මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ කාමන් බින් ලාඩන්(Carmen Bin Ladin) ගේ The Veiled Kingdom කෘතිය ‘වට තිර ලූ රාජ්ජය’ ලෙස සෑම සදුදා සහ බ්‍රහස්පතින්දා දිනකම කොටස් වශයෙන් පළවේ. අද පළවන්නේ එහි 16 වන කොටසයි.
කුරාණය හෝ එය විස්තර කරමින් ලියූ වෙනත් පොතක් හැරුණුවිට ගැහැනු කිසිවකු පොත්පත් කියවූ බවක් මට නොතේරුණි. මගේ නෑනා කෙනෙකු එක් වරක් හෝ පොතක් මිලට ගනු මා දුටුවේ නැත. තම සැමියා හැර වෙනත් පිරිමින් මේ ගැහැනුන්ට මුණ නොගැසුණා මෙන්ම, තම කසාද පිරිමි සමඟද ලොකු ප්‍රශ්න ගැන කිසි විටෙක සාකච්ඡා නොකළහ. ඔවුන්ට කීමට දෙයක් නොතිබිණි. අපේ ළදරුවන් හා සැමියන්ගේ සෞඛ්‍යය ගැන අපි කතා කළ අතර, ඔවුහු නොකඩවාම කරුණාවන්ත ලෙස මා හොඳ මුසල්මානුවකු බවට හැරවීමට මහන්සි ගත්හ. ඔවුන්ගෙන් සමහරකු මට දැනෙන්නට වූයේ ආදරණීය වදයක් ලෙසය. ඔවුහු වැඩිකොටම කළේ මාව අමු අමුවේ තෙහෙට්ටුවට පත්කිරීමය.
යෙස්ලාම්ගේ සොහොයුරන් ඔවුන්ගේ බිරින්දෑවරුන්ට සැලකූ අයුරින් යෙස්ලාම් මට නොසැලකීය. ඔහු එසේ කළේ නම් සවුදි අරාබියේ ජීවිතය මට දරාගත නොහැකි වන්නට ඉඩ තිබිණි. ඒ දිනවල මගේ ස්වාමිපුරුෂයා වෙනත් සවුදි පිරිමින්ට වඩා බෙහෙවින් වෙනස් වූයේය. බටහිර පිරිමියකු කරන ආකාරයෙන් ඔහු මා ආසන්න වශයෙන් ඔහුට සම තත්වයෙක ලා සැලකුවේය. ඔහුගේ හැඟීම් සහ ජීවිතයට යෙස්ලාම් මාද සම්බන්ධ කරගත්තේය. මගේ බුද්ධියෙන් ඔහු ප්‍රීතියට පත්වූ අතර, ඔහු මගේ උපදෙස් බලාපොරොත්තු වූයේය. අපි නිතරම හැම දෙයක් ගැනම කතා කළෙමු. ඔහුට මා ඔහුගේ ද්වි-සාමාජික කණ්ඩායමේ පූර්ණ සාමාජිකයකු වීම අවශ්‍ය විය.
එය එක්තරා ආකාරයක චාරිත්‍රයක් බඳු වූයේය. හවස 2 ට හෝ 3 ට යෙස්ලාම් වැඩ ඇරී ගෙදර ආ පසු නාන ගමන් අපි කතා කළෙමු. ඔහුගේ දවසේ සිදුවීම්, මා කියවූ දේවල්, ප්‍රවෘත්තිවල කුමක් තිබුණේද ආදිය ගැන කථා කළ අපි, කතාව නතර නොකෙරූ තරම්ය. සවස සහ සන්ධ්‍යා භාගය අපි ගතකළේ ගැඹුරු සාකච්ඡාවන් තුළය. බොහෝවිට මාතෘකාව දේශපාලනය විය. බින් ලාඩන් සංවිධානය තුළ ඔහුට තිබුණු කරදර, ඔහු කිරීමට සැලසුම් කර තිබෙන වෙනස්කම්, සමාගමේ අනාගතය ගැන ඔහුට තිබෙන සැකසංකා සහ බැලූ බැල්මට ශාන්ත දාන්ත වූ සිය සොහොයුරන්ගේ කූට උපායයන් මෙන්ම ඔවුන් නිතරම පොඩි දේටත් සණ්ඩු කරගන්නා හැටි ආදී රහසිගත කරුණු යෙස්ලාම් මා සමඟ කීවේය.
යෙස්ලාම් ඔහුගේ සොහොයුරන් සමඟ පැවැතියේ අමුතු සම්බන්ධතාවකි. එක් අතෙකින් ඔහුගේ එකම හවුල්කරුවන් වූයේ ඔවුන්ය – ඔහුට කියන්නට තරම් පිරිමි යහළුවකු නොසිටියේය. යෙස්ලාම්ගේ ජීවිතයේ වැදගත් තැනක් ඉසිලූවේ ඔහුගේ පවුලේ සාමාජිකයින් පමණකි. “මගේ මස්සිනා සමඟ එක්ව ආගන්තුකයාට එරෙහි වෙමි; මගේ සොහොයුරා සමඟ එක්ව මස්සිනාට එරෙහි වෙමි” යනුවෙන් සවුදි කියමනක් තිබේ. අහිකුණ්ඨිකයින් අතර – සත්තකින්ම සවුදි සංස්කෘතිය ගොඩනැඟුණේ කාන්තාරික අහිකුණ්ඨිකයින්ගෙනි – අර්ථාන්විත එකම ඒකකය වනුයේ ගෝත්‍රයයි. එබැවින් බටහිර මිනිසකු තම පවුල ගැන විශ්වාසය තබනවාට වඩා වැඩියෙන් යෙස්ලාම් සිය සොහොයුරන් පිළිබඳව විශ්වාසය තැබුවේය. එක්තරා මට්ටමක් දක්වා ඔවුන්ව විශ්වාස කළ හැකි බව ඔහු දැන සිටියේය. එහෙත් ඔහු සිය ගෝත්‍රයේ රහස් – සොහොයුරන්ගේ සුලු අඬදබර හා ඔවුන්ගේ සැඟවුණු බල අරගලයන් ගැන – මා සමඟ පැවසීමට ඉදිරිපත් විය.
ඇතැම් විට අපි හැන්දෑවේ කාඩ් හෝ බැක්ගැමන් සෙල්ලම් කරමින් සිටිද්දී, නැතිනම් එක්ව සංගීතයට සවන් දෙමින් සිටින අතර මා යෙස්ලාම් දෙස හුස්මක් නොගෙන බලා සිටින්නෙමි. අලංකාර අඟපසඟ හා මෘදු දෙනෙත් නිසා ඔහු ඉතාමත් ලස්සනය. එමෙන්ම ඔහුට මා අවශ්‍ය වූයේය. ඔහු මට ආදරය කළ බව මා දැන සිටියෙමි. මා ඔහුට බලය විය, සමානයා විය, ඔහුගේ ප්‍රගතිය වෙනුවෙන් ස්වාර්ථය පසෙක තැබූ පූර්ණ අවංක සහායිකාව විය. එහෙත් එවකට මා ඉතාමත් තරුණ වියේ පසුවූ අතර, තත්වයන් වෙනස්වනු ඇතැයි බලාපොරොත්තු වූයෙමි. මම යෙස්ලාම් සහ වෆා වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් ජීවත් වූයෙමි. යෙස්ලාම්ගේ ඥානයත්, ඔහුගේ පවුල් බලයත් සමඟ ඒ වෙනස්කම් සිදුකිරීමට අපට උදව් කළහැකි වනු ඇතැයි මා එකල කල්පනා කළෙමි. වීදිවල ආවරණය නොකළ මුහුණු දකින්නට ලැබෙන, ගැහැනුන්ට බැංකු ගිණුම් විවෘත කළ හැකිවන පරිදි කාන්තාවන්ට පමණක් වෙන්වූ අලුත් බැංකු බිහිවන, ඉංග්‍රීසි බසින් රූපවාහිනී චැනලයක් ක්‍රියාත්මක වන, නැතහොත් අලුත් පොත් සාප්පුවක් බිහිවන, සවුදි අරාබිය නවීන ලෝකයට අවතීර්ණ වීම සංඥා කරන සෑම දෙයක්ම මා තදින් අල්ලා ගත්තෙමි.
මගේ බලාපොරොත්තු නිතරම පාහේ කඩවී ගියේය. ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක වූ රූපවාහිනී චැනලය ප්‍රවෘත්ති පාලක විසින් කීතු කීතුවලට කපාදමා තිබිණි. රජුගේ අලුත්ම විදේශ සංචාරය ගැන පුවත් හැරුණුකොට එහි වැඩියෙන්ම පෙන්වූයේ සිපගැනීම් හෝ දේශපාලනය නැති වැඩසටහන් වූ කාටූන් සහ කළම්බෝ නැමැති හොරා-පොලිස් කතාව පමණය. පොත් සාප්පුවේ පොත් කිසිවක් විකුණන්නට නොතිබිණි: ආදර කතාවලට, යුදෙව්වන් ලියූ පොත්වලට හෝ, බොහොමයක් ආගම්, මැදපෙරදිග දේශපාලනය හෝ ඊශ්‍රායලය ගැන සඳහන්වන පොත්වලට සවුදි අරාබි රේගු නිලධාරීහු රටට ඇතුලුවන්නට ඉඩ නොදෙති. එය අධෛර්යයට පත් කරවනසුලු වුවද, වෙනස්කම් සිදුවීමේදී එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණකැයි මම අනුමාන කළෙමි.
මේ අතර මම සැබෑ මිතුරුදම් ඇතිකර ගැනීමට පටන් ගත්තෙමි. එය මා හට පිටුබලයක් විය. සලෙම්ගේ බාල සොහොයුරු බකර් අපගේ නිවස ඉදිරිපිට පිහිටි සලෙම්ගේ මුල් නිවසට මාරු වී ආවේය. දුරස්ව සිටින, ආචාරශීලී හා ප්‍රසන්න පුද්ගලයකු වුවද බකර්, බින් ලාඩන් පවුලේ තමාට හිමි ඉහළ ස්ථානය පිලිබඳව හිතට ගෙන සිටියේය. යෙස්ලාම් ඔහුට එතරම් කැමැත්තක් නොදැක්වූ බව මා දැන සිටියත්, බකර්ගේ බිරිඳ හයිෆා ආනන්දජනක, සිනාවෙන් පිරීගිය, ලා දුඹුරු හිසකේ සහ නිල්පාට ඇස් ඇති සිරියානු කාන්තාවක වූ අතර, ඈට පුතුන් දෙදෙනෙකු සිටියාය. හයිෆාත් මාත් විහිළුවට කැමැති වූ අතර, ඇගේ කුඩා පුතුන් දෙදෙනා වෆාට වඩා අවුරුදු කිහිපයකින් වැඩිමහලු වූහ. බකර් සහ ඈ මියාමි වල කාලයක් ජීවත්ව සිට ඇත. ඉංග්‍රීසි බස කතාකළ ඈ වැසුණු තැන්වල සිටීමට මා තුළ ඇති බිය තේරුම් ගත්තාය. එහෙත් මට වඩා අවුරුදු ගණනාවකට පෙරදී සවුදි අරාබියට පැමිණ සිටි ඈ ඇගේ අරාබි පසුබිම නිසාවෙන් මට වඩා දක්ෂ ලෙස බින් ලාඩන් පවුල තුළට මුසු වූවාය.
හයිෆා මට වඩා වෙනස් වුවද ඈ එක්තරා විදියකින් මගේ සහායිකාව, මගේ අරාබි ප්‍රතිමූර්තිය වූවාය. විවෘත මනසකින් හෙබි ඇගේ සජීවී සහ මිත්‍රශීලීබවට මම කෘතඥ වන්නෙමි. එමෙන්ම හයිෆා අභිරූපණයෙහි දක්ෂ වූවාය. එක් නැන්දම්මා කෙනෙකුගේ බකලයත්, අඩි උස සපත්තු දමාගෙන බාගෙට ඇදවූ අබායාවක් හැඳ පැත්තකට බරවී ගමන් කරන මගේ ගමනත් ඈ අපූරුවට අභිරූපණය කළාය. ඈ විනෝද සාගරයක් වූවාය.
මා නිසා හයිෆාටද සහනයක් අත්විනැයි මම සිතමි. වඩාත් වැඩි නිදහසක් සහිත සිරියාවේ සිට පැමිණි ඈ මා මෙන්ම සවුදි අරාබියේ දැඩි ඒකාකාරීබව සමඟ සටන් කළාය. හයිෆාගේ ගෙවත්තේ සුරක්ෂිතව, ඇගේ පිහිනුම් තටාකය පසෙක හිඳ හිරුරැස් තපින ගමන්, අපේ නැන්දම්මලා අප නාන ඇඳුමින් සිටිනු දුටුවොත් අප මහා වනචරයින් යැයි සිතනු ඇතිබව කියමින් කොක්හඬලා සිනාසුණෙමු. අපි දරුවන් සමඟ එක්ව පිහිනුවෙමු. බින් ලාඩන් පවුලේ බිරිඳක් හැටියට මා අනුගමනය කළයුතු සිරිත් විරිත් සහ මා සහභාගී වියයුතු විවිධ මඟුල්, මළගෙවල් සහ වෙනත් අවස්ථා ගැන යෙස්ලාම්ටත් වඩා හොඳින් හයිෆා මට ඉගැන්වූවාය.
පාරෙන් එහාපැත්තේ ඇති ඇගේ ගෙදරට පයින් යෑමට මා මුල්වරට තීරණය කළ දින – මුල්වරට මා රියැදුරුට කතා නොකොට පා ගමනින් මීටර කිහිපයක් වූ මාර්ගය හරහා ගමන්කොට හයිෆාගේ නිවසට ගිය දින – හයිෆා කට කන්දෙක ළඟට ඇදෙන තරමේ පුළුල් සිනාවක් පාමින්, “කාමන්!” යැයි කෑගැසුවාය. “ඔන්න විප්ලවය! හෙට බින් ලාඩන්ලා ඔක්කොම කියාවි අපි කාමන්ව පාරෙදි දැක්ක කියල!”
හයිෆා ඇගේ සැමියාට ආදරය කළාය. සිරියාවේදී හමුවී තිබුණු ඔවුන් අතර කිසියම් බැඳීමක් ඇතිවී තිබුණු බැවින් සම්පූර්ණයෙන්ම යෝජිත විවාහයක් නොවූ අතර, එය බින් ලාඩන් අඹුසැමියන් අතර මා දුටුවේ ඉතාමත් කලාතුරකිනි. 1978 දී හයිෆාට ගැහැනු දරුවකු ඉපදුණේය. ඈට සුබපැතීමට මා පසුදින එහි ගිය විට බකර් පුතුන් දෙදෙනාත් සමඟ පැමිණියේය. “අම්මාගේ අත ඉඹින්න, එයා ඔයාලට පුංචි නංගියෙක් ගෙනැල්ලා,” යැයි ඔහු ඔවුන්ට කීවේය. එය සාම්ප්‍රදායික වුවද සොඳුරු දෙයක් විය. එය බුහුමන් කිරීමක් ලෙස මම සිතුවෙමි. ඒ විවාහය තුළ සැබෑ ආදරය තිබුණේය. සවුදි අරාබියේදී මා දුටු සැබෑ විවාහයන් අතළොස්සෙන් එකක් වූයේ එයයි.
මා නැවතත් ගැබිනියක විය. මා ඉන් මහත් සතුටට පත්වූ අතර, යෙස්ලාම්ද එසේම බව මට දැනුණි. වෆාට යාලුවෙක්, තවත් දරුවෙක් – මේ වතාවේ නම් කොල්ලකු බව අපට ඒකාන්තයෙන්ම විශ්වාසය. මුලු බින් ලාඩන් ගෝත්‍රයම අපේ ප්‍රවෘත්තිය අසා සන්තෝෂ වූ බව පෙනිණි. “අල්ලාගෙ පිහිටෙන් ඔයාට කොලුපැටියෙක් ලැබේවි!” යි කියමින් හැම තැනකදීම මට සුබපැතුම් ලැබිණි. දරුවා 1977 ජූනි මාසයේදී ලැබීමට නියමිත වූ අතර, ඊට මාස දෙකකට පෙර මා ජිනීවා බලා ගුවන්ගත වූයේ මට අවශ්‍ය සත්කාර ආදිය නියමාකාරයෙන් ලැබෙන බවට සහතික වීම සඳහාය.
සවුදි අරාබියේ හොඳම රෝහල් සෑම එකකම රාජකීය පවුල් සඳහා වෙන්කොට තිබුණු කාමරවල ලැගුම් ගැනීමට බින් ලාඩන් පවුලට අවසර තිබුණු නමුදු ඒවායේ සිටි වෛද්‍යවරුන් ගැන ඇත්තෙන්ම මට විශ්වාසයක් නොවීය. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු සිරියාවේ හා ඊජිප්තුවේ පුහුණුව ලැබූ අය වූ අතර, බෙහෙත් පෙති සහ ඉන්ජෙක්ෂන් පොම්ප කිරීමට ඔවුහු සැදී පැහැදී සිටියහ. අනෙක් බින් ලාඩන් ගැහැනු ජිද්දා හිදී දරුවන් ප්‍රසූත කළ නමුත් විශේෂ පරීක්ෂණ සඳහා ඔවුහු බොහෝවිට යුරෝපයට හෝ ඇමරිකාවට ගියහ. අපේ විදේශ ගමන්වලදී කාලය වැඩියෙන්ම ගතවූයේ වෛද්‍යවරුන් හමුවීමටය.
පරිවර්තනය – මොහාන් ධර්මරත්න
පසුගිය කොටස්
“ස්වාමිපුරුෂයාට බිය නැති සවුදි කාන්තාවක් මට හමුවී නැති තරම්ය” (වට තිර ලූ රාජ්‍යය – 14)
බින් ලාඩන් ගැහැනියකට නිවසින් පිටත යෑම සෑම විටකම පාහේ ‘හරාම්’ සහ ‘අබේ’ විය. (වට තිර ලූ රාජ්‍යය – 12)
බින් ලාඩන් පවුලේ ගැහැනියක ගිය එකම ප්‍රසිද්ධ ස්ථානය රත්තරන් බඩු වෙළඳපොළ පමණි
වීදි තුනක් දිගට සම්පූර්ණයෙන්ම බින් ලාඩන්වරුන් පමණක් ජීවත් වූ ගම්මානයක් විය (වට තිර ලූ රාජ්‍යය – 08)
‘සවුදීන්ට විදේශිකයකු සමඟ විවාහ වීමට රජතුමාගෙන් අවසර ගත යුතුය’ (වට තිර ලූ රාජ්‍යය – 06)
“සවුදි අරාබියද මා කුඩා කල දුටු ඉරානය බඳු වියහැකි මා මාවම රවටාගෙන තිබුණේය” (වට තිර ලූ රාජ්‍යය – 05)
“යෙස්ලාම් මගේ ජීවිතය සදහටම වෙනස් කරන්නට යන බවක් මට කිසිසේත්ම දැනුණේ නෑ” – (වට තිර ලූ රාජ්‍යය – 04)
“කාමන්, ඔයා හරිම විශේෂ කෙනෙක්. ඒක කවදාවත් අමතක කරන්න එපා.“ (වට තිර ලූ රාජ්‍යය – 03)
“සැප්තැම්බර් එකොළහ උදාවූයේ ලස්සන ඉන්දියානු ගිම්හානයේ දිනයක් ලෙසිනි” (වට තිර ලූ රාජ්ජය – 01)