මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ කාමන් බින් ලාඩන්(Carmen Bin Ladin) ගේ The Veiled Kingdom කෘතිය ‘වට තිර ලූ රාජ්ජය’ ලෙස සෑම සදුදා සහ බ්‍රහස්පතින්දා දිනකම කොටස් වශයෙන් පළවේ. අද පළවන්නේ එහි 5 වන කොටසයි.
අපේ ආලය සරල ගිම්හාන ආදර කතාවකට වැඩි දෙයක් බවට පත් වෙමින් තිබිණි. යෙස්ලාම් මා ඔහුගේ විස්තීර්ණ පවුලට හඳුන්වා දෙමින්, මා ඔහුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධ කරගැනීමට පටන් ගත්තේය. ඔහුට සහෝදරයින් විසිහතර දෙනෙකු සහ සහෝදරියන් විසි නවදෙනෙකු සිටින්නේ යැයි ඔහු මට කීවේය. එහි ප්‍රායෝගික අර්ථය කෙබන්දක් වියහැකි දැයි මට සිතාගන්නට පටන්ගැනීම පවා අසීරු වූ අතර, මගේ සිතේ වූ කම්පනය මුහුණින් ප්‍රකාශ වන්නට ඇතැයි මා සිතන්නේ, එය සවුදි අරාබියානු සම්මතයටත් වඩා එහාට ගිය අසාමාන්‍ය ලෙස විශාල පවුලක් යැයි කියමින් යෙස්ලාම් මා අස්වැසූ නිසාය.
යෙස්ලාම්ගේ වැඩිමහල් සොහොයුරා වූ සලෙම් මට මුනගැසුණේ ඔහු ස්විට්සර්ලන්තය හරහා යන අතරය. යෙස්ලාම් හා සසඳන කල ඔහු කෙතරම් ප්‍රිය සාදයන්ට ප්‍රිය වූ විවෘත කෙනෙකු වී දැයි මා බොහෝ උනන්දුවෙන් සිතුවෙමි. සලෙම් විනෝදයට බොහෝ ආශාකල අතර, ‘ඕ සුසානා’ ගීතය බොහෝ වාර ගණනක් හාමෝනිකාවෙන් වාදනය කළේය. යෙස්ලාම් මෙන් නොව ඔහු සෑහෙන දුරට බටහිරකරණය වී සිටි බවක් පෙනිණි. එහෙත් ඔවුන්ගේ සබඳතාව අතර මැදින් සංකීර්ණ බල අරගලයක් පැවැති බවද මට දකින්නට ලැබුණේය. සලෙම් අවුරුදු තිහකට වඩා වැඩි නොවූවකු වුවද ඔහු යෙස්ලාම් කෙරෙහි තාත්තකු පරිද්දෙන් ක්‍රියා කළ අතර, යෙස්ලාම් එය නොරිස්සුවේය.
“සලෙම් මගේ භාරකාරය කියල හිතාගෙන ඉන්නේ එයා පවුලේ ලොක්කා නිසා,” ඔහු කීවේ අප්‍රසන්න බව සඟවාගන්නට එතරම් උත්සාහ නොකරමිනි. “ඒත් මට ඕන දේ කරන්න මට සලෙම්ගෙ අවසරයක් අවශ්‍ය නැහැ.” මා මගේ අම්මාත් සමඟ – යෙස්ලාම් ඔහුගේ සොහොයුරාත් සමඟ එකම විදියේ අරගලයක කොටස්කරුවන්ව සිටි බව පෙනිණි.
අවසන් වී යන ගිම්හානයේ එක් සැන්දෑවක යෙස්ලාම්ගේ බල්ලන් සමඟ අප අම්මාගේ ගෙවත්තේ ඇවිදිමින් සිටින අතර අනාගතය ගැන කතා තරන්නට පටන් ගතිමු. සවුදි අරාබියට ගොස් ඩොබර්මන් බල්ලන් අභිජනනය කරන්නට යන බව යෙස්ලාම් කීවේය. යෙස්ලාම්ගේ හැකියාවන් ගැන තේරුම්ගෙන සිටි මා කල්පනා කළේ එය හාස්‍යජනක අදහසක් බවයි. එවැනි දේකින් සෑහීමට පත්වීමට තරම් නොවන මට්ටමේ ඉහළ නුවණක් ඔහු සතුව තිබෙන බව කී මා, ඊට වඩා හොඳ බලාපොරොත්තුවක් තමා වෙනුවෙන්ම තබාගැනීමට ඔහුට යුතුකමක් ඇති බවද කීවෙමි. අධ්‍යාපනය තවදුරටත් හදාරා ඔහු සිය ජීවිතයෙන් වැඩදායක දෙයක් කළ යුතු විය. “මං එහෙම කරන්නම්, හැබැයි ඔයා මාව බඳිනවනම් විතරයි,” යනුවෙන් යෙස්ලාම් කීවේය. එය නිර්භීතබව උවමනා වන අභියෝගයක් බඳු වූ අතර, එක්තරා ආකාරයකින් ඉල්ලීමක්ද වූයේය. යමකු තමාට මඟපෙන්වනු ඇතැයි යෙස්ලාම්ද බලා සිටි බැවින් එය විහිළුවක් නොවූ බව මාද දැන සිටියෙමි. මම හයියෙන් සිනාසී, ඒ ගැන සිතා බලන්නම් යැයි කීවෙමි. එහෙත් මා එතැනදී ප්‍රකාශ කළේ එකඟත්වය බව අප දෙදෙනාම දැන සිටියෙමු.
ගිම්හානය හමාර වුවද යෙස්ලාම් මගේ මවගේ නිවසේ රැඳී සිටියේය. ඒ වනවිට ඔහු මා විවාහ ගිවිසගත් තැනැත්තා බවට පත්ව සිටි අතර, එහි තේරුම වූයේ මා වැඩිහිටියකු, නිදහස් පුද්ගලයකු බවට පත්ව සිටින බවය. අවුරුදු ගණනාවකට පසුව පවුලට පිරිමියකු සිටීම ගැන මගේ අම්මා සන්තෝෂ වූවාය. ඇගේ කැරලිකාර දියණිය දැන් වෙනත් කෙනෙකුට හිමි වගකීමක් යැයි එක්තරා ආකාරයකින් ඇය කල්පනා කළා විය හැකිය. මා යන්නේ කොහිද, ගියේ කොයි වෙලාවේද යන්න ප්‍රශ්න කිරීමට හෝ මා අහවල් වේලාවට ගෙදර පැමිණිය යුතුය ආදී වශයෙන් නීති පැනවීම අම්මා නතර කළාය.
සාමාන්‍යයෙන් තරුණ තරුණියන් කළා සේ අපි රාත්‍රී සමාජශාලාවලට ගියෙමු. යෙස්ලාම් හොඳින් නැටුවද, ඔහු සලෙම් තරම් නර්තනයෙහි කෙළ පැමිණියකු නොවීය. සලෙම් මට නැටුමකට ආරාධනා කළද ඔහු සමඟ නැටීමට නොයන්නැයි යෙස්ලාම් මා හට අවධාරණයෙන් කීවේය. මා එසේ ගියහොත් සලෙම් මා ගැන වැරදි අවබෝධයක් ඇතිකරගනු ඇතැයි ඔහු කීවේය. එය ඔහුගේ සංස්කෘතියේ අමුතු නීති මහා ගොඩක් අතරින් එකක් මට හඳුන්වා දුන් අවස්ථාවකි. ඔබ වෙනත් පිරිමියකු සමඟ – එනම් ඔබේ පෙම්වතාගේ සොහොයුරා සමඟ වුවද – නර්තනයෙහි යෙදුණේ නම් ඔබට ගෞරව නොකරනු ලබනවා ඇත.
ලෝසෑන් දුම්රියපොළේදී අප අතර පළමු මතභේදය ඇතිවුණි. මට යමක් කෑමට උවමනා වූ අතර, සැන්විච් මිලදී ගැනීමට දිගු පෝලිමක් තිබිණි. යෙස්ලාම් කෙළින්ම සැන්විච් විකුණන්නා වෙත ගිය අතර, ඔහුට පෝලිමට යන ලෙස වෙළෙන්දා ගරුසරු නැතිව කීවේය. එවිට යෙස්ලාම් කළේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයකි: ස්විස් ෆ්‍රෑන්ක් සියයේ නෝට්ටුවක් කවුන්ටරය මතට දමා ගැසූ ඔහු එතැනින් පිට විය. අනෙක් මිනිසුන්ද කෑම ගැනීමට පෝලිමේ සිටින බව තේරුම් නොගෙන යෙස්ලාම් පෝලිමේ මුලට යාම වෙනම කතාවකි. එහෙත් විශාල මුදලක් එතැනට වීසිකර ඉවත යාමේ තේරුම කුමක්ද? එය මහා අමුතු හැසිරීමකි.
ඔහුගේ ප්‍රතිචාරය මට තේරුණේ නැති බවත්, එය පෙනුණේ හරියට ඔහු වෙළෙන්දාගේ ගරුසරු නැතිකමට තෑග්ගක් දුන්නා වැනි දෙයක් හැටියට බවත් පසුව මා ඔහුට කීවෙමි. නාඳුනන පුද්ගලයකු විසින් කළයුත්තේ කුමක්ද යන්න ගැන ඔහුට උපදෙස් දීම ඉවසා සිටින්නට යෙස්ලාම්ට නුපුලුවන් වී ඇත. ඔහු එයට කීකරු වී ආපසු ගොස් පෝලිමට එකතු වූයේ නැතුවා මෙන්ම, ඒ මිනිහා සමඟ ඔහු දබර කරගන්නට ගියේද නැත. තරහ පෙන්වීමට ඔහු කළේ ඒ මිනිහාට මුදල්වලින් දමා ගැසීමය. යෙස්ලාම්ට අනුව මේ හැසිරීම තර්කානුකූලය. කෙසේ වුවද පළමු වරට මට ඔහුගේ හැසිරීම් රටාවේ අමුත්තක් දැනෙන්නට වූයේය.
යෙස්ලාමුත් මමත් ඔක්තෝබරයේදී චාරිත්‍රාණුකූලව විවාහ ගිවිස ගතිමු. මා යෙස්ලාම් සමඟ විවාහ වනු ඇතැයි දැන් මගේ අම්මාට සහතිකය – එය ඈට මානසික ශාන්තියත්, මට නිදහසත් ගෙනාවේය. නවයෞවනියකව සිටියදී මා නිතරම කියවූ ‘දිවැසිවරයා’ නැමැති පොතේ කතුවරයා වූත්, මගේ ප්‍රියතම දාර්ශනිකයන්ගෙන් කෙනෙකු වූත් ඛලීල් ජිබ්රාන්ගේ උපන් බිම වන ලෙබනනයට නොවැම්බරයේදී යෙස්ලාම් මා කැටුව ගියේය. එය සුරංගනා කතාවක් තරම් ලස්සන තැනකි. මා මගේ ආදරය දිනූ මිනිසා සමඟ සංචාරය කරන වැඩුණු ගැහැනියක විය. ලෙබනනය මට දැනුණේ තාරකා සහ ගණිතයේ රහස් සොයාගත් දාර්ශනික සහ බුද්ධිමත් මිනිසුන්ගේ නිජබිම වූ අරාබි ලෝකයට අයත් සංස්කෘතියක් ලෙසිනි. සැප සම්පතින් ආඪ්‍ය වූ, වර්ණයන්ගෙන් හා නා නා සුවඳින් පිරී ගිය, ඒ සියල්ලටමත් වඩා දොඩමක තැඹිලි පැහැය ගත් මධ්‍යධරණී හිරු එළියෙන් නැහැවුණු බීරූට් නගරය සිවිල් යුද්ධයට පෙර දිස්වූයේ අරාබි නිසොල්ලාසයේ එන කතාවක් පරිද්දෙනි. යෙස්ලාම් මා කෙරෙහි නොකඩවාම උනන්දු වූයේය. මහ රෑ වනතුරු අවදියෙන් සිටි අප හිතෙන දෙයක් කෑවෙමු, හිතෙන දේ කළෙමු. ආදරයෙන් බැඳී සිටීම මහා පුදුම දෙයක් විය. එය මට ජීවිතය පිළිබඳ අලුත් දෘෂ්ටිකෝණයක් හෙළි කළේය.
අප ගිය ගිය තැන යෙස්ලාම්ගේ සොහොයුරකු ඉන්නා බවක් දකින්නට තිබුණේය. ලෙබනනයේදී අපට අලි සහ තාබිත් හමු විය. ඒ දෙදෙනා ස්වරූපයෙන් දෙයාකාරයක වූහ. උස් මෙන්ම බෙහෙවින් මැදපෙරදිග හැඩයක් ගත් අලි ගේ මව ලෙබනන් ජාතික කාන්තාවක වූවාය. තාබිත් කලු පැහැති වූ අතර, ඔහුගේ මව ඉතියෝපියානු කාන්තාවකි. යෙස්ලාම්ගේ පියාට බිරින්දෑවරුන් විසි දෙදෙනෙකු සිටි බව මා තේරුම් ගත්තේ එවිටය. මේ පටලැවිලි කිඳා බසින්නට ඉඩහරිනවාට වඩා, ඒවා සුවිශේෂ පසුබිම් කථා ලෙස දැකීමට මම කැමැති වූයෙමි. මා සිටියේ ආදරය කරමිනි – පවුල් සම්බන්ධතා නැමැති මේ වංකගිරිය වූකලී මගේ පුදුමාකාර ආදර කතාවේ මීදුමින් වැසුණු තවත් එක් කොටසක් පමණය.
අප ඉරානයට ගොස් මගේ අම්මාගේ නෑදෑයින් සමහරකු සමඟ දින තුනක් ගත කළෙමු. අත්තම්මා සමඟ සිටීමට නොහැකි වුණේ ඈ ඇමරිකාවේ ප්‍රතිකාර ගනිමින් සිටි බැවිනි. එහිදී මගේ ඇස් වසාගෙන තිබුණු වැසුම් ගැලවී ගියේය. පිනට ලැබෙන පැරණි ඇඳුම් හෝ කෑම ඉල්ලාගැනීමට මගේ අත්තම්මා ජීවත්ව සිටි ප්‍රදේශයට නිතර පැමිණෙන යාචකයින් මහපාරේ සිටිනු කුඩා කාලයේ නිවාඩුවට එහි ආ විට මා දැක තිබිණි. මගේ මාමා කෙනෙකු ඔවුන් කෙරෙහි උපන් අපගේ අනුකම්පාව දුරු කිරීමට නිතර කීවේ, “ඔච්චර දුක් වෙන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ට සල්ලි තියෙනව. එයාලට රස්සාවක් කරන්න උවමනාවක් නැහැ, එච්චරයි.” කියාය.
පර්සියානු බුමුතුරුණක් මිලදී ගැනීමට ටෙහෙරානයේ බුමුතුරුණු වෙළඳපොල වෙත යෙස්ලාම් මා කැටුව ගිය අවස්ථාවේ මා දුටුවේ ඉතාමත් අභාග්‍යසම්පන්න දර්ශනයකි. කුඩා ළමුන් සහ මහලු මිනිසුන් ඔවුන්ට ගෙනයා හැකිව තිබූ බර මෙන් දෙගුණයක පමණ බුමුතුරුණු මිටි කර තබාගෙන ගියහ. ඔවුහු පාසලක හෝ නිවසේ සිටිය යුතු වූවන්ය. රැකියාවක් කිරීමට තරම් සුදුසු නොවූ ඔවුහු ඉතාමත් ළපටි හෝ ඉතාම මහලුවියේ කැඩෙන බිඳෙනසුළු වයස්වල පසුවූහ. එහෙත් ඔවුන් පිට බූරුවන්ගේ මෙන් බර පටවා තිබිණි. මගේ ජීවිතය ඉතාමත් ආරක්ෂා සහිත එකක් විය. එවැන්නක් ඉන් පෙර දැක නොතිබූ මා හඬන්නට වීමි.
යෙස්ලාම් මා කැටුව යළි මෝටර් රථය වෙත ගියේය. අපගේ රියැදුරා මා සනසාලන්නට උත්සාහ කළේය. “ඔබ හිතන්නේ ඒ මිනිස්සු දුප්පත් කියලද? ඒගොල්ල වාසනාවන්තයි – ඒගොල්ලන්ට රස්සාවල් තියෙනව. මට පුලුවන් ඔබට පෙන්නන්න පොළවෙ හාරපු ගුල්වල ජීවත්වෙන මිනිස්සු,” යැයි ඔහු කීවේය. ඉන් තත්වය වඩාත් නරක අතට හැරිණි: මා සැනසීමට කිසිසේත්ම නුපුලුවන් විය. යෙස්ලාම්ට පවා එය කළ නොහැකි විය. කිසිදින දැක නොතිබූ කර්කශ යථාර්ථය මත පදනම් වෙමින් මා තේරුම් ගත්තේ, කුඩා කල මා දන්නා මතකයන් අවදි කිරීමෙන් මවාගත් ඉරානය මායාවක් බවයි. ස්ථිර බව සිතා සිටි හැම දෙයක්ම පදනම් වී තිබුණේ රහස් හා මිරිඟු මතය. සවුදි අරාබියද මා කුඩා කල දුටු ඉරානය බඳු වියහැකි යැයි සිතින් මවාගෙන පසුකලෙක මා මාවම රවටාගෙන තිබුණේය.
යෙස්ලාම් සමඟ විවාහ වීමට මා තවදුරටත් දෙගිඩියාවෙන් පසු වුණෙමි. තරුණ වියේ සිටි මගේ සිතෙහි මගේ දෙමව්පියන්ගේ අත්දැකීමෙන් ලද පාඩම බොහෝ පැහැදිළිව සටහන් වී තිබිණි. විවාහය බියජනක දෙයක් වුවද, අපි අපේ සැලසුම් ගැන මගේ අම්මා සමඟ කියා තිබිණි. යන්ත්‍රය කරකැවීමට පටන්ගෙන තිබූ අතර, එය මාව ඇදගෙන යමින් තිබුණේය.
විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වීමට 1973 දෙසැම්බරයේ අපි ඇමරිකාවට ගුවනින් ගියෙමු. ඇමරිකාව සිත් පිනායන තැනක් විය. එය මගේ බාල වියේ සිහිනයක් සැබෑ වීමකි. එහි මිනිස්සු ඇත්තවශයෙන්ම නිදහස්, කරදර බාධකවලින් තොර ජීවිත ගතකළහ. මා දැන සිටි අන් කිසිවකුටත් වඩා ඔවුන් සම්ප්‍රදායයන්ගෙන් ඉතාමත් අවම ලෙස බැඳී සිටියෝ වූහ. එහි පුළුල් යායවල් වැනි ඉඩ පහසුකම්වලට මෙන්ම ජීවන රටාවට – එනම්, නිදහස හා අනාගතයට පියමං කිරීම පිළිබඳ වූ අති දැවැන්ත හැඟීමට මා ආදරය කළෙමි.
පරිවර්තනය – මොහාන් ධර්මරත්න
පසුගිය කොටස්
“යෙස්ලාම් මගේ ජීවිතය සදහටම වෙනස් කරන්නට යන බවක් මට කිසිසේත්ම දැනුණේ නෑ” – (වට තිර ලූ රාජ්‍යය – 04)
“කාමන්, ඔයා හරිම විශේෂ කෙනෙක්. ඒක කවදාවත් අමතක කරන්න එපා.“ (වට තිර ලූ රාජ්‍යය – 03)
“සැප්තැම්බර් එකොළහ උදාවූයේ ලස්සන ඉන්දියානු ගිම්හානයේ දිනයක් ලෙසිනි” (වට තිර ලූ රාජ්ජය – 01)