‘රිලීස් වසන්ත මුදලිගේ සටන් පාඨය විතරයි අවසන් වුණේ : ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කළ යුතුමයි’ – වසන්ත මුදලිගේ

Share post:

එක පැත්තකින් වසන්ත මුදලිගේ රටේ අම්මලා හුඟදෙනෙකුට පුතෙක් වුණා. සහෝදර – සහෝදරියන්ට සහෝදරයෙක් වුණා. අනෙක් පැත්තෙන් ශිෂ්‍ය ව්‍යාපාරයක නායකයෙක්. අර ආදරණීය චරිතය සහ අනෙක් වගකීම් සහගත චරිතය ගැන කොහොමද දැනෙන්නෙ … ?

ආදරණීය අම්මලා – තාත්තලා දහස් ගණනක් ශිෂ්‍ය ව්‍යාපාරය මීළඟට මේ ප්‍රශ්න ආමන්ත්‍රණය කරන්නෙ කොහොමද කියලා බලාගෙන ඉන්නවා. ඒ වගේම ඒ සම්බන්ධ බරපතළ සාකච්ඡාවක් සමාජය ඇතුළේ තියෙනවා. මගතොටේ ඇවිදිද්දි වුණත් අපෙන් අහන යම් නිශ්චිත ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. මොකද ඊළඟට කරන්නෙ. කොහොමද ඊළඟ වැඩ ටික හදලා තියෙන්නෙ වගේ.

ඇත්තටම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භයේ ඉඳලා නිශ්චිත තීරණාත්මක ප්‍රශ්නවලදි ඒවාට අදාළ මැදිහත්වීම් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කරනවත් එක්කම හාල් පොත කප්පාදුවට විරුද්ධව අරගල කරනවා. එතැනින් පස්සෙ අධ්‍යාපන අයිතිය, සෞඛ්‍ය අයිතිය මේ විදිහට මගහැරපු තීරණාත්මක තැනක් නෑ.

ඒ අතරින් එක මැදිහත්වීමක් තමයි මේ අරගලය. මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ පන්නා දැමිය යුතුයි කියලා තීරණය කළාට පස්සෙ ශිෂ්‍ය ව්‍යාපාරය ඒකට කළ යුතු උපරිම මැදිහත්වීම ජනතාව එක්ක එකතු වෙලා කළා. ඇත්තටම මේ අරගලය තීරණාත්මක ලෙස අවසන් වෙලා නෑ. අරගලය තුළ අපි කතා කරපු ඉල්ලීම්, ගාලු මුවදොර අරගලකරුවො විදිහට ඉදිරිපත් කරපු යෝජනාවලිය සියල්ලක්ම එහෙම්ම තියෙනවා.

ඒ අතරෙ අපි දන්නවා, ආර්ථික කොන්දේසි පැත්තෙන් ගත්තොත් මාධ්‍ය වාර්තා කළා, පියෙක් දරුවන්ට කන්න දෙන්න විදිහක් නැතුව සියදිවි නසාගත්තා කියලා. මවක් දරුවන්ට කන්න දෙන්න කොස් ගහකට නගින්න ගිහින් ඒ ගහෙන් වැටිලා මැරුණා. ඒ වගේ තත්ත්වෙක අපි ඉන්නෙ. මේක තමයි ඇත්තටම මුළු සමාජයටම ඉදිරි කාලයේදි අත්වෙන්න යන ඉරණම. ඒ නිසා අපි ශිෂ්‍ය ව්‍යපාරය විදිහටත්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විදිහටත්, රටේ තරුණයො විදිහටත්, ඒ වගේම අපිට සුබ පතන ආදරණීය අම්මෙකුගෙ – තාත්තෙකුගෙ දරුවෙක් විදිහටත්, ආදරණීය සහෝදරයෙක් විදිහටත් මේ කොයි පැත්තෙන් කල්පනා කළත් අපි හැමෝටම තියෙන පාර තමයි, මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න සංවිධානාත්මක මැදිහත්වීමක් කරන්න ඕනෙ කියන එක. අපි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විදිහට ඒකට අදාළ පුළුල් මැදිහත්වීමක් ඉදිරියේදි කරනවා.

මර්දනයට පමණක් භාවිත කරන නීතියක් වන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ හිර කරපු ඔබ සමස්ත ජනතාවකගේ පුළුල් මැදිහත්වීමකින් එළියට ආවා. ඔබ නිදහස් කරගැනීම වෙනුවෙන් දැඩි කැපවීමක් කළ නීතිඥ නුවන් බෝපගේ වරක් කිව්වෙ වසන්තට දැන් වගකීමක් තියෙනවා, මේ අරගලය ඉදිරියට ගෙනියන්න කියලා. ඔබත් එළියට ඇවිත් කරපු පළමු මාධ්‍ය හමුවෙදී කිව්වා, මේ මර්දන නීතිය අහෝසි කරන සටන අවසානයක් තෙක් අරගෙන යනවා කියලා. කොහොමද ඒක කරන්නෙ … ?

අපිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන රැඳවුම් නියෝගය දෙද්දිම අපිට පොලිසියෙන් කිව්වා, තව අවුරුදු ගාණකට ගෙදර යන්න වෙන්නෙ නෑ, මේ පනතෙන් ගැහුවම අවුරුදු ගාණක් තැපලා තමයි යන්න වෙන්නෙ කියලා. ඇත්තටම ආරක්ෂක අංශවලට හොඳ අවබෝධයක් තියෙනවා, තමන්ගෙ අවශ්‍යතාවට කෙනෙක් අසාධාරණ ලෙස හිරකරන්න ඕනෙ නම්, ඒකට මේ පනත පාවිච්චි කරන්න පුළුවන් කියන එක සහ ඒක කරන්නෙ කොහොමද කියන එක ගැන.

රැඳවුම් නියෝගයෙන් පස්සෙ අධිකරණයට ඉදිරිපත් කරලා අපි බන්ධනාගාරයට ගියා. එතැනදි අපිට හම්බුණා මේ පනතින් හිරකරපු සමහර රැඳවියො. ඒ සමහරුන්ට අදාළ චෝදනා විභාග වෙලත් නෑ, නඩු දින දීර්ඝ කාලයක් ඇදෙනවා. සමහර නඩු අවුරුදු පහළොවක් විතර ඇදිලා.

ත්‍රස්තවාදයට අදාළව ගත්තොත් කරුණා අම්මාන්, පිල්ලෙයාන් වගේ ඒ තැන්වල හිටපු නායකයො හොඳට දේශපාලන කටයුතු කරගෙන යනවා. හැබැයි එයාලගෙ නියෝගයක් ක්‍රියාත්මක කරන්න හදපු හෝ එහෙම එකකට යෙදවුණු අය කිසිම සාධාරණ නඩු විභාගයකින් හෝ ඉක්මන් නඩු විභාගයකින් තොරව හිරකරලා තියෙනවා.

උසාවියෙ නඩු අහන වෙලාවෙදි සමහර වෙලාවට අපිට ඒ සහෝදරවරු හම්බෙනවා. හම්බුණු ගමන් ඔවුන් කියන්නෙ මේ පනත සම්බන්ධයෙන් දැන් එළියෙ ඇතිවෙලා තියෙන පුළුල් සාකච්ඡා ගැන. ඔවුන් දැඩි විශ්වාසයකින් ඉන්නවා ඒ ගැන. ඔවුන් අවුරුදු පහළොවකින් – දාසයකින් ගෙදර ගිහිල්ලා නෑ.

ඇත්තටම ගත්තොත් රිලීස් වසන්ත මුදලිගේ කියන සටන් පාඨය විතරයි ඉවර වුණේ. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත එහෙම්ම තියෙනවා. ඒක අහෝසි කළ යුතුමයි. මොකද එක පාරක් රැඳවුම් නියෝග ගහපු ආණ්ඩුවකට තව සිය ගාණකට ගහන්න බැරි නෑ. අපි දන්නවා මේ රැඳවුම් නියෝගය අවසන් කරලා නිදහස ලැබෙන්නෙ රටේ ජනතාවගේ මැදිහත්වීම නිසා. ඒ නිසා නිශ්චිතවම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා මේ අරගලය ඉදිරියටම යනවා. ඒ වගේම දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා මේ අරගලය ඉදිරියටම යනවා.

අපි අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විදිහට සාකච්ඡා කරගෙන යනවා, මේ අරගල දෙකටම අදාළව ෆෝරම් එකක් නිර්මාණය කරලා විවිධ පුද්ගල කණ්ඩායම් එක්ක පුළුල් සාකච්ඡා සමග මේ අරගල ඉස්සරහට අරගෙන යන්න.

ආණ්ඩුව සැලසුම් කරන්නෙ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන්න කියලා ගේන විරෝධතා එක්ක ඒ පනතම වෙන නම් දාලා ගේන්න. එතකොට අපිට අවශ්‍ය වෙන්නෙ ඒ පනතට සුදු හුණු ගාලා, අයිසින් දාලා, විස කේක් ගෙඩිය අයිසින් දාලා කන්න නෙමෙයි. අපිට අවශ්‍ය මේ කේක් ගෙඩියම අයින් කරන්න. අපි ඒකට අදාළ මැදිහත්වීම කරනවා. ඒ වගේම රටේ ජනතාවටත් අපි කියන්නෙ මේක තනි පුද්ගලයෙකුගෙ ප්‍රශ්නයක් නෙමෙයි. මේක සමාජයක් ලෙස බරපතළ ලෙස අපි හිතන්න ඕනෙ. ඒ වගේම එකට මැදිහත් වෙලා පරාජය කරන්න ඕනෙ පනතක්.

ඔබ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට එනවා. ඇවිත් සමස්ත ශිෂ්‍ය අයිතීන් ආරක්ෂා කරන්න වගේම රටේ ජනතාව පීඩාවට පත්කරන ප්‍රශ්න වෙනුවෙන් අරගල කරනවා. ඒ අතරෙ සමාජයේ බහුතරය විශ්විද්‍යාල ශිෂ්‍යයා කියන කෙනාගෙන් වෙනත් දෙයක් බලාපොරොත්තු වෙනවා. අර ආදර්ශමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයා සහ වසන්ත මුදලිගේ අතර තියෙන වෙනස ගැන කතා කරමුද … ?

එකක් තමයි අපි පහුගිය කාලෙ දැක්කා, නාමල් රාජපක්ෂ නීති උපාධිය සම්පූර්ණ කළේ කොහොමද, නීති ප්‍රවේශ විභාගයට තමන්ගෙ තාත්තගෙ තිබුණු බලතල පාවිච්චි කරලා තනි කාමරයක් වෙන්කරගත්තෙ කොහොමද කියලා. ඒ වගේ තව අවස්ථා රැසක් තියෙනවා. මේ රටේ අම්මලා – තාත්තලා බදු මුදල් ගෙවලා, අධ්‍යාපන අයිතිය ආරක්ෂා කළාට පස්සෙ, ශිෂ්‍ය ක්‍රියාකාරීන් දැවැන්ත කැපකිරීම් කරලා ඉතිහාසය පුරාම මේක ආරක්ෂා කළාට පස්සෙ ඒ භුක්තිය විඳලා අපිට උසස් අධ්‍යාපන අවස්ථාව ලබාගන්න හැකිවුණා.

එතකොට අපිට තියෙන ප්‍රශ්නෙ තමයි, අපිට ඉස්කෝලෙ ඉද්දි නිල ඇඳුම් ටික ගන්න බදු මුදල් ගෙව්වෙ කවුද කියන එක. පෙළපොත් ටිකට බදු මුදල් ගෙව්වෙ කවුද කියන එක. ඒවා ගෙව්වෙ මේ රටේ ජනතාව. අපි විශ්වවිද්‍යාලෙට ආවට පස්සෙ මහපොළ රුපියල් පන්දාහෙ ඉඳලා, ශිෂ්‍යාධාර රුපියල් හාරදාහෙ ඉඳලා, කැන්ටින් එකේ කෑම එක අඩු ගාණට ගන්න පුළුවන් වටපිටාව මේ සියලු දේවල් හම්බුණේ මේ රටේ ජනතාව නිසා.

එතකොට අපි හිතනවා අපිට තීරණ දෙකක් ගන්න පුළුවන්. එකක් මේ ප්‍රශ්න කිසිවක් නොදැක්කා සේ පාඩුවෙ ඉන්න එක. එහෙම නැත්නම් අපිව මේ තැනට ගේන්න සමාජයක් මැදිහත් වෙලා තියෙනවා, එතකොට ඒ සමාජයට අපි පෙරළා අපේ සමාජ වගකීම ඉටුකරන්න ඕනෙ. සමාජ වගකීමක් තමයි රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනීසිටීම. ඒක කරද්දි යම් කැපකිරීමක් අනිවාර්යෙන්ම කරන්න වෙනවා.

ලංකාවෙ ජනප්‍රිය දේශපාලනය ඇතුළේ කවුරුත් දේශපාලනය වෙනුවෙන් කැපකිරීම් කරන්නෙ නෑනෙ. හැමෝගෙම අරමුණ පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, ප්‍රාදේශීය සභාවෙ නම් සභාපති පුටුවට යන එක. ඒකෙන් හොඳට ඉන්න ගමන්, ගෙවල් හදාගෙන සම්පත් රැස්කරගන්න. එතකොට දේශපාලනය කියන එකේ ප්‍රතිබිම්බය වෙලා තියෙන්නෙ මේක. ඒක අතික්‍රමණය කරමින් ශිෂ්‍ය ව්‍යාපාරයේ ශිෂ්‍ය නායකයො, සහෝදරවරු, අපිට කලින් හිටපු සහ මේ මොහොතේ ඉන්න සහෝදරවරු කැපකිරීම් කරන කොට ආණ්ඩුව පැත්තෙන් ඒක හෙළාදකිනවා. ඒක ඒගොල්ලොන්ට ප්‍රශ්නයක්. ඒගොල්ලොන්ගෙ පැවැත්මට ප්‍රශ්නයක්. ආවෙ ඉගෙනගන්න නේද, ඉගෙනගන්නෙ නැද්ද අහනවා. එහෙම මතයක් සමාජගත කරනවා.

අපි ඇත්තටම අපේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරනවා. ඒකට අදාළ යම් කාල ප්‍රමාණයකුත් තියෙනවා. මේකට අනෙක් පැත්තෙ ඉඳලා හෙළාදකින පිරිස ගේන තවත් තර්කයක් තමයි, අපි විශ්වවිද්‍යාලෙ වැඩි කාලයක් ඉන්නවා, ඒක නිසා තව කෙනෙකුට එන්න තියෙන ඉඩ නැතිවෙනවා කියන එක. ඒක විහිළු සහගත කතාවක්.

අපිට විශ්වවිද්‍යාලෙ කාලය වසර හතරයි නම්, ඒ වසර හතරෙන් පස්සෙ අපිට නේවාසික පහසුකම් දෙන්නෙ නෑ. එතැනින් එහාට දේශනවලට හෝ අනෙකුත් ඒවට අපි වෙනුවෙන් මුදල් වියදම් කරන්නෙත් නෑ. ශිෂ්‍යාධාර දෙන්නෙත් නෑ. සාමාන්‍ය ශිෂ්‍යයෙකුට හම්බෙන සියලු දේවල් අපි ගත්තෙ ඒ වසර හතරෙ විතරයි.

දැන් අපිව නඩත්තු කරන්නෙ අපේ විශ්වවිද්‍යාලවල සහෝදරවරු. දැනට ඉන්න අය. ගිය අය. ඒ සියලුදෙනා එකතු වෙලා තමයි මේ සියලු කටයුතු කරන්නෙ. කවුරු හරි හිතනවා නම් මාසයක් – දෙකක් අපි පරක්කු වෙන එක ඇතුළේ තව කෙනෙකුට එන්න අවහිරයක් වෙලා තියෙනවා කියලා. නෑ, එහෙම කිසි අවහිරයක් වෙන්නෙ නෑ. ඒක ඉතාම පැහැදිලියි.

අපි හිතනවා, සමාජයක් ඉස්සරහට යන්න කැපකිරීම් අවශ්‍යයි. මුළු ඉතිහාසය පුරාමත් ඒක එහෙම තමයි වෙලා තියෙන්නෙ. මේ මොහොතේත් තමන්ගෙ දරුවන්ට කන්න දෙන්න දෙයක් නෑ කියලා ඔවුන්ව පවා ඝාතනය කරන සමාජයක් වඩා යහපත් තැනකට ගේන්න දැවැන්ත කැපකිරීම් අවශ්‍යමයි. විශේෂයෙන්ම මුළු සමාජයේම කැපකිරීම් අවශ්‍යම මොහොතක් මේක.

(අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන, චෝදනා ගොනුනොකොට, ඔහුට එරෙහිව සකස් කළ බවට සැක කළ හැකි සාක්ෂි 2ක් පෙන්වමින්, දින 160කට අධික කාලයක් සිරගත කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව කටයුතු කළ අතර, ඒ සම්බන්ධයෙන් සමාජයෙන් දැඩි විරෝධයක් එල්ල විය. එම විරෝධය නිසා ම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ ඒ යටතේ රඳවාගෙන සිටින අනෙකුත් සිරකරුවන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් පුළුල් කතාබහක් ද මතු විය.)

සබැඳි පුවත්

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...