“දුවගේ උපත යෙස්ලාම්ගේ බලාපොරොත්තු කඩවීමක් වුවත්, මට දැනුණේ වෆා ආශ්චර්යයක් ලෙසිනි” (වට තිර ලූ රාජ්‍යය – 11)

Share post:

මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ කාමන් බින් ලාඩන්(Carmen Bin Ladin) ගේ The Veiled Kingdom කෘතිය ‘වට තිර ලූ රාජ්ජය’ ලෙස සෑම සදුදා සහ බ්‍රහස්පතින්දා දිනකම කොටස් වශයෙන් පළවේ. අද පළවන්නේ එහි 11 වන කොටසයි.

ඇරිසෝනා සිට මේරි මාර්තාගේ දෙමාපියන් පැමිණි කල අපි නිතරම ඔවුන් බැලීමට ගියෙමු. ඇගේ පියා, ලෙස් බාර්ක්ලේ සතුව විශාල කෘෂිකාර්මික අයිස්බර්ග් ලෙටූස් වගා ව්‍යාපාරයක් තිබුණි. ඔහුට විශාල ‘ජෝන් වේන්’ ( John Wayne (1907-1979) ඇමරිකානු නළුවෙකි, චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකි, නිශ්පාදකයෙකි. අඩි 6 අඟල් 3 ¾ ක් උසය ) පන්නයේ සිරුරක් තිබූ අතර, ඇගේ මව ප්‍රසන්න වූත්, නුවණැති වූත්, ගරුත්වය පිළිබඳ ගැඹුරින් සිතන ශක්තිමත් රිපබ්ලිකන් පාක්ෂික කාන්තාවක වූවාය. අපි ඇමරිකානු දේශපාලනය හා ඇමරිකානු ව්‍යවස්ථාව ගැන මෙන්ම පවුල ගැන කතා කළෙමු. අපි එක්ව රීඩර්ස් ඩයිජස්ට් සඟරාවේ තිබෙන වාග්මාලා පරීක්ෂණ කෙරුවෙමු. ඈට එය අවධානය වෙනස්කිරීමක් වූ අතර, මට නම් එය අත්‍යවශ්‍ය පුහුණු කටයුත්තක් වූයේය.

මේරි මාර්තාගේ පවුලේ සාමාජිකයින් අතර එකිනෙකා කෙරෙහි මහත් වූ සෙනෙහසක් මෙන්ම අන්‍යොන්‍ය ගෞරවයක් තිබුණු අතර, එය මට අලුත් දෙයක් විය. මගේ අම්මාගේ නිවසේ හැදී වැඩෙන කාලයේ මා ප්‍රශ්න නැඟීමෙන් තොරව වැඩිහිටියන්ට කීකරු වීමට පුරුදුව සිටියෙමි. ඒ අන් කිසිවක් නිසා නොව ඔවුන් වැඩිමහල්ලන් වීම නිසාය. වයසට සහ බලාධිකාරයට මම නිරායාසයෙන්ම ගෞරවය සහ අවනතභාවය දැක්වූයෙමි. එහෙත් මේරි මාර්තාගේ පවුල තුළ සෑම සාමාජිකයකුම ගැඹුරින් පිළිගනු ලැබිණි. ඔවුහු බොහෝ ආචාරශීලී වූ අතරම, තම අදහස් උදහස් කියාපෑමට ඔවුනට නිදහස තිබිණි – එකඟ නොවීමේ හැකියාව ඔවුනට තිබිණි.

බාර්ක්ලේවරුන් සමඟ ගතකළ කාලය උණුසුම් මෙන්ම ආදරබර අත්දැකිමක් වූයේය. ඒ පවුලේ සෑම කෙනෙකුටම වයස් බේදයකින් තොරව ගරු කරනු ලැබිණි. ළමයක්ගේ අදහසකට පවා සවන් දී පරෙස්සමින් ඊට කෘතඥතාව පළකරනු ලැබීය. ඔවුන්ගේ ආචාරශීලීබව යාන්ත්‍රික එකක් නොවූ අතර, එය සිතාමතා සිදුකළ දෙයක් විය. පසුකලෙක සවුදි අරාබියට යන විට මා රැගෙන ගිය දැක්ම වූයේ මෙයයි. මා මගේ දියණියන්ව මෙබඳු ජීවගුණයකින් යුතුව හදා වඩා ගැනීමට මහන්සි ගත්තෙමි. මේ අලුත්, නිදහස් ඇමරිකානු සංස්කෘතියේ වටිනාකම් කෙරෙහි මම දිනෙන් දින වඩාත් ශක්තිමත් ලෙස බැඳුනෙමි.
1975 වර්ෂයේ මාර්තු මස එක් උදෑසනක යෙස්ලාම් මා කීද්දුවේ ෆයිසාල් රජු ඔහුගේම බෑණා කෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලද ආරංචියද සමඟිනි. සවුදි අරාබිය කැළඹී තිබිණි. ඝාතකයා උම්මත්තකයකු බව කියන ලද නමුදු බොහෝවිට එය පළිගැනීමේ ඝාතනයක් විය හැකිය. රාජධානිය තුළ රූපවාහිනී පාවිච්චිය සඳහා අවසර දීමට රජු ගත් තීරණයට විරුද්ධව අවුරුදු දහයකට පෙර සිදුවූ මූලධර්මවාදී කැරැල්ලකට සහභාගී වීම නිසා ඝාතකයාගේ සොහොයුරා මරණීය දණ්ඩනයට පත්කරන ලද බව යෙස්ලාම් කීවේය.

ඔහු තුළ වූ සන්ත්‍රාසයත් හදිසියත් මට දැනිණි. සිය රටට ආපසු ගොස් පවුලේ ව්‍යාපාර කටයුතුවලට අතහිත දීමට ඔහුට ඇතිවූ හැඟීම කෙමෙන් වර්ධනය විය. වේලාසනින් උපාධිය ලබාගැනීම සඳහා ඔහු අධ්‍යයන කටයුතු වේගවත් කළේය. මගේ ජීවිතයේ වඩාත්ම භාරදූර සිදුවීම වූත්, මා සදහටම වෙනස් කළා වූත්, මගේ දරුවාගේ උපත මේ අතර සිදුවිය. මේරි මාර්තා මා සමඟ සිටියාය. (ලේ කැටි සහිත එම සිද්ධිය බලා සිටීමට යෙස්ලාම්ට නොහැකි වනු ඇතැයි මට හැඟිනි). දරුවා ගැහැනු ළමයෙකි.

ඒ බව ඇසූ යෙස්ලාම් යන්නට ගිය බැව් මා හට පසුකලෙක අසන්නට ලැබුණේය. ඔහු සිය විලුඹ මත කරකැවී ඉවත හැරී රෝහලෙන් පිටවිය. එහෙත් ඒ මොහොතේ මා අධික ලෙස තෙහෙට්ටු වී සිටියෙමි. ඔවුහු මා කාමරයකට ඇතුළුකොට දරුවා මා වෙත රැගෙන ආ කල යෙස්ලාම් එතැන සිටින බව මා දුටුවෙමි. තරමක් බලාපොරොත්තු කඩවීමක සිටියද, ඊට ඔහු හුරුවනු ඇතැයි මම සිතුවෙමි.

නමක් සොයාගැනීමට අපට සිදුවී තිබිණ. පිරිමි දරුවකු සඳහා ෆයිසාල් යන නම අප තෝරාගෙන සිටිය මුත්, ගැහැනු දරුවකු වෙනුවෙන් නමක් තෝරාගැනීමට අප උත්සුක වී තිබුණේ නැත. යෙස්ලාම් ඈට ‘භක්තිමත්’ යන තේරුම ඇති වෆා යන නම තෝරාගත්තේය.

කෙල්ලක ලැබීම මට මහත් පුදුමයක් වූයේය. ඈ තවත් කෙතරම් අපූරු පුදුමයක් බවට පත්වනු ඇත්දැයි මම සිතුවෙමි. වෆා වෙනත් අලුත උපන් බිළිඳුන් හා බැලූ විට අසාමාන්‍ය ලෙස ලස්සන දරුවකු වූවා මෙන්ම, ඈ දෙස බලන මට බලාපොරොත්තු බිඳවැටීමට හේතුවන කිසිවක් පෙනුණේ නැත. මම චිත්තප්‍රීතියෙන්ද ආදරයෙන්ද උතුරා ගොස් සිටියෙමි. එහෙත් යෙස්ලාම් සමහර අවස්ථාවල නොරිස්සුම් ගති ඇතිව සිටියේය. කුඩා වෆා මුළුමනින්ම මා අයිතිකරගෙන සිටීම ගැන ඔහු ඊර්ෂ්‍යාවෙන් ඉන්නා බවක් පෙනී ගියේය. ඔහු විශාල පවුලකින් පැවත එන්නකු වුවද, වෆා කෙරෙහි ඔහු දැක්වූ අවධානය ඈ කෙරෙහි මගේ අවධානයට වඩා බෙහෙවින් අවම විය. පාදයේ ඇඟිලි උරාබීම හෝ සෙල්ලම්බඩු අතට ගන්නට උත්සාහ කිරීම වැනි ඈ කරන අලුත් වැඩ මා පෙන්වූ විටදී ඔහු සතුටට පත්වූ බවක් ඇඟවූවද, මට නිරන්තරයෙන් ඔහුට එවැනි දේ පෙන්වීමටම සිදුවිය.

වෆා ඉපදී කෙටි කලකින් මේරි මාර්තා මා සාප්පු සංචාරයේ කැටුව ගියාය. යෙස්ලාම්ට තනිව දරුවා සමඟ බැඳමක් ඇතිකරගැනීමට එය පිටිවහලක් වනු ඇතැයි මම කල්පනා කළෙමි. වෆාට තවමත් පැය දෙකකට වරක් කිරි දියයුතු වූ බැවින් අපි ඉතා ඉක්මනින් ළදරු ඇඳුම් මිලදී ගත්තෙමු. අප ආපසු පැමිණි කල යෙස්ලාම් දරුවා පාර්සලයක් මෙන් රැගෙන මා වෙත පෑවේය. “එයා තෙමාගෙන,” යි ඔහු කීවේය. “එයාගෙ ඇඳුම් මාරුකරන්න එපාය ඔයා.” යෙස්ලාම් මහ මෝඩයෙකැයි මම බොහෝ වේලාවක් තිස්සේ සිතුවෙමි. දරුවාගේ ඇඳුම් තමාම මාරු කළයුතු යැයි ඔහුට නොසිතුණේ මන්ද? මට ඔහු ගැන දුකක් ඇතිවිය. ඔහුගේ අසරණකම, මවක ලෙස මගේ අලුත් වගකීම වඩාත් හොඳින් ඉටුකිරීමට මට තව තවත් ආත්මවිශ්වාසය සහ හැකියාව ඇතිකළේය.

මට දැනුණේ වෆා ආශ්චර්යයක් ලෙසිනි. ජීවිතයේ පළමුවරට මා වෙනත් මිනිස් ජීවිතයක වගකීම සම්පූර්ණයෙන්ම දරා සිටියෙමි. හැම අලුත් මවක් මෙන් මාද මගේ අම්මාට සිදුවූ අත්වැරදීම් නොකරන්නට මටම ප්‍රතිඥා දීගත්තෙමි. මා මගේ දරුවාගේ චරිතයට ගරුකොට, ඇගේ කුඩා බුහුටි සිරුරේ ගුලිවී සිටින නොදන්නා තැනැත්තියට නිදහසේ හැදී වැඩෙන්නට ඉඩහරින්නෙමි.

ළමුන් බලාගන්නා සේවිකාවක වැඩට ගැනීමට මට උවමනා නොවීය. (එහෙත්, පිරිසිදු කිරීම් හා ඉවුම් පිහුම් කටයුතු සඳහා අපට සේවිකාවක සිටියාය). රාත්‍රියේදී වෆාට කිරි දීමට මා යෙස්ලාම්ගේ මැසිවිලි මැද අවදි වූයෙමි. මා වෆා වඩාගෙන දවස පුරාම ඈ සමඟ කතා කළෙමි. මා කී හැම වචනයක්ම තේරුණා සේ ඈ පැහැදිළි ඇස්වලින් මා දෙස බලා උන්නාය. දරුවා ළදරු කරත්තයේ තබාගෙන උද්‍යානය හරහා ගමන් කරන්නටත්, ඇගේ බෙල්ලේ රැළිවලින් නැඟෙන අපූරු ළදරු සුවඳ විඳිමින් හිරු එළියේ ඈ සමඟ සෙල්ලම් කරන්නටත් මා සැබැවින්ම ආශා කළෙමි. ඈ බොහෝ ශක්තිමත් චරිතයක් තිබුණු පුංචි මුරණ්ඩු කෙල්ලක් වූවාය. කිරි වරා මාස කිහිපයක් ගත වුවද, සකස්කළ ආහාරයක් වූ ජර්බර්-ටර්කි සමඟ බත්වලින් සමන්විත රාත්‍රී ආහාරය හැරුණුවිට ඈ අන් සියලු කෑම ප්‍රතික්ෂේප කළාය. වෙනෙකක් තබා මේරි මාර්තා නිවසේ පිසූ හොඳම කෑමවලට පවා ඈ පොළඹවාගත නොහැකි වූයේය.
මා සංගීතයෙන් නිවස පුරවා දැමුවෙමි. කැට් ස්ටීවන්ස්, ෂර්ලි බැසී, ෂාර්ල් අෂ්නවූ, යාක් බ්‍රෙල් ආදීන්ගේ සංගීතයට මාගේ අපූරු කෙළිපැටික්කිය විසිත්ත කාමරය පුරා කරකැව්වෙමි. ඈ නින්දට ගියේ ඈටම අයත් හයිෆයි යන්ත්‍රයෙන් චයිකොව්ස්කිගේ සංගීතයට සවන් දෙන අතර කඩයක් තරම් ලොකු සෙල්ලම්බඩු තොගයකට මැදිවය. ඒ කිසිවක් මගේ වෆාට හොඳ වැඩි නොවීය.

මා නැවතත් විශ්වවිද්‍යාලයට නොගිය නමුදු, යෙස්ලාම් වේගයෙන් විෂය නිර්දේශය හමාර කිරීමට මහන්සි වෙද්දී මා ඔහුගේ හැම වාර පරීක්ෂණයක්ම හා විභාගයක්ම සමඟ ඔහු අසලින්ම ජීවත් වූයෙමි. ඔහුගේ මනස ඉතා වේගවත් මෙන්ම තියුණු විය. ඔහුගේ ඥාණයත්, විනයත්, සංකීර්ණ විෂය කරුණු ඉක්මනින් වටහා ගැනීමේ හැකියාවත් මම අගය කළෙමි. ඔහුගේ උපාධි ප්‍රදානෝත්සවය ලං වත්ම, අප රැගෙන ආපසු සවුදි අරාබිය වෙත යාමට ඔහු කළ සැලසුම වඩාත් ඉක්මන් වූයේය. 1973 ඛනිජතෙල් තහනමෙන් පසුව බොරතෙල් මිල ඉහළ ගිය විටදී සවුදි අරාබියට මුදල් ගලා එන්නට පටන්ගත් කල්හි, ව්‍යාපාර කටයුතු සඳහා නව දොරටු විවර වන බව වටහාගත් යෙස්ලාම්ට එහි කොටස්කාරයකු වන්නට අවශ්‍ය විය. අපේ අලුත් පවුලට එය මහඟු අවස්ථාවක් බව ඔහු මට කීවේය. එහි අදහස නම් මා මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය මෙන්ම වෙනත් බොහෝ දේ පිළිබඳ බලාපොරොත්තු අත්හැරිය යුතු වන බව යැයි මා දැන සිටියෙමි. එහෙත් මගේ ආදරණීය පුංචි වෆාත්, මගේ දක්ෂ කඩවසම් ස්වාමිපුරුෂයාත් සමඟ ගතකරන සුවපහසු ජීවිතයෙන් නැලවී සිටි මම ඊට එකඟ වූයෙමි.

6 වැනි පරිච්ඡේදය

බින් ලාඩන්වරු සමඟ

1976 ශරත් ඍතුවේදී අපි ජිද්දා වෙත පැමිණියෙමු. මෙවර අප ගුවන්තොටුපළ තුළ ඇවිදිද්දී මා නියමාකාර තුනී පට රෙදිවලින් නිමවූ සවුදි අබායාවක් පැළඳ සිටියෙමි. එහෙත් මා විනිවිද නොපෙනෙන් ලෝගුවෙන් මාවම වසාගන්නා විට මට අමතකව ගොස් තිබුණු එක්තරා ගැඹුරු සිතිවිල්ලක් වඩාත් තියුණු ලෙස නැවතත් මසිතට ඇතුලු විය. මා පැමිණ සිටින්නේ සති දෙකකින් ආපසු යාමට නොවේ. මේ ශීර්ෂාවරණය වූකලී යම් දිනෙක ගුලිකර අල්මාරියක් අස්සට ඔබා අමතක කර දැමිය හැක්කක් නොවේ. මේ අබායාව මා සමඟ යන යන තැන එනු ඇති අතර, මගේ ජීවිතයේ සංකේතයක් වනු ඇත.

මා විදේශගත වූ අවස්ථාවලදී අවුරුදු ගණනාවක් තිස්සේ හැමදෙන මගෙන් විමසුවේ, “ඔබ ශීර්ෂාවරණය පළඳිනවාද?” කියාය. මා ඊට ඔව් යැයි කී විට ඔවුන්ගෙන් පළවන විස්මයත් භීතියත් දෙස බලා විනෝද වීමට මම පුරුදුව සිටියෙමි. ඇත්තවශයෙන්ම ප්‍රායෝගිකව ශීර්ෂාවරණය යනු කරදරයකි. එය මගේ බුද්ධියට මෙන්ම නිදහසට කළ නිග්‍රහයක් වූ නමුදු මා එය විශාල ප්‍රශ්නයක් කර නොගත්තෙමි. ඒ මුල් දිනවලදී මගේ අපහසුතාව හංගාගැනීම සඳහා මා කළේ, අබායාව ගැහැනියගේ ගෞරවය සංකේතවත් කරන්නේ යැයි කියන සවුදි අර්ථදැක්වීම පිළිගැනීමයි. වඩාත් හරයාත්මකව කියන්නේ නම්, එය තාවකාලික දෙයක් යැයි මා මටම ඒත්තු ගන්වාගෙන සිටියෙමි.

පරිවර්තනය – මොහාන් ධර්මරත්න

පසුගිය කොටස්

“අබායාව ගුලිකර වීසිකර දැමුවෙමි. අපේ නව ඇමරිකානු ස්වාධීනත්වය යළිදු අප වසාගත්තේය”(වට තිර ලූ රාජ්‍යය – 10)

බින් ලාඩන් පවුලේ ගැහැනියක ගිය එකම ප්‍රසිද්ධ ස්ථානය රත්තරන් බඩු වෙළඳපොළ පමණි

වීදි තුනක් දිගට සම්පූර්ණයෙන්ම බින් ලාඩන්වරුන් පමණක් ජීවත් වූ ගම්මානයක් විය (වට තිර ලූ රාජ්‍යය – 08)

“සවුදි අරාබියේ ගතකළ පළමු මිනිත්තු කිහිපයේදීම මා නොසැලකිලිමත්කමින් වරද්දාගෙන සිටියෙමි” (වට තිර ලූ රාජ්‍යය – 07)

‘සවුදීන්ට විදේශිකයකු සමඟ විවාහ වීමට රජතුමාගෙන් අවසර ගත යුතුය’ (වට තිර ලූ රාජ්‍යය – 06)

“සවුදි අරාබියද මා කුඩා කල දුටු ඉරානය බඳු වියහැකි මා මාවම රවටාගෙන තිබුණේය” (වට තිර ලූ රාජ්‍යය – 05)

“යෙස්ලාම් මගේ ජීවිතය සදහටම වෙනස් කරන්නට යන බවක් මට කිසිසේත්ම දැනුණේ නෑ” – (වට තිර ලූ රාජ්‍යය – 04)

“කාමන්, ඔයා හරිම විශේෂ කෙනෙක්. ඒක කවදාවත් අමතක කරන්න එපා.“ (වට තිර ලූ රාජ්‍යය – 03)

සවුදියෙන් නිදහස් වීමට මා කළ අරගලයේ තේරුම ඔවුන්ට අවබෝධ වුණේ සැප්තැම්බර් 11 න් පසුවයි (වට තිර ලූ රාජ්‍යය – 02)

“සැප්තැම්බර් එකොළහ උදාවූයේ ලස්සන ඉන්දියානු ගිම්හානයේ දිනයක් ලෙසිනි” (වට තිර ලූ රාජ්ජය – 01)

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...