මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ කාමන් බින් ලාඩන්(Carmen Bin Ladin) ගේ The Veiled Kingdom කෘතිය ‘වට තිර ලූ රාජ්ජය’ ලෙස සෑම සදුදා සහ බ්‍රහස්පතින්දා දිනකම කොටස් වශයෙන් පළවේ. අද පළවන්නේ එහි 21 වන කොටසයි.
මගේ ජීවිතය කාන්තාරයක් මෙන් නිෂ්ඵල හා හිස් යැයි මට සිතේ
එහෙත් හැම අවුරුද්දකම, ළමුන් ටිකෙන් ටික ලොකුවන විට, ඊට ඔවුන්ව සහභාගී කරවීමට අම්මලා කැමතිකරවා ගැනීම වඩාත් අපහසු වන්නට විය. හයිෆා සමඟ මගේ මිත්‍රත්වය කෙතරම් වුවද මට දැනුණේ තනිකමකි. මා ජීවත්වෙමින් සිටියේ ගැහැනුන්ට කිසිදු වටිනාකමක් නැති, එමෙන්ම ගැහැනියට වටිනාකමක් ඇතිකර දීමට උවමනාවක්ද නැති සමාජයකය. මා බලාපොරොත්තු වන, එමෙන්ම දැඩිව අපේක්ෂා කරන වෙනස්වීම් ඔවුන් බලාපොරොත්තු නොවන බව පෙනීගිය අතර, විරෝධය පළකිරීමට තරම් නිර්භීතබවක් හෝ උවමනාවක් හෝ නොතිබූ ගැහැනුන් විසින් වටකරනු ලැබ සිටීම මා දැඩි කනස්සල්ලට පත් කළේය. ඔවුන් බොහෝදෙනෙකු සතුව ඥාණය හා ශක්තිය තිබූ නමුත් ඒ බව පෙන්නුම් කළේ ආගම හරහා පමණය. ඔවුහු ජීවත් වූයේ ඔවුන්ගේ ආගම ඇදහීමට පමණය. ඔවුන්ගේ පෞරුෂත්වයන් මුළුමනින්ම විනාශකර දමනු ලැබ තිබිණ.
මා දැන් මගේ නිවසේ පාලිකාව වී සිටිය නමුදු, මා එහි ප්‍රධාන හිරකාරිය බව දැනුණු දවස් ද තිබිණි. සන්ධ්‍යාවේ අඳුර වැටීගෙන එනවිට ඇසෙන යාඥා මුරයට පසුව, විශාල දොඩමක් බඳු සූර්යයා අපගේ නිවස පිටුපසින් කාන්තාරය තුළට ගිලී යද්දී මා කිරිගරුඬ පොළව මත හිටගෙන දහස් ගණන් කුරුල්ලන් එකිනෙකාට කතා කරමින් අහසේ පියඹා යන හඬ අසා සිටින්නෙමි. කලු පැහැති වලාකුළු මෙන් කාන්තාරයට උඩින් පියාසර කරන අතර උන් මහා ගාලගෝට්ටියක් නැඟූහ. සැතපුම් ගණනාවකටම ඒ හැර අන් කිසිවක් දක්නට නොතිබිණි. එය ලස්සනය. එහෙත් නිරුවත් වූ, පරිකල්පනයෙන් හිස්වූ, නිර්මාණශීලීත්වයෙන් හා සැබෑ මිත්‍රත්වයෙන් තොර වූ එය හැම තිස්සේම නොවෙනස්ව එලෙසින්ම තිබුණේය. මාස ගණන් ගතවී යද්දී, මේ ආකාරයට නිශ්ශබ්දව බලා සිටීම නිසා, වැසුණු අවකාශයක සිටීමේදී මා තුළ ඇතිවන අධික බියට සමාන බරැති හැඟීමක් හටගන්නට වූයේය. මගේ දියණියෝ මා පිටුපසින් නිවස තුළ විසූවද මගේ ජීවිතය කාන්තාරයක් මෙන් නිෂ්ඵල හා හිස් යැයි මට ඇතැම්විට දැනෙන්නට විය.
11 වැනි පරිච්ඡේදය.
සහෝදරයෝ
ෂෙයික් මුහම්මද්ගේ දසවැනි පුත්‍රයා ලෙස යෙස්ලාම් සිය තත්වයට මනාව ඔබින ආකාරයට කටයුතු කළද, සවුදි අරාබියේ අප ගතකළ මුල් අවුරුද්ද තුළ ඔහුට බින් ලාඩන් සමාගම තුළ හිමිවී තිබුණේ බොහෝ පහළ ස්ථානයකි. එසේ වුවද, ඔහුගේ දක්ෂතා අපතේ යාමට සලස්වා තිබෙන්නේ යැයි ඉක්මනින්ම හැමදෙනාටම අවබෝධ වීම මගේ සතුටට හේතු විය. යෙස්ලාම් ඔහුගේ සහෝදරයින් අතර ඉහළම නුවණැත්තාද, අධ්‍යාපනය අතින් ඉහළින්ම හුන් තැනැත්තාද වූ අතර, සමාගමද බැලූ බැල්මට පෙනුණාට වඩා නරක තත්වයක පසු විය. ඔවුන්ට යෙස්ලාම්ගේ දක්ෂතා වැඩි වැඩියෙන් උවමනා වූයේය.
ෂෙයික් මුහම්මද්ගේ මරණයෙන් පසු, ලාබාල වූ ඔහුගේ පුතුන් වෙනුවෙන් ව්‍යාපාරය කරගෙන යෑම සඳහා ෆයිසාල් රජතුමා විසින් පත්කරන ලද අටදෙනෙකුගෙන් සමන්විත භාරකාර මණ්ඩලයක් යටතේ ඒ වනවිටත් සමාගම පාලනය වෙමින් තිබුණු ඒ අවධියේ, විසි එක්වන වියට එළඹ සිටියේ ඔහුගේ පුතුන් අතරින් දෙදෙනෙකු පමණි. සවුදි අරාබියේ දැවැන්තම සමාගම්වලින් එකක් වූ නිසා ඊට විශේෂ අවධානයක් දීම අවශ්‍ය විය. එපමණක් නොව, ෂෙයික් මුහම්මද් ෆයිසාල් රජුගේ පියා වන සුප්‍රසිද්ධ අබ්දුල් අසීස් රජතුමාටත් ඔහුගේ සොහොයුරු සවුද් රජතුමාටත් ඔවුන්ගේ මාලිගාවල් බොහොමයක් ගොඩනැංවීමෙන් හා වෙනත් ආකාරවලින් උදව් කිරීමෙන් සේවය කර තිබූ බැවින් ඔහුට රාජකීය පවුල සමඟ බැඳීමක් තිබිණි.
ඉතාම හොඳ වැදගත් තලතුනා මිනිසුන් වූ භාරකාරයින් අටදෙනා නවීනත්වය ප්‍රිය නොකළ, අවදානම්සහගත දේවල් වලට සම්පූර්ණයෙන් විරුද්ධ අය වූහ. එකතැන පල්වන බින් ලාඩන් සමාගම පසුකරමින් වෙනත් ඉදිකිරීම් සමාගම් ඉහළ නැඟෙන්නට විය. ඒවායින් සමහරක පිටුපස බලවත් කුමාරවරු සිටි අතර, ඔවුහු දිගට හරහට කොන්ත්‍රාත්තු දිනාගනිමින් සිටියහ.
මේ අතර, ෂෙයික් මුහම්මද්ගේ වැඩිමහලුම පුත්‍රයා වන සලෙම් සහ ඔහුගේ වෙනත් බිරිඳකගෙන් ලද දෙවැනි පුත්‍රයා වන, මට ලෙබනනයේදී හමුවී තිබූ අලි අතර ගැටුම් හටගෙන තිබිණි. සලෙම් විදේශ අධ්‍යාපනය සඳහා එතෙර යවන්නට තීරණය කළ ෂෙයික් මුහම්මද්, අලි සවුදි අරාබියේ නතර කරගන්නට කටයුතු කළේය. ෂෙයික් මුහම්මද් මියයන විට සලෙම් සහ අලි යන දෙදෙනාම නීත්‍යානුකූල වැඩිහිටියන් බවට පත්ව සිටි අතර, පවුලේ අධිපති පුරුෂයා මෙන්ම සමාගමේ අධිපතියා හැටියටත් තමාට උරුම ස්ථානය ගැනීමට සලෙම් තීරණය කළේය. පියා සමඟ ජීවත් වූ අලිට හැඟී ගියේ ඔහුට ප්‍රධානත්වය ලැබිය යුතු වන බවය.
වසර ගණනක් අලි සලෙම්ගේ තීරණවලට විරුද්ධව සටන් කළ අතර, ඔවුන් දෙදෙනා අතර වූ විරසකයෙන් සමාගමට කිසිදු යහපතක් අත් නොවීය. අවසානයේදී ෆයිසාල් රජතුමාට පෙත්සමක් යැවූ අලි, බින් ලාඩන් සමාගමෙන් ඉවත් වීමටත්, සවුදි අරාබියෙන් පිටවී යාමටත් අවසර ඉල්ලීය. ෂෙයික් මුහම්මද්ගේ සැබෑ උරුමක්කාරයා වීමට අලිට අයිතියක් තිබේය යන්නෙහි යම් සාධාරණත්වයක් තිබුණද, සමාගමෙන් ඉවත් වීමට ඔහු කළ ඉල්ලීමට එකඟ වන්නට රජතුමාට සිදුවිය. වැඩිමහලුම සහෝදරයා සතු පාලන බලතල වලට අභියෝග කරන්නට ඉඩදීම රජුට වුවද කළ නොහැක්කකි. සවුදි අරාබියේ ගෝත්‍ර ක්‍රමයේ පදනම එයයි. රාජකීය පවුලේ පදනමද එයයි. සමාගමේ වත්කම ගණනය කොට අලිගේ කොටස ඔහුට දෙනු ලැබිණි. ඉන්පසු ඔහු ලෙබනනය බලා පිටත් විය. සලෙම් හා ඔහුගේ බාල සොහොයුරු බකර් ඉන්පසු පාලනය බාරගත්හ.
වසරක් පාසා දරුවන්ට ලාභාංශ
මක්කම සහ මදීනා නගර ප්‍රතිසංස්කරණය කිරීමේ නම්බුකාර, මිල අධික මෙන්ම සුවිශේෂී කොන්ත්‍රාත්තුව තවමත් සමාගම සතුව තිබූ නමුත් වෙනත් පැතිවලින් එය දුර්වල වෙමින් පැවැතිනි. යෙස්ලාම් ඉහළ ස්ථානයකට ගමන් කරමින් සිටියේය. ඔහු සිටිබෑන්ක් හි සේවකයින් දෙදෙනෙකු වැඩට ගෙන, ජිද්දා හි පිහිටි ප්‍රධාන කාර්යාලය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කළේය. දෙපාර්තමේන්තු ඇතිකළ යෙස්ලාම්, රාජකාරිමය වාර්තා කිරීමේ හා තීරණ ගැනීමේ ක්‍රමවේදයක් සකස් කොට ක්‍රියාත්මක කළේය. මුල් වරට සමාගම වෙත පරිගණක යන්ත්‍ර හඳුන්වා දුන් හෙතෙම, ප්‍රධාන විදේශීය බැංකු සමාගම් සමඟ ණය හා ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කරමින් ක්‍රම ක්‍රමයෙන් සමාගමේ මූල්‍ය පරිපාලනය අතට ගත්තේය. ඔහු ජෙනරල් මෝටර්ස් සහ ස්විස් ඉදිකිරීම් සමාගමක් වූ ලොසින්ගර් වැනි ආයතන සමඟ හවුල් ව්‍යාපාර ආරම්භ කළේය.
බින් ලාඩන් සමූහ ව්‍යාපාරය ෂෙයික් මුහම්මද්ගේ උරුමක්කාරයින්ට පොදුවේ අයිතිව තිබුණේ සංකීර්ණ ක්‍රමවේදයකට අනුවය. ඔහු මියයන විට විවාහ වී සිටි බිරින්දෑවරු හතරදෙනාට බූදලයෙන් අටෙන් පංගුවක් හිමිවිය. ඉතිරි අටෙන් හත් පංගුව ඔහුගේ දරුවන් පනස් හතරදෙනා අතර බෙදී ගියේ පිරිමි දරුවකුට සම්පූර්ණ කොටසක්ද, ගැහැනු දරුවකුට කොටස් බාගයක්ද හිමිවන ලෙසිනි. සමාගම පාලනය වූයේ පොදු වස්තුවක් ලෙසය. සම්පූර්ණ එකඟතාවයකින් තොරව ඉඩම් කෑල්ලක් පවා මිලදී ගන්නට හෝ විකුණන්නට නොහැකිවාක් මෙන්ම, කිසිදු සහෝදරයකුට එවකට වැටුපක් හිමි නොවීය. සෑම දරුවකුටම සෑම අවුරුද්දක් පාසාම, පිරිමි දරුවක්ට එක් කොටසක්ද, ගැහැනු දරුවකුට කොටස් බාගයක්ද වන පරිදි ලාභාංශයක් බැගින් හිමිවිය.
සලෙම් සහ බකර් එකම මවකගේ දරුවෝ වූහ. නීත්‍යානුකූලව සවුදි පවුලක අඩ සොහොයුරන් සිටිය නොහැකි නමුත් එකම මවකගේ දරුවන් වීම, එකම වයසේ වීම හෝ එකම පාසලක උගෙන තිබීම මත විශේෂ ඇඟෑලුම්කම් සහ කාණ්ඩ ගැසීම් දක්නට හැකිය. මේ සාධක තුනම සපුරන සලෙම් සහ බකර් වැන්නවුන් අතර පවතින බැඳීම වඩාත් කිට්ටුවන්ත වන්නේය. යෙස්ලාම්ගේ ස්වාභාවික හිතෛශීවන්තයින් හැමදෙනාම ඔහුට වඩා බාලයින් වූහ. බාල සහෝදරයින් බොහෝදෙනෙකු මෙන් ඔහුද පදම් වූයේ සිය වැඩිමහල් සහෝදරයින්ගේ පාලනය යටතේය.
එක් සන්ධ්‍යාවක, හැම දෙයක්ම වසා දැමූ පසුව, කාර්යාල නැරඹීමට යෙස්ලාම් මා කැටුව ගියේය. මා පරිස්සම් සහිතව අබායාව තුළ සැඟවී සිටියෙමි. ගොඩනැඟිල්ල හත්වැනි කිලෝමීටරයට ආසන්නයේ පිහිටා තිබුණු අතර, එය මා දන්නා කිසිවකට සමාන නොවීය. සම්පූර්ණයෙන් වීදුරුවලින් තනන ලද්දාවූත්, බලය පෙන්නුම් කරන්නාවූත් බටහිර ලෝකයේ ප්‍රධානපෙළේ සමාගමක කිසිදු ලක්ෂණයක් ඉන් විද්‍යමාන නොවීය. යුරෝපයේ පැරණි ප්‍රාදේශීය උසස් පාසලක මෙන් දිගු කොරිඩෝර සහ කුඩා හිස් කාමරවලින් එය සමන්විත විය. කිසිවකු වැකියුම් ක්ලීනරයක් හෝ භාවිත නොකොට නිකම්ම නිකම් කොස්සකින් බිම අතුගායි. එබැවින් මා හට යෙස්ලාම්ගේ කාර්යාල කාමරය තුළට වැද හිඳීමට සිදුවිය. ඉතා සරල කාමරයක් වූ එහි බුමුතුරුණු නොතිබූ අතර, ලී මේසයක් සහ අබ්දුල් අසීස්, ෆයිසාල් සහ කාලිඩ් යන රජවරුන්ගේ ලාබෙට රාමු කර බිත්තියේ එල්ලූ ඡායාරූප තුනක් එහි තිබිණ. එය මැදපෙරදිග තිබෙන ප්‍රමුඛපෙළේ සමාගමක ප්‍රධාන කාර්යාලය හැටියට කිසි ලෙසකින් පෙනී ගියේ නැත.
රහස්වලින් පිරුණු වාතාවරණයක්
යෙස්ලාම්ගේ දක්ෂතා ඉතා වැදගත් බව අනෙක් සොහොයුරෝ ඉක්මනින් වටහා ගත්හ. ව්‍යාපාරයේ ජිද්දා මූලස්ථානය තුළ දැන් යෙස්ලාම්ගේ ස්ථානය පිහිටියේය. ඔහුගේ අදහස් සැලකිල්ලට ගනු ලැබිණි. ඔහු මූල්‍ය පාලනය ගැන මෙන්ම බටහිර ලෝකය පිළිබඳවත් දැන සිටියේය. එහෙත් ඔහුගේ ඇතැම් වැඩිමහලු සහෝදරයින්ට වැඩෙන ඔහුගේ ප්‍රතිරූපය ඇල්ලුවේ නැත. ඔහුගේ කීර්තිය ඔවුනට ඉහළින් හෙවනැල්ලක් මෙන් වැටෙන්නට පටන්ගෙන තිබුණේය. යෙස්ලාම්ට සිය ස්ථාවය රැකගැනීමට බලවත් හිතෛශීවන්තයින්ගේ සහාය අවශ්‍ය වූයේය. සිය මවගේ එකම පුත්‍රයා වීම නිසා ස්වාභාවික බැඳීම්වලින් තොර වූ හසන්, කෙරුම්කාර වැඩිමහල් සහෝදරයකු වූයේය. ජ්‍යෙෂ්ඨත්වය අතින් යෙස්ලාම් දහවැනි තැනත්, හසන් පස්වැනි තැනත් සිටියේ වී නමුදු හසන් යෙස්ලාම්ගේ ආධාරකරුවා බවට පත්විය.
නිහඬ මතගැටුම් සහ පෞද්ගලික න්‍යායපත්‍රයන් හේතුවෙන් ආධාරකරුවෝ නිරන්තරයෙන් වෙනස්වීම්වලට පාත්‍ර වූහ. උදාහරණයක් හැටියට, ඕමාර්ට ඉඩමක් මිලට ගන්නට අවශ්‍ය වූයේ නම් ඔහු තාවකාලිකව යෙස්ලාම්ගේ කඳවුරට සම්බන්ධ වනු ඇත. ඕනෑම සමාගමක මෙන් මෙහිද අභ්‍යන්තර දේශපාලනය රජ කළේය. එහෙත් එයද කිසියම් ආකාරයක පවුලක්, පරිස්සමින් ඔපමට්ටම් කළ පවුලක් විය. එහිද, කිසිදු කලහයක් විවෘතව සිදු නොවීය.
ආතතියෙන් යුතු, රහස්වලින් පිරුණු වාතාවරණයක වැඩකිරීම සාමාන්‍යයෙන් හුස්ම හිරකරවනසුලු වන අතර, එය යෙස්ලාම්ගේ උද්‍යෝගය කෙරෙහි බාධකයක් වන්නට පටන් ගත්තේය. සිය සොහොයුරන්ගෙන් එල්ල වූ පීඩනය දරාගැනීම සඳහා සහයෝගය හා සහනය පතා යෙස්ලාම් වඩ වඩාත් මා වෙතට නැඹුරු වන්නට පටන් ගත්තේය. ඔහුගේ තීරණ සාකච්ඡා කර නිවැරදි මාවත තෝරාගන්නට සහාය වීම සඳහා ඔහුට තවත් මොළයක් අවශ්‍යව තිබිණි. මා මූලෝපාය උපදේශකයෙක් මෙන්ම තිරයෙන් පිටුපස දෛනිකව සිදුවන සිදුවීම් සම්බන්ධව රහසිගත දැනුම් සම්භාරයක් තිබුණු විශ්ලේෂකයෙක් හැටියට ක්‍රියාකරමින් සිටින බව මට අවබෝධ වන්නට වූයේය. එය මා සතුටින් ඉටුකළ දෙයක් විය. ඉන් මගේ මනස ක්‍රියාකාරීව පවත්වාගැනීමට හැකිවූ අතරම මගේ පවුලේ අනාගතය ගොඩනඟන්නට මාද හවුල්වන බව දැනෙන්නට පටන්ගත්තේය.
පරිවර්තනය – මොහාන් ධර්මරත්න
පසුගිය කොටස්
“සවුදි අරාබියේ, බින් ලාඩන්ලාට උපන්දින උත්සව ‘හරාම්’ බව මා ඉගෙනගත්තෙමි”(වට තිර ලූ රාජ්‍යය – 20)
සවුදි ගැහැනු ඉවසා දරාගෙන සිටිය යුතු වේදනාවලට කෙළවරක් නැතිද? (වට තිර ලූ රාජ්‍යය – 19)
සවුදි ගැහැනුන් හැටියට මගේ දියණියන්ගේ ඉරණම කුමක් වේද?(වට තිර ලූ රාජ්‍යය – 18)
“ස්වාමිපුරුෂයාට බිය නැති සවුදි කාන්තාවක් මට හමුවී නැති තරම්ය” (වට තිර ලූ රාජ්‍යය – 14)
බින් ලාඩන් ගැහැනියකට නිවසින් පිටත යෑම සෑම විටකම පාහේ ‘හරාම්’ සහ ‘අබේ’ විය. (වට තිර ලූ රාජ්‍යය – 12)
බින් ලාඩන් පවුලේ ගැහැනියක ගිය එකම ප්‍රසිද්ධ ස්ථානය රත්තරන් බඩු වෙළඳපොළ පමණි
වීදි තුනක් දිගට සම්පූර්ණයෙන්ම බින් ලාඩන්වරුන් පමණක් ජීවත් වූ ගම්මානයක් විය (වට තිර ලූ රාජ්‍යය – 08)
‘සවුදීන්ට විදේශිකයකු සමඟ විවාහ වීමට රජතුමාගෙන් අවසර ගත යුතුය’ (වට තිර ලූ රාජ්‍යය – 06)
“සවුදි අරාබියද මා කුඩා කල දුටු ඉරානය බඳු වියහැකි මා මාවම රවටාගෙන තිබුණේය” (වට තිර ලූ රාජ්‍යය – 05)
“යෙස්ලාම් මගේ ජීවිතය සදහටම වෙනස් කරන්නට යන බවක් මට කිසිසේත්ම දැනුණේ නෑ” – (වට තිර ලූ රාජ්‍යය – 04)
“කාමන්, ඔයා හරිම විශේෂ කෙනෙක්. ඒක කවදාවත් අමතක කරන්න එපා.“ (වට තිර ලූ රාජ්‍යය – 03)
“සැප්තැම්බර් එකොළහ උදාවූයේ ලස්සන ඉන්දියානු ගිම්හානයේ දිනයක් ලෙසිනි” (වට තිර ලූ රාජ්ජය – 01)