්

මිලියන 912ක ඡන්ද දායකයන් පිරිසක් සිටින අසල්වැසි ඉන්දියාව 2004 වසරේ සිට ඉලෙක්ට්‍රොනික් මැතිවරණ ක්‍රමයක් අනුගමනය කරන අතර එය බැලට් යන්ත්‍රය ලෙස හැඳින්වෙන යන්ත්‍රයක් හරහා ඡන්දය ප්‍රකාශ කිරීම සහ ගණනය කිරීම සිදුකරනු ලබයි.

එසේම 2001 වසරේ සිට Mobile Voting ක්‍රමයක් හඳුන්වාදුන්නේ ආබාධිත සහ වයස්ගත ඡන්දදායකයන් වෙනුවෙන්ය. ඒ නිසා ඉන්දියාවට එවැනි ක්‍රමයක් වසර ගණනාවක් තිස්සේ ගැටළුවකින් තොරව පවත්වාගෙන යා හැකිනම් ශ්‍රී ලංකාවේ මිලියන 22ක් වැනි ඡන්ද දායකයින් පිරිසක් වෙනුවෙන් එය ක්‍රියාත්මක කිරීම එතරම් ගැටළුවක් විය හැකිද?

E-voting ක්‍රමය

මෙම ක්‍රමය යටතේ ඡන්ද මධ්‍යස්ථානයක ඡන්ද ප්‍රකාශ කිරීමේ ඉලෙක්ට්‍රොනික් යන්ත්‍රය ස්ථාපිත කරන අතර නිලධාරීන් විසින් සුපරීක්ෂණය කරනු ලබයි. ඡන්ද දායකයින්ට සිය හැදුනුම්පත ඉදිරිපත්කර අදාල යන්ත්‍රයේ ඇති බොත්තම් මගින් තමන්ගේ ඡන්දය සටහන්කළ හැකිය.

එවිට අදාල යන්ත්‍රයේ ඡන්දදායකයාගේ අංකය සහ ඡන්ද ප්‍රකාශ කිරීම ගබඩාවන අතර එය බැලට් රෝල් නමින් හැඳින්වෙන කඩදාසි රෝලක මුද්‍රණයවීම අතීතයේ සිදුවිය. නමුත් මේ වනවිට මේ ක්‍රමයට වඩා නවීන ක්‍රමයක් භාවිතාවන අතර, ස්පර්ශ සංවේදී තිරයක් (Touch screen) සහිත පරිගණකයක මෘදුකාංගයක් ක්‍රියාත්මක කිරීම මගින් එකී තිරය මත ස්පර්ශකල ඡන්දය පලකිරීම සිදුකල හැකිය.

i-voting ක්‍රමය

මෙම ක්‍රමය e-voting ක්‍රමයෙන් වෙනස් වන්නේ අන්තර්ජාලය භාවිතා කරමින් නිවසේ සිටම ඡන්දය ප්‍රකාශ කළ හැකි ඉතා දියුණු ක්‍රමයක් වීම නිසාය. පුද්ගලික හැඳිනුම් අංක සහ රහස්‍ය මුර පදයක් සහිතව සිය මැතිවරණ ඡන්ද ප්‍රකාශ කිරීමේ ගිණුමට ඇතුල්වී තමන්ගේ ඡන්දය ප්‍රකාශ කල හැකිය.

ඉහත ක්‍රම දෙක හරහාම ඉතා ඉක්මණින් පරිගණකය විසින් ඡන්ද ප්‍රතිඵල සකස් කරන අතර එය අදියර කිහිපයකදීම පරික්ෂාවට භාජනයවන නිසා වැරදි හෝ වංචා සිදුවීමට ඇති ඉඩකඩ ඉතාම විරලය.

ලෝකය පුරා ප්‍රචලිත ක්‍රමයක්

මේ වනවිට මෙවැනි ඉලෙක්ට්‍රොනික් ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රම එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පිලිපීනය,බ්‍රසීලය මෙන්ම බංගලාදේශය වැනි රටවල්වල ඉතා හොඳින් ක්‍රියාත්මක වෙමින් තිබේ. විශේෂයෙන්ම ජාතික මැතිවරණයක් වැනි අධික මුදලක් වැයවන මැතිවරණ සඳහා මෙය ඉතා හොඳ විකල්පයක් බව සැබෑය.

76 වැනි බ්‍රිතාන්‍ය ඇකඩමි සම්මාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වූ වගයි . !!

0

ලොව ඉතා ඉහළ සිනමා සම්මාන උළෙලක් වශයෙන් එදා මෙදාතුර ඉමහත් ගෞරවයට හා සම්භාවනාවට පාත්‍රවන බ්‍රිතාන්‍ය ඇකඩමි චිත්‍රපට සම්මාන උළෙල ( British Academy Film Awards / BAFTA ) හැත්තෑහයවැනිවරටත් පසුගියදා එනම්, 2023 පෙබරවාරි මස 19 වැනි ඉරුදින එංගලන්තයේ ලන්ඩන් නුවර Southbank ශාලාවේදී අති- උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි. එහි සම්මානලාභීන්ගෙන් තෝරාගත් නාමයන් මෙසේ ය.

76th BAFTA Awards Winners

වසරේ හොදම චිත්‍රපටය – All Quiet on the Western Front

වසරේ හොදම අධ්‍යක්ෂකවරයා – Edward Berger All Quiet on the Western Front

2022 වසරේ හොදම නළුවා – Austen Butler / Elves

2022 වසරේ හොදම නිළිය – Cate Blanchett / TÁR

2022 වසරේ හොදම සහය නළුවා – Barry Keoghan The Banshees of Inisherin

2022 වසරේ හොදම සහය නිළිය – Kerry Condon/The Banshees of Inisherin

වසරේ හොදම කැමරාකරණය – James Friend All Quiet on the Western Front

වසරේ හොදම තිර රචනය – Edward Berger,
Lesley Paterson,
Ian Stokell
All Quiet on the Western Front

වසරේ හොදම සංස්කරණය – Paul Rogers
Everything Everywhere All At Once

2022 වසරේ හොදම වාර්තා චිත්‍රපටය – Navalny / Daniel Roher

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

සිම්පල් සයිමන් කියවා කැපිටල් විෂ්ණු දුටුවෙමි

0

සිමපල් සයිමන් ලියූ විෂ්ණු වාසුට තවත් නමකි, ‘ඝටමා’ යන්න. ඒ නම තබන ලද්දේ හැරල්ඩ් පීරිස් විසිනි. එහෙත් ඝටමා තමන්ට අභිමත පරිදි විෂ්ණු වාසු නම් ආරූඪ නාමයකින් දැන් ලංකාවේ ලියා පදිංචි වී සිටියි.
‘ඝටමාගේ’ ඝටම් වාදන මම නරඹා ඇත්තෙමි. ඒ ශිල්පයෙහි ඔහු වැඩ්ඩෙකි. අසම සම වේ.

“සිම්පල් සයිමන්” – (මගේ රස්තියාදු මතක සංචිතය) නමින් පොතක් ලියමින් විෂ්ණු වාසු තමා ඝටම් වාදනයෙහි නිපුණයෙකු වූ අන්දම, තමන්ගේ අමරණීය අත්දැකීම් ආශ්‍රයෙන් රමණීය අන්දරයක් පාඨකයා අතට පත් කර තිබේ. මේ පොත එක හුස්මට කියවා හමාර කළ හැකි රසවත් පොතකි, ‘මාර’ පොතකි.
සිම්පල් සයිමන් හෙවත් ඝටමාගේ කතා බහ තුළ සේම ලේඛනය තුළ ද කැපී පෙනෙන්නේ අල්පෝක්තියයි.

අල්පෝක්තිය කෙනෙකු බොහෝ විට භාවිත කරන්නේ නිහතමානී ගුණයක් උද්දීපනය කිරීමටය. එතුළින් කෙනෙකුට අදාළ තැනැත්තා තමන්ගේ ප්‍රතිරූපය ගොඩ නගා ගන්නා අන්දම වුව හඳුනා ගැනීමට බැරි නැත.
“මේක සීරියස් කථාවක්” නෙමේ කියා කිව්වට ඝටමා ලියා තිබෙන්නේ සීරියස් කතාවකි.
ඝටම් වාදනයෙහි නිපුණයෙකු වීමේ අන්දරය ඝටම් වාදනය සේම රසවත්ය. රසයෙන් පිරී ඉතිරී යන අයුරින් සිය ජීවන අත්දැකීම අද්භූත විලාසයකින් මුල සිට අග දක්වා ඉදිරිපත් කර තිබේ.

‘පරිකල්පනයට වඩා සත්‍යය’ රසවත්ය යන කියමනට එකඟ නැති විෂ්ණු වාසු, ‘සත්‍යයට වඩා අලංකෘත පරිකල්පනය රසවත්ය’ යන මතයක පිහිටා සිය කතාව රචනා කර ඇත. (තමා යනු මිහිපිට සාමාන්‍ය මනුෂ්‍යයෙකු වුව විශ්ව බලයක ඵලයකි යන වග පාඨකයාට ඒත්තු ගැන්වීම ඔහු හිතේ හැටියට ඉටු කර ගන්නට හොඳින් වග බලා ගෙන තිබේ) ඉතින්, වාසුගේ ජීවන අන්දරය ඔහුගේ සමීපතමයෙකුට නම්, පත අට එකට සිඳවා සිනා රස විඳින්නට කදිමය. දුරස්ථ පාඨකයෙකු නම් තරමක් හොල්මන් විය හැකිය. සිය ජීවන අන්දරය විෂ්ණු වාසු ලියා තිබෙන්නේ විඥානවාදියෙකු ලෙසින් යයි දුරස්ථ පාඨකයෙකුට හැඟීයාම සොබාවිකය.

තතු කෙසේ වුව මේ රසවත් අන්දරය තුළ ප්‍රබල සමාජ යථාර්ථයන් කිහිපයක් කුළු ගන්වා තිබෙන අන්දම පාඨකයා සසල කරයි. ඉන් එකක් නම් ඔහුව කුඩා කලදී පැවිද්දෙකු විසින් අපයෝජනයට ලක් කරනු ලැබීම හේතුවෙන් සුව නොවන තුවාලයකින් පීඩා ලබමින් විසිරුණු ජීවිතයක උරුමක්කාරයෙකු වීමේ සංසිද්ධියයි. තව ප්‍රබල කාරණාවක් වන්නේ භාරතීය සමාජයේ කුලභේදය – ළමා අපයෝජනය සම්බන්ධ අනුවේදනීය අනාවරණයයි. එසේම කථකයා අල්පෝක්තියට වහං වෙමින් ගුරුකුළ අධ්‍යාපනය සම්බන්ධ අතිශයෝක්ති වැනුම් ඔස්සේ ගෙනහැර දක්වන ශිල්පීය නිපුණත්වය හා නිපුණත්වය උරුම කර ගැනීමේ ක්‍රියාදාමයයි.

විෂ්ණු වාසු හෙවත් ඝටමා කෘතිය පුරාම, සිත්තරෙකු සම්මත වර් ණ කෙරේ නොසතුටුව අලුත් වර් ණ සාදාගෙන හැඟීම් ප්‍රකාශ කරන්නට සමත්කම් පාන අයුරින් භාෂාව පරිහරණය කරමින් පාඨකයාගේ මනසේ චිත්ත රූප මවන අන්දම මනරම්ය. නිඝණ්ටයන් සමඟ මුහුන් වූ අන්දම ගැන කියමින් තමන් ලද පරමාස්වාදයක් ගැන හෙලුවෙන් සිටීමේ අභිරුචිය වනමින් පවසන අන්දම අරුතෙහි – රසයෙහි සංකලනයකි.

විෂ්ණු වාසුට යම් විශ්ව බලයකින් භාරතයේ දී පියෙකු හමුවෙයි. ඔහු මහා බලවතෙකි. ඒ බලවතා නිසා ගුරුකුළයක අසාමාන්‍ය ගුරු දෙවියෙකු පා සෙවණේ ශාස්ත්‍ර ග්‍රහණයට වරම් ලැබේ. ඒවා දිව්‍යමය හාස්කම් වැනිය. සංගීත ශාස්ත්‍රයේ මහාපුරුෂයන් ඇසුර ලබමින් මුසපත්වුණ ලෝකයක ජීවිතය විඳිමින් – ශාස්ත්‍රය ප්‍රගුණ කරමින් කල දවස ගෙවා තිබෙන අන්දම අභිරුචියෙන් කියවිය හැකි අද්භූත රස වැනුම් පිරි ආඛ්‍යානයක් වැනිය. සංගීතය හැදෑරීම හා සංගීත රසාස්වාදය සමඟ තමා ගත කළ ජීවිතය, ලද අත්දැකීම්: “පුරුෂාශ්‍රය” තුළ ආනන්දය කාව්‍යොක්තියට නඟා තිබෙන්නේ පාඨකයාව සිය ෆැන්ටසිය තුළ සංචාරයකට එකතු කර ගනිමිනි. ‘වල්කමේ ගිය අන්දම’ රස කර කර කියයි. සිය සොකඩය වන වනා යමින් ලැබූ වින්දනය, ඒ ඔස්සේ අත්හැරීමේ ප්‍රඥාව ඇත යන ප්‍රවාදයක් තනමින් තමා තුළ කුඩා කල සිට වැඩුණ දාර් ශනික චරිතය මතු කර ගන්නට උත්සුක වී සැටිය ද සිනා රසයෙන් අනූනය. තමා භාරතය තුළ අත්විඳි චමත්කාරය සේම දරිද්‍රතාව හා අවිද්‍යාව තුළ ශෝකාන්තය පාඨකයා අබිමුවට ගෙන එන ස්වරූප අගනේය. ලිංගිකත්වය හා සම්බන්ධ අත්දැකීම් ආදි තතු කියා පෑම සමඟින් ඒ ඔස්සේ “සම රිසි දිවියක” ආහ්ලාදයක් කුළු ගන්වන්නට සීරුවට වග බලා ගනියි. බාල වියේ අපයෝජනයකට ලක්වීම නිසා සම රිසි දිවියක පංගුකාරයෙක් වී යැයි යන ප්‍රවාදයක් හෙමි හෙමින් මතු කරන්නට දක්වන නැඹුරුවක් ද හඳුනා ගන්නට හැකිය. කෘතිය පුරාම උවමනාවෙන් අද්භූත රසය කුළු ගන්වන විෂ්ණු, මහත්මා ගාන්ධි සම්බන්ධයෙන් සිය මතය හා දැනුම පවසන විට සියලු අද්භූත වැනුම් හැර දමා යථාර් ථ රීතියෙන් පාඨකයා සසල කරන වියමනක් ගොතා ඇත. එය අගනේය. භාරතයට මුළු හදින් පෙම්බැඳි කෙනෙකු ලෙස ගාන්ධිගේ ජීවිතය විශ්ව ශක්තිය තුළ සාධාරණීය නොකිරීම එක අතකට අරුමයකි. එහිදී නම් කල්පිතයට වඩා සත්‍යය අප කතුතුමා අදහා තිබේ.

“සිම්පල් සයිමන්” නමැති කෘතිය තුළ දුටු විවෘත – අවංක – හෘදයංගම ලේඛන ශෛලිය කදිමය.
තමා මතුපිටින් සිම්පලයෙකු විදිහට පෙනී හිටියත්: “ඔන්න තේරුම් ගනිල්ලා මං නියම කැපිටල් පොරක්” වග විදහා පෑමට පණ පිහිටුවා ගොතා තිබෙන අන්දර මධු විතක් තොල ගාමින් – ඝටම් වාදනයක් අසමින් විඳින්නට රසකාමීන්ට මාහැඟි ය.
පොත අවසන කතු තුමා කරන ඇරුයුමද අපූරුය. ඒ මෙලෙසිනි.

“නිවාඩු වෙලාවක එන්න අපේ දිහාට. කෝපි කෝප්පයක් තොලගාන ගමන්, ජීවිතේ වැරදුණු රස තැන් සිහිපත් කරලා, බඩ අල්ලාගෙන හිනාවෙන්න”
ඉතින් වාසු, ගුරුකුළයකින් බිහිවුණ ඔරජිනල් වැඩ්ඩෙකු වන ඔබ, ඔබ කියන දුකසේ උපයා ගත් ඥානමය සම්පත – අත්දැකීම් සම්භාරය, මහ පොළොව මත රෝපණය කොට තම ගුරුදේවයාගේ කල්පිත පුතු රුවන – සැබෑ පුත්රුවනක් නොවුණේ මන්ද? මේ දූපත ඔබට කුඩා වැඩි ද?
ශාස්ත්‍රය, අමාරුවෙන් උරුම කර ගත් ශාස්ත්‍රය, තව පරපුරකට උරුම නොකළහොත් එය ගුරු කුළයට මදි කමක් නොවේ ද?
කියන්න බොහෝ දේ ඇත. ඒත් දැනට ඇති යැයි සිතේ
“සිම්පල් සයිමන්” අල්පෝක්තියෙන් ගෙනහැර පානා චරිතය අතිශයෝක්තියෙන් පාඨක මනසෙහි විචිත්‍ර – අලංකාර භූෂණ සහිත “කැපිටල් විෂ්ණු” දකින්නට තිරය විවර කිරීමක් නොවේද කියාත් මට සිතුණ බව අවසන් වශයෙන් පවසමි.

සරත් විජේසුරිය (fb) පිටුවෙන්

සමාව ගන්න එකඟ වූ සේපාල් මුදාහරී : දෙපැත්තටම දේශපාලන අරමුණු ?

0

බෞද්ධ ආගමික ස්ථානයකට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කළ බවට කරන ලද පැමිණිල්ලක් මත සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ චෝදනා ලැබ සිටි මාධ්‍යවේදියෙකු මෙන්ම ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ මුදාහැරීමට අධිකරණය අද (21) තීන්දු කළේය.

ඒ, අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ය. එසේ අපහාස කිරීම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බව විත්තිකරුගේ පාර්ශ්වයෙන් අධිකරණයට දැනුම්දීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදුන්නේය.

එහිදී වගඋත්තරකාර සේපාල් අමරසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ තම සේවාදායකයා මහනායක හිමිවරුන්ගෙන් හා බෞද්ධ ප්‍රජාවගෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටින බවයි.

එවැනි කොන්දේසි විරහිත සමාවක් අයැද සිටින්නේ නම් නඩු කටයුතු අවසන් කිරීමට සූදානම් බව පැමිණිලි පාර්ශ්වය නියෝජනය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට දැනුම් දුන්නේය. මීට අදාළ පැමිණිල්ල යොමුකර තිබුණේ බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ පූජ්‍ය අගුරුවැල්ලේ ජිනානන්ද හිමියන් ය. පැමිණිල්ල පිළිබඳ සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනයකින් පසු නීතිපති දෙපාර්තමේන්තුව මගින් සේපාල් අමරසිංහට චෝදනා ගොනුකර තිබිණි.

ශක්තික සත්කුමාර !

කෙටිකතාවක් රචනා කිරීම මගින් ආගමික අපහාසයක් සිදු කළ බවට චෝදනා එල්ල කරමින් ලේඛක ශක්තික සත්කුමාරට එරෙහිව පැමිණිලි කරන ලද්දේද මෙම බෞද්ධ තොරතුරු කේන්ද්‍රය නම් ආයතනය මගිනි. ඔහුට එරෙහිව ද සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ නීතිපතිවරයා විසින් නඩු පැවරිණි.

දින 120කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමෙන් පසු ශක්තික සත්කුමාර නිදොස් කොට නිදහස් කෙරිණි. මේ වන විට ඊට අදාළ ව ශක්තික සත්කුමාර විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග වේ.

මෙහෙයවන්නේ කවුද?

මෙසේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත අදහස් ප්‍රකාශනයේ නිදහස සීමාකිරීමට යොදාගැනීම පිටුපස දේශපාලන අරමුණු සහිත කණ්ඩායම් සිටින බවටත්, මෙම ආගමික කණ්ඩායම් දේශපාලන පක්ෂ විසින් මෙහෙයවන බවටත් දිගින්-දිගටම චෝදනා එල්ල විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ගල්කන්දේ ධම්මානන්ද හිමියන් මෙසේ පවසයි.

නිරාගමික ?

‘නිරාගමික කියන අදහස දරන අය ගොඩක් ඉන්නවා. පරම්පරාවක්. නමුත් ඒගොල්ලො එහෙම හානි කරන විදිහේ හෝ එහෙම ආගම්වලට එරෙහි පිරිසක් නෙමෙයි. නිරාගමික කියන්නෙ තමන් ආගමක් සම්බන්ධයෙන් විශේෂ ලැදියාවක් පෙන්වන්නේ නැති අය.

ඡන්ද එනකොට ?

නමුත් දැන් මේ වෙලාවේ මේක ඊට වඩා වෙනස්. අපේ රටේ සාමාන්‍යයෙන් බොහෝ දේවල් සිද්ධවෙන්නේ ඡන්ද එක්ක. මේ වෙලාවේ ප්‍රාදේශීය සභා ඡන්දය එන්න පුළුවන්. එතකොට ආයිත් බුද්ධාගමටයි, අරකටයි මේකටයි. හතුරෝ ඇවිදින්, ඔන්න ඒ පාර බුද්ධාගම බේරගන්න අර වීරයන්ට අවස්ථාව එනවා.

ආගම් විරෝධය ?

මම දකින්නේ මේක තරුණ පරම්පරාව අතරේ නිරාගමික ප්‍රවණතාවට වඩා වෙනස් දෙයක් හැටියට. නිරාගමික කියන අදහස දරන මිනිස්සු ආගම්වලට විරුද්ධ නැහැ. ඒ විතරක් නෙමෙයි. ලෝකේ ඕන තැනක බලන්න ඒ අය හරි සදාචාර සම්පන්නයි.

දේශපාලන වැඩපිළිවෙළක් ?

මේවා බොහෝදුරට මම හිතන්නේ දේශපාලන කාරණා කියලා. බරපතළ විදිහට ආගමට හතුරුකම් පෙන්වමින්, බැනවදින පිරිස කරන්නෙත් නිරාගමික ලෙස පෙනීසිටිමින් දේශපාලන වැඩපිළිවෙලකට අවශ්‍ය පසුබිම හදන එක. ඒ නිසා මේ අත්අඩංගුවේ හිටපු කෙනා ගැන වුණත් මම හිතන්නේ එයා නිරාගමික කියන පිරිසට අයිති කෙනෙක් හැටියට නෙමෙයි.’

සබැඳි පුවත්

‘රිලීස් වසන්ත මුදලිගේ සටන් පාඨය විතරයි අවසන් වුණේ : ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කළ යුතුමයි’ – වසන්ත මුදලිගේ

0

එක පැත්තකින් වසන්ත මුදලිගේ රටේ අම්මලා හුඟදෙනෙකුට පුතෙක් වුණා. සහෝදර – සහෝදරියන්ට සහෝදරයෙක් වුණා. අනෙක් පැත්තෙන් ශිෂ්‍ය ව්‍යාපාරයක නායකයෙක්. අර ආදරණීය චරිතය සහ අනෙක් වගකීම් සහගත චරිතය ගැන කොහොමද දැනෙන්නෙ … ?

ආදරණීය අම්මලා – තාත්තලා දහස් ගණනක් ශිෂ්‍ය ව්‍යාපාරය මීළඟට මේ ප්‍රශ්න ආමන්ත්‍රණය කරන්නෙ කොහොමද කියලා බලාගෙන ඉන්නවා. ඒ වගේම ඒ සම්බන්ධ බරපතළ සාකච්ඡාවක් සමාජය ඇතුළේ තියෙනවා. මගතොටේ ඇවිදිද්දි වුණත් අපෙන් අහන යම් නිශ්චිත ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. මොකද ඊළඟට කරන්නෙ. කොහොමද ඊළඟ වැඩ ටික හදලා තියෙන්නෙ වගේ.

ඇත්තටම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භයේ ඉඳලා නිශ්චිත තීරණාත්මක ප්‍රශ්නවලදි ඒවාට අදාළ මැදිහත්වීම් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කරනවත් එක්කම හාල් පොත කප්පාදුවට විරුද්ධව අරගල කරනවා. එතැනින් පස්සෙ අධ්‍යාපන අයිතිය, සෞඛ්‍ය අයිතිය මේ විදිහට මගහැරපු තීරණාත්මක තැනක් නෑ.

ඒ අතරින් එක මැදිහත්වීමක් තමයි මේ අරගලය. මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ පන්නා දැමිය යුතුයි කියලා තීරණය කළාට පස්සෙ ශිෂ්‍ය ව්‍යාපාරය ඒකට කළ යුතු උපරිම මැදිහත්වීම ජනතාව එක්ක එකතු වෙලා කළා. ඇත්තටම මේ අරගලය තීරණාත්මක ලෙස අවසන් වෙලා නෑ. අරගලය තුළ අපි කතා කරපු ඉල්ලීම්, ගාලු මුවදොර අරගලකරුවො විදිහට ඉදිරිපත් කරපු යෝජනාවලිය සියල්ලක්ම එහෙම්ම තියෙනවා.

ඒ අතරෙ අපි දන්නවා, ආර්ථික කොන්දේසි පැත්තෙන් ගත්තොත් මාධ්‍ය වාර්තා කළා, පියෙක් දරුවන්ට කන්න දෙන්න විදිහක් නැතුව සියදිවි නසාගත්තා කියලා. මවක් දරුවන්ට කන්න දෙන්න කොස් ගහකට නගින්න ගිහින් ඒ ගහෙන් වැටිලා මැරුණා. ඒ වගේ තත්ත්වෙක අපි ඉන්නෙ. මේක තමයි ඇත්තටම මුළු සමාජයටම ඉදිරි කාලයේදි අත්වෙන්න යන ඉරණම. ඒ නිසා අපි ශිෂ්‍ය ව්‍යපාරය විදිහටත්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විදිහටත්, රටේ තරුණයො විදිහටත්, ඒ වගේම අපිට සුබ පතන ආදරණීය අම්මෙකුගෙ – තාත්තෙකුගෙ දරුවෙක් විදිහටත්, ආදරණීය සහෝදරයෙක් විදිහටත් මේ කොයි පැත්තෙන් කල්පනා කළත් අපි හැමෝටම තියෙන පාර තමයි, මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න සංවිධානාත්මක මැදිහත්වීමක් කරන්න ඕනෙ කියන එක. අපි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විදිහට ඒකට අදාළ පුළුල් මැදිහත්වීමක් ඉදිරියේදි කරනවා.

මර්දනයට පමණක් භාවිත කරන නීතියක් වන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ හිර කරපු ඔබ සමස්ත ජනතාවකගේ පුළුල් මැදිහත්වීමකින් එළියට ආවා. ඔබ නිදහස් කරගැනීම වෙනුවෙන් දැඩි කැපවීමක් කළ නීතිඥ නුවන් බෝපගේ වරක් කිව්වෙ වසන්තට දැන් වගකීමක් තියෙනවා, මේ අරගලය ඉදිරියට ගෙනියන්න කියලා. ඔබත් එළියට ඇවිත් කරපු පළමු මාධ්‍ය හමුවෙදී කිව්වා, මේ මර්දන නීතිය අහෝසි කරන සටන අවසානයක් තෙක් අරගෙන යනවා කියලා. කොහොමද ඒක කරන්නෙ … ?

අපිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන රැඳවුම් නියෝගය දෙද්දිම අපිට පොලිසියෙන් කිව්වා, තව අවුරුදු ගාණකට ගෙදර යන්න වෙන්නෙ නෑ, මේ පනතෙන් ගැහුවම අවුරුදු ගාණක් තැපලා තමයි යන්න වෙන්නෙ කියලා. ඇත්තටම ආරක්ෂක අංශවලට හොඳ අවබෝධයක් තියෙනවා, තමන්ගෙ අවශ්‍යතාවට කෙනෙක් අසාධාරණ ලෙස හිරකරන්න ඕනෙ නම්, ඒකට මේ පනත පාවිච්චි කරන්න පුළුවන් කියන එක සහ ඒක කරන්නෙ කොහොමද කියන එක ගැන.

රැඳවුම් නියෝගයෙන් පස්සෙ අධිකරණයට ඉදිරිපත් කරලා අපි බන්ධනාගාරයට ගියා. එතැනදි අපිට හම්බුණා මේ පනතින් හිරකරපු සමහර රැඳවියො. ඒ සමහරුන්ට අදාළ චෝදනා විභාග වෙලත් නෑ, නඩු දින දීර්ඝ කාලයක් ඇදෙනවා. සමහර නඩු අවුරුදු පහළොවක් විතර ඇදිලා.

ත්‍රස්තවාදයට අදාළව ගත්තොත් කරුණා අම්මාන්, පිල්ලෙයාන් වගේ ඒ තැන්වල හිටපු නායකයො හොඳට දේශපාලන කටයුතු කරගෙන යනවා. හැබැයි එයාලගෙ නියෝගයක් ක්‍රියාත්මක කරන්න හදපු හෝ එහෙම එකකට යෙදවුණු අය කිසිම සාධාරණ නඩු විභාගයකින් හෝ ඉක්මන් නඩු විභාගයකින් තොරව හිරකරලා තියෙනවා.

උසාවියෙ නඩු අහන වෙලාවෙදි සමහර වෙලාවට අපිට ඒ සහෝදරවරු හම්බෙනවා. හම්බුණු ගමන් ඔවුන් කියන්නෙ මේ පනත සම්බන්ධයෙන් දැන් එළියෙ ඇතිවෙලා තියෙන පුළුල් සාකච්ඡා ගැන. ඔවුන් දැඩි විශ්වාසයකින් ඉන්නවා ඒ ගැන. ඔවුන් අවුරුදු පහළොවකින් – දාසයකින් ගෙදර ගිහිල්ලා නෑ.

ඇත්තටම ගත්තොත් රිලීස් වසන්ත මුදලිගේ කියන සටන් පාඨය විතරයි ඉවර වුණේ. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත එහෙම්ම තියෙනවා. ඒක අහෝසි කළ යුතුමයි. මොකද එක පාරක් රැඳවුම් නියෝග ගහපු ආණ්ඩුවකට තව සිය ගාණකට ගහන්න බැරි නෑ. අපි දන්නවා මේ රැඳවුම් නියෝගය අවසන් කරලා නිදහස ලැබෙන්නෙ රටේ ජනතාවගේ මැදිහත්වීම නිසා. ඒ නිසා නිශ්චිතවම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා මේ අරගලය ඉදිරියටම යනවා. ඒ වගේම දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා මේ අරගලය ඉදිරියටම යනවා.

අපි අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විදිහට සාකච්ඡා කරගෙන යනවා, මේ අරගල දෙකටම අදාළව ෆෝරම් එකක් නිර්මාණය කරලා විවිධ පුද්ගල කණ්ඩායම් එක්ක පුළුල් සාකච්ඡා සමග මේ අරගල ඉස්සරහට අරගෙන යන්න.

ආණ්ඩුව සැලසුම් කරන්නෙ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන්න කියලා ගේන විරෝධතා එක්ක ඒ පනතම වෙන නම් දාලා ගේන්න. එතකොට අපිට අවශ්‍ය වෙන්නෙ ඒ පනතට සුදු හුණු ගාලා, අයිසින් දාලා, විස කේක් ගෙඩිය අයිසින් දාලා කන්න නෙමෙයි. අපිට අවශ්‍ය මේ කේක් ගෙඩියම අයින් කරන්න. අපි ඒකට අදාළ මැදිහත්වීම කරනවා. ඒ වගේම රටේ ජනතාවටත් අපි කියන්නෙ මේක තනි පුද්ගලයෙකුගෙ ප්‍රශ්නයක් නෙමෙයි. මේක සමාජයක් ලෙස බරපතළ ලෙස අපි හිතන්න ඕනෙ. ඒ වගේම එකට මැදිහත් වෙලා පරාජය කරන්න ඕනෙ පනතක්.

ඔබ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට එනවා. ඇවිත් සමස්ත ශිෂ්‍ය අයිතීන් ආරක්ෂා කරන්න වගේම රටේ ජනතාව පීඩාවට පත්කරන ප්‍රශ්න වෙනුවෙන් අරගල කරනවා. ඒ අතරෙ සමාජයේ බහුතරය විශ්විද්‍යාල ශිෂ්‍යයා කියන කෙනාගෙන් වෙනත් දෙයක් බලාපොරොත්තු වෙනවා. අර ආදර්ශමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයා සහ වසන්ත මුදලිගේ අතර තියෙන වෙනස ගැන කතා කරමුද … ?

එකක් තමයි අපි පහුගිය කාලෙ දැක්කා, නාමල් රාජපක්ෂ නීති උපාධිය සම්පූර්ණ කළේ කොහොමද, නීති ප්‍රවේශ විභාගයට තමන්ගෙ තාත්තගෙ තිබුණු බලතල පාවිච්චි කරලා තනි කාමරයක් වෙන්කරගත්තෙ කොහොමද කියලා. ඒ වගේ තව අවස්ථා රැසක් තියෙනවා. මේ රටේ අම්මලා – තාත්තලා බදු මුදල් ගෙවලා, අධ්‍යාපන අයිතිය ආරක්ෂා කළාට පස්සෙ, ශිෂ්‍ය ක්‍රියාකාරීන් දැවැන්ත කැපකිරීම් කරලා ඉතිහාසය පුරාම මේක ආරක්ෂා කළාට පස්සෙ ඒ භුක්තිය විඳලා අපිට උසස් අධ්‍යාපන අවස්ථාව ලබාගන්න හැකිවුණා.

එතකොට අපිට තියෙන ප්‍රශ්නෙ තමයි, අපිට ඉස්කෝලෙ ඉද්දි නිල ඇඳුම් ටික ගන්න බදු මුදල් ගෙව්වෙ කවුද කියන එක. පෙළපොත් ටිකට බදු මුදල් ගෙව්වෙ කවුද කියන එක. ඒවා ගෙව්වෙ මේ රටේ ජනතාව. අපි විශ්වවිද්‍යාලෙට ආවට පස්සෙ මහපොළ රුපියල් පන්දාහෙ ඉඳලා, ශිෂ්‍යාධාර රුපියල් හාරදාහෙ ඉඳලා, කැන්ටින් එකේ කෑම එක අඩු ගාණට ගන්න පුළුවන් වටපිටාව මේ සියලු දේවල් හම්බුණේ මේ රටේ ජනතාව නිසා.

එතකොට අපි හිතනවා අපිට තීරණ දෙකක් ගන්න පුළුවන්. එකක් මේ ප්‍රශ්න කිසිවක් නොදැක්කා සේ පාඩුවෙ ඉන්න එක. එහෙම නැත්නම් අපිව මේ තැනට ගේන්න සමාජයක් මැදිහත් වෙලා තියෙනවා, එතකොට ඒ සමාජයට අපි පෙරළා අපේ සමාජ වගකීම ඉටුකරන්න ඕනෙ. සමාජ වගකීමක් තමයි රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනීසිටීම. ඒක කරද්දි යම් කැපකිරීමක් අනිවාර්යෙන්ම කරන්න වෙනවා.

ලංකාවෙ ජනප්‍රිය දේශපාලනය ඇතුළේ කවුරුත් දේශපාලනය වෙනුවෙන් කැපකිරීම් කරන්නෙ නෑනෙ. හැමෝගෙම අරමුණ පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, ප්‍රාදේශීය සභාවෙ නම් සභාපති පුටුවට යන එක. ඒකෙන් හොඳට ඉන්න ගමන්, ගෙවල් හදාගෙන සම්පත් රැස්කරගන්න. එතකොට දේශපාලනය කියන එකේ ප්‍රතිබිම්බය වෙලා තියෙන්නෙ මේක. ඒක අතික්‍රමණය කරමින් ශිෂ්‍ය ව්‍යාපාරයේ ශිෂ්‍ය නායකයො, සහෝදරවරු, අපිට කලින් හිටපු සහ මේ මොහොතේ ඉන්න සහෝදරවරු කැපකිරීම් කරන කොට ආණ්ඩුව පැත්තෙන් ඒක හෙළාදකිනවා. ඒක ඒගොල්ලොන්ට ප්‍රශ්නයක්. ඒගොල්ලොන්ගෙ පැවැත්මට ප්‍රශ්නයක්. ආවෙ ඉගෙනගන්න නේද, ඉගෙනගන්නෙ නැද්ද අහනවා. එහෙම මතයක් සමාජගත කරනවා.

අපි ඇත්තටම අපේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරනවා. ඒකට අදාළ යම් කාල ප්‍රමාණයකුත් තියෙනවා. මේකට අනෙක් පැත්තෙ ඉඳලා හෙළාදකින පිරිස ගේන තවත් තර්කයක් තමයි, අපි විශ්වවිද්‍යාලෙ වැඩි කාලයක් ඉන්නවා, ඒක නිසා තව කෙනෙකුට එන්න තියෙන ඉඩ නැතිවෙනවා කියන එක. ඒක විහිළු සහගත කතාවක්.

අපිට විශ්වවිද්‍යාලෙ කාලය වසර හතරයි නම්, ඒ වසර හතරෙන් පස්සෙ අපිට නේවාසික පහසුකම් දෙන්නෙ නෑ. එතැනින් එහාට දේශනවලට හෝ අනෙකුත් ඒවට අපි වෙනුවෙන් මුදල් වියදම් කරන්නෙත් නෑ. ශිෂ්‍යාධාර දෙන්නෙත් නෑ. සාමාන්‍ය ශිෂ්‍යයෙකුට හම්බෙන සියලු දේවල් අපි ගත්තෙ ඒ වසර හතරෙ විතරයි.

දැන් අපිව නඩත්තු කරන්නෙ අපේ විශ්වවිද්‍යාලවල සහෝදරවරු. දැනට ඉන්න අය. ගිය අය. ඒ සියලුදෙනා එකතු වෙලා තමයි මේ සියලු කටයුතු කරන්නෙ. කවුරු හරි හිතනවා නම් මාසයක් – දෙකක් අපි පරක්කු වෙන එක ඇතුළේ තව කෙනෙකුට එන්න අවහිරයක් වෙලා තියෙනවා කියලා. නෑ, එහෙම කිසි අවහිරයක් වෙන්නෙ නෑ. ඒක ඉතාම පැහැදිලියි.

අපි හිතනවා, සමාජයක් ඉස්සරහට යන්න කැපකිරීම් අවශ්‍යයි. මුළු ඉතිහාසය පුරාමත් ඒක එහෙම තමයි වෙලා තියෙන්නෙ. මේ මොහොතේත් තමන්ගෙ දරුවන්ට කන්න දෙන්න දෙයක් නෑ කියලා ඔවුන්ව පවා ඝාතනය කරන සමාජයක් වඩා යහපත් තැනකට ගේන්න දැවැන්ත කැපකිරීම් අවශ්‍යමයි. විශේෂයෙන්ම මුළු සමාජයේම කැපකිරීම් අවශ්‍යම මොහොතක් මේක.

(අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන, චෝදනා ගොනුනොකොට, ඔහුට එරෙහිව සකස් කළ බවට සැක කළ හැකි සාක්ෂි 2ක් පෙන්වමින්, දින 160කට අධික කාලයක් සිරගත කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව කටයුතු කළ අතර, ඒ සම්බන්ධයෙන් සමාජයෙන් දැඩි විරෝධයක් එල්ල විය. එම විරෝධය නිසා ම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ ඒ යටතේ රඳවාගෙන සිටින අනෙකුත් සිරකරුවන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් පුළුල් කතාබහක් ද මතු විය.)

සබැඳි පුවත්