මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ කාමන් බින් ලාඩන්(Carmen Bin Ladin) ගේ The Veiled Kingdom කෘතිය ‘වට තිර ලූ රාජ්ජය’ ලෙස සෑම සදුදා සහ බ්‍රහස්පතින්දා දිනකම කොටස් වශයෙන් පළවේ. අද පළවන්නේ එහි 15 වන කොටසයි.
බින් ලාඩන්වරුන්ගේ භක්තිමත්බවෙහි ප්‍රමාණය එකිනෙකාට වෙනස් වුවද, ඔවුහු සියල්ලෝම ආගමට ලැදි වූහ. ඔසාමා සහ මහ්රූස් වැන්නවුන් ඒ අතුරින් වඩාත්ම අන්තගාමී අය වූහ. බකර් භක්තිවන්තයකු වූ නමුත් පීඩකයකු නොවීය. බොහෝ තරුණ සවුදීහු මෙන් යෙස්ලාම්, සලෙම් සහ තවත් සොහොයුරකු වූ හසන් ඔවුන්ගේ ඉස්ලාම් ඇදහීම වඩාත් සරල මට්ටමින් කරගෙන ගිය මුත්, ඔවුන් වයසින් මුහුකුරා යත්ම ආගම විසින් ඔවුන්ව ග්‍රහණයට ගත් බවක් පෙනිණි.
බින් ලාඩන් පවුලේ පිරිමින්ට සිය ආගම ඇදහීමේ කටයුතු මඳක් ලිහිල්ව කරගෙන යාමට අවකාශ තිබූ නමුත් ගැහැනුන්ට ඒ අයිතිය නොලැබුණි. බින් ලාඩන් පවුලේ සියලුම ගැහැනු අතිශයින් නියමාකාර වූහ – එනම්, සවුදි අරාබි අර්ථය අනුව ඔවුන් භක්තිවන්තයෝය. යෙස්ලාම්ගේ සොහොයුරු හසන් ලෙබනන් ජාතික තරුණියක විවාහ කරගත් කල, ඈ මුලින් ගුවන් සේවිකාවක ලෙස රැකියාව කර තිබීම පිළිබඳව මහා ඕපාදූපයක් පැතිරී ගියේය. ඇගේ නැන්දම්මා ඈව කිසි දිනෙක පිළිනොගනු ඇතැයි හැඟුණු බව ලයිලා මා සමඟ විශ්වාසයෙන් පැවසූ රහසකි. පවුලේ අනුමැතිය හිමි නොවීම ගැන ඈ වේදනාවෙන් පෙළුනාය.
මම සැනසෙන්නට උත්සාහ කළෙමි. සිය පුත්‍රයා විදේශිකයකු සමඟ විවාහ වීම ගැන ඕම් යෙස්ලාම් කෙතරම් කනස්සල්ලෙන් සිටිනවා ඇත්ද යන හැඟීමෙන් මිදෙන්නට මට නොහැකි වූයේය. මගේ අදූරදර්ශී විචල්‍ය මනෝභාවය සමනය කරගන්නට මම උත්සාහ ගත්තෙමි. චාරිත්‍රාණුකූල සේදුම, සැහැල්ලු රෙද්දකින් මගේ මුලු සිරුරම ඔතාගැනීම සහ මක්කම දෙස බලාගෙන දණගසමින්, වැඳ වැටෙමින් හා නැඟිටිමින් කරන මුද්‍රා නාටකය ආදියෙන් සමන්විත යාඥාව කිරීමට මා ඉගෙනගත් නමුත්, අනෙක් බින් ලාඩන් ගැහැනු කළ පරිදි දිනකට පස් වතාවක් යාඥා කිරීම නම් මට කිසි විටෙක කළ නොහැකි වූයේය.
සෑම සවුදි ජාතිකයකු මෙන් බින් ලාඩන්වරුද මක්කම දේවස්ථානය ගැන බෙහෙවින් ආඩම්බර වූහ. අල්ලා විසින් දිවැසිවර මුහම්මද්ට අනුප්‍රාණය දුන් ස්ථානය වූ මක්කම බලාකියා ගැනීමේ වගකීම හා ගෞරවය නිසා කුඩා කල සිටම ඔවුහු පිම්බී සිටිති. එමෙන්ම, ඉස්ලාමයේ සවුදි ස්වරූපය වූකලී නීතිරීති දැඩිම වූ – ඔවුන් කියන පරිදි පිරිසිදුම වූ ආගමික ස්වරූපයයි. මිනිසුන් විසින් ශුද්ධ වූ ගස් ගල් වන්දනා කිරීම් සහ පල්ලිවල ශුද්ධ වූ මිනිසුන් වන්දනා කිරීම් ඉස්ලාමය සමඟ සම්මිශ්‍රණය කිරීම ගැන 1700 ගණන්වලදී එක්තරා ලබ්ධි-ශෝධක, පුනර්ජීවනවාදී පන්නයේ, තැනින් තැනට යමින් දේශනා පවත්වන්නකු වූ ෂෙයික් මුහම්මද් ඉබන් අබ්ද් අල් වහබ් තුළ වූ පිළිකුලෙන් අනුප්‍රාණය ලැබූ, එවකට කාන්තාරයේ යුද නායකයකු වූ අබ්දුල් අසීස් ඉබන් සවුද් 1932 දී මුලුමහත් සවුදි අරාබියම යුද්ධයෙන් එක්සේසත් කළේය.
මේ ආකාරයෙන් සවුදි අරාබිය සිය පාලක රජ පෙළපතේ නම වූ ‘අල්-සවුද්’ යන්න සිය නමේ කොටසක් වන ලෝකයේ එකම රට බවට පත් වූයේය. කඩුව සහ ආගම ලෙළවමින් ඔවුහු සවුදි අරාබිය නැමැති රාජ්‍යය ස්ථාපිත කළේ බ්‍රිතාන්‍යයෙන් ලද සහායද ඇතිවය. එකිනෙකට වෙනස් බදූ ( කාන්තාරික අහිකුණ්ඨික අරාබි ගෝත්‍රික ජනසමූහ මෙසේ හැඳින්වේ – පරිවර්තක.) ගෝත්‍රයන් විසූ විශාල රාජ්‍යයක් පාලනය කළ හැකි වූයේ මක්කමේ ශුද්ධභාවය ආරක්ෂා කිරීම සඳහා ෂෙයික් වහබ්ගේ දැඩි කුරාණික නීතිවලට ඔවුන්ගේ සම්පූර්ණ අවනතභාවය ලබා ගැනීමෙනි.
මුහම්මද් බින් ලාඩන් කෙතරම් භක්තිවන්තයකුද, ඔහු කෙතරම් රජුගේ ආදරය දිනා සිටියේද කිවහොත් බින් ලාඩන් සංවිධානය නැමැති ඔහුගේ සමාගමට මක්කම මෙන්ම ඉස්ලාමයේ දෙවැනි ශුද්ධ නගරය වන මදීනා නගරයේත් ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමේ පරම අයිතිය හිමිකර දී තිබිණි. එය ඔහුගේ පවුල කෙරෙහි ඇතිකරනු ලැබූ ගෞරවය මෙතෙකැයි කියා විස්තර කළ නොහැකිය. ඔහුගේ බිරින්දෑවරුන් මෙතරම් ආගමානුකූල වීම පුදුමයක් නොවූවද ඇතැම්විට එය මට දරාගත නොහැකි තරම් වූයේය.
මම කුවේට් සම්භවයක් ඇති හිතවතියක සමඟ පළමු වරට මක්කම ගියෙමි. මුස්ලිම් නොවන්නවුන්ට ආපසු හැරී යන ලෙස සඳහන් කළ පාර දෙපස වූ විශාල පුවරු පසුකරමින් අපි ඉදිරියට ගියෙමු. අපි පරීක්ෂක ස්ථානයක් වෙත පැමිණියෙමු – මුස්ලිම් නොවන්නවුන් මක්කම ශුද්ධ නගරයේ පස් පෑගීම වැළැක්වීමට සවුදි බලධාරීහු කැපවී සිටියහ. එය මා අපහසුතාවට පත් කළේය. මගේ අම්මා උපතින් මුස්ලිම් වුවද, බින් ලාඩන්ලාගේ භක්තිවන්තබව ඉදිරියේ ඇගේ ආගමික ප්‍රායෝගිකත්වය ප්‍රශ්නාර්ථයකි. එමෙන්ම මගේ තාත්තා ක්‍රිස්තියානිකාරයකු විය. මා එය නොසැඟවූ නමුත්, සැඟවූවානම් හොඳ යැයි නිතරම මට සිතී තිබිණි. ඇත්තෙන්ම, යාඥා කරන්නේ කෙසේදැයි මා උගෙන සිටියද, මට කිසිවිටෙකත් මා නියම මුසල්මානුවෙකැයි දැනී නොතිබිණ. කෙසේ වුවද අබ්දූ සන්තෝෂයෙන් රිය පදවාගෙන ගියේය – ඔහු පරීක්ෂක නිලධාරියාට කීවේ ‘බින් ලාඩන්’ යන වදන් පමණක් වූ අතර, එපමණක් ප්‍රමාණවත් විය. අප පැමිණෙන විටම යාඥාව සඳහා එන ලෙස කෙරෙන කෑගැසීම ඇසුණු බැවින් මම කලබල වී යාඥා චාරිත්‍ර විධි ඉටුකරන්නට පටන් ගත්තෙමි.
මුතව්වා යනුවෙන් හඳුන්වනු ලබන බියකරු ආගමික පොලිසියේ නිලධාරියකු වහාම මට බැනවදින්නට පටන් ගත්තෙන් මම කිසිවක් සිතාගත නොහැකිව අන්දුන් කුන්දුන් වූයෙමි. මගේ අත්දැකීම් විරහිතබව හෙළිදරව් කළා වූ කිසියම් මහා වරදක් මා අතින් සිදු වුණිද? වංචාකාරියක යැයි කියා මා පිටමං කෙරෙනු ඇත්ද? එහෙත් මා පිරිමින්ගේ කලාපය තුළ යාඥා කිරීම නිසා එසේ සිදුවූ බව අබ්දූ කීවේය. මෙතැනත් වෙන් වෙන්ව සිටිය යුතු බව මට කෙසේවත් සිතුණේ නැත. කිසිවක් පහසු නැතැයි මා සිතුවේ හිටි අඩියේ හටගත් බිය නිසා හුස්ම ගැනීමට පවා අපහසුවෙනි.
අපි ඒ දැවැන්ත ශාලාවේ ගැහැනුන්ට වෙන් කර තිබුණු කලාපය දක්වා තවත් ටික දුරක් ඉදිරියට ගියෙමු. අපි යාඥා කළෙමු. වට හතද ඇවිද්ද අපි, අරාබිවරුන්ගේ පියා වන ඉෂ්මයිල් කුඩා කාලයේ ඔහුට වතුර සපයා ගැනීම සඳහා, ඔහුගේ මව වූ ඒබ්‍රහම්ගේ දෙවැනි බිරිඳ හේගාර්ට, අවුරුදු තුන්දාහකට පෙර දෙවියන් විසින් පෙන්වන්නට යෙදුණු සම්සම් පොකුණෙන් වතුර බීවෙමු. ඒබ්‍රහම්ට දෙවියන් විසින් දෙනු ලැබූ, මිලියන ගණනාවක් අත්වලින් අල්ලනු ලැබ තිබුණු කාබා නැමැති කලු පාෂාණය අපිදු ස්පර්ෂ කළෙමු. යෙස්ලාම් ඇතුලු අනෙකුත් බින් ලාඩන් පවුලේ පිරිමින්ට යාඥා කිරීමට අවසර තිබෙන්නාවූ, ශුද්ධ භූමිය තුළ ශුද්ධ භූමියක් බඳු එම වසන ලද කාමරයේ දොරගුළු අපි දුටුවෙමු.
මා හට හැම විටෙකම දැනුණු දෙයක් වූයේ, ඔබ දෙවියන්ට යාඥා කරන්නේ කොයි ආකාරයටද, එහිදී ඔබ කියවන්නේ බයිබලයද, කුරාණයද, නැතහොත් ටෝරාවද යන්න දාර්ශනිකව වැදගත් නොවන බවය. එහෙත් බිලියනයක් මුසල්මානුවෝ දිනපතාම හැරී වඳින ඒ දැවැන්ත ශුද්ධ භූමියේදී අධ්‍යාත්මික පුනර්ජීවයක් මා තුළ පවා හටගත්තේය. මා කල්පනාවේ නිමග්න වෙමින් ගෙදර ගියෙමි. යෙස්ලාම් නිම් හිම් නැති සන්තෝෂයෙන් මා පිළිගත්තේය. ඒ හජ් වන්දනා සමය නොවූවත්, හජ් වන්දනා සමයේ මෙන් ශුද්ධ නගරය වටා පැදකුණු කරන මිලියන ගණන් වන්දනාකරුවන් නොමැති ‘උම්රා’ නැමැති කුඩා වන්දනාවට මා සහභාගී වී සිටියෙමි. “මං ඔක්කෝටම කිව්ව ඔයා උම්රා වන්දනාවේ ගිහින් ආව කියල!” යැයි කියමින් ඔහු උදම් ඇනුවේය. ඔහු මා ගැන ආඩම්බර වන බව පෙනිණි. මා ඔහුට මුතව්වා ගැන කී විට ඔහු සිනාසෙන්නට පටන් ගත්තේය.
අපි ඉඳහිට පිටත ගොස් අනෙක් අඹුසැමියන් සමඟ දැන හැඳුනුම්කම් ඇතිකර ගත්තෙමු. ඔවුන්ගෙන් සමහරකු, සවුදි අරාබියේ මහා ආර්ථික දියුණුවේ කොටස්කාරයින් වන්නට තොග ගණනින් එහි පැමිණි විදේශික බැංකුකරුවන් හා කර්මාන්ත අධිපතියන් වූහ. ඒ අතර, ගැහැනියකගේ නිරාවරණය වූ මුහුණ ඉවසාගන්නට හැකි, ඊටත් වඩා දරුණු දෙයක් වූ එම ගැහැනිය සමඟ එක මේසයේ හිඳ කෑම ගන්නටද හැකි නවීන පන්නයට හිතන සවුදීහු එකෙකු දෙන්නෙකුද වූහ. මෙවැනි සාමාන්‍ය හමුවීම්වලින් මා හට අනුප්‍රාණයක් ලැබුණද, ඔවුහු සැබෑම සවුදි පවුල් නොවන බව – ඔවුන්ගේ බිරින්දෑවරු සිරියානු, ඊජිප්තු හෝ ලෙබනන් ජාතිකයින් බව බොහෝවිට මට සොයාගන්නට ලැබුණි.
එවැනි එක්තරා රාත්‍රී කෑමකට පසුව ගෙදර එන අතරේ, මෝටර් රථයේ ඉදිරි අසුනේ ඔහුත් සමඟ අසුන්ගන්නා ලෙස යෙස්ලාම් මට කීවේය. ඊළඟට, මා කැමැතිනම් මුහුණු වැස්මද ඉවත් කරන්නැයි ඔහු කීවේය. පලමු වතාවට මුහුණු වැස්ම නැතිව පැහැදිළි වීදි පහන් දෙස බලමින් මම එතැන වාඩිගෙන සිටියෙමි. එය තවත් සැතපුම් කණුවක් හැටියට මට දැනුණේය. එවැනි කුඩා ජයග්‍රහණ ප්‍රමාණය ගණන් කරන්නට මට උවමනා විය. වෙනස්වීම පිළිබඳව ලද එවැනි කුඩා සංඥාවන් මම තදින් අල්ලාගත්තෙමි. ඒවා මා ඉදිරියට රැගෙන යන බව මට දැනුණේය. මගේ කූඩුවේ යකඩ පොලු ඈත් මෑත් වූයේ ඉතාමත් ස්වල්පයක් යැයි මට දැන් අවබෝධ වුවත් එකල එය පෙනුණේ නිදහස හා තෝරාගැනීම කරා යන දොරටුව දෙපළු වී ඇරෙන්නට යන බවකි.
ඇතැම් විටෙක, හැම දෙයකම තිබුණු මන්දගාමීත්වය මගේ බලාපොරොත්තු නැතිකර දැමුවේය. එහෙත් සෑම විටෙකම මම ඉවසා සිටියෙමි. මා යම් ආකාරයක වරප්‍රසාද ලද්දියකැයි මම තේරුම්ගෙන උන්නෙමි. මා ජීවත්ව සිටියේ රටේ පරිනාමයේ සුවිශේෂ මොහොතකය. සවුදි අරාබිය මධ්‍යකාලීන සමාජ ක්‍රමයෙන් වේගයෙන් ඈත්වෙමින් තිබෙන අතර, එය භෞතික වර්ධනයේ යෝධ පිමි පනිමින් සිටියේය. ආර්ථික වශයෙන් සිදුවන වෙනස විසින් සමාජීය වෙනස්කම් ඇතිකරනු ඇතැයිද, එමඟින් සවුදි ගැහැනුන් බොහෝ දෙනෙකු හඳුනාගන්නටත් බැරි ලෙස වෙනස් කරනු ඇතැයිද මම බොළඳ ලෙස විශ්වාස කළෙමි. ඒ අත්‍යවශ්‍ය ඓතිහාසික මොහොතට මට සහභාගි වන්නට ඉඩ ලැබෙනු ඇතැයි මම සිතුවෙමි. මම සිටියේ වැදගත්ම මොහොතේ, වැදගත්ම ස්ථානයේය. මා විශ්වාස කළ දැවැන්ත සමාජ පරිවර්තනයේ කොටස්කාරියක වීමේ බලාපොරොත්තුව ගෙනදුන්නේ මහත් ප්‍රීතියකි.
එහෙත් බින් ලාඩන් පවුලේ ගැහැනුන්ට කිසිවක් වෙනස් නොවන බව පෙනී ගියේය. බින් ලාඩන් පවුලේ ගැහැනුන්ව ඔවුන්ගේ ස්වාමිපුරුෂයින් සුරතල් සතුන් හැටියට තබාගෙන සිටින බවක් මට පෙනිණි. මුලු දවස පුරාම, ඇතැම්විට මුලු රාත්‍රිය පුරාම ඔවුහු සිය සැමියන් එනතුරු බලා සිටින අතර, ඔවුන් ආ පසු භාර්යාවෝ සතුටින් පිරි ආදරණීය බිරිඳගේ චරිතය රඟපානු ඇත. ඔවුන්ව ගෙවල් තුළට දමා වසා තැබෙන අතර, කලාතුරකින් විශේෂ ගමන් සඳහා පිටත රැගෙන යනු ලබති. ඇතැම්විට ඔවුන්ව පිටතට ගන්නේ වැඩිකොටම ඔවුනොවුන්ගේ ගෙවල්වල යාමටය. ගැහැනුන්ගේ එකම කාර්යභාරය වූයේ මෙවැනි කුඩා ප්‍රියසාද සූදානම් කිරීමත්, ඊට පෙර ඔවුන්ගේ සාම්ප්‍රදායික රැළි වාටි සහිත ඇඳුම් සූදානම් කිරීම හා ඒවායේ ඇදකුද අනවශ්‍ය ලෙස සොයාබැලීමත්ය. සෑම තේපැන් සංග්‍රහයක්ම එකම ස්වරූපයක් ගත්තේය. අපි සුවපහසුව රහිත පුටුවල නොසෙල්වී ඉඳගෙන සිටිමු. සරල කතාබහක් හෝ ගැඹුරු සාකච්ඡාවක් නොමැති එතැන ඇත්තේ දීර්ඝ නිශ්ශබ්දතාවකි. ඉන්පසු පුංචි තේ හෝ කෝපි කෝප්ප සමඟ විවිධ වර්ගවල කේක් පැමිණෙයි. කිසියම් කතාබහක් සිදුවූයේ නම් එය ඒ වන විට විදේශික සේවිකාවන් සමඟ කාලය ගතකරමින් සිටින අපේ දරුවන් ගැන හා කුරාණය ගැන පමණය. සමහර විටෙක අපි කතා කළේ ඇඳුම් ගැනය.
පරිවර්තනය – මොහාන් ධර්මරත්න
පසුගිය කොටස්
“ස්වාමිපුරුෂයාට බිය නැති සවුදි කාන්තාවක් මට හමුවී නැති තරම්ය” (වට තිර ලූ රාජ්‍යය – 14)
බින් ලාඩන් ගැහැනියකට නිවසින් පිටත යෑම සෑම විටකම පාහේ ‘හරාම්’ සහ ‘අබේ’ විය. (වට තිර ලූ රාජ්‍යය – 12)
බින් ලාඩන් පවුලේ ගැහැනියක ගිය එකම ප්‍රසිද්ධ ස්ථානය රත්තරන් බඩු වෙළඳපොළ පමණි
වීදි තුනක් දිගට සම්පූර්ණයෙන්ම බින් ලාඩන්වරුන් පමණක් ජීවත් වූ ගම්මානයක් විය (වට තිර ලූ රාජ්‍යය – 08)
‘සවුදීන්ට විදේශිකයකු සමඟ විවාහ වීමට රජතුමාගෙන් අවසර ගත යුතුය’ (වට තිර ලූ රාජ්‍යය – 06)
“සවුදි අරාබියද මා කුඩා කල දුටු ඉරානය බඳු වියහැකි මා මාවම රවටාගෙන තිබුණේය” (වට තිර ලූ රාජ්‍යය – 05)
“යෙස්ලාම් මගේ ජීවිතය සදහටම වෙනස් කරන්නට යන බවක් මට කිසිසේත්ම දැනුණේ නෑ” – (වට තිර ලූ රාජ්‍යය – 04)
“කාමන්, ඔයා හරිම විශේෂ කෙනෙක්. ඒක කවදාවත් අමතක කරන්න එපා.“ (වට තිර ලූ රාජ්‍යය – 03)
“සැප්තැම්බර් එකොළහ උදාවූයේ ලස්සන ඉන්දියානු ගිම්හානයේ දිනයක් ලෙසිනි” (වට තිර ලූ රාජ්ජය – 01)