වීදි තුනක් දිගට සම්පූර්ණයෙන්ම බින් ලාඩන්වරුන් පමණක් ජීවත් වූ ගම්මානයක් විය (වට තිර ලූ රාජ්‍යය – 08)

Share post:

මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ කාමන් බින් ලාඩන්(Carmen Bin Ladin) ගේ The Veiled Kingdom කෘතිය ‘වට තිර ලූ රාජ්ජය’ ලෙස සෑම සදුදා සහ බ්‍රහස්පතින්දා දිනකම කොටස් වශයෙන් පළවේ. අද පළවන්නේ එහි 8 වන කොටසයි.

ඊළඟ දවසේ අමුත්තන් එන්නට පටන් ගත්තේය. මා වෙන්ට-මනාලිය වූ බැවින් මා හට සුබපැතීමට – විශේෂයෙන්ම මා පරීක්ෂා කිරීමට – පවුලේ අය පැමිණිය යුතු වූයේය. සාම්ප්‍රදායික දිගු ඇඳුම් ඇඳගෙන, බරටම ආභරණවලින් සැරසී පැමිණි, ගැහැනුන්ගෙන් පමණක්ම සමන්විත වූ ගංගාවක් නොකඩවා ගලා ආවේය. ඔවුහු දුසිම් ගණනින් පැමිණියෝය. ඔවුන්ගේ අමුතු නම්ගම් මතක තබාගැනීම මට අපහසු විය. එය බොඳවූ අත්දැකීමක් වූයේය. අමුත්තන්ගෙන් වැඩිදෙනෙකු යෙස්ලාම්ගේ ඥාතීන් වූහ. බිරින්දෑවරුන් විසි දෙදෙනෙක්, පුතුන් විසිපස්දෙනෙක් හා විසි නවයක් දූවරුන් යන සිතින් සිතාගත නොහැකි සංකල්පය මගේ ඇස් ඉදිරිපිට යථාර්ථයක් බවට පත්වෙමින් තිබුණේය. එය පිස්සු හැදෙන සිද්ධියකි.

මට ජිනීවාවලදී හමුවී තිබුණ සලෙම්, එකල අවුරුදු තිහක් පමණ වයස් වූ වැඩිමහලුම පුත්‍රයා වූයේය. යෙස්ලාම් දසවැන්නා විය. සොහොයුරියෝ දොරටුවෙන් ඇතුලු වෙද්දී ඔවුන්ගේ වැඩිමහලු අනුපිලිවෙල මා හට කිසිවකුත් කීවේ නැත. එය පැහැදිළිවම වැදගත් කාරණයක් නොවූ බැවින් ඒ ගැන විමසීමට පවා මා කල්පනා නොකළෙමි.

සත්තකින්ම යෙස්ලාම්ගේ පියා, ෂෙයික් මුහම්මද්, ඔහුගේ බිරින්දෑවරුන් සියලුදෙනාම එකවර විවාහ කරගෙන නොසිටියේය. ඔහු සමහරකු දික්කසාද කරමින් තවත් අය විවාහ කරගත්තේය. දික්කසාද කළ හෝ විවාහකව සිටි බිරින්දෑවරුන්ගෙන් බොහෝ දෙනෙකුද ඔවුන්ගේ දරුවන් සමඟ යෙස්ලාම් කුඩා කාලයේ ජිද්දා හි පිහිටි කුලදෙටුවාට අයත් සුවිසල් වත්තේ පදිංචිව උන්හ. එහෙත් ෂෙයික් මුහම්මද් මියයාමට මඳ කලකට පෙර, නගරයෙන් පිටත මක්කම පාරේ කිලෝමීටර හතක් දිගට අලුත් නිවාස ගණනාවක් ඉදිකිරීමට ආරම්භ කරන ලදී. ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ දරුවන්ගෙන් බොහෝ දෙනෙකු සිය මව්වරුන්ද සමඟ ඒවායේ පදිංචියට පැමිණියහ. එය කාන්තාරය අද්දර හුදෙකලා වී තිබුණු, වීදි තුනක් දිගට වෙන් වෙන්ව ඉදිකළ නිවාසවලින් සමන්විත, සම්පූර්ණයෙන්ම බින් ලාඩන්වරුන් පමණක් ජීවත් වූ ගම්මානයක් විය.

පළමු දින කිහිපයේදී අප හත්වැනි කිලෝමීටරය තුළ ජීවත් වුණේ නිදිමත හැදෙන තරම් අක්‍රිය බවකිනි. සාම්ප්‍රදායික ඇඳුම් ඇඳගත් ඉවරයක් නැති ගැහැනු අමුත්තන් සේනාවක් පිළිගැනීම සහ කුඩා කෝප්පවලට වත් කළ කරඳමුංගු රස කෙරූ අරාබි කෝපි පානය කිරීම හැර කළ හැකි අන් කිසිවක් නොවීය. මට දැන් කෝපි බීවා ඇතැයිද, තවත් වත්කිරීම අනවශ්‍ය යැයිද හැඟවීම සඳහා කෝප්පය සොලවා සංඥා කළ යුතුවන බව මා මුලදී දැන නොසිටියෙමි. මගේ මුළු ජීවිතයටම එතරම් කෝපි බී තිබුණේ නැත. අන්තිමේදී මගේ ගැටලුව මා ඕම් යෙස්ලාම්ට පැවසූ විට ඈ මට පැහැදිළි කර දුන්නාය.

පිරිමින්ට පමණක් ඔවුන් කැමැති පරිදි යාම් ඊම් කළ හැකි වූයේය. ගැහැනුන් වන අප නිවාස තුළට සීමා වී සිටිය යුතු වූයේ පිටත පැවැති අධික ලෙස දහඩිය දමන ගිම්හාන ග්‍රීෂ්මය නිසාම නොව, පවුලේ සාමාජිකයින්ට පිටස්තර පිරිමින් අප මුහුණු ආවරණ රහිතව සිටිනු නොදුටුවමනා වූ බැවිනි. වත්තට යාමට පෙර පවා ඒ බව පිරිමි සේවකයින්ට දන්වා ඔවුන්ව ඒ ස්ථානයෙන් ඉවත් කරවිය යුතු වූයේය. අවට කිසිවකු නැතිනම් සාමාන්‍යයෙන් අඳුරු වැටීගෙන එන යාමයේ පෝරණුවක් තරම් රත්වූ පිටත අවකාශයට අපට පය තැබීමට හැකි විය. අප අවට පැතිරී තිබුණු කාන්තාර වැල්ල දෙස බලන විට ඇස් ගිනිකණ වැටුණේ ඇල්පයින් හිම මුදුන් දෙස අව්කණ්ණාඩි රහිතව බැලූ විටෙක මෙනි. මේ ආකාරයට, මගේ නිදහස් විශ්වය සිහින් දිගටි ගස් කිහිපයක් හිටවන ලද පෝරණුවක් බඳු වූ අක්කර එකහමාරකට හැකිළී තිබුණේය.

අප කිසිදු ව්‍යායාමයක් නොකළෙමු. පිටත ඇවිදීම ගැන හිතාගන්නටවත් නොහැකි විය. කොහොමටවත් පිටත යා හැකි කිසිදු තැනක් නොවීය. හෝටල්, ක්‍රීඩාගාර, රංගශාලා, පිහිනුම් තටාක, අවන්හල් වැනි කිසිවක් තිබුණේ නම් ඒවා පිරිමින්ට පමණක්ම විය. අයිස්ක්‍රීම් කඩවල්, උද්‍යාන සහ සාප්පු පවා තහනම් වූයේය: වැදගත් කාන්තාවකට සාප්පු සංචාරයේ යාම කළ නොහැක්කක් තරම් විය. යෙස්ලාම් හැර වෙනත් පිරිමියකුට මගේ මුහුණ දැකිය නොහැකි විය. මා එහි පැමිණීමට පෙර සිටම යෙස්ලාම් මට ඒ පිළිබඳව කියා තිබූ බව ඇත්තකි. එහෙත් එබඳු ජීවිතයක් සත්‍ය ලෙසම ගතකිරීම වෙනස්ම දෙයකි. එව සිදුවිය නොහැක්කකි.

ඕම් යෙස්ලාම්ගේ ජීවිතය ඇගේ ඥාතීන් හැරුණුකොට වෙනත් පිරිමින්ගෙන් සම්පූර්ණයෙන්ම වෙන් කොට තිබිණි. ඇගේ ඉතියෝපියානු රියදුරා කිසි දිනෙක ඈ මුහුණු ආවරණය රහිතව දැක නොතිබුණේය. ඔහු ඇගේ කටහඬ පවා අසා තිබුණේදැයි මා සැක කළෙමි. අවුරුදු දොළහක් පමණ වයසැති ඇගේ තුඩා ඉතියෝපියානු ගෘහ සේවකයා ඇගෙන් ලැබෙන උපදෙස් අනුව රියදුරාට සූදානම්ව සිටිය යුත්තේ කීයටද, යා යුත්තේ කොතැනටද ආදී වශයෙන් පැනවීම සිදුකළේය.

මා තේ කෝප්පයක් වැනි කිසියම් කුඩා දෙයක් වෙනුවෙන් ඔවුන්ගේ සේවිකාවකට පළමු වරට ස්තුති කළ අවස්ථාවේ මගේ නැන්දම්මා සහ යෙස්ලාම්ගේ නැඟනිය ෆවුසියා අතර හුවමාරු වූ පුදුමය සහ නොකැමැත්ත මට තවමත් මතක ඇත. එය පුදුමසහගත වූයේය. එමෙන්ම ඒ තරුණ ගැහැනියගේ පුදුමය සහ ඇගේ මුහුණට නැඟුණු සතුටද මට මතකය. ඉරානයේ මගේ මවගේ පවුලේද ඇති තරම් සේවක සේවිකාවෝ සිටිය බව ඇත්තකි. ස්විට්සර්ලන්තයේ පවා අප නිවසේ ගෘහ පාලිකාවක සිටියාය. එහෙත් මෙය නම් වෙනස් ලෝකයකි. එහි කිසියම් අප්‍රසන්න බවක් තිබුණේය.

ඊළඟට මට නිවෙස් බොහෝ ගණනකට යන්නට යෙදුණු අතර, ඔවුන්ගේ සේවකයින්ට ස්තුති කිරීම මඟින් ඒ ගෙවල්වල ගැහැනුන් පුදුමයට පත් කළෙමි. වහල් සේවය නීතියෙන් තහනම් කළ අවසාන රටවල් කිහිපය අතුරින් සවුදි අරාබියද එකක් බව, තම සේවකයින්ව එසේ පහත්කොට සැලකීම මඟින් අවධාරණය කරනු ලැබිණි. 1962 දී පවා උසස් පවුල්වල වහල් සේවකයින් තබා ගැනීම සාමාන්‍ය දෙයක් විය. ආණ්ඩුව අන්තිමේදී ඔවුන්ට නිදහස ලබා දුන්නේය. අවුරුදු පහළොවකට පසුව වුවද සේවකයින් යනු ස්වාධීන මනුශ්‍යයින් යැයිද, ඔවුන්ගේ සේවයට ස්තුති කිරීමට වටින්නේ යැයිද පුළුල් වශයෙන් පිළිගැනීමට ලක්ව නොතිබිණි.

මේ අමුතු, අලුත් ලෝකයේ සෑම හැසිරීමක්ම ආගන්තුක බවක් පෙන්වීය. මා වටා සිටි මිනිස්සු ගුප්ත වූහ. මා මුහුණු අවරණය පැළඳ සිටියද පිරිමින්ට මගේ මුහුණ දෙස බැලීමට නොහැකි විය. පවුලේ අය මිත්‍රශීලී වුවද මට ඔවුන්ගේ ඇස්වල වූ හැඟීම් කිසිවක් තේරුම්ගත නොහැකි වූයේය. මේ ඒකාකාරී ප්‍රතික්ෂේප කිරීම ඇත්තවශයෙන්ම අති සියුම් වූවක් විය. මා මෝහන නිද්‍රාවකට පත්ව සිටින්නාක් මෙන් දැනෙන්නට පටන් ගත්තේය. එය කිසිසේත්ම ඉරානයට හෝ බීරූට්වලට සමාන තැනක් නොවීය – මුළුමනින්ම එය වෙනස් ලෝකයක් විය. එක් වරකදී බෝහෝ දේ තේරුම් ගැනීමට සිදුවී තිබුණ නමුදු ඒවා ගැන කුමක් සිතිය යුතුදැයි මා දැන නොසිටියෙමි.

අනිවාර්යයෙන් සිදුවීමට නියමිත අපගේ විවාහය ස්විස් තානාපති කාර්යාලයේ ලියාපදිංචි කිරීමට ගිය අවස්ථාවේදී, ඒ රටට පැමිණ දින තුනකට පසුව මට ජිද්දා නගරය දිවා හිරු එළියේ දැකගැනීමට හැකි වූයේය. විවාහයෙන් පසුවද මගේ ජාතිකත්වය එලෙසින්ම තබාගැනීමට අවශ්‍ය බව විවාහ වීමට පෙර මා දැනුම් නොදුන්නේ නම් ම‌ට මගේ ස්විස් ගමන් බලපත්‍රය අහිමි වන්නේය. පසුකලෙක ඒ දිනයට මා බොහෝ වාරයක් ආශීර්වාද කළෙමි. ඒ මා නිවසින් නිදහසක් ලැබූ පළමු අවස්ථාව විය. වාතය කෙතරම් උණුසුම් වී දැයි කිවහොත්, ඝන මුහුණු ආවරණය හරහා හුස්ම ගැනීම බොහෝ අපහසු විය. ඔහු රිය පදවන අතර, මා සම්පූර්ණයෙන්ම ආවරණය වී රථයේ පසුපස ආසනයේ සිටිය යුතු බව මට මතක් කර දීමට යෙස්ලාම්ට සිදුවිය.

ජිද්දා නගරය හරහා රිය ධාවනය වෙද්දී මර්සිඩීස් රථයේ පසුපස අසුනේ අඳුරු කළ වීදුරුව තුළින් පාර දෙපස පෙනෙන වෙනත් සහශ්‍රකයකට අයත් යැයි සිතෙන දර්ශනය දෙස මා ඇස් අයාගෙන බලා සිටියෙමි. ඒ අවධියේ සවුදි අරාබිය එහි සාම්ප්‍රදායික ජීවන ක්‍රමය හා බැඳුණු අන්ත දුගීබවින් ක්‍රම ක්‍රමයෙන් මිදෙමින් සිටියේය. 1930 ගණන්වලදී ඛනිජතෙල් සොයාගැනීමෙන් පසුව මිනිසුන්ගේ දුගීබව මඳක් අඩු වුවද, 1973 දී පනවන ලද ඛනිජතෙල් සම්බාධකය හේතුවෙන් රට තුළට ගලා එන උමතු කරවනසුළු ධන නිධානය ඉදිරියේදී ලැබෙන්නට නියමිතව තිබුණි. මඩ වැකුණු කරත්ත රෝද පාරවල් එකිනෙක හරහා වැටුණු ‘බූරු චතුරශ්‍රය’ වූකලී ජලය පුරවාගත් බැරල් බූරුවන් පිට පටවාගෙන පැමිණෙන වෙළඳුන්ගෙන් ජලය මිලදී ගැනීමට මිනිසුන් පැමිණෙන ස්ථානයයි. නගරයේ වූ අතළොස්සක් තාර පාරවල් උඩින් තාපය රැළි ගසමින් ඉහළ නැඟුණේය. කුඩා දිළිඳු කඩයක් දෙකක් මට දකින්නට ලැබිණි. ගැහැනුන් අන් අයගේ දර්ශනයෙන් ආවරණය කෙරෙමින් ඉහළ නැඟි උස් පවුරුවලින් වට කළ නොපෙණෙන ගෙවල් කෙළවරක් නැති වැලි තලය පුරා විසිරී තිබිණි.

සවුදි අරාබිය මෙතරම් අමුතු ලෙස පෙනෙන්නේ ඇයිදැයි මුලදී මට තේරුම්ගත නොහැකි වූ නමුදු, එක්වරම මට එය අවබෝධ විය: එහි ජනගහනයෙන් අඩක්ම සෑම විටෙකම තාප්පවලින් සිර කරනු ලැබ තිබුණේය. ගැහැනුන්ගෙන් තොරවූ නගරයක් තේරුම්ගැනීම දුෂ්කරය. මා අවතාරයක් යැයි මට දැනුණේය: පිරිමින්ට අයත් වූ මේ ලෝකයේ ගැහැනු නොසිටියහ. එය වියලි මෙන්ම බොහෝවිට වර්ණ රහිත තැනක් විය. තුනී දුහුවිලි ඇතිරිල්ලක් පරිද්දෙන් පාරවල් වසාගෙන පැතිරුණු වැල්ල හැරුණුකොට, මතුවී පෙනුණු එකම වර්ණයන් වූයේ සුදු සහ කලු පමණි – පිරිමින්ගේ සුදු පැහැති තෝබ් කබා සහ කලුම කලු ත්‍රිකෝණාකාර රෙදි පොරවාගත් ගැහැනු ඉතාමත් ස්වල්ප දෙනෙකි. ජිනීවා තිබුණේ අවුරුදු දහසක් ඈතින්ය.

අපගේ සිරගත හැඟීම දුරුකරලීම සඳහා දින කිහිපයකට පසු යෙස්ලාම් අප සමඟ රතු මුහුද වෙත චාරිකාවක් යාමට සූදානම් කළේය. එහෙත් ඒ මුළු අත්දැකීමම විසින්, සවුදි අරාබිය සත්තකින්ම කෙතරම් අමුතු තැනක්ද යන්න අවධාරණය කරනු ලැබුවා පමණය. නාන ඇඳුම් රැගෙන යාමට මගේ නැඟනියන් මෙන්ම මාද අමතක කොට තිබිණි. එබැවින් අපේ බටහිර තාලයට අනුව, කෙල්ලන් වන අප වාද විවාද කළේ අපි සාප්පු සංචාරයේ යන්නේ කොහොමද, කොයි වෙලාවටදැයි කියාය.

එහෙත් ගැහැනුන්ට ප්‍රසිද්ධ ස්ථානවල සාප්පු සංචාරයේ යෙදිය නොහැකි වූ නිසා, ගෘහ සේවක ළමයා රියදුරු තැන කැඳවා අපට නාන ඇඳුම් මිලදීගෙන එන ලෙස දැනුම් දුන්නේය. ඔහු ආපසු පැමිණි විට, සූට්කේස් එකක් පිරෙන්නට වෛවාරණ චාම් තනි කෑල්ලේ නාන ඇඳුම් ගොඩක් ගෘහ සේවක ළමයා අප‌ට ගෙනැවිත් දුන්නේය. ඒ කාලයේ බොහොමයක් සවුදි ගැහැනු ‘ෂොපිං’ යනුවෙන් හැඳින්වූයේ මේ ය. හැම දෙයක්ම සිදුවූ අමුතු ආකාරය නිසා හැඟීම් විරහිත හිරිවැටීමකට පත්ව සිටි අපි, කෙදිනකවත් සාමාන්‍යයෙන් අඳින්නට බලාපොරොත්තු නොවූ ඇඳුම් තෝරා ගත්තෙමු.

අපි වෙරළට යන්නට සූදානමින් සිටියෙමු. ධාර්මික, සාම්ප්‍රදායික මිනිසකු වූ ඕමාර්; රළු පෙනුම ඇති දැඩි මිනිසකු වූ බකර්; සහ, බෙහෙවින් බටහිරකරණය වී – ඇත්තවශයෙන්ම විනෝදකාමී ධනවතකු වී සිට දැන් වඩාත් ආගමට නැඹුරුවීගෙන එන මහ්රූස් යනාදී වූ යෙස්ලාම්ගේ වැඩිමහල් සහෝදරයින් මා පළමු
වරට හමුවනු ඇත්තේය.

පරිවර්තනය – මොහාන් ධර්මරත්න

පසුගිය කොටස්

“සවුදි අරාබියේ ගතකළ පළමු මිනිත්තු කිහිපයේදීම මා නොසැලකිලිමත්කමින් වරද්දාගෙන සිටියෙමි” (වට තිර ලූ රාජ්‍යය – 07)

‘සවුදීන්ට විදේශිකයකු සමඟ විවාහ වීමට රජතුමාගෙන් අවසර ගත යුතුය’ (වට තිර ලූ රාජ්‍යය – 06)

“සවුදි අරාබියද මා කුඩා කල දුටු ඉරානය බඳු වියහැකි මා මාවම රවටාගෙන තිබුණේය” (වට තිර ලූ රාජ්‍යය – 05)

“යෙස්ලාම් මගේ ජීවිතය සදහටම වෙනස් කරන්නට යන බවක් මට කිසිසේත්ම දැනුණේ නෑ” – (වට තිර ලූ රාජ්‍යය – 04)

“කාමන්, ඔයා හරිම විශේෂ කෙනෙක්. ඒක කවදාවත් අමතක කරන්න එපා.“ (වට තිර ලූ රාජ්‍යය – 03)

සවුදියෙන් නිදහස් වීමට මා කළ අරගලයේ තේරුම ඔවුන්ට අවබෝධ වුණේ සැප්තැම්බර් 11 න් පසුවයි (වට තිර ලූ රාජ්‍යය – 02)

“සැප්තැම්බර් එකොළහ උදාවූයේ ලස්සන ඉන්දියානු ගිම්හානයේ දිනයක් ලෙසිනි” (වට තිර ලූ රාජ්ජය – 01)

Related articles

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට රතුපලස මතින් ආරණීය බුලු සුරතලෙකු පැමිණේ !!

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival de Cannes - 2024 ) පෙරේදා දින එනම් ,...

වික්ටෝරියා අවදානමක ද? – ඇවිදින කන්දේ ඛේදවාචකය උමා ඔය සමග ගලපා නොගන්නේ ඇයි ?

මිනිසා තමන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි පරිසරය වෙනස් කරගැනීමේ අවස්ථාවකට හොඳ ම උදාහරණයකි, ගංගා හරස් කර ඉදිකළ වේලි. වේල්ල...

ලෝක කුසලාන සංචිතය – අවසන් කණ්ඩායම් හතරේ සිහිනය ශ්‍රී ලංකාවට දුර නැහැ

ලෝක කුසලාන සංචිතය නිකුත් කළා.සංචිතයට ක්‍රීඩකයන් පහළොවක් සහ අතිරේක ක්‍රීඩකයන් සිව්දෙනෙක් ඇතුලත්.වාර්තා වන අන්දමට නිකුත් වුණේ තේරීම් කමිටුව...

ශ්‍රී ලංකාව, අමුල් සහ ඉන්දියාව

එළඹෙන T20 ලෝක කුසලානයට එක් වන කණ්ඩායම් වල ප්‍රධාන අනුග්‍රාහකයන් ප්‍රසිද්ධ කළා.මේ අනුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන...