මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ කාමන් බින් ලාඩන්(Carmen Bin Ladin) ගේ The Veiled Kingdom කෘතිය ‘වට තිර ලූ රාජ්ජය’ ලෙස සෑම සදුදා සහ බ්‍රහස්පතින්දා දිනකම කොටස් වශයෙන් පළවේ. අද පළවන්නේ එහි 12 වන කොටසයි.
ස්වභාවයෙන් මා සර්වශුභවාදියෙකි. ජිද්දා දියුණු වෙමින් පැවැති අතර, විදේශිකයෝ බුරුතු පිටින් රට තුළට එන්නට පටන්ගෙන තිබුණේය. ටික කලකින්ම, කාන්තාරයේ තර්ජනාත්මක හිස්බව අලුතින් ගොඩනැඟෙන පුළුල් නව මංමාවත් සහ අහසට උසැති, දිළිසෙන ගොඩනැඟිලිවලට ඉඩදී පැත්තකට වනු ඇත. වෙනත් සංස්කෘති මෙන්ම සවුදි සමාජයද නවීන ලෝකයකට පා තබනු ඇතැයි මම අනුමාන කළෙමි. ඉරානයේ මෙන් ශීර්ෂාවරණය පළඳිනවාද නැද්ද යන්න ගැහැනියට තීරණය කිරීමට හැකිවනු ඇතැයි මම සිතුවෙමි. ක්‍රමානුකූලව අපටද වීදිවල ඇවිදීමටත්, අවශ්‍ය තැනකට මෝටර් රථය පදවාගෙන යාමටත් හැකිවනු ඇත. අප විසින්ම අපේ සාප්පු සංචාරය යනු ඇත; ඉක්මනින්ම මෙහි සාප්පු ගොඩනැඟෙනු ඇත; අපට අවශ්‍ය වූයේ නම් අප රැකියාවල නිරතවනු ඇත.
මේ අතර, මම මගේ අලුත් ජීවිතයට හැඩගැසී හොඳ සවුදි බිරිඳක හා මවක වීමට උත්සාහ කළ යුතුව තිබුණි. අප වාසය කළේ ඕම් යෙස්ලාම් හා ෆවුසියා සමඟය. ඕම් යෙස්ලාම්ගේ සුඩාන ජාතික රියදුරා මටද සේවය කළ අතර, අපි තවත් ඉතියෝපියානු සේවිකාවක වැඩට ගත්තෙමු. මා ටිකෙන් ටික මූලික අරාබි බස අහුලාගත් අතර, වෆාගේ දත් වර්ධනය වීමත්, ඈ ඔබ මොබ ඇවිදින්නට පටන් ගැනීමත් නිසා මාතෘත්වයේ රමණීය බව මට අවබෝධ වූයේය. ඒවා හැරුණුකොට මගේ අලුත් ජීවිතයේ අන් කිසිවක් ස්වාභාවික නොවීය.
සියල්ලටම වඩා ආගන්තුක වූයේ ඕම් යෙස්ලාම්ගේ ස්ත්‍රී ලෝකයේ නිශ්ශබ්ද ගොලුබෙලි ජීවිතය තුළට ටිකෙන් ටික තල්ලු වී සිරවීමට සිදුවීමයි. එය සැබැවින්ම නිර්වින්දනය වූවාක් වැන්න. ඕම් යෙස්ලාම් හොඳ ගැහැනියක වූ නමුදු, ඇගේ විනෝදාංශයන් වූයේ කෑම පිසීමත් කුරාණයත් පමණය. දිනකට පස් වතාවක් යාඥා කළ ඈ සම්ප්‍රදායෙන් දැඩිව කොටු කරනු ලැබූ අදිසි කූඩුවක් තුළ ජීවත් වූවාය.
අරාබි බසින් ගැහැනිය හඳුන්වන ‘හොර්මා’ යන වචනය ‘හරාම්’ හෙවත් පාපය යන වචනයෙන් බිඳී ආවක් වන අතර, ඉස්ලාමික චාරිත්‍ර සහ නීතිරීති පිළිපැදීම යන කාරණය සමඟ ඕම් යෙස්ලාම්ගේ ජීවිතයේ සෑම මොහොතක්ම වෙළී තිබුණේය. සෑම දෙයක්ම ‘හරාම්’ නැතහොත් පාපයක් බව පෙනී ගියේය. එමෙන්ම, පාපයක් නොවූ යමක් තිබුණි නම් එය ‘අබේ’ ය, පිරිමි සේවකයකුට කතා කිරීම ‘අබේ’ ය, පවුලට පිටස්තර වූ පිරිමියකුට දර්ශනය වීම ‘හරාම්’ ය. බොහෝ ඉවසුම් ඇති ඔම් යෙස්ලාම් ඇගේ නිශ්චල ශාන්ත මුහුණින් රවා බැලුවේ කලාතුරකින් වුවද, මා කළ ඇතැම් දේවලට ඈ මෘදු හඬින් දැක්වූ පුදුමය තුළ ඇගේ විරෝධය අන්තර්ගත වූ බව මා නිගමනය කළෙමි.
බින් ලාඩන් ගැහැනියකට නිවසින් පිටත යෑම සෑම විටකම පාහේ ‘හරාම්’ සහ ‘අබේ’ විය. පවුලට පිටස්තර පිරිමියකුට අපගේ මුහුණු කිසි විටෙකත් දැකගැනීමට නොහැකි විය යුතු වූයේය. අප නිවසින් පිට වූයේ නම් ඒ කිසියම් පිරිමියකු විසින් අපව යම් නිශ්චිත තැනකට මෝටර් රථයෙන් ගෙනගොස් හැරලීමටය. අප විසූ ප්‍රදේශය කොයි ආකාර වීදැයි මා හට කිසියම් අවබෝධයක් ලැබුණේ මාස ගණනාවකට පසුවය.
කඩේ යෑම සේවකයින්ට පමණක් සීමා විය. අපට යමක් අවශ්‍ය වී නම් එය සොයාගෙන එන ලෙස ගෘහ සේවක ළමයා වූ අබ්දූ හෝ වෙනත් රියදුරකුට දැනුම් දිය යුතු වන්නේය. ඒ නාන ඇඳුම් පමණක් නොවිනි. තේ, සනීපාරක්ෂක තුවා – ඕනෑම දේකට ඒ ක්‍රමයමය. අප ඒවාට කැමැති නැතිනම් ඔහු තවත් සූට්කේසයක් පුරවා බඩු රැගෙන එනු ඇත. අප අවශ්‍ය දේ තෝරාගත් පසු ඔහු සූට්කේසයත් රැගෙන වෙළඳසැලට ගොස් මිලගණන් අසාගෙන මුදල් ගෙනයාම සඳහා නැවතත් පැමිණෙනු ඇත. මේ වැල්වටාරම මා පිස්සු වැට්ටීය.
ගැහැනුන්ව මිරිකා නීති ජාලයක සිරකළ මේ ක්‍රමය නිසා මගේ ජීවිතය විශ්වාස කළ නොහැකි තරම් සංකීර්ණ විය. සිමිලැක් ළදරු කිරි බීමට වෆා පුරුදු වී සිටියාය. මා ඒවායින් මහ තොගයක් රැගෙන ආ නමුදු එය ඉවරවෙමින් තිබිණි. ඈට ශක්තිය මඳ යැයි මට හැඟී ගියේය. ඒ ඇතැම්විට අධික රස්නය නිසාද විය හැකිය. වෙනත් වර්ගවල කිරි ඈට අසාත්මිකතා ඇතිකරනු ඇතැයි කල්පනා කළ නිසා මා සිමිලැක්ම සෙවීමට අධිෂ්ඨාන කරගත්තෙමි. ඒවා ගෙන ඒමට මා අබ්දූ යැවූ මුත් ඔහු ආපසු පැමිණියේ සාමාන්‍ය ළදරු කිරි වර්ග අඩංගු බැරලයක් රැගෙනය. සිමිලැක් සොයාගැනීම මට අතිශයින්ම වැදගත් කාරණයක් විය. මුලු රටේම ගන්නට තිබුණේ ළදරු කිරි වර්ග දෙකක් පමණක්ය යන්න මට විශ්වාස කිරීමට පවා නොහැකි වූයේය. මටම ගොස් එය පරීක්ෂා කර බැලීම සඳහා කෙසේ හෝ වෙළඳසැලට යන්නට මා හට අවස්ථාවක් ලබා දියයුතු යැයි එක් රාත්‍රියක මා යෙස්ලාම්ට අවධාරණයෙන් කීවෙමි. ඔහු ඊට එකඟ විය.
මම කඩේ යන්න! එය කෙතරම් ලොකු ඉදිරි පියවරක්ද! මම ජයග්‍රහණයෙන් ඔද වැඩුණෙමි. අබ්දූ සහ යෙස්ලාම් මා එහි කැටුව ගියේය. මා හිසේ සිට දෙපතුළ දක්වා අබායාවෙන් වැසී උන්නෙමි.මට මෝටර් රථයේ නතරවන්නැයි කී යෙස්ලාම් වෙළඳසැල තුළට වැදී අතුරුදහන් විය. අන්තිමේදී මිනිත්තු දහයකට පසු ඔහු මට වෙළඳසැලේ දොරටුව තෙක් යන්නට මඟ පෙන්වූයේය. දොරටුවෙන් පිටත හිටගෙන සිටි පිරිමින් දොළොස්දෙනෙකු පමණ පසුකරගෙන මා ගිය අතර, ඔවුන් සියලුදෙනාම දරදඬු ලෙස මගෙන් ඉවතට මුහුණු හරවාගෙන උන්හ. වෙළඳසැලට ගොඩවූ මගේ බලාපොරොත්තු සුන් වූයේය. ඉතා අපිලිවෙල වූ එය ජනේල නැති කෘත්‍රිම නිර්මාණයක් වූ අතර, කෑන් වර්ග පිරවූ කාඩ්බෝඩ් පෙට්ටිවලින් ඇහිරුණු දූවිලි සහිත තැනක් විය. එයින් වහනය වූයේ ගබඩා කාමරයකින් එන්නාක් වැනි සුවඳකි. සෑම දෙයක්ම නම් නොකළ පෙට්ටිවල තිබුණ බැවින් කිරි සොයාගැනීම අමාරු කාර්යයක් වූයේය. තෝරාගැනීමට කිසිවක් නොතිබුණි. අනිවාර්යයෙන්ම සිමිලැක් තිබිය නොහැකිය. එමෙන්ම, මුළුමනින්ම කලු ලෝගුවකින් වැසුණු එක් ගැහැනියකට සිය සැමියා සමඟ කඩයට ඇතුලුවීම සඳහා එහි සිටි ගනුදෙනුකරුවන් සහ සේවකයින් සම්පූර්ණයෙන්ම පිටතට යවා තිබිණි.
ඔවුන් බියවූයේ අහවල් දෙයකටද – විෂබීජයක් පැතිරේයැයි බිය වූවෝද? මා ගැහැනියක වූ නිසා මගෙන් ඉවතට මුහුණු හරවාගෙන ඉඳීම සත්තකින්ම ඔවුන් හිතන්නේ ආචාරශීලීත්වයේ සහ ගෞරවයේ සංකේතයක් හැටියටද? මා කෝපයෙන් මැඬී ගියෙමි. ඊට සතියකට පෙර මා මගේ පවුලට නැවුම් පලතුරු හා ධාන්‍ය මිලට ගනිමින් හොඳින් ආලෝකමත් කළ කැලිෆෝනියානු සුපිරි වෙළඳසැලක් තුළ වේගයෙන් ගමන් කරමින් සිටියෙමි. මා ගෙදර පැමිණියේ බලාපොරොත්තු සුන්වීමත් ආපසු මගේ නිවහනට යාමට නොහැකි වීමෙන් ඇතිවූ දැඩි ආතතියත් තිත්ත ගුලියක් මෙන් බඩ ඇතුළේ කකියද්දීය. මා ආගන්තුක සමාන්තර විශ්වයක් තුළට ඇතුළු වී සිටින්නා සේ මට දැනුණි.
මට කිරීමට දෙයක් අවශ්‍ය විය. පොත් කියවීමට මට උවමනා වූයේය. මගේ මනසටත් ශරීරයටත් කිසියම් ආකාරයක උත්තේජනයක් ලබා දීමට මම ආසාවෙන් බලා උන්නෙමි. රූපවාහිනී චැනල දෙකම මුලු දවස පුරාම ඉමාම් කෙනෙකු කුරාණය කියවන හැටි ප්‍රචාරය කළේය; වඩාත් සැහැල්ලුවෙන් දවස ගෙවීමට කුරාණ දැනුම සඳහා ත්‍යාග ලැබූ වයස අවුරුදු හයක් හතක් වන පුංචි පිරිමි ළමුන් කුරාණය මතකයෙන් කියන හැටි නැරඹීමට හැකිය. විදේශීය පුවත්පත්වල හැම තැනම මාකර් පෑන්වලින් කුරුටු ගා තිබිණ: සවුදි අරාබිය හෝ ඊශ්‍රායලය ගැන ලියැවී තිබුණු වාර්තා හෝ ගැහැනියකගේ ශරීරයෙන් කුඩා කොටසක් හෝ පෙනෙන ලෙස පළකර තිබුණු ඡායාරූප හෝ දැන්වීම් ප්‍රවෘත්ති පාලකයින් විසින් කලු පැහැ ගන්වනු ලැබිණි. මම ඒ පත්තර පිටු ඔසවා ආලෝකයට අල්ලා පුවත් පාලකයාගේ පෑනෙන් කලුපාට කළ තහනම් වචන දිවැසින් කියැවූයෙමි.
පොත්පත්, රංගශාලා, ප්‍රසංග හා සිනමාහල් එහි නොවීය. පිටත යාමට කිසිදු හේතුවක් නොතිබූ අතර, කිසිදු හේතුවක් නිසා පිටත යාමට අපට ඉඩ නොලැබිණි: මට ඇවිදින්න යාමට අවසරයක් නොතිබුණු අතර, නීතියට අනුව මට රිය පැදවීම තහනම්ය. මා කෙතරම් මගේ මව් පදවියට කැමැති වුවද, මගේ මනස පුරවාලීමටත්, දින ගතකිරීමටත් වෆා බලාකියා ගැනීම පමණක්ම ප්‍රමාණවත් නොවීය. මට පිටත යාම අවශ්‍යම විය. මා පසුවන්නේ ඉමහත් දුෂ්කර තත්වයක බව මම යෙස්ලාම්ට කීවෙමි. එය තේරුම්ගත් ඔහු, පොත්පත් හා සිමිලැක් මිලදී ගන්නටත්, නිවසට යන්නට නැතිවීමෙන් මා තුළ හටගෙන ඇති සාංකාව සමනය කරගන්නටත් ජිනීවා වෙත දින තුනක චාරිකාවක් යාමට යෝජනා කළේය. සවුදි අරාබියේ ගතකළ පළමු අවුරුදු කිහිපයේ නිතරම සිදුවූ පරිදි, මා පැමිණිලි කිරීමට ඉදිරිපත් වූ හැම විටෙකම මා සැනසීමට යෙස්ලාම් ක්‍රමයක් යෙදුවේය. මා ධෛර්යමත් වූයෙමි: මගේ සැමියා මා සමඟය.
ජිනීවා වලදී මගේ සුපුරුදු ලෝකය මට පෙනුණේ පුදුමාකාර වෙනස් තැනක් ලෙසිනි. මම අලුත් ඇස් අයාගෙන ඒවා දෙස බලා සිටියෙමි. ජීවිතය පුරාම නොවෙනස්ව මා කෙරෙහි පවතිනු ඇතැයි සිතා සිටි හැම දෙයක්ම හදිසියේම මට පෙනුණේ ආශ්චර්යයන් විලසිනි. ජිද්දා ගුවන්තොටුපළ අවට වූ දුඹුරුවන් වියලි හිස් භූමියට පැය පහක් ඈතින් තිබෙන මේ භූමිය ජීවයෙන් පිරීගිය සංකීර්ණ භූමිභාගයකි. මිනිසුන් හා ගෙවල්දොරවල් විශාල ප්‍රමාණයක් තිබුණු මෙහි පිට්ටනි හා උයන් වතු වර්ණවලින් පොහොසත් විය. මම නිල්-අළු පාටැති තියුණු කඳු මුදුන් දෙස නෙත් අයාගෙන ඒවායේ හැම කඩතොල්ලක්ම මතක තබාගන්නට උත්සාහ කරමින් සිටියෙමි. මගේ අම්මාගේ ගෙවත්තේ තිබුණු ගස් පවා ප්‍රබලව කැපී පෙනුණි. සරත් සමයේ ගස්වලින් බිම වැටුණු පත්‍රවල හැඩයන් හා වර්ණ දෙස මා බලා සිටියේ ඒවා දියකර මොළය තුළට උරාගන්නටය. ඒවා මා ජීවිතයේ මුල් වරට දකින දේවල් හැටියට මට හැඟී ගියේය. මම අත්‍යවශ්‍ය භාණ්ඩ සහ පොත් මිටි ගණන් මිලදී ගත්තෙමි. එයින් පසු මම ආපසු යන්නට සිත දැඩි කරගත්තෙමි.
මා බොහෝ දිනක් ගතකළේ ඕම් යෙස්ලාම් සමඟ තනිවමය. ෆවුසියා ව්‍යාපාර අධ්‍යයනය ඉගෙනගැනීම සඳහා විශ්වවිද්‍යාලයට ගිය මුත්, එය මා දන්නා එකදු විශ්වවිද්‍යාලයකට හෝ සමාන නොවිණි. දැඩි ලෙස බෙදා වෙන් කළ, ගැහැනු පමණක් සහභාගි වූ පංතියක ඉගැන්වීමට පිරිමි මහාචාර්යවරයකුට අවසර නොවූ බැවින්, ඇගේ ‘පංතිය’ වූකලී පිරිමි මහාචාර්යවරයාගේ වීඩියෝ කරනලද දේශනයකි. එහි පුස්තකාලයක් තිබුණද, අවශ්‍ය පොත් ලිඛිතව ඉල්ලා සිටීමට ශිෂ්‍යාවන්ට සිදුවූ අතර, ඊටම වෙන්වූ කාර්යාලයකින් එම පොත් සතියකට පසු ලබාගත හැකිවිය. ෆවුසියා පොතක් කියවනු මා කිසිදින නොදුටු අතර, ඈ සිය අධ්‍යයන කටයුතු ගැන කතා කරනවා මා අසා තිබුණේද නැත.
පරිවර්තනය – මොහාන් ධර්මරත්න
පසුගිය කොටස්
බින් ලාඩන් පවුලේ ගැහැනියක ගිය එකම ප්‍රසිද්ධ ස්ථානය රත්තරන් බඩු වෙළඳපොළ පමණි
වීදි තුනක් දිගට සම්පූර්ණයෙන්ම බින් ලාඩන්වරුන් පමණක් ජීවත් වූ ගම්මානයක් විය (වට තිර ලූ රාජ්‍යය – 08)
‘සවුදීන්ට විදේශිකයකු සමඟ විවාහ වීමට රජතුමාගෙන් අවසර ගත යුතුය’ (වට තිර ලූ රාජ්‍යය – 06)
“සවුදි අරාබියද මා කුඩා කල දුටු ඉරානය බඳු වියහැකි මා මාවම රවටාගෙන තිබුණේය” (වට තිර ලූ රාජ්‍යය – 05)
“යෙස්ලාම් මගේ ජීවිතය සදහටම වෙනස් කරන්නට යන බවක් මට කිසිසේත්ම දැනුණේ නෑ” – (වට තිර ලූ රාජ්‍යය – 04)
“කාමන්, ඔයා හරිම විශේෂ කෙනෙක්. ඒක කවදාවත් අමතක කරන්න එපා.“ (වට තිර ලූ රාජ්‍යය – 03)
“සැප්තැම්බර් එකොළහ උදාවූයේ ලස්සන ඉන්දියානු ගිම්හානයේ දිනයක් ලෙසිනි” (වට තිර ලූ රාජ්ජය – 01)