මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ කාමන් බින් ලාඩන්(Carmen Bin Ladin) ගේ The Veiled Kingdom කෘතිය ‘වට තිර ලූ රාජ්ජය’ ලෙස සෑම සදුදා සහ බ්‍රහස්පතින්දා දිනකම කොටස් වශයෙන් පළවේ. අද පළවන්නේ එහි 20 වන කොටසයි.
නිවසට පිරිමින් පිළිගත් පවුලේ එකම ගැහැනිය වූයේ මාය. “අඩුගානේ යෙස්ලාම් ගෙදර ඇවිල්ල ඔයත් එක්ක කාලය ගතකරනවා. එයා ඔයත් එක්ක කතාබහ කරනවා. එයා ඔයාට ඕන විදියට ජීවත් වෙන්න ඉඩහරිනවා,” යැයි හයිෆා නිතරම කීවාය. ඉරිසියාකාරියක නොවූ ඇය, යෙස්ලාම්ගේ විශේෂ ගතිගුණ මට පෙන්වා දුන්නාය. මට අවශ්‍ය වූවා සේ පෙනුණු ලෙස, නිර්භීතකම් ලෝකයට පෙන්වීමට ඈට උවමනා නොවීය. මට සවුදි ජීවිතයට හැඩගැසෙන්නටත්, සතුටින් ජීවත් වන්නටත් උදව් උපකාර කරන්නට ඈ උත්සාහ කළාය.
සවුදි නීති රීති නිසා වැඩකිරීම ඔවුනට බෙහෙවින් දුෂ්කරයි
බ්‍රහස්පතින්දා රාත්‍රී සාදයන් නිසා මගේ හොඳ මානසික තත්වය ආරක්ෂා වූයේ යැයි මම සිතමි. ඒවාට සහභාගී වූ විදේශිකයින් අතර තානාපති කාර්යාලවල නිලධාරීන්, බටහිර රටවල ව්‍යාපාරිකයින් සහ බහුජාතික සමාගම්වල සේවය කරන අරාබීන් කිහිපදෙනෙකු සිටියහ. සමාජයෙන් කොන්වී සිටීම නැමැති ආබාධිත තත්වය හැරුණුකොට දියුණුවෙමින් පැවැති ගල්ෆ් කලාපය වෙත ඔවුහු පැමිණ සිටියහ. විශේෂයෙන්ම අපේ ව්‍යාපාරික අමුත්තෝ, ඔවුන් මුණගැසෙන්නට බලාපොරොත්තු වන කුමාරයකු හෝ කිසියම් අහංකාර ස්වදේශික ව්‍යාපාරිකයකු විසින් පිළිගනු ලැබෙනතුරු සති ගණන් නතරවී සිටින මලානික හෝටල් කාමරයෙන් ඔවුන්ව පිටතට ගෙන වෙනසක් ඇතිකිරීම වෙනුවෙන් අපට අනවරත ලෙස ස්තුති කළහ. කෙළවරක් නැති මඟ බලා හිඳීම්, නිශ්ක්‍රීයභාවය සහ අටෝරාසියක් නීති රීති නිසා සවුදි අරාබියේ වැඩකිරීම ඔවුනට බෙහෙවින් දුෂ්කර වූයේය.
විනෝදයක් ලැබීමට හා සාමාන්‍ය ජීවිතයෙන් පළායාමට ඉඩක් ලැබෙනතුරු නොඉවසිල්ලෙන් බලා සිටි සවුදි අරාබියේ ජීවත් වූ විදේශිකයින් බොහෝදෙනෙකු සිය නානකාමර බේසම් තුළ කසිප්පු පෙරූහ. වරක් එවැනි විදේශිකයින් පිරිසක් සේෆ්වේ හි චොක්ලට් රාක්කයක් අසල පොදි කමින් චොක්ලට් පෙට්ටි දුසිම් ගණන් රැගෙන ඔවුන්ගේ ට්‍රොලි තුළට දමාගනු මම දුටුවෙමි. ඒ ගැන ඇතිවූ කුහුල නිසා, මුදල් ගෙවන පෝලිමේදී ඉන් එක් මිනිසකු මිලට ගත් භාණ්ඩ විපරම් කළ මට දකින්නට ලැබුණේ ඒවා කියර්ෂ් නැමැති චෙරි බ්‍රැන්ඩි වර්ගය අඩංගු වූ ලිකියර් චොක්ලට් බවය! මට ඒ දැක සිනා පහළ විය. පැහැදිළිවම එය රේගු නිලධාරියකු අතින් සිදුවූ අතපසු වීමකි.
බ්‍රහස්පතින්දා දිනවල අපේ නිවස විවෘත ගෘහයකි. එදිනට අමුත්තන් විසිපහේ සිට හැත්තෑව දක්වා ඕනෑම ගණනක් පැමිණීමට ඉඩ ඇත. අද දක්වාම මා සමඟ නොවෙනස් ඇසුරක් පවත්වාගෙන යන ඇමරිකානු තානාපති ජෝන් වෙස්ට් හා ඔහුගේ බිරිඳ ලොයිස් අපගේ නිරන්තර අමුත්තෝ වූහ. ඔවුන්ගේ දියණිය ෂෙල්ටන්, වයස විස්සක පමණ වූවාය. ඈ වැනි අවිවාහක ඇමරිකානු තරුණියකට සවුදි අරාබිය වැනි වැසුණු සමාජයක ජීවත් වීම කෙතරම් අපහසු වන්නට ඇත්දැයි මට සිතාගන්නට පවා නොහැකි විය.
කැෂුවල් කියල කියන හැම වෙලාවකම මම දැක්කෙ සිරිතට විරිතට ඇඳගත්තු කට්ටියක්
අනෙක් අතට, අප නිවසේ වාතාවරණය ඇත්තෙන්ම නිදහස් එකක් වූයේය. එය, මා ඇමරිකාවේදී සහභාගී වී වින්දනයක් ලැබූ සමාජශීලී උත්සව අවස්ථාවන් බඳු විය. ළමුන් සඳහා අපි වීඩියෝ චිත්‍රපට සමඟින් රූපවාහිනී නැරඹුම් කාමරයක් සකස් කළෙමු. අමුත්තෝ ඔවුන්ගේ යහළුවන්ද කැඳවාගෙන පැමිණියහ. ජිද්දා හි කැලැන්ඩරයේ සම්මත උත්සව අවස්ථාවලට වඩා මෙකී සන්ධ්‍යාවන් විදේශිකයින්ට නම් සැබෑම උත්සවයක් වූයේය. බෙල්ජියම් තානාපතිවරයාගේ බිරිඳ මුල්වරට එහි ආ දිනයේ ඉතා අලංකාර දිගු ගවුමකින් සැරසී සිටි අතර, කොට කලිසම් ඇඳගත් අනෙක් පිරිමින් සමඟ මා කැප්රි කලිසමකින් සැරසී සිටිනු දැක පුදුමයට පත්වූ බවක් මුහුණින් පළ කළාය. “වාව්! මේක නම් ඇත්තටම සාමාන්‍ය ඇඳුමක්!” ඈ පුදුමයෙන් කීවාය. “මේ රටේදි කවුරුහරි කැෂුවල් කියල කියන හැම වෙලාවකම මම දැක්කෙ බොහොම සිරිතට විරිතට ඇඳගත්තු කට්ටියක්. මේක නම් හිතාගන්නත් බෑ!”
ටෙනිස් ක්‍රීඩාව අවධානය වෙනස් කරන්නක් විය. ඉන් ලිහිල් වාතාවරණයක් ඇතිකරනු ලැබීය. අපි වැඩිදෙනෙක් කතාබහේ යෙදුණෙමු. මිනිස්සු අලුත්ම ආරංචි රැගෙන ආහ. දේශපාලනය හෝ පොත්පත් ගැන අපි කතා කළෙමු. (බොහෝ ඊර්ෂ්‍යාවට ලක්වූ මගේ පොත් රාක්ක කිහිපය එක්තරා විදියක ප්‍රජා පුස්තකාලයක් බවට පත්වෙමින් තිබුණේය). අනෙක් වේලාවලදී ව්‍යාපාරිකයෝ සාකච්ඡා මට්ටමේ පවතින ඔවුන්ගේ විශාල කොන්ත්‍රාත්තු ගැනත්, රටේ පුළුල් වෙමින් පවතින අවස්ථා ගැනත් කතාබහ කළහ.
අලුත්, නවීන සවුදි අරාබිය ගොඩනංවමින් සිටියෝ මොවුහුය. ඔවුන් හා කතා කිරීමත්, ඔවුන්ට ඇහුම්කන් දීමත්, ඔවුන් මා හට ඇහුම්කන් දීමත් මගේ ජීවිතය ඉදිරියට ගෙනගිය ආධාරකය වූයේය. එය ප්‍රබෝධකයක් මෙන්ම අභියෝගයක්ද වූයේය. මේ සමාජශීලීත්වය යෙස්ලාම්ගේ ව්‍යාපාරික කටයුතුවලට පිටිවහලක්ද විය. බොහෝවට විශාල සමාගම්වල අධ්‍යක්ෂකවරුන් වූ මේ මිනිස්සු අප නිවසට පැමිණි කල්හි යෙස්ලාම්ට නව දොරටු විවර වූයේය. ඔහු අනෙක් සවුදීන්ට වඩා කෙනෙකු බවට පත්කිරීමට එය හේතුවක් විය. යෙස්ලාම්ගේ නිවසට ඇරැයුමක් ලැබීම ලොකු දෙයක් විය. ඔහු බලපුළුවන්කාරයකු බවට පත්වෙමින් සිටි අතර, ශ්‍රේෂ්ඨ බින් ලාඩන් පවුලේ සාමාජිකයකුද විය. බින් ලාඩන් සොහොයුරන්ගේ ධූරාවලිය තුළ පවා යෙස්ලාම් බලවත් මෙන්ම වැදගත් චරිතයක් ලෙස ඉස්මතු වෙමින් සිටියේය.
සමහර අවස්ථාවල යෙස්ලාම් මේ ටෙනිස් සාදවලට සවුදි පිරිමින්ට ඇරයුම් කළ නමුත් සවුදි ගැහැනු නම් කිසිදිනෙක පැමිණියේ නැත. සවුදි පිරිමි සිටින ස්ථානයක සාමාන්‍ය තත්වය පවත්වාගෙන යාමේදී විරෝධාකල්පික තත්වයක් ඇතිවන බව මට හැඟිණි. මා යෙස්ලාම් සමඟ නිදහසේ කතා කරනු ඒ මිනිසුන් දුටුවහොත් ඔවුන් ඊට හුරු පුරුදුවනු ඇතැයිද, තම බිරිඳ සමඟ අන්‍යෝන්‍ය මිත්‍රශීලී සම්බන්ධයක් පවත්වාගෙන යාම ඉතාමත් පොහොසත් මෙන්ම වටිනා දෙයක් බව ඔවුනට අවබෝධ වනු ඇතැයිද මම සිතුවෙමි. මා කල්පනා කළේ සවුදි සමාජයේ පරිනාමය උදෙසා මා උදව්වක් කරන්නේ යැයි කියාය. එහෙත් ඒ සාමාන්‍ය වාතාවරණය ඔවුන්ට දරාගත නොහැකි තරම් තර්ජනාත්මක යැයි බොහෝ සවුදීහු සිතන්නට ඇත. යෙස්ලාම්ගේ සොහොයුරෝ නිතරම ආ ගිය නමුත් එහි රැඳුණේ නැත.
මුහම්මද් කුමාරයා සිය ඥාති දියණි මිෂාල්ට වෙඩි තබා මරන්න අනකරනවා
1978 එක්තරා බ්‍රහස්පතින්දා දිනයෙක හැම තානාපති නිලධාරියකුම කතාකරමින් සිටියේ ජිද්දා නගරය පුරා වේගයෙන් පැතිරී යන එක්තරා ආරංචියක් ගැනය. රජතුමාගේ ඥාති දියණියකගේ දියණියක වන තරුණ මිෂාල් කුමරිය නගරයේ කඩමණ්ඩියේ රථගාලක අමු අමුවේ මරා දමා තිබිණි. යාන්තමට වැඩිහිටි වියට ළඟා වී සිටියා යැයි කිවහැකි මිෂාල් වයසක මිනිහකු හට විවාහ කරදීමට පොරොන්තුවක් වී තිබී ඇත. ඈ ඇගේ පෙම්වතා සමඟ වෙනත් ගමන් බලපත්‍රයක් භාවිතකොට පැනයාමට දැරූ උත්සාහයේදී ගුවන්තොටුපළේදී අත්අඩංගුවට පත්ව තිබිණි. කිසිදු ගැහැනියකට ඇගේ සැමියා, පියා හෝ පුත්‍රයාගේ ලිඛිත අනුමැතියකින් තොරව ඈ වෙසෙන නගරයෙන් පිටත සංචාරය කිරීම හෝ සවුදි අරාබියෙන් පිටවීමට නොහැකිය. ගැහැනියක කිසි විටෙකත් නීත්‍යානුකූල වැඩිහිටියකු ලෙස සලකනු නොලැබේ. කෙසේ වුවද, ගමන් බලපත්‍ර සහ අවසරපත් හුවමාරු කරගැනීමේ ගැහැනුන්ගේ රහස් ජාලයක් පවතින අතර, කාන්තාවකගේ මුහුණු ආවරණය ඉවත් කරන ලෙස කීමට රේගු නිලධාරීහු නිර්භීත නොවන බැවින් වෙනත් කෙනෙකුගේ හැඳුනුම්පතක් භාවිත කිරීම අපහසු නෙවේ.
එපමණක් නොව, මිෂාල් අල්ලාගත් පසු ඇගේ පියා වූ, කාලිඩ් රජතුමාගේ සොහොයුරු මුහම්මද් කුමාරයා, පවුලට සිදුකළ අවනම්බුව වෙනුවෙන් ඈ මරාදමන ලෙස අණ කරනු ලැබ තිබිණි. කාලිඩ් රජු සිය සොහොයුරාගේ ඉල්ලීමට විරුද්ධත්වය ප්‍රකාශ කරන ලදැයි කියැවුණු නමුත්, සිය ගෝත්‍රයේ පීතෘමූලිකයා වූ මුහම්මද් කුමාරයා එසේ කරන ලෙස අවධාරණය කර තිබිණි. කිසිදු නඩු විභාගයක් නොමැතිව මිෂාල්ට වෙඩිපහරවල් හයක් තබනු ලැබීය. ඒ ස්ථානය පසුකර ගිය බ්‍රිතාන්‍ය ජාතිකයකු සිද්ධියේ ඡායාරූප ගෙන තිබිණි. බීබීසී ආයතනය මේ සම්බන්ධව වාර්තා වැඩසටහනක් නිපදවීමට සූදානම් වීම නිසා සවුදි රජය වියරු වැටී සිටියේය.
භීතියෙන් ගල් වූ මම බොහෝ වේලාවක් ඒ ගැන කල්පනා කරමින් සිටියෙමි. සිය මහ මිනිබිරිය ආදර සම්බන්ධයක පැටලීම නිසා ඇය මරණීය දණ්ඩනයට යටත් කිරීමට සීයා කෙනෙකුට හැකිවී තිබෙනවා මෙන්ම, එය වැළැක්වීමට කිසිවකුට හැකිවී නැත. මෙය ඉස්ලාමික ප්‍රශ්නයක්ද නොවේ. එක්තරා විදියකින් එය ඊටත් වඩා ගැඹුරකට විහිදෙන්නකි. ඒ පිළිබඳව ඉස්ලාමික උසාවියක නඩු අසා නැත; ඉමාම්වරයකු විසින් දුන් විනිශ්චයක්ද නැත. මේ ජුගුප්සාජනක නාට්‍යාකාරී සිදුවීම පිටුපස තිබෙන බලවේගය වූකලී සවුදි අරාබියේ පැරණි බදූ ගෝත්‍රික සංස්කෘතියට අයත්, වර්තමානයේ පවා මුලු සමාජයම ග්‍රහණයට ගෙන සිටින තිරිසන්, අප්‍රියජනක චාරිත්‍රයන්ය.
මිෂාල්ට වූ දේ වෆාටත් නජියාටත් කිසියම් දිනෙක සිදුවි හැකියි
අහිකුණ්ඨිකයින් හැටියට බදූ ගෝත්‍රිකයෝ සැහැල්ලුවෙන් සංචාරය කරන්නෝ වූහ. ගෝත්‍රයේ නැංගුරම වූයේ පවුලයි. බදූ ගෝත්‍රයක් සතු එකම භාණ්ඩයන් වූයේ ගැහැනුන් හා ඔටුවන් පමණි. හිතක් පපුවක් නැතිකම කාන්තාරයේදී වාසිදායක ලක්ෂණයකි. එමෙන්ම ගෞරවය යනු, මට තේරුම්ගන්නට පටන් ගැනීමට පවා බැරි හේතූන් මත, දයාව හෝ යහපත් ක්‍රියාවන් තුළින් හිමි නොවන්නකි. එය ලැබුණේ ගැහැනුන්ගේ අනිවාර්ය හිමිකාරීත්වය දරණු ලබන්නා හටය. ගැහැනුන්ට අඩුම වශයෙන් ආදරය හෝ කැමැත්ත වැනි හැඟීම් පහළ කිරීමට තරම්වත් නිදහසක් හිමි නැත. අකීකරු ගැහැනිය සිය ගෝත්‍රයට අවමානය කැඳවන බැවින් ඇය දුරුකර හරිනු ලැබේ.
මිෂාල් පිළිබඳව ඇසූ මට මුලින්ම මතකයට නැඟුණේ මගේ අහිංසක කුඩා දියණියන්වය. වෆාටත් නජියාටත් මේ දෙයම කිසියම් දිනෙක සිදුවිය හැකිය. ඔවුන්ගේ බාප්පලාගෙන් කෙනෙකුට තම ඥාති දියණිය මරා දමන්නට අණකිරීමට පැහැදිළිවම හැකියාවක් තිබෙන අතර, ඊට විරුද්ධ වීමට මා වෙත කිසිදු බලයක් නොමැතිවනු ඇත්තේය. එදින මගේ කෝපය හා යළි අලුත් වූ භ්‍රාන්තිය වචනවලින් විස්තර කළ නොහැකි තරම් විය. සවුදි අරාබියේ යථාර්ථය සම්බන්ධයෙන් මට අවදිවීමට දුන් පළමු ඇමතුම වූයේ අප තායිෆ් වෙත ගිය චාරිකාව නම්, මිෂාල්ගේ මරණය සත්තකින්ම එහි දෙවැන්නය.
මම වෆා සහ නජියා දෙදෙනාගේම උපන්දින උත්සවය මැයි මාසයේදී එකට ගැනීමට තීරණය කළෙමි. මේ සරලවූත් අහිංසකවූත් තීරණයට එරෙහිව ආගමික විරෝධතා කෙතරම් නැඟෙනු ඇත්ද යන්න ගැන මට කිසිදු අවබෝධයක් නොවිනි. මා දුරකථනය ගෙන හැම නෑනා කෙනෙකුටම කතා කොට ඔවුන්ගේ දරුවන්ට පැමිණෙන ලෙස ඇරයුම් කළෙමි. මගේ නෑනාකෙනෙකු වන රෆා විශේෂයෙන්ම පුදුමයට පත්ව සිටියාය.
“බින් ලාඩන්වරු සතුටු කරන්නට මට උවමනාවක් නෑ”
“අපි මුහම්මද් තුමාගෙ උපන්දිනේවත් සමරන්නෙ නෑනෙ,” කියමින් ඈ පුදුම වූවාය. “උපන්දින උත්සව කරන්නෙ ක්‍රිස්තියානිකාරයො. නත්තල් කියන්නෙ උපන්දින උත්සවයක්.”
“මොනවද ඔයා මේ කියන්නෙ?” මම කිසිවක් තේරුම්ගත නොහැකිව උත්තර දුන්නෙමි. “මේක ප්‍රතිමා වන්දනාවක් වගේ එකක් නෙවෙයි. මට ඕන වුණේ පුංචි කෙල්ලට පෙන්නන්න මං එයාල උපන්න නිසා සතුටු වෙනව කියල. මං කියන්නේ, ඔයාල එදා ඉපදුනා, ඒක මට සතුටු දවසක් කියල. එතන ක්‍රිස්තියානි මොනවත් නැහැ.” එසේ කීමෙන් ඈට ඒත්තු ගන්වන්නට මම අපොහොසක් වීමි. රෆාටත් අනෙක් අයටත් එය ආගමික ගැටලුවක් වූ අතර, ඔවුන් ඉතා දැඩිව සිටියහ. සවුදි අරාබියේ, බින් ලාඩන්ලාට උපන්දින උත්සව ‘හරාම්’ බව මා ඉගෙනගත්තෙමි.
එය ඉතා කුඩා සිදුවීමක් විය හැකි වන නමුදු ඉන් මා බොහෝ අපහසුතාවට පත් වූයෙමි. රෆා සහ අනෙක් අය දැඩි ලෙසම සිතා සිටියේ ඔවුන් සම්පූර්ණ සත්‍යය පැත්තේ හිටගෙන සිටින්නේ යැයි කියාය. ඔවුහු බටහිර ලෝකය දුටුවේ දූෂිත, පරිහානියට පත්වූ, විනාශයේ මුවවිටට ගොස් තිබෙන සංස්කෘතියක් ලෙසිනි. මට එය වැදගත් වූයේය, ඇතැම්විට අතිශයින්ම වැදගත් වූයේය. බින් ලාඩන්වරු සතුටු කරන්නට මගේ සංස්කෘතියට අයත් හැම දෙයක්ම අතහැර දැමීමට මට උවමනාවක් නොවීය. උපන්දින සාදයක් වැනි ඉතාමත් සාමාන්‍ය දෙයක් මගේ දරුවනට අහිමි කිරීමට මම සූදානම් නොවූයෙමි. මා එය කරනවාට යෙස්ලාම් එකඟ වූයේය. ඔහු සම්ප්‍රදායට එරෙහි වූ පළමු වතාව එය නොවීය.
වෙනත් ව්‍යාපෘතියකින් එම දිනය සමරන්නට මම තීරණය කළෙමි. ඒ, කතුර හා ඇමුනුම් කටු යොදාගෙන රිජිෆෝම් වලින් සෑදූ විශාල රූප භාවිතයෙනි. ඒවා කඩෙන් ගෙනා සැරසිලිවලට වඩා බොහෝ අලංකාර වනු ඇති අතර, හැම දෙයක්ම කඩෙන් ගත නොහැකි බව මගේ කෙල්ලන්ට පෙන්වා දෙන්නටද එය උදව්වක් වනු ඇත්තේය. මම ඒ වෙනුවෙන් සති කිහිපයක් වැඩ කළෙමි. සමහර නෑනලා ඔවුන්ගේ දරුවන්ද සමඟ ආවේ ඇතැම්විට උපන් කුතුහලය නිසා විය හැකිය. ළමයි බොහෝ රෑ වනතුරු සෙල්ලම් කරමින්, කෑගසමින් ගත කළහ. එය හරියට සුරංගනා කථාවල කියැවෙන උත්සවයක සිරි ගත්තේය.
පරිවර්තනය – මොහාන් ධර්මරත්න
පසුගිය කොටස්
සවුදි ගැහැනු ඉවසා දරාගෙන සිටිය යුතු වේදනාවලට කෙළවරක් නැතිද? (වට තිර ලූ රාජ්‍යය – 19)
සවුදි ගැහැනුන් හැටියට මගේ දියණියන්ගේ ඉරණම කුමක් වේද?(වට තිර ලූ රාජ්‍යය – 18)
“ස්වාමිපුරුෂයාට බිය නැති සවුදි කාන්තාවක් මට හමුවී නැති තරම්ය” (වට තිර ලූ රාජ්‍යය – 14)
බින් ලාඩන් ගැහැනියකට නිවසින් පිටත යෑම සෑම විටකම පාහේ ‘හරාම්’ සහ ‘අබේ’ විය. (වට තිර ලූ රාජ්‍යය – 12)
බින් ලාඩන් පවුලේ ගැහැනියක ගිය එකම ප්‍රසිද්ධ ස්ථානය රත්තරන් බඩු වෙළඳපොළ පමණි
වීදි තුනක් දිගට සම්පූර්ණයෙන්ම බින් ලාඩන්වරුන් පමණක් ජීවත් වූ ගම්මානයක් විය (වට තිර ලූ රාජ්‍යය – 08)
‘සවුදීන්ට විදේශිකයකු සමඟ විවාහ වීමට රජතුමාගෙන් අවසර ගත යුතුය’ (වට තිර ලූ රාජ්‍යය – 06)
“සවුදි අරාබියද මා කුඩා කල දුටු ඉරානය බඳු වියහැකි මා මාවම රවටාගෙන තිබුණේය” (වට තිර ලූ රාජ්‍යය – 05)
“යෙස්ලාම් මගේ ජීවිතය සදහටම වෙනස් කරන්නට යන බවක් මට කිසිසේත්ම දැනුණේ නෑ” – (වට තිර ලූ රාජ්‍යය – 04)
“කාමන්, ඔයා හරිම විශේෂ කෙනෙක්. ඒක කවදාවත් අමතක කරන්න එපා.“ (වට තිර ලූ රාජ්‍යය – 03)
“සැප්තැම්බර් එකොළහ උදාවූයේ ලස්සන ඉන්දියානු ගිම්හානයේ දිනයක් ලෙසිනි” (වට තිර ලූ රාජ්ජය – 01)