(වට තිර ලූ රාජ්‍යය – 02)
මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ කාමන් බින් ලාඩන්(Carmen Bin Ladin) ගේ The Veiled Kingdom කෘතිය ‘වට තිර ලූ රාජ්ජය’ ලෙස හෙට එනම් සැප්තැම්බර් 11 දින සිට සෑම සදුදා සහ බ්‍රහස්පතින්දා දිනකම කොටස් වශයෙන් අද 1 වැනි පරිච්ඡේදය (ඉතිරි).
1990 අවුරුද්දේදී ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කළ විට, එක්සත් ජනපද හමුදාව සවුදි අරාබිය සිය කඳවුරක් ලෙස භාවිත කරනු ඇතැයි යන අදහස මත ඔසාමා කෝපාවිෂ්ටව සිටියේය. සදාම් හුසේන්ට විරුද්ධව සටන් කිරීමට තමාගේ ඇෆ්ඝන් සටන්කරුවන් ලබාදිය හැකි බව ඔහු ෆහඩ් රජුට කියා සිටියේය. ආගම් භක්තිය අධික වූ ඇතැම් කුමාරවරු ඔසාමාගේ අදහස් පින්සාර යැයි සිතූ නමුත් ෆහඩ් රජු එය ප්‍රතික්ෂේප කළේය. සවුදි පාලක පවුලේ දූෂිතබව හා ඔවුන්ගේ අධ්‍යාත්මික බංකොලොත්භාවය පිළිබඳවත්, ඔවුනට ආරක්ෂාව සලසන ඇමරිකානුවන් ගැනත් ඔසාමා ගිනි ඇවිලෙන ප්‍රකාශ නිකුත් කළේය. අන්තිමේදී ඔහුට රටින් පිටමං වී සුඩානයේ රැකවරණ ලැබීමට සිදුවූ අතර, එහිදී සන්නද්ධ රැකවලුන්ගෙන් සමන්විත ඔහුගේ නිවස්නය යුධ ටැංකිවලින් වටලනු ලැබීය. එයින් පසුව ඔහු යළිත් ඇෆ්ඝනිස්ථානයට පැන ගියේය.
එකල අප වෙන්ව සිටියත් මා යෙස්ලාම් සමඟ කතාබහ කරන මට්ටමේ ආශ්‍රයක් තිබුණු අතර, සවුදි අරාබියේ අලුත් තොරතුරු ගැනත්, බින් ලාඩන් පවුලේ – විශේෂයෙන්ම ඔසාමාගේ – තොරතුරුත් යෙස්ලාම් මට පැවසීය. පිටුවහලේ සිටියද ඔසාමාගේ බලය නොකඩවාම වැඩෙමින් තිබුණු බව යෙස්ලාම් කීවේය. ඔසාමාට බොහෝ බලවත්, සාම්ප්‍රදායික මෙන්ම බෙහෙවින් ගරුකටයුතු එක්තරා කුමාරයකුගේ රැකවරණය ලැබුණේ යැයි කී යෙස්ලාම්, ඒ කුමාරයාගේ නම පවා සඳහන් කළේය.
1996 දී සවුදි අරාබියේ නැඟෙනහිරදිග පිහිටි දහරාන් හි රඳවා සිටි ඇමරිකානු භටයින්ගේ ‘කොබාර් ටවර්ස්‘ හි පිහිටා තිබූ නිවාස ට්‍රක් රථයක ඇටවූ බෝම්බයකින් පුපුරුවා හරින ලද අවස්ථාවේ, ඔසාමා ඊට වගකිවයුත්තකු විය හැකි බවට ප්‍රචාරය විය. මා විස්මයෙන් ගල්ගැසුණ මුත් එය ඇත්තක් විය හැකි බව මා දැන සිටියෙමි. එතරම් දැඩි ලෙස පාලනයට යටත්කොට තිබෙන රටක එබඳු පිපිරීමකට අවශ්‍ය තරම් පුපුරන ද්‍රව්‍ය තොගයක් තිබිය හැක්කේ ඔහු හැර අන් කවරකු වෙතද? ඔසාමා දැඩි උවමනාවකින් යුතු යුද සෙබළකු පමණක් නොව සවුදි අරාබියේ පොහොසත්ම හා බලවත්ම ඉදිකිරීම් සමාගම වන ‘බින් ලාඩන් සමාගම‘ හිමි පවුලේ සාමාජිකයෙකි. භයානක ලෙස අන්තවාදී වූ ඔසාමාගේ අදහස් පිළිබඳව දැන සිටි මට හද පත්ලෙන්ම දැනුණු හැඟීම වූයේ ඔහුට අතිශය ක්‍රෑර වූත් අන්ධ වූත් ප්‍රචණ්ඩත්වයක නිරතවීමේ හැකියාව තිබූ බවය.
එක් ප්‍රහාරයක් පසුපස තවත් ප්‍රහාරයක් එල්ල වෙද්දී ඔසාමා පිළිබඳව මට සොයාගත හැකිවූ සියලු දේ මම කියවූයෙමි. ඇෆ්ඝන් සටන්කාමියකු වු අහමඩ් ෂා මසූඩ්ට 2001 සැප්තැම්බර් 9 වැනි දින එල්ල වූ ප්‍රහාරයක් ගැන ප්‍රවෘත්ති පළවෙද්දී එය ඔසාමාගේ ක්‍රියාවක් බව මට අවබෝධ වූයේය. “මේ තමයි ඔසාමා. එයා මොකක් හරි භයානක දේකට තමයි ලෑස්ති වෙන්නෙ“. “අනේ කාමන්, ඔයාගෙ හිතේ තියෙන මනස්ගාත,“ යැයි මගේ මිතුරියක කීවාය. එහෙත් මා දැන සිටියෙමි. මා වැරදි වූවානම් කෙතරම් හොඳද.
නිව්යෝක් හි හදවතටම ප්‍රහාරයක් එල්ල කරන්නට ඔසාමා සැලසුම් කරමින් සිටින බවක් මට නිකමට හෝ සිතුණේ නැත. මට සිතුණේ ඒ කුමක් හෝ තානාපති කාර්යාලයකට විය හැකි බවයි. එය පවා කෙතරම් භයානක දෙයක්ද? එහෙත් මසූඩ්ගේ මරණයෙන් දින දෙකක් ගතවෙද්දී ලෝක වෙළඳ මධ්‍යස්ථානය ගිනි ජාලාවක් වී කඩාවැටෙන විට නැවතත් මට බිය දැනෙන්නට පටන් ගත්තේය. මෙය එතෙකින් හමාර නොවන්නක් බව මට තේරුම් ගියේය.
ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පහරදීමෙන් පසුව ගතවූ දින කිහිපයේම අපේ ජීවිත ගෙවුණේ රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශයන් සමඟය. මගේ දරුවන්ගේ ප්‍රියතම නගරයේ අළුවලින් පිරි වීදි මත දුහුවිල්ල තැන්පත් වෙමින් තිබෙන අතර, ඊට ගොදුරුවූවන්ගේ ගණන කෙමෙන් ඉහළ නැංගේය. පැරණි ඡායාරූප අතින් අල්ලාගෙන නැතිවූ අය සොයන මිනිස්සු අපි දුටුවෙමු. වියෝ දුකින් බරිත වුණු මිනිස්සු, ඔවුන්ගේ ඥාතීන් මියයන්නට පෙර අවසන් වරට එවූ පණිවුඩ දුරකථන ඇමතුම් පටිගත කරන යන්ත්‍රවලින් ඇසුණු හැටි වාර්තාකරුවන්ට පැවසූහ. මිනිස්සු උඩ සිට බිමට පනින බියජනක ඡායාරූප මම දුටුවෙමි. “වෆා එතැන හිටියා නම්?“ යනුවෙන් මට හිතෙන්නට පටන් ගත්තේය. එතැන සිටි ළමයින්ගේ මව්වරු ගැන, ඒ ළමුන් ගැන මට තදබල දුකක් දැනෙන්නට වූයේය.
මගේ කෙල්ලෝ තිදෙනා අධික ශෝකයෙන් හා අවුල් වූ සිතින් යුතුව පිස්සු වැටී සිටියහ. සිය නිදන කාමරයේ බිත්තියේ එල්ලීම සඳහා දකුණු කැරොලයිනාවේ සිට මීට අවුරුද්දකට පෙර ඇමරිකානු ධජයක් ගෙදර ගෙනා නූර් සිටියේ කලකිරීමෙනි. “නිව්යෝක් ආයෙත් කවදාවත් ඉස්සර වගේ වෙන එකක් නැහැ අම්මේ,“ යි කියමින් ඈ වැලපුනාය. වාසනාවකට මෙන් ඈ සිය පංතියේ මිතුරන්ගේ සතුරුකමට ලක් නොවූයේ, දිගු කාලයක පටන් ඇගේ ඔල්වරසන් කණ්ඩායමේ ඇමරිකානු ශෛලියේ ඔල්වරසන් නැඟීම ගැන ඔවුන් මිතුරුකමින් වදේ ගැසීමට පුරුදු වී සිටි නිසාවෙනි. ඇගේ මිතුරු මිතුරියන් හැමදෙනෙකුම ඈ ඇත්තෙන්ම කෙතරම් හිත් රිදීමකට ලක්ව සිටියාදැයි තේරුම් ගෙන උන්හ.
අප ගෙයින් පිටත ගියේ නැති තරම්ය. යුරෝපයේ සිටි, දුරකථන නාමාවලියේ නම සඳහන්වන එකම බින් ලාඩන් මා වූ බැවින් වාර්තාකරුවෝ නොකඩවාම දුරකථන ඇමතුම් දුන්හ. දුරකථනයෙන් ඇමතූ මිතුරෝ කථා කළේ තතනමිනි. ඉන්පසු ඔවුන්ගේ ඇමතුම් නතර විය. අප ඉතා වේගයෙන් සමාජයෙන් ප්‍රතික්ෂේප වූවන් බවට පත්වෙමින් සිටියෙමු. අත්දැකීම් බහුල වෘත්තිකයින් පවා බින් ලාඩන් යන නම ඇසීමෙන් බියට පත්වූහ. එක්තරා අලුත් නීතිඥ සමාගමක් මගේ දික්කසාද නඩුව බාරගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා මා එක්වරම නිතිඥ සහාය නොමැත්තියක බවට පත් වීමි.
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ අනතුරට ගොදුරු වූවන්ගේ දුක් පීඩාවන්ට අප අතරින් වඩාත්ම සංවේදීව සිටියේ නජියාය. බොහෝවිට ඈට රූපවාහිනියේ ප්‍රවෘත්ති නැරඹීම අපහසු විය. ඇගේ නම තුඩ තුඩ රැව්දෙන්නක් බවට පත්ව තිබිණි. විශේෂයෙන්ම පෞද්ගලිකත්වය අගයන ඈ වැන්නියකට එය දරාගත නොහැක්කක් වූයේය. මගේ දරුවන් අතුරින් බොහෝවිට වඩාත්ම නිශ්ශබ්ද තැනැත්තිය වූයේ ඇයයි. සිය හැඟීම් පසුවෙන් පිටතට නොපෙන්වන නමුත්, ඈ බෙහෙවින් පෑරී සිටින බව මට පෙනිණි.
විපතට පත්වූවන් හා සම වෙමින්, ඔවුන් සමඟ දුක් වූ අප බාහිර ලෝකයා විසින් පීඩකයින් හැටියට හඳුනාගැනීම භයානක සරදමක් වූයේය. අප, විශේෂයෙන්ම වෆා, හසුවී සිටියේ ගැලවීගත නොහැකි අනපේක්ෂිත උගුලකය. නීති විද්‍යාලයේ සිව් වසරක් අධ්‍යාපනය ලද ඇගේ ජීවිතය වූයේ නිව්යෝක් නගරයයි. ඇගේ මහල් නිවාසය පිහිටා තිබුණේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට නිවාස පේළි කිහිපයක් ඈතිනි. එහි සිටි ඇගේ මිතුරු මිතුරියන් ගැන ඈ දිවා රෑ නැතිව දොඩමළු වූවාය. තමා එහිසිටිය යුතුව තිබුණේ යැයි සිතූ ඈ හැකි ඉක්මනින් ගුවනින් එහි යාමට උවමනාවෙන් පෙළුනාය.
ප්‍රහාරය පිළිබඳව වෆාට තොරතුරු දන්වා තිබුණේ යැයිද, ඊට දින කිහිපයකට පෙරදීම ඈ නිව්යෝක් නගරයෙන් පළා ගියේ යැයිද කියමින් මේ අතර එක්තරා පුවත්පතක වාර්තාවක් පළවිය. එය අමූලික බොරුවකි. වෆා මා සමඟ ස්විට්සර්ලන්තයේ සිටියේ ජූනි මාසයේ පටන්ය. එහෙත් අනෙක් පුවත්පත්ද මේ ප්‍රවෘත්තිය අහුලාගෙන එයම ප්‍රතිරාවය කළේ, ප්‍රහාරය ගැන වෆා දැන සිටියද මිනිසුන් හා ඇගේ ආදරය දිනූ නගරය බේරාගැනීමට කිසිවක් නොකළ බව කියමිනි. වෆාගේ මහල් නිවාසයේ නතර වී සිටි මිතුරියක දුරකථනයෙන් කථා කර, ඈට මරණීය තර්ජන ලැබෙන්නට පටන්ගෙන ඇති බව කීවාය. එම ප්‍රතිචාරය තේරුම්ගත හැකිය – පිටස්තරයෝ එක් බින් ලාඩන් කෙනෙකුගෙන් තවත් බින් ලාඩන් කෙනෙකු වෙන් කරගන්නේ කෙසේද?
අන් මඟක් නැති බව මට දැනුණි. මගේ දියැණියන් රැකගත හැක්කේ මටම පමණය. අප ආදරය කළ, අගය කළ මෙන්ම වටිනාකම් උකහාගත් ඇමරිකාව නැමැති රටට එල්ල කළ අමානුෂික, ම්ලේච්ඡ ප්‍රහාරයත් සමඟ මගේත් මා දියණියන්ගේත් කිසිදු අයුරක සම්බන්ධතාවක් නැතැයි ප්‍රකාශයක් මම මාධ්‍යයට නිකුත් කළෙමි. රූපවාහිනියේ පෙනී සිටිමින්, පුවත්පත්වලට ලිපි ලියමින් අපි අපගේ ශෝකය පළ කළෙමු. අපගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්නට අපට ඉදිරිපත් කළ හැකි වුණේ මාත් මගේ දියණිවරුත් සවුදි අරාබියෙන් ගලවා ගැනීමට ගෙනගිය දීර්ඝ අරගලයත්, ඔසාමාගේ ගොදුරු බවට පත්වූ අසරණයින් වෙනුවෙන් අප හදවත්වලට දැනුණු වේදනාව සහ ඔවුන් කෙරෙහි අප තුළ ඇති හිතේෂිවන්ත භාවයත් පමණය.
සවුදි අරාබියෙන් නිදහස් වීම සඳහා මා කළ දාහතර අවුරුදු අරගලයේ තේරුම කුමක්දැයි මා වටා සිටියවුන්ට අවබෝධ වූයේ සැප්තැම්බර් එකොළහෙන් පසුව වීම දෛවයේ සරදමකි. එය වැරදී ගියහොත් සිදුවිය හැකිව තිබූ ප්‍රතිඵලය ඊට පෙර කිසිවකු විසින් හෝ, උසාවිය, විනිශ්චයකාරයා හෝ මගේ මිතුරන් පවා තේරුම්ගෙන තිබුණා යැයි මා සිතන්නේ නැත. මගේම රට වන ස්විට්සර්ලන්තයේ පවා මාව අඩු වැඩි වශයෙන් හඳුනාගනු ලැබුවේ අප්‍රසන්න ජාත්‍යන්තර දික්කසාද ආරවුලක පැටලුනු තවත් එක් ගැහැනියක ලෙසය.
එහෙත් මගේ සටන ඊට වඩා ගැඹුරට විහිදී ගිය එකක් බව මම දැන සිටියෙමි. මා සටන් කරමින් සිටියේ ලෝකයේ බලවත්ම රාජ්‍යයකින් සහ බලවත්ම පවුලකින් නිදහස ලබාගැනීමට මෙන්ම, මගේ දියණියන්ට ඔවුන්ගේ ඉතාමත් සරල අයිතීන් පවා අහිමි කළ අනුකම්පා විරහිත සංස්කෘතියකින් ඔවුන්ව මුදා ගැනීමටය. සවුදි අරාබියේදී ඔවුන්ට සිය ජීවන මඟ තෝරා ගැනීමට තබා, තනිව පාරේ ගමන් කිරීමටද අවසර නොමැතිය. ඒ සමාජයේ දැඩි මූලධර්මවාදී හර පද්ධතියෙන් සහ මා විසින් බොහෝ ගරු කරනු ලැබූ අන්‍යයන් ඉවසීම හා නිදහස යන බටහිර ලෝකයේ වටිනාකම් කෙරෙහි දැක්වූ පිලිකුළ කෙරෙන් ඔවුන්ව නිදහස් කරගැනීමට මම සටන් කළෙමි.
අද පවා බටහිර ලෝකය, සවුදි අරාබිය හා එහි අනම්‍ය හර පද්ධතිය සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන සිටින්නේ යැයි මම නොසිතමි. රජ පවුල සමඟ ඉතාමත් ළඟ සම්බන්ධතා තිබෙන බලගතු බින් ලාඩන් ගෝත්‍රය තුළ මම අවුරුදු නවයක් ජීවත් වූයෙමි. මගේ දියැණියෝ සවුදි පාසල්වලට ගිය අතර, මා බොහෝදුරට සවුදි ගැහැනියකගේ වැනි ජීවිතයක් ගත කළෙමි. කාලය ගතවත්ම ඒ පාරාන්ධ සමාජයේ ක්‍රියාත්මක වූ යාන්ත්‍රණයන් හා එය විසින් එහි දියණියන් මත මුදාහළ කර්කශ මෙන්ම ක්‍රෑර නීති රීති පිළිබඳව ඉගෙනීමටත් විශ්ලේෂණය කිරීමටත් මට හැකි විය.
මගේ කුඩා දියණියන්ගේ දිදුලන මනස් බලහත්කාරයෙන් පාගා දැමෙන විට පැත්තකට වී නිශ්ශබ්දව ඉවසා සිටින්නට මට නොහැකි විය. සවුදි සංස්කෘතික හරයන්ට කීකරු වන්නැයි ඔවුන්ට උගන්වන්නට මට නොහැකි විය. කුමන ස්වරූපයේ දඬුවමකට පාත්‍ර වීමට සිදුවුවද, මා ඔවුනට ඉගැන්වූ බටහිර හරයයන් නිසා ඔවුන් කැරලිකාරියන් ලෙස හංවඩු ගැසෙනු බලා සිටින්නට මට බැරි විය. ඔවුන් සවුදි සමාජයේ නීති රීති සමඟ එකඟ වුවද, යම් දිනෙක මා වටා හුන් අනෙක් සවුදි ගැහැනුන් මෙන් මුහුණක් නැති, හඬක් නැති ගැහැනුන් බවට හැරෙන්නට නියමිතව තිබුණු ඔවුන්ගේ ඉරණමට ඉඩදීමට මට නොහැකි විය.
සියල්ලටම වඩා, මා ඉතා උසස් කොට සැලකූ නිදහස සහ තෝරාගැනීමේ බලය ඔවුන්ගෙන් උදුරාගනු බලා හිඳින්නට මට නොහැකි විය. මට ඔවුන්වත් මාවත් නිදහස් කර ගැනීමට උවමනා විය.
මේ මගේ කතාවයි.
පරිවර්තනය – මොහාන් ධර්මරත්න
පෙර කොටස්
“සැප්තැම්බර් එකොළහ උදාවූයේ ලස්සන ඉන්දියානු ගිම්හානයේ දිනයක් ලෙසිනි” (වට තිර ලූ රාජ්ජය – 01)