ලැජ්ජාව ළදරුවන්ට පමණක් නොවේ

Share post:

බංග්ලාදේශය සමග වූ එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා.
මේ ඉතාම හද දවන, කම්පා කරවන පරාජයක්.
ඒ තවත් එක් ක්‍රිකට් තරගාවලියක් පරාජයට පත් වූ නිසා නොවෙයි.
බංග්ලාදේශය ඉදිරියේ ලැබූ පරාජයක් නිසාත්, ඔවුන් ජයග්‍රහණය සැමරූ ලාමක ලීලාව නිසාත් ශ්‍රී ලංකා රසිකයන්ට පරාජයේ වේදනාව දැනෙනවා වැඩියි.
එනමුත් මෙම පරාජයේ සහ වේදනාවේ සම්පූර්ණ වගකීම ශ්‍රී ලංකා කණ්ඩායම සහ එහි කලමණාකාරීත්වය විසින් භාරගත යුතුයි.
මෑත කාලය පුරාවටම ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ක්‍රිකට් පිටියේ මුන ගැසෙන සෑම අවස්තාවකම කුමක් හෝ සිදුවීමක් නිසා තරග උණුසුම් වුණා.
නාගීන් නර්ථනයේ සිට ‘ටයිම් අවුට්’ සැමරීම දක්වාම දෙරට අතර දැඩි සතුරුකමක් වර්ධනය වෙමින් තිබෙනවා.
කලක් ඕස්ට්‍රේලියාවත්, ඉන්පසුව ඉන්දියාවත් ප්‍රබලතම සතුරා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ‘සතුරා’ බවට බංග්ලාදේශය පත් වෙලා.
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනූ රටක්. ශූරයන්ගේ කුසලානය දිනූ රටක්. T20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ රටක්.
කලක් සෑම ලෝක කුසලානයකම අවසන් මහා තරගය නිතරගයෙන් මෙන් වෙන් වූ රටක්.
ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්ත යෝදයෙක් ලෙස වැජඹුණු රටක්.
2000 වසරේ ටෙස්ට් වරම් දිනූ බංග්ලාදේශය, ක්‍රිකට් ක්‍රීඩාවේ කිසිඳු තීරණාත්මක ජයක් ලබා නොමැති, අතීතයක් හෝ ඉතිහාසයක් නොමැති රටක්.
ඔවුන් සතුව ඇත්තේ ද්විත්ව තරගාවලි කිහිපයක ලබා ගත් ජයග්‍රහණ පමණයි.
එවැනි කණ්ඩායමක් සමග ‘ඇරියස්’ නඩත්තු කිරීමෙන් හානි වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් අතීත ශ්‍රී විභූතියටමයි.
අතීත ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය සමග වන තරග බරපතලව සැලකුවේ නැහැ.
අතීත ක්‍රීඩකයන් බංග්ලාදේශයත්, එහි කණ්ඩායමත් දෙස බැලුවේ අනුකම්පාවෙන්.
එවැනි තත්ත්වයක දී බංග්ලාදේශය ශ්‍රී ලංකාවේ රසිකයන් වූවා මිසෙක ශ්‍රී ලංකාව සමග ‘ඇරියස්’ නඩත්තු කිරීමට උත්සාහ කළේ නැහැ.
වර්තමාන බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාව තරමක් දියුණු වෙලා.
විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයෙකුගේ පුහුණුකාරීත්වය යටතේ තරග දිනවිය හැකි යොවුන් තරු කිහිපයක්ම බංග්ලාදේශයට හමුවෙලා.
අනෙක් අතට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටිලා.
බංග්ලාදේශය සමග තරගයක් ස්ථිරව ජයගත හැකි කණ්ඩායමක් අපට නැහැ.
ස්ථිර, වගකීම් සහගත ක්‍රීඩකයන් කිහිපදෙනෙක් හැරුනු විට ශ්‍රී ලංකා කණ්ඩායම පිරී ඇත්තේ වගකීම් විරහිත, ස්ථාවර නොමැති ‘පාර්ට් ටයිම්’ ක්‍රීඩකයන්ගෙන්.
එවැනි පසුබිමක බංග්ලාදේශය සමග ‘ඇරියස්’ නඩත්තු කරමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් සන්නාමය ලෝකය ඉදිරියේ ලැජ්ජාවට පත් නොකර සිටීමට තරම්වත් කියවීමක් හෝ දැනීමක් කණ්ඩායමට තිබිය යුතුයි.
තරග ජය ගත යුතුම නැහැ.
තරග ජය ගත නොහැකි බව වැටහෙනවා නම් ලෝකයක් ඉදිරියේ රට ලැජ්ජාවට පත් නොකිරීමට තරම් අවම බුද්ධියක් හෝ තිබිය යුතුයි.
එක් තරගයක් ජයගත් පමණින් පැරණි ඇරියස් අලුත් කරමින්, නඩත්තු නොකිරීමට තරම්වත් දුර දැක්මක් තිබිය යුතුයි.
කණ්ඩායමේ සිටින්නේ එවැනි කියවීමක් හෝ නොමැති ළඳරුවන් පිරිසක් නම්, ඔවුන්ට වැටහෙන භාෂාවකින් ඒ සරල පණිවිඩය කියා දීමට කලමණාකාරීත්වය බුද්ධිමත් විය යුතුයි.
ඔවුන් සිටින්නේ ඔවුන්ට ලබා දෙන වැටුප් ලබා ගැනීමටත්, නොමිලයේ විදේශ සංචාර වල මිහිර විඳීමටත් පමණක් නොවෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සන්නාමය ආරක්ෂා කිරීමේ වගකීමත් ඔවුන්ට පැවරී තිබෙනවා.
බංග්ලාදේශය සමග තරග පරාජය වීම ගැන වත්මන් කණ්ඩායම කෙරෙහි දරුණු විවේචනයක් මට නැහැ.
එය ඔවුන්ගේ හැකියාව සහ පරිමාව යැයි සිතා තරග පරාජයට සමාව දිය හැකියි.
නමුත් එක් තරගයක් ජයගත් සැණින් විවිධ විගඩම් කරමින්, අනවශ්‍ය පිරිස් සමග අනවශ්‍ය ඇරියස් ගොඩනැගීම පිළිබඳව මට ඇත්තේ දරුණු විවේචනයක්.
ඔවුන්ගේ අපරිනත, බොලඳ හැසිරීම් නිසා ලෝකය ඉදිරියේ අපහසුතාවයට පත්වන්නේ කණ්ඩායමේ සාමාජිකයන් පමණක් නොවෙයි.
සමස්ත ශ්‍රී ලංකාවමයි.
එම නිසා එවැනි අපරිනත හැසිරීම් සඳහා කිසිඳු සමාවක් දිය නොහැකියි.
බංග්ලාදේශය තරගාවලිය ජය ගැනීමෙන් අනතුරුව සිදු කළ දරුණු උපහාස වලට වලංගුබාවයක් එක් වූයේ ශ්‍රී ලංකාව ජයගත් තරග වල දී හැසිරුණු ආකාරය නිසයි.
ශ්‍රී ලංකාව එය තවත් එක් ජයක් ලෙස ගත්තා නම්, බංග්ලාදේශයේ ළඳරු හැසිරීම් ලෝකයට විහිලුවක් වනවා මිසෙක, එය ශ්‍රී ලංකාවට උපහාසයක් වන්නේ නැහැ.
තරග පරදින්න. කමක් නැහැ.
තරග ජයග්‍රහණය කළ නොහැකිනම්, ඉඳහිට ලබනා ජයග්‍රහණයක දී ළඳරුවන් මෙන් නොහැසිරෙන්න.
ශ්‍රී ලංකා කණ්ඩායමට සහ එහි කලමණාකාරීත්වයට රසිකයෙකු ලෙස ලබා දීමට ඇති එකම පණිවිඩය එයයි.

ඉරේෂාන් සිරිවර්ධන(fb)

Related articles

ITC Ratnadipa – සුඛෝපභෝගීත්වයේ අති විශිෂ්ට වූ අයිකනය කොළඹ දී උත්කෘෂ්ඨ අයුරින් විවෘත වූ වගයි !

ITC Limited හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන WelcomHotels Lanka (Private) Limited විසින් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමේ...

යුක්තියට ජනවරමක් අවශ්‍ය නොවේ !

පුද්ගලයන් 300 දෙනකුගේ පමණ ජීවිත බිලිගත් සහ තවත් විශාල පිරිසක් තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත්කළ පාස්කු ඉරිදා බෝම්බ...

“ලෝකයම ෆේක් නිවුස් වලින් පුරවන ඇලීසා කාර්සන් ගේ අඟහරු ගමන”

ඇලීසා කාර්සන් උපත ලබන්නේ 2001 මාර්තු 10 වැනි දින ඇමරිකාවේ ලුයිසියානා ප්‍රාන්තයේ හැමන්ඩ් නගරයේදී.Baton Rouge International School ජාත්‍යන්තර...

“අපි පොහොසත් ක්‍රීඩකයන්. අප දුප්පත් රටවලට යන්නේ නැහැ”- ශෙවාග්

ශෙවාග් සහ ඇරියස් ක්‍රිකට් ගහන කාලේ විරේන්දර් ශෙවාග් භයානක පිතිකරුවෙක්.සනත් ජයසූරිය හඳුන්වා දුන් ප්‍රවේගකාරී ආරම්භය අනුගමනය කළ පිතිකරුවෙක්.එකල ඔහු...