සමාව ගන්න එකඟ වූ සේපාල් මුදාහරී : දෙපැත්තටම දේශපාලන අරමුණු ?

Share post:

බෞද්ධ ආගමික ස්ථානයකට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කළ බවට කරන ලද පැමිණිල්ලක් මත සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ චෝදනා ලැබ සිටි මාධ්‍යවේදියෙකු මෙන්ම ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ මුදාහැරීමට අධිකරණය අද (21) තීන්දු කළේය.

ඒ, අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ය. එසේ අපහාස කිරීම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බව විත්තිකරුගේ පාර්ශ්වයෙන් අධිකරණයට දැනුම්දීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදුන්නේය.

එහිදී වගඋත්තරකාර සේපාල් අමරසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ තම සේවාදායකයා මහනායක හිමිවරුන්ගෙන් හා බෞද්ධ ප්‍රජාවගෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටින බවයි.

එවැනි කොන්දේසි විරහිත සමාවක් අයැද සිටින්නේ නම් නඩු කටයුතු අවසන් කිරීමට සූදානම් බව පැමිණිලි පාර්ශ්වය නියෝජනය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට දැනුම් දුන්නේය. මීට අදාළ පැමිණිල්ල යොමුකර තිබුණේ බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ පූජ්‍ය අගුරුවැල්ලේ ජිනානන්ද හිමියන් ය. පැමිණිල්ල පිළිබඳ සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනයකින් පසු නීතිපති දෙපාර්තමේන්තුව මගින් සේපාල් අමරසිංහට චෝදනා ගොනුකර තිබිණි.

ශක්තික සත්කුමාර !

කෙටිකතාවක් රචනා කිරීම මගින් ආගමික අපහාසයක් සිදු කළ බවට චෝදනා එල්ල කරමින් ලේඛක ශක්තික සත්කුමාරට එරෙහිව පැමිණිලි කරන ලද්දේද මෙම බෞද්ධ තොරතුරු කේන්ද්‍රය නම් ආයතනය මගිනි. ඔහුට එරෙහිව ද සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ නීතිපතිවරයා විසින් නඩු පැවරිණි.

දින 120කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමෙන් පසු ශක්තික සත්කුමාර නිදොස් කොට නිදහස් කෙරිණි. මේ වන විට ඊට අදාළ ව ශක්තික සත්කුමාර විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග වේ.

මෙහෙයවන්නේ කවුද?

මෙසේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත අදහස් ප්‍රකාශනයේ නිදහස සීමාකිරීමට යොදාගැනීම පිටුපස දේශපාලන අරමුණු සහිත කණ්ඩායම් සිටින බවටත්, මෙම ආගමික කණ්ඩායම් දේශපාලන පක්ෂ විසින් මෙහෙයවන බවටත් දිගින්-දිගටම චෝදනා එල්ල විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ගල්කන්දේ ධම්මානන්ද හිමියන් මෙසේ පවසයි.

නිරාගමික ?

‘නිරාගමික කියන අදහස දරන අය ගොඩක් ඉන්නවා. පරම්පරාවක්. නමුත් ඒගොල්ලො එහෙම හානි කරන විදිහේ හෝ එහෙම ආගම්වලට එරෙහි පිරිසක් නෙමෙයි. නිරාගමික කියන්නෙ තමන් ආගමක් සම්බන්ධයෙන් විශේෂ ලැදියාවක් පෙන්වන්නේ නැති අය.

ඡන්ද එනකොට ?

නමුත් දැන් මේ වෙලාවේ මේක ඊට වඩා වෙනස්. අපේ රටේ සාමාන්‍යයෙන් බොහෝ දේවල් සිද්ධවෙන්නේ ඡන්ද එක්ක. මේ වෙලාවේ ප්‍රාදේශීය සභා ඡන්දය එන්න පුළුවන්. එතකොට ආයිත් බුද්ධාගමටයි, අරකටයි මේකටයි. හතුරෝ ඇවිදින්, ඔන්න ඒ පාර බුද්ධාගම බේරගන්න අර වීරයන්ට අවස්ථාව එනවා.

ආගම් විරෝධය ?

මම දකින්නේ මේක තරුණ පරම්පරාව අතරේ නිරාගමික ප්‍රවණතාවට වඩා වෙනස් දෙයක් හැටියට. නිරාගමික කියන අදහස දරන මිනිස්සු ආගම්වලට විරුද්ධ නැහැ. ඒ විතරක් නෙමෙයි. ලෝකේ ඕන තැනක බලන්න ඒ අය හරි සදාචාර සම්පන්නයි.

දේශපාලන වැඩපිළිවෙළක් ?

මේවා බොහෝදුරට මම හිතන්නේ දේශපාලන කාරණා කියලා. බරපතළ විදිහට ආගමට හතුරුකම් පෙන්වමින්, බැනවදින පිරිස කරන්නෙත් නිරාගමික ලෙස පෙනීසිටිමින් දේශපාලන වැඩපිළිවෙලකට අවශ්‍ය පසුබිම හදන එක. ඒ නිසා මේ අත්අඩංගුවේ හිටපු කෙනා ගැන වුණත් මම හිතන්නේ එයා නිරාගමික කියන පිරිසට අයිති කෙනෙක් හැටියට නෙමෙයි.’

සබැඳි පුවත්

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...