මක්කම නගරයේ වැඩ කිරීමට බලය ඇති එකම ආයතනය බින් ලාඩන් සමාගමයි (වට තිර ලූ රාජ්‍යය – 23)

Share post:

මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ කාමන් බින් ලාඩන්(Carmen Bin Ladin) ගේ The Veiled Kingdom කෘතිය ‘වට තිර ලූ රාජ්ජය’ ලෙස සෑම සදුදා සහ බ්‍රහස්පතින්දා දිනකම කොටස් වශයෙන් පළවේ. අද පළවන්නේ එහි 23 වන කොටසයි.

12 වැනි පර්ච්ඡේදය.

සවුදි අරාබිය වෙනස් වී ඇති බව 1979 නව වසර ලැබූ දිනයේ මම මෙනෙහි කළෙමි. මධ්‍යකාලීන පැරණි නගරයක් වූ ජිද්දා හි දූවිලි පිරුණු මාර්ග අතරින් දීප්තිමත් නව නගරයක් ඉහළට නැඟෙනු, මා එහි ගතකළ තුන් අවුරුද්ද තුළ දුටුවෙමි. නවින පහසුකම් පැමිණෙමින් තිබුණි – හැම දින දෙක තුනකටම වරක් අපගේ ජල ටැංකි පිරවීමට ජලය ගෙනෙන බින් ලාඩන් ට්‍රක් රථය තවදුරටත් පැමිණියේ නැත. මගේ දියණියෝ සතුටින් පසුවූහ. සහනය හා විනෝදය පිණිස හයිෆා මා සමඟ සිටියාය. යෙස්ලාම් මට ආදරය කළ අතර, ඔහුගේ වපසරිය හා බලය වැඩෙමින් තිබුණේය. ඇතැම් තරුණියෝ සාප්පු සංකීර්ණ තුළ මුහුණු ආවරණය රහිතව ගමන්කිරීමේ අවදානම පවා ගත්හ. සෑම දෙයක්ම පිළිබඳ බලාපොරොත්තුසහගත බවක් මා තුළ විය.

මැදපෙරදිග කලාපය පියවර කීයක් වේගයෙන් ආපස්සට යනු ඇත්දැයි මා කෙසේනම් දැන සිටින්නද? ඉදිරි මාස කිහිපය තුළ ඉරානයේ ෂා රජුට විරුද්ධව සිදුවන්නට නියමිත කැරැල්ලක් හේතුවෙන් කලාපය පුරා පැතිරී යන මහා කම්පනය නිසා, මැදපෙරදිග කලාපය නවීන ලෝකය වෙත තල්ලුවන නව ගම්‍යතාව ඇතිකිරීමට ගනු ලබන හැම උත්සාහයකටම එරෙහිව සම්ප්‍රදායවාදීන්ගේ සටන බලවත් වීමට නියමිතව තිබුණේය. ඉස්ලාමය සම්පූර්ණයෙන්ම වෙනත් මානයකට පරිවර්තනය වීමෙන්, මුලු ලොවේම බලාපොරොත්තුව වෙනස් වනු ඇත්තේය.‍ කිසිවක් යළි පෙර තිබූ තත්වයට නැවත පත් නොවනු ඇත.
සුරතල් බලුකුක්කන් වැනි සවුදි පුවත්පත්වලට පවා ඉරානයේ ගිනිගෙන දැවෙන ප්‍රවෘත්ති අපෙන් වසන් කිරීමට හැකි නොවීය. විප්ලවය ඇරඹී තිබුණේය. බටහිර ආභාෂය ලැබූ ලිබරල්වාදීන් සහ උමතු මූලධර්මවාදීන්ගේ අද්භූත නොගැලපෙන සන්ධානයක් විසින් මහජනතාවගේ පාලනයක් ඉල්ලා සිටිනු ලැබීය. ප්‍රංශයේ පිටුවහලේ හුන් අයතොල්ලා කොමෙයිනි පෙබරවාරියේදී ටෙහෙරාන් වෙත පැමිණියේ විශ්වාස නොකළහැකි තරම් විශාල වූ මිලියන සංඛ්‍යාත සුභපතන්නන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේය. ඊළඟට කොමෙයිනිගේ මිනිස්සු ඔවුනට උදව් කළ බටහිරකරණය වූ ලිබරල්වාදීන්ට පහර දෙන්නට පටන් ගත්හ. ඉන් පෙර මුහුණු ආවරණ රහිතව පාරේ ගමන් කළ ගැහැනුන්ට ඔවුහු මුහුණු ආවරණය පළඳින ලෙස බලකරනු ලැබිණි. ඉස්ලාමික ‘ප්‍රතිසංස්කරණ’ යටතේ ව්‍යාපාරයන් ඉලක්ක කරනු ලැබිණි. ක්ෂණිකව හමායන්නට පටන්ගත් විපර්යාසයේ සුළඟ කාටත් දැනෙන්නට වූයේය.

අපේ බ්‍රහස්පතින්දා සන්ධ්‍යා සාදවලදී තානාපති නිලධාරීන්ට හා අනෙක් විදේශිකයින්ට කතාකරන්නට වෙනත් මාතෘකාවක් නොමැති විය. හැමදෙනාම ප්‍රවෘත්තිවලට දැක්වූයේ මහත් ගිජුබවකි. වාසනාවන්තයින් අතර මාද සිටියේය: යුරෝපයේ ජීවත්වූ මගේ සොහොයුරියෝ සතියක් පාසා මා වෙත පුවත්පත් හා සඟරා DHL මඟින් එවූහ. ඉරානයේ සිදුවීගෙන යන දේවල් තුළ මා සම්පූර්ණයෙන්ම ගිලී ගියෙමි. මේක්-අප් කර සිටි කාන්තාවන්ගේ මුහුණට ඇසිඩ් ගසා තිබුණේය. මිනිසුන් දහස් ගණනක් හිරබාරයට ගෙන මරා දමනු ලැබිණි. සවුදි රජ පවුල විවේචනය කළ කොමෙයිනි, ඉස්ලාමයේ රජකෙනෙකු සිටිය නොහැකි යැයි ප්‍රකාශ කළේය.

විප්ලව අවතාරය, යෙස්ලාම් සහ ඔහුගේ සහෝදරයින් කලබලයට පත්කොට තිබුණු බව මම දුටුවෙමි. මා පවා බලා සිටියේ නොඉවසිල්ලෙනි. ඉරානයේ රජපවුලේ පාලනය පෙරළා දැමිය හැකි නම්, නිදහස් ඉරාන ගැහැනිය මේ තරම් ඉක්මනින් බලහත්කාරයෙන් ලෝගුව තුළට තල්ලු කිරීමට මෙන්ම මහමඟදී ආගමික පොලිසියේ කුරිරු පහරදීම්වලට ලක් කළ හැකිනම්, සවුදි අරාබියේ මොනවා සිදුවිය නොහැකිද? ඉරානයේ මා දැනසිටි මිනිසුන් ගැන මම දුක් වූයෙමි. මගේ අම්මා යුරෝපයේ ආරක්ෂා සහිතව ජීවත් වුවද, ඈ වඩ වඩාත් දුර්වල වෙමින් සිටි බව පෙනෙන්නට තිබිණි. ඇගේ පවුලේ වැඩි දෙනෙකු රටින් පිටවගොස් සිටි අතර, බොහෝ දෙනෙකු ඇමරිකාවේ පදිංචි වී සිටියහ. එහෙත් තවමත් ඇගේ මිතුරු මිතුරියන් සහ දන්නා හඳුනන ඇත්තන් නොගිණියහැකි තරම් විශාල සංඛ්‍යාවක් ඉරානයේ ජීවත් වූ අතර, ඔවුන් කෙසේ ජීවත් වන්නේද යන්න ගැන තොරතුරු සොයාගැනීම දුෂ්කර වූවාක් මෙන්ම එය සිතාගැනීමට පවා බැරි තරම් බිහිසුණුද වූයේය.

මට ඒ වනවිට ඇතුළාන්තයේ ගැඹුරින් දැනෙමින් තිබුණු දෙය නම්, යම් අයුරකින් සවුදි අරාබියේ විප්ලවයක් ඇතිවුවහොත් මට පැනයාමට හැකිවනු ඇති බවයි. විදේශිකයකු මෙන්ම බින් ලාඩන්වරයකු හැටියටද මා පැනයන්නන් අතර මුල්ම අයකු වනු ඇත. මා සිටි තත්වය අනුව මට ලැබුණු සැබෑම සුඛෝපභෝගීත්වය නම් එය මිස, ෂැනෙල් ඇඳුම් පැළඳුම් හා මරකත මැණික් එබ්බවූ කරාබු නොවේ. අපට පැනයාමට අවශ්‍ය වී නම් එය කළහැකි බලයද තිබිණි. ආගමික පොලිසියේ පරීක්ෂාකිරීම්වලින් ගැලවීමටත්, හිරෙන් පැනයාමටත්, රටින් පැනයාමටත්, අවශ්‍ය බලය හා තත්වය අප සතු විය. බින් ලාඩන් සමාගම සතුව වානිජ ගුවන්යානා රැසක් තිබුණු අතර, බින් ලාඩන්වරයකුට ගුවන්යානාවක ආසනයක් අවශ්‍ය වූයේ නම් අපහසුවකින් තොරව එකක් ලබාගත හැකිව තිබුණි. මක්කම නගරයේ වැඩ කිරීමට බලය ඇති එකම ආයතනය බින් ලාඩන් සමාගම වූ බැවින් වෙනත් වෙළඳ පවුල් අතර, බින් ලාඩන් පවුලට ඉහළ ස්ථානයක් හිමිවිය. ගුවන්යානයක ආසන සම්පූර්ණයෙන්ම වෙන්කර අවසන් වී තිබුණද බින් ලාඩන්වරයකුට සෑම විටෙකම ටිකට්පතක් ලැබුණේය. එය එසේ සිදුවන හැටි මා කිහිපවරකදීම දැක තිබුණි. කරදරකාරී අවස්ථාවකදී අපට සහතිකවම ගුවන් මඟින් පැන යා හැකිය.

එබැවින් මා කලබල වී සිටියද, ඍජු තර්ජනයක් ඇතැයි මට නොදැනුණේය. එහෙත් රට පාලනය කළ අල්-සවුද් කුමාරවරු මට වඩා බෙහෙවින් බිය වී සිටියා විය යුතුය. ඔවුනට නැතිවන්නට බොහෝ දේ තිබිණි. කොමෙයිනිගේ විප්ලවය ඔවුන්ගේ පාලනය වෙත එකහෙළාම එල්ල කළ පහරදීමකි. අන්තවාදී අදහස්වලින් ඇතිවන බලපෑමේ වර්ධනයක් තිබෙන බව මහපාරේදී දැකගැනීමට හැකි විය. සන්ත්‍රාසයට පත්වූ රජ පවුල අන්තවාදීන්ගේ සිත් දිනාගැනීමට වෙහෙසෙද්දී, අනාගතයේදී ලැබෙන්නට යන නිදහස පිළිබඳව මා තුළ හටගත් බලාපොරොත්තුවලට හේතු වූ පුංචි වෙනස්වීම් බිඳවැටුණේය.

මා ගල්ගැසී යන තරම් වේගයෙන් ආගමානුකූල හැසිරීම් පිළිබඳ අන්තවාදී අදහස්වල ග්‍රහණය දැඩි වූයේය. වැරදි ලෙස ඇඳුම් ඇඳීමේ ආදීනව ගැන අනතුරු අඟවන දැන්වීම් වෙළඳපොළේ අලවනු ලැබිණි. සමාජීය සිරිත් විරිත් දැඩිව පිළිපැදිය යුතු වන බව පල්ලිවල සිදුකෙරෙන දේශනා තුළින් අවධාරණය කරනු ලැබූ අතර, ගැහැනු වැඩි වැඩියෙන් යළිත් මුහුණු ආවරණ පැළඳීමට පටන් ගත්හ. දරාගත නොහැකි උශ්ණත්වය හමුවේ වුවද, ඇවිදින විටදී පිටතට පෙනිය හැකි තම පාදයේ සෙන්ටිමීටර කිහිපයක් වසාගැනීම සඳහා ගැහැනු අබායාවට යටින් කලු පැහැති මේස් පැළඳූහ. ඔසාමාගේ බිරිඳ නජ්වා මෙන්ම මගේ නෑනලා වන රෆා සහ ෂෙයිකාද අත්මේස් අඳින්නට පටන් ගත්හ. අපේ චාම්කම පාලනය කිරීම සඳහා මුතව්වා ඉරානයේ මෙන් ඝන දිගු කෝටු ලෙළවන්නට වූ අතර, ඇතැම්විට මහමඟදී ගැහැනුන්ට පහර දෙනු ලැබීය.

එක් සැන්දෑවක මා සුපිරි වෙළඳසැලක සිටියදී එක් ගැබිනි කාන්තාවක ක්ලාන්ත වී ඇදවැටුණු අතර, ඇගේ සැමියා ඈට පිහිට වීමට දිව ආවේය. මුතව්වා ඔහුව නතරකොට, ප්‍රසිද්ධියේ ඔහුගේ බිරිඳ දෑතින් ඔසවා නොගන්නා ලෙස ඔහුට කෑගසා කීවේය. අප සාප්පු සංචාරයේ යෙදී සිටියදී යාඥාව සඳහා හඬගැසීම සිදුවිනි නම් පෙරදී මෙන් පිරිමින් යාඥාවට යනවිට අපට ඒ තුළ රැඳී සිටීම කළ නොහැකි වූයේය. කඩකාරයෝ බියවී ඉක්මන් කර ඔවුන්ගේ දොර ජනේල වසා දැමූහ. මගේ අබායාව පමණට වඩා ඉහළට එසැවී තිබුණේ නම් හෝ අත් නිරාවරණය වී තිබුණේ නම් හෝ, “ඒයි ගෑනියේ, උඹ මොකක්ද කරන්නේ?” යැයි මුතව්වා බෙරිහන් දෙනු ඇත. මගේ රියදුරු අබ්දූ, “බින් ලාඩන්” යැයි කියමින් හැම විටෙකදීම මා ආරක්ෂා කරන්නේය. බින් ලාඩන් ගැහැනියකගේ ආගමික අවංකභාවය පිළිබඳව අද පවා ප්‍රශ්න කළ නොහැක්කේය. එසේ තිබියදීත් මම බියපත් වන්නට පටන්ගෙන සිටියෙමි.

මුතව්වෝ ගෙවල්වලට කඩාපැන හයිෆයි සංගීත වාදන යන්ත්‍ර කුඩුපට්ටම් කළහ.‍ ඔවුනට මත්පැන් හසුවුවහොත්, පිරිමින්ව කුදලාගෙන හිරගෙදරට රැගෙන ගොස් එහිදී ඔවුන්ට පහර දුන්හ. ළදරුවන්ට සෙල්ලම් කිරීමට ඇති බෝනික්කන් විකිණීම තහනම් කළ ඔවුහු, ඒවා මිනිස් අනුරූ වූ බැවින් විස්කි මෙන් තහනම් භාණ්ඩයක් බවට පත් කළහ. හිටි අඩියේම, විකිණීමට ඇති එකම බෝනික්කන් වර්ගය වූයේ හැඩයකට නැති, මුහුණක් රහිත රූපයන් පමණය. ඒවා හරියට, හත්වැනි සියවසේ ජීවත් වූ දිවැසිවරයාගේ ළමා බිරිඳ ආයිෂා සතුව තිබූ බෝනික්කකු වැන්න. එහෙත් මේ 1979 වසරයි!
එවැනි දේ ගැන බින් ලාඩන් ගැහැනියක සමඟ සාකච්ඡා කළ නොහැකි විය. මූලිකවම, ඔවුන් කිසි විටෙක නීති රීති උල්ලංඝනය නොකරති. ඔවුනට අනුව මුතව්වා කරන්නේ රැකියාවක් වන අතර, එය ගෞරවාන්විත මෙන්ම සාධාරණ රැකියාවකි. උවමනාවට වඩා වැඩියෙන් ආගම් භක්තික වනවාය කියා දෙයක් නැති බව ඔවුන්ට දැඩි ලෙසම වැටහී ගොස් තිබුණු දෙයක් වූ නමුදු, මුතව්වා කෙතරම් අධික ලෙස බියකරු හා දැඩි කෙනෙකු වී සිටින්නේදැයි විදේශිකයින්ට හොඳින් අවබෝධ වූයේය.

වරක් මා මේ ගැන රෆා සමඟ සංවාදයක් පටන්ගත්තෙමි. අප මුහුණු ආවරණය ගැන කතාකරමින් සිටි අතර, එය අනවශ්‍ය දෙයක් මෙන්ම සවුදි පිරිමියාට කරන අපහාසයක් බවත් මම ඈට කීවෙමි. ගැහැනියකගේ මුහුණ දුටු පමණින් පාපයට නැඹුරු වන්නට තරම් ඔවුන් දුර්වල සහ ලිංගික ආශාවෙන් පෙළෙන්නන්ද? රෆා මගේ මුහුණ දෙස බැලුවේ මා ඉපැරණි ග්‍රීක භාෂාවෙන් කතා කළ පරිද්දෙනි. “අසරණ නූගත් පිටරැටියා,” යන්න මට ඇගේ ඇස්වලින් කියවාගත හැකි වුණි. සරලවම කිවහොත්, මට ඈ තේරුම් ගන්නට නොහැකි විය.

මා වැඩියෙන්ම බියට පත්කළේ තරුණ පරපුරය. ඔවුහු රට ඉදිරියට ගෙන යා යුතුව තිබිණි. ඔවුන් සියවස් ගණනක් ආපස්සට යන ආකාරය මා සෑම සතියකම බලා සිටියෙමි. මා ඔවුන්ගේ අත්වැසුම්ද, කලු පැහැති මේස්ද, කෝපයට පත්වූ මුහුණුද දුටු අතර, තව තවත් නීති දැඩිකරන ලෙස කෙරුණු ඉල්ලීම් අසා උනිමි. ඇත්තටම ඔවුන් ලෝකය ආපස්සට යනතුරු නොඉවසිල්ලෙන් සිටින බව කීම සත්‍යයක් විය හැකිද? කාටද එවැන්නක් විශ්වාස කරන්න පුලුවන්? ඒත් ඉරානයේ සිදුවෙමින් තිබුණේ එයයි.

පරිවර්තනය – මොහාන් ධර්මරත්න

පසුගිය කොටස්

බින් ලාඩන් ව්‍යාපාරය, බිරින්දෑවරු 4 ට බූදලයෙන් 8/1 ඉතිරි අටෙන් හත් පංගුව ඔහුගේ දරුවන් 54 දෙනාට බෙදී ගියේය(වට තිර ලූ රාජ්‍යය – 22)

‘බින් ලාඩන් ප්ලාසා’ එවකට නගරයේ තිබුණු උසම ගොඩනැඟිල්ල (වට තිර ලූ රාජ්‍යය – 21)

“සවුදි අරාබියේ, බින් ලාඩන්ලාට උපන්දින උත්සව ‘හරාම්’ බව මා ඉගෙනගත්තෙමි”(වට තිර ලූ රාජ්‍යය – 20)

සවුදි ගැහැනු ඉවසා දරාගෙන සිටිය යුතු වේදනාවලට කෙළවරක් නැතිද? (වට තිර ලූ රාජ්‍යය – 19)

සවුදි ගැහැනුන් හැටියට මගේ දියණියන්ගේ ඉරණම කුමක් වේද?(වට තිර ලූ රාජ්‍යය – 18)

අවසානයේදී අප හැමට සවුදි අරාබියෙන් ගැලවීයාමට අවශ්‍ය වූ ශක්තිය ලබා දුන්නේ, ‘නජියා’ (වට තිර ලූ රාජ්‍යය – 17)

සවුදි අරාබියේ හොඳම රෝහල් වළ රාජකීය පවුල් සඳහා වෙන්වූ කාමර, බින් ලාඩන් පවුලටද අවසර තිබිණි (වට තිර ලූ රාජ්‍යය – 16)

මක්කම සහ මදීනා නගරයේ ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමේ පරම අයිතිය හිමිව තිබුනේ බින් ලාඩන් සමාගමට (වට තිර ලූ රාජ්‍යය – 15)

“ස්වාමිපුරුෂයාට බිය නැති සවුදි කාන්තාවක් මට හමුවී නැති තරම්ය” (වට තිර ලූ රාජ්‍යය – 14)

බින් ලාඩන්ගෙ පියා අවුරුදු 59 දී මියයනවා, එදා රාත්‍රියේ දී විසිතුන් වැනි බිරිඳ විවාහ කරගැනීමට සූදානමින් සිටියා (වට තිර ලූ රාජ්‍යය – 13)

බින් ලාඩන් ගැහැනියකට නිවසින් පිටත යෑම සෑම විටකම පාහේ ‘හරාම්’ සහ ‘අබේ’ විය. (වට තිර ලූ රාජ්‍යය – 12)

“දුවගේ උපත යෙස්ලාම්ගේ බලාපොරොත්තු කඩවීමක් වුවත්, මට දැනුණේ වෆා ආශ්චර්යයක් ලෙසිනි” (වට තිර ලූ රාජ්‍යය – 11)

“අබායාව ගුලිකර වීසිකර දැමුවෙමි. අපේ නව ඇමරිකානු ස්වාධීනත්වය යළිදු අප වසාගත්තේය”(වට තිර ලූ රාජ්‍යය – 10)

බින් ලාඩන් පවුලේ ගැහැනියක ගිය එකම ප්‍රසිද්ධ ස්ථානය රත්තරන් බඩු වෙළඳපොළ පමණි

වීදි තුනක් දිගට සම්පූර්ණයෙන්ම බින් ලාඩන්වරුන් පමණක් ජීවත් වූ ගම්මානයක් විය (වට තිර ලූ රාජ්‍යය – 08)

“සවුදි අරාබියේ ගතකළ පළමු මිනිත්තු කිහිපයේදීම මා නොසැලකිලිමත්කමින් වරද්දාගෙන සිටියෙමි” (වට තිර ලූ රාජ්‍යය – 07)

‘සවුදීන්ට විදේශිකයකු සමඟ විවාහ වීමට රජතුමාගෙන් අවසර ගත යුතුය’ (වට තිර ලූ රාජ්‍යය – 06)

“සවුදි අරාබියද මා කුඩා කල දුටු ඉරානය බඳු වියහැකි මා මාවම රවටාගෙන තිබුණේය” (වට තිර ලූ රාජ්‍යය – 05)

“යෙස්ලාම් මගේ ජීවිතය සදහටම වෙනස් කරන්නට යන බවක් මට කිසිසේත්ම දැනුණේ නෑ” – (වට තිර ලූ රාජ්‍යය – 04)

“කාමන්, ඔයා හරිම විශේෂ කෙනෙක්. ඒක කවදාවත් අමතක කරන්න එපා.“ (වට තිර ලූ රාජ්‍යය – 03)

සවුදියෙන් නිදහස් වීමට මා කළ අරගලයේ තේරුම ඔවුන්ට අවබෝධ වුණේ සැප්තැම්බර් 11 න් පසුවයි (වට තිර ලූ රාජ්‍යය – 02)

“සැප්තැම්බර් එකොළහ උදාවූයේ ලස්සන ඉන්දියානු ගිම්හානයේ දිනයක් ලෙසිනි” (වට තිර ලූ රාජ්ජය – 01)

Related articles

ITC Ratnadipa – සුඛෝපභෝගීත්වයේ අති විශිෂ්ට වූ අයිකනය කොළඹ දී උත්කෘෂ්ඨ අයුරින් විවෘත වූ වගයි !

ITC Limited හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන WelcomHotels Lanka (Private) Limited විසින් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමේ...

යුක්තියට ජනවරමක් අවශ්‍ය නොවේ !

පුද්ගලයන් 300 දෙනකුගේ පමණ ජීවිත බිලිගත් සහ තවත් විශාල පිරිසක් තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත්කළ පාස්කු ඉරිදා බෝම්බ...

“ලෝකයම ෆේක් නිවුස් වලින් පුරවන ඇලීසා කාර්සන් ගේ අඟහරු ගමන”

ඇලීසා කාර්සන් උපත ලබන්නේ 2001 මාර්තු 10 වැනි දින ඇමරිකාවේ ලුයිසියානා ප්‍රාන්තයේ හැමන්ඩ් නගරයේදී.Baton Rouge International School ජාත්‍යන්තර...

“අපි පොහොසත් ක්‍රීඩකයන්. අප දුප්පත් රටවලට යන්නේ නැහැ”- ශෙවාග්

ශෙවාග් සහ ඇරියස් ක්‍රිකට් ගහන කාලේ විරේන්දර් ශෙවාග් භයානක පිතිකරුවෙක්.සනත් ජයසූරිය හඳුන්වා දුන් ප්‍රවේගකාරී ආරම්භය අනුගමනය කළ පිතිකරුවෙක්.එකල ඔහු...