සවුදි ගැහැනු ඉවසා දරාගෙන සිටිය යුතු වේදනාවලට කෙළවරක් නැතිද? (වට තිර ලූ රාජ්‍යය – 19)

Share post:

මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ කාමන් බින් ලාඩන්(Carmen Bin Ladin) ගේ The Veiled Kingdom කෘතිය ‘වට තිර ලූ රාජ්ජය’ ලෙස සෑම සදුදා සහ බ්‍රහස්පතින්දා දිනකම කොටස් වශයෙන් පළවේ. අද පළවන්නේ එහි 19 වන කොටසයි.

එපරිද්දෙන් සවුදි අරාබිය භෞතික දෘෂ්ටිකෝණයෙන් බලන කල බෙහෙවින් වෙනස් වී තිබුණේය. මා එහි ජීවත්ව සිටි මුල් අවුරුදු පහ හය තුළ සවුදි අරාබිය දියුණු වූ තරම් වේගයෙන් ලොව අන් කිසිදු රටක් සංවර්ධනය වී නැත. ශතවර්ෂ බාගයයකට එපිටදී මිනිස්සු රාත්‍රී කාලයට නිදාගැනීමට අවශ්‍ය තරම් සිසිලස ලබාගන්නට තෙත රෙදිවලින් තම ශරීරය ආවරණය කරගත්හ; එහෙත් දැන් සෑම තැනකම වායුසමීකරණ යන්ත්‍ර තිබේ. වාහන වෙළඳසැල් බැලූ බැලූ අතය: ඉන් සමහරක, අලුත් ටොයෝටා වාහනයක වටිනාකමින් කොටසක් සඳහා ඔටුවන් හුවමාරු කළ හැකිය.

පෙට්‍රල් ඩොලර්වලින් නැහැවී සිටි සවුදීන්ට ඇති තරම් වියදම් කරගන්නට අවස්ථාවක් නොතිබූ බව පෙනී ගියේය. කාර්ය මණ්ඩලය ගැහැනුන්ගෙන් පමණක් සමන්විත වූ මුල්ම විලාසිතා වෙළඳසැල් විවෘත වන්නට විය. ඒවායේදී ඔබට මුහුණු ආවරණය ඉවත් කර ඇඳුම් දෙස බලන්නටත්, අවශ්‍ය නම් ලෝගුව සම්පූර්ණයෙන් ඉවත් කර ඇඳුම් ඇඟලා බලන්නටත් අවස්ථාව හිමි විය. ගැහැනු උමතුවෙන් මෙන් සාප්පු සංචාරවල කිමිදී ගියෝය. තරුණ කාන්තාවෝ දැන් සිය ආවරණ රෙදිවලට යටින් සිනමා තාරකාවන් සේ හැඩවැඩ වී සිටියේ නවීනතම යුරෝපීය විලාසිතාවන් රැගත් ඇඳුම්වලින් සැරසෙමිනි. කෙසේ වුවද කොණ්ඩා මෝස්තර ශිල්පීහු තවමත් නිවාස කරා පැමිණියහ. කොණ්ඩය යනු සාමාන්‍ය කටයුතුවලින් මානසිකව බැහැරවීම සඳහා යොදාගත් ප්‍රධානතම උපක්‍රමයක් වූ අතර, සඟවාගෙන සිට ස්වාමිපුරුෂයා ඉදිරියේදී පමණක් ශෘංගාරාත්මකව නිරාවරණය කරනු ලැබූවකි. පිරිමින්ගේ ලෝකයෙන් මුළුමනින්ම ආවරණය කරනු ලැබූ ජීවිතයක් අපි ගතකරමින් සිටියෙමු.

ඉලෙක්ට්‍රොනික උපකරණ සහ මිල අධික ස්නීකර් සපත්තු වැනි නවීන ලෝකයේ භාණ්ඩවලින් කඩ සාප්පු පිරී ගියේය. හිටි අඩියේම සේෆ්වේ සුපිරි වෙළඳසැලක් නගරයේ කඩසාප්පු පිහිටි ප්‍රදේශයේ විවෘත වූ අතර, එහි සාප්පු සංචාරයේ යෑම මහත් ආශ්වාදජනක සිද්ධියක් වූයේය. අනෙක් ගැහැනු නිතරම මිතුරියන් හෝ අඩුම වශයෙන් සේවිකාවක හෝ කැටුව ගිය මුත්, රියදුරා සමඟ පිටත යාමට නිර්භීත වූ එකම බින් ලාඩන් ගැහැනිය මම වූයෙමි. එය සමාජශීලී අවස්ථාවක් විය. ඉඳහිට සැමියකු හා බිරිඳක පවා එකට සාප්පු සංචාරයේ යන හැටි දකින්නට හැකි වුණි. දැන් ඕනෑම නවීන නිශ්පාදනයක් මිලට ගතහැකි වනු ඇතිවා පමණක් නොව, අප එය කළෙමු. අපි ජෙලෝ, කැම්බල්ස් සබන්, ස්විස් චීස් හා චොක්ලට් ට්‍රොලි ගණන් පටවාගෙන ආවෙමු. බේකරියේ සාදන පාන්වල ගුල්ලෝ වැහි වැහැලා සිටිය බැවින්, පාන් හදන්නට ඉගෙනගන්නා ලෙස මම අපේ කෝකියාට කීවෙමි. එහෙත් දැන් අපට අන්නාසි කෑලි සහිත පාන් සමඟ සැබෑ කිරි ලැබුණේය. ඉන් ජනිත වූයේ සාර්ථකත්වයේ රසයකි.

ඒ වනවිට මා මගේ කරදරකාරී අබායාවට පුරුදු වී සිටි නමුදු ඉඳහිට එය මා විපතෙහි හෙලුවේය. දිනක් මා රියදුරු අබ්දූ සමඟ සාප්පු සංචාරයේ යෙදී සිටින අතර කලුපාට රෙදි ලෝගුවේ පය පැටලී බිම ඇද වැටුණෙමි. මා පඩිපෙළේ පහලට පෙරළී එන අතර ලෝගුව මා වටා හොඳින් එතුණේය. මම මමියක් මෙන් හිරවී නැඟිටගත නොහැකිව සිටියෙමි. හිස මඳක් එසවූ මට දැකගත හැකි වූයේ අපහසුතාවට පත්ව හුන් අබ්දූගේ සිනාමුසු මුහුණය. මට උදව් කිරීමට ඉදිරිපත් වන්නට තරම් නිර්භීතකමක් ඔහුට නොතිබිණි. මමද සිනාසුණෙමි. උද්ගතවී තිබුණු හාස්‍යජනක අවස්ථාව තේරුම්ගත් මා අපහසුතා මැද කෙසේ හෝ දෙපයින් සිටගත්තෙමි.

සේෆ්වේ යනු ආරම්භයක් පමණක් වූ අතර, මගේ නෑනලාද නිවෙස් නැවත අලංකරණය කරන්නට පටන් ගත්හ. එහෙත් ඔවුන්ගේ ගෘහභාණ්ඩ වූකලී පමණට වඩා විශාල වූත්, සාටෝප වූත්, මා ඉතා සුපරීක්ෂාවෙන් තෝරාගත් ගෘහභාණ්ඩවල භයානක අනුකරණයන් විය. ෆවුසියාගේ ගෙදර හැම දෙයක්ම දීප්තිමත් හා දිළිසෙන දේවල් වූ අතර, ඒවා එකිනෙක අතර ගැලපීමක් නොමැති විය. ඇය ප්ලාස්ටික් මල් තබාගෙන සිටියාය. නාන කාමරයේ පයිප්ප කර්මාන්තය පිටතට පෙනුණු අතර, එහි නිමාව වැදගැම්මකට නැති විය. මගේ නිවාස අලංකරණය ගැන ෆවුසියා හෝ අනෙක් අය ප්‍රශංසාමුඛයෙන් කිසිවක් නොකීවේ මා ඔවුන්ගේ වර්ණනාවට පාත්‍ර වීමට තරම් නොවේයැයි ඔවුන් සිතා සිටි බැවිනි. ඔවුහු මගෙන් කොපි කර, මටත් වඩා ඉහළින් වැජඹුණෝය. ඒ හැමෙකකින්ම ගම්‍ය වූයේ එක් දෙයකි: ඔවුහු සවුදීහුය, මා එසේ නොවේ.
කෑදර ලෙස පොත්පත් කියවීමෙහි යෙදුණු මා සතුව ටිකෙන් ටික පුස්තකාලයක් ගොඩනැඟෙන්නට වූයේය. මම පොත්පත් තොග පිටින් ජිනීවාවලින් ගෙන්වා ගත්තෙමි. බියජනක රේගු නිලධාරීහු තහනම් සාහිත්‍යය තිබේදැයි බලන්නට බින් ලාඩන්වරුන්ගේ බඩු පෙට්ටි ඇවිස්සීමට තරම් නිර්භීත වූවෝ නොවූහ.‍ මම දේශපාලනය, ආර්ථික විද්‍යාව, චරිතාපදාන, දර්ශනවාද ආදී වූ මට සොයාගත හැකි සෑම අභියෝගාත්මක පොතක්ම කියවූයෙමි. තවමත් ඊජිප්තුවේ සහ අප්‍රිකාවේ සුලභව සිදුකෙරෙන ස්ත්‍රී චර්මඡේදනය නැමැති දැරියන්ගේ ලිංගික සුන්නත්කිරීමේ බියජනක සිරිත සම්බන්ධයෙන් සඟරාවක තිබුණු ලිපියක් එක්තරා අවස්ථාවකදී මට කියවන්නට ලැබුණි.

ඕම් යෙස්ලාම් මුළුතැන්ගෙයි සිටියාය. කියවන්නට ලැබුණු දෙයින් මා කෙතරම් කලබලයට පත්ව සිටියේදැයි කිවහොත්, කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මා ඒ ගැන ඈට කියා දැමුවෙමි. මා සිතන්නේ මා ඇගෙන් යම් සහනදායී වදනක් බලාපොරොත්තු වන්නට ඇතැයි කියාය. එහෙත් මට ලැබුණු ප්‍රතිචාරය මා කිසිසේත්ම බලාපොරොත්තු නොවූවකි. “ඔයා දන්නවද, ඒක එච්චර බයානක දෙයක් නෙමේ. ඊජිප්තු ගෑනියෙක් එනව, පුංචිම පුංචි කැපුමක් දානව. පොඩි කෙල්ලකට ඕක ඒතරම් රිදෙන දෙයක් නෙමේ,” යැයි ඈ සිනා පාමින් කීවාය.

ඕම් යෙස්ලාම් එසේ ම්ලේච්ඡ ලෙස සුන්නත් කරනු ලැබූ ගැහැනියක්ද? ෆවුසියා? ෂෙයික් මුහම්මද්ගේ වැඩිමහල් දියණිය ආයිෂා? මේ පවුලේ බිරින්දෑවරුන් හා දියණියන් කී දෙනෙකුගේ රහස් මල්ලට මේ අධ්‍යාත්මික හා ශාරීරික කැළලත් එකතු වී ඇත්ද? සවුදි ගැහැනු ඉවසා දරාගෙන සිටිය යුතු වේදනාවලට කෙළවරක් නැතිද? මම මගේ දියණියන් වෙතට දිවගොස් ඔවුන් තුරුළු කරගෙන බොහෝ වේලාවක් සිටියෙමි. ඔවුහු මගේ අංගසම්පූර්ණ දැරියන්ය.

අප වඩාත් සමාජශීලී වත්ම, සමාජ සංවර්ධනය ආරම්භ වී තිබෙන බව ටිකෙන් ටික මට අවබෝධ වන්නට වූයේය. වඩාත් තරුණ මෙන්ම නවීන සවුදීහු ඔවුන්ගේ දැඩි සාම්ප්‍රදායික සිරිත් විරිත් අනුගමනය කිරීමේදී ලිහිල් බවක් පළකරන්නට වූහ. ගැහැනු වැඩි වැඩියෙන් මුහුණු ආවරණය ප්‍රතික්ෂේප කරන්නට වූහ. අබායාව ඇඳගෙන සිටිය යුතුව තිබුණු මුත්, කාන්තාවෝ සුපිරි වෙළඳ සංකීර්ණ තුළ මෙන්ම කලාතුරකින් මහමඟ පවා ඔවුන්ගේ ත්‍රිකෝණාකාරව පිටතට පෙනෙන මුහුණ නිරාවරණය කරගෙන ගමන් කළහ. ඕම් යෙස්ලාම් පවා ඇගේ රියදුරා ඉදිරිපිට මුහුණු ආවරණය නොමැතිව සිටින්නට පටන් ගත්තාය. එපමණක් නොව, ඈ ඔහුට ඍජුව කතා කිරීමද ආරම්භ කළාය.

මේ අතර, මගේ නිවස තුළ මාගේ ප්‍රකෘති ස්වභාවයෙන්ම ජීවත් වන්නෙමැයි මම ශපථ කළෙමි. පිටත ජීවිතය සාමාන්‍ය තත්වයෙන් බොහෝ දුරස් වූ නමුදු, මගේ නිවස මට උවමනා පරිදි මෙහෙයවිය යුතු වූයේය. එය මට ආරක්ෂක ස්ථානයක්, ක්ෂේම භූමියක් විය යුතුය. විවිධ අවස්ථාවලදී සේවකයින්ද මා මෙන්ම මනුශ්‍යයන් හැටියට මා දුටුවා පමණක් නොව, මම ඔවුන්ව හඳුනාගන්නටද උත්සාහ කළෙමි. සේවකයින් මා ප්‍රිය කළ බව මම දැන සිටියෙමි. මා ඔවුන්ට ආචාරශීලී වූ අතර, අනෙක් ගැහැනුන් මෙන් බුරමින් වැඩ පැවරුවේ නැත. මගේ දරුවෝ ඔවුන්ට, ‘කරුණාකර’, ‘ඔබට ස්තුතියි’ යන වදන් භාවිත කළහ. සමහර අවස්ථාවල මා ඔවුන්ට බලකිරීම් කළ නමුත් කිසිවිටෙක නිග්‍රහ කර නැත. මෙය බෙහෙවින් අසාමාන්‍ය දෙයක් වූ අතර, බොහෝ කතාබහට ලක් විය. බින් ලාඩන්වරු ඔවුන්‌ගේ සේවකයින් දෙස බැලුවේ භාණ්ඩ හැටියටය – එක්කෝ ඒවා හරිහැටි ක්‍රියාත්මක විය, නැතහොත් ඒවා වැඩකට නැති බඩුය.

වරෙක එක් වැලිකුණාටුවකට පසුව, අපගේ නිවස පිටත කිරිගරුඬෙන් සකස් කළ පොළව පිරිසිදු කරන්නැයි වැඩිමහලු පුද්ගලයකු වූ පාකිස්ථාන ජාතික දොරටුපාලකයාට පවසා සිටියෙමි. ඔහු මවිසින් අලුතෙන් මිලදී ගත් මොප් පිස්නය ගෙන තෙමා, එය වෘතාකාර ලෙස බිම උලන්නට පටන් ගත්තේය. එහි ප්‍රතිඵලය වූයේ මඩ සහිත කවාකාර පැල්ලම් ඇතිවීමය. මා නැවත නැවතත් එය කළයුතු ආකාරය කියා සිටියද ප්‍රතිඵලය එයම වූයේය. එහිදී මා ඔහුට කෑගැසූ බව පිළිගත යුතුය. මා සිටියේ බලවත් කෝපයෙනි. මේ සරල කාර්යය පිළිබඳව ඔහුට නොවැටහෙන දෙය හරියටම මොකක්දැයි කියන ලෙස මම ඔහුගෙන් විමසුවෙමි. එහෙත් මා එතෙකින් නතර වූයෙමි. මොප් කිරීම ගැන මේ දුප්පත් මිනිසා දන්නේ කුමක්ද? සිය ජීවිතයෙන් වැඩි කොටසක් ඔහු ගතකර තිබෙන්නේ තලන ලද මැටි පොළවක් මතය. එබැවින්, කැන්වස් සපත්තු ගලවා දැමූ මම කලිසම් කකුල් ඉහළට නමාගනිමින්, රේඛීය මාර්ගයක මොප් කරන ආකාරය ඔහුට පෙන්වා දෙන්නට පටන් ගත්තෙමි. හරියටම ඒ මොහොතේදී යෙස්ලාම් එතැනට පැමිණියේය. “මොනවද තමුසේ මේ කරන්නේ?” යි කෝපාවිෂ්ට වූ ඔහු මට කෑගැසුවේය. මම වේගයෙන් ඇතුළට දිවගියෙමි. මගේ ඇස්වටය අසල ප්‍රදේශය වෙනත් පිරිමියකුට පෙනෙන සේ සිටීම සහ ගෙබිම මොප් කිරීම යන දෙකෙන් කුමක් වඩාත් නරක වීදැයි මම දැන නොසිටියෙමි. ඒ එකක්වත් බින් ලාඩන් ගැහැනියක විසින් නොකළයුතු වන්නේය.
ඒ සිද්ධිය තරමක විනෝදජනක එකක් යැයි සිතුණද, වෙනත් එවැනි අවස්ථාවල මා හැසිරුණේ ඊට වඩා අඩු සාමකාමීත්වයකිනි. දිනක් යෙස්ලාම්ගේ යේමන ජාතික රියදුරා අපගේ නිවස ඉදිරිපිට පරිශ්‍රයේ වාහනය නවතා එහි එන්ජිම ක්‍රියාත්මක කර තබා තිබුණේය. මීටර කිහිපයක් දුර තියා මට එන්ජිමේ රස්නය දැනුණු අතර, කර ගඳක්ද දැනුණේය. “එන්ජිම නවත්තන්න. ඒක පිච්චෙන්න යනවා,” යි මම කීවෙමි. එහෙත් යෙස්ලාම්ගේ රියදුරා එය ගණන්ගත්තේ නැත. “ෂෙයික් යෙස්ලාම් වෙනුවෙන් මම එයාර් කන්ඩිෂන් එක තියාගෙන ඉන්න ඕන,” යැයි ඔහු කීවේය. මා එය නවත්වන ලෙස අවධාරණය කළ විට, “මම ගෑනුන්ගෙ ඕඩර්ස් වලට වැඩකරන්නෙ නැහැ,” යි ඔහු උත්තර දුන්නේය. එය දැඩි නිග්‍රහයක් වූ අතරම, වාහනය තිබුණේ ගිනිගැනීමට ආසන්න තත්වයකය! “මෙතන ෂෙයික් යෙස්ලාම් නැති වෙලාවට මමයි ප්‍රධානියා!” යනුවෙන් මම ඔහුට කෑගැසුවෙමි. පාරෙන් එහාපැත්තේ ගෙදර සිටි බකර්ට මේ කෝලාහලය ඇසී එතැනට ආවේය. රියදුරා ක්ෂණිකව එන්ජිම නතර කළ බව නොකිවමනාය.

ජීවිතය ගලාගෙන ගියේය. අපි ටෙනිස් පිටියක් සකස් කළෙමු. මට ව්‍යායාමයක් අත්‍යවශ්‍ය වී තිබිණි. ලොස් ඇන්ජලීස් හි සිටියදී යෙස්ලාම් එම ක්‍රීඩාව ඉගෙනගෙන තිබූ අතර, මම ටෙනිස් පිති දුසිම් ගණනක් සහ සෑම ප්‍රමාණයකම ටෙනිස් සපත්තු ඇනවුම් කළෙමි. බ්‍රහස්පතින්දා රාත්‍රීන් වල ටෙනිස් සාදයන්ට සහභාගී වන ලෙස අපි අන් අයට ඇරයුම් කරන්නට පටන් ගත්තෙමු. මෙය සාමාන්‍ය ජීවිතයක් ගතකිරීම වෙනුවෙන් දරණ ලද තවත් වෑයමකි. මා සාමාන්‍ය ඇඳුමින් සැරසී සිටි අතර, අපි අමුත්තන්ට ඇමරිකාවේදී මෙන් පලහන ලද ගවමස් සර්ලොයින් ස්ටේක් සමඟ බීර පිළිගැන්වූයෙමු. ඇල්කොහොල් තහනම් ද්‍රව්‍යයක් වූ බැවින් එය කලුකඩයෙන් මිලදී ගැනීම කපටිකමින් කලයුත්තක් විය. තානාපති කාර්යාලවල සේවය කළ අය තානාපති මුද්‍රව යටතේ ඒවා රැගෙන ආ අතර, රියදුරන්ද වෙනමම රහසිගත වෙළඳාමක් පවත්වාගෙන ගියහ. මගේ රියදුරු අබ්දූ අප්‍රිකානු තානාපති කාර්යාලයක රියදුරන්ගෙන් බීර මිලදී ගත්තේය. අපට ආරක්ෂාව තිබිණි: ආගමික පොලිසිය කුමාරවරුන්ගේ හා බින් ලාඩන්ලාගේ නිවෙස් සෝදිසි කිරීමට නිර්භීත නොවූහ.

පරිවර්තනය – මොහාන් ධර්මරත්න

පසුගිය කොටස්

සවුදි ගැහැනුන් හැටියට මගේ දියණියන්ගේ ඉරණම කුමක් වේද?(වට තිර ලූ රාජ්‍යය – 18)

අවසානයේදී අප හැමට සවුදි අරාබියෙන් ගැලවීයාමට අවශ්‍ය වූ ශක්තිය ලබා දුන්නේ, ‘නජියා’ (වට තිර ලූ රාජ්‍යය – 17)

සවුදි අරාබියේ හොඳම රෝහල් වළ රාජකීය පවුල් සඳහා වෙන්වූ කාමර, බින් ලාඩන් පවුලටද අවසර තිබිණි (වට තිර ලූ රාජ්‍යය – 16)

මක්කම සහ මදීනා නගරයේ ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමේ පරම අයිතිය හිමිව තිබුනේ බින් ලාඩන් සමාගමට (වට තිර ලූ රාජ්‍යය – 15)

“ස්වාමිපුරුෂයාට බිය නැති සවුදි කාන්තාවක් මට හමුවී නැති තරම්ය” (වට තිර ලූ රාජ්‍යය – 14)

බින් ලාඩන්ගෙ පියා අවුරුදු 59 දී මියයනවා, එදා රාත්‍රියේ දී විසිතුන් වැනි බිරිඳ විවාහ කරගැනීමට සූදානමින් සිටියා (වට තිර ලූ රාජ්‍යය – 13)

බින් ලාඩන් ගැහැනියකට නිවසින් පිටත යෑම සෑම විටකම පාහේ ‘හරාම්’ සහ ‘අබේ’ විය. (වට තිර ලූ රාජ්‍යය – 12)

“දුවගේ උපත යෙස්ලාම්ගේ බලාපොරොත්තු කඩවීමක් වුවත්, මට දැනුණේ වෆා ආශ්චර්යයක් ලෙසිනි” (වට තිර ලූ රාජ්‍යය – 11)

“අබායාව ගුලිකර වීසිකර දැමුවෙමි. අපේ නව ඇමරිකානු ස්වාධීනත්වය යළිදු අප වසාගත්තේය”(වට තිර ලූ රාජ්‍යය – 10)

බින් ලාඩන් පවුලේ ගැහැනියක ගිය එකම ප්‍රසිද්ධ ස්ථානය රත්තරන් බඩු වෙළඳපොළ පමණි

වීදි තුනක් දිගට සම්පූර්ණයෙන්ම බින් ලාඩන්වරුන් පමණක් ජීවත් වූ ගම්මානයක් විය (වට තිර ලූ රාජ්‍යය – 08)

“සවුදි අරාබියේ ගතකළ පළමු මිනිත්තු කිහිපයේදීම මා නොසැලකිලිමත්කමින් වරද්දාගෙන සිටියෙමි” (වට තිර ලූ රාජ්‍යය – 07)

‘සවුදීන්ට විදේශිකයකු සමඟ විවාහ වීමට රජතුමාගෙන් අවසර ගත යුතුය’ (වට තිර ලූ රාජ්‍යය – 06)

“සවුදි අරාබියද මා කුඩා කල දුටු ඉරානය බඳු වියහැකි මා මාවම රවටාගෙන තිබුණේය” (වට තිර ලූ රාජ්‍යය – 05)

“යෙස්ලාම් මගේ ජීවිතය සදහටම වෙනස් කරන්නට යන බවක් මට කිසිසේත්ම දැනුණේ නෑ” – (වට තිර ලූ රාජ්‍යය – 04)

“කාමන්, ඔයා හරිම විශේෂ කෙනෙක්. ඒක කවදාවත් අමතක කරන්න එපා.“ (වට තිර ලූ රාජ්‍යය – 03)

සවුදියෙන් නිදහස් වීමට මා කළ අරගලයේ තේරුම ඔවුන්ට අවබෝධ වුණේ සැප්තැම්බර් 11 න් පසුවයි (වට තිර ලූ රාජ්‍යය – 02)

“සැප්තැම්බර් එකොළහ උදාවූයේ ලස්සන ඉන්දියානු ගිම්හානයේ දිනයක් ලෙසිනි” (වට තිර ලූ රාජ්ජය – 01)

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...