මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ කාමන් බින් ලාඩන්(Carmen Bin Ladin) ගේ The Veiled Kingdom කෘතිය ‘වට තිර ලූ රාජ්ජය’ ලෙස සෑම සදුදා සහ බ්‍රහස්පතින්දා දිනකම කොටස් වශයෙන් පළවේ. අද පළවන්නේ එහි 17 වන කොටසයි.
මගේ ගර්භණීභාවයේ අවසන් සති කිහිපය තුළ අම්මාත් නංගිලාත් මා බලාකියා ගත්හ. මා වසන්තයේ මුදු හිරු එළියේ සැතපී ඉඳිමින්, වසර ගණනාවකට ඉහත මා කළ ලෙසම වෆා මගේ අම්මාගේ ගෙවත්තේ සෙල්ලම් කරනු බලා සිටියෙමි. මගේ අම්මාගේ ගෙවත්තේ වෆාට සුවපහසුවක් දැනුණු බව මට කිව හැකිය. යෙස්ලාම් නිතරම අප බලන්නට පැමිණියේය. මෘදු ලෙස ගෙවීගිය කාලයක් වූ එය, ඉන් පසුව පැමිණි අමාරු කාලපරිච්ඡේදයේදී මා නිරන්තරයෙන් මතකයට නඟාගන්නට උත්සාහ කළ වකවානුවක් වූයේය.
කොලුපැටියකු පිලිබඳ මහත් වූ බලාපොරොත්තුව ගර්භණීභාවයේ අවසන් සති කිහිපය තුළ මගේ හිතට ආ හැඟීමක් පමණක්ම නොවීය. පිරිමි උරුමක්කාරයින් බිහිකිරීම සවුදි ගැහැනුන්ට අත්‍යවශ්‍ය දෙයකි. ඔවුන්ට එය නිකම්ම නිකම් සමාජ තත්වය පිළිබඳ ප්‍රශ්නයක් නොව (ඇතැම් ගැහැනුන්ට එයද ප්‍රශ්නයේ එක් කොටසකි – නිකම්ම ඕම් සාරා යැයි අමතනු ලබනවාට වඩා ඕම් අලි යනුවෙන් අමතනු ලැබීමෙහි වැඩි වටිනාකමක් ඇති බවක් පෙනිණි) සාමාන්‍ය දිවි පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් විය හැකිය.
“ දරු උපතට, ඔයාට ටිකක් ඉන්න බැරිද මං එනකල්”
ස්වාමිපුරුෂයකුගේ මරණයේදී, ඔහුගේ බිරිඳට සිටිනුයේ දූවරුන් පමණක් නම් වැඩිහිටි වයසට පත්ව සිටියේ වුවද ඔවුන්ගේ භාරකාරත්වය ස්වාමිපුරුෂයාගේ ළඟම පිරිමි ඥාතියා යටතට පත් වන්නේය. ඔහු ඔවුන්ගේ ආරක්ෂකයා වන අතර, ගමන් බිමන්, අධ්‍යාපනය, නැතහොත් සැමියකු තෝරාගැනීම වැනි ඉතාමත් මූලික කරුණුවලදී පවා ඔහුගේ අනුමැතිය ලබාගැනීම අවශ්‍යය. දේපල අයිතිය පැවරීමේදී ගැහැනු පමණක් සිටින පවුලට වෙනස්කම් කරනු ලැබේ. ස්වාමියා මියයන විට ඔහුට සිටින්නේ ගැහැනු දරුවන් පමණක් නම් එවිට ඔහුගේ දේපලවලින් සියයට පනහක් ඔහුගේ දෙමව්පියන්ට හා සහෝදරාදීන්ට අයත් වනු ඇත. සම්පූර්ණ වත්කම් ඔහුගේ දරුවන්ට හා බිරිඳට අයත් වන්නේ බිරිඳට පුතුන් සිටියේනම් පමණකි. එමෙන්ම වැඩිමහල් පුත්‍රයා වැඩිහිටි වියට පත්වූ පසු සිය මවගේ සහ සොහොයුරියන්ගේ ආරක්ෂකයා බවට පත්වේ. අල්ලාගේ පිහිටෙන් මට කොලුපැටියකු අවශ්‍යය.
කාලසටහනට වඩා කලින් මගේ දරු උපතට ආරම්භක ලකුණු පහළවිය. ප්‍රසූතිය සඳහා රෝහල වෙත යන්නට පෙර මා තවමත් සවුදි අරාබියේ සිටි යෙස්ලාම්ට දුරකථනයෙන් කථා කළෙමි. “ඔයාට ටිකක් ඉන්න බැරිද, හෙට මගේ ප්ලේන් එක එනකං?” ඔහු ඇසුවේ තරමක නොරිස්සුම් ස්වරයෙනි. මම ඔහුට සිනාසුණෙමි – ඔහු පුරුදු වී සිටියේ හැම දෙයක්ම තමාට උවමනා විදියට කරගැනීමටය. සිය කාලසටහනට ගැලපෙන ලෙස මට දරු උපතක් කල්දැමිය හැකි යැයි ඔහු සිතුවාද?
දරුවා ලස්සන කෙලිපැටික්කියක වූවාය. හැම අතින්ම පරිපූර්ණ වූ ඈට මම දුටුමතින්ම ආදරය කළෙමි. මා ඉතා කැමැති වූ ‘නජියා’ යන නම අපි ඈට දුන්නෙමු. ‘ආරක්ෂිත’ යන තේරුම ඇති යෙස්ලාම් යන්නට සමාන තේරුමක් නජියා යන නමටද තිබුණේය. නජියා එකම සන්තෝෂයක් වූවාය. ඈ අම්මා කෙනෙකුට බලාපොරොත්තු විය හැකි පහසුම විදියේ දරුවෙකි. ඈ මගේ ජීවිතයට බොහෝ දේ එකතු කළාය. ඈ ඉතා ආදරණීයය, හඬනසුලුය. ඈ වෙනුවෙන් සවුදි අරාබියේ කුමක් සූදානමින් තිබෙන්නේදැයි මා දැන හුන් බැවින් ඈ කොලුපැටියකු වූවානම් හොඳයැයි පැතුවෙමි, ඒ ඈ වෙනුවෙන්මය.
යෙස්ලාම් යුරෝපීය මිනිසකු වූයේ නම් ගැහැනු දරුවන් දෙදෙනෙකු සිටීම ඔහුට මෙතරම් ප්‍රශ්නයක් වනු ඇත්දැයි මම කල්පනා කළෙමි. මගේ කැළඹීම ඉවෙන් දැනගත් යෙස්ලාම් මා අස්වැසීමට උත්සාහ කළේය. එය ප්‍රශ්නයක් නොවේයැයි ඔහු අවධාරණයෙන් කී නමුදු, එසේ නොවන බව මගේ හිත කීවේය. එමෙන්ම, මා ඔහුගේ බලාපොරොත්තු කඩකළ බවක් මට දැනුණේය.
මට පුතකු සිටියේ නම්, ගැහැනුද පිරිමින් හා සම මට්ටමේ සිටින්නේ යැයි සලකන්නට හැකිවන පරිදි මා ඔහු හදාවඩා ගන්නෙමි. යෙස්ලාම්ට කිසියම් ආපදාවක් සිදුවුවහොත් ඔහු සිය සොහොයුරියන්ට රැකවරණය දෙනු ඇත. පිරිමි දරුවකු සිටියේ වී නම්, යෙස්ලාම්ගේ උදව් නොමැති වුවද, ඔහු මා අගය කරන වටිනාකම්වලින් සමන්විත ලෙන්ගතු ආරක්ෂකයකු වනු ඇත.
මට ඒ අවධියේදී නොතේරුණ මුත්, අවුරුදු ගණනාවකට පසුව සත්තකින්ම අප හැම ගලවාගත්තේ නජියා විසින් යැයි එක්තරා ආකාරයකින් කිව හැකිය. මට පිරිමි දරුවකු සිටියේ නම් සවුදි ජීවන ක්‍රමයත් සමඟ අනුගත වීම වඩාත් පහසු වන්නට ඉඩ තිබිණි. අප එහි ධනවතුන් හා ගරු සත්කාර ලැබූවන් වූ බැවින් ජීවිතය සුවපහසු වූයේය. එහෙත් මා කුඩා ගැහැනු දරුවන් දෙදෙනෙකු හදාවඩා ගත යුතුව තිබූ බැවින්, ඔවුන් වැඩිහිටියන් බවට පත් වෙද්දී සවුදි ගැහැනු ළමුන්ට මුහුණ දීමට සිදුවන දුක්ඛදායක මෙන්ම පීඩාකාරී වූ අනුගතකරවීමේ වැඩපිළිවෙලට ඔවුන්ද යටත්වන විට, මාද ඊට ක්‍රම ක්‍රමයෙන් සංවේදී වීම සිදුවනු ඇත්තේය. මගේ රැකවරණය යටතේ ජීවත්වන කුඩා නජියා සහ වෆා විසින්, ඔවුන් ඒ සංස්කෘතියෙන් බේරා ගන්නට මා තුළ පෙළඹවීමක් ඇතිකරනු ලැබූහ. මගේ රත්තරන් දරුවන් සවුදි චාරිත්‍රවල ගොදුරු බවට පත්වනු බලා සිටින්නට මට බැරි විය. නජියා දෙව්ලොවින් එවුවාක් බඳුය. ඈ සතුට ගෙන දුන්නා පමණක් නොව, අවසානයේදී අප හැමට සවුදි අරාබියෙන් ගැලවීයාමට අවශ්‍ය වූ ශක්තියද ඈ මා වෙත ලබා දුන්නාය.
(9 වැනි පරිච්ඡේදය)
මව්වරු දෙදෙනෙක්, දරුවන් දෙදෙනෙක්
ඒ අගෝස්තුවේ අපි නැවත සවුදි අරාබිය බලා පැමිණියෙමු. ඒ කාලය අතිශයින්ම උණුසුම් වූ අතර, බින් ලාඩන් සොහොයුරන් කිහිපදෙනෙක් ජිද්දා සිට පැය දෙකක පමණ ගමනකින් ළඟාවිය හැකි කඳුකර පෙදෙසක් වූ තායිෆ් හි පිහිටි විශාල ගැමි නිවෙස වෙත එක්දින චාරිකාවක් සූදානම් කළහ. 1950 හෝ 60 ගණන්වල ඉදිකරන ලද විශේෂ අලංකාරයකින් තොර සුවිසල් ගෘහයක් වූ එය වඩාත් සිසිල් ස්ථානයක් වූවා මෙන්ම සාමාන්‍ය දෛනික කටයුතුවලින් මිදෙන්නට හොඳ අවස්ථාවක්ද විය. ගැහැනුන් වූ අප, දරුවන්ද සමඟ ගැහැනුන්ට වෙන්වූ කලාපය තුළ පැළපදියම් වූයෙමු.
මගේ කුඩා නජියාගේ වයස මාස කිහිපයක් වූ අතර, ඔසාමාගේ බිරිඳ නජ්වාට එම වයසේම පමණ අබ්දුල්ලා නමින් පුතකු සිටියේය. අබ්දුල්ලා බෑඟිරි ගහන්නට පටන්ගත් අතර, එය ඒක දිගට පැය ගණනක් අල්ලා සිටියේය. පිපාසයෙන් සිටි ඔහුට නජ්වා තේහැන්දකින් වතුර පොවන්නට උත්සාහයක යෙදුනත් ඍහු හැන්දකින් වතුර බොන්නට තරම් කුඩා වැඩි බව පෙනී ගියේය. කුඩා දරුවන් සඳහා වූ බෝතලයකින් නජියා නොකඩවා හොඳින් වතුර බිවූ බැවින් මම එය නජ්වාට දුන්නෙමි.
“මේක ගන්න. එයාට තිබහයි,” මා ඈට කී නමුත් නජ්වා බෝතලය නොගත්තාය. ඈද සිටියේ හඬන්නට ඔන්න මෙන්න කියාය. “එයාට වතුර එපාවෙලා,” ඈ කියන්නට වූවාය. “එයාට හැන්දෙන් බොන්න බෑ.” දරුවාට බෝතලයකින් දියර පෙවීමට ඔසාමා අකැමැති බව මට පැහැදිළි කරන්නට ඕම් යෙස්ලාම්ට සිදුවිය. ඒ වෙනුවෙන් නජ්වාට කළහැකි කිසිවක් නොවීය. කිසිදු ඔපයක් නැති කෙසඟ තරුණියක වූ ඈ බොහෝ දුකින්, වැළමිටින් නැමූ දෑත් තුළ සිය දරුවා හොවාගනිමින් පැහැදිළි අපහසුතාවකින් දුක්විඳින ඔහු දෙස බල රහිතව බලා උන්නාය. මට එය බලා සිටියහැක්කක් නොවිණි.
දඬුවමක් බඳු වූ පිටත උෂ්ණත්වය ඇතැම් විට අංශක සියයක් පමණ වන්නට ඇත. එවැනි උශ්ණත්වයක් යටතේ බිළිඳකු පැය කිහිපයක් තුළ විජලනය වීමට හැකිය. රබර් සූප්පුවක් කෙරෙහි පවතින මෝඩ, ආධානග්‍රාහී මතයක එල්බ සිටින්නකු සිය කුඩා බිළිඳාට එසේ වධ විඳින්නට සලස්වා බලා සිටීම මට විශ්වාස කරන්නට පවා අපහසු වූයේය. එය සිදුවන්නට ඉඩදී එතැන බලා හිඳින්නට මට පුලුවන්කමක් නොවිණි. සහතිකවම යෙස්ලාම්ට යම්කිසිවක් කළ හැකි වනු ඇත. ඊට මැදිහත්වන ලෙස ඉල්ලා සිටීම සඳහා නිවසේ පිරිමින්ගේ කොටස වෙත මට යන්නට නොහැකි මුත් සොහොයුරියකට එය කළ හැකිය. යෙස්ලාම්ට එන්න කියන්නැයි මම එක් සොහොයුරියකට පිංසෙන්ඩු වුණෙමි.
“ඔසාමා වැනි පුද්ගලයකු යම් දවසක මාත් මගේ දරුවනුත් පාලනය කරයි ද?”
යෙස්ලාම් පැමිණි විට මම ඔහුට දෝෂාරෝපණය කළෙමි. “ඔයාගෙ මල්ලිට කියන්න එයාගෙ ළමය දුක්විඳිනව කියල,” යැයි මම කීවෙමි. “දරුවට බෝතලයක් ඕන. මේකෙ ඉවරයක් තියෙන්න ඕන.” එහෙත් යෙස්ලාම් හිස වනමින් ආපසු ආවේය. “තේරුමක් නෑ. මේ තමයි ඔසාමාගෙ හැටි.” මට එය කෙසේවත් විශ්වාස කළහැක්කක් නොවීය. ආපසු ජිද්දා වෙත යනතුරුම එය මා තුළ හොල්මන් කළේය. ඔසාමාට සිය බිරිඳ සහ දරුවා සම්බන්ධයෙන් ඔහුගේ සිතැඟි පරිදි කටයුතු කළ හැකි අතර, එය සම්මතයකි. ඔහුගේ බිරිඳ ඔහුට අකීකරු වීම පිළිබඳව සිතන්නේ පවා නැත; එයද සම්මතයකි. භයානකම දෙය වන්නේ එවැන්නකට මැදිහත් වීමට පවා කිසිවකු නිර්භීත නොවීමය. ඔසාමා සතුව සිය පවුල කෙරෙහි පවතින බලාධිකාරය ගැන යෙස්ලාම් එකඟ වන්නා සේ පෙනිණි. මා ඊට ඉහත යෙස්ලාම් තුළ දුටු, එමෙන්ම මා ගරු කළ දෙයක් වූ ඔහු තුළ තිබුණු ඒ බලය සහ ආඥාව ගිනිගත් අරාබි සුළඟේ දියවී යන්නා සේ පෙනිණි.
යෙස්ලාම් කඳුකරයේ සිට පහළට මෝටර් රිය පදවාගෙන එන අතර මා නිහඬව, මුහුණු ආවරණය පැළඳගෙන, දෑත් මිට මොළවාගෙන, පිටත පෙනෙන හිස් ලෝකය දෙස බලා සිටියෙමි. හුස්ම හිරවී ඇති සෙයක් මට දැනුණේය. ඔසාමාට ඔහුගේ බිළිඳා මරාගැනීමට අවශ්‍ය නොවූ බව මට සහතිකය. ඔහු සිය බිළිඳු දරුවා නොසලකාහැරිය බවක්ද ඉන් අදහස් නොවේ. එහෙත් බිළිඳාගේ වේදනාවට වඩා වැදගත් වන්නේ හත්වැනි ශතවර්ෂයේ ලියන ලද කුරාණයෙහි එන පාඨයකින් පැනනඟින්නේ යැයි ඔහු සිතා සිටින එක්තරා මූලධර්මයකි. ඔසාමාගේ අධික ආගම් ලැදිබව නිසා ඔහු කෙරෙහි බියමුසු ගෞරවයක් ඇතිකරගත් පවුලේ සාමාජිකයෝ නිහඬ වූහ. බොහොමයක් සවුදීන් මෙන්ම ඔවුන්ද විශ්වාස කළේ ආගමික විශ්වාසයන්ට ඉහළින් යා නොහැකි බවය.
මා කෙතරම් බලරහිත අඩියකට වැටී සිටින්නෙම්දැයි මා හට අවබෝධ වූයේ ඒ මොහොතේදිය. යෙස්ලාම් ජීවතුන් අතර නැති වූ විටෙක, ඔහුගේ තැන ගන්නට මට පුත්‍රයකුද නොසිටියහොත් මගේත්, මා දියණියන්ගේත් ආරක්ෂකයා වනු ඇත්තේ යෙස්ලාම්ගේ සහෝදරයෙකි. සෑම කරුණකදීම මා හට ඒ පුද්ගලයා මත යැපෙන්නට සිදුවෙයි. ඔසාමා වැනි පුද්ගලයකු යම්කිසි දිනෙක මාත් මගේ දරුවනුත් පාලනය කරනු ඇත. එය වැලැක්වීමට මට කළහැකි කිසිවක් නොතිබෙනු ඇත.
නැවත නගරයට පැමිණෙනතුරු මුලු ගමන පුරාම මා සිතමින් ආවේ සිය දරුවන්ගෙන් වෙන්ව විසීමට බලකෙරුණු මව්වරුන් පිළිබඳවය. තම ජීවිත පාලනය කළ නොහැකි වූ, කිසිදු සරණක් නොමැති එබඳු ගැහැනුන්ගේ දීර්ඝ දුක්මුසු ලැයිස්තුවක් මම දන්නෙමි. යෙස්ලාම්ගේ නැඟනියක වූ තායිබා එබඳු එක් දුක්ඛිත ගැහැනියකි. ඇගේ සැමියා ඈ දික්කසාද කොට, මා මුල්වරට දකින විට සිව් හැවිරිදි හා හත් හැවිරිදිව සිටි ඔවුන්ගේ කුඩා දියණියන් දෙදෙනා තමා වෙත රඳවාගෙන සිටියේය. තායිබාට ඔවුන් දැකීමට අවසර තිබුණේ සිකුරාදා දිනවල සන්ධ්‍යාවේදී පමණි. දරුවන්ගෙන් තායිබා සමුගන්නා සෑම විටෙකම ඔවුහු ඉතාමත් අනුවේදනීය ලෙස හඬාවැටුණු බව ඕම් යෙස්ලාම් කීවාය. ඈ පැහැදිළිවම අවුරුදු 30 කට වඩා අඩු වයසැති වුවද, පෙනුමෙන් බොහෝ දුක්ඛිත, අවපැහැ ගැන්වුණු, වියපත් හා ගෙවීගිය තැනැත්තියක වූවාය.
සවුදි ජාතිකයකු හා විවාහ වී සිටි මගේ ළඟම ස්වීඩන ජාතික හිතවතියක පසුකලෙක ඔහුගෙන් දික්කසාද වන්නට තීරණය කළාය. ඈ සිය දෙහැවිරිදි පුත්‍රයා තමන් වෙත තබා ගන්නට තීරණය කර තිබූ නමුදු එක්තරා සැන්දෑවක බීරූට් හි ටේලර් සාප්පුවකදී ඈට සිය පුතුගේ අත ගිළිහීගොස් තිබිණි. මිනිත්තු කිහිපයකට පසුව ඔහු සොයාගන්නට නැති විය. ඔහුගේ සවුදි ජාතික පියා විසින් ඔහු පැහැරගෙන ගොස් තිබිණි. යළි එක් වතාවක් පමණක් ඔහුව බලන්නට ඉඩ දෙන මෙන් ඈ බැගෑපත් වුවද, යළි කිසිදු දිනෙක ඈට සිය දරුවා දකින්නට නොලැබුණේය.
පරිවර්තනය – මොහාන් ධර්මරත්න
පසුගිය කොටස්
“ස්වාමිපුරුෂයාට බිය නැති සවුදි කාන්තාවක් මට හමුවී නැති තරම්ය” (වට තිර ලූ රාජ්‍යය – 14)
බින් ලාඩන් ගැහැනියකට නිවසින් පිටත යෑම සෑම විටකම පාහේ ‘හරාම්’ සහ ‘අබේ’ විය. (වට තිර ලූ රාජ්‍යය – 12)
බින් ලාඩන් පවුලේ ගැහැනියක ගිය එකම ප්‍රසිද්ධ ස්ථානය රත්තරන් බඩු වෙළඳපොළ පමණි
වීදි තුනක් දිගට සම්පූර්ණයෙන්ම බින් ලාඩන්වරුන් පමණක් ජීවත් වූ ගම්මානයක් විය (වට තිර ලූ රාජ්‍යය – 08)
‘සවුදීන්ට විදේශිකයකු සමඟ විවාහ වීමට රජතුමාගෙන් අවසර ගත යුතුය’ (වට තිර ලූ රාජ්‍යය – 06)
“සවුදි අරාබියද මා කුඩා කල දුටු ඉරානය බඳු වියහැකි මා මාවම රවටාගෙන තිබුණේය” (වට තිර ලූ රාජ්‍යය – 05)
“යෙස්ලාම් මගේ ජීවිතය සදහටම වෙනස් කරන්නට යන බවක් මට කිසිසේත්ම දැනුණේ නෑ” – (වට තිර ලූ රාජ්‍යය – 04)
“කාමන්, ඔයා හරිම විශේෂ කෙනෙක්. ඒක කවදාවත් අමතක කරන්න එපා.“ (වට තිර ලූ රාජ්‍යය – 03)
“සැප්තැම්බර් එකොළහ උදාවූයේ ලස්සන ඉන්දියානු ගිම්හානයේ දිනයක් ලෙසිනි” (වට තිර ලූ රාජ්ජය – 01)