සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

Share post:

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය – චිත්‍රය – නර්ථනය , නාට්‍ය හා සාහිත්‍ය යනාදී කලාවන් සමගින් සම්මිශ්‍රණය වී අවසන තාක්ෂණය හා මුසුව වෙනමම අනන්‍යතාවයක් සහිතව ලොවට බිහිවූ අති – ප්‍රබල මාධ්‍යයක් වන්නේ ය. එහිලා සිනමාව හා සංගීත යනු වෙනමම කතාබහ කළ යුතු මාතෘකාවක් වන අතර සිනමාවේ ප්‍රබලත්වය හා කලාත්මක වර්ධනය පිණිස සංගීතය විසින් එදාමෙදාතුර කරන ලද සේවාව වචනයෙන් විස්තර කිරීමට නොහැකි තරම් ය.

පූර්ව නිහඬ චිත්‍රපට යුගයේ කෙබඳුද?

සිනමාවේ මූලාරම්භක අවදිය එනම්, පූර්ව නිහඬ චිත්‍රපට යුගයේ ( Pri Silent Cinama Age 1895 -1903 ) නිහඬ චිත්‍රපට බහුතරයක්ම ප්‍රදර්ශනය වූයේ අවන්හල්වල, සංගීත-ශාලා තුළ හා සැණකෙළිභූමි තුළ ය. මෙවන් වූ ස්ථානවල මිනිසුන්ගේ රසාස්වාදය පිණිස සංගීතය අත්‍යවශ්‍යම සාධකයක් විය. එහිල නිහඬ චිත්‍රපට ප්‍රදර්ශනය කළ ප්‍රක්ෂේපණ යන්ත්‍ර ක්‍රියාත්මක වීමේදී තොරතෝංචියක් නොමැතිව නැගෙන ශබ්දය නිසා තිරය මත දර්ශනය වන චලන චිත්‍රය රසාස්වාදය කිරීම ප්‍රේක්ෂකාගාරයට මහත්සේ බාධාවක් විය. එහෙයින් පරිභාහිර සංගීතයක් යන කාරණාව අත්‍යවශ්‍යම සාධකයක් විය.

එහෙයින් තිරය මත දර්ශනය වන රූපාවළිය තව-තවත් ප්‍රේක්ෂකාගාරය මත ස්ථාපිත කරනු පිණිස ප්‍රේක්ෂකයන්ගේ දෘෂ්ටි ඉන්ද්‍රියයේ ඇතිකරන රිද්මයට සමාන රිද්මයක් සංගීතය මගින් ලබාදීමට චිත්‍රපට ප්‍රදර්ශනකරුවන්ට සිදුවිය. මෙය චිත්‍රපටය හා සංගීතය ඉන්ද්‍රිය බද්ධ වූ ඵෙතිහාසික පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වේ.මෙහි ප්‍රතිඵලයක් ලෙස චලන චිත්‍රය තිරය මත ප්‍රදර්ශනය වනවිට එහි දර්ශනයට උචිත කුමන හෝ සංගීත ඛණ්ඩයක් සංගීතශිල්පියකු හෝ සංගීතශිල්පිණියක් විසින් වාදනය කරන ලදි. එහිලා බහුල වශයෙන් යොදාගන්නා ලද්දේ පියානෝව හෝ වයලීනය වැනි වාද්‍ය-භාණ්ඩ ය.

කාලයත් සමගින් මෙම ක්‍රමයට විවිධ විකල්ප ක්‍රම සොයන්නට එකල්හි චිත්‍රපට ප්‍රදර්ශකයෝ උත්සුක වූහ. ඒ මෙම ක්‍රමය චිත්‍රපටයට සෘජුවම සහසම්බන්ධතාවයක් නොදක්වන බැවිනි. එහෙයින් ඔවුහු මෙම සංගීතය දළ-සේයාපටයට ( රීලයට ) කාවැද්දවීම පිණිස ( Synchronised Music ) විවිධ අත්හදාබැලීම් කරන්නට නිරන්තරයෙන්ම උත්සුක වූහ.

මෙම අත්හදා බැලීම් තුළින් ඔවුනට තිරයමත දර්ශනය වන දර්ශනවල පරිසරය මැවීමටත් එමගින් ප්‍රේක්ෂකාගාරය කිසියම් වූ ආකාරය මනෝමය වශයෙන් එම දර්ශනය වෙත රැගෙන යෑමටත් හැකිවිය.

පශ්චාත් නිහඬ චිත්‍රපට යුගයේ කෙබඳුද ?

පූර්ව නිහඬ සිනමා යුගය1903 වනවිට නිමාවට පත්විය. ඒ 1903 දී එඩ්වින් එස් .පෝටර් ( Edwin S. Porter ) විසින් අධ්‍යක්ෂණය කරන ලද Great Train Robbery චිත්‍රපය තිරගත වීමත් සමගිනි. මෙමගින් ආරම්භ වනුයේ ලෝක සිනමාවේ පශ්චාත් නිහඬ සිනමා යුගය ( Post Silent Cinama Age 1903 -1927 ) යි. මෙම චිත්‍රපටය ලෝක සිනමාවවංශයේ පළමු වෘතාන්ත චිත්‍රපටය ලෙසද ඉතිහාසය ගතවිය.

The Great Train Robbery චිත්‍රපට තිරගත වනවිට චිත්‍රපටය ප්‍රදර්ශනය වනවිට පරිභාහිරව චිත්‍රපටයට අදාල සංගීත තැටියක් වාදන වන තරමටම සිනමා සංගීතය දියුණු වී තිබුණි. එකල මෙය කිසියම්දුරකට චිත්‍රපට යන මාධ්‍ය කෙරෙහි ප්‍රේක්ෂකාගාරය වශීකෘත කරගැනීමට බෙහෙවින්ම ඉවහල් වූ කාරණාවක් බව කිවයුතුය.

එඩ්වින් එස් .පෝටර් ( Edwin S. Porter 1870 – 1941 )
ඩී. ඩබ්ලියු ග්‍රීෆිත් ( D.W Griffith1875-1948 ) [ ලෝක සිනමාවේ පියා ]
සර්ජි මික්ලොවිච් අයිසන්ස්ටයින් Sergei Mikhailovich Eisenstein 1898 – 1948
ශ්‍රීමත් චාර්ලි චැප්ලීන් ( Sir Charlie Chaplin 1898 – 1977 )

ලොව චිත්‍රපටයක් වෙනුවෙන්ම පළමුවරට සංගීතය සම්පාදනය වූයේ L ‘ Assasinat du Duc du Guise – 1908 නැමති ප්‍රංශ චිත්‍රපටය වෙනුවෙනි. ඇමෙරිකාවේ චිත්‍රපටයක් වෙනුවෙන් පළමුවරට සංගීතය සම්පාදනය වූයේ ඩී . ඩබ්ලියු ග්‍රීෆිත් ( D.W Griffith ) විසින් අධ්‍යක්ෂණය කරන ලද The Birth of a Nation – 1915 චිත්‍රපටය වෙනුවෙනි. එහිලා වස්තු විෂයය වූ ඇමෙරිකානු සිවිල් යුද්ධයට ( American Civil War ) අනුකූල සංගීතයක් සම්පාදනය වූ බව කිවයුතුය. මෙම පසුබිම් සංගීතය අධ්‍යක්ෂකවරයාගේ ඕනෑ – එපාකම් මත හා ඔහුගේ සෘජු අධීක්ෂණය යටතේ සම්පාදනය වීම තවත් විශේෂත්වයකි.

1919 දී ඉතාලි ජාතික සංගීතඥයකු වූ ගුස්පෙෆ් බේසේ ( Giuseppe Becce ) විසින් චිත්‍රපටයක් ප්‍රදර්ශනය වනවිට ප්‍රේක්ෂකාගාරයේ හැඟීම් හා කුතුහලය ඇවිස්සෙන ආකාරයට ස්වර සහිත කිසියම් සංගීත කාණ්ඩ කීපයක් නිර්මාණය කරන ලදි. ඒවා අතර Night : Sinister Mood / Night : Threatening Mood / Uncanny Agitato / Magic : Appartion යනාදිය ප්‍රකට ය.

The Great Train Robbery -1903 Directed by Edwin S. Porter
The Birth of a Nation -1915 Directed by D.W Griffith
The Battleship Potemkin – 1925 Directed by Sergei Mikhailovich Eisenstein

කාලයාගේ ඇවෑමෙන් චිත්‍රපටය සදහා වෙනමම වූ අනන්‍යතාවයක් සහිත පසුබිම් සංගීතයක් අවශ්‍යය බව බොහෝ දෙනෙකුට අවබෝධ වී ගියේ ය. මෙමගින් චිත්‍රපටයේ රූපයත් සංගීතයත් අතර කිසියම්දුරකට සම්බන්ධතාවයක් සහිත පසුබිම් සංගීතයක් නිර්මාණය වීමට දොරගුළු විවර විය.

නිහඬ සිනමා යුගයේ දී චිත්‍රපටයක් වෙනුවෙන් සුවිශේෂී වූ පසුබිම් සංගීතයක් සම්පාදනය වූයේ රුසියානු ජාතික සර්ජි මික්ලොවිච් අයිසන්ස්ටයින් ( Sergei Mikhailovich Eisenstein ) විසින් අධ්‍යක්ෂණය කර ලද The Battleship Potemkin – 1925 වෙනුවෙනි. මෙහි කතා සන්දර්භයට අනුව වෙසෙසින්ම උචිත සංගීතයක් නිර්මාණය කිරීමට මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා වූ එඩ්මන්ඩ්

මිෂෙල් ( Edmand Meisel ) සමත්විය. මෙම පසුබිම් සංගීතය රුසියානු ප්‍රේක්ෂකාගාරය විසින් මහත් සේ වැළදගත් අතර මෙමගින් ඇතිකරන ලද භාවාත්මක කම්පනය එකල් ප්‍රේක්ෂකාගාරය සලිත කරලීමට වෙසෙසින්ම සමත්වූ බව කිවයුතුය. මෙහි පසුබම් සංගීතය පිළිබඳව අධ්‍යක්ෂකවරයා කොතරම් තම අවධානය යොමු කළාද කිවහොත් මෙම චිත්‍රපටය විදේශයන්හි ප්‍රදර්ශනය පිණිස අනුමැතිය ලබාදෙන ලද්දේ පරිභාහිරව වෙනත් කිසිදු සංගීතයක් භාවිතා නොකරන ලෙස නම් පමණි.

[ මේවනවිට The Battleship Potemkin චිත්‍රපට 4K තාක්ෂණය යටතේ සකස් කොට ඇමෙරිකාව ප්‍රමුඛ යුරෝපයේ බොහෝ රටවල්වල ප්‍රදර්ශනය කරනු ඇත. එහෙයින් මා විසින් ඉහත සාකච්ඡාවට බඳුන් කළ කාරණාව ඉතා පැහැදිලිව දකින්නට ලැබෙන ඇත.]

The Great Dictator-1940 චිත්‍රපටයේ පොත හා පසුබිම් සංගීත තැටිය
චාර්ලි චැප්ලීන්ගේ චිත්‍රපට පසුබිම් සංගීත තැටි !!

පශ්චාත් නිහඬ සිනමා යුගයේ තවත් සුවිශේෂී වූ චරිතයකි, චාර්ලි චැප්ලීන් ( Charlie Chaplin ). මොහුගේ සිනමා සම්ප්‍රාප්තිය සිදුවනුයේ Making a Living -1914 රීල් දෙකේ නිහිඬ චිත්‍රපටය තුළිණි. මොහුගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂනය වූයේ Dog’s Life -1918 ය. වැප්ලීන් ආරම්භයේ සිටම තම චිත්‍රපට සදහා වෙනමම පසුබිම් සංගීතයක් අවශ්‍යය බව තරයේ කියා සිටි අතර චිත්‍රපටය අරබයා පසුබිම් සංගීතය අතිශයින්ම වැදගත් සාධකයක් යන්න සිනමා ක්ෂේත්‍රයට හේත්තුගැන්වීමට මූලිකව ක්‍රියා-කළ අයකු ද වූයේ ය.

චැප්ලීන් රගපෑ චරිත හාස්‍යයෙන් යුතු වුවද එහි ඇතුළාන්තයෙන් අතිශයින්ම ප්‍රබල සමාජ විවරණයක් විශද වූයේ ය. එහිලා සමාජයේ අන්ත දරිද්‍රතාවය, සාගින්න, සමාජ අසාධාරණය හා ඇති‐නැති පරතරය ( පංති භේදය ) ඉතා ප්‍රබල ආකාරයෙන් නිරූපණය විය.

මොහුගේ චිත්‍රපට මහා පරිමාණයේ නිෂ්පාදන ( The Great Dictator – 1940 හැර ) නොවීය. එසේම ඵෙතිහාසික ශානරයට ගැනෙන චිත්‍රපට ද නොවීය.
සමාජයේ මිනිසුන්ගේ නෙතට – දකින / කනට – ඇසෙන දේවල් මොහු තම චිත්‍රපට මගින් ප්‍රති-නිර්මාණය කළ අතර ඒ සෑම චිත්‍රපටයක් අතිශයින්ම අව්‍යාජ විය. එබැවින් ප්‍රේක්ෂකාගාරය මොහුගේ චිත්‍රපට සිනහවත් – කඳුලත් අතර දෝලනය වන සමාජයේ කැඩපත් බදු නිසාම හදවතින්ම වැළදගන්නා ලදි.
චැප්ලීන් විසින් නිර්මාණය කරන ලද පාදඩයා (The Tramp as portrayed by Chaplin Chaplin ) චරිතය මොහුගේ රගපෑම හා සංකල්පනාව මතින් ජනිත වූවකි. එසේම එම චරිතය වටා සමස්ත චිත්‍රපටයම කේන්ද්‍රගත වූ අතර චිත්‍රපටයට වඩා නළුවා කෙරෙහි ප්‍රේක්ෂකාගාරය වඩාත්ම වශීකෘත වූයේ
ද මෙම පාදඩයාගේ චරිතය නිසා ය. එය “සිනමා තරු සම්ප්‍රදායේ”( Film Starts )

The Kid චිත්‍රපටයේ පොත හා පසුබිම් සංගීත තැටිය
City Lights -1930 චිත්‍රපටයේ පොත හා පසුබිම් සංගීත තැටිය

මූලාරම්භක අවස්ථාව ලෙස සැලකිය හැකිය. මෙමගින් “චිත්‍රපටයේ නළුවා” නිසාම චිත්‍රපට නැරඹීමේ සම්ප්‍රදාය ද ඇරඹුණි.
චැප්ලීන් තම චිත්‍රපට සදහා ඉතා සරල සිනමා රීතියක් අනුගමනය කළ අතර එමගින් එවකට සිනමාව අරබයා සාකච්ඡා වෙමින් පැවති විදග්ධ සිනමා කතිකාවට දරුණු පහරක් එල්ල වූ බව කිවයුතුය. තවත් අතකින් චැප්ලීන් නිහඬ යුගයේ සිනමාවේ නිර්මාණාත්මක පාර්ශවය සංවර්ධනය කළ අතර අනෙක් අතින් සිනමාව කර්මාන්තයක් වශයෙන් ස්ථාපිත කිරීමට වෙසෙසින්ම දායක වූයේ ය.

එදා චැප්ලීන්ගේ චිත්‍රපට නැරඹීම එක්තරා උන්මාදයක් වූ අතර එය ඇමෙරිකාවෙන් පිටත යුරෝපයේ මෙන්ම ලෝකයේ දසත ව්‍යාප්ත වී ගියේ ය. එහිලා චැප්ලීන්ගේ අලුත් චිත්‍රපටයක් තිරගත කිරීම ආරම්භ කරත්ද ලොවපුරා සිනමාශාලා අතුරු-සිදුරු නැතිව පිරී ඉතිරී ගියේ ය. එහෙයින් ඇමෙරිකාවේ බොහෝ ප්‍රාන්තවල සිනමාශාලාවල දිගු-පෝලිම් පැවති නිසා ඒවායේ ජනතාව පාලනය කිරීම පිණිස පොලීසිය යෙදවීම අනිවාර්යය කාරණාවක් වූ බව කියැවේ.
චැප්ලීන් තම චිත්‍රපටයේ කතාපුවතට අනුව පසුබිම් සංගීතය ඔහු විසින් සම්පාදනය කරන ලදි. මෙමගින් මොහු ලෝක සිනමාවේ තම චිත්‍රපටයක් ( Dog’s Life – 1918 )වෙනුවෙන් පසුබිම් සංගීතය සම්පාදනය කරන ලද පළමු චිත්‍රපට අධ්‍යක්ෂකවරයා බවට පත්විය . එදා මොහු විසින් තම චිත්‍රපටය සදහා සම්පාදනය කරන ලද පසුබිම් සංගීතය ප්‍රේක්ෂකාගාරය විසින් මහත් සේ වැළදගන්නා ලදි. එහි දිගුවක් වූයේ ඔහුගේ අතිශයින්ම ජනප්‍රිය චිත්‍රපටවල පසුබිම් සංගීතය ඒ වනවිට අතිශයින්ම ජනප්‍රිය පැවති EP / LP තැටි මගින් වෙළදපොළට නිකුත් වීමයි. මෙය ලෝක සිනමාවට එකතු නව්‍යමය අංගයක් වූයේ ය. එසේ වී නම් චිත්‍රපටය සදහා එහි විස්තර හා ඡායාරූප සහිත පොත් -පිංචක් හා එහි පසුබිම් සංගීතය ඇතුළත් තැටියක් වෙළදපොළට නිකුත්වීම ආරම්භ වූයේ ද චැප්ලීන්ගේ චිත්‍රපට නිසාය.

චාර්ලි චැප්ලීන්ගේ චිත්‍රපට පසුබිම් සංගීත තැටි !!

එදා චැප්ලීන්ගේ චිත්‍රපට බොක්ස් ඔෆීස් වාර්තා පිට වාර්තා තබන ලද අතර ඔහුගේ චිත්‍රපටවල පසුබිම් සංගීත තැටිද දහස් ගණනින් ලොවපුරා විකිණී ගියේ ය. ඒ අතර ඔහුගේ The Kid 1921 / The Pilgrim 1923 / A Woman of Paris 1925/ The Circus 1928 / The Gold Rush 1925 / City Lights – 1930 /Modern Times – 1935 / The Great Dictator – 1940 / A King in New York – 1952 යනාදී චිත්‍රපට වෙනුවෙන් වෙළදපොළට නිකුත් කරන ලද LP තැටි ලොවපුරා ලක්ෂ ගණනින උණුකැවුම් මෙන් විකිණී ගියේ ය. මොහුගේ තවත් LP තැටි කීපයක්ම වෙළදපොළට නිකුත් කරන ලදි. ඒවා මොහුගේ චිත්‍රපට කීපයක්ම පසුබිම් සංගීතය එකතු කර නිකුත් කරන ලද තැටි විය. මේවා Charlie Chaplin’ s Collected Film Theme Music විය.
එදා බොහෝ චිත්‍රපට සමගින් තැටිද වෙළදපොළට නිකුත් කිරීම සමගින් සංගීත තැටි නිෂ්පාදනය ද වාණිජමය අතින් අතිශයින්ම සාර්ථක ව්‍යාපාරයක් වූ බව පැහැදිලිවම පෙනේ. එම නිසාම චිත්‍රපට නිෂ්පාදනයන් හා තැටි නිෂ්පාදකයන් අතර ඉතා ඉහළම වෙළද ගිවිසුම් ඇතිබව කියැවේ.

ලෝක සිනමාව හා චාලි චැප්ලීන් අතර ඇත්තේ අවියෝජනීය සහසම්බන්ධතාවයකි. එසේම චාලි චැප්ලීන් යනු ලෝක සිනමාව අරබයා සර්වකාලීන චරිතයක් ද වන්නේ ය.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

[ මතු සම්බන්ධයි ]

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...

පාස්කු සැකකරුවකුගෙන් සීඅයිඩීය බලෙන් ප්‍රකාශයක් අරන් !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුවක ප්‍රධාන සාක්ෂිකරුවකුගේ ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බලහත්කාරයෙන් ලබාගත් එකක් බවට සැක...