ලහිරු කිතලගම ගේ “කවුළු ඇස පාමුල” රාජ්‍ය සම්මානිත කෘතියකි. එක් අතෙකින් එවැනි කෘතියක් සඳහා යමක් ලිවීම අභියෝගයක් වුවද (මා කවියෙකු හෝ විචාරකයෙකු නොවන නිසා) මේ ලියවිල්ල මුළුමනින්ම සහෘද සටහනක් පමණකි.
කලාකෘතියක් ලෙස කවිය ජීවිතය දෙස හෙලනන්නේ කුමන දෘශ්ටියක් ද ? කවියේ ඇති හැඩය අපිට ගැලපෙන්නේ කෙසේද නැතහොත් ඒවා අපේ හර්ද සහකම්පන අතර ගැලපී යන්නේ කෙසේද? කිනම් කලාවක් වුව යදම් වල කැටයම් ලෑමට පමණක් භාවිතයේ යෙදිය යුතුද එසේ නැතහොත් ඉන් යදම් සිදබිඳ දැමිය යුතු ද? කවිය කෙරේ වූ මෙකී කාරණා අතරෙහි වරින් වර සිතුවිලි දෝලනය වන නිමේශයක කවුළු ඇස පාමුල කියවීම ඇරඹීමී.
එහි පළමු කවියට මම කොහොමත් පෙම් බැඳ සිටියෙ මේ පොත අතට පත්වන්නටත් පෙරාතුවමය.
තරා නෑ මං අම්මේ…
රෑ බතට හදපු රොටී
අම්මේ අපි දෙන්නට හොඳටෝම ඇති
ඒත් ඇයි තව රොටී දෙකක්
නෑඹිලියට හොරෙන් යට කෙරුවේ……
මේ කවිය ස්ත්‍රීය දෙස හෙලන දයාර්ද මානව බැල්ම අතිශය නවීනය. අම්මා යැයි සංස්කෘතික පදයකට කොටු කරන ගැහැණිය වෙතින් අප බලාපොරොත්තු වන භූමිකාවක් තිබේ. ඇය පරමාදර්ශී පූජනීය චරිතයකි. එහෙත් ඇය මවක් ලෙස මුළු ජීවිතයම එකී භූමිකාවට සීමා කිරීම කෙතරම් යුක්ති යුක්තද? අප ඇය සාමාන්‍ය ගැහැණියක් බව අමතකකර සිටිමු. එසේ නැතහොත් අමතක කරන්නට කැමැත්තෙන් සිටිමු. එවැනි සම්ප්‍රදායික කලාපයට ළහිරු එල්ල කරන මේ ආලෝක කවි පහර මවත් ගැහැණියක බව එක්වරම අපට සිහිපත් කරන්නේ ආත්ම තිගැස්සීම් බහුල කරමිනි.
ළහිරුගේ කවි පද අතර භාෂාව සුඛනම්‍යයය, සුළලිතය. මුදුය. පැනනගින රිදුමක් පවා හද පිරිමදින සුළුය. ඔහු වරෙක සහෘදයා ඕවිල්ලක තබා මුදු නැලවිල්ලක යෙදෙන්නට හරියි.
‘‘ඇදල ඇදල ම පැණි වතුර
විඩාබර තාත්තෙක්
හති අරියි රෝස පෙත්තක වාඩිව….
‘‘සෞන්දර්යක වේදනා රිදුම්‘‘
ජීවත් වීමේ අරගලය පිළිබඳ අත්දැකීම කොයි තරම් කාෂ්ටක වුව ජීවිතයේ සෞන්දර්යය අප අත් හළ යුතු නොවේ.
මානව ප්‍රේමයේ ඉසියුම් තැන් අල්ලා අප නොරිදා රිද්දනන්ට කවියා තෝරා ගත් මාතෘකා ජීවිතයේ වෙනස් කියවීමක් අපට ඇති කරයි. ඔහුගේ කවි වල ඇත්තේ අප නොදන්නා කලාපයක් නොවේ. අප දන්නා අප එදිනෙදා අත්දකින කලාපයක සිට ඔහු ලියන කවි අපට දැනෙන්නට ගනී. අනෙක් ඕනෑම කිවියෙක් මෙන් ඔහුද ඉර හඳ තාරකා,මල් (ඒ මල් හා වෙනත් මල්) මුහුද, හුළඟ, තුරු පත් හා වැස්ස ගැන ද ගඳ ගසන මුඩුක්කු, පටු වීදී ද අත්හැරීම්, මඟහැරීම්, අහිමිවීම්, ඇදවැටීම්, ලෙස්සායාම් හා රැවටීම් යනාදිය පිළිබඳව මතක ද තමන්ගේම ක්‍රමයට කවිවලට අඩුක් කර තිබේ. ඒවා හද රිදවන්නේ අප පෞද්ගලිකව ඒවා විඳ ඇති බැවින් පමණක් නොවේ. ඔබ පෞද්ගලිකව විද නොමැති ඕනෑම යමක් ඔබගේ හර්ද කම්පන කරන්නේත් ඒවා පිළිබඳ ලතවන්නේත් නිර්මාණකරුවාගේ සමත්කම එහි වන බැවිනි. ළහිරුගේ කවි එවැනි සමත්කම් උසුළයි. ඔහු දකුණේ භාෂාවෙන් ලියන වදන් සබරගමුවේ ගැහැණියක වූ මට නුහුරු නොවන්නේ එබැවිනි.
හිමිව ඇති බොහෝ දෑ අතර හොඳම දේ අහිමිව ඇතැයි සිතමින් අප සොයා යන යමක් තිබේ. අඩු වැඩි වශයෙන් මේ සංචාරයේ දැන හෝ නොදැන ගමන් යන්නෝ බොහොමයකි. එහෙත් එවැනි නිවීමක් සොයා ගත් යමෙක් වෙද? එය හුදෙක් පුද්ගලයාගේ මානව සන්තානයේ ඇතිවන අතෘප්තිකර බව මිස වෙන යම් දෙයක් නොවේ. ළහිරුගේ කවි අතර ඇත්තේ එවැනි ගමන්යන්නෝ පිළිබඳ ලියවුණු දෑය. එය එකාතකින් අපට අප මුණ ගැහෙන යම් තැනක් වනවා සේම අනෙක් අතට ජීවිත් වීම පිළිබඳ රිද්මය වෙනස් කර ගන්නට සොඳුරු බලකිරීමක් කරවන පද පේලිය. කවියට කැමති මට අළුත් කවි ලියන්නට පොළඹවන
කවුළු ඇස පාමුල යටි පෙළ කවියාගේ දේශපාලන දෘශ්ටියෙන් විනිර්මුක්තව කතා කළ හැකි ද? ඕනෑම නිර්මාණකරුවෙකුගේ දේශපාලනික දෘශ්ටිය ඔහුගේ නිර්මාණ කෙරේ බලපැවැත්වීම සිදුවිය හැකි ක්‍රම කිහිපයකි. එක්කෝ ඔහු ඒ පිළිබඳ කෙළින් කිව යුතුය. නැතහොත් එහි සෙවණැලි සිය නිර්මාණ මත ඇතිරිය යුතුය. සෘජු ප්‍රකාශනයකට වඩා මට ළහිරුගේ කවි පුරා ඔහු විසින් නිරායාසයෙන් විසිරුවා හළ ඔහුගේ දෘෂ්ටිවාදී එළඹුම් වල ඡායාවන් හමුවේ. ඒවා සමපාත වන්නේ කිනම් දේශපාලනයකටදැයි මා ලිවීම අනිවාර්යය නැත. ධනේෂ්වර ක්‍රමයක මානවයාගේ ආස්ථානය කොයි තරම් ක්ෂුද්‍ර දැයි අත්දකින්ට මේ කවි අතර යටිපෙළ කියවා ගත යුතුය.
ඉරුණ කටු ගහපු ජීවිතෙන් හීන අරගෙන යන්න යැයි ළහිරු ලියන කවියකි. ඒ කවිය මට පෞද්ගලිකව ප්‍රිය නොවේ. ඒ පද අතර විශ්වාසයක් මට නැත. කවිය සිදාදියේ පොහොසත් පෙම්වතෙ හා ගමේ දුප්පත් පෙම්වතා අතර පවතින දුර පිළිබඳවය. පංති ප්‍රශ්නයකි.
‘‘ ගලදාරියේ කාමරයකට
නුඹ මාව එක්ක යනකොට
අනේ මේ නාඹර හිත ගැහුණේ
ගමේ වැඩ කරපු වී මෝලේ
එංජිමටත් වැඩියෙන් හරි සද්දෙට….
ඒ කවියට ගලදාරියේ කාමරය දුර වැඩි යැයි මට සිතේ. ඒ කාමරය කොළඹ ගලදාරිය සහ ගම අතර මැද අතුරු නගරයක තිබිය යුතු යැයි මට සිතේ.
කවියෙන් කවිය උදාහරණ ගෙනෙන්නට අවශ්‍ය නැත. පොත කොහොමත් රහය. ළහිරුගේත් මගේත් මිත්‍රකම සයිබරයෙන් ඒපිටට පවතින මිත්‍ර සන්ථවයක් බැවින් ඒ්වා ඒකින් ඒක වෙනම වෙලාවක කෝපි කෝප්පයක් තොළ ගාමින් කතා කළ යුතු ඒ්වාය.
“කවුළු ඇස පාමුල” මගේ සුරතින් පොඩි වී ගිය කවි පොතකි. රාත්‍රී කිහිපයක් ඒ කවි කියවමින් යළිත් පොත වසා දමා කවි අතර සරමින් සිටි නිමේශයන් රැසක් ඒ පොතට අයිති විය. එහි එන කවි ප්‍රේමය සහ අපේක්ෂාවන් දල්වා ගැනීම පිළිබඳ යමක් ගැඹුරට සිතා බැලිය යුතු බව මට බලපෑම් එකකි. මේ සටහන මට ලියන්නට ඕනෑ වූයේ එහෙයිනි..
‘‘මට ආසයි මදුරුවෙක් වගේ වෙන්න
බෙල්ලෙ පැපොල් පැල්ලම ගාව ඉඳගන්න
විඳිනව වගේ බය කරල
නිදිමත හැදෙනකොට ඔයාව ඇහැරවගන්න…
‘‘සියුමැලිය මට ඕන
පුපුරලා ළය පැලෙන ආදරෙන් මියැදෙන්න…