මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ කාමන් බින් ලාඩන්(Carmen Bin Ladin) ගේ The Veiled Kingdom කෘතිය ‘වට තිර ලූ රාජ්ජය’ ලෙස සෑම සදුදා සහ බ්‍රහස්පතින්දා දිනකම කොටස් වශයෙන් පළවේ. අද පළවන්නේ එහි 6 වන කොටසයි.
ඇත්තවශයෙන්ම ඇමරිකාව අධ්‍යාපනය ලැබීමට පමණක් නොව දියුණු වීමට හැකි අවස්ථාවන්ගෙන්ද පොහොසත් රාජ්‍යයක් බව පෙනෙන්නට තිබිණි. සිතාගත නොහැකි තරම් විවෘත වූ මේ රාජ්‍යයේ අපට ව්‍යාපාරික අවස්ථාවන් පවා මතුකරගත හැකි බව යෙස්ලාම්ටත් මටත් පැහැදිළිව පෙනෙන්නට විය. දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ලොස් ඇන්ජලීස් මණ්ඩපය බැලීමට ගිය පළමු ගමනේදී එහි ජාත්‍යන්තර ශිෂ්‍යයින් පිළිබඳ අධ්‍යක්ෂක ජෙරී වුල්ක් අපට හමුවිය. (අප විදේශිකයින් යැයි දුටු පමණින්ම හඳුනාගත් බව ඔහු අපට පසුව කීවේය. මගේ සාය හා අඩි උස සපත්තුත්, යෙස්ලාම් ඇඳ පැළඳ සිටි යුරෝපීය ඇඳුම් කට්ටලයත් නිසා අපව සැතපුමක් දුර තියා හැඳිනිය හැකි වී ඇත). අප ඔහුගේ භාරයට ගත් ජෙරී අපට වටපිටාව පෙන්වූයේය. ජනවාරියේදීම හැකි ඉක්මනින් පංති පටන් ගැනීමට අපි තීරණය කළෙමු. යෙස්ලාම් ව්‍යාපාර අධ්‍යයනය ඉගෙනගනු ඇති අතර, මට ඉංග්‍රීසි භාෂාව වර්ධනය කරගැනීමේ පංතිවලට සහභාගි වීමට තිබිණි.
ඊළඟට අපි ජිනීවා වෙත ගුවනින් පැමිණියෙමු. ඒ මගේ පවුලේ උදවියත් සමඟ අප දෙදෙනා ගතකරන පළමු නත්තල වෙනුවෙනි. යෙස්ලාම් බොහෝ සතුටින් සිටියේය. මගේ අම්මා ඉරාන ජාතික මුස්ලිම් කාන්තාවක වුවද, නිවසේ නත්තල් ගසක් තිබීම හා අප එකිනෙකා තෑගි හුවමාරු කරගනිමින් පරිපූර්ණ ලෙස ක්‍රිස්තියානි නිවාඩුවක් ගත කිරීම ගැන යෙස්ලාම් කිසිසේත්ම ත්‍රස්ත වී නොසිටියේය.
විශ්වවිද්‍යාලයේ මුල් සමය පටන්ගෙන සති දෙකකට පමණ පසු අපට ජෙරීගේ බිරිඳ මේරි මාර්තා බාර්ක්ලේ හමුවිය. එය ඇගේ උපන්දිනය වූ අතර, පසුකලෙක ඈ නිතරම අපව හැඳින්වූයේ ඇගේ උපන්දින තෑග්ග ලෙසිනි. ඇතැම්විට, ඉතාමත් ඉක්මනින් කිට්ටු සබඳතා ඇතිවන අය ජීවිතයේදී ඔබට මුණගැසෙයි; මේරි මාර්තා යනු මට එවැන්නියකි. උස, කලු හිසකේ හා නිල් ඇස් ඇති, ඉතා ලස්සන කෙනෙකු වූ ඇය සැබෑම කාන්තාවකි. මේරි මාර්තා ගැන වඩාත් හොඳින් හඳුනා ගනිත්ම මා ඈට දක්වන කැමැත්ත තව තවත් වැඩි වූයේය. හැම දෙයක්ම කිසියම් තාලයකට ඉටුකිරීම පිළිබඳ හැඟීමක් තිබුණු, උණුසුම් හදවතක් ඇති ඈ සතුව යන යන තැන්හි කැපී පෙනීමේ පුදුමාකාර ගුණයක් තිබිණි. ඉතා කරුණාවන්ත වූ ඈ යෙස්ලාම්ටත් මටත් ජීවත් වන්නට කුලියට ගෙයක් සොයාගැනීමට උදව් කළාය. ඉතා දිගු වූ, කල්පනාකාරී මෙන්ම කරුණාභරිත උපකාර මාලාවක පළමුවැන්න එය විය. කෙටියෙන්ම කිවහොත්, ඈ අපව හදාවඩා ගත්තාය.
මේරි මාර්තා මගේ ආදර්ශ චරිතය, පරමාදර්ශී ඇමරිකානුවා බවට පත් වූවාය. ඈ ආදර්ශයට ගෙන මට මගේ පෞරුෂත්වයේ දුරුවල තැන් සකස් කර ගන්නට හැකි වූ අතර, මා ප්‍රාර්ථනා කළ වැඩිහිටි චරිතය බවට පත්වීමට මට එය උදව් කළේය. මා කුඩා කල සිට හැදී වැඩුණු ආකාරය පිළිබඳ වූ ප්‍රහේලිකාවේ අතරින් පතර තිබූ හිස්තැන් මේරි මාර්තා ගැන අධ්‍යයනය කිරීමෙන් ඉබේටම සකස් වී යන හැටි මට දැනුණි. ස්වාධීන වූ නමුත් කරුණාවන්ත, සුබවාදී සහ විහිළුකාර, ආකර්ශනීය සහ ඍජුව කථාකරන ඇගේ ස්වභාවයට මම ආදරය කළෙමි. ඇගේ නවයොවුන් දරුවන්ට කතන්දර කියාදෙමින්, ඔවුන්ට ශක්තිමත්ව හා සත්‍යවාදීව හැදෙන්නට ඉගැන්වූ හැටි මා ඉතා අගයකොට සැලකුවෙමි. මේරි මාර්තා මව් පදවියට අතිශයින්ම කැපවී සිටියාය. තම පුත්‍රයා පිහිනුම් පුහුණුවීම්වලට රැගෙන යාම සඳහා සෑම දිනකම පාන්දර හතරට අවදි වූ ඇය, කිසි දිනෙක තම දරුවන්ට ඔවුන්ගේ සිතැඟිවලට විරුද්ධව ක්‍රියා කරන්නැයි බලකිරීම් නොකළාය.
මා මගේ දරුවන් හදාවඩා ගත යුත්තේද මේ ආකාරයටම ඔවුන්ගේ අනන්‍යතාව රැක දෙමින් යැයි මම සිතා ගත්තෙමි. මේරි මාර්තා මා විනිශ්චයට භාජනය නොකළ අතර, මගේ අම්මා කළ පරිද්දෙන් මගේ ජීවිතයේ දිශානතිය වෙනස් කිරීමට උත්සාහ නොගත්තාය. අපි මිතුරුකමකට එහා ගිය ගැඹුරු කල්පවත්නා බැඳීමක් ගොඩනඟාගතිමු. මා ලෝකයේ අන් කවරකුටත් වඩා ඈව ඉහළින් අගයකොට සැලකූ අතර, වසර ගණනාවක ඇවෑමෙන් ඈ මගේ ඇමරිකානු අම්මා වූවාය.
අබ්දුල්ලතීෆ් ඉංග්‍රීසි පංතියේ මා සමඟ සිටි සවුදි ජාතික ශිෂ්‍යයෙකි. මා විවාහ ගිවිසගෙන සිටින්නේ යෙස්ලාම් බින් ලාඩන් සමඟ යැයි ඇසූ කල ඔහු විස්මයෙන් ගොළුවී ගියේය. දිනක් බොහෝ ආචාරශීලී ලෙස මා වෙත පැමිණි ඔහු, 1967 දී මියගිය යෙස්ලාම්ගේ පියාව දැන සිටි බව කීවේය. ෂෙයික් මුහම්මද් බින් ලාඩන් පිළිබඳව ප්‍රසිද්ධ වී තිබෙන සවුදි ජනශ්‍රැති ගොන්න, ලෝකයේ අනෙක් පැත්තේ සිටියදී මට හඳුන්වා දුන් මුල්ම තැනැත්තා අබ්දුල්ලතීෆ් ය. ඔහුගේ පියා ජිද්දා නගරයේදී ෂෙයික් මුහම්මද් යටතේ සේවය කළ බව හෙතෙම කීවේය – ඇත්තවශයෙන්ම, ජිද්දා හි ජීවත් වූ සෑම කෙනෙකුම පාහේ ඔහුට සේවය කර තිබිණි. දුගියකු ලෙස උපන් යෙස්ලාම්ගේ පියා මැදපෙරදිග තිබෙන බලසම්පන්න ඉදිකිරීම් සමාගමක් ගොඩනැංවූ බව අබ්දුල්ලතීෆ් මට කීවේය. රජවරු සහ කුමාරවරුන්ගේ මාලිගා ගොඩනැංවූ ෂෙයික් මුහම්මද්, ඉස්ලාමයේ අති ශුද්ධවූ නගර ප්‍රතිසංස්කරණය කළේය. ලොව අන් කවරකුටත් වඩා මහන්සියෙන් වැඩ කළ ඔහු මිනිසුන් අතර යෝධයකු විය. අවංක හා ශ්‍රද්ධාවන්ත වූ හෙතෙම දුටු දුටුවන්ගේ ආදරය දිනාගැනීමට සමත් විය. මා ආලය කරමින් සිටියේ ඔහුගේ පුත්‍රයාටය.
අපි අබ්දුල්ලතීෆ් හා ඔහුගේ බිරිඳට රාත්‍රී කෑමට ආරාධනා කළෙමු. පසුව ඈ මට සවුදි කෑම හදන ආකාරය ඉගැන්වූවාය. (මා තවමත් ඒ කෑම සාදමි – ඇඹරූ මස් අඩංගු පේස්ට්‍රි වර්ගයක් වන සමෝසා තවමත් මගේ දරුවන් ආශාකරන කෑමකි). එහෙත් ඒ කාලයේ මා අත්දැකීම් නොලත් කෝකියකු වූ බැවින් පිටින් ගෙනා කෑමද අපි බොහෝ සෙයින් ආහාරයට ගත්තෙමු. අබ්දුල්ලතීෆ්ගේ බිරිඳ තරුණියක වුවද ඈ ඇන්දේ බෙහෙවින් චාම් ලෙස, අලු හෝ දුඹුරු පැහැ ගත් දිගු සායවල්ය. නිතරම ඇගේ මුහුණ තදින් වෙලී යන සේ පැළඳි ශීර්ෂාවරණයක් විය. ඈ ගතකළේ ඉතා නිශ්ශබ්ද ජීවිතයකි. අබ්දුල්ලතීෆ් ද යෙස්ලාම් නැති අවස්ථාවල, විශේෂයෙන්ම පංතියේදී මා ඉදිරිපිට හැසිරුණේ බෙහෙවින් ලජ්ජාශීලී ලෙසය. ඔහු කිසිවිටෙක මගේ දෑස් දෙස කෙලින් නොබැලීය. ඊට හේතුව මට බින් ලාඩන්ලා සමඟ තිබෙන සම්බන්ධතාවය යැයි මා සිතුවෙමි. එහෙත් වෙනත් සවුදි ජාතිකයකුට අයත් ගැහැනියකගේ මුහුණ දෙස බැලීමට ඔහුට අවසරයක් නැති බව මා දැනගත්තේ බොහෝ කාලයකට පසුවය.
නිදහසේ ගෙවීගිය ඒ කාලපරිච්ඡේදය තුළ සවුදි අරාබිය යනු බොහෝ දුර ඈත තිබුණු දෙයක් විය. යෙස්ලාම් රටින් පිටවී ගොස් තිබුණේ කුඩා ළමයකුව සිටියදීය – ෂෙයික් මුහම්මද් ඔහුව ලෙබනනයේ පිහිටි නේවාසික පාසලකට යවන විට ඔහුට යන්තම් අවුරුදු හයකි. ඉන් පසුව ඔහුව එංගලන්තයටත් ස්වීඩනයටත් යවනු ලැබූ අතර, එතැන් සිට ඔහු නිවසේ ගත කර ඇත්තේ ගිම්හාන නිවාඩුව පමණකි. දුර ඈත රටක් වූ සවුදි අරාබියේ ජීවත් වීමට මගේ කිසිදු සැලැස්මක් නොවීය. අපි ඇමරිකාවේ බොහෝ සතුටින් වාසය කළෙමු. අප විසින් හඳුනාගන්නට යෙදුණු මේ නිදහස්, අලුත්, පුදුමාකාර රටේ යෙස්ලාම් විසින් අපේ අනාගතය ගොඩනඟන්නට යන බව මට දැනුණේය. දැන් අමරිකාව අපේ නිවස වී ඇත.
මතු යම් දිනෙක යෙස්ලාම්ගේ ඉරණම විසින් ඔහු නැවත සවුදි අරාබිය වෙත ගෙන ගියහොත් ගියාවේ. ඔහුගේ පියා සවුදි අරාබි රාජධානිය ඔටුවන් ගමන් කළ වැලි මාවත්වල සිට අහස උසට නැඟුණු මන්දිර සහ ගුවන්තොටුපළවල් දක්වා රැගෙන ගොස් තිබේ. මගේද උදව් ඇතිව එය නවීන සමාජයක් බවට පත්කිරීමට අවශ්‍ය උනන්දුව ලබාදීමට යෙස්ලාම්ට හැකිවනු ඇත. ඒ කාලයේ මට කිසිදු බියක් නොදැනුණු අතර සීමාවන් පිළිබඳ කිසිදු හැඟීමක් ජනිත නොවිණි. මා මගේ ජීවන සහකරු සොයාගෙන තිබුණු බැවින් මුලු ලොවම හිමිකර ගත හැකිය යන හැඟීම මට දැනුණේය. මගේ නිර්භීතකම සීමාවක් නොහැඳිනීය. මම කිසිවක් නොදැන සිටියෙමි.
4 වැනි පරිච්ඡේදය.
මගේ සවුදි මංගල්‍යය
ඉරානයේ පිහිටි මගේ ලොකුඅම්මාගේ මිනීවළෙන් අහුලාගත් කුඩා ගල්කැටයක් මා සතුව තිබිණි. රිදී ස්වල්පයක් යොදා දම්වැලකට සම්බන්ධ කර තිබුණු එය මගේ කණ්ණාඩි මේසය මත තිබුණේය. ඇත්තටම එය නිකම්ම නිකම් ගල්කැටයක් වූ නමුදු, මට එහි වටිනාකම නිධානයක් තරම් වූයේය. යෙස්ලාම් සමඟ මිනීවල අසල හිටගෙන සිටි එදින මා ඒ ගල්කැටය අහුලාගත්තේ මට මඟපෙන්විමක් අවශ්‍ය බව දැනුණු නිසාවෙනි. එය හරියට මා ලොකු අම්මාගෙන් ප්‍රශ්නයක් ඇසුවා වැනිය. මා මේ මිනිසාව කසාද බඳින්නද? ඒ ගල්කැටය එක්තරා ආකාරයකින් යෙස්ලාම්ගේත් මගේත් සම්බන්ධයේ සංකේතයක් බවට පත්වී තිබිණි. අප්‍රේල් මාසයේ එක්තරා දිනෙක අපේ ලොස් ඇන්ජලීස් හි පිහිටි නිවසේ මගේ ගල්කැටය නැති බව හදිසියේම මට තේරුම් ගියේය.
“ඒක තමයි!” මම යෙස්ලාම්ට කීවෙමි. “ඒකෙන් අදහස් කරන්නෙ අපිට කසාද බඳින්න බැහැ කියන එකයි.”
යෙස්ලාම් එය බරලතල ලෙස බාරගත්තේය. ඔහු අවි බිම තැබුවේය. සෑම තැනකම සොයන්නට පටන්ගත් ඔහු කුණු බාල්දිය පවා උඩු යටිකුරු කළේය. අන්තිමේදී ඔහු ජයග්‍රාහී ලෙස මගේ වටිනා ගල්කැටය කණ්ණාඩි මේසය පසුපස තිබී සොයාගත්තේය. “දැන් ඔයාට මාව බඳින්නම වෙනවා,” යැයි ඔහු පුරසාරම් කියන්නට වූයේය. යෙස්ලාම්ට මා කෙතරම් වටින්නේදැයි මා ඒ් මොතේදී තේරුම් ගත්තෙමි. ඔහුට ඇත්තෙන්ම බොහොම තදින්ම මා හා විවාහ වීමට අවශ්‍ය විය.
අපේ විවාහ මංගල්‍යය පවත්වන දිනය කවදාදැයි කියන ලෙස මගේ අම්මා අපට බලකරන්නට වූවාය. යෙස්ලාම්ට කැමති වූ ඈ, ඔහු මගේ කැරලිකාර චරිතය පාලනය කරනු ඇතැයි විශ්වාසයෙන් පසුවූවාය. ඈ වඩාත් නොඉවසිල්ලෙන් සිටියේ පවුලට නැවතත් පිරිමියකු ලැබීම ගැනය. එබැවින් යෙස්ලාම් හා මා තීරණය කළේ වාරාවසානයේදී මා ජිනීවා යන්නටත්, යෙස්ලාම් සවුදි අරාබියට ගොස් ගිම්හානය අවසන් වීමට පෙර අපේ විවාහ මංගල්‍යය සිදුකිරීමට අවශ්‍ය වැඩකටයුතු සූදානම් කිරීමටත්ය. සවුදීන්ට විදේශිකයකු සමඟ විවාහ විය හැක්කේ රජතුමා ඊට අවසර දෙනවානම් පමණකි. එබැවින් යෙස්ලාම්ට ඔහුගේ අවසරය ගැනීමට එහි යා යුතුව තිබිණි.
මට උවමනා වූයේ මගේ නෑයින් හා හිත මිත්‍රාදීන් ඉදිරිපිට ජිනීවාහි දී විවාහය සිදුකිරීමටය. ඇත්තෙන්ම බින් ලාඩන් වරුන්ට එහි පැමිණීමට අවශ්‍ය සෑම පහසුකමක්ම තිබිණි. එහෙත්, රජුගේ අවසරයද රැගෙන ආපසු පැමිණි යෙස්ලාම් කීවේ අප ජිද්දා හි පිහිටි ඔහුගේ පවුලේ නිවසේදී විවාහ වීම ඔහුගේ උවමනාව බවයි. විදේශිකයකු වූ මා සමඟ විවාහ වීමට රජතුමා ඔහුට අවසර ලබාදී තිබෙන බව එවිට සියල්ලන් ඉදිරියේ ඔප්පු වනු ඇතැයි ඔහු කීවේය. අප විදේශයකදී විවාහ වුවහොත් මිනිසුන් මට එතරම් ගෞරව නොකරනු ඇතැයි ඔහු කීය. යළිත්, ගෞරවය දිනාගැනීමේ ඒ අමුතු අවශ්‍යතාවය පැනනැඟී තිබුණු අතර, මා හට එය දිනාගැනීමට සිදුවී තිබුණේ සම්පූර්ණයෙන්ම පාහේ අමුතු වැඩවසම් චාරිත්‍ර වාරිත්‍ර පිළිපැදීමෙනි. රජුගේ නිල අවසරය නිසා ගෞරව ලැබීමට මට ඇති සුදුසුකම වැඩිවන්නේ යැයි කීම මා පුදුමයට පත් කළේය. එය තර්ජනාත්මක නොව විහිළු සහගත වූයේය.
පරිවර්තනය – මොහාන් ධර්මරත්න
පසුගිය කොටස්
“සවුදි අරාබියද මා කුඩා කල දුටු ඉරානය බඳු වියහැකි මා මාවම රවටාගෙන තිබුණේය” (වට තිර ලූ රාජ්‍යය – 05)
“යෙස්ලාම් මගේ ජීවිතය සදහටම වෙනස් කරන්නට යන බවක් මට කිසිසේත්ම දැනුණේ නෑ” – (වට තිර ලූ රාජ්‍යය – 04)
“කාමන්, ඔයා හරිම විශේෂ කෙනෙක්. ඒක කවදාවත් අමතක කරන්න එපා.“ (වට තිර ලූ රාජ්‍යය – 03)
“සැප්තැම්බර් එකොළහ උදාවූයේ ලස්සන ඉන්දියානු ගිම්හානයේ දිනයක් ලෙසිනි” (වට තිර ලූ රාජ්ජය – 01)