දෝනි, මහේල සහ පරම්පරා හුවමාරුව

Share post:

ඉන්දීය ප්‍රීමියර් ලීගයේ ඊයේ පැවති තරගයත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම පරාජය වුණා.
තරගාවලියේ ශූරතා පහක් දිනූ සහ වැඩිම වරක් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටි කණ්ඩායම මුම්බායි ඉන්ඩියන්ස්.
නමුත් මේ මොහොතේ ඔවුන් දැඩි අර්බුධයකට මුහුණ දීලා.
මුම්බායි කණ්ඩායමේ සාර්ථකම සහ ජනප්‍රියම නායකයා රෝහිත් ෂර්මා.
මුම්බායි කණ්ඩායම ඉන්දීය ප්‍රීමියර් ලීගයේ ලැබූ සාර්ථකත්වයන් පසුපස සිටි නායකයා ඔහු.
මේ නිසාම චෙන්නායි රසිකයන්ට මහේන්ද්‍ර සිං දෝනි වටින්නේ යම් සේද, මුම්බායි රසිකයන්ට රෝහිත් ෂර්මා එතරම් වටිනවා.
හාර්ඩික් පාන්ඩ්‍යා මුම්බායි කණ්ඩායමෙන්ම ගමන ඇරඹූ තරුණ ක්‍රීඩකයෙක්.
කිසිවක් නොතිබූ, කිසිවෙක් නොදැන සිටි හාර්ඩික් පාන්ඩ්‍යා ගොඩනගන්නේ මුම්බායි කණ්ඩායමෙන්.
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමෙන් අවස්තාවන් හිමි වූ ඔහු පසුව ඉන්දීය ජාතික කණ්ඩායමේත් ස්ථිර ක්‍රීඩකයෙක් වුණා.
කණ්ඩායම් දෙකටම නැතුවම බැරි සුපිරි තරුවක් වුණා.
සාර්ථක මුම්බායි කණ්ඩායමේ ස්ථිර ක්‍රීඩකයෙක් වූ ඔහු පසුව ඉන්දීය ප්‍රීමියර් ලීගයට අළුතෙන් පැමිණි ගුජ්රාත් කණ්ඩායම සමග එක්වුණා.
ඒ එහි නායකයා ලෙසටයි.
ගුජ්රාත් කණ්ඩායමේ නායකයා ලෙස මංගල තරගාවලියේම ශූරතාවයත් දිනූ පාන්ඩ්‍යා යළිත් මුම්බායි කණ්ඩායමෙන්ම මිලට ගත්තා.
ඒ සමගම එහි නායකත්වයත් පාන්ඩ්‍යාට ලබා දීමට මුම්බායි ඉහළ කළමනාකාරීත්වය තීරණය කළා.
නීටා අම්බානි මෙන්ම කණ්ඩායම් අධ්‍යක්ෂ මහේල ජයවර්ධනත් ඒ තීරණය පසුපස හිටියා.
මුම්බායි කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීමට හේතුව මුම්බායි ඉන්ඩියන්ස් ඊළග පරම්පරාව ගොඩනැගීම යැයි මහේල ජයවර්ධන කිව්වා.
කෙසේවෙතත් තමන් නායකත්වයෙන් ඉවත් කරන බව දැනුවත් කිරීමට හෝ කණ්ඩායම් කළමනාකාරීත්වය කටයුතු නොකළ බවට රෝහිත් ෂර්මා පසුව ප්‍රකාශ කළා.
රෝහිත් මුම්බායි රසිකයන්ගේ ආදරණීය නායකයා.
එමෙන්ම තවමත් ඉන්දියානු ජාතික කණ්ඩායමේත් නායකයා.
අනෙක් අතට හාර්ඩික් පාන්ඩ්‍යා විටෙක මුම්බායි කණ්ඩායම හැරගිය ක්‍රීඩකයෙක්.
ඔහුට නායකත්වය ලබා දීම රසිකයන් කිසිවිටෙකත් අනුමත නොකරන තීරණයක් වුණා.
රෝහිත් ෂර්මා වුනත් නායකත්වයෙන් ඉවත් වූයේ කැමැත්තකින් නොවෙයි.
මේ සිදුවීම සමග මුම්බායි කණ්ඩායම දැඩි අර්බුධයකට මුහුණ දීලා.
පැහැදිලිවම රසිකයන් මුම්බායි නව නායකත්වය සහ කණ්ඩායම ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා.
මුම්බායි ඉන්ඩියන්ස් මුල්ම තරගයේ හාර්ඩික් පාන්ඩ්‍යා විසින් රෝහිත් ෂර්මාගේ පන්දු රකින ස්ථානය වෙනස් කරවමින් පිටියේ ඇවිදවීම රසිකයන් දැඩිව විවේචනය කර තිබුණා.
එමෙන්ම කණ්ඩායම තුලත් බෙදීමක් ඇති වෙලා.
පාන්ඩ්‍යා මුම්බායි නායකත්වය දැරූවත් තවමත් ඉන්දීය නායකත්වය දරන්නේ රෝහිත් ෂර්මා.
හිටපු ක්‍රීඩකයන්ගේ, මාධ්‍යයේ සහ රසිකයන්ගේ නායකයා රෝහිත් ෂර්මා.
එම නිසා මුම්බායි ඉන්ඩියන්ස් කඳවුර තුල රෝහිත් සතු බලයත් අවතක්සේරු කළ නොහැකියි.
කණ්ඩායම තුල රෝහිත් කණ්ඩායම සහ පාන්ඩ්‍යා කණ්ඩායම වශයෙන් පැහැදිලි පිල් බෙදීමක් ද ඇතිවෙලා.
ජස්ප්‍රිත් බුම්රා වැනි ඉන්දීය කණ්ඩායමේ ස්ථිර, ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් රෝහිත් ෂර්මාට පක්ෂපාතීයි.
ඔවුන් පාන්ඩ්‍යාගේ නායකත්වයට එතරම් ගරු නොකරන බවත් කියවෙනවා.
තරගාවලියේ මෙතෙක් මුම්බායි කණ්ඩායම විසින් දැක් වූ දියාරු ක්‍රීඩාශීලිත්වයට, මේ අර්බුධකාරී පසුබිමත් සෘජුවම බලපානවා ඇති.
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම මේ සිදුවීම කළමනාකරනය කළ අයුරු වැරදියි.
ඒ බව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමෙන් උගත හැකියි.
ඉන්දීය ප්‍රීමියර් ලීගයේ මුම්බායි කණ්ඩායම තරමටම සාර්ථක කණ්ඩායම චෙන්නායි සුපර් කිංග්ස්.
එය මහේන්ද්‍ර සිං දෝනි ගේ සුපිරි නායකත්වය වටා ගොඩනැගුණු කණ්ඩායමක්.
චෙන්නායි කණ්ඩායමත් මෙවර තමන්ට බොහෝ දෑ දිනා දුන් මහේන්ද්‍ර සිං දෝනිගේ සුපුරුදු නායකත්වය වෙනුවට නවක ක්‍රීඩකයෙකුට නායකත්වය ලබා දුන්නා.
එහෙත් ඒ නායකත්ව හුවමාරුව සිදු වූයේ මහේන්ද්‍ර සිං දෝනිගේ පූර්ණ ආශිර්වාදයෙන්.
තමාගෙන් පසු චෙන්නායි කණ්ඩායම මෙහෙයවන නායකයා කවුරුන්දැයි සම්පූර්ණයෙන්ම තෝරාගත්තේත් මහේන්ද්‍ර සිං දෝනි විසින්මයි.
යොවුන් ක්‍රීඩක රුතුරාජ් ගයික්වාඩ් දෝනිගේ තෝරාගැනීම වුණා.
මේ තරගාවලියේ චෙන්නායි ක්‍රීඩා කළ තරග අනුව, දෝනි විසින්ම නව නායක ගයික්වාඩ් පුහුණු කරමින් සිටින බව පැහැදිලියි.
ඒ බව රසිකයන්ටත් පැහැදිලිවම සන්නිවේදනය වෙනවා.
එම නිසා චෙන්නායි කණ්ඩායමේ කිසිඳු අර්බුධයක් ඇති වූයේ නැහැ.
පෙර පැවැති ක්‍රීඩාශීලිත්වයෙන්ම චෙන්නායි කණ්ඩායම පිටියට එනවා.
අනෙක් අතට මුම්බායි කණ්ඩායම මුල සිටම වරද්දා ගත්තා.
කණ්ඩායමක දෙවන පෙළක් සහ ඊළග පරපුර ගොඩනැගිය යුතු වූවත්, ඒ බව කළ යුත්තේ ඉතාම සීරුමාරුවෙන්.
මහේල ජයවර්ධන විසින් එම තීරණය සහමුලින්ම වරද්දාගත් බව පැහැදිලියි.
ඒ හේතුවෙන් අද මුම්බායි කණ්ඩායම දැඩි අර්බුධයකට මුහුණ දීලා.
කණ්ඩායම දෙකට බෙදිලා. ප්‍රබලයන් කලකිරිලා. රසිකයන් පවා කණ්ඩායමෙන් ඈත් වෙලා.
අනෙක් අතට මහේන්ද්‍ර දෝනි ඉතාමත් නිවැරදිව පරම්පරා අතර බල හුවමාරුව සිදු කළා.
එමෙන්ම තමන්ගෙන් පසු පරම්පරාවත් පුහුණු කරමින් සිටිනවා.
චෙන්නායි කණ්ඩායම මේ මොහොතේත් ප්‍රබලයි.
මහේල ජයවර්ධන සහ මහේන්ද්‍ර සිං දෝනි සිය ජාතික කණ්ඩායම් හි ජ්‍යේෂ්ඨයන් වී නායකත්ව දරද්දී, පරම්පරා හුවමාරුව සහ බල හුවමාරුව සිදු කළේ මේ අයුරින්ම නොවෙදැයි විටෙක සිතුණා.

ඉරේශාන් සිරිවර්ධන (fb)

           2024. 03. 28

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...