සිමපල් සයිමන් ලියූ විෂ්ණු වාසුට තවත් නමකි, ‘ඝටමා’ යන්න. ඒ නම තබන ලද්දේ හැරල්ඩ් පීරිස් විසිනි. එහෙත් ඝටමා තමන්ට අභිමත පරිදි විෂ්ණු වාසු නම් ආරූඪ නාමයකින් දැන් ලංකාවේ ලියා පදිංචි වී සිටියි.
‘ඝටමාගේ’ ඝටම් වාදන මම නරඹා ඇත්තෙමි. ඒ ශිල්පයෙහි ඔහු වැඩ්ඩෙකි. අසම සම වේ.
“සිම්පල් සයිමන්” – (මගේ රස්තියාදු මතක සංචිතය) නමින් පොතක් ලියමින් විෂ්ණු වාසු තමා ඝටම් වාදනයෙහි නිපුණයෙකු වූ අන්දම, තමන්ගේ අමරණීය අත්දැකීම් ආශ්‍රයෙන් රමණීය අන්දරයක් පාඨකයා අතට පත් කර තිබේ. මේ පොත එක හුස්මට කියවා හමාර කළ හැකි රසවත් පොතකි, ‘මාර’ පොතකි.
සිම්පල් සයිමන් හෙවත් ඝටමාගේ කතා බහ තුළ සේම ලේඛනය තුළ ද කැපී පෙනෙන්නේ අල්පෝක්තියයි.
අල්පෝක්තිය කෙනෙකු බොහෝ විට භාවිත කරන්නේ නිහතමානී ගුණයක් උද්දීපනය කිරීමටය. එතුළින් කෙනෙකුට අදාළ තැනැත්තා තමන්ගේ ප්‍රතිරූපය ගොඩ නගා ගන්නා අන්දම වුව හඳුනා ගැනීමට බැරි නැත.
“මේක සීරියස් කථාවක්” නෙමේ කියා කිව්වට ඝටමා ලියා තිබෙන්නේ සීරියස් කතාවකි.
ඝටම් වාදනයෙහි නිපුණයෙකු වීමේ අන්දරය ඝටම් වාදනය සේම රසවත්ය. රසයෙන් පිරී ඉතිරී යන අයුරින් සිය ජීවන අත්දැකීම අද්භූත විලාසයකින් මුල සිට අග දක්වා ඉදිරිපත් කර තිබේ.
‘පරිකල්පනයට වඩා සත්‍යය’ රසවත්ය යන කියමනට එකඟ නැති විෂ්ණු වාසු, ‘සත්‍යයට වඩා අලංකෘත පරිකල්පනය රසවත්ය’ යන මතයක පිහිටා සිය කතාව රචනා කර ඇත. (තමා යනු මිහිපිට සාමාන්‍ය මනුෂ්‍යයෙකු වුව විශ්ව බලයක ඵලයකි යන වග පාඨකයාට ඒත්තු ගැන්වීම ඔහු හිතේ හැටියට ඉටු කර ගන්නට හොඳින් වග බලා ගෙන තිබේ) ඉතින්, වාසුගේ ජීවන අන්දරය ඔහුගේ සමීපතමයෙකුට නම්, පත අට එකට සිඳවා සිනා රස විඳින්නට කදිමය. දුරස්ථ පාඨකයෙකු නම් තරමක් හොල්මන් විය හැකිය. සිය ජීවන අන්දරය විෂ්ණු වාසු ලියා තිබෙන්නේ විඥානවාදියෙකු ලෙසින් යයි දුරස්ථ පාඨකයෙකුට හැඟීයාම සොබාවිකය.
තතු කෙසේ වුව මේ රසවත් අන්දරය තුළ ප්‍රබල සමාජ යථාර්ථයන් කිහිපයක් කුළු ගන්වා තිබෙන අන්දම පාඨකයා සසල කරයි. ඉන් එකක් නම් ඔහුව කුඩා කලදී පැවිද්දෙකු විසින් අපයෝජනයට ලක් කරනු ලැබීම හේතුවෙන් සුව නොවන තුවාලයකින් පීඩා ලබමින් විසිරුණු ජීවිතයක උරුමක්කාරයෙකු වීමේ සංසිද්ධියයි. තව ප්‍රබල කාරණාවක් වන්නේ භාරතීය සමාජයේ කුලභේදය – ළමා අපයෝජනය සම්බන්ධ අනුවේදනීය අනාවරණයයි. එසේම කථකයා අල්පෝක්තියට වහං වෙමින් ගුරුකුළ අධ්‍යාපනය සම්බන්ධ අතිශයෝක්ති වැනුම් ඔස්සේ ගෙනහැර දක්වන ශිල්පීය නිපුණත්වය හා නිපුණත්වය උරුම කර ගැනීමේ ක්‍රියාදාමයයි.
විෂ්ණු වාසු හෙවත් ඝටමා කෘතිය පුරාම, සිත්තරෙකු සම්මත වර් ණ කෙරේ නොසතුටුව අලුත් වර් ණ සාදාගෙන හැඟීම් ප්‍රකාශ කරන්නට සමත්කම් පාන අයුරින් භාෂාව පරිහරණය කරමින් පාඨකයාගේ මනසේ චිත්ත රූප මවන අන්දම මනරම්ය. නිඝණ්ටයන් සමඟ මුහුන් වූ අන්දම ගැන කියමින් තමන් ලද පරමාස්වාදයක් ගැන හෙලුවෙන් සිටීමේ අභිරුචිය වනමින් පවසන අන්දම අරුතෙහි – රසයෙහි සංකලනයකි.
විෂ්ණු වාසුට යම් විශ්ව බලයකින් භාරතයේ දී පියෙකු හමුවෙයි. ඔහු මහා බලවතෙකි. ඒ බලවතා නිසා ගුරුකුළයක අසාමාන්‍ය ගුරු දෙවියෙකු පා සෙවණේ ශාස්ත්‍ර ග්‍රහණයට වරම් ලැබේ. ඒවා දිව්‍යමය හාස්කම් වැනිය. සංගීත ශාස්ත්‍රයේ මහාපුරුෂයන් ඇසුර ලබමින් මුසපත්වුණ ලෝකයක ජීවිතය විඳිමින් – ශාස්ත්‍රය ප්‍රගුණ කරමින් කල දවස ගෙවා තිබෙන අන්දම අභිරුචියෙන් කියවිය හැකි අද්භූත රස වැනුම් පිරි ආඛ්‍යානයක් වැනිය. සංගීතය හැදෑරීම හා සංගීත රසාස්වාදය සමඟ තමා ගත කළ ජීවිතය, ලද අත්දැකීම්: “පුරුෂාශ්‍රය” තුළ ආනන්දය කාව්‍යොක්තියට නඟා තිබෙන්නේ පාඨකයාව සිය ෆැන්ටසිය තුළ සංචාරයකට එකතු කර ගනිමිනි. ‘වල්කමේ ගිය අන්දම’ රස කර කර කියයි. සිය සොකඩය වන වනා යමින් ලැබූ වින්දනය, ඒ ඔස්සේ අත්හැරීමේ ප්‍රඥාව ඇත යන ප්‍රවාදයක් තනමින් තමා තුළ කුඩා කල සිට වැඩුණ දාර් ශනික චරිතය මතු කර ගන්නට උත්සුක වී සැටිය ද සිනා රසයෙන් අනූනය. තමා භාරතය තුළ අත්විඳි චමත්කාරය සේම දරිද්‍රතාව හා අවිද්‍යාව තුළ ශෝකාන්තය පාඨකයා අබිමුවට ගෙන එන ස්වරූප අගනේය. ලිංගිකත්වය හා සම්බන්ධ අත්දැකීම් ආදි තතු කියා පෑම සමඟින් ඒ ඔස්සේ “සම රිසි දිවියක” ආහ්ලාදයක් කුළු ගන්වන්නට සීරුවට වග බලා ගනියි. බාල වියේ අපයෝජනයකට ලක්වීම නිසා සම රිසි දිවියක පංගුකාරයෙක් වී යැයි යන ප්‍රවාදයක් හෙමි හෙමින් මතු කරන්නට දක්වන නැඹුරුවක් ද හඳුනා ගන්නට හැකිය. කෘතිය පුරාම උවමනාවෙන් අද්භූත රසය කුළු ගන්වන විෂ්ණු, මහත්මා ගාන්ධි සම්බන්ධයෙන් සිය මතය හා දැනුම පවසන විට සියලු අද්භූත වැනුම් හැර දමා යථාර් ථ රීතියෙන් පාඨකයා සසල කරන වියමනක් ගොතා ඇත. එය අගනේය. භාරතයට මුළු හදින් පෙම්බැඳි කෙනෙකු ලෙස ගාන්ධිගේ ජීවිතය විශ්ව ශක්තිය තුළ සාධාරණීය නොකිරීම එක අතකට අරුමයකි. එහිදී නම් කල්පිතයට වඩා සත්‍යය අප කතුතුමා අදහා තිබේ.
“සිම්පල් සයිමන්” නමැති කෘතිය තුළ දුටු විවෘත – අවංක – හෘදයංගම ලේඛන ශෛලිය කදිමය.
තමා මතුපිටින් සිම්පලයෙකු විදිහට පෙනී හිටියත්: “ඔන්න තේරුම් ගනිල්ලා මං නියම කැපිටල් පොරක්” වග විදහා පෑමට පණ පිහිටුවා ගොතා තිබෙන අන්දර මධු විතක් තොල ගාමින් – ඝටම් වාදනයක් අසමින් විඳින්නට රසකාමීන්ට මාහැඟි ය.
පොත අවසන කතු තුමා කරන ඇරුයුමද අපූරුය. ඒ මෙලෙසිනි.
“නිවාඩු වෙලාවක එන්න අපේ දිහාට. කෝපි කෝප්පයක් තොලගාන ගමන්, ජීවිතේ වැරදුණු රස තැන් සිහිපත් කරලා, බඩ අල්ලාගෙන හිනාවෙන්න”
ඉතින් වාසු, ගුරුකුළයකින් බිහිවුණ ඔරජිනල් වැඩ්ඩෙකු වන ඔබ, ඔබ කියන දුකසේ උපයා ගත් ඥානමය සම්පත – අත්දැකීම් සම්භාරය, මහ පොළොව මත රෝපණය කොට තම ගුරුදේවයාගේ කල්පිත පුතු රුවන – සැබෑ පුත්රුවනක් නොවුණේ මන්ද? මේ දූපත ඔබට කුඩා වැඩි ද?
ශාස්ත්‍රය, අමාරුවෙන් උරුම කර ගත් ශාස්ත්‍රය, තව පරපුරකට උරුම නොකළහොත් එය ගුරු කුළයට මදි කමක් නොවේ ද?
කියන්න බොහෝ දේ ඇත. ඒත් දැනට ඇති යැයි සිතේ
“සිම්පල් සයිමන්” අල්පෝක්තියෙන් ගෙනහැර පානා චරිතය අතිශයෝක්තියෙන් පාඨක මනසෙහි විචිත්‍ර – අලංකාර භූෂණ සහිත “කැපිටල් විෂ්ණු” දකින්නට තිරය විවර කිරීමක් නොවේද කියාත් මට සිතුණ බව අවසන් වශයෙන් පවසමි.