මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ කාමන් බින් ලාඩන්(Carmen Bin Ladin) ගේ The Veiled Kingdom කෘතිය ‘වට තිර ලූ රාජ්ජය’ ලෙස සෑම සදුදා සහ බ්‍රහස්පතින්දා දිනකම කොටස් වශයෙන් පළවේ. අද පළවන්නේ එහි 3 වන කොටසයි.
සැඟවුණු උද්‍යානය
මට මගේ සැමියා යෙස්ලාම්ව මුණගැසුණු අවුරුද්දේ, සියලු කරදරවලින් නිදහස් වූවාක් බඳු හැඟීම්වලින් වායුගෝලය පිරී තිබිණි. ඒ 1973 අවුරුද්ද වූ අතර, තරුණ පිරිස ලොව පාලනය කරමින් සිටියහ. පාසලෙන් පිටවී අවුරුදු දෙකක් පමණ ගත කර සිටි මා හොඳින් වියපැහැදම් කරන සමාජශීලී චරිතයක් වූ නමුත්, ඒ ගිම්හානයේ මා තරමක් මානසිකව අතරමං වී සිටියේ මගේ ජීවිතය මා රැගෙන යා යුත්තේ කුමන දිශාවකටදැයි තීරණය කරගැනීමට උත්සාහ කරමිනි. මට අවශ්‍ය වී තිබුණේ නීතිය හදාරා රැකවරණයක් නොමැතිව සිටියවුන්ට එමඟින් පිහිටක් වීමටය. සංචාරය කිරීමටත්, ත්‍රාසජනක අත්දැකීම් ලැබීමටත් මා කැමැති වූයෙමි. මගේ ජීවිතයට කිසියම් අර්ථයක් ලබා දීමටද මට උවමනා විය. එහෙත් පර්සියාවේ උසස් පෙළපතක කාන්තාවක් වූ මගේ අම්මාට අවශ්‍ය වූයේ මා කිසිදු උපද්‍රවයකින් තොරව විවාහ වනු දැකීමටය.
ජිනීවා නගරයෙන් පිටත පිහිටි මගේ අම්මාගේ නිවසේ නංගිලා තිදෙනාත් මමත් නිතරම පාහේ කාගේ හෝ කාමරයකට එක්වී බීට්ල්ස් සංගීත කණ්ඩායමේ ගී තැටිවලට සවන් දීමටත්, අපේ අනාගතය ගැන කතාබහ කිරීමටත් පුරුදුව සිටියෙමු. මා වැඩිමහල්ලා වූ නිසාවෙන් වඩා වැඩියෙන් කතා කළේ මාය. අපේ අම්මා නම් කැමැති විය හැකිව තිබූ නමුත්, මා කෙදිනක හෝ මැදපෙරදිග තැනැත්තකු සමඟ විවාහ නොවන්නෙමැයි ඒ දිනවල අවධාරණයෙන් කියා සිටියෙමි. ඉරානයේ මගේ ලොකුඅම්මාගේ නිවස අසල පිහිටි ඇමරිකානු සමාජ ශාලාවේ මා කුඩා දැරියක කාලයේ දුටු ඇමරිකානුවන්ගේ නිදහස් දිවි පෙවෙතට මා ආකර්ශනය වී සිටියෙමි. ඔවුන්ගේ ජීවිත නිර්භීත, නවීන හා නිදහස් බැව් පෙනිණි. ඔවුහු ජීප් රථ පැදවූහ, ජීන්ස් ඇන්දාහ, හැම්බර්ගර් කෑහ. අනෙක් අතට, මූනිච්ඡාව හදවතේ කැමැත්තට වඩා වැදගත් යැයි සිතන සම්ප්‍රදායයන් හා රහස්වලින් දඬුකඳේ ගසනු ලැබූ මැදපෙරදිග මිනිසා ගතකළේ ගුප්ත ජීවිතයකි.
මා ලෝසෑන්වල ඉපදුනේ ස්විස් ජාතික පියකුට දාව පර්සියානු මවක කුසිනි. ෂෙයිබානිවරුන් වූ මගේ අම්මාගේ පවුල හැදිච්චකමින් පිරිපුන් රදළ පවුලක් විය. මා කුඩා කල සෑම අවුරුද්දකම පාහේ අම්මා මා කැටුව දීර්ඝ නිවාඩු ගතකරන්නට ඉරානයට යන්නීය. මම ඉරානයට ආදරය කළෙමි: ඉතා සියුම් සුවඳින් පිරි කටට සැර කෑම; ඇසට නොපෙනෙන උයන්පල්ලන් විසින් සාත්තු කරනු ලැබූ අක්කර ගණනාවක රෝසමල් යායක් සේ පෙනුණු, උස් තාප්පයකින් වටවූ අත්තම්මාගේ උද්‍යානය; මගේ අම්මා හැදී වැඩුණු සුවිසල් පැරණි නිවස සහ එහි වූ නිල් පැහැති ටයිල් ඇල්ලූ, වාෂ්පයෙන් අඳුරු වූ වාෂ්ප කුටිය; පැරණි පොත්පත් පිරුණු මහා පුස්තකාලය, ලැටිස් වැඩ දැමූ ජනේල, වර්ණයන්ගෙන් පොහොසත් බුමුතුරුණු සහ සියුම් ලෙස සෑදූ පුරාවස්තු එහි විය. වර්ණවලින් පොහොසත් වූ, නාට්‍යාකාරී වූ ඉරානය විශේෂ රටක් යැයි මට සිතුනි. එහි ගතකළ මාස ගණන් වලට මම ආශා කළෙමි. අත්තම්මා මට සැලකුවේ පුංචි රජකුමරියකට මෙනි. මා ඈට බෙහෙවින් ආදරය කළ අතර, ඈද මට එසේම ආදරය කළ බව මම දැන සිටියෙමි.
මගේ වයස අවුරුදු හතක් හෝ අටක් වෙද්දී මගේ අම්මා අත්තම්මාගේ නිවසේ ප්‍රිය සාදයක් ලැහැස්ති කළාය. කුඩා කල පටන් ඈ සමඟ හැදී වැඩුණු ප්‍රසිද්ධ ලේඛකයින් හා පැරණි පවුල්වල උගත් සාමාජිකයින්ගෙන් එහි කාමර පිරී ගිය අතර, ඔවුන් හැමදෙනාම මගේ අත්තම්මා මෙන් අලුත පොහොසත් වූ ෂා රජු කෙරෙහි හටගත් රදළවාදී කෝපයෙන් පසුවූහ. ඔවුන්ගේ සාකච්ඡාව මගේ මට්ටමට වඩා බොහෝ ඉහළින් සිදුවූ නමුත්, වාතාවරණය ඉතාමත් ප්‍රබෝධජනක විය. නිදාගන්නට යාමට කාලය පැමිණි විට මා උඩුමහලේ පිහිටි මගේ නිදන කාමරයට යාම එකහෙළාම ප්‍රතික්ෂේප කළෙමි.
“තාත්තා එනවා,“ යැයි මා තරයේම කියා සිටියේ, ඔහු ස්විට්සර්ලන්තයේ කාර්ය බහුලව සිටින බව අම්මා පුන පුනා කියද්දීය. එදා රාත්‍රියේ මම අම්මාගේ ඉවසීම කීතු කීතු කොට ඉරා දැමුවෙමි. ඊළඟට මා මගේ අදහස අත්හැර නිදන්නට යාමට තීරණය කරන්නට මොහොතකට පෙර ආදරණීය තාත්තා දොරෙන් ඇතුළු වූයේය. ඔහු දුරකථන ඇමතුමක් දී තිබුණේ නැති අතර, හදිසියේම ඇතිවූ සිතිවිල්ලක් මත ගුවන්යානයක නැඟී පැමිණ සිටියේය. මා ඉන් ලැබූ සතුට නිම් හිම් නොවූ අතර, ජයග්‍රහණයෙන් කුරිරු සතුටක් ලැබුවෙමි.
තාත්තාගේ පැමිණීම ගැන මා කලින් දැන සිටීමට කිසිදු ඉඩක් නැති බව තේරුම්ගත් අත්තම්මා බිමට නැමී දෑත් දිගුකොට මා අල්ලාගෙන මගේ දෑස් දෙස කෙළින් බැලුවාය. “කාමන්,“ ඈ කීවාය, “ඔයා හරිම විශේෂ කෙනෙක්. ඒක කවදාවත් අමතක කරන්න එපා.“ එදා රාත්‍රියේ මට දැනුණු හැඟීම් හැම ළමයකුටම දැනිය යුතු යැයි මම සිතමි.
අත්තම්මාට පිහිනුම් තටාකයක් තිබුණු අතර, මගේ කඩවසම් ලස්සන තාත්තා උඩ තට්ටුවේ සිට කෙළින්ම ඊට පැනීමට පුරුදු වී සිටියේ අප ත්‍රාසයෙන් හා ප්‍රීතියෙන් කෑගසද්දීය. දිනක් යන්තම් ඇවිදින වයසේ හුන් මගේ බාල නැඟනිය බියට්‍රිස් තටාකයට වැටුණු අතර, ඉනට හිරවූ අලංකාර රෝස පැහැති පුළුල් සේද ඇඳුමකින් සැරසී සිටි අම්මා ඈ බේරාගැනීමට තටාකයට පැන්නාය. ඇගේ සාය පැරචූටයක් මෙන් පිම්බුනි. සම්පූර්ණ ඇඳුමින් සැරසී දියබත් වී සිටියද ඉතාමත් ලස්සනට පෙනුණු අම්මා බියට්‍රිස් දෑතට ගෙන තටාකයෙන් මතුවුණ හැටි මට අද පවා මැවී පෙනෙයි.
මම කුහුලින් පිරි ළමයකු වූ අතර, වැඩිහිටියන් සාකච්ඡා කළ කරුණු කෙතරම් දුරවබෝධ වුවද බොහෝ ළමුන්ට මෙන් ඒවායේ වැදගත්බව පිළිබඳ ඉවක් මටද තිබිණි. දේශපාලන සාකච්ඡාවලට ඇහුම්කන් දී සිටීමට මම ආශා කළෙමි. මතක ඇති කාලයක පටන් මා කර තිබුණේ ජීවිතය පුරාම මා වටා සිදුවූ දේ, ඒවා මට කෙතරම් දුරස්ථව තිබුණේ වුවද, විශ්ලේෂණයට භාජනය කිරීමය.
මට වයස අවුරුදු හතක් පමණ වූ විට, ෂා රජුගේ ‘සවාක්‘ නැමැති භයානක රහස් පොලීසිය විසින් අම්මාගේ මස්සිනා කෙනෙකු වූ අබ්බාස් අත්අඩංගුවට ගෙන වධ බන්ධනයට ලක් කිරීම නිසා, අත්තම්මාගේ නිවස බියකරු කලබලකාරීත්වයක ගිලී ගියේය. ඔවුන් කීවේ ඔහු ‘කොමියුනිස්ට්වාදී තුදේ‘ පක්ෂයේ සාමාජිකයකු බවයි. ඒ ගිම්හානයේ ගුවන්විදුලි යන්ත්‍රයෙන් ඇසුනු ප්‍රධානම ගීතය වූයේ ‘මැරබීබස්‘ ය. ඉන් කියැවුණේ මරණයට නියම වූ මිනිසෙක් අවසන් වරට තමාට හාදුවක් දෙන ලෙස සිය දියණියගෙන් කරන ඉල්ලීමකි. මම බොහෝ දුකින් ඒ ගීතය නැවත නැවතත් වාදනය කිරීමට පුරුදු වී සිටියෙමි. ඒ මිනිසාට මැරෙන්නට සිදුවූයේ කුමක් නිසාදැයි දැනගැනීමට මට උවමනා වී තිබුණු අතර, අම්මාගේ මස්සිනාටද මියයන්නට සිදුවේදැයි මම කල්පනා කළෙමි. ඔහු කළ වරද කුමක්ද? මට මතක හැටියට, යම්කිසිවකුට තම විශ්වාසයන් නිසා ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා සිදුවිය හැකි බව මා තේරුම් ගත් පළමු වතාව එයයි.
ඉරානය මගේ සැඟවුණු උද්‍යානය වූයේය. ලෝසෑන් නගරයෙන් පිටත පිහිටි අපේ ප්‍රාදේශීය පාසලේ මා සමඟ සිටි අනෙක් කුඩා ස්විස් කෙල්ලන්ට වඩා මා වෙනස් එකියක් බවට පත් කළේ එයයි. එහෙත් මට අවුරුදු නවයක් වෙද්දී මගේ අම්මා හදිසියේම ඉරානයත් සමඟ වූ සියලු සබඳතා අත්හැරියාය. මගේ තාත්තා ඈ අතහැර ගොස් තිබිණි. එහෙත් ඈ එය පිළිගැනීමට කැමැති නොවූවාය. ඈ සිය විවාහය දෙදරා ගිය බව පිළිගත්තේ නම් ඇගේ නෑයින්ට මුහුණ දීමට ඈට බැරිවන්නේය. එබැවින්, ඇත්ත කියනවාට වඩා කිට්ටු නෑයින්ගෙන් දුරස් වන්නට ඈ කටයුතු කළාය.
මගේ අම්මා තාත්තාගෙන් වෙන් වන්නට යන බව සෑහෙන කාලයක් ගතවන තුරු ඇගේ දූවරුන් හතරදෙනා වන අපටවත් නොකීවාය. ඈ අපට කීවේ ඔහු ව්‍යාපාර කටයුතු සඳහා දුරබැහැරක ගොස් ඇති බවකි. එහෙත් මගේ ඉව අනෙකක් කීවේය. ඈ යමකට එකඟ නොවූයේ නම් එය මඟහැර ගියාය, ප්‍රතික්ෂේප කළාය, එසේත් නැතහොත් එය තද කර සඟවාගෙන සිටියාය. මගේ අම්මා ජීවත් වූයේ එවැනි ක්‍රමයකට බව මා දැන උන්නෙමි. ඔබ යම්කිසිවක් ගැන කතා නොකරන තාක් කල් එවැනි කිසිවක් නැත. සියල්ලටම වඩා වැදගත් වූයේ අනුන්ට මුහුණදීමේ හැකියාව රැකගැනීමය.
තාත්තා යන්න ගිය පසු මගේ අම්මා දරුවන් බලාකියාගන්නා සේවිකාවකගේ උදව්වෙන් අප හදාවඩා ගත්තාය. අවුරුදු ගණනාවක් ගතවන තුරු මට කිසි ලෙසකින්වත් තාත්තා හමු නොවූ අතර, ඒ මන්දැයි කිසිවකු මට තේරුම් කර නුදුන්නේය. ප්‍රශ්න නොකිරීමට මම උගත්තෙමි. මගේ අම්මාගේ දැඩි නීති රීති සහිත ජීවිතය හැඩගැස්වූ ඉරානයත්, මා ඉගෙනගත් ප්‍රාදේශීය ස්විස් පාසලත් අතර වූ සංස්කෘති දෙකට මැදිව මා ජීවත්විය යුතු වූ බව මුල සිටම මා තේරුම් ගෙන සිටියෙමි. ගෙදර වූකලී සෑම වැදගත් දෙයක්ම කථා නොකරන ලද අමුතු, නිශ්ශබ්ද පියසක් වූයේය.
මගේ අම්මාගේ තාත්තා ඉස්ලාමිකයකු වූ හෙයින් ඈද උපතින් ඉස්ලාමික වූ බව මම දැන උන්නෙමි. ඉස්ලාමයේදී ඔබ හුරු වන්නේ ඔබේ පියාගේ විශ්වාසයන් පිළිගැනීමටය. එහෙත් මගේ අම්මා ඉස්ලාමය බොහෝ තුනීවට ඇඳගෙන සිටි අතර, එය සාමාන්‍ය ස්වරූපයෙන් පිළිපැදීමෙහි නිරත නොවූවාය. ඈ යාඥා කරනු මා දැක ඇත්තේ අතේ ඇඟිලි ගණනට සමාන වාර ගණනකි. ඒ ද සාම්ප්‍රදායානුකූලව මක්කම දෙසට හැරී දණගසා හිස නමාගෙන නමස්කාර කරමින් නොවේ. ඈට යාඥා කිරීමට අවශ්‍ය වූයේ නම් මුස්ලිම් පල්ලියකට ඇතුළුවන තරම්ම පහසුවෙන් ඈ ක්‍රිස්තියානි පල්ලියකට වුව ඇතුළු වූවාය. රාමදාන් මාසයේ උපවාස නොකළ ඈ, හිස වසා සළුවක් නොපැළඳුවාය. බැටළුවන් මරා දුප්පතුන් අතර මාංශ බෙදා දුන් ඇතැම් දිනවල ඉඳහිට මගේ අත්තම්මා තිර රෙද්දෙන් මුහුණ ආවරණය කරගෙන සිටිනු මා දැක තිබිණි. මැදපෙරදිගින් එන්නෝ මුස්ලිමුන් වීම සාමාන්‍ය දෙයකි. එහෙත් එය අපේ අම්මා හෝ අප මත දැඩි නීති රීතිවලින් හික්මවන ලද ජීවන ක්‍රමයක් පැටවීමට සමත් නොවීය.
සාමාන්‍ය ස්විස් කෙල්ලන්ට හිමි ජීවන රටාව අප කෙරෙහි සීමා වීමට හේතු වූයේ ශිෂ්ටත්වය පිළිබඳව අපේ අම්මා තුළ තිබූ හැඟීම් නිසාවෙනි. රළු ක්‍රීඩා, අවුල් වූ ඇඳුම්, රාත්‍රී ප්‍රිය සාද හෝ පිරිමි ළමුන් සමඟ ඇවිදීම ආදියට අපට අවසර නොවූ නමුදු, නවයෞවනයින් හැමදෙනෙකුම මෙන් අපද ඒ සීමාකාරී නීතිවලින් රිංගා යාමට ඉගෙන ගතිමු. අප සුරඟනන් නොවීමු. ඈ අප දොරගුළු ලා වසා නොතැබුවාය. අප අපගේ අධ්‍යාපන කටයුතු නොනවත්වා කරගෙන යාම ඈ වැදගත්කොට සැලකුවද, අප වෙනුවෙන් ඈ බලාපොරොත්තු වූ අවසන් ජයග්‍රහණය වූයේ විවාහයයි. එමෙන්ම ඈ අපේ ජීවිතවල හැම පුංචි දෙයක්ම විය යුතු ආකාරය තීරණය කිරීමට උත්සාහ කළාය. මා වයසින් මුහුකුරා ගොස් විරෝධය දක්වන තාක් කල් අම්මා කළේ කොණ්ඩය ගැටගසන රිබන් පටියේ සිටම අපට එකම විදියේ ඇඳුම් පැළඳුම් ඇන්දවීමය. “ඔයගොල්ලෝ ගොඩක් අලංකාරෙට ඉඳීවි, ඒත් පොඩි හරි පැල්ලමක් තිබුණොත් හැමදේම අපතේ යනවා.“ යි ඈ කියන්නීය. ශෝභනත්වය අම්මාට සියල්ලටම වඩා වැදගත් විය.
පරිවර්තනය – මොහාන් ධර්මරත්න
පසුගිය කොටස්
“සැප්තැම්බර් එකොළහ උදාවූයේ ලස්සන ඉන්දියානු ගිම්හානයේ දිනයක් ලෙසිනි” (වට තිර ලූ රාජ්ජය – 01)