ටෙලිෆෝන් – හෙලිකොප්ටර් – අත සන්ධානයක් : ‘එක මෙහෙයුමක්’ ගැන පක්ෂ 3ම කතා කරයි !

Share post:

පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත්, දැනට නම යෝජනා ලබාදී ඇති ආකාරයට ඊට වෙන-වෙනම තරග කර මැතිවරණයෙන් පසු සන්ධානයක් පිහිටුවීමට දේශපාලන පක්ෂ කිහිපයක් තීරණය කර ඇත.
ඒ අනුව සමගි ජන බලවේගය, නිදහස් ජනතා සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙසේ සන්ධානගත වී පළාත් පාලන ආයතනවල බලය රැකගැනීමේ සූදානමක් පිළිබඳ සැලසුම් කරන බව thetime.lk වෙත වාර්තා වේ.
මේ වන විට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, නිදහස් ජනතා සන්ධානය වෙනුවෙන් ඩලස් අලහප්පෙරුම සහ නිදහස් පක්ෂය වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන, සජින් වාස් ගුණවර්ධන ඇතුළු පිරිස මේ සම්බන්ධයෙන් එකගතාවකට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව නියෝජනය කරමින් සිට එහි ජනබලය පිරිහී යන අවස්ථාවේ උපක්‍රමිකව ඉන් ඉවත්ව විපක්ෂයේ ඡන්ද ඉලක්ක කරගෙන කටයුතු කරන ජනතා නිදහස් සන්ධානය බොහොමයක් පළාත් පාලන ආයතන වෙනුවෙන් හෙලිකොප්ටරයෙන් තරග වදී.

‘බලය ඇත්තේ පිටුපසින්’

ඒ අතර පොදුජන පෙරමුණට සම්බන්ධ අනෙකුත් පක්ෂ පොහොට්ටුව ලකුණින් සහ වෙනත් ලකුණුවලින් පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත්වී සිටියද පැහැදිලි ජන බලයක් ගොඩනැගීමට නොහැකි වනු ඇතැයි අනාවැකි පළවෙමින් තිබේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන හෙලිකොප්ටරය යටතේ තරග කරන කණ්ඩායම සමගි ජන බලවේගය සමග සන්ධානගතවීමට තිරණය කර තිබේ.
නිදහස් ජනතා සන්ධානයේ ඩලස් අලහප්පෙරුම මේ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ මේ මොහොතේ ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකාරිත්වය පරාජය කිරීම තම කණ්ඩායමේ ඉලක්කය බවත්, බලය සම්බන්ධ කාරණය ඇත්තේ ඊට පිටුපසින් බවත් ය.

‘කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවක්’

එසේම මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ නිදහස් පක්ෂයට ද බිම් මට්ටමේ එතරම් ප්‍රසාදයක් නොමැති වීම හේතුවෙන් පළාත් පාලන ආයතන ගණනාවක් වෙනුවෙන් තනිව තරග කර මන්ත්‍රී ධුර කිසියම් හෝ ප්‍රමාණයක් ලබාගැනීම සහ සමගි ජන බලවේගය සමග සන්ධානගතවීමේ එකගතාවක් ඇතිකරගෙන තිබෙන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු පැවසුවේ පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල වැනි කිහිපදෙනෙකුට මෙසේ සන්ධානගත වීමේ දැඩි අවශ්‍යතාවක් තිබෙන බවයි. එහෙත් ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ විධායක සභාව තුළදී මෙතෙක් එවැන්නක් සම්බන්ධයෙන් සාකච්ඡා නොවූ බව ද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් පොදුජන පෙරමුණට සම්බන්ධ වී සිටි පළාත් පාලන නියෝජිතයන්ට බිම් මට්ටමේ දැඩි විරෝධයක් ඇති නිසා මැතිවරණය කල්දැමීම ඔවුන්ගේ අරමුණ බව බව පැහැදිලි ය. කෙසේ වුවද යම් හෙයකින් මැතිවරණය පැවැත්වුවහොත් පොහොට්ටුවට සම්බන්ධ වී සිටි හෙලිකොප්ටර් කණ්ඩායම ආණ්ඩු විරෝධී භූමිකාවක් රඟදක්වා මැතිවරණයේදී ඡන්ද ප්‍රමාණය වැඩිකරගැනීමට උත්සාහ දරන බව පැහැදිලි ය.

‘එක අරමුණකට අපි එනවා’

සමගි ජන බලවේගය පළාත් පාලන මැතිවරණයෙන් පසු නිදහස් ජනතා සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගතවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ඉහළ පෙළේ මන්ත්‍රීවරුන් ගණනාවක් විරෝධය දක්වා ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ එවැනි එකගතාවකට පැමිණ නැති බවයි. මේ මොහොතේ තම පක්ෂයේ අරමුණ ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කරදීම බවත්, ඒ වෙනුවෙන් කටයුතු කරන පාර්ශ්ව සමග එක්ව කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

එසේ වුවද පවතින තත්ත්වය යටතේ ජාතික ජන බලවේගය පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන සිදුකරන ප්‍රචාරක කටයුතුවලදී බොහොමයක් ප්‍රදේශවල වැඩි ජන බලයක් ගොඩනගාගෙන ඇති බැවින් එකී පළාත් පාලන ආයතනවලදී සන්ධානගත වී හෝ බලය ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙලකට සමගි ජන බලවේගයට යොමුවීමට සිදුව ඇත.

එසේම යම් හෙයකින් පළාත් පාලන ආයතනයක වැඩි බලයක් ලබාගැනීමට මෙම සන්ධානයට හැකිවුවහොත් එහිදී සභාපති, උප සභාපති ඇතුළු තනතුරු බෙදාගැනීම සම්බන්ධයෙන් පක්ෂ 03 අතර එකගතාවක් ඇතිකරගෙන තිබෙන බව ද වාර්තා වේ.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...