පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ප්‍රමාද කිරීමට අදාළ වාචික – අනීතික නියෝග ලබාදුන් සහ එම වාචික – අනීතික නියෝගවලට අනුව කටයුතු කළ රජයේ නිලධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බව ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ අවධාරණය කරති.
මේ, ඒ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමරප්පෙරුම පළකළ අදහස් ය.
මූලික අයිතිවාසිකම් !
‘මැතිවරණයක් කියන්නෙ මේ රටේ ඡන්ද බලය හිමි පුරවැසියෙකුට තමන් විශ්වාස කරන අදහසක් හා ඒ අදහස ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබාදීම. යම් දේශපාලන පක්ෂයක් පිළිබඳ සිතීමේ අයිතියක් වගේම ඒ පිළිබඳ අදහසක් ප්‍රකාශ කිරීමේ අයිතියක් තිබෙනවා.
මේක වැටෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ලෙස දැක්වෙන පරිච්ඡේදයට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි ව්‍යවස්ථාව, 14.1 (ආ) ව්‍යවස්ථාව යන ව්‍යවස්ථාවලින් ආරක්ෂා කර තිබෙන අයිතිවාසිකමක් විදිහට සිතීමේ නිදහස හා භාෂණයේ ප්‍රකාශනයේ නිදහස තමයි ඡන්ද පත්‍රිකාවකට කතිරයක් ගැසීම. ඒ මගින් අදහසක් ප්‍රකාශ කිරීමේ අයිතිය බලාපොරොත්තු වනවා. ලංකාවේ පරමාධිපත්‍යය ජනතාව සතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි වගන්තියේ සඳහන් වෙලා තියෙනවා. හතරවැනි වගන්තියේ එය ක්‍රියාත්මක වන ආකාරය දැක්වෙනවා.’
ජනතා පරමාධිපත්‍යය !
‘ඡන්දය වැලැක්වීමට කටයුතු කරන ඊනියා බුද්ධිමතුන්, දේශපාලකයන් තර්කයක් ගේනවා, ජනතා පරමාධිපත්‍යය තුළට පළාත් පාලන මැතිවරණය වැටෙන්නෙ නැහැ කියලා. ඒක බොරුවක්. 2003දී පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට අදාළ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රකාශ වුණා. ඒ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ලබාදීපු නඩු තීන්දුවේ පැහැදිලිව ම දක්වා තිබෙනවා, ජනතා පරමාධිපත්‍යය ඇතුළට පළාත් පාලන මැතිවරණය කියන එකත් ඇතුළත් වන බව. ඒ අනුව මේ මැතිවරණය ජනතා පරමාධිපත්‍යය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි ව්‍යවස්ථාව සමග ඍජුවම බද්ධ වී තිබෙන කරුණක්.’
ස්වාධීන මැතිවරණ කොමිසම !
‘මේ මැතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පස්සෙ මුලින්ම කැබිනට් ලේකම්වරයා විසින් තේරීම් බාර නිලධාරීන්ට කැබිනට් තීරණයක් ලෙස යවනවා ඇප මුදල් එකතු කිරීම නවත්වන ලෙස. පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න කිරීමකදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශයක් කරනවා, එහෙම තීරණයක් කැබිනට් එක තුළ නොගත් බවට. ඊට පස්සෙ මැතිවරණය පැවැත්වීම නැවැත්වීමට රටට මුදල් නැති බව පවසමින් නඩුවක් පවරනවා.
ඊට පස්සෙ කැබිනට් තීරණයක් ප්‍රකාර ව චක්‍රලේඛයක් නිකුත් කරනවා රජයේ ආයතනවලට අත්පිට මුදලට හැරෙන්නට කිසිම සේවාවක් සපයන්න එපා යනුවෙන්. මේ චක්‍රලේඛය නිකුත් කිරීමේ පරමාර්ථය වූයේ ම මැතිවරණය වැලැක්වීම. ඒ චක්‍රලේඛය පදනම් කරගෙන මුද්‍රණාලයාධිපතිනිය ඡන්ද පත්‍රිකා අච්චු ගැසීම නවත්වනවා. මැතිවරණ කොමිසම ස්වාධීන ආයතනයක්. ස්වාධීන ආයතනයකට රජයේ ආයතන විසින් නිකුත් කරනු ලබන චක්‍රලේඛයක් වලංගු වෙනවාද?’
19 වැනි සංශෝධනය !
‘මැතිවරණ කොමිසම දිගින්-දිගටම මුදල් ඉල්ලා සිටියා. කොමිසමට මුදල් දෙන එක මගහරිමින් සිටියා. අවසානයේ මිලියන 40ක මුදලක් ලබාදුන්නා. මේක විධායකය විසින් ස්වාධීන කොමිසමක මූල්‍ය පාලනය අතට ගැනීමක්. ඒක ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපතිවරයා සතු බලතල පැහැදිලි කර තිබෙනවා.
33 (සී) ව්‍යවස්ථාවේ 33.1.ඩී. අනු ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ බලතල කාර්යය සහ කර්තව්‍ය
එහි පැහැදිලිව මෙසේ සඳහන් වෙනවා, මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම සහ ජනමත විචාරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණ නිර්මාණය කිරීම තහවුරු කිරීම. මේ අනුව 19 වැනි සංශෝධනය විසින් ජනාධිපතිවරයාට වගකීමක් පවරා තිබෙනවා, මැතිවරණ කොමිෂන් සභාව පවසන ආකාරයට නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් හෝ ජනමත විචාරණ පැවැත්වීමට උචිත වාතාවරණය නිර්මාණය කිරීම තහවුරු කළ යුතු බවට.’
රජයේ සේවකයන්ගේ වගකීම !
‘ඒ වගේම මේ ව්‍යවස්ථා සංශෝධනයේ ම 104.උ.ඌ. වගන්තියේ තිබෙනවා, කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව යම් ඡන්ද විමසීමක් පැවැත්වීමට හෝ ජනමත විචාරණයක් පැවැත්වීමට අදාළ යම් නීතියක් බලාත්මක කිරීම සහතික කිරීම පිණිස කොමිෂන් සභාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම ප්‍රතික්ෂේප කරන හෝ අපොහොසත් වන හෝ යම් රජයේ නිලධාරියෙකු රාජ්‍ය සංස්ථාව හෝ වෙනත් යම් කිසිදු නීතියක් යටතේ පවරනු ලැබූ ව්‍යාපාරයක ඒ අයට නඩුවක් පවරලා, රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයකුත් අවුරුදු තුනක් නොඉක්මවන සිරදඬුවමකුත් නියම කරන්න බලය තිබෙන බව.’
පොලිසිය !
‘මේ මැතිවරණ අවස්ථාවක වැදගත් වන ආයතන තුනක් තිබෙනවා. මැතිවරණ කොමිසම සහ මැතිවරණ මහලේකම් කාර්යාලය, ඡන්ද පත්‍රිකා සහ ඊට අදාළ ලේඛන මුද්‍රණය කරණ රජයේ මුද්‍රණාලය, නීතිය හා සාමය ආරක්ෂා කරන පොලිසිය. මේ ඡන්ද කාර්යයන් සිදුකරන මේ අවස්ථාවේ 104.උ.ඌ. වගන්තිය යටතේ පොලිස්පතිවරයා ක්‍රියාත්මක වුණාද? නැද්ද? යන ප්‍රශ්න පැනනගිනවා. එහෙම ක්‍රියාත්මක වීමක් සිදුවී නැහැ. මුද්‍රණාලයාධිපතිනිය කියනවා, මට ආරක්ෂාවක් නැහැ. ඒක නිසා මේ ක්‍රියාව සිදුකරන්න විදිහක් නැහැ කියලා. ඒකට පිළිතුරක් ලෙස ඇයගේ වාහනයට ඉදිරියටත් පිටුපසටත් ආරක්ෂාව යොදවන්නම් යනුවෙන් පවසනවා. ඇය බලාපොරොත්තු වෙන්නෙ එය නෙමෙයි. ඒ අනුව පොලිස්පතිවරයා ව්‍යවස්ථාවේ 104.උ.ඌ. වගන්තියට අනුව ක්‍රියාත්මක වෙලා තියෙනවාද? නැද්ද? යන ප්‍රශ්නය දැන් ජනතාව ඉස්සරහට ඇවිත් තියෙනවා.’
කොමිසමේ වගකීම සහ කාර්යයන් !
‘ඒ වගේම ජනාධිපතිවරයා මැතිවරණ කොමිසමේ උපදෙස් මත ක්‍රියාත්මක වුණාද? මැතිවරණ කොමිසම මැතිවරණය සඳහා දින නියම කොට තිබෙනවා. තැපැල් ඡන්ද සඳහා දිනයක් නියම කළා. දැන් ජනාධිපතිවරයා ඒකට අවශ්‍ය මුදල් සම්පාදනය කරන්න ඕනෙ. ඒ වගකීම 33.සී. වගන්තිය යටතේ ජනාධිපතිවරයාට තියෙනවා.
මහා භාණ්ඩාගාරයේ ලේකම් කියනවා රටේ මුදල් නැති බව. එහෙත් අපි දැක්කා මුදල් නැති වුණාට රාජ්‍ය අමාත්‍යවරු 37ක් පත්කළා. නිදහස් උත්සව පැවැත්වූවා. අවශ්‍ය ප්‍රතිපාදන සියල්ල ලබාදුන්නා. මැතිවරණ කොමිසම මුල් අවස්ථාවේ ඉල්ලන්නෙ මිලියන 2.3ක මුදලක්. මේ මැතිවරණයට ප්‍රතිපාදන වෙන් කළේ 2023 වසරේ අයවැයෙන්. එහෙම වෙන්කළාම භාණ්ඩාගාරයට වගකීමක් තියෙනවා ඒ මුදල තියාගන්න.
රජය මුදල් වියදම් කරමින් සිටින ආකාරය දෙස බලන විට, කලින් වෙන්කරපු මුදලක් මේ අවස්ථාවේ දෙන්න බැහැයි කීම පිළිගත නොහැක්කක්. මහා භාණ්ඩාගාර ලේකම්ගේ හැසිරීම අසත්‍ය නම්, ඔහුත් 104 උ.ඌ. මේ මැතිවරණය ක්‍රියාත්මක කිරීමට සහයෝගය නොදීමේ වරදට චෝදනාවට ලක්වෙනවා.
ඉහළ රාජ්‍ය නිලධාරීන් විධායකයේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරනවා. එසේ කටයුතු කරන විට ඉතා පරෙස්සම් විය යුතුයි. ඉතිහාසයේ එවන් අවස්ථා අප දැක තියෙනවා. ඒ කටයුතු කිරීම්වල ප්‍රතිඵල විදිහට ජනාධිපති කොමිෂන් සභා හමුවට යන්න සිදුවෙන්න පුළුවන්. ඉන්ක්වයරිවලට යන්න, මහාධිකරණයේ නඩු පැවරෙන්න පුළුවන්. රාජ්‍ය නිලධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට දී තිබෙන දිව්රුමයි ඔවුන් කඩකර තිබෙන්නෙ. ඔවුන්ගේ සිවිල් අයිතිවාසිකම්වලට, අනාගත සියලුම කාර්යයන්වලට මේවා බලපාන්න පුළුවන්.’