මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ කාමන් බින් ලාඩන්(Carmen Bin Ladin) ගේ The Veiled Kingdom කෘතිය ‘වට තිර ලූ රාජ්ජය’ ලෙස සෑම සදුදා සහ බ්‍රහස්පතින්දා දිනකම කොටස් වශයෙන් පළවේ. අද පළවන්නේ එහි 7 වන කොටසයි.
රිගායා නම් වූ ඔහුගේ එක් නැඟනියකගේ විවාහය සඳහා කටයුතු සූදානම් වෙමින් තිබිණි. එදිනටම, එනම් 1974 අගෝස්තු 8 වැනිදාටම අපගේ මංගල්‍යයද යොදාගත හැකි නම් කටයුතු වඩාත් පහසු වන්නේ යැයි යෙස්ලාම් කීවේය. සවුදි විවාහ මංගල්‍යය කුමන ආකාරයක් ගනීදැයි මට සිතාගන්නට පටන්ගැනීමටවත් නොහැකි විය. මා කවදාවත් එහි ගොස් තිබුණේ නැත. මා එය ප්‍රශ්න නොකළෙමි. මම ආදරයෙන් බැඳී සිටියෙමි; මා විවාහ වන්නට යන නිසා මගේ අම්මා මහත් සන්තෝෂයෙන් පසුවූවාය. මේ විවාහ මංගල්‍යය නිකම්ම නිකම් යුතුකමක් ඉෂ්ට කිරීමක් පමණක් ලෙස වඩ වඩාත් දැනෙන්නට පටන් ගත්තේය. මටත් මගේ පවුලේ අයටත් වීසා ගැනීමම මහා කරදරයක් වූ බැවින් මා යහළුවන් කිසිවකු රැගෙන නොගියෙමි. එහි ගියේ මගේ අම්මාත් නංගිලාත් හැරුණුවිට ඉරානයෙන් පැමිණි මගේ ලොකුඅම්මාගේ පුත්‍රයා වන මමාල් පමණි.
මගේ තාත්තාට ආරාධනය නොකිරීමට මම තීරණය කළෙමි. අවුරුදු ගණනාවකට පසුව මගේ අම්මාට ඔහු මුනගැස්වීමට මට අවශ්‍ය නොවීය. මගේ අම්මා තවමත් ඔහුට ආදරය කරන්නේ යැයි මට හැඟී ගොස් තිබූ බැවින්, ඔහු දැකීමට සලස්වා ඇගේ හිත පෑරීමට මට අවශ්‍ය නොවීය. එබැවින්, මා හොඳින් හඳුනන්නකු නොවූවද මමාල් මගේ ළඟම පිරිමි ඥාතිවරයා ලෙස සහභාගී වූයේය. පිරිමි පමණක් සහභාගී වන ආගමික උත්සවය වෙනුවෙන් මමාල් සහභාගී වනු ඇති අතර, එහිදී ඔහු මනාලිය නියෝජනය කරමින් යෙස්ලාම්ගේ අත අල්ලාගෙන සිටිනු ඇත. ඔහුගේ ඉදිරිපත්වීම මඟින් යෙස්ලාම් සහ මගේ විවාහය සිදුකළහැකි වීම ස්ථිර වන්නේය. මමාල් නොමැති නම් විවාහ මංගල්‍යයක් පැවැත්විය නොහැකි වන්නා සේ පෙනී ගියේය. ඔහු සිටීම, මා සිටීම තරම්ම වැදගත් යැයි හැඟී ගියේය.
එය මහා විගඩමක් හැටියට පෙනිණි. මගේ නංගී මැග්නෝලියා මමාල්ව දකින හැම විටෙකම, “ඔන්න මනමාලි එනවා!” යැයි කියමින් විහිළු කරන්නට පටන් ගත්තාය.
මගේ සූදානම කඩිනම් කරන ලදී. මුලින්ම මා මංගල ඇඳුමක් මිලදී ගැනීමට ගියෙමි. මම ජිනීවා හි ෂැනෙල් සාප්පුවේ අවුට් කුටුවර් ඇඳුම් බැලුවෙමි. එහෙත් එහි තිබූ කිසිවක් මගේ ළමා අවධියේ ඉරාන මතකයන්ට අනුව සවුදි අරාබියට සුදුසු වනු ඇතැයි මා සිතූ, එසේත් නැතිනම් මට උවමනා වූ ආකාරයේ ඇඳුමට සමාන නොවීය. මට අවශ්‍ය වූයේ උස් කොලරයක් ඇති, ඝන කෙළවරක් සහිත, බීක්කු කැපූ අත් ඇති ඉතාමත් සරල නමුත් අලංකාරයෙන් අනූන ඇඳුමකි. අන්තිමේදී මා ඇඳුම් මෝස්තරයක් නිර්මාණය කළ අතර, එය ෂැනෙල් සාප්පුවේ ඇඳුම් මසන්නකු විසින් සුදු ඔගැන්සා රෙදිවලින් නිම කරනු ලැබීය. ඒ ඇඳුම ඇත්තටම මං වගේම යැයි මට හැඟුණේය.
ඊළඟට වේල්පොටය. දිගු මංගල වේල්පොටද සුදු ඔගැන්සාවලින්ම නිම කරන ලද අතර, යෙස්ලාම්ගේ රටේදී මගේ ඇඟත් මුහුණත් වසා දමන කලු ලෝගුවක්ද සකස් කෙරිණි. මට එවැන්නක් අවශ්‍ය වන බව යෙස්ලාම් කලින්ම තේරුම් කර දුන්නේය. මම ඝන කලුපාට කපුරෙදි මිලට ගෙන එවැන්නක් මස්සවා ගත්තෙමි. ප්‍රතිඵලය වූයේ, පට රෙද්දෙන් නිමවූ සවුදි අබායාවක් මෙන් තුනී නොවූ චාඩර් වැස්මක් වැනි බරසාර පර්සියානු වේලයකි. මට ඊට වඩා යමක් කරගැනීමට දැනුමක් තේරුමක් නොවීය. එය දොර රෙද්දක් මෙන් මා ආවරණය කරමින් හිසේ සිට දෙපතුළ දක්වා විහිදුණු අතර, කෙතරම් ඝන වීදැයි කිවහොත් ඇඳුම තමා විසින්ම හිටගෙන සිටින්නාක් බඳු විය. එය දිස්වූයේ උපහාසාත්මක ලෙස යල්පැන ගිය වෙස්වළාගැනීමක් ලෙසය.
අන්තිමට මාත් මගේ සොහොයුරියනුත්, අපට අවශ්‍ය වනු ඇතැයි යෙස්ලාම් පැවසූ දිග ඇඳුම් සොයා සාප්පු සංචාරයේ ගියෙමු. ප්‍රියසාද සඳහා වැදගත් මෙන්ම චාම් ඇඳුම්; දිවා කාලයේ ගෙදරට ඇඳීම සඳහා සාමාන්‍ය, එහෙත් වඩාත්ම සාමාන්‍ය ද නොවන දිගු ඇඳුම් – මුලු ජිනීවා නගරයේම සෙවුවත් මේ විස්තරවලට දුරින් හෝ ගැලපෙන ඇඳුමක් අපට සොයාගත නොහැකි විය. අපට සිදුවූයේ ටේලර් කෙනෙකු ලවා මෙවැනි ඇඳුම් මාලාවක්ම මස්සවා ගැනීමටය. අන්තිමේදී මගේ සොහොයුරියන්ට මනාලියගේ මිතුරියන් අඳින සැමන්-රෝස පැහැති ඔවුන්ගේ ඇඳුම්ද මස්සවා ගැනීමට සිදුවිය. ඇඳුම්වල ෆිටෝන් බැලීමේ කලබලය තුළ අපි සිරවී සිටියෙමු.
මම සැලෝමී නංගීත් කැටුව යෙස්ලාම් සමඟ ගුවනින් ජිද්දා බලා ගියෙමි. දින දෙකකට පසුව මගේ අම්මාත්, අනෙක් නංගිලා දෙදෙනාත් එහි පැමිණියහ. යෙස්ලාම් සුදු පැහැති කපු රෙද්දෙන් කළ ‘තෝබ්’ නැමැති සවුදි ලෝගුව හැඳ සිටියේය. හොඳින් මසා නිමකළ කල්හි ඉතා නැවුම් හා අලංකාර ලෙස පෙනෙන ඒ අමුතු ඇඳුම හැඳ සිටින යෙස්ලාම්ගේ සෞන්දර්යාත්මක බව තවත් වැඩිවී ඇතැයි මට සිතුණේය. ගොඩබැසීමට මිනිත්තු කිහිපයකට පෙර සැලෝමීත් මාත් අපගේ මුහුණු ආවරණ දමාගත්තෙමු. අපේ අත්, හිස හා ශරීරය සම්පූර්ණයෙන්ම කලු ලෝගුවෙන් ආවරණය කරන ලදී. පිටතට දිස්වූයේ අපගේ පාදාන්ත පමණි. අපගේ ඇස් පවා, විනිවිදිය නොහැකි කලු ගෝස් රෙද්දෙන් වැසී තිබිණි. මම සැලෝමී දෙස බැලුවෙමි. එය මට කම්පනයක් ගෙන දුන්නේය. ඈට මුහුණක් නැත.
යානය ගොඩබසිමින් තිබෙද්දී කාන්තාරය ලං වන හැටි අපි බලා උන්නෙමු. කලු ගෝස් රෙදිකඩ හරහා පැමිණි ආලෝකය ඉතා මඳ වූ අතර, අලුත් රට මා දුටු අඳුරුතම හිස් රාජ්‍යයද, නොඑසේනම් මගේ ඇස් ඉදිරිපිට වූ රෙදිකඩ මා පිටත දැකීම වළක්වනවාද යන්න ගැන මට වැටහීමක් නොවිණි. එය මට අමුතු, පාගා දමනු ලැබූ හැඟීමක් ගෙනදුන්නේය. ජිනීවා හි ඇඳුම් මසන ස්ථානයේදී මා එම මුහුණු ආවරණය මුල් වරට ඇඳ බැලූ අවස්ථාවේදී එවැනි හැඟීමක් මට ඇති නොවීය. එ මොහොතේ මා උද්දාමයට පත්ව සිටියෙමි. මා යන්නේ විවාහ වීමටය. එහෙත්, පිටත ලෝකයේ කලු පැහැය සමඟ බැඳුනු බියකරු බව නිසා හටගත් ඛේදජනක හැඟීමක් මට දැනෙන්නට විය.
දැඩි රස්නය හුස්ම හිර කළේය. අබායාවේ ඝන රැළි අස්සෙන් හුස්ම ගැනීම මට අතිශය දුෂ්කර වූයේය. සෑම චලනයක්ම මන්දගාමී මෙන්ම කරදරකාරී ලෙස සිදුවිය. ගුවන්යානයේ පඩිපෙළ දිගේ පහළට බසින විට මගේ නැඟනියගේ පය පැටලී ගියේය. ඇගේ රූපලාවන්‍ය ආම්පන්න සියල්ල පෙට්ටියෙන් බිමට වැටී සීසීකඩ විසිරුණු නමුදු කිසිවකු අපට උදව් කළේ හෝ කිසිවක් අහුලා දුන්නේ නැත. කතාකරන කලුම කලුපාට ත්‍රිකෝණයක් බඳු ඈ මා වෙතට හැරී, “මොකක්ද මේ රට?” යැයි ඇසුවාය. සවුදි අරාබියේදී කිසිදු පිරිමියකුට ඈ ඇල්ලීමට හෝ තරමට වඩා ඈ ආසන්නයට යාමට නොහැකිය.
මුහුණු ආවරණය නිසි ලෙස තබාගැනීම කෙරෙහි යුහුසුළු වී සිටි මා හට වෙනත් කිසිවක් කෙරෙහි අවධානය යොමුකිරීමේ හැකියාවක් නොතිබිණි. රැළි ගැසුණු ඇස් හා මිතුරුබවින් යුතු මුහුණක් ඇති යෙස්ලාම්ගේ සොහොයුරු ඊබ්‍රහීම් හදිසියේම මගේ නෙතට හසුවිය. මම, “හායි, ඊබ්‍රහීම්,” කියා කෑගැසුවෙමි. හුරු පුරුදු කෙනෙකු දැකීම නිසා මා බෙහෙවින් සැනසීමට පත්ව සිටි නමුදු ඔහු කිසිවක් නොකීවේය. ඔහු අපහසුතාවයට පත්වූ බවක් විද්‍යමාන විය. ඊළඟට මඳ ස්වරයෙන් ඔහු, “හායි,” කීවේය. යෙස්ලාම් මට අනතුරු හඟවා තිබුණද, ප්‍රසිද්ධියේ කිසිදු පිරිමියකු හා කතා කිරීමට මට අවසර නොමැති බව මා හට අමතක වී තිබිණි.
සවුදි අරාබියේ ගතකළ පළමු මිනිත්තු කිහිපයේදීම මා නොසැලකිලිමත්කමින් වරද්දාගෙන සිටියෙමි. යෙස්ලාම්ගේ රටේදී මා ප්‍රසිද්ධ ස්ථානවල නිශ්ශබ්දව සිටිය යුතු බව මා හට කෙමෙන් අවබෝධ වෙමින් තිබුණේය. අපි අපගේ සූට්කේස් එනතුරු බලා නොසිට වාහනයකින් පිටත් වූයෙමු. කවුරුන් හෝ නමක් නැති ඇබිත්තයකු විසින් ඒවා ගැන බලාකියාගන්නවා ඇත. මෝටර් රථයේ වීදුරුවෙන් මගේ මුහුණු ආවරණය හරහා පිටත බැලූ විට මා දුටුවේ මඳ ආලෝකයකි – එහි මිනිසුන් හෝ ගොඩනැඟිලි නොවීය. වීදි ලාම්පු පවා අඳුරුය.
ඇත්තවශයෙන්ම, නැරඹීමට දේවල් පිටත තිබුණේ ඉතා ස්වල්පයකි. ඒ දිනවල ජිද්දා යනු කිසිදු ඔපයක් නැති, පැරණි කුඩා නගරයක් වූ අතර, බින් ලාඩන්ලා වැඩිදෙනෙක් එක්ව විසූ ප්‍රදේශය මක්කම දෙසට යන පාරේ කාන්තාරය අසලින්ම පිහිටා තිබිණි. පාර වලගොඩැලි සහිත වී, ඊළඟට යළිත් සුමට වූ අතර, එක්වරම අපි මක්කම පාරේ හත්වැනි කිලෝමීටර් කණුව ළඟ පිහිටි යෙස්ලාම්ගේ නිවසට පැමිණ සිටියෙමු. ගේට්ටුව විවෘත වී තිබුණු අතර, මගේ නැන්දම්මා නිවසට ඇතුළුවන තැන හිටගෙන උන්නාය.
අප නිතරම මගේ නැන්දම්මා ඇමතුවේ ඕම් යෙස්ලාම් යනුවෙනි. සත්තකින්ම ඈට ඇගේම කියා නමක් තිබුණු නමුත් එය කිසිවිටෙක භාවිත වූයේ නැත. රාජධානියේ ගැහැනුන් බොහොමයක් මෙන් ඇයද ඇගේ වැඩිමහලු පුත්‍රයාගේ නම ගත්තාය. ඈට සිටියේ ගැහැනු දරුවන් පමණක් වී නම් පුතකු ඉපදෙන තුරු සවුදි ගැහැනිය ඇගේ පළමු දියණියගේ නමින් ආමන්ත්‍රණය කෙරෙනු ඇති අතර, ඉන් පසුව එතැනට ඔහුගේ අක්කාගේ නම වෙනුවට ඔහුගේ නම ආදේශ වන්නේය.
ඕම් යෙස්ලාම් ප්‍රසන්න ලෙස අප පිළිගත්තාය. මගේ අබායාව ගලවා දැමීමට හැකිවීම අස්වැසිල්ලක් විය. එක්වරම නිවස තුළ වූ ආලෝකය ඇස් ගිනිකණ වට්ටන තරම් විය. ලාම්පු කඩයකට ඇතුලු වූවා සේ පොකුරු ආලෝක විශාල ගණනක් එහි දැල්වී තිබිණි. අපි වාඩිවී කෙටි කතාබහක යෙදුනෙමු. මුල් සුබපැතුම්වලින් අනතුරුව මා මගේ නව පරිසරය හඳුනාගන්නට පටන් ගත්තෙමි. නිවස තුළ තිබූ හැම දෙයක්ම කොළ පැහැය ගත් බව පෙනිණි. බිත්තියෙන් බිත්තිය යා කළ තද කොළ පැහැති බුමුතුරුණුද, කොළ පැහැති බිත්ති කඩදාසිද, විසිත්ත කාමරයේ බිත්ති හතරම වටා තබන ලද කොළ-රන් පැහැති විල්ලූද සෝෆාවන්ද එහි විය. වටිනා පැරණි බුමුතුරුණු හෝ සියුම් කලාත්මක හැඩවැඩ කිසිවක් එහි නොවීය. අලුතෙන් නිමවූ අදක්ෂ නිර්මාණයක් වූ නිවස නගරයෙන් පිටත පිහිටි පේලි ගෙයක් හා සමාන විය. ඇත්තෙන්ම ඊට තිබුණේ නොගැලපෙන පෙනුමකි. එහි ප්ලාස්ටික් මල් පවා තිබිණි. මගේ කාමරයට දුඹුරුවන් රතු පැහැ මාබල්වලින් සකස් කළ, එකදු ජනේලයක්වත් නැති නාන කාමරයක් තිබෙන බව නාන්නට ගිය මට සොයාගත හැකි විය. එය සොහොන් ගැබකට සමාන වූයේය.
රාත්‍රී ආහාරය රැගෙන වැඩකාරයෝ පැමිණියහ. ඔවුහු රෙද්දක් බිම ඇතිරූ අතර, අපි එහි වාඩිවී ලෙබ්නා චීස්, මීපැණි, පිපිඤ්ඤා සලාද, පැතලි අරාබි පාන්, යෝගට් සහ සෝයා තැවරුම කෑමට ගත්තෙමු. ආටෝප නොමැතිවීම මා පුදුමයට පත්කළේය. චිත්‍රපටවල, නොඑසේනම් ඉරානයේ මගේ අත්තම්මාගේ නිවසේ දකින්නට ලැබුණු ආකාරයේ විචිත්‍ර වූ ආසියාතික ගෘහයක් මා සිතින් මවාගෙන සිටියෙමි. සියල්ලටමත් වඩා, යෙස්ලාම්ගේ පියා සවුදි අරාබියේ විසූ ධනවක්ම පුද්ගලයෙකි. එහෙත් මේ නිවස ඉතාමත් මූලික මට්ටමේ එකක් වූ අතර, එහි නිවැසියෝ ගතකළේ සරල ජීවිතයකි. එය කිසිසේත්ම මා සිතාගෙන සිටි අන්දමේ උත්කෘෂ්ඨ වූත් ආඪ්‍ය වූත් දිවිපෙවෙතක් නොවේ.
මගේ නැන්දම්මා සෙමින් කතාකරන කාරුණික තැනැත්තියක වූවාය. ඇගේ පුත්‍රයා විවාහය සඳහා සවුදි තරුණියක තෝරා නොගැනීම ගැන ඈ අපේක්ෂාභංගත්වයට පත්ව සිටින්නට ඇතැයි මා දැන උන්නද ඈ කිසිවිටෙක මට නපුරු නොවූවාය. අපි සතුටු සාමීචියේ යෙදුනෙමු. ෆාර්සි සහ ඉංග්‍රීසි බසින් සිදුවූ අපේ කවලම් කතාබහ අතර මැදට යෙස්ලාම්ගේ අරාබි පරිවර්තනද රිංගුවේය.
පරිවර්තනය – මොහාන් ධර්මරත්න
පසුගිය කොටස්
‘සවුදීන්ට විදේශිකයකු සමඟ විවාහ වීමට රජතුමාගෙන් අවසර ගත යුතුය’ (වට තිර ලූ රාජ්‍යය – 06)
“සවුදි අරාබියද මා කුඩා කල දුටු ඉරානය බඳු වියහැකි මා මාවම රවටාගෙන තිබුණේය” (වට තිර ලූ රාජ්‍යය – 05)
“යෙස්ලාම් මගේ ජීවිතය සදහටම වෙනස් කරන්නට යන බවක් මට කිසිසේත්ම දැනුණේ නෑ” – (වට තිර ලූ රාජ්‍යය – 04)
“කාමන්, ඔයා හරිම විශේෂ කෙනෙක්. ඒක කවදාවත් අමතක කරන්න එපා.“ (වට තිර ලූ රාජ්‍යය – 03)
“සැප්තැම්බර් එකොළහ උදාවූයේ ලස්සන ඉන්දියානු ගිම්හානයේ දිනයක් ලෙසිනි” (වට තිර ලූ රාජ්ජය – 01)