ලංකාවෙ මිනිස්සු හරිම හොඳ අය – (ඔස්ට්‍රේලියානු සංචාරක කතක්)

Share post:

(නුවරඑලිය නගරය පිරිසිදු කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ ඔස්ට්‍රේලියානු සංචාරක කතක්)

සුනාමිය වෙලාවෙ අනිත් පලාත්වල අය අපිට පිහිට වුන හැටි මතකයි. අපි කවදාවත් මේ මිනිස්සුන්ව අතාරින්නෙ නෑ.
(අම්බලන්ගොඩ සිට කැළණියට මුදාගැනීමේ මෙහෙයුම් සඳහා පැමිණි තරුණ කණ්ඩායමක්)

ව්‍යසනයට මුහුණ නොදුන් සහ අවම වශයෙන් මුහුණු දුන් පලාත්වල වීදි, ආගමික මධ්‍යස්ථාන, සමාජ සේවා මධ්‍යස්ථාන පුරා ව්‍යසනයට පත් සහෝදර ජනයාහට සහන සැලසීමට විවිධාකාරයෙන් ද්‍රව්‍ය එකතු කරන සහ වෙනත් විවිධ ප්‍රයත්නයන් දරනා සහෝදර ජනතාවය. ඒ අතර සෞඛ්‍ය පහසුකම් සැලසීම උදෙසා ස්වේච්ඡාවෙන් යාමට ඉදිරිපත්වන වෛද්‍යවරු ඇතුළු සුවසේවා සාමාජිකයන්ය. ආණ්ඩුවේ සේවකයන් සහ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව තම උපරිමයෙන් වැඩ කරන්නට පටන් ගෙන දැනටත් දින කිහිපයකි. බදුල්ල දිසා ලේකම්වරයා වැඩ කරනුයේ තම නිවසට ජල සැපයුම පවා අහිමි තත්වයකය. ඔහු ඇතුළු වැඩ කරනා බොහෝ රාජ්‍ය නිලධාරීන් තම පුද්ගලික සුවපහසුව අමතක කරදමා හමාරය. බොහෝ විවේචනයන්ට බඳුන්වන සමන්ත විද්‍යාරත්නගේ නිවෙස අඩි තුනක් පමණ පස් පිරී ඇති බව මා දන්නා තොරතුරයි. තවම ඒ නිවසේ දොරවත් විවෘත කර නැත. එහෙත් ඔහුද වැඩ අතරය. ව්‍යසනයට පත් පලාත්හී ඇතැම් රජයේ සේවකයන් රාජකාරියට එනුයේ තම දේපල පවා අවදානමට ලක්ව ඇති පසුබිමකය.

මේ සමාජයක් ව්‍යසනයකට මුහුණ පෑ විට ජනතාව තුළින් මතුවන යහපත් ප්‍රවණතාවයි. අප රටෙහි අවදානම් සහගත සෑම අවස්ථාවකම අපි මේ ලක්ෂණය දුටිමු. එහෙත් අප සැමදාමත් අසමත් වූවේ ඒ අවදිවන සාමූහිකත්වය පවත්වා ගැනීමටය. සමාජයක් ව්‍යසනයට පත්වන විට ජනතාව අතර බැඳීම් තවත් ශක්තිමත් වෙයි. ඒ සඳහා ප්‍රකට උදාහරණයක් දෙවන ලෝක යුද සමයෙන් එයි.

හිට්ලර් එක්සත් රාජධානිය යුදයෙන් ඉවත් කිරීම පිණිස ඉංග්‍රීසි ජාතිකයන් බියගැන්වීම පිණිස තෝරාගත් උපක්‍රමය වූවේ ලන්ඩන් නුවරට බෝම්බ දැමීමයි. එහෙත් ඉන්පසුව සමාජ විද්‍යාඥයන් අනාවරණය කළේ බෝම්බ ප්‍රහාරයට පෙර පැවතියාටත් වඩා ශක්තිමත්ව ජනතාව නාසිවාදයට එරෙහිව පෙලගැසෙමින් ඉන්නා බවයි.

මේ අතර එකටෙක කිරීමක් සහ ජර්මානුවන් බිය වද්දා පසුබැස්වීමේ අරමුණින් ජර්මනියේ ඩ්‍රෙස්ඩන් නුවරට බෝම්බ දැමීමට චර්චිල් තීරණයක් ගති. එවිට ලන්ඩන් ප්‍රහාරයේ අත්දැකීම පෙන්වා බුද්ධිමතුන් චර්චිල්ට කීවේ මෙවන් පියවරකින් ඇතිවනුයේ අපේක්ෂා කළාට වඩා ප්‍රතිවිරෝධී බලපෑමක් බවයි. එහෙත් චර්චිල් ඊට කන් නොදී ප්‍රහාරය දියත් කළේය. ඩ්‍රෙස්ඩන් හළුව ගියේය. ප්‍රතිපලය ලන්ඩන් සමානය. ජර්මානුවෝ වහා එක්සත්ව කටයුතු කරන්නට වූවෝය. මේ ඉතිහාසයේ සටහන්ව ඇති සත්‍යයයි. ඒ ප්‍රහාරය අවධියේ යෞවනයකු ලෙස නාසින්ගේ යුද සිරකරුවකු බවට පත්ව සිටි ඇමරිකානු ලේඛක කර්ට් වොනෙගට් මේ ඩ්‍රෙස්ඩන් ප්‍රහාරයෙන් ලද උත්තේජනය පිට කළේ ලොව අග්‍රගණ්‍ය යුද විරෝධී නවකතාවක් වන මස් මඩුව අංක පහ රචනා කරමිනි.
අප මුහුණ දුන් ව්‍යසනය හමුවේ ඇති සියළු අයහපත් සාධක මැද ඇති යහපත් සාධකය මෙයයි. එනම් මිනිසුන් සාමූහික ප්‍රයත්නයන් කරා යොමුවන ආකාරයයි. ආණ්ඩුව මෙන්ම අප සැවොම උත්සාහ කළ යුත්තේ ඒ යහපත් ලක්ෂණය ආරක්ෂා කිරීම සහ තහවුරු කරගැනීමටය. මෙය කල හැක්කේ පටු බව අකාමකා දැමීමෙනි. ඒ පොදු බව ව්‍යාප්ත කිරීමට වඩාත්ම මැදිහත්විය යුත්තේ ආණ්ඩුවමය. ආණ්ඩුවට විරුද්ධ මත පල කරන්නන් හට ඒ සඳහා නිදහසදී ආණ්ඩුව කල යුත්තේ තමන් වඩා දියුණු බව පෙන්වා සිටීමය.

ආණ්ඩුවට එල්ල වන සමහර චෝදනාවන් විටෙක රටේ බුද්ධිමතුන් යයි කියනා විවේචකයන්ගේ ප්‍රඥා ජංගි ගලවා දමයි. පසුගිය දිනෙක සමන්ත විද්‍යාරත්න කොළඹින් එන ඩබල් කැබ් එකක දරුවන් සඳහා ටෙඩි බෙයාර්ලා වැනි කෙළි බඩු ගෙන එන්නැයි පැවසූ පුවතක් උපහාසයට ලක් කරනු දුටිමි. කවර ව්‍යසනයකදී වුව වැඩියෙන්ම මානසික බලපෑමට ලක් වනුයේ දරුවන් බව නොරහසකි. එහෙයින් ආහාර ඖෂධ ඇතුළු සහන අතරේ දරුවන්ගේ මානසික පීඩනය අවම කිරීම සඳහා වන ක්‍රියාමාර්ග ඉතා වැදගත්ය. ඒ තත්වය දන්නා කවරෙකු වුව එවන් දේ උපහාසයට ලක් කරන්නේ නැති. මේ ගැන සෝවියට් ලේඛක නීනා එමලියානෝවා ආදරය නමින් කෙටි කතාවක්ද රචනා කර තිබේ. එසේම මේ පියවර උපහාසයට ලක් කරනා අය බෙතනි හැමිල්ටන් ගේ කතාව කියවිය යුතුය. ඇය තම වයස අවුරුදු දහතුනේදී (2003 වසරේ)සර්ෆින් අභ්‍යාසයක නිරත වෙද්දී මෝරකුගේ ප්‍රහාරයකට ලක්ව ඇයට තම වම් අත උරහිස අසලින්ම අහිමි වෙයි. ඇය පසුව මහත් දිරියෙන් යළි ඒ ක්‍රීඩාවට අවතීර්ණ වන්නී අතද අහිමි තත්වයෙන්ය. සුනාමිය ආ අවස්ථාවේ ඇය ස්වේච්ඡා කණ්ඩායම් සමග ඉන්දුනීසියාව බලා යන්නීය. ඒ සුනාමියෙන් විපතට පත් යෞවන සහ ළමා පිරිස් වෙත සහන සැලසීමටය. ඇගේ එක් කාර්යයක් වන්නේ මුහුදට බියව ඉන්නා දරුවන්ගේ ඒ බිය පහකිරීමයි. ඇය එහිදී මුහුද දෙස බලන්නටත් බියෙන් පසුවන දරුවන් යළි මුහුද වෙත ගෙන යන ආකාරය සහ ඒ වෙනුවෙන් සිය සර්ෆින් ක්‍රීඩාව උපයෝගී කරගන්නා ආකාරය අතිශය අනුවේදනීය එකකි. ඇය එදා ඒ වෙහෙස දරද්දී ඉන්දුනීසියානුවන් ඇගේ ඒ ක්‍රියාව උපහාසයට ලක් කළේ නැති. දියුණු මිනිසුන් කටයුතු කරන්නේ එලෙසිනි. (සහන සැලසීමේ පළමු පියවරින් පසුව දරුවන්ගේ මානසික ආතතිය දුරු කිරීම ඇතුලු ඔවුන් වෙනුවෙන් කළ යුතු දෑ වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කිරීමට ළමයින් වෙනුවෙන් ලේඛණයේ යෙදෙන අපි පිරිසක් දැනටමත් සූදානම්ව සිටිමු.)
අද උදෑසන වනවිට විවිධ දිස්ත්‍රික්ක වලින් රතු තරුව යටතේ ජවිපේ සාමාජිකයන් සහ හිතවතුන් ව්‍යසනයට පත් පෙදෙස් බලා යනු ඇසීමි. කළුතරින් පිරිස් ඇදුනේ නුවරඑළිය බලාය. කෝ රතු තරුව කියා ඇසූ පිරිස් වලට ජවිපේ එසේ පිළිතුරු සපයා තිබේ. ජවිපෙ මෙවර සිය ක්‍රියාන්විතය අරඹන්නේ වෙනදා නැති වාසියක් සහිතවය. වෙනදා තමන්ට ආණ්ඩු බලය නැති තත්වයක් යටතේ ඔවුන්ට මෙවන් පොදු සේවා වෙනුවෙන් මැදිහත් වන්නට සිදුවූවේ විවිධ බාධා මධ්‍යයේය. ඔවුන්ට එකල බලය හොබවන පාර්ශව කල බාධා ගැන මෙවන් කටයුතු වලට සහභාගිව අත්දැකීම් ඇති මම පුද්ගලිකවම දනිමි. එහෙත් ජවිපේ සාමාජිකයන් ඉන්පසුබැස්සේ නැත. මෙවරද ජවිපෙ සහ පෙරටුගාමී සාමාජිකයෝ වැඩට බැස සිටිති. මෙවන් කාර්යයකදී මේ පිරිස්වලට ඇති ජවය අවතක්සේරු නොකල යුතුය. ජවිපෙ සාමාජිකයන්ගේ ජීවන පැවැත්ම නොදන්නා අයට ඒ කැපවීම විශ්වාස කළ නොහැකි වුවද එය සතතයකි. ඒ කැපවීම එනුයේ අනුන් උදෙසා කැපවීමට ගන්නා දුෂ්කර තීරණයක ප්‍රතිපලය ලෙසටය. ජවිපේ සහ පෙරටුගාමීන් ගැන කවර විවේචන කළ හැකි වුවද මේ කැපවීමේලා ඔවුන් දක්වන අවංකබව මෙන්ම අල්ලාගෙන සිටීමේ හැකියාවද උපහාසයෙන් යටපත් කළ නොහැකිය.

ආණ්ඩුව මෙහිදී මේ පිරිස් මෙන්ම එසේ ඉදිරිපත්වන සියළු පිරිස් හී සහය ලබාගත යුතුව තිබේ. විශේෂයෙන්ම මූලික පවිත්‍රකිරීම් ඇතුළු කාර්යයන්හිදී ලැබෙනා මේ සහය මත ආණ්ඩුවට සිය අරමුදල් වෙනත් බරපතල කාර්යයන්ට යොදන්නට හැකියාව ලබාදෙයි. එහෙයින් මේ මනා ලෙස සම්බන්ධිකරණය කිරීම අත්‍යවශ්‍යය. බැකෝ ඇතුළු විවිධ යන්ත්‍රද රැගෙන එන මේ ස්වේච්ඡා පිරිස හට නිසි මගපෙන්වීමට රාජ්‍ය යාන්ත්‍රණය සම්බන්ධ කිරීම හරහා ඉතා පලදායී මෙහෙවරක් කරගත හැකි වනු ඇත.

අප මෙහිදී අමතක නොකල යුතු කරුණක් තිබේ. ව්‍යසනයට පත් බොහෝ දෙනා සැලකිය යුතු මට්ටමකින් ජීවිතය පවත්වා ගත් අය බවයි. එහෙයින් අපට ඔවුන්ගේ අභිමානයද ආරක්ෂා කරමින් ඔවුන්ට යළි ජීවනෝපායන් ඇරඹීමට සහය දිය හැකි නම් ඔවුන් පෙරටත් වඩා ඉක්මනින් යළි නැගිටිනු ඇති බවයි.
ජනපති සිය කතාවේදී දත්ත නැතැයි කී කතාවකට විවේචනයට ලක් වනු දුටිමි. මෙවර ව්‍යසනයේදී ආණ්ඩුවට සම්පූර්ණ කරගත යුතුව ඇති පැති බොහෝය. ඒ සඳහා ආණ්ඩුවට ගතහැකි පියවරද තිබේ. මෙරට විශ්‍රාමික ප්‍රජාවෙහි විවිධ අංශ පිලිබඳ දැනුමැති, වැඩ කරන්නට ගායද ඇති සැලකිය යුතු පිරිසක් සිටිති. ඔවුන් ගෙන් සැලකිය යුතු පිරිසක් මේ අවස්ථාවේ කිසිදු ගෙවීමකින් තොරව සිය දායකත්වය සපයන්නට ඉදිරිපත්වනු නොඅනුමානය. එහෙත් ඒ සඳහා ආණ්ඩුව වැඩ පිලිවෙලක් සැකසිය යුතුය. පුද්ගලිකව මගේ ක්ෂේත්‍රයන්හී අවශ්‍ය සහය දීමට මම කවර මොහොතක වුව සූදානම්ව සිටිමි. එහෙත් ඒ සඳහා දැක්මක් සහිත වැඩ පිලිවෙලක් අවශ්‍ය වන්නාක් මෙන්මආණ්ඩුවද විවෘත විය යුතුය.

ආණ්ඩුවටද විවේචනයක් අවශ්‍යය. එසේම ආණ්ඩුව විවේචනය නොකරන්නැයි කීමද අසාධාරණය. එහෙත් ඒ විවේචනය පදනම් සහිත එකක් විය යුතුය. ආණ්ඩුව මෙන්ම එහි සහායකයන්ද හරවත් විවේචන පිලිගන්නා අතර අනෙක් විවේචකයන්ට ඔවුන්ගේ පාරේ යන්නට හැර බලා සිටිය යුතුය. ලංකාවේ ඇතැම් මාධ්‍යවල හැසිරීම අද පමණක් නොව සැමදාම පිලිකුල් සහගතබව ඔප්පුවී ඇත්තේ වරක් දෙවරක් නොවේ. මේ ව්‍යසනයෙන් අපට මිදෙන්නට හැක්කේ මාධ්‍ය භාවිතාව සහ හරවත් මාධ්‍ය යනු කුමක්දැයි වටහාගත් පරම්පරාවක් මෙවන් මජර මාධ්‍ය ප්‍රසිද්ධියේ පිලිකෙව් කරන්නට ගත් විට පමණි. ඒ සඳහා අපේ අධ්‍යාපන ක්‍රමයේ හරවත් වෙනසක් ඇතිවිය යුතුය.

අප දැන් අවධානය යොමු කරනුයේ පස් කඳු නාය යාම ගැනය. එහෙත් අපට නොපෙනෙන නායන් රාශියකි. අධ්‍යාපනයේ නාය යාම ඉන් එකකි. අපේ බොහෝ ව්‍යසනයන්ට එය බලපා ඇති බව අප සෙමින් වුවත් වටා ගත යුතුය. කලාවැවේ ජල පහර දැක දැක බස් රිය දැමූ රියදුරා, හෙලිකොප්ටරයට බාන්නට ඉඩක් නැති වන සේ වීඩියෝ කරමින් පසුවූ පුරවැසියා, නාය බලන්නට වාහන ගෙන දුවන්නා මෙන්ම ගංවතුර අනතුරේ බරපතලකම කියද්දී පවා නිවෙස් හැර නොගොස් සිය ජීවිත අවදානමට ලක් කරන්නා පවා මේ ව්‍යසනයේ ගොදුරු බව අප අමතක නොකල යුතුය. ඔස්ට්‍රේලියාව වැනි රටක නම් මෙවන් අවස්ථාවකදී ඉවත් නොවනා අය බලයෙන් ඉවත් කිරීමට පියවර ගනු ලබයි. එහෙත් අප එසේ කළහොත් මානව හිමිකම් කඩවූවායයි කොටසක් බෙරිහන් දෙති. මෙය අපේ පොදු ලක්ෂණයකි.

මම මගේ ජීවිතයේ විවිධ අන්තරායන්ට මුහුණ දී ඇත්තෙමි. පසුගිය පාලන සමයන්හී ජීවිත තර්ජනයන්ට පවා මුහුණ දුන්නෙමි. අද බෝසත් චරිත රඟනා පසුගිය පාලකයන්ගේ සමයන්හී ජීවිත අනතුරු වලින් බේරෙන්නට බොහෝ විට නොදන්නා පාර්ශව පවා උපකාර කළ අවස්ථා බොහෝය. කවර අනතුරු වලට මුහුණ දුන්නද ඒ කිසිවකට සමාජය කෙරේ ඇති ආදරය මගෙන් උදුරා ගන්නට නොහැකි විණි.

මිත්‍රවරුනි, අපි දැඩි විවේචකයන් වෙමු. ඒ අතරම මේ පොදු ව්‍යසනයෙන් රටට නැගිටින්නට හැකි උපරිමයෙන් සහය වෙමු. ආණ්ඩුව පෙරලන්නට අවශ්‍ය නම් ආණ්ඩුවට වඩා තමන් හොඳ යයි ක්‍රියාවෙන් ඔප්පු කරමු.
අප සියල්ලෝම වෙනස් විය යුතුව තිබේ.

චූලානන්ද සමරනායක

Related articles

ඇනා බර්න්ස් කියන්නේ ලේඛිකාවක්ම නෙමෙයි ඇය අප්‍රතිහත ධෛර්යයේ සංකේතයක්

දරුණු කොන්දේ අමාරුව තියාගෙන හිසට වහලයක් නොමැතිව, කුසගින්නට හරියට ආහාරයක් නැතුව ඇය ලිව්වා. ඒ පොතට බුකර්, ඩබ්ලින් සම්මාන...

මිනිස්සු අහද්දි ආදරය මොනවගේද කියලා උත්තරය මේකයි

තමන්ගේ කොණ්ඩා වියලන යන්ත්‍රය විකුණලා ඔහුගෙ අත්පිටපත තැපැල් කරන්න මුදල් දුන්න ඇය පස්සෙ ඒ පොත නොබෙල් සම්මාන දිනන...

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...