මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ කාමන් බින් ලාඩන්(Carmen Bin Ladin) ගේ The Veiled Kingdom කෘතිය ‘වට තිර ලූ රාජ්ජය’ ලෙස සෑම සදුදා සහ බ්‍රහස්පතින්දා දිනකම කොටස් වශයෙන් පළවේ. අද පළවන්නේ එහි 4 වන කොටසයි.
මා වැඩිහිටියකු වූ කල මගේ දෙමව්පියන්ගේ විවාහය පිළිබඳ කථාව අම්මාගේ නෑනා කෙනෙකු මට කීවාය. අධ්‍යාපනය සඳහා ලෝසෑන් වෙත පැමිණි මගේ අම්මාට තාත්තා හමුවිය. ඔවුහු පැරීසියට පැනගොස් එහිදී විවාහ වී ආපසු පැමිණි අතර, ඇගේ පවුලේ උදවියට ඒ පිළිබඳව කළහැක්කක් නොවීය. ඉක්මන් තීරණ ගන්නා කැරලිකාරියක වූ ඈ තම දියණියන්ට කාමන්, සැලෝමි, බියට්‍රිස් හා මැග්නෝලියා යනුවෙන් නම් තැබීමට හැකි තැනැත්තියක වූවාය. ඇතුළාන්තයෙන් ඈ එබඳුය. අම්මා සිය රට අතහැර ඈ කැමැති වූ පුරුෂයා සමඟ පැනගොස්, මෝටර් රියක් පවා පැදවූවාය. ඒ අතින් ගත් කල, ටිකක් පුදුමය දනවනසුළු වුවද, ඈ පුරෝගාමී කාර්යභාරයක් ඉටු කොට තිබිණි.
එහෙත් පසුකාලීනව ඈ ඒ පෞරුෂය යටපත් කරගත්තාය. ඊට හේතුව ඇතැම්විට ඇගේ විවාහයේ බිඳවැටීම විය හැකිය. අප හැදී වැඩෙත්ම, අම්මා අනෙක් අය කුමක් සිතනවා ඇතිද යන්න ගැන පමණක් සිත යොමු කර තිබුණා සේ පෙනී ගියේය. ඈ ඇගේ දරුවන් හදාගන්නට අවශ්‍ය යැයි කල්පනා කළේ ඉන් පෙර ඇය පවා පැන යන්නට උත්සාහ කළ ආකාරයේ සීමාකාරී සන්දර්භයක් තුළය. මගේ තාත්තා ඈ අතහැර වෙනත් ගැහැනියක කරා ගිය බව පිළිගැනීමට ඈ සූදානම් නොවූයේ, ඇගේ විවාහය බිඳවැටුණේ නම් ඉන් ඇගේ හිතුවක්කාරී විවාහය වැරදි තීරණයක් යැයි ඇගේ මව ඉදිරියේ තහවුරු වන නිසාය.
මැදපෙරදිග සම්භවයක් තිබීම ගැන මට පෙනුණේ එලෙසිනි. එය රහස්වලට මුවාවී ගෙවන ජීවිතයකි. ඔබට එකඟ විය නොහැකි දේ ඔබ සඟවා දමයි. ඔබට සමාජ සම්මතයන්ට යටත් වීමට සිදුවේ. සමාජයට මුහුණදීම සඳහා බොරුකීම වංක බවක් ලෙස නොසැලකේ. වැදගත් වන්නේ පිටතට පෙනෙන දේ පමණි. මගේ පෞරුෂත්වය ඊට වඩා වෙනස් එකක් විය. මට සත්‍යය පමණක් වැදගත් වූ අතර, යටත් වීමට මා සූදානම් නොවීමි. අම්මාගේ නීතිරීති වලට නම්‍යශීලී වනවා වෙනුවට මා විරෝධාකල්පික ලෙස ඈ සමඟ සණ්ඩු කරන්නට පටන් ගත්තෙමි. ඈට බොරුකියන්නට සිදුවන තැනට මා තල්ලු කරන්නට එපා යැයි වරක් මා ඈට කියනු මට මතක ඇත. මගේ චරිතයේ යථා ස්වභාවය පිළිගන්නා ලෙස ඈට බලකිරීමට මට සිදුවිය.
උසස් පාසලේදී මගේ නංගීත් මමත් දුම්පානය කරන්නට පටන් ගතිමු. අප සිගරට් අත්හරින්නේ නම් අප කැමති ඕනෑම දෙයක් මිලදී ගෙන දෙන්නෙමැයි අම්මා කීවාය. සැලෝමිට කාර් එකක් උවමනා වූ අතර, අම්මා ඈට ෆියට් වර්ගයේ රථයක් අරන් දුන්නාය. එහෙත් සැලෝමි හොරෙන් දුම්පානයේ යෙදුණාය. අම්මා මා කැටුව ලොම් කබා සකස් කරන ආයතනයකට ගොස් මට දිවි සමින් මැසූ කබායක් ඇඳ බලන්නට සැලැස්වූවාය. “ආයෙත් සිගරට් එකක් කටේ තියන්නෙ නෑ කියල පොරොන්දු වෙන්න, මං ඔයාට මේක මේ දැන්ම අරන් දෙනවා,“ යැයි අම්මා මට කීවාය. ඇත්තවශයෙන්ම මට ඒ පොරොන්දුව දෙන්නට උවමනාවක් තිබුණි – මට ඒ කබාය ගැනීමට අවශ්‍ය විය. එහෙත් මට එය අවංකව ඉටු කරන්නට බැරි බව දැන දැනම පොරොන්දු දෙන්නට අවශ්‍ය නොවූයේය.
වැඩිහිටියකු බවට පත්වූ මා, මගේ චරිතයත් මා හදාවඩා ගන්නා ලද ආකාරයත් අතර තිබූ පරස්පරතාවයන් නිසා හටගත් චිත්තවේගීය කැළඹීමකින් අබ්බගාතව උන්නෙමි. මා ජීවත් වූයේ බටහිරය. මා ඉක්මන් තීරණවලට එළඹෙන, ආවේගශීලීව ක්‍රියාකරන කෙනෙකු වීමි. මා නිදහස් වන්නට පෙරුම් පුරාගෙන සිටිය මුත්, පෞරුෂත්වයට වඩා ගෝත්‍රයේ නීති රීති උසස්කොට සැලකූ මැදපෙරදිග සංස්කෘතියේ සීමාවන් තුළ මගේ පසුබිමින් වැඩි කොටසක් සිරවී තිබිණි. මැදපෙරදිගදී ඔබ ඔබේම අනන්‍යතාවක් ගොඩනඟාගනු නැත. මිනිස්සු ඔවුන්ගේ සම්ප්‍රදායයන් වෙතින් කෙටි කාලයකට ඈත්ව සිටීමට සමත්වනු ඇති නමුත් එකී නීති රීති ඔවුන් පසුපස ලුහුබැඳ ක්‍රම ක්‍රමයෙන් ඔවුන්ව ග්‍රහණයට ගන්නේය.
මගේ ජීවිතය කිනම් පාරක රැගෙන යා යුතුදැයි මා විසින් තීරණය කළ යුතු බව දැන සිටි නමුදු, අත්දැකීම් විරහිත බවත් මානසික වශයෙන් වූ කැළඹීමත් එය තනිවම කිරීමට මට බාධකයක් විය. උදව්, නැතහොත් එවැන්නක ඡායාමාත්‍රයක් හෝ ලැබෙනතුරු මා බලා සිටියෙමි.
(3 වැනි පරිච්ඡේදය)
ආලය
යෙස්ලාම් මට මුණ ගැසුණු පළමු මොහොතේ මේ මිනිසා මගේ ජීවිතය සදහටම වෙනස් කරන්නට යන බවක් මා හට කිසිසේත්ම දැනුණේ නැත. ඒ වසන්ත සමය වූ අතර, ජිනීවා නගරය සවුදි අරාබියානු සංචාරකයින්ගෙන් පිරීගොස් තිබිණි. මාත් මගේ නැඟනියනුත් නිවාඩුවට ඉරානයේ සිටි අත්තම්මා බැලීමට යාමට සැලසුම් කරගෙන සිටි බැවින්, අම්මා ඇගේ නිවසේ එක් තට්ටුවක් ගිම්හාන ඍතුව සඳහා එක්තරා සවුදි අරාබි පවුලකට කුලියට දීමේ ගිවිසුමකට එකඟ වී සිටියාය. හිසේ සිට දෙපතුළ තෙක් කලු පැහැති ඇඳුමකින් සැරසී උන් මේ හීන්දෑරි සවුදි තරුණයා ගිවිසුම පූර්ණ කිරීමට පැමිණ සිටියේය. ඔහු දෙස නෙත් කොනින් බැලූ මට ආචාරශීලී සිනාවකින් පිළිතුරු ලැබිණි. ඊළඟට මගේ අත්තම්මා ඇගේ කකුල තුවාල කරගත්තෙන්, අපේ ඉරාන සංචාරය අහෝසි විය. නිවස කුලියට දීමේ ගිවිසුම අත්හිටුවීමට කාලය මඳ වූ නිසා මටත් මගේ නැඟනියන්ටත් ලෝසෑන් හි පිහිටි තට්ටු නිවාසයක සිට අම්මා සවුදි අමුත්තන්ට කුලියට දුන් ඇගේ නිවස වෙත යාම් ඊම් කරන්නට සිදුවිය.
යෙස්ලාම්ගේ මවද මගේ අම්මා මෙන් ඉරාන ජාතික කාන්තාවක වූවාය. කාරුණික ලෙස කතා කළ ඈ ප්‍රසන්න රවුම් මුහුණක් ඇති, හිසකේ කලු පැහැයෙන් වර්ණ ගැන්වූ කාන්තාවකි. ඈ දිගු ඇඳුම් ඇන්ද අතර, සරල මුස්ලිම් හිස් ආවරණයක් පැළඳුවාය. අපි පර්සියානු බසින් කතා කළෙමු. යෙස්ලාම්ගේ බාල මල්ලිලා වන ඊබ්‍රහීම් සහ ඛලීල්ට කැරලිගැසුණු බූසි කොණ්ඩා සහ ප්ලැට්ෆෝම් සපත්තු තිබුණි. ඇඟට හිර ටීෂර්ට් අඳින, ලොකු අඳුරුකළ අව්කණ්ණාඩි පළඳින රැළි සහිත දිගු කෙස් කලබක් ඇති ඔහුගේ නැඟනිය ෆවුසියා යුරෝපීය නවයෞවනියක ලෙස දිස්වූවාය. ඔන්න ඊළඟට යෙස්ලාම්.
යෙස්ලාම් මසිතෙහි කුතුහලයක් ඇති කළේය. ඔහු ශාන්ත දාන්ත වූ අතරම අන්‍යයන් නම්මාගන්නා බලාධිකාරයක් ඔහු තුළ විය. ඔහු හීන්දෑරි කඩවසම් පුද්ගලයෙකි. වැඩි කතාබහක් නොකළ මුත්, ඔහුගේ ඇස් විනිවිදිනසුළු මෙන්ම සෞම්‍ය ද වූයේය. එපමණක් නොව ඒවා බොහෝවිට බලා සිටියේ මා දෙසය. හෙමින්ම අප දෙදෙනා ඉංග්‍රීසියෙන් කතා කරන්නට පටන්ගත් අතර, සරල කෙටි අදහස් හුවමාරුව දීර්ඝ සම්භාෂණයන් දක්වා වර්ධනය විය. කාලය ගෙවීයත්ම යෙස්ලාම් වඩවඩාත් අවධානයෙන් ඇහුම්කන් දුන්නේය. ඔහුත් ඔහුගේ පවුලේ අයත් නගරයේ ඇවිදින්නට යන විට ඔවුන් හා පැමිණෙන ලෙස ඔහුගෙන් දිගින් දිගටම ඉල්ලීම් කෙරෙන්නට පටන් ගත්තේය. සිය ඩොබර්මන් වර්ගයේ බල්ලන් දෙදෙනාට ඔහු දැක්වූයේ මහත් ආදරයකි. අවුරුදු විසිහතරක් වයස් වූ ඔහු මටත් මගේ මිතුරියන්ටත් වඩා මඳක් වයසින් වැඩි, එමෙන්ම වෙනස් තැනැත්තකු විය. ඔහු හැසිරුණේ වැඩිහිටියකු මෙනි. සිය මවගේ වැඩිමහල් දරුවා වූ ඔහු පවුලේ නායකයා වූ අතර, නායකත්වය ඔහු තුළින් ස්වාභාවිකවම මතුවන්නා සේ පෙනිණි. ඔහුගේ සොහොයුරු සොහොයුරියන් ඇතුළු සැම දෙනාටම පමණක් නොව ඔහුගේ මවට පවා යෙස්ලාම්ගේ වචනය නීතියක් මෙන් විය. මගේ අම්මාද ඔහුගෙන් උපදෙස් පතන්නාක් මෙන් පෙනෙන්නට තිබිණි.
වැඩිමහල් පුත්‍රයා ගෝත්‍රයේ සෑම චර්යාවක්ම පාලනය කරන්නා බවට පත්වන සවුදි සංස්කෘතියේ හැදී වැඩුණු නිසාවෙන් යෙස්ලාම් කෙරෙන් එම ස්වාභාවික බලාධිකාරය ඉස්මතු වූ බව මට දැන් කිවහැකිය. එසේ වුවද ඒ අවධියේ මා ඔහු තුළින් දුටුවේ දාහකින් හොයාගන්නට බැරි, ලස්සන, මා ගැන සැලකිල්ලක් දක්වන මිනිසකු පමණක් වූ අතර, ඔහු හා කාලය ගතකිරීම මට බෙහෙවින් චිත්තාකර්ශණීය අත්දැකීමක්ද වූයේය. යෙස්ලාම්ට පැහැදිළි දැක්මක් තිබිණි. තියුණු මනසක් හා දැඩි උනන්දුවක් ඔහු තුළ විය. මා කී ඕනෑම දෙයක් ඔහුට විස්තරාත්මකව මතක තිබුණේය. ඔහු මා තේරුම් ගත්තේය. ඔහුට මා උවමනා බව පෙනෙන්නට තිබුණු අතර, මට දැනෙන්නට වූයේ ඔහුට මෙලොව විශ්වාසය තැබිය හැකි එකම පුද්ගලයා මා පමණක්ය කියාය. මා ඔහුට හදිසියේම එක් මොහොතකදී ආලය කරන්නට පටන්ගත්තේ යැයි කිව නොහැකිය. එහෙත් මා ඔහුට ආදරය කරමින් සිටියෙමි.
ගිම්හානය ගෙවී යත්ම යෙස්ලාම් හා මම දිනපතාම එකිනෙකාගේ සමාගමය සෙවීමු. හැම නිදහස් මොහොතක්ම අප ගතකළේ එකටය. හදිසියේම මා මගේ දෙමාපියන්ගේ දික්කසාද ලියකියවිලි සොයාගත් අතර, ඒවා කියවීමෙන් මා සම්පූර්ණයෙන්ම කඩා වැටුණෙමි. මම තාත්තාව වෙනස් ආලෝක කදම්බයක් ඔස්සේ දකින්නට පටන් ගත්තෙමි. මා සැමදා දකින්නට බලා සිටි කඩවසම්, බලවත්, ආදරණීය තාත්තා නොවැදගත්, තුච්ඡ පුද්ගලයකු හැටියට මම දුටුවෙමි. මා දැනගත යුතුව තිබුණේ යැයි මට සිතුණු වැදගත් බොහෝ දේ අම්මා මගෙන් සඟවා තිබිණි.
මම යෙස්ලාම්ගේ උරහිස මත හිස තබාගෙන හැඬුවෙමි. මගේ තාත්තා කළාක් මෙන්, මගේ දරුවන්ගේ පියාද ඔවුන්ව අතහැර දමනු ලබනවාට මා අකැමැති බැවින් මා කෙසේවත් විවාහ නොවන්නේ යැයි ඔහුට කීවෙමි. මගේ දෙමාපියන්ගේ මෙන් තිත්ත වූ දික්කසාදයකින් මගේ දරුවන්ද දුක් විඳිනවාට මම කැමැති නොවීමි. යෙස්ලාම් මා සැනසුවේය. ඔහු වෙත ආරක්ෂාව ඇති බව මට හැඟිණි.
යෙස්ලාම් සතුව අපූරු ගතිගුණයක් තිබුණේය. එක් රාත්‍රියක ඔහු සිය පෝර්ෂ වර්ගයේ මෝටර් රථයෙන් මට රිය පදවන හැටි ඉගැන්වූයේය. මා අතින් එය මගේ අම්මාගේ නිවසේ ගේට්ටුවේ වැදී විනාශ විය. මා සිතුවේ ඔහුගේ සිත ඉන් හොඳටම අවුල් වනු ඇතැයි කියාය. එහෙත් ඔහු එය කිසිදු ගණනකට ගත් බවක් නොපෙනුණි. “ඔයා හරි භයානක ඩ්‍රයිවර් කෙනෙක්,” යැයි ඔහු සිනාසෙමින් කීවේය. යෙස්ලාම් ඔහුගේ අලුත්ම අලුත් මෝටර් රථයට ආදරය කළේය. එහෙත් ඔහු ඊටත් වඩා මට ආදරය කරන බව ඒ රාත්‍රියේ මම තේරුම් ගත්තෙමි. මෝටර් රථ ධාවනය යෙස්ලාම්ගේ ප්‍රියතම විනෝදාංශවලින් එකක් වූ අතර, ඔහු ස්වීඩනයේදී මෝටර් රථ ධාවන තරග සඳහා පුහුණුවීම් සිදුකොට තිබිණි. සැන්දෑ යාමයට ෂූබර්ට්ගේ සංගීතය සද්දෙට දමාගෙන අපි ස්විට්සර්ලන්තයේ කඳු අතරින් වේගයෙන් මෝටර් රථය ධාවනය කළෙමු.
අපේ ආලයේ මුල් කාලයේදී මා යෙස්ලාම් දුටුවේ පිරිමි යහළුවකු හැටියට මිස විවාහාපේක්ෂකයකු ලෙස නොවේ. මා ඔහුට ආකර්ශණය වූ එක් හේතුවක් වූයේ ඔහුගේ ස්වාධීනව වැඩකරන ගතියයි. ස්වාධීනව වැඩකටයුතු කරගැනීමට මටද බෙහෙවින් උවමනා වී තිබිණි. ඔහු සමඟ කතා කිරීමට මම බොහෝ ආශා කළෙමි. එහෙත් ඔහු බුම්මාගෙන හිඳින විට එය මා පිස්සු වැට්ටුවේය. මා මගේ මිතුරියන් සමඟ වැඩි වේලාවක් කතා කරමින් සිටි අවස්ථාවල ඔහු ඊට විරුද්ධත්වය ප්‍රකාශ නොකළ නමුදු ඔහුගේ නිශ්ශබ්දතාවය නිසා මට ක්ෂණිකවම වරදකාරී හැඟීමක් දැනෙන්නට පටන් ගනියි. ඔහුට නිරන්තරයෙන්ම මගේ පූර්ණ අවධානය අවශ්‍ය විය. මා හැර අන් සියළු දෙනා කෙරෙහි ඔහු අනුගමනය කළේ නිහඬ පිළිවෙතකි. මා විවෘතව හැමදෙනාම ආශ්‍රය කිරීම ගැන ඔහු සතුටු වූ නමුදු, ඔහුව අපහසුතාවයට පත් කරලීමට මට උවමනා නොවීය – සීමාවන් පවතින බව මා තේරුම් ගත්තෙමි. පුදුමාකාර ලෙස, ඔහුගේ ස්වාමීත්වය මට ගෞරවයක් දැනවූයේය. එය මට ගෙන දුන්නේ ආරක්ෂාකාරී හැඟීමකි.
පරිවර්තනය – මොහාන් ධර්මරත්න
පසුගිය කොටස්
“කාමන්, ඔයා හරිම විශේෂ කෙනෙක්. ඒක කවදාවත් අමතක කරන්න එපා.“ (වට තිර ලූ රාජ්‍යය – 03)
“සැප්තැම්බර් එකොළහ උදාවූයේ ලස්සන ඉන්දියානු ගිම්හානයේ දිනයක් ලෙසිනි” (වට තිර ලූ රාජ්ජය – 01)