සවුදි ගැහැනුන් හැටියට මගේ දියණියන්ගේ ඉරණම කුමක් වේද?(වට තිර ලූ රාජ්‍යය – 18)

Share post:

යෙස්ලාම්ගේ තවත් නැඟනියක වූ නජියා විවාහ වූයේ මා සවුදි අරාබිය වෙත පැමිණෙන්නට ටික කලකට පෙරය. ඔහු ඈ දික්කසාද කිරීමෙන් පසු ඈට කිසි දිනෙක සිය දරුවන් හතරදෙනා දකින්නට නොලැබිණි. “ඇයි ඔයාගෙ සහෝදරයින් මේ ගැන මොනවත් නොකරන්නේ?” යැයි කියමින් මා ඈට ආයාචනය කළ විටදී ඈ මා දෙස බලා සිනාසී, “අනේ කාමන්,” යැයි කියන්නේ මා කිසියම් විදියෙක ගම්බද මෝඩියක ලෙස හඟිමින්ය. ඔබට සොහොයුරන් ගැන නරකක් පැවසීමට නොහැකි අතර, සැමියාගේ නීතිය ගැන ප්‍රශ්න කිරීමටද නොහැක්කේය.

එය මා තුළට කාගෙන ගියේය. විශාල බරක් මා තුළ තිබෙන්නාක් මෙන් මට හැඟිණි. ජිද්දා වෙත රිය පදවාගෙන එමින් සිටි යෙස්ලාම් ඒ මොහොතේ රිය අනතුරකට මුහුණ පෑවොත් කුමක් සිදුවේද? කුඩා වූත්, දැන් දැන් තිත්ත රස දැනෙන්නා වූත් මගේ නිදහස රැක දීමට තවදුරටත් ඔහු නොසිටින්නේ නම් තත්වය කුමක් වේද? සවුදි ගැහැනුන් හැටියට මගේ දියණියන්ගේ ඉරණම කුමක් වේද? ඔවුන්ගේ ජීවිත පිළිබඳ තීරණ කවුරු විසින් ගනු ලැබේද? ඒ සලෙම් ද? බකර් ද? ඊබ්‍රහීම් ද? වයසත් බලයත් වැඩෙන විට මේ මිනිසුන් කෙබඳු අය බවට පරිවර්තනය වේදැයි කාට කිව හැකිද? මගේ දරුවන්ගේ ජීවිතවල නොවැදගත් සුළු දේ පවා ඔවුන් විසින් පාලනය කරනු ලැබෙද්දී, ඔවුන්ගේ අභිමතය පරිදි ජීවත් විය යුතුවන මා එක්තරා විදියෙක හිඟන්නියක බවට පත්වනු ඇත.

මෙලොව අන් කිසිවකටත් වඩා මට වැදගත් වූ ප්‍රශ්නයක් හමුවේ පළමු වරට යෙස්ලාම් හා මා අතර සැබෑ ලෙසම විසල් පරතරයක් නිර්මාණය වී ඇති බවක් මට දැනිණි. මා ඔහුගෙන් සහනයක් බලාපොරොත්තු වන විට ඔහු එය අනවශ්‍ය බව හඟවා බැහැර කළේය. මේ ප්‍රශ්නය විසඳාගන්නට ඔහුගෙන් කිසියම් සැලසුමක් – යම් ඛේදවාචකයකදී මා හට මඟපෙන්විය හැකි ක්‍රමවේදයක්, ජීවිතයේ ඉදිරියට කුමක් සිදු වුවද මගේ දියණියන්ගේ භාරකාරත්වය මා සතුව තිබෙනු ඇති බවට සහතික විය හැකි ක්‍රමයක් සූදානම් කරගැනීමෙහි ලා ඔහු කිසියම් පියවරක් ගැනීම මට අවශ්‍ය විය. ඔහු අප නිරන්තරයෙන් බලාගන්නා බවත්, අර මිනිසුන්ගේ අභිලාෂයන්ට අප හසු නොවන පරිදි සෑම විටෙකම අප රැකගන්නා බවත් ඔහුගේ මුවින් ඇසීමට මට අවශ්‍ය විය. තම පවුල ආරක්ෂා කරගන්නා මිනිසා ඉදිරිය ගැන සිතා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු සැලැස්විය යුතුය යන්න මගේ හැඟීම වූයේය. එහෙත් එය ඔහුට වැදගත් නොවීය. මගේ භීතියේ ගැඹුර කෙතෙක්දැයි ඔහුට වැටහීමක් නොතිබිණි. අන්තිමේදී ඒ බව මට තේරුම් යන විට මා තවත් භීතියට පත් වූයෙමි. මා තනිවී සිටින බවත්, මා සිටින්නේ අතිශයින්ම දුබල අඩියක බවත් හදිසියේම මට දැනෙන්නට පටන් ගත්තේය.

තායිෆ් හි ගතකළ ඒ දිනයෙන් පසු ජීවිතය මුළුමනින්ම වෙනස් වූයේය. ගැහැනුන්ට සිය දරුවන් වෙනුවෙන් අවම වශයෙන් වචනයක් කතා කිරීමටවත් අයිතියක් ලැබෙන වඩා නිදහස් අනාගතයක් පිළිබඳව මා තුළ තිබුණු බලාපොරොත්තු ආධානග්‍රාහී වහබ්වාදී ඉස්ලාම් දෘෂ්ටිය විසින් අරාබි කාන්තාර වැල්ලේ වලළා දමනු ලැබීය. ඉන් ඉදිරියට ගතවූ අවුරුදු කිහිපය තුළ මට දකින්නට ලැබුණු දේ මෙන්ම මා හට ජීවත් වන්නට සිදුවූ වටපිටාව වර්ණ ගන්වනු ලැබුවේ බිය සහ තනිකම නැමැති මනෝභාවයන් විසින්ය. සෑම දෙයක්ම සාමාන්‍ය යැයි සිතන්නාක් මෙන් හැසිරෙන්නට මා උත්සාහ කළද, අනවරත කනස්සල්ලක් යන යන තැන මා සමඟ ආවේය.‍ මා තවදුරටත් කරදරවලින් හිත නිදහස් වූ මවක නොවූයෙමි. අනාගතය දැන් මට දනවන්නට වූයේ තිත්ත රසකි.

10 වැනි පරිච්ඡේදය.

මා සවුදි අරාබියේ ජීවත් වූ කාලය පුරාම මසිතෙහි කොණක සන්ත්‍රාසයක් ලැගුම් ගෙන තිබුණද, එය අමතක කර දැමීමේ උත්සාහයක මම නිරත වීමි. මට මගේ ජීවිතය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය විය. කාලයක් තිස්සේ අපේක්ෂා කළ නව ව්‍යාපෘතියක් මඟින් මා මගේ අවධානය වෙනතක යොමු කරවූයෙමි. ඕම් යෙස්ලාම් හා ෆවුසියා වෙනම පදිංචි වීමට තීරණය කර තිබුණු අතර, ඔවුන්ටම කියා නිවසක් තනාගන්නට අපේ ඉඩමට යාබද ඉඩමක් යෙස්ලාම් ඔවුන්ට ලබා දී තිබුණේය. දැන් යෙස්ලාම්ටත් මටත් කුඩා දියණියන් දෙදෙනෙකු සිටින බැවින් අප හැබෑම පවුලක් වී තිබුණු නිසා, අප සැම වෙනුවෙන් සැබෑම නිවසක් නිර්මාණය කරන්නට, අපේම නිවසක් හදන්නට මට දැන් හැකිය.

ඕම් යෙස්ලාම් කළා සේ කුස්සියට වී උයමින් සිටින්නට මට ආශාවක් නොතිබූ බැවින් මා කෝකියකු වැඩට ගත් අතර, වැරදි ලෙස සැලසුම් කළ අඳුරු කාමරවල බිත්ති පෙරළා දමා, ඒවා විවෘත කරන්නට සැලසුම් කළෙමි. නිවසට යාබදව ඉදිකෙරෙන අලුත් මුළුතැන්ගෙයක් සඳහා මා සැලසුම් සකස් කළ අතර, විසිත්ත කාමරය වඩාත් විවෘත කරලීමට එහි බිත්ති වෙනුවට පැත්තට තල්ලු කළ හැකි විශාල වීදුරු තහඩු යොදා, සේවිකාවන් දෙදෙනා වෙනුවෙන් වෙනම කාමර ඉදිකරවූයෙමි.

මේ අවධිය වනවිට මා අපේ පිරිමි සේවකයින් වන ගෘහ සේවක ළමයා, කෝකියා, වත්ත බලාකියාගන්නා සේවකයා, දොරටුව බාරකරු සහ රියදුරන් දෙදෙනා හට කෙළින්ම කථා කිරීමට පටන්ගෙන සිටියෙමි. ගේට්ටුව පසෙකින් වූ වෙනම කාමරයක ඔවුහු ජීවත් වූහ. එක් සන්ධ්‍යාවක, ඉන්ටර්කොම් දුරකථනය අක්‍රියව තිබුණු බැවින් මගේ රියදුරා වූ අබ්දූ හට කථා කිරීමට මා ඔවුන්ගේ කාමරයට ගියෙමි. දොරෙන් ඇතුළට හිස දමා ඒ මේ අත හරවා බැලූ මට දකින්නට ලැබුණු මහා අපිරිසිදු දර්ශනය නිසා ඒ පිළිබඳව වඩාත් හොඳින් සොයා බැලීමට මට ඇතිවූ උවමනාව පාලනය කරගත නොහැකි විය. සේවකයෝ සියලුදෙනා බකර්ගේ ගෙදර සේවක කාමරයේ පාපන්දු ක්‍රීඩාවක් නරඹමින් සිටි බැවින් කිසිවකු මා පසුපස නොපැමිණෙන බවට වගබලාගැනීම සඳහා දොර අසල මුර කරන හැටියට මා අබ්දූට පැවරුවෙමි. පිරිමි සේවකයකු සමඟ තනිවම ඔවුන්ගේ නිදන තාමරය තුළ සිට හසුවීමට මට අවශ්‍ය නොවීය. සේවක නවාතැන ඉතා ඉක්මනින් පරීක්ෂා කළ මට විශ්වාස කළ නොහැකි තරම් අපිරිසිදු, දුගඳ හමන, කලුපාට මැලියමක් බැඳුණු බිත්ති සහිත කුස්සියක් හමුවිය. නිදන කාමර පවා අතිශයින්ම අපවිත්‍ර විය.

එය මගේ දේපළක් වුවද, මට දැනුනේ මා අනවසරයෙන් ඇතුලු වූවකු ලෙසය. ඒ නවාතැන තුළට කිසිදු ගැහැනියක මින් පෙර කිසිදාක ඇතුලු වී නොතිබිණි. ඒවායේ ජීවත් වූ පිරිමි ඔවුන්ගේ බිරින්දෑවරුන් හා පවුලේ සාමාජිකයින් බලන්නට ගෙදර ගියේ ඇතැම් විට අවුරුදු දෙකකට වතාවකි. ගැහැනුන්ගේ වැඩ හැටියට සැලකූ කාර්යයන් ඔවුන් විසින් පහත්කොට සලකනු ලැබූ අතර, මගේ නිවස පවිත්‍ර කිරීමට ඔවුන්‌ට සිදු වුවත්, ඔවුන් සිය කාමරවල ජීවත් වූයේ තිරිසන් සතුන් ලෙසය. මගේ නිවාස පරිශ්‍රයේම තාප්පයෙන් වටවී තිබී හමුවූ මේ අහඹු සොයාගැනීම නිසා මා බියට පත් වීමි. අබ්දූ ලවා තීන්ත ගෙන්වාගත් මා, අලුත් ගෘහභාණ්ඩ ගැනීමට ඔවුන්ට මුදල් දුන්නෙමි. නවාතැන පිරිසිදු කරගැනීම ඔවුන්ගේ වැඩක් බව මම අවධාරණය කළෙමි.

මේ අතරතුර මා ගෘහය වෙනස් ලෙස අලංකාර කිරීම ආරම්භ කළෙමි. එය සහනය ගෙනදුන් නමුදු, මා වෙත වූ අභියෝගය කෙතෙක්ද යන්න ගැන හරි වැටහීමක් මට නොතිබුණේය. ගෘහභාණ්ඩ මිලදී ගැනීම කළ නොහැක්කක් වූයේ ඒවා විකුණන කඩවල් නොමැති වීම නිසාවෙනි. අන්තිමේදී, සවුදි ජාතිකයකු සමඟ විවාහ වී සිටි එක් ලෙබනන් ජාතික කාන්තාවක සිය විශාල නිවසේ පළවැනි තට්ටුවේ ඈ යුරෝපයෙන් මිලදී ගෙන ආ නවීන ගෘහභාණ්ඩවලින් පිරවූ එක්තරා විදියෙක ලීබඩු සාප්පුවක් පවත්වාගෙන යන බව මම සොයාගත්තෙමි. එය අඩක් ගබඩාවක්ද, අඩක් නිවෙසක්ද වූ අමුතු විදියේ සාප්පුවක් වුවත්, ඉන් අලුත්, ඝනැති, ක්‍රීම් පාට බුමුතුරුණු තෝරාගන්නට මට හැකි විය. කැත, තදකොළ පාට බුමුතුරුණු ඉවත් කර දමන ලදී.
එහෙත් නිවසේ බුමුතුරුණු එළන්නේ කොහොමද? පිරිමි සේවකයින් සමඟ ගැවසීම හෝ සංවාදයේ යෙදීම මට කළ නොහැක්කක් වූ බැවින්, ඔවුන් සිය කර්මාන්තයේ පළපුරුදුකාරයින් යැයි විශ්වාස කිරීමට මට සිදුවූ අතර, ඔවුන්ව යොමුකරවීම සඳහා යෙස්ලාම්ගේ ඊජිප්තු ජාතික ලේකම්වරයා මත යැපෙන්නට මට සිදුවිය. පැහැදිළිවම ඔහුගේ කාලයත් ශ්‍රමයත් අපතේ හරින මේ වැඩපිළිවෙල කරබාගෙන ඉවසා හුන් මා ඔහුට කළයුත්ත කුමක්දැයි උපදෙස් දී, බාස්ලා පැමිණි විට පසුපස කාමරයකට වී දවසම ගතකිරීමට එකඟ වූයෙමි. දුහුවිල්ලෙන් හා අධික ශබ්දයෙන් පිරුණු, ළමයින්ද කෝපයෙන් පසුවූ එදින සවස් යාමයේ මා පිටතට පැමිණි විට දුටුවේ මහා අවුලකි. අපගේ අලුත් විශාල ජනේලවලට ලම්බකව බුමුතුරුණු සවිකර තිබුණු බැවින් සෑම මූට්ටුවක්ම පැහැදිළිව පෙනෙන්නට තිබිණි. පැරණි නියාලු කොළපාට බුමුතුරුණට වඩා කිසිසේත්ම එය යහපත් නොවීය.

වැඩේ මුලසිට නැවත කළයුතු වන බව මම යෙස්ලාම්ට කීවෙමි. ඔහු හූල්ලා, එය ඉරා දමා අලුතෙන් සවිකරන ලෙස පසුදින උදයේ වැඩකරුවන්ට උපදෙස් දුන්නේය. පසුදා අපි කාන්තා කාමරයේ ගත කළෙමු. පසුදින රාත්‍රියේ බුමුතුරුණු මූට්ටු පැහැදිළිව නොපෙනුණ නමුදු වැරදී ගිය කෑල්ලක් හරියටම පොළවේ මැද පැහැදිළිව පෙනෙණ තැනක සවිකර තිබෙන හැටි දකින්නට ලැබුණේය. මේ සුපැහැදිළි වරදත් සමඟ ජීවිත කාලයක් ගතකරන්නට මට කොහොමටවත් අවශ්‍ය නොවීය. එබැවින් මා යෙස්ලාම්ට කීවේ එය නැවතවරක් මුලසිටම කිරීමට සිදුවන බවයි. මා කියන්නේ කුමක්දැයි යෙස්ලාම් හරිහැටි තේරුම් ගත්තේද යන්න ගැන මට විශ්වාසයක් නොවීය. ඇත්තවශයෙන්ම ඔහු සිටියේ බලාපොරොත්තු කඩවීමෙනි. ඔහුට කිරීමට ඊට වඩා වැදගත් වැඩ එමට තිබුණු අතර, මේ සම්පූර්ණ වැල්වටාරම මට මෙන්ම ඔහුටද එපා වී තිබිණි. එබැවින්, “යන්න, ගිහින් ඔයාම ඒගොල්ලන්ට කියන්න,” යි ඔහු මට කීවේය.

එය සත්තකින්ම මහා පිම්මක් වූයේය. බින් ලාඩන් ගැහැනියක පිරිමි සේවකයකුට – ගෘහස්ථ සේවකයකුද නොවන, මහපාරේ සිට පැමිණි නන්නාඳුනන පිටස්තරයකුට – කතා කිරීමක් ගැන මෙතෙක් අසා තිබුණේ නැත. අබායාවෙන් ආවරණය වූ මා මුහුණු ආවරණය දමා නොගත්තේ මට පැහැදිළිව දකින්නට උවමනා වූ නිසාය. සේවකයින් හමුවී කළයුත්තේ කුමක්දැයි පැවසීමට මා පිටුපස කාමරයේ සිට පිටතට ආ නමුදු ඔවුහු මා දෙස නොබැලූහ. බුමුතුරුණ නැවතත් ගලවා දමන හැටියට මා ඔවුන්ට කී අතර, ඔවුහු මට ඇහුම්කන් නොදුන්හ. බුමුතුරුණු අතුරමින් හුන් සුඩාන ජාතික වැඩකරුවා මා ගණනකට නොගෙන තවදුරටත් ඔහුගේ කාර්යය කරගෙන ගියේය. මා එකම දෙය යළි යළිත් කියමින්, අවසානයේදී කෑගැසුවෙමි. අන්තිමේදී ඔහු මා දෙස කෙළින්ම නොබලා යන්තමින් හිස හැරවූයේය. “මම ගෑනුන්ගෙන් උපදෙස් ගන්නෙ නෑ,” යි ඔහු ගෙරෙව්වේය.

අන්තිමේදී බුමුතුරුණ හරිහැටි සවිකරගනු ලැබුවේ යෙස්ලාම්ගේ ලේකම්වරයා පැමිණ එම කාර්යයේ භාරකාරයා මා බවත්, ඔහු මා කියන දේට අවනත වියයුතු වන බවත් පුනපුනා අවධාරණය කිරීමෙන් පසුවය. පසුව මා මගේ නිදන කාමරයට වී බලාපොරොත්තු කඩවීමෙන් කැකෑරෙමින් උන්නෙමි. හිනාවෙන්නද, නැතිනම් අඬන්නදැයි මට සිතාගත නොහැකි විය. මට කරන්නට සිතෙන හැම දෙයක්ම කිසියම් පිරිමියකුගේ පාලනය යටතේ තිබුණා සේ පෙනී ගියේය. ජීවිතයේ ඉන් පෙර කිසි දිනෙක ඒ තරම් අනුන්ගෙන් යැපෙන්නියක ලෙස මට මා ගැනම හැඟී ගිය වෙනත් අවස්ථාවක් නොතිබිණි. එහෙත් මම මා සනසවා ගත්තෙමි: ජීවිතය වෙනස් වීගෙන එයි. අප අවට සෑම තැනකම ගොඩනැඟිලි ඉදිවී ඇත. දැවැන්ත ගොඩනැඟිලි වැඩබිමක් බවට පත්ව තිබුණු ජිද්දා නගරය මක්කම පාර දිගේ අප පදිංචිව සිටි ප්‍රදේශය දක්වාම ව්‍යාප්තව තිබුණේය. බූරු චතුරශ්‍රය හා එහි වූ අපිරිසිදු අඳුරු වෙළඳසැල් ඩෝම් චතුරශ්‍රය නම් වන විශාල, නවීන, අලංකාර පොදු ස්ථානයක් බවට පත්වෙමින් තිබුණේය. මා ජිනීවාහි සති කිහිපයක් ගතකොට නැවත පැමිණි සෑම විටෙකම නගරයේ ඇතැම් පෙදෙස් මා හට හඳුනාගන්නට නොහැකි විය.

පරිවර්තනය – මොහාන් ධර්මරත්න

පසුගිය කොටස්

අවසානයේදී අප හැමට සවුදි අරාබියෙන් ගැලවීයාමට අවශ්‍ය වූ ශක්තිය ලබා දුන්නේ, ‘නජියා’ (වට තිර ලූ රාජ්‍යය – 17)

සවුදි අරාබියේ හොඳම රෝහල් වළ රාජකීය පවුල් සඳහා වෙන්වූ කාමර, බින් ලාඩන් පවුලටද අවසර තිබිණි (වට තිර ලූ රාජ්‍යය – 16)

මක්කම සහ මදීනා නගරයේ ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමේ පරම අයිතිය හිමිව තිබුනේ බින් ලාඩන් සමාගමට (වට තිර ලූ රාජ්‍යය – 15)

“ස්වාමිපුරුෂයාට බිය නැති සවුදි කාන්තාවක් මට හමුවී නැති තරම්ය” (වට තිර ලූ රාජ්‍යය – 14)

බින් ලාඩන්ගෙ පියා අවුරුදු 59 දී මියයනවා, එදා රාත්‍රියේ දී විසිතුන් වැනි බිරිඳ විවාහ කරගැනීමට සූදානමින් සිටියා (වට තිර ලූ රාජ්‍යය – 13)

බින් ලාඩන් ගැහැනියකට නිවසින් පිටත යෑම සෑම විටකම පාහේ ‘හරාම්’ සහ ‘අබේ’ විය. (වට තිර ලූ රාජ්‍යය – 12)

“දුවගේ උපත යෙස්ලාම්ගේ බලාපොරොත්තු කඩවීමක් වුවත්, මට දැනුණේ වෆා ආශ්චර්යයක් ලෙසිනි” (වට තිර ලූ රාජ්‍යය – 11)

“අබායාව ගුලිකර වීසිකර දැමුවෙමි. අපේ නව ඇමරිකානු ස්වාධීනත්වය යළිදු අප වසාගත්තේය”(වට තිර ලූ රාජ්‍යය – 10)

බින් ලාඩන් පවුලේ ගැහැනියක ගිය එකම ප්‍රසිද්ධ ස්ථානය රත්තරන් බඩු වෙළඳපොළ පමණි

වීදි තුනක් දිගට සම්පූර්ණයෙන්ම බින් ලාඩන්වරුන් පමණක් ජීවත් වූ ගම්මානයක් විය (වට තිර ලූ රාජ්‍යය – 08)

“සවුදි අරාබියේ ගතකළ පළමු මිනිත්තු කිහිපයේදීම මා නොසැලකිලිමත්කමින් වරද්දාගෙන සිටියෙමි” (වට තිර ලූ රාජ්‍යය – 07)

‘සවුදීන්ට විදේශිකයකු සමඟ විවාහ වීමට රජතුමාගෙන් අවසර ගත යුතුය’ (වට තිර ලූ රාජ්‍යය – 06)

“සවුදි අරාබියද මා කුඩා කල දුටු ඉරානය බඳු වියහැකි මා මාවම රවටාගෙන තිබුණේය” (වට තිර ලූ රාජ්‍යය – 05)

“යෙස්ලාම් මගේ ජීවිතය සදහටම වෙනස් කරන්නට යන බවක් මට කිසිසේත්ම දැනුණේ නෑ” – (වට තිර ලූ රාජ්‍යය – 04)

“කාමන්, ඔයා හරිම විශේෂ කෙනෙක්. ඒක කවදාවත් අමතක කරන්න එපා.“ (වට තිර ලූ රාජ්‍යය – 03)

සවුදියෙන් නිදහස් වීමට මා කළ අරගලයේ තේරුම ඔවුන්ට අවබෝධ වුණේ සැප්තැම්බර් 11 න් පසුවයි (වට තිර ලූ රාජ්‍යය – 02)

“සැප්තැම්බර් එකොළහ උදාවූයේ ලස්සන ඉන්දියානු ගිම්හානයේ දිනයක් ලෙසිනි” (වට තිර ලූ රාජ්ජය – 01)

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...