මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ කාමන් බින් ලාඩන්(Carmen Bin Ladin) ගේ The Veiled Kingdom කෘතිය ‘වට තිර ලූ රාජ්ජය’ ලෙස සෑම සදුදා සහ බ්‍රහස්පතින්දා දිනකම කොටස් වශයෙන් පළවේ. අද පළවන්නේ එහි 22 වන කොටසයි.
යෙස්ලාම් ඒ වනවිට සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී තනතුරේ සිටියේය. බාල සොහොයුරන් බොහෝ දෙනෙකු තේ බොමින් හෝ රාත්‍රී ආහාරය ගනිමින් කතාබහ කිරීමට නිතර නිතර අප නිවසට යාම් ඊම් කරන්නට පටන් ගත්හ. ඔවුන් සමඟ ආහාර ගනිමින් ඔවුන්ට සවන් දෙමින් මාද එහි රැඳුණු අතර, යෙස්ලාම් මට එතැනින් ඉවත්ව යන ලෙස නොකී බැවින් ඔවුන්ද ඔවුන්ද මා නිහඬව එහි රැඳී සිටීම ඉවසා සිටියහ. ඔවුන් කියන්නේ කුමක්දැයි වටහා ගැනීමට තරම් අරාබි බස මා දැන සිටි බවක් ඇතැම්විට ඔවුන් නොදැන සිටියා වන්නට ඇත. ඔසාමා ඇතුළු දැඩි ආගම්වාදීන් වූ අනෙක් අය එවැනි අවස්ථාවලට කලාතුරකින් සහභාගී වූයේ මා එහි මුහුණු ආවරණය රහිතව හුන් නිසාය. ඔවුන් ආවේ නම් මා හට මගේ කාමරය දක්වා පසුබසින්නට සිදු විය.
යෙස්ලාම් තවත් එක් බින් ලාඩන් කෙනෙකු නොවීමට නම්
මගේම උපදේශකයා වීමට මා ඉගෙනගත්තෙමි. මා කථා කළේ නම් සොහොයුරන් නිහඬවනු ඇති අතර, යෙස්ලාම් සිය තේ වීදුරුවට උඩින් බලා මට ඔරවනු ඇත. නිශ්චලව හිඳිමින් දැනුම උකහා ගැනීමට මම උගත්තෙමි. බොහොමයක් ගැටලු පැහැදිළිව විස්තර නොකෙරුණ මුත් ඒවායින් ගම්‍ය වූ අර්ථය ගලපා ගැනීමට මට හැකි විය. මා වටහාගත් දේ ගැන පසු අවස්ථාවක මා යෙස්ලාම් සමඟ සාකච්ඡා කළෙමි.
මගේ නිවසේ එළිමහන් බිම්කඩ මත වාඩිවී තේ බොමින් මේ සහෝදර සංගමය ඔවුන් ගන්නට බලාපොරොත්තු වන තීරණ ගැනත්, සලෙම් හා බකර් විසින් නිකුත් කරනු ලැබූ එකිනෙකට ප්‍රතිවිරුද්ධ අණකිරීම් ගැනත් ව්‍යාපාරික සාකච්ඡා පැවැත්වූහ. මහත් බලපරාක්‍රමයකින් රට පාලනය කළ අල්-සවුද් රජ පවුලේ කුමාරවරුන් සමඟ සබඳතා නොමැතිවීම ගැන ඔවුන්ගෙන් බොහෝදෙනෙකු සිටියේ කනස්සල්ලෙනි. ත්‍යාගශීලී මෙන්ම බලවත් කුමාරයකු සමඟ මිත්‍රත්වයක් වගා කරගැනීම වූකලී ඔවුන් හමුවීමට විශාල කාලයකුත්, එමෙන්ම මුදල් ගොඩකුත් වැයවන කර්තව්‍යයකි. හැම සන්ධ්‍යාවකම පාහේ ඔවුන් හමුවීමට යාමත්, ඔවුන් සමඟ සංචාරයේ යෙදීමත් ඊට ඇතුළත්ය. ඇතැම් අල්-සවුද්වරු ඔවුන්ගේ දිව්‍යමය අයිතිවාසිකම හැටියට හැම ප්‍රධාන කොන්ත්‍රාත්තුවකින්ම ලොකු කොටසක් නෙලාගන්නා නමුදු සාර්ථකත්වයටත්, නම්බුවටත්, බලයටත් දොරටුව වන්නේද කුමාරවරුන්මය.
යෙස්ලාම් මේ යන්ත්‍රය තුළ ඔහු සිතනවාට වඩා ලොකු, දක්ෂ දැතිරෝදයක් වූ බැවින් ඔහු දසවැනි ස්ථානයේ රැඳී සිටිනවාට මම කැමැති නොවූයෙමි. ඔහු ඥාණවන්ත, කාර්යක්ෂම, මෙන්ම දක්ෂ පුද්ගලයකු බැවින් ඊට වඩා දෙයක් ඔහුට ලැබිය යුතුව තිබිණි. එහෙත්, යෙස්ලාම් තවත් එක් බින් ලාඩන් කෙනෙකු නොවී සිය අනන්‍යතාව ගොඩනඟා ගැනීමට නම් ඔහුට අල්-සවුද් රජ පවුල සමඟ සම්බන්ධතා ගොඩනඟාගැනීම අවශ්‍යය. සලෙම් හා බකර්, කුමාරවරුන් සමඟ ඔවුන්ට තිබූ සබඳතා රහස් හැටියට ආරක්ෂා කළහ. ඒවා ඔබට කෙළින්ම ගොස් තට්ටුකළ හැකි දොරවල් නොවීය.
බ්‍රහස්පතින්දා සාදවලට පින්සිදුවන්නට අපේ සමාජීය ජීවිතය පුළුල් වන්නට පටන් ගත් අතර, අපට වඩ වඩාත් විවිධ මිනිසුන් මුණගැසෙන්නට විය. හෙමින් කතා කරන තලතුනා මිනිසකු වන, මගේ මිතුරිය ඌලා සබාග් ගේ සැමියා, ඊසා ඇමරිකානු තානාපති කාර්යාලයේ භාෂා පරිවර්තකයකු හා උපදේශකයකු හැටියට සේවය කළේය. ආකර්ශනීය ගමන් ලීලා ඇති, පිටි වැනි සුදුපැහැති රූපකායක් තිබුණු, රජතුමාගේ බොහෝ සොහොයුරන් අතරින් කෙනෙකු වන මජීඩ් කුමාරයාගේ පිරිවර අතරේ ඔහු ප්‍රමුඛස්ථානයක සිටි පුද්ගලයකු විය. ප්‍රධානපෙළේ අල්-සවුද් කුමාරවරුන් හැම දෙනෙකුම මෙන් මජීඩ් කුමාරයාද සෑම සන්ධ්‍යාවකම සිය මාලිගයේ පුළුල් රාජකීය ශාලාවක පැවැත්වුණු ඔහුගේ මජ්ලීසයේදී අමුත්තන් පිළිගත්තේය. එය සන්ධ්‍යා යාඥා මුරයෙන් පසුව පැවැත්වුණු එක්තරා විදියක අභියාචනා සභාවාරයක් වැන්නකි. මජීඩ් කුමාරයා එතරම් හොඳින් නොහඳුනන අමුත්තන්ට ඔහු නිකම්ම සුභ පතනු ඇති අතර, ඉන් පසුව ඔවුන් ඈතින් තිබෙන සැටියක ඉඳගන්නට යනු ඇත. ඉතා කිට්ටුවෙන් ඇසුරු කරන්නන් පමණක් කුමාරයාගේ පසෙකින් ඉඳගනු ඇත. බලය වෙත සම්බන්ධතාවය ඇතිවන්නේ එතැනිනි.
සලෙම් වැනි හොඳ සම්බන්ධතා ඇත්තවුන් එවැනි රැස්වීම් කිහිපයකටම සහභාගී වනවා විය යුතුය. රියාද් හි ආණ්ඩුකාරයා වන සල්මාන් කුමාරයා වැනි කිට්ටු ආධාරකරුවන් බොහෝ දෙනෙකු ඔහුට සිටි අතර, සෑම රාත්‍රියකම පාහේ ඔහු එකිනෙකට වෙනස් මජ්ලීස්වලට සහභාගී වූයේය. එක් සන්ධ්‍යාවක ඊසා මජීඩ් කුමාරයා හමුවීමට යෙස්ලාම් කැඳවාගෙන ගියේය. කෙටි කතාබහක් හා තේ කෝප්ප කිහිපයක් පානය කිරීමට වැඩි යමක් එදින රාත්‍රියේ සිදු නොවීය. සවුදි අරාබියේ දේවල් සිදුවන්නේ කුඩා සංකේතාත්මක පියවර අනුසාරයෙන්, පිටස්තරයකුගේ ඇසට නොපෙනෙන තරම් සෙමින්ය. එහෙත් ඉක්මනින්ම කිසියම් රටාවකට යමක් සිදුවී යෙස්ලාම් මජීඩ් කුමාරයා වෙත කිට්ටු වූ අතර, එමඟින් අනෙක් කුමාරවරුන්ටද ලං වූයේය. බලවන්තයින් අසලින්ම අසුන් ගන්නා එක් පුද්ගලයකු බවට ඔහු පත්වෙමින් සිටියේය. බලවන්තයින් සමඟ අසුන්ගෙන සිටි අනෙක් පුද්ගලයින් සමඟද ඔහු කතා කරමින් හුන්නේය. එය යෙස්ලාම්ගේ ප්‍රතිරූපයට මහා විශාල බලපෑමක් ඇතිකළා වූ, සබඳතා හරහා කරනු ලැබූ බලපෑම් හා ඇඟැවුම් මාත්‍රයන්ගේ සියුම් ක්‍රීඩාවක ප්‍රතිඵලයක් විය.
“මම බින් ලාඩන් කෙනෙක්”
පසුකාලයක, විශ්‍රාම ගිය ඊසා සබාග් අප බලන්නට ආවේය. කුමාරයා සමඟ ඔහුට තිබුණු සබඳතා නැතිවී ගොස් තිබූ අතර, කිසියම් පරිපාලනමය ඉල්ලීමක් කරන්නට තිබූ බැවින් තමාද ඔහු වෙත යන පිරිස හා කැටුව යන්නැයි යෙස්ලාම්ගෙන් ඉල්ලා සිටියේය. යෙස්ලාම් ඊට එකඟ වූ නමුත්, කුමාරයා මුණගැසෙන්නට ගිය හැම දිනකම ඔහු ඒ වයස්ගත මිනිහාව මඟහැරියේය. දිනක් මම ඔහුව පසෙකට ගෙන, “ඊසා ඔයාට උදව් ඕන වෙලාවෙදි උදව් කළා,” යැයි කීවෙමි. එහෙත් යෙස්ලාම් මහේශාක්‍ය ලෙස මා ප්‍රතික්ෂේප කළේය. “කවුරුවත් මට උදව් කළේ නෑ,” යි ඔහු කීවේය. “මම බින් ලාඩන් කෙනෙක්.”
එය සිදුවූයේ වසර ගණනාවකට පසුවය. බින් ලාඩන් සමාගමේ සිය බලය තහවුරු කරගැනීමට යෙස්ලාම් උත්සාහ ගනිමින් සිටි මුල් අවධියේදී මගේ නිවසේ එළිමහන් බිම්කඩ මත කළ සාකච්ඡා එන්න එන්නම රත් විය. ඒ වනවිට යෙස්ලාම් සමාගම පාලනය කළ අතර, ඔවුහු විශාල පරිමාණයේ නව කොන්ත්‍රාත්තුවලට අතගසමින් සිටිය මුත් යෙස්ලාම්ගේ නැඟී ඒම සලෙම් සහ බකර්ගේ පිළිගැනීමට හේතු නොවීය. එක් උදෑසනක බකර් ප්‍රධානපෙළේ බැංකුවක් අමතා අලුත් ගොඩනැඟිලි ව්‍යාපෘතියක් වෙනුවෙන් ණයක් ලබාගැනීමට සාකච්ඡා කළේය. “ෂෙයික් යෙස්ලාම් මේ ගැන දන්නවද?” යනුවෙන් බැංකු නිලධාරියා අනුවණ ලෙස ඔහුගෙන් විමසා සිටියේය. බකර් හෑල්ලුවට ලක් විය. ඔහුගේ මුහුණ කුඩා වී ගියේය.
යෙස්ලාම්ගේ තීරණවලට ප්‍රතිවිරුද්ධ ලෙස සලෙම් හා බකර් අණ දෙන්නට පටන්ගත්හ. ඔහුගේ ව්‍යාපෘතිවලට හිමි විය යුතු ගෞරවය ලබාගත් ඔවුන් දෙදෙනා, ඔහුගේ ප්‍රධානතම කාර්යමණ්ඩල සාමාජිකයින්ව යටින් කපා දැමිමත් විවේචනය කිරීමත් සිදුකළහ. ඔහුව අපහසුතාවට පත්කරමින්, ඔවුහු ඔහු විසින් සාකච්ඡා කොට අවසන් කර තිබූ ගිවිසුම් අවසන් මොහොතේ අවලංගු කර දැමූහ. මේ අතර, හොඳ ව්‍යාපාරිකයකු වූ නමුදු ලන්ඩනයේ කැසිනෝ සූදු පොළකදී විශාල මුදලක් පරාජය වී සිටි හසන්, උදව් ඉල්ලා දුරකථන ඇමතුමක් දුන්නේය. සලෙම් හසන්ගේ ණය ගෙවා දැමුවේය. ඔහු නැවත සවුදි අරාබියට පැමිණි විට යෙස්ලාම්ට සම්බන්ධ කරගත නොහැකි විය. හසන් පිල් මාරු කොට තිබුණේය.
බින් ලාඩන් සමාගමට නිධානයක්
ජිද්දා නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයේ ‘බින් ලාඩන් ප්ලාසා’ නැමැති ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා ප්‍රධානපෙළේ නව ව්‍යාපෘතියක් යෙස්ලාම් විසින් සංවිධානය කරනු ලැබුවේය. ගාම්භීර, අහස සූරන මැඳුරක් වූ එය එවකට නගරයේ තිබුණු උසම ගොඩනැඟිල්ල වූ අතර, එය ගොඩනැඟීම සඳහා ඩොලර් මිලියන සිය ගණනක් වියදම් කිරීම අවශ්‍ය වූයේය. එකල අප පැරීසිය වෙත ගමන් වාර ගණනාවක් ගිය අතර, කොන්ත්‍රාත්තුව කතිකා කොට ගිවිසුම් පවා අත්සන් කළේ යෙස්ලාම් විසිනි. සුඛෝපභෝගී ‘පස්වැනි ජෝර්ජ්’ හෝටලයේ අපි සති ගණන් ගත කළෙමු. මා ඇඳක් මතට වී, දෙපා එකිනෙක කතිර හැඩයට තබාගෙන මහ රෑ වනතුරු කොන්ත්‍රාත්තුවේ ලේඛන කියැවූවා තවමත් මතක ඇත.
බින් ලාඩන් සමාගම පැත්තෙන් බැලූ කල එය මනස්කාන්ත මූල්‍යමය කුමන්ත්‍රණයකි – ඇත්තවශයෙන්ම එය, එබඳු සිද්ධි මාලාවක පළමුවැන්න විය. සම්පූර්ණ ව්‍යාපෘතියටම අවශ්‍ය මුදල් ප්‍රංශ බැංකු ණය මඟින් සපයාගනු ලැබූ අතර, ප්‍රංශ රජයෙන් ඊට සහතිකයක්ද දෙනු ලැබීය. සමාගම කළ එකම දෙය වූයේ ඉඩම ලබාදීම පමණකි. මුලු ගොඩනැඟිල්ලම සවුදියා ජාතික ගුවන් සේවයට බද්දට දුන් විට, ප්‍රංශකාරයෝ ඉක්මනින්ම ඔවුන්ගේ ආයෝජනය හකුළාගැනීමට ඉදිරිපත් වූහ. එහි ප්‍රතිඵලය වූයේ බින් ලාඩන් සමාගමට නිධානයක් පහළ වූවා සේ නොමිලේ ගොඩනැඟිල්ලක් ලැබීමය.
සත්තකින්ම මෙවැනි දෙයක් වෙනත් රටකදී සිදුවිය නොහැක්කේ ප්‍රංශකාරයින් විසින් ඉඩම මිලදී ගනු ලබන නිසාය. එහෙත් සවුදි අරාබියේ ඉඩම් විදේශිකයින්ට මිලදීගත නොහැකිවාක් මෙන්ම සවුදි හවුල්කරුවකු නොමැතිව එහි ව්‍යාපාර කිරීමටද නොහැකිය. නැවතත්, ශුද්ධවූ පොළවේ කැළැල් ඇතිකිරීමට අන්‍යාගමිකයින්ට නොහැකිය.
ගෝත්‍රය තුළ බැලූ බැල්මට හැම දෙයක්ම ශාන්ත දාන්තයි
ව්‍යාපෘතිය සංවිධානය කිරීමෙන් යෙස්ලාම් ලබාගත් දේ ගැන මා අතිශයින් ආඩම්බර වුණෙමි. එහෙත් සවුදි පුවත්පත් වාර්තාවල එහි සෑම ගෞරවයක්ම කම්මැලියකු වන බකර්ට අත්කර දී තිබිණි. එය යෙස්ලාම් තුළ දුකක් ජනිත කළ බව මම දුටුවෙමි. එහෙත් එවැනි හැම අවස්ථාවකම ඔහු පසුබැස්සේය. බකර් හා සලෙම් කළ කිසිවක් නිසා ඔහු ඔවුන් සමඟ ගහබැණගැනීමට නොගියද, ඔවුන් කෙරෙහි ඔහු තුළ පවතින නොකැමැත්ත වඩ වඩාත් වර්ධනය වූයේය. සොහොයුරන්ගේ කපටිකම් ගැන ඔහු මා සමඟ කීවද, තමාව ආරක්ෂා කරගැනීමට ඔහු කිසිවක් නොකළේය.
ගහබැණගන්නට යාම සවුදි සිරිත නොවේ. විශේෂයෙන්ම ගෝත්‍රය තුළ බැලූ බැල්මට හැම දෙයක්ම ශාන්ත දාන්තය. ලෝභය පවතී. රජ පවුල තුළ පවා බලය හා නම්බුව වෙනුවෙන් අරගල ඇතිවේ. සොහොයුරකුට එරෙහිව සොහොයුරෙක් යන්න සැඟවුණු දෛනික යථාර්ථය වූයේය. මක්නිසාද යත්, සවුදි අරාබියේ පවා මනුෂ්‍ය ස්වභාවය විසින් පුද්ගලයා සිය පෞරුෂත්වය සහ අභිමතාර්ථයන් මුදුන්පත් කරගැනීම සඳහා ඉදිරියට තල්ලු කරන බැවිනි. එහෙත්, වඩා ගැඹුරින් අර්ථගැන්වූ කල ඔවුන්ගේ පොදු සමාජීය හැඩගැස්වීම සහ වහබ්වාදී විනිශ්චයන් තුළින් අදහස් වූයේ සවුදි ගෝත්‍රයක සාමාජිකයෝ හැම විටෙකම අන්‍යෝන්‍යව ආධාර කරගත යුතු වන බවයි. එකී පොදු ආගමික වටිනාකම්වලට වඩා තනි පුද්ගල ඉලක්ක කිසි සේත්ම වැදගත් නොවේ. සිය පුරෝගාමින්ගේ සම්ප්‍රදායයන්ගෙන් ගැලවෙන්නට සවුදි ජාතිකයකුට නොහැකිය.
පරිවර්තනය – මොහාන් ධර්මරත්න
පසුගිය කොටස්
‘බින් ලාඩන් ප්ලාසා’ එවකට නගරයේ තිබුණු උසම ගොඩනැඟිල්ල (වට තිර ලූ රාජ්‍යය – 21)
“සවුදි අරාබියේ, බින් ලාඩන්ලාට උපන්දින උත්සව ‘හරාම්’ බව මා ඉගෙනගත්තෙමි”(වට තිර ලූ රාජ්‍යය – 20)
සවුදි ගැහැනු ඉවසා දරාගෙන සිටිය යුතු වේදනාවලට කෙළවරක් නැතිද? (වට තිර ලූ රාජ්‍යය – 19)
සවුදි ගැහැනුන් හැටියට මගේ දියණියන්ගේ ඉරණම කුමක් වේද?(වට තිර ලූ රාජ්‍යය – 18)
“ස්වාමිපුරුෂයාට බිය නැති සවුදි කාන්තාවක් මට හමුවී නැති තරම්ය” (වට තිර ලූ රාජ්‍යය – 14)
බින් ලාඩන් ගැහැනියකට නිවසින් පිටත යෑම සෑම විටකම පාහේ ‘හරාම්’ සහ ‘අබේ’ විය. (වට තිර ලූ රාජ්‍යය – 12)
බින් ලාඩන් පවුලේ ගැහැනියක ගිය එකම ප්‍රසිද්ධ ස්ථානය රත්තරන් බඩු වෙළඳපොළ පමණි
වීදි තුනක් දිගට සම්පූර්ණයෙන්ම බින් ලාඩන්වරුන් පමණක් ජීවත් වූ ගම්මානයක් විය (වට තිර ලූ රාජ්‍යය – 08)
‘සවුදීන්ට විදේශිකයකු සමඟ විවාහ වීමට රජතුමාගෙන් අවසර ගත යුතුය’ (වට තිර ලූ රාජ්‍යය – 06)
“සවුදි අරාබියද මා කුඩා කල දුටු ඉරානය බඳු වියහැකි මා මාවම රවටාගෙන තිබුණේය” (වට තිර ලූ රාජ්‍යය – 05)
“යෙස්ලාම් මගේ ජීවිතය සදහටම වෙනස් කරන්නට යන බවක් මට කිසිසේත්ම දැනුණේ නෑ” – (වට තිර ලූ රාජ්‍යය – 04)
“කාමන්, ඔයා හරිම විශේෂ කෙනෙක්. ඒක කවදාවත් අමතක කරන්න එපා.“ (වට තිර ලූ රාජ්‍යය – 03)
“සැප්තැම්බර් එකොළහ උදාවූයේ ලස්සන ඉන්දියානු ගිම්හානයේ දිනයක් ලෙසිනි” (වට තිර ලූ රාජ්ජය – 01)