ටිරාන් අලස් – ඩයනා ගමගේ සහ දර්ශන හඳුන්ගොඩ : භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මාධ්‍යවේදීන්ට අදාළ නැද්ද ?

Share post:

පොලිසිය විෂය බාර ඇමති ටිරාන් අලස්ට සහ රාජ්‍ය ඇමති ඩයනා ගමගේට චෝදනා එල්ල වන වංචා – දූෂණ රැසක් සම්බන්ධයෙන් අනාවරණය කළ මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ කටුනායක ගුවන් තොටුපොළේදී අද (06) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය මගිනි. ඩුබායිහි සිට ලංකාවට පැමිණෙන අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත. අද දහවල් 12ට ඔහු කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

මේ ආකාරයට යූටියුබ් ඔස්සේ අදහස් ප්‍රකාශ කළ විශාල පිරිසක් පරිගණක අපරාධ ඒකකයට කැඳවා ප්‍රශ්න කිරීම පසුගිය කාලයේ සිදු විය. ඒ අතරින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනිණි. එසේ අත්අඩංගුවට ගත සේපාල් අමරසිංහ තවමත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, 2021 වසරේදී අත්අඩංගුවට ගත් දෙමළ මාධ්‍ය යූටියුබ් ක්‍රියාකාරීන් දෙදෙනෙකු මෑතකදී නිදහස් කෙරිණි.

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීමට ආණ්ඩුව දිගින්-දිගටම කටයුතු කරමින් සිටින අතර, දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට ගන්නා ලද නිශ්චිත චෝදනාව මෙතෙක් අනාවරණය වී නැත. මේ සම්බන්ධයෙන් විමසීමට අප කළ උත්සාහය ද අසාර්ථක වූයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, පොලිස්පතිවරයා සහභාගි වන විශේෂ රැස්වීමකට සහභාගි වී සිටින බව ඔහුගේ දුරකතනයට ප්‍රතිචාර දැක්වූ පොලිස් නිලධාරියා දැනුම් දුන් නිසා ය.

ව්‍යවස්ථාවේ 14 (1)(අ)

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාවේ මෙසේ දක්වා ඇත. සෑම පුරවැසියෙකුට ම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය. එනම් ව්‍යවස්ථාවට අනුව එය පුරවැසියන්ට ඇති අයිතියකි.

14(1)(අ) ව්‍යවස්ථාවේ සීමාව

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 ව්‍යවස්ථාවේ දක්වා තිබෙන්නේ ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති මූලික අයිතිවාසිකම් සීමා කළ හැකි අවස්ථා ය. එහි 15(2)ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ හෝ ක්‍රියාත්මක විය හැක්කේ ආගමික හෝ වාර්ගික සහයෝගිතාව තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසය හෝ වරදකට පෙළඹවීම සම්බන්ධයෙන් නීතියෙන් නියම කරනු ලැබූ සීමාවන්ට යටත්ව බව ය.
එසේම 15(7) ව්‍යවස්ථාවේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ රාජ්‍ය ආරක්ෂාව ද, රටේ යථාපැවැත්ම ද තහවුරු කිරීම පිණිසත්, මහජන සෞඛ්‍ය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත්, අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට නිසි පරිදි ගරු කරන බවට වග බලාගැනීම පිණිසත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු සුබසාධනය සඳහා යුක්ති සහගත අවශ්‍ය දෑ සපුරාලීම පිණිසත් නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාකිරීම්වලට යටත්ව බව ද සඳහන් ය.
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගනිමින් නඩු තීන්දු රාශියක් ලබාදී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දු ලබාදීමේදී ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාව පමණක් හුදෙකලා කොට තීන්දු ලබා දී නැත. එම ව්‍යවස්ථාවෙන් සංස්ථාපනය කොට ඇති අයිතිය සලකා බැලිය යුත්තේ 15(2) සහ 15(7) ව්‍යවස්ථාවල සඳහන් තත්ත්වයන් සමග ය.


ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දු කිහිපයක භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ගැන මෙසේ දක්වා ඇත.

වනිගසූරිය එදිරිව පීරිස් (SC/FR/199/87)

දැනුම බෙදාදීම ද භාෂණයේ නිදහස තුළට ගැනෙන බව මෙම තීන්දුවේ දක්වා ඇත.

විජේරත්න එදිරිව පෙරේරා (SC/FR/379/93)


රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය විවේචනය කිරීම ද භාෂණයේ නිදහස යටතේ පිළිගත හැකි ක්‍රියාවක් බව මේ තීන්දුවේ දක්වා ඇත. මේ තීන්දුවේ මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා මෙසේ සඳහන් කොට ඇත.
(Those who begin coercive elimination of dissent soon find themselves exterminating dissenters. Compulsary unfication of opinion achieves only the unanimity of grave yard. It seems trite but necessary to say that the first amendment was designed to avoid these ends by avoid these ends by avoiding these beginings.)

දේශප්‍රිය එදිරිව නගරාධිපති, නුවරඑළිය මහ නගර සභාව (1995(1)SLR/362)

මෙම නඩුවට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ මෙසේ දක්වා ඇත.
‘විධායක හෝ පරිපාලන ක්‍රියාවකින් සිදුවන 14(1)(අ) ව්‍යවස්ථාව උල්ලංඝනය වීමකදී එය විවිධාකාරයෙන් සිදුවිය හැකි අතර, සෘජුව හෝ වක්‍රාකාරයෙන් ද සිදුවිය හැකිය. රජය විසින් පාලනය කරනු ලබන ප්‍රවෘත්ති පත්‍රවල රජයට කෙරෙන විවේචනයන් පළනොකිරීම දේශපාලන මතය යන කාරණය මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තිය උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකි අතර, රජයෙන් පාලනය නොවන පුවත්පතක් (යුක්තිය) බලහත්කාරයකින් හෝ වෙනත් ආකාරයකින් සැඟවීම හෝ යටපත් කිරීම ද මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වන අතර, එය පෙර සඳහන් දෙවන වර්ගයට අයත් අතර වඩාත් භයානක වරදක් වේ.’
නුවරඑළිය නගරාධිපතිවරයා විසින් යුක්තිය පුවත්පත් 450ක් බෙදාහරින්නට පෙර, පැහැරගෙන යෑමෙන් තම අයිතිවාසිකම් කඩ වූ බවට පැමිණිලි කරමින් එහි කර්තෘ සුනන්ද දේශප්‍රිය විසින් මෙම නඩුව ගොනු කොට තිබූ අතර, ඔහුගේ අයිතිවාසිකම් කඩ කොට ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය වින්දිතයාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස නගරාධිපතිවරයාට නියෝග කළේය.

අමරතුංග එදිරිව සිරිමල් සහ තවත් අය (1993(1)SLR/264) ( ජනඝෝෂා නඩුව)

රට පුරා විනාඩි 15ක් විවිධ ශබ්ද ඇති කරමින් එවකට පැවති එජාප රජයට විරෝධතාව ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් තීරණය කරනු ලැබූ අතර, නඩුවේ පෙත්සම්කරු ඉංගිරියේදී බෙරයක් ගසමින් එසේ විරෝධතාව දක්වන අතරතුර එය නවත්වන්නට දුන් අණ නොතකා බෙරය වැයීම නිසා පොලිස් පහරදීමකට ලක්වූ අතර, බෙරය ද පොලිසිය විනාශ කළේය. පසුව ඔහු පොලිස් අත්අඩංගුවට පත්විය.
මේ පූර්ණ ක්‍රියාවලියට එරෙහිව පැවරූ නඩුවේදී ඒ ආකාරයේ ප්‍රකාශනයක්ද මූලික අයිතිවාසිකම් යටතට ගැනෙන බව තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුට රුපියල් 100,000ක වන්දියක් ‌ගෙවන්නැයි නියම කළේය. එසේම එම තීන්දුවේ රජයට එරෙහි සටන් පාඨ නීතිය කඩකිරීමක් නොවන බව ද, එය පොලිස් ආඥා පනත යටතේ ගැනෙන වරද නොවන බව ද සඳහන් කෙරිණි. ශ්‍රේෂ්ඨාධිකරණය එහි දී වැඩිදුරටත් භාෂණය සහ ප්‍රකාශනය සම්බන්ධයෙන් මෙසේ සඳහන් කොට ඇත.
(The right to support or to criticize the governments and political parites, policies and programmes is fundamental to the democratic way of life,and the freedom of speech and expression is one which cannot be denied without violaring those fundamental principles liberty and justice which lie at the base of all political and civil institutions.)

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...