ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලට : ආගමික නායකයන් සාමය ආරක්ෂා කිරීමට කැපවිය යුතුයි – මහාධිකරණ විනිසුරු !

Share post:

ආගමික නායකයන් සමාජයේ සාමය ආරක්ෂා කිරීමට කැපවී කටයුතු කළ යුතු බවත්, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම වගකීම සම්පූර්ණයෙන්ම පැහැර හැර ඇතැයි පෙනී යන බවත් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳීගේ විවෘත අධිකරණයේදී අවධාරණය කළේය.

භික්ෂුවක් ලෙස ජාතික සහ ආගමික සහජීවනයට හානි නොවන පරිදි කටයුතු කළ යුතු යැයිද, මෙවැනි කතා නිසා රට තුළ ජාති – ආගම් ගැටුම් වුවද මතු වීමේ අවදානමක් වෙතැයි ද විනිසුරුවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳීගේ මෙසේ පැවසුවේ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාරි හිමියන්ට එරෙහි තීන්දුවක් ප්‍රකාශයට පත්කිරීමට පෙර ය.

මුජිබර් රහුමාන්, අසාද් සාලි සහ රිෂාඩ් බදූර්දීන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවරන ලද නඩුවක තීන්දුව ලබාදුන්නේය.

බලංගොඩ, කූරගල ප්‍රදේශයේ පිහිටි ඉස්ලාම් දේවස්ථානයක් සම්බන්ධයෙන් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශයක් පිළිබඳව මේ නඩුවට අදාළ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ගොනුකර තිබිණි. එම මාධ්‍ය හමුවේදී ඥානසාර හිමියන් විසින් අල්ලා දෙවියන්ට සහ කුරාණයට අපහාස වන ආකාරයට කරුණු ඉදිරිපත් කළ බව පැමිණිල්ලේ සඳහන් විය.

මීට අදාළ විමර්ශන වාර්තා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකිරීමෙන් පසු දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ ආගම් අතර විරසකයක් ඇති කිරීම සහ ආගමික අපහාසය සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා කටයුතු කර තිබිණි. නඩුවේදී අසාද් සාලි, මුජිබර් රහුමාන් සහ අදාළ මාධ්‍ය හමුවේ හඬපටය සම්බන්ධයෙන් ස්වර්ණවාහිනී රූපවාහිනී ආයතනයේ එවකට ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ද සාක්ෂි ලබාදී තිබිණි.

මේ සම්බන්ධයෙන් විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් මීට පෙර ඥානසාර හිමියන් අධිකරණයට පවසා තිබුණේ තම ප්‍රකාශය සම්බන්ධයෙන් මුස්ලිම් ජනතාවට සිත් රිදීමක් වූයේ නම්, තමන් ඒ පිළිබඳව සමාව ගන්නා බවයි.

ඊයේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා විසින් ඥානසාර හිමියන්ට වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය.

ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙහිදී පැවසුවේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අභියාචනාධිකරණය විසින් සිය සේවාදායකයා වරදකරු කළ බවත්, ඉන්පසු හිටපු ජනාපධිති මෛත්‍රිපාල සිරිසේන විසින් උන් වහන්සේට ජනාධිපති සමාව ලබාදුන් බවත් ය. මෙසේ සමාව ලබාදීමෙන් පසු සිය සේවාදායකයා විසින් කිසිදු බරපතළ වරදක් කර නැති බව අධිකරණයට පෙන්වා දුන් ඥානසාර හිමියන්ගේ නීතිඥවරයා, මේ කරුණ සලකා බලා සිය සේවාදායකයාට අත්හිටවූ සිර දඬුවම් නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඥානසාර හිමියන් මේ සිදුවීම සම්බන්ධයෙන් සමාව ගැනීම පිළිබඳව අදහස් දක්වමින් විනිසුරුවරයා පැවසුවේ විත්තිකරු ඔහුට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කිරීමක් සිදු කර නැති බවයි. එසේ ම පැමිණිල්ල විසින් එම චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර ඇතැයි ද විනිසුරුවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙහිදී විවෘත අධිකරණයේදී කරුණු දක්වමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ අධිනීතිඥ ලක්මාලි දිසානායක පැවසුවේ ආගමික හා ජාතිවාදී ගැටුම්වලින් ලංකාව දැඩි ලෙස පීඩා විඳ ඇති බවයි. එවැනි තත්ත්වයක් යටතේ විත්තිකරු ආගමික නායකයකු ලෙස මෙවැනි ප්‍රකාශ සිදුකිරීමෙන් යළිත් එවැනි ගැටුම් ඇති වීමේ අවදානමක් මතුවිය හැකි යැයි ද ඇය සඳහන් කළාය. එම නිසා විත්තිකාර ඥානසාර හිමියන්ට අත්හිටවූ සිර දඬුවම් නොව සක්‍රීය සිර දඬුවම් නියම කරන ලෙස නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගේ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරිය සඳහන් කළේ යමෙකු වචනවලින් පවසන දේ පිහියෙන් අනිනවාටත් වඩා බරපතළ බවත්, පිහියෙන් ඇන සමාව ඉල්ලූ පමණින් වරදේ බරපතළකම අඩු නොවන බවත් ය.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් එවකට එම අධිකරණයේ මහේස්ත්‍රාත් ධුරය දැරූ රංග දිසානායක විසින් ගොනුකරන ලද පෙත්සමකින් ද ඥානසාර හිමියන් වරදකරු කෙරිණි. කෙසේ වෙතත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලදි. එම ජනාධිපති සමාව ලබාදීමේ ක්‍රමවේදය අභියෝගයට ලක්කරමින් අතුරුදන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

ඊට අමතරව සන්ධ්‍යා එක්නැලිගොඩට බැණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් ද ඥානසාර හියමින්ට එරෙහිව නඩුවක් පවරා තිබිණි. ඊට අත්හිටවූ සිර දඬුවම් ලබා දී තිබූ අතර, ඊට එරෙහිව ද සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනුකර තිබේ. එම අභියාචනයේදී ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් සිදුවීමට අදාළ ව සමාව ගැනීමට සූදානම් බව පැමිණිලි පාර්ශ්වයට දැනුම් දී තිබිණි. එහෙත් පැමිණිලි පාර්ශ්වය විසින් එය ප්‍රතික්ෂේප කිරීම නිසා එම අභියාචනය දිගටම විභාග කෙරේ.

මේ අතර 2021 ඔක්තෝබර් 27දා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් පිහිටුවන ලද එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති ධුරයට පත්කෙරුණේ ද ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ය. මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරයා වූ එවකට අධිකරණ ඇමැති අලි සබ්රි පැවසුවේ තමන් මේ පත්කිරීමට කිසිසේත්ම එකඟ නොවන බවත්, ඊට විරුද්ධ බවත් ය.

බේරුවල, දර්ගා නගරයේදී 2014 වසරේ සිදුවූ ගැටුම සම්බන්ධයෙන් ද ඥානසාර හිමියන්ට චෝදනා එල්ල විය. වාහනයකින් යමින් සිටි භික්ෂූන් වහන්සේ නමක් සහ උන් වහන්ගේගේ රියදුරා සමග දර්ගා නගරයේ පදිංචි මුස්ලිම් ජාතිකයන් පිරිසක් ගැටුමක් ඇතිකර ගත් බවට වාර්තා කෙරුණු අතර, ඉන් දින තුනකට පසු එම ස්ථානයට ගොස් ජනතාව රැස් කොට විශාල රැස්වීමක් පැවැත්වීමට ඥානසාර හිමියෝ කටයුතු කළහ. ඉන්පසු එහි දේපොළ ගිනිතැබීම් ඇතුළු අපරාධ රැසක් ද වාර්තා විය. මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසකට ද චෝදනා එල්ල වූ අතර, ගිනිතැබීමක් සමග අත්අඩංගුවට ගත් පිරිසක් ආරක්ෂක අංශ සාමාජිකයන් බවට වාර්තා මගින් ද තහවුරු කෙරිණි. කෙසේ වෙතත් එම පිරිස හදිසියේ ම මුදාහැරීමට පොලිසිය කටයුතු කර තිබූ බව ද පසුව හෙළි විය.

මේ අතර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. නඩු තීන්දුව ලබාදෙන අවස්ථාව වනවිටත් උන් වහන්සේ අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ගනිමින් සිටි බව රාවණා බලය සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පැවසූහ.

Related articles

“ලෝකයම ෆේක් නිවුස් වලින් පුරවන ඇලීසා කාර්සන් ගේ අඟහරු ගමන”

ඇලීසා කාර්සන් උපත ලබන්නේ 2001 මාර්තු 10 වැනි දින ඇමරිකාවේ ලුයිසියානා ප්‍රාන්තයේ හැමන්ඩ් නගරයේදී.Baton Rouge International School ජාත්‍යන්තර...

“අපි පොහොසත් ක්‍රීඩකයන්. අප දුප්පත් රටවලට යන්නේ නැහැ”- ශෙවාග්

ශෙවාග් සහ ඇරියස් ක්‍රිකට් ගහන කාලේ විරේන්දර් ශෙවාග් භයානක පිතිකරුවෙක්.සනත් ජයසූරිය හඳුන්වා දුන් ප්‍රවේගකාරී ආරම්භය අනුගමනය කළ පිතිකරුවෙක්.එකල ඔහු...

තරුෂි ඉදිරියට යා යුතුමය

තරුෂි කරුණාරත්න කියූ පමනින් මුලු ලංකාවම හඳුනනවා. මැණික් හින්න, වලල ඒ රත්නායක මධ්‍යමහා විද්‍යාලයෙන් ධාවන පතයට පිවිසි තරුෂිට...

කලාත්මක ඡායාරූපකරණය මියගියාද ?

“කලාත්මක ඡායාරූපකරණයේ අවසානය”, යන මැයෙන් වූ අන්තර්ජාල සාකච්ඡාවකට මම ඊයේ සහභාගි වුනෙම්. එය Sequel Collective නම් වූ තරුණ...