කාංචනා ප්‍රියකාන්තගේ ‘මං චිත්‍රපටියක’

Share post:

“ජීවිතය යනු පුදුමාකාර දෙයකි. එය අපට රඟපෑමට සිදුවන අවස්ථාව කල් තියා දැනුම් නොදෙයි. මරණය සේ ම අනපේක්ෂිත ව අප කරා පැමිණෙයි. මරණය පැමිණි විගස මරණය පලවා හරින්නට සටන් වදින අපි, රඟපෑමට සිදුවූ විටෙක කිසිවක් නොපවසා ම රඟපෑම තෝරා ගනිමු.”
‘මං චිත්‍රපටියක’ (කාංචනා ප්‍රියකාන්ත)

මේ වනාහි කෙටිකතා කලාවේ මංපෙත් පුළුල් වපසරියක පිහිටුවන ලද අවස්ථාවකි. මේ ශානරය(කෙටිකතාව) අහුමුලු ඇද පෙන්වන්නක් නම්, මේ කෙටිකතා සංග්‍රහය අහුමුලුවලත් අහුමුලු සූක්ෂම ලෙස ව්‍යච්ඡේදනය කරන අයුරු අපූර්වත්වය කියවා විඳ ගැනීමෙන් දත හැකි ය.

මෙහි කෙටිකතා හතකි. ඔරලෝසු කණුව, පිටපත් ලිවීම, දහිර වාට්ටුව, රඟමඬලක, මං චිත්‍රපටියක,කප්පිත්තන ,විශේෂණ යනුවෙන් ඒවා නම් ලබා ඇත.
“ඔරලෝසු කණුව ” සාම්ප්‍රදායික වූත්, වංචාකාර වූත්, සඟවා ගත නොහැකි නිරුවත් භාවය නිසා මේ වන විට ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද වූත් දේශපාලනය පිළිබඳ ප්‍රබල සංකේතාත්මක කෙටිකතාවකි. ජනතාව මුලා කිරීම සඳහා මෙතෙක් ජනවරම ලබා ගත්තන් තම තහවුරු වීම උදෙසා කළ කී සෑම මුලා කිරීමක් ම කර්කශ උපහාසයෙන් යුක්තව දක්වන අයුරකි. උගතුන් ද ජනමාධ්‍ය ද තම වාසිය තකා එම මායාකාරී දේශපාලන ක්‍රමය ආරක්ෂා කරන්නට ගන්නා වෑයම ද කතුවරිය දක්වා ඇත්තේ උපරිම හාස්‍යයකිනි.

“පිටපත් ලිවීම ” ආයතනවල (රජයේ හෝ පෞද්ගලික) හමුවන සුලබ තත්ත්වයකි. නිර්මාණාත්මක යමක්, වෙනස් ම පරිකල්පනීය යමක් සිදු කරන්නට වෑයම් කරන්නා ආයතන ප්‍රධානියාගේ වපර ඇසට හසුවීම සිදු නොවිය යුත්තක් වුව ද එය එසේ සිදු වන්නේ ය. එබැවින් ප්‍රධානියා අනුමත කරන, ඔහුගේ ම පිටපතක් බවට පත්ව සිටීම රාජකාරි ජීවිතයේ සෞඛ්‍යයට යහපත් ය. අවසානයේ ප්‍රධානියා මුල දී තමා පිටපත් කළ පුද්ගලයාගේ පිටපතක් වූවා දැයි අවශේෂයන්ට හැඟෙයි. එය නස්රුදීන්ගේ උපහාස කතාවක් බඳු ය.

යථාර්ථවාදී රීතියෙන් මිදුණු” දහිර වාට්ටුව” මියගිය මිනිසෙකුගේ භාව ප්‍රකාශනකි. මේ කතාව ද ජීවත් වුවත් මිය ගිය සේ සිටින මිනිසුන් කෙරෙහි හෙළන නිර්දය උපහාසයකි. ඇතැම් රෝහල් පරිසරයක සිදුවන අකටයුතුකම් කතුවරිය විවරණය කරන්නේ හුරුපුරුදු උපහාසාත්මක ප්‍රවේශයකිනි.

අපූර්වතම ආකෘතියක් මත පිහිටා ලියැවුණු “මං චිත්‍රපටියක “මෙහි විශිෂ්ටතම කතාව සේ ගිණිය හැකි ය. ස්ත්‍රිය, ස්ත්‍රියක නිසා ම නොසලකා හරින ලද විටෙක සමස්ත සමාජය ම මැන ගත හැකි වනු ඇත. සම්මත විවාහ සංස්ථාව තුළ සම්මත පිළිගැනීම් මත සිරකාරියක වන ස්ත්‍රියක පත් වන තත්ත්වය අතිශය පීඩාකාරී ය. ස්ත්‍රියක වන නිසා ම ස්ත්‍රිය අපවාදයට නැගෙන්නේ පිරිමි අතින් පමණක් නොවේ. මෙහි ද උපහාසය තවරා ඇතත් එය දයාව සහිත උපහාසයකි.
මිථ්‍යා විශ්වාස තුළ ගලවා ගත නොහැකි සේ තවමත් එල්ලී සිටින්නේ මේ තරම් භෞතිකවාදී සමාජයක නොවේ දැයි වික්ෂිප්තයක් ඇතිවේ.”කප්පිත්තන ” එබඳු වූ වෘක්ෂ වන්දනාවන්ට එරෙහි ව කතුවරිය ගැසූ කැරැල්ලකි. ඇගේ පරිකල්පනීය මුවහත හෙළි කරන කතාවකි.වෘක්ෂයක්, කුරුල්ලන් මෙන් ම මිනිසුන් කතාව තුළ තේමාව කුළු ගන්වන ලෙස මෙහෙයවීම ප්‍රශස්ත ය.

කෙසේ වෙතත් සියලු කතාවන් තුළ ඇති මානවවාදී ගුණය ඒවා අමුණා ඇති හුය ලෙස පෙනේ. මධ්‍යම පාන්තික සාමාන්‍ය සමාජ ස්ථරය ස්පර්ශ කරන මේ කතා පොකුර මීට වඩා කතා බහට ලක්විය යුතු යැයි හැඟේ. කතුවරිය බස හසුරුවන සුහුරු බව හේතුවෙන් කතාවල සෞන්දර්ය රැකෙන්නට ඉන් ලැබෙන පිටුබලය අතිමහත් ය.

ධම්මිකා විජේසිරි (fb)

Related articles

ගල් අඟුරු ටෙන්ඩරයේදී ස්වභාවික යුක්ති මූලධර්ම උල්ලංඝනය කරලා – නලින්ද පාර්ලිමේන්තුවේ කියපු 2015 නඩු තීන්දුව මෙන්න !

අධිකරණයේ හෘදය සාක්ෂිය කම්පනයට පත්කරන මට්ටමේ ගනුදෙනුවක් ගල් අඟුරු සම්බන්ධයෙන් සිදු වී ඇති බව 2015 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය...

ගල් අඟුරු වංචාවලට පූර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් : නඩු දාන්නත් සූදානම් : අපි ලෑස්තියි සියල්ල අනාවරණය කරන්න – ඇමැති නලින්ද ජයතිස්ස

මෙතෙක් කාලයක් ගල් අගුරු ගෙන ආ සියලු නැව් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පුර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් පත් කරන බව...

ජෙයරාජ් ඝාතනයට සැක පිට අත්අඩංගුවේ සිටි පොලිස් අධිකාරි වහාම සේවයේ පිහිටුවන්න : පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියෙන් නියෝගයක්

හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිටි, පසුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදොස් කොට...

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...