මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ කාමන් බින් ලාඩන්(Carmen Bin Ladin) ගේ The Veiled Kingdom කෘතිය ‘වට තිර ලූ රාජ්ජය’ ලෙස සෑම සදුදා සහ බ්‍රහස්පතින්දා දිනකම කොටස් වශයෙන් පළවේ. අද පළවන්නේ එහි 13 වන කොටසයි.
මා ගිලනකු බවට පත්වෙමින් සිටින බවක් මට දැනුණේය. කරන්නට කිසිවක් නැතිව, හුස්ම ගනිමින්, සුමට වීදුරු පාත්‍රයක් තුළ හෙමින් හෙමින් පිහිනන රන් මාලුවකුට මෙන් මට වෙහෙස දැනුණු අතර, කිසිදු ඉලක්කයක්ද නොවිණි.
දැඩි රස්නය අප සියලුදෙනා යටත් කරගත්තේය. දිවා කාලයේදී අපි වායුසමනය කළ නිවසින් පිටතට නොගියෙමු. සැන්දෑවේ ගෙවත්තට පා තැබීම හරියට උදුනක් තුළට ඇතුලු වනවාට සමානය. ඕම් යෙස්ලාම් ක්‍රියාකාරීව සිටිනු මා පළමු වරට දුටුවේ වර්ෂාව ඇදහැලෙන විටය. එක් දිනෙක උදෑසන අප අවදිවන විට අහස කලු කර තිබුණු අතර, හැම දෙනෙකුම කතා කළේ වහින්නට එනවා යැයි කියමිනි. පළමු වැහිපොද එක දෙක වැටෙන විට ඕම් යෙස්ලාම් සහ ෆවුසියා ගෙවත්තට දිවූහ. “මෙන්න වහිනවා, වහිනවා” යැයි ඔවුහු කෑ ගැසූහ. “එළියට එන්න, මේ බලන්න.” වැස්ස මොන විදියදැයි මා දැන සිටියෙමි. එය මා හොඳින්ම දැන හුන් දෙයකි. එහෙත් ඔවුන් සතුටු කිරීමට මම එළියට ගියෙමි. තෙත් වූ වැල්ල අප්‍රසන්න ගඳක් ඇතිකළ මුත් එය එතරම් ප්‍රශ්නයක් නොවිණි: වර්ෂාව පතිත වූ අතර එය ඔවුන්ව සතුටට පත් කළේය. ගෙවත්තට ගංවතුර ගැලූ අතර, අඩියක් පමණ උස ජල පහරක් වත්තේ කොන්ක්‍රීට් තාප්ප සෝදමින් ගලා ගියේය. දින දෙකක් පමණ යද්දී වැල්ලේ කොළ පැහැති පැළෑටි මතු වූයේ කාන්තාරය පවා ස්තුතිවන්ත වන්නාක් මෙනි. පසුකළෙක මාද විනෝදය පිණිස වැස්ස වැටෙන විට පිටතට පැන්නේ එය මගේ ජීවිතයේ රටාව සුළුවෙන් හෝ වෙනස් කළ බැවිනි.
වැලි කුණාටුව එවැනි සතුටක් ඇති නොකළේය. කරකැවෙන වේගවත් සුළඟින් කියුණු වැලි අහුරු දමා ගසනු ලැබිණි. අහස දින ගණන් තිස්සේ අදුරු වන්නේය. දුහුවිලි වලාකුළු වැසුණු දොර පියන් හා ජනේල අතරින් සෑම තැනකටම ඇතුලු වී ඇඳුම් පැළඳුම්, සපත්තු සහ කෑමබීම මත වැටේ. භයානක ශබ්දයක් නඟන එය අපහසුතාව හා බිය ඇතිකරයි. ඊට හුරු වන්නට මට කෙදිනක හෝ නොහැකි විය. කුණාටුවෙන් පසු එකතු වූ වැලි නැවතත් කාන්තාරයට තල්ලු කරන උයන්පල්ලාගේ නිරර්ථක වෑයම දෙස මම අක්‍රීයව බලා උන්නෙමි. අප ජීවත්ව සිටියේ මනුෂ්‍ය වාසයකට නුසුදුසු ස්ථානයකය. ප්‍රධාන වරායක් වූ ජිද්දා මුහුදුබඩ නගරයක් වුවද ගල්ගොඩැලි සහිත, පාලනයකින් තොර වූ කාන්තාරය එහි ජීවිතය නොකඩවාම බලහත්කාරයෙන් අත්පත් කරගනිමින් සිටියේය. එහි එකද ගංගාවක් හෝ, මෘදු ස්වාභාවික වෘක්ෂලතාවන් හෝ ඇසට ප්‍රියජනක වර්ණයන් හෝ නොවීය.
සවුදි අරාබියේ කාන්තාරය එක්තරා ආකාරයකින් ලස්සනය: රළ පෙළක් බඳු වැලි කඳු, දීප්තිමත් ආලෝකය සහ පුළුල් සිතිජය මා හට සාගරය සිහිගැන්වූයේය. එහෙත් එය සිතාගන්නටත් බැරි තරම් විශාල, ඒකාකාරී, අතිශයින්ම හිස් තැනක් වූයේය. කාන්තාරයකින් නිර්මිත රාජධානියක් යනු තහනම් කලාපයකි. සවුදි අරාබිය නැමැති පුළුල්, පාළු කාන්තාරයට දහනව වැනි සියවස දක්වාම කිසිදු යුරෝපීයයකු ඇතුලු වී තිබුණේ නැත. ඇතැම්විට එය ලෝකයේ ඇති භෞතික වශයෙන් අප්‍රියජනකම රට විය හැකිය.
7 වැනි පරිච්ඡේදය.
පීතෘමූලිකයා
සමාජයක් වශයෙන් සවුදි අරාබිය, පාපයෙන් අඳුරු වූ තහනම් බැමිවලින් බැඳුනා වූ මධ්‍යකාලීන සමාජයකි. ඉස්ලාමයේ සවුදි අරාබි ස්වරූපය වන වහබ්වාදය බිහිසුණු බලපරාක්‍රමයකින් පෞරාණික සමාජ ක්‍රමයක් ඒ මත ස්ථාපනය කොට තිබේ. මෙය ඉරානයේ හෝ ඊජිප්තුවේ පවතින සංකීර්ණ බුද්ධිමත් සංස්කෘතියට සමාන නැත. මා එහි යන අවධිය වන විට අවුරුදු පනහක්වත් වයස් නොවූ රාජධානිය, එකල පමණක් නොව අද පවා එහි පෞරාණික ගෝත්‍ර සම්ප්‍රදායයන්ට වඩාත් කිට්ටු රාජ්‍යයකි.
පළමුව ඉස්ලාමයටත්, දෙවනුව ගෝත්‍රයටත් පක්ෂපාතී වීම හා යටත්වීම
සවුදි අරාබිය පොහොසත් රටක් විය හැකිය. එහෙත් එහි පමණට වඩා සරල කරන ලද මෙන්ම කුරිරු වූ සමාජ සම්බන්ධතා හේතුවෙන් අරාබි ලෝකයේ වඩාත් අවම ලෙස සංවර්ධනය වූ රාජ්‍යය වීමටද සෑහෙන ඉඩප්‍රස්ථාවක් තිබේ. පවුල්වල නායකයා වන පියාගේ අණට අවනත වීම අනිවාර්යය. සවුදි අරාබිය තුළ ගණන් ගැනෙන වටිනාකම් වන්නේ පළමුව ඉස්ලාමයටත්, දෙවනුව ගෝත්‍රයටත් පක්ෂපාතී වීම හා යටත්වීම පමණය.
අසල්වැසි රටක් වන යේමනයේ උපන්නකු වූ නමුත් යෙස්ලාම්ගේ පියා ෂෙයික් මුහම්මද් බොහෝ ආකාරවලින් සවුදි පීතෘමූලිකයාගේ ආදි ස්වරූපයක් වූයේය. ඔහුගේ පෞරුෂත්වය දැවැන්ත වූ අතර, ඔහුගේ කැමැත්ත නීතිය වූයේය. ෂෙයික් මුහම්මද් 1930 ගණන්වල සවුදි අරාබියට පැමිණි දුප්පත් කම්කරුවෙකි. ඔහුට කියවීමට හෝ ලිවීමට බැරි වුවද, ගණිතය ඔහුගේ මනසෙහි ගින්නක් මෙන් ක්‍රියාත්මක විය. භක්තිමත් හා ගෞරවාන්විත වූවා මෙන්ම කුඩා දේ ගැනද සුපරීක්ෂාකාරී වූ හෙතෙම, සිය සේවකයින් අතර ගෞරවයට පාත්‍ර වූ අතර, වයස අවුරුදු 59 දී ගුවන් යානා අනතුරකින් මියයන විට ෂෙයික් මුහම්මද් සිය සමාගම මැදපෙරදිග තිබෙන විශාලතම ඉදිකිරීම් සමූහ ව්‍යාපාරයක් බවට පත්කොට තිබිණි.
සවුදි රජ පවුල සමඟ ෂෙයික් මුහම්මද්ගේ සබඳතාව, සවුදි අරාබිය යනුවෙන් රටක් බිහිකළ අබ්දුල් අසීස් රජු සිංහාසනාරූඪව සිටි සමය තෙක් පැරණිය. බින් ලාඩන් පවුලේ කථාන්තරයකට අනුව, අසනීපයෙන් සිටි රජු හට සිය මාලිගයක ඉහළ මහලට තරප්පු පෙළ දිගේ නැඟීමට අපහසු වී ඇත. මෙහිදී ෂෙයික් මුහම්මද්ගේ කණ්ඩායම රජුට මෝටර් රථයෙන් කෙළින්ම දෙවැනි තට්ටුවට පැද යාමට හැකිවන සේ විශේෂ මඟක් ඉදිකර දෙනු ලැබීය.
තවත් පවුලේ කථාවක කියැවෙන්නේ, අබ්දුල් අසීස් රජු ගිම්හානය ගතකරන්නට බොහෝවිට තෝරාගත් තායිෆ් නැමැති කඳුකර ප්‍රදේශයට ජිද්දා සිට මාර්ගයක් ඉදිකිරීමට නියමිතව සිටි ඉතාලි සමාගමකට වඩා අඩු ලන්සුවක් ඉදිරිපත් කළ මගේ මාමණ්ඩිය ඒ ව්‍යාපෘතිය දිනාගත් බවයි. කොටළුවකු ඒ ගමන යන මඟ සිතියම්ගත කළ ෂෙයික් මුහම්මද් ඒ මඟ දිගේ පාර ඉදිකළේය.
පිනට දී ඇති ධනස්කන්ධය අනුව යෙස්ලාම්ගේ පියා ත්‍යාගශීලියෙකි. සවුද් රජුගේ රාජ්‍ය කාලයේදී රාජධානියේ මූල්‍ය අපහසුතා මඟහරවාලීමට සිය සාක්කුවෙන් රජයේ සිවිල් සේවකයින්ට වැටුප් ගෙවූ බව මා අසා තිබිණි. තවත් අවස්ථාවකදී, ඉන්දුනීසියාවේ සිට මක්කම වන්දනාවේ පැමිණි දුගී වන්දනාකරුවන් පිරිසකගේ මඟපෙන්වන්නා ඔවුන්ට ආපසු යාමට ගුවන් ටිකට්පත් නොදී, ඔවුන්ගේ මුදල්ද රැගෙන ඔවුන්ව අතරමං කර පැන ගොස් තිබිණි. කලාපයේ ලොකුම ව්‍යාපාරිකයා වූ ෂෙයික් මුහම්මද් වෙත පැමිණි ඔවුහු ඔහුගෙන් වැඩ ඉල්ලා සිටියේ එමඟින් මුදල් උපයාගෙන සිය රට බලා යාමට ගුවන් ටිකට්පත් මිලදී ගන්නටය. ඔහු කෙළින්ම ඔවුන්ට අවශ්‍ය මුදල ලබා දුන්නේය.
ෂෙයික් මුහම්මද් අධිෂ්ඨානශීලී, නිර්භීත කෙනෙකි. බොහොමයක් ධනවත් සවුදීන් මෙන් මිනිස් ශ්‍රමය පිළිකුල් නොකළ ඔහු විශාල අපහසුතා කැමැත්තෙන් විඳ දරාගත් අතර, බොහෝවිට සිය කම්කරු පිරිසත් සමඟ හරි හරියට වැඩ කළේය. සත්‍ය සිදුවීමක්දැයි මා හරියටම නොදන්නේ නමුදු යෙස්ලාම් මා සමඟ වරෙක කීවේ 1950 ගණන්වල ඊජිප්තුව හා යේමනය අතර යුද්ධය පැවැති අවස්ථාවේදී ඊජිප්තු ගුවන් හමුදාවේ ප්‍රහාර මැද ඊට ආසන්න සවුදි අරාබි දේශසීමාවේ ගුවන්තොටුපළක් ඉදිකිරීමට ෂෙයික් මුහම්මද් හා ඔහුගේ පිරිස වැඩකළ බවය.
ජීවිතය මේ අයුරින් මහාපරිමාණ ලෙස විශිෂ්ට වූ අතර, ෂෙයික් මුහම්මද් ඒ විශිෂ්ට බව සිය ගෘහය තුළටම රැගෙන ආවේය. ඉස්ලාමය මිනිසකුට ගැහැනුන් හතරදෙනෙකු හා විවාහ වීමට අවසර දෙන අතර,බොහෝ සවුදීහු ගැහැනුන් එකෙකු හෝ දෙදෙනෙකු – උපරිම වශයෙන් හතරදෙනෙකු ගෙන් සෑහීමකට පත් වෙති. එහෙත් රාජකීය කුමාරවරුන් අතළොස්සක් දෙනෙකු මෙන් ෂෙයික් මුහම්මද් ඔහුගේ බිරින්දෑවරුන් ගණන වැඩි කළේ හිතුමතේ පැරණි විවාහ දික්කසාද කරමින් හා අලුත් බිරින්දෑවරුන් විවාහ කර ගනිමිනි. (ඉස්ලාමයේ දික්කසාදය පිරිමින්ට ඉතාමත් සරල ක්‍රියාවලියකි). ඔහු මියයන අවස්ථාව වන විට බිරින්දෑවරු විසි දෙදෙනෙකු එකතු කරගෙන සිටි අතර, ඉන් විසිඑක් දෙනෙකුම ජීවතුන් අතර සිටියහ. ඔහු මියගිය දින රාත්‍රියේ විසිතුන් වැනි බිරිඳ විවාහ කරගැනීමට සූදානමින් සිටි බව මට අසන්නට ලැබිණි. ඔහු එහි යන අතරමඟදී සිය පෞද්ගලික ගුවන්යානය කාන්තාරයට කඩා වැටුණේය.
ෂෙයික් මුහම්මද් හත්වැනි කිලෝමීටරයේ කිසි දින ජීවත් නොවූයේය. සිය බිරින්දෑවරුන් බොහොමයක් හා දරුවන්ද සමඟ ඔහු ජිද්දා හි පිහිටි විශාල වත්තක විසුවේය. ඔහු රියාද් සහ තවත් තැන්වල එවැනි ස්ථාන ගොඩනඟා තිබුණේය. ඔහුගේ ප්‍රියතම බිරිඳ වූ ඕම් හයිදර් ඔහු සමඟ ජිද්දා හි පිහිටි සුවිසල් මහගෙදර ජීවත් වූ අතර, උස් තාප්පයකින් වටවූ ඔහුගේ වත්ත තුළ විසිරී තිබුණු තවත් කුඩා නිවෙස්වල ජීවත් වූ ඔහුගේ අනෙක් බිරින්දෑවරුන් සමඟ ඔහු සිය සිතැඟි පරිදි මාරුවෙන් මාරුවට රාත්‍රීන් ගතකළේය. බිරින්දෑවරුන් එකිනෙකා අතර වූ සබඳකාවල කිට්ටුවන්ත බව මත ආහාර පිසීම හා දරුවන් බලාකියා ගැනීම සාමූහිකව සිදු විය. දික්කසාද කළ බිරින්දෑවරුන්ට වඩා දැනට විවාහකව සිටින බිරින්දෑවරුන්ට ඉහළ ස්ථානයක් හිමි විය.
ෂෙයික් මුහම්මද්ට දරුවන් පනස් හතරදෙනෙකු විය. දරුවන් සිය ගණනක් සිටින සවුද් රජතුමා සමඟ ඔහුගේ පියා තරගයක යෙදුණේ යැයි කියමින් මම යෙස්ලාම්ට විහිළු කිරීමට පුරුදුව සිටියෙමි. ෂෙයික් මුහම්මද්ගේ සෑම දරුවකුම සදාතනිකව ඔහුගේ යෝධ සෙවනැල්ල යට දිවි ගෙවනු ඇත. ඔවුන්ට ඔහු දැනුණේ ඍජු, ආගමට කැපවුණු, උපමා කථා ලියැවුණු, දුරස්ව හුන් වීරයකු හැටියටය. බාල දරුවන් ඔහු දැක තිබුණේ ඉතාමත් හදිසි අවස්ථාවලය. විටින් විට යෙස්ලාම් හා ඔහුගේ සොහොයුරන් මහගෙදරට ගොස් ඔහුගේ පරීක්ෂාවට ලක් වූහ. යාඥා කළේදැයි ඔවුන්ගේ බියකරු තාත්තා අසනු ඇති අතර, නොඑසේනම් කුරාණය කියන ලෙස ඔවුනට කියනු ඇත. ඉන්පසු ඔහු ඔවුන්ට කාසියකින් හෝ මුදු ලෙස පිටට තට්ටු කිරීමෙන් තෑගි දෙනු ඇත.
පරිවර්තනය – මොහාන් ධර්මරත්න
පසුගිය කොටස්
බින් ලාඩන් ගැහැනියකට නිවසින් පිටත යෑම සෑම විටකම පාහේ ‘හරාම්’ සහ ‘අබේ’ විය. (වට තිර ලූ රාජ්‍යය – 12)
බින් ලාඩන් පවුලේ ගැහැනියක ගිය එකම ප්‍රසිද්ධ ස්ථානය රත්තරන් බඩු වෙළඳපොළ පමණි
වීදි තුනක් දිගට සම්පූර්ණයෙන්ම බින් ලාඩන්වරුන් පමණක් ජීවත් වූ ගම්මානයක් විය (වට තිර ලූ රාජ්‍යය – 08)
‘සවුදීන්ට විදේශිකයකු සමඟ විවාහ වීමට රජතුමාගෙන් අවසර ගත යුතුය’ (වට තිර ලූ රාජ්‍යය – 06)
“සවුදි අරාබියද මා කුඩා කල දුටු ඉරානය බඳු වියහැකි මා මාවම රවටාගෙන තිබුණේය” (වට තිර ලූ රාජ්‍යය – 05)
“යෙස්ලාම් මගේ ජීවිතය සදහටම වෙනස් කරන්නට යන බවක් මට කිසිසේත්ම දැනුණේ නෑ” – (වට තිර ලූ රාජ්‍යය – 04)
“කාමන්, ඔයා හරිම විශේෂ කෙනෙක්. ඒක කවදාවත් අමතක කරන්න එපා.“ (වට තිර ලූ රාජ්‍යය – 03)
“සැප්තැම්බර් එකොළහ උදාවූයේ ලස්සන ඉන්දියානු ගිම්හානයේ දිනයක් ලෙසිනි” (වට තිර ලූ රාජ්ජය – 01)