Home Blog Page 221

නීතිපති නිර්දේශ ඇවිත් : ලෝක කුසලාන සංචාරයේ මුදල් අවභාවිතය ගැන වෝහාරික විගණනයක් !

ලෝක කුසලාන විස්සයි – 20 ක්‍රිකට් තරගාවලිය සමයේ ක්‍රිකට් බලධාරීන් 16 දෙනකු එරට සංචාරය කිරීමට මුදල් වැය කළ ආකාරය පිළිබඳ වෝහාරික විගණනයක් සිදුකිරීමට රජයේ විගණකාධිපතිවරයාට යොමු කර තිබේ.

ඊයේ (30) ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති ජාතික ක්‍රීඩා සභාවේ සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ පළමු රැස්වීමෙන් පසු විෂය බාර ඇමති රොෂාන් රණසිංහ මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් පැනනැගුණු සිදුවීම් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සමයේ සිදුකරන ලද මූල්‍ය අවභාවිතාව සම්බන්ධයෙන් මතු ඇති චෝදනා පිළිබඳ සොයා බැලීම සඳහා පත්කරන ලද පංච පුද්ගල විමර්ශන කමිටුවේ වාර්තාව නීතිපතිවරයා විසින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අදාළ නිර්දේශ අමාත්‍යවරයාට දැනුම්දී ඇත.

ධනුෂ්කට ක්‍රිකට් තහනම්..!

එමෙන්ම ඔස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීමේ චෝදනාවට ලක්ව සිටින ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක එරෙහිව පැවැත්වෙන නඩු විභාගයේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් වන තුරු ඔහුට දෙස් විදෙස් සියලු ආකාරයේ තරග තහනමක් පැනවීමට ද නීතිපතිවරයා නිර්දේශ කර තිබේ.

ඒ සම්බන්ධව ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට නියමිතව ඇත.

ක්‍රිකට් තේරීම් කමිටුවට අයැදුම්පත් කැඳවන්න පුවත්පත් දැන්වීමක්

මේ අතර පුවත්පත් දැන්වීමක් පළකර ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා සුදුස්සන් තෝරා ගැනීමට තීරණය කර තිබේ.

ඒ සදහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ අමල් එදිරිසූරියගේ මාර්ගයෙන් පුවත්පත් දැන්වීමක් පළ කර අවශ්‍ය පුද්ගලයන් තේරීම් කමිටුවට ඇතුළත් කිරීමට ද තීරණය වී ඇත.

පසුගියදා ක්‍රිකට් තේරීම් කමිටුව පත් කිරිමට ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ පුද්ගලයන් 10 දෙනකුගෙන් සමන්විත නම් ලැයිස්තුව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව විසින් ප්‍රතික්ෂේප ලැබිණි.

සබැඳි පුවත්

චීනයේ ජනගහනය පහතට : තත්ත්වය පාලනයට අලුත් ප්‍රතිපත්ති!

0

බිලියන 1.4ක ජනගහනයක් වාසය කරන චීනයේ ජන අනුපාතය වසර 60කට පසුව පහත වැටී තිබේ.

ඒ අනුව චීනයේ උපත් අනුපාතය පුද්ගලයන් 1,000කට උපත් 6.7ක් දක්වා අඩුවී ඇති බව සංඛ්‍යාලේඛන වාර්තා කරයි.

කාලයක් තිස්සේ චීන රජය විසින් ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කරන ජනගහන පාලන නීති රීති හේතුවෙන් පසුගිය කාලය පුරාවටම චීනයේ උපත් ප්‍රමාණයේ පැහැදිලි අඩුවක් දක්නට ලැබිණි.

විශේෂයෙන් ‘එක් පවුලකට එක් දරුවෙක්’ වැනි ප්‍රතිපත්ති මත පැනවූ නීති මෙලෙස ජනගහනය පහත වැටීමට හේතුවක්ව ඇති බව නොරහසකි.

එසේම කොරෝනා වසංගතය නිසා සිදුවූ මරණ ප්‍රමාණයද මෙසේ ජනගහනය අඩුවීමට බලපා ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් වසර 60කට පසුව මෙලෙස ජනගහනය අඩුවීම චීන රජය සසල කිරීමට හේතුවක්ව තිබේ.

එසේම මේ වසරේදී බොහෝවිට ඉන්දියාවේ ජනගහනය චීනය ඉක්මවා යාමට ඉඩ ඇති බවද සැලවේ.

මේ පිළිබඳව අවධානය යොමුකල චීන බලධාරීන් මේ වනවිට ජනගහනය පහත වැටීම පාලනයට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට කටයුතු කරමින් සිටී.

එහි ප්‍රතිඵලයක් ලෙස චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් දරුවන් ලැබීමට කැමැති අවිවාහක පුද්ගලයින්ට ඊට අවස්ථාව ලබා දීමට තීරණය කර තිබේ.

එමෙන්ම විවාහක යුගල සඳහා රජයෙන් ලබාදෙන සහන , ප්‍රතිලාභ එවැනි අවිවාහක යුගල සඳහාද භුක්ති විඳීමට ඉඩ ලැබෙනු ඇත.
චීනය තුළ විවාහක කාන්තාවන්ට පමණක් දරු ප්‍රසූතියට නීත්‍යානුකූලව අවසරය ලැබුණද මෑත වසරවලදී විවාහ සහ උපත් අනුපාතිකය වාර්තාගත ලෙස පහත වැටීමත් සමඟ එය ඉහළ නැංවීමේ නවතම ප්‍රයත්නයක් ලෙස මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව පෙබරවාරි 15 සිට, විවාහක ජෝඩු සහ දරුවන් අවශ්‍ය ඕනෑම පුද්ගලයෙකුට චීනයේ තුන්වැනි වැඩිම ජනගහනය සහිත පළාත වන සිචුවාන් හිදී ලියාපදිංචි වීමට අවසර දෙනු ලැබේ.

මේ වනතෙක් ලියාපදිංචි වීමට අවසර දී තිබුණේ දරුවන් දෙදෙනෙකු දක්වා උප්පත්තිය ලබා දීමට පමණි.

එහෙත් නවතම තත්වය සැලකිල්ලට ගෙන ලියාපදිංචි විය හැකි දරුවන් සංඛ්‍යාවේ සීමාවක් නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

සබැඳි පුවත්

ජපානය වයසට යයි – උපත් වැඩිකරන්නට මිලියන ගණන් තෑගි!

උ. පෙළ සිසුන් වෙනුවෙන් HRCSL ශ්‍රේෂ්ඨාධිකරණයට

0

උසස් පෙළ විභාග කාල සීමාව තුළ අඛණ්ඩ විදුලිය සැපයීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඊයේ (ජන. 30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කළේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට එරෙහිව අදාල නඩුව ගොනු කර ඇත.

2023 ජනවාරි 23 සිට පෙබරවාරි 17 දක්වා පැවැත්වෙන උසස් පෙළ විභාග කාල සීමාව තුළ අඛණ්ඩ විදුලිය ලබා දීමට ඉහත පාර්ශවයන් සමග එකඟතාවක් ඇති කරගෙන තිබියදී ත්, ලංකා විදුලිබල මණ්ඩලය හිතාමතා සහ ද්වේෂසහගතව එය නොසලකාහැර දිගින් දිගට ම විදුලිය විසන්ධි කළ බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදන යටතේ අපහාස කිරීමේ වරදට ලංකා විදුලි බල මණ්ඩලය සභාපතිවරයා වැරදිකරු වන බව ඔවුන් කියා සිටියේ ය.

තවද මෙම විභාගය පැවැත්වෙන් කාල සීමාව තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට ලංකා විදුලිබල මණ්ඩලය අපොහොසත් වීම දරුවෙකුගේ අධ්‍යාපන අයිතිය බරපතළ ලෙස උල්ලංඝණය කිරීමක් බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ ය.

එමගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අපහාස සහතිකයක් අස්සන් කර එය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අපහාස කිරීමේ නඩුවක් ද ගොනු කර ඇත.

වැනේසා ඉතිහාස ගතවෙයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ පළමු නායිකාව වන වැනේසා ද සිල්වා ලෝක කුසලාන අවසන් තරගයක තරග තීරක ලෙස කටයුතු කළ පළමු ශ්‍රී ලාංකික කාන්තාව ලෙස ඉතිහාසයට එක් වූවාය.

ඒ වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (29) රාත්‍රී පැවති ඉන්දීය- එංගලන්ත අවසන් මහා තරගයේ තරග තීරකවරිය ලෙස කටයුතු කරමිනි.

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් පලමු පෙළ ක්‍රීඩා කළ වැනේසා ජාත්‍යන්තර තරග 14 සහභාගි වී ඇත.

ඇය එක්දින තරග 13 කදීී සහ ටෙස්ට් තරග 1, කදී ශ්‍රී ලංකාව නියෝජනය කළාය.

තමන් සහභාගි වුණ එකම ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 78ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 63ක් රැස්කරමින් මංගල ටෙස්ට් තරගයේදීම ද්විත්ව අර්ධ ශතක රැස්කළ පළමු සහ එකම ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාව වන්නේද වැනේසාය.

එමෙන්ම වැනේසා පසුගිය වසරේ පැවති කාන්තා ආසියානු කුසලාන තරගාවලියේදී ද තරග තීරකවරියක ලෙස කටයුතු කළාය.

මේ අතර හිටපු ක්‍රීඩිකාවක වන දේදුණු ද සිල්වා මෙම අවසන් මහා තරගයේ රූපවාහිනී විනිසුරුවරිය ලෙස කටයුතු කළාය.

අයිසීසී ලෝක කුසලාන අවසන් මහා තරගයක දී ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු තරග නිලධාරී මණ්ඩලයට එක් වූයේ ද පළමු වතාවද මෙය වෙයි.

ටයර් නිකොල්ස් වෙනුවෙන් ඇමෙරිකන් ජනතාව අද වීදි බසියි

0

ඇමෙරිකාවේ මෙම්පිස් පොලිසිය විසින් අමානුෂික ලෙස පහරදී ඝාතනය කළ ටයර් නිකොල්ස් (Tyre Nichols) වෙනුවෙන් ඇමෙරිකන් ජනතාව අද දවසේත් වීදි බැස තිබෙනවා.

විසි නව හැවිදිරි නිකොල්ස් මාංචු සහිතව සිටියදී බිම දමා පහරදෙන අමානුෂික ආකාරය ඔහුගේ ශරීර කැමරාවේ සටහන් වී තිබෙනවා. පහරදීමෙන් දින තුනකට පසු ඔහු සදහටම දෑස් පියාගන්නවා .

මීට එරෙහිව නිව්යෝක් නගරයේ මෙන්ම බොස්ටන්, ඇට්ලන්ටා, ලොස් ඇන්ජලීස් සහ බල්ටිමෝ යන නගරවල මේ වනවිට විරෝධතා පැවැත්වෙනවා. මීට සම්බන්ද සියලු පොලිස් නිලධාරීන් මිනිස් ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් වන පොලිස් ප්‍රතිඥාව චේතාන්විතව උල්ලංඝනය කර ඇති බවට විරෝධතා කරුවන් කියාසිටිනවා.

ආරක්ෂක අංශ ඉදිරියේ තරුණ ජනයාගේ ජීවිත අතිශයින් අවදානම් බව මේ අනුව පෙනී යන බව විචාරක මතය වන අතර ඇමෙරිකාවේ මිල අධික බල්ලෙක් තත්වය පවා මීට උසස් බව රැස්වූ තරුණ විරෝධතාකරුවන් සඳහන් කරනවා.

”නිකම් හිතන්න මිල අධික බල්ලෙක් මෙහෙම පාරේ පයින් ගහල මරල දැම්ම කියල. එහෙනම් ඒක සත්ව අයිතිවාසිකම් යටතේ ඒක ලොකු ප්‍රවෘත්තියක් වෙනවා”.

අමෙරිකාව කියන රටේ අද වෙද්දී මිනිස් ජීවිතයක් කියන්නේ මිළ අධික බල්ලෙක්ටත් වඩා නොවටිනා දෙයක්…
තරුණ ජිවිතවල වටිනාකම නම් කොහෙත් ඔහොම තමයි!

මහේෂ් හපුගොඩ

CNN

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල : වසරේ හොඳම චිත්‍රපටයට නිර්දේශිත චිත්‍රපට 10ක්

0

95 වැනි ඔස්කාර් සම්මාන නොහොත් ඇකඩමි සම්මාන උළෙලේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය ( Best Picture Award ) සදහා පසුගිය වසරේ ලොව ආදායම් වාර්තා තැබූ චිත්‍රපට දහයක් නිර්දේශ වී තිබේ. එනම් …..

Best Picture Award

1.All Quiet on the Western Front

2.Avatar: The Way of Water

3.The Banshees of Inisherin

4.Elvis

5.Everything Everywhere All at Once

6.The Fabelmans

7.Tar

8.Top Gun: Maverick

9.Triangle of Sadness

10.Women Talking

සමාලෝචනය ——-

මෙවර හොදම චිත්‍රපටය සදහා තරග කරන චිත්‍රපටය සියල්ලම පසුගිය වර්ෂයේ දී ඉතා ඉහළ බොකස් ඔෆීස් ( Box-office ) වාර්තා තැබූ චිත්‍රපට වීම විශේෂත්වයකි. එහිලා Avatar: The way of Water හා Top Gun: Maverick යන චිත්‍රපටය දෙක ඉහළින්ම තිබේ. මෙවර හොදම චිත්‍රපටය සදහා වූ සම්මානය සදහා මෙහි නිර්දේශිත චිත්‍රපට හතරක් පිළිබඳව මගේ විශේෂ අවධානය යොමු වී තිබේ. එනම් ඒ ජර්මන් හා ඇමෙරිකානු නිෂ්පාදනයක් වන All Quiet on the Western Front / The Fabelmans / Tar / Triangle of Sadness යන චිත්‍රපට යි. මෙහිලා Triangle of Sadness චිත්‍රපට විශිෂ්ට වන්නේ එය පසුගිය කාන් චිත්‍රපට උළෙලේ ( Cannes Film Festival ) දී හොදම චිත්‍රපටයට පිදෙන Palme d’or සම්මානය දිනාගත් චිත්‍රපටය බැවිනි. The Fabelmans චිත්‍රපටයට ගෝල්ඩන් ග්ලෝබ සම්මාන උළෙලේ ( Golden Globe Awards ~ 2023 ) වසරේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්තේ ය. Tar චිත්‍රපටය විචාරක සම්මාන උළෙලේ ( Critics Choice Award ) දී හොදම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේ ය. All Quiet on the Western Front චිත්‍රපටය ඉතා ඉහළ පිරිවැයක් දරා ඉහළ තත්වයකින් නිර්මාණය කර තිබේ.

මෙම චිත්‍රපට දහයම නරඹා ඇති නමුදු මට අනාවැකි කීමට නොහැකි ය. එනමුත් විශ්වාසයක් තබාගත හැකියි.
කරුණු කාරණා එසේ වුවද නිසි පිළිතුර මාර්තු මස පැවැත්වෙන ඔස්කාර් සම්මාන උළෙලේ දී හිමිවනු ඇත.

2023 මාර්තු 12 වැනි දින ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර Dolby Theater’s හිදී 95 වැනි ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වෙනු ඇත. එතෙක් අපි දෑස් දල්වාගෙඅන බලා සිටිමු.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් හිරගේ ඇතුළේ මරාදැමෙන ජීවිත : ‘විසාකේසගේ මුදලිගේ – සෙල්ලපුල්ලේ කාර්යයේ වටිනාකම කොපමණද ?’

0

ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් විසින් ඔහුගේ නවතම චිත්‍රපටය වන ‘මනල්’ (Munnel) පළමු ජාත්‍යන්තර ප්‍රදර්ශනය වසන්ත මුදලිගේට සහ සෙල්ලපුල්ලේ මහේන්ද්‍රන්ට පිළිගන්වනු ලැබිණි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නම් මර්දන නීතියේ ගොදුරු 02ක් සංකේතවත් කරමින් සමස්ත වින්දිතයන්ට කළ මෙම ගෞරවය මෙරට යුක්තිය පිළිබඳ තීරණාත්මක සන්ධිස්ථානයක් ගොඩනගනු ඇත. මීට පෙර අසංක සායක්කාර ප්‍රමුඛ නාට්‍ය කණ්ඩායම විසින් ඔහුගේ ‘අයියා මලෝ’ වේදිකා නාට්‍යය අවසානයේදී ද වසන්ත මුදලිගේ නිදහස් කිරීම සඳහා බලකෙරෙන පෝස්ටර් ප්‍රදර්ශනයක් වේදිකාව මතදී සිදුකරනු ලැබිණි.

නවක සිනමා අධ්‍යක්ෂවරුන් සඳහා විශේෂීකරණය වූ අන්තර්ජාතික සිනමා උළෙල (Specialized International Film Festivals for New Filmmakers) කාණ්ඩය යටතේ වන ලෝකයේ ප්‍රධාන පෙළේ සම්මාන උළෙලක් වන්නේ නෙදර්ලන්තයේ රොටර්ඩෑම් අන්තර්ජාතික සිනමා උළෙලයි. (International Film Festival Rotterdam) එය පසුගිය ජනවාරි 25දා ආරම්භ කෙරිණි. එහි ප්‍රධාන ම තරගකාරී අංශයක් වන ටයිගර් තරගය (Tiger Competition) නියෝජනය කිරීමේ අවස්ථාව ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ ‘මනල්’ චිත්‍රපටයට හිමි වී තිබේ.

ඔහු වින්දිතයන්ට අදාළ ගෞරවය ලබාදෙනු ලැබුවේ එහිදී වීම සුවිශේෂී වේ.

වසන්ත මුදලිගේ !

දින 160කට අධික කාලයක් තිස්සේ අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටින අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව විමර්ශන අංශ මෙතෙක් නිශ්චිත කරුණක් අධිකරණයට ඉදිරිපත් කර නැත. විමර්ශන සඳහා කාලය අවශ්‍ය බව පවසමින්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ ප්‍රතිපාදන භාවිත කරමින් ඔහු තවදුරටත් රඳවා තබාගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

සකස් කළ බවට සැක කළ හැකි සාක්ෂි 02ක් ඒ සඳහා යොදාගැනෙන අතර, ඔහුට එරෙහි විමර්ශන පිළිබඳව නියෝග 02ක් ලබාදුන් මහේස්ත්‍රාත්වරියගෙන් නඩුව ඉවත් කරගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළ බලපෑම් සහගත ආකාරය නීති විශාරදයන්ගේ දැඩි විවේචනයට හේතු විය.

(වසන්ත මුදලිගේ සිදුවීම පිළිබඳ thetime.lk සම්පූර්ණ වාර්තා සඳහා සබැඳි පුවත් පහතින් එක්කොට ඇත.)

සෙල්ලපුල්ලෙයි මහේන්ද්‍රන් !

සෙල්ලපුල්ලෙයි මහේන්ද්‍රන් මඩකලපුව, වන්දාරමුල්ලේ, බේකාස් පාරේ පදිංචිකරුවෙකි. රැකියාව ලෙස රා මැදීම කර ඇත. විවාහකව දරුවෙක්ද සිටින බව කියතත්, කිසිදු පවුල් සම්බන්ධකමක් ඔහු සතුව තිබී නැත. ඔහුව බැලීමට හෝ බන්ධනාගාරයට කිසිවෙකු පැමිණ ද නැත. කොළඹ, මැගසින් බන්ධගාරයේ දී අවුරුදු 45දී ඔහු මියගියේය.
1993 සැප්තැම්බර් 27 දින වන්දාරමුල්ල ප්‍රදේශය යුද හමුදාව විසින් වටලා කළ සෝදිසි කිරීමකදී මහේන්ද්‍රන් අත්අඩංගුවට පත්ව ඇත. සැකපිට අත්අඩංගුවට ගත් ඔහු ව කොම්මාන්තුරයි හමුදා කඳවුරට ද, එතැනින් මඩකලපු බන්ධනාගාරයට ද ගෙනගොස් රඳවා තබාගෙන ඇත. එවකට මඩකලපු බන්ධනාගාරය ද තිබී ඇත්තේ හමුදා බාරයේ ය. ඔහු හමුදා බාරයේ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ, ඔහුට පහර දී වධහිංසාවට ලක්කර ඔහුගෙන් ප්‍රකාශවලට අත්සන් ලබාගෙන තිබේ. ඔහුගෙන් එදා අත්සන් ලබාගෙන තිබුණේ ඔහු කොහෙත්ම නොදත් සිංහල භාෂාවෙන් ලියැවුණු ප්‍රකාශ ලේඛනවලට ය.

එම පාපොච්ඡාරණ මත පදනම් වෙමින් කොළඹ මහාධිකරණයේ HC/6894/94 දරන නඩු අංකය යටතේ, ආණ්ඩුව නීත්‍යනුකූල නොවන අන්දමකින් බිඳහෙළීමට තැත්කිරීම සහ හමුදා කඳවුරුවලටත්, පොලිසිවලටත් පහර දුන් එල්ටීටීඊ මෙහෙයුම්වලට දායක වීම යන චෝදනා මත නඩු පැවරීමෙන් පසු, 1995 ජූලි 24 දින ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් සහ තවත් වසර 70ක සිරදඬුවමක් නියම වී ඇත.

සෙල්ලපුල්ලේ මහේන්ද්‍රන් එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ වී ඇත්තේ වයස අවුරුදු 16දී පමණ ය. ඔහු අධිකරණයට කර ඇති ප්‍රකාශ අනුව එවකට එල්ටීටීඊ නායකයකු මෙන්ම පසුව හිටපු ඇමති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු උප සභාපති වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් ඔහු ව පුහුණු කරවා, ක්‍රියාමාර්ගවලට යොදවා ඇත. පුහුණුව ලැබීමෙන් පසු ව ඔහු ව එල්ටීටීඊ කඳවුරු රැකවල් කිරීම, කඳවුරුවලට ආහාර-පාන සැපයීම වැනි රාජකාරිවල යොදවා ඇත.

ඔහු එවකට වයස 16ත් 18ත් අතර ළමයෙකි. හමුදා කඳවුරකට පහරදීම යනු දැවැන්ත ක්‍රියාදාමයකි. ඔහුව කුඩා කුඩා රාජකාරිවලට යොදවා තිබුණේ කරුණා අම්මාන් විසිනි. එහෙත් ඔහු දඬුවම් ලබාසිටින්නේ හමුදා කඳවුරුවලට සහ පොලිසිවලට ප්‍රහාර එල්ල කිරීමට අදාළ චෝදනාවලට ය.

මහේන්ද්‍රන්ට අනුව ඔහු එල්ටීටීඊ සංවිධානයේ කටයුතු කර ඇත්තේ ද වසරක් හෝ වසර එකහමාරක් පමණ කෙටි කාලයකි. සංවිධානයේ ජීවිතය කළකිරුණු ඔහු සංවිධානයෙන් පැනගොස් ඇත. පළායෑමෙන් අනතුරුව සිය නිවසෙහි සැඟවී සිටියදී එල්ටීටීඊ සාමාජිකයන් පැමිණ ඔහු ව නැවත රැගෙන ගොස් ඇත. සංවිධානයෙන් පළායෑමේ වරදට දඬුවම් ලෙස ඔහුව කඳවුරුවල ආයුධ සන්නද්ධ නොවන, සුළු-සුළු වැඩවල කෙටි කාලයකට යොදවා ඇත. ඉන්පසු ව ඔහු ව සංවිධානයෙන් ඉවත් කර නිදහස් කර හැර තිබේ. එයින් පසු නැවත නිවසට පැමිණි ඔහු රැකියාව ලෙස රා මැදීම කරමින් ජීවිකාව සපයාගෙන විවාහයක් ද කරගෙන ඇත. ඔහු පැවසූ කරුණු අනුව ඔහු හමුදා අත්අඩංගුවට පත්වන්නේ විවාහ වී මාස 5ක පමණ කාලයකිනි. එවකට ඔහුගේ බිරිඳ ගැබිනියක ව සිට ඇත. එකී දරුවා ඔහු කිසිදිනෙක දැක නැත.
සිංහලෙන් ලියන ලද පාපොච්ඡාරණ ලියවිල්ලක් මත පමණක් පදනම්වෙමින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නඩු අසා, ජීවිතාන්තය දක්වා සහ වසර 70ක සිරදඬුවම් 02ක් නියමවීමෙන් අනතුරුව CA/190/1995 අංක යටතේ ඔහු විසින් අභියාචනාධිකරණයට අභියාචනයක් ගොනු කෙරිණි. 2003 වසරේ දී එහිදී ද පෙර තීන්දුව ම නැවත ලැබී ඇත. ඉන්පසු ව sc (spl) LA.no. 165/2003 අංක යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නැවත ඉල්ලීමක් කළ ද, ඔහුට සහනයක් ලැබී නොමැත.

අවසානයේදී ඔහු වයස අවුරුදු 45දී සිරකරුවෙකු ලෙස ම මියගියේය.

මුත්තයියා සහාදේවන් !

හිටපු විදේශ කටයුතු ඇමති ලක්ෂ්මන් කදිරගාමර් ඝාතන නඩුව අවසන් කිරීමට කොළඹ මහාධිකරණය කටයුතු කළේ ද මෙවැනිම සිදුවීමක් නිසා ය. HC/42/26/2008 අංකය යටතේ මෙම නඩුව විභාග විය.

කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටි එකම සැකකරු 2019 ජුනි 22දා කොළඹ ජාතික රෝහලේදී මියගියේය. වකුගඩු රෝගී තත්වය උත්සන්න වීම නිසා සැකකරුව බන්ධනාගාර නිලධාරීන් විසින් ජාතික රෝහලට ඇතුළත් කර ඇත. මේ බව අධිකරණයට දැනුම් දීමෙන් පසු මෙම තීරණය ගැනිණි. 2005 වසරේ අගෝස්තු 12දා කොළඹ – 07 පිහිටි නිවසේදී ස්නයිපර් වෙඩික්කරුවකු විසින් හිටපු ඇමතිවරයාව ඝාතනය කෙරිණි. එය එල්ටීටීඊ ඝාතනයක් ලෙස හැඳින්විණි. එහෙත් එහි සැක මතු වන තැන් ද රැසක් විය.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන 2005 වසරේ පටන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මුත්තයියා සහාදේවන් නම් සැකකරු ය, 2019 ජුනි 22දා මිය ගියේ.
එදිනෙදා කුලී වැඩ කරමින් ජීවත් වූ ඔහු, කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ එම ඝාතනයට මාසයකට පෙර කදිරගාමර්ගේ නිවස ආසන්නයේ පිහිටි නිවසක බැල්කනියක් අසල තිබුණු අත්තක් කපා දැමීම නිසා ය. කදිරගාමර් ඝාතනය කෙරුණු වෙඩි උණ්ඩ එල්ල වූයේ එම බැල්කනිය ආසන්නයේ වූ ජනේලයකින් වීම නිසා ඔහු වසර 14ක් බන්ධනාගාරගතව සිටියේය. එහෙත් එම අත්ත සහිත ගස පිහිටි නිවසේ හිමිකරු අත්අඩංගුවට ගන්නට පොලිසිය කටයුතු කර නැත. ඒ කියන නිවසේ හිමිකරු පොලිසියේ හිටපු ඉහළ නිලධාරියකුගේ පුත්‍රයකු බවත්, ඔහු ව්‍යාපාර රැසක හිමිකරුවකු බවත් මාධ්‍ය මගින් එවකට වාර්තා කෙරිණි.

සිංහල හෝ දෙමළ හෝ ලියන්නට කියවන්නට සහාදේවන් දැන සිට නැත. ඔහුට වධහිංසා කොට පාපොච්ඡාරණ ලියවිල්ලකට අත්සන් ගෙන තිබේ ‘නොකරපු වරදකට මට තඩිබෑවේ, මං ඒක උසාවියෙදිත් කිව්වා‘ පහරකෑමෙන් ඉදිරි දත් හතරක් හැළී ගිය සහ ඉතිරි දත් ඇදවී ගිය ඔහු 2016දී පමණ සිරකරු අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කළ ක්‍රියාකාරී කණ්ඩායමකට එසේ කිව්වේය.

ඔහු කොළඹ-කිරුළපන, පොල්හේන්ගොඩ පදිංචිව සිටියෙකි. බිරිඳ ධනලක්ෂ්මී සහාදේවන් ය. ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටි අතර, ඒ දෙදෙනා ද විවාහකයන් ය. ජීවිකාව සඳහා එදිනෙදා කුලීවැඩ කළ ඔහු 2005 වසර වන විට කොළඹ බුලර්ස් පාරේ නිවසක කුලී වැඩට යාමට පුරුදුව සිටි අතර, ඒ අසල නිවෙස්වලද වැඩ පළ තිබූ විටෙක ඒවා ද කරදුන්නේය.

සිදුවීම ඇරඹෙන්නේ 2005 අගෝස්තු 13 වන දින ය. සහාදේවන් සිය බිරිඳ සමඟ කිරුළපන පොළට ගොස් එමින් සිටිය දී කොළඹ අරපාධ කොට්ඨාශයෙන් ඔහුව අත්අඩංගුවට ගැනිණි. ඉන්පසු ඔහු රැගෙන ගොස් ඇත්තේ බුලර්ස් පාරේ පිහිටි තලේසිංහම් නමැත්තෙකුගේ නිවසකට ය. එම නිවසේ බැල්කනිය අසල තිබුණු ගසක අතු පෙන්වා ඒවා කැපුවේ ඔහු විසින්දැයි ප්‍රශ්න කර ඇත. එම අතු ඊට මාසයකට පමණ පෙර දවසක තමන් විසින් කැපූ බව ඔහු පිළිගෙන ඇත. තලේසිංහම් නමැති නිවෙස් හිමිකරුද ඒ මොහොතේ පවසා ඇත්තේ එය තමන්ගේ උපදෙස් මත සිදු කළ බවයි. ඉන්පසු සහාදේවන් ගෙන ගොස් ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයටයි.

සහාදේවන් අදාළ කණ්ඩායමට පැවසූ ආකාරයට ඔහුගේ ජීවිකාව සඳහා කුලී වැඩ කළ අතර, මෙම තලේසිංහම් නමැත්තාගේ නිවසේ බැල්කනිය දෙසට වැවෙන පිහිඹියා ගසක අතු කපා දැමීමද මාස එක හමාරකට පමණ වරක් දිගින් දිගට ම කළ කටයුත්තකි. එදින ද ඔහුට එහි විශේෂයක් තිබී නැත. කොළඹ අපරාධ කොට්ඨාසයට ගෙන ගිය ඔහුගෙන් ප්‍රශ්න කිරීම අරඹා ඇත්තේ ‘ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයාට වෙඩි තියන්න උදව් කළේ තමුසෙද?‘ යනුවෙනි. සහාදේවන්ට අනුව ඒ සමගම ඔහුගේ මුහුණට දරුණු පහරක් ද එල්ල වී තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ මාස 03ක් රඳවා තබා ඇති ඔහු ව 2005 නොවැම්බර් 16 දින රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඉන්පසුව 2008 වසරේදී කොළඹ අංක 1 මහාධිකරණයේ HC/4226/08 නඩු අංකය යටතේ සහාදේවන්ට එරෙහිව නඩු පැවරෙන්නේ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඊට අනුබල දීම යන චෝදනා යටතේ ය. මෙම නඩුවේ චූදිතයන් අතර එල්ටීටීඊ නායක ප්‍රභාකරන්, එහි බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් වැන්නන් සහ සහාදේවන්ගේ දුරකතනයේ තිබූ අංකයක් නිසා අත්අඩංගුවට ගැනුණු ඔහුගේ අසල්වැසි ඥාතියකු වන බාබු නමැත්තෙකු ද විය.

සහාදේවන්ට නඩු පැවරීමට යොදාගෙන තිබුණේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔහුගෙන් ලබාගත් බව සඳහන් පාපොච්ඡාරණ ලියැවිල්ලක් පමණි.

කදිරගාමර් ඝාතනය කෙරුණු දවසේ සහාදේවන්ගේ හැසිරීම පිළිබඳව ප්‍රශ්න කිරීමට යැයි කියමින් ඔහුගේ දියණිය ද කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන ගොස් රාත්‍රිය වනතුරු ප්‍රශ්න කර ඇත. ඔහුගේ බිරිඳගේ සොහොයුරාගෙන්ද ප්‍රශ්න කර ඇත. ඔහු පැවසූ ආකාරයට මෙවැනි තත්ත්වයක් යටතේ ඔවුන්ව නිදහස් කිරීමට යැයි පවසා ලබා දෙන ඕනෑම ලියවිල්ලකට අත්සන් කිරීමට සහාදේවන් එකඟ වී තිබේ. කොළඹ මහාධිකරණය මගින් මෙම පාපොච්ඡාරණ ලියවිල්ල සහාදේවන් ස්වේච්ඡාවෙන් ලබාදුන්නක් බවට පිළිගෙන ඇත.

සරත් ෆොන්සේකා සිදුවීම !

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා යුද හමුදා මූලස්ථානය තුළදී ඝාතනයට තැත්කිරීමට ආධාර අනුබල දුන්නේයැයි අධිචෝදනා ලබාසිටි විත්තිකරුවකුට එරෙහිව ඉදිරිපත් කළ ඔහුගේ ම පාපොච්ඡාරණයක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කළ එකක් ලෙස පිළිගැනීමට කොළඹ මහාධිකරණය ගත් තීරණය අහෝසි කිරීමට 2021 දෙසැම්බර් 02දා අභියාචනාධිකරණය නියෝග කළේය.

මෙම පාපොච්ඡාරණය විත්තිකරු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරන ලද්දක් බවට පිළිගැනීමට කොළඹ මහාධිකරණය 2017 මැයි 28දා කළ නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලමින් චූදිත සෙල්වරාසා කිරුබාකරන් නම් නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි රිමාන්ඩ් සිරකරුවකු මෙම අභියාචනය යොමු කර තිබිණි. 2017 වසරේදී ඉදිරිපත් කළ අභියාචනය 2021 නොවැම්බර් 02දා සිට අධිකරණයේදී විවාදයට ගැනිණි.
අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙලගේ එකඟත්වයෙන් අභියාචනාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර විසින් මේ නියෝගය ප්‍රකාශයට පත්කරණ ලදි.

යුද හමුදා මූලස්ථානය තුළදී හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ කළේ 2006 අගෝස්තු 25දා ය. ඔහු ඝාතනය කිරීමට ආධාර අනුබල දීම ගැන මෙම සැකකරුට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇත්තේ 2012 වසරේදී වීම විශේෂත්වයකි.

මේ නඩුවේදී පැමිණිල්ලේ සාක්ෂි අතරතුර එවකට සහකාර පොලිස් අධිකාරි නිමල් රත්නායක විසින් සැකකරු කරන ලද පාපොච්ඡාරණයක් සලකුණු කිරීමට උත්සාහ කර ඇති අතර, විත්ති පාර්ශ්වය එම පාපොච්ඡාරණයේ ස්වේච්ඡාභාවය අභියෝගයට ලක්කරමින් විරෝධතා පළ කර තිබේ. එම විරෝධතාවයේ නියෝගය මහාධිකරණය ප්‍රකාශයට පත්කර ඇත්තේ චූදිතට එරෙහිව ය. එනම් පාපොච්ඡාරණය පිළිගෙන තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම චූදිත පුද්ගලයා රඳවාගෙන ප්‍රශ්න කර ඇති අතර, එම පනතේ 16 (1) යටතේ යැයි කියමින් පාපොච්ඡාරණයක් ද සටහන් කරගෙන තිබේ.

චූදිත දෙමළ භාෂාව කතා කරන දෙමළ ජාතිකයෙකි. අභියාචනාධිකරණයට පෙත්සම ඉදිරිපත් කර ඇති චූදිතගේ ප්‍රධාන තර්කය වී ඇත්තේ පාපොච්චාරණය ලබාගැනීමට පෙර, තමන්ට වධහිංසා පමුණුවා අමානුෂික ලෙස සැලකීමෙන් පසු එම පාපොච්ඡාරණය ලබාගත් බවයි. පාපොච්ඡාරණය යතුරු ලියනය කර ඇත්තේ තමන් විසින් ම හෝ භාෂා පරිවර්තකයකු විසින් නොවන බවත්, එය සිදු කර ඇත්තේ සහකාර පොලිස් අධිකාරි නිමල් රත්නායක විසින් ම බවත් පෙත්සම්කාර චූදිතගේ ස්ථාවරය වී ඇත. මෙම පාපොච්ඡාරණය දින හයක් තුළ දී ලියාගෙන ඇතැයි කියැවිණි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ගේ තර්කය වී ඇත්තේ පාපොච්ඡාරණය සටහන් කළ සහකාර පොලිස් අධිකාරිවරයා දෙමළ භාෂාව ඉතා චතුර ලෙස හසුරුවන නිසා පරිවර්තකයකුගේ පැමිණීම අවශ්‍ය නොවූ බවයි. සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් හරස් ප්‍රශ්න විමසීමේදී ප්‍රකාශ කර ඇත්තේ සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස් කිරීමට පෙර දෙමළ භාෂා ප්‍රවීණතා පරීක්ෂණයකට පෙනී සිටීමට සිදු වූ බවයි.
දින හයකට ආසන්න කාලයක් මෙම පාපොච්ඡාරණය සටහන් කර ඇති අතර, එය පෙත්සම්කරුට මහත් පීඩාවක් ඇති කළ බව පෙත්සම්කාර චූදිත කියා ඇත. පෙත්සමේ වගඋත්තරකරුවන් ප්‍රතිචාර දක්වමින් කියා ඇත්තේ දින හයක දීර්ඝ කාලයක් මේ සඳහා ලබාගෙන ඇත්තේ ඒ සම්බන්ධයෙන් අවශ්‍යතාවක් තිබූ නිසා බවයි.

පාපොච්ඡාරණය සටහන් කළ සෑම දිනකම සහකාර පොලිස් අධිකාරිවරයා පෙත්සම්කරුගේ සුබසාධනය ගැන සොයා බැලූ බවත් වගඋත්තරකාර පාර්ශ්වය ප්‍රකාශ කර ඇත.

සහකාර පොලිස් අධිකාරිවරයා ම ප්‍රධාන නඩු විභාගයේදී පිළිගෙන තිබුණේ තමන්ට දෙමළ භාෂාව පිළිබඳ එතරම් විශ්වාසයක් නොමැති බවත්, ඇතැම් අවස්ථාවල ශබ්දකෝෂය භාවිත කිරීමට සිදුවූ බවත් ය. සහකාර පොලිස් අධිකාරිවරයා විසින් ම පාපොච්ඡාරණය පරිවර්තනය කිරීම නිසා පෙත්සම්කරුගේ ප්‍රකාශය ඒ ආකාරයට ම පරිවර්තනය කළේ ද යන්න පිළිබඳව සැකයක් මතු කර තිබේ.

පාපොච්ඡාරණය සටහන් කිරීම දින හයකට ආසන්න කාලයක් දක්වා ව්‍යාප්ත වූ බැවින් සහකාර පොලිස් අධිකාරිවරයාට කළ හැකිව තිබූ දූරදර්ශීම දෙය නම් අවම වශයෙන් දිනකින් හෝ දෙකකින් භාෂා පරිවර්තකයකුගේ සේවය ලබාගැනීම බව මීට අදාළ අභියාචනාධිකරණ නියෝගයේ සඳහන් කර තිබේ. එබැවින් සහකාර පොලිස් අධිකාරිවරයා දින හයක් තුළ සම්පූර්ණ පාපොච්ඡාරණය පරිවර්තනය කිරීම නිසා එහි ස්වේච්ඡාභාවය සම්බන්ධයෙන් සැකයක් ඇති කර තිබේ.

එබැවින් සටහන් කර ඇති පාපොච්ඡාරණය සාක්ෂි ආඥා පනතේ 24 වැනි වගන්තියේ විධිවිධානවලට පටහැනි ද යන්න සම්බන්ධයෙන් අධිකරණය හොඳින් සලකා බැලිය යුතු බවත්, ඉදිරිපත් වූ කරුණු අනුව මෙම පාපොච්ඡාරණය සම්බන්ධයෙන් 2017 මැයි 28 දිනැති ව කොළඹ මහාධිකරණ විනිසුරුවරයාගේ තීන්දුව ප්‍රතිශෝධනය කරන බවත් එම අභියාචනාධිකරණ තීන්දුවේ සඳහන් වේ.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 16 (1) වගන්තිය

16(1) : වෙනත් යම් නීතියක විධිවිධාන නොතකා, මේ පනත යටතේ යම් තැනැත්තකු යම් වරදකට චෝදනා ලැබ ඇති අවස්ථාවක, ඒ තැනැත්තා විසින් යම් වේලාවකදී කරන ලද යම් ප්‍රකාශයක් –

(අ) එය අපරාධෝච්ඡාරණයක් වන්නේ හෝ නොවන්නේ හෝ වුවද;

(ආ) වාචික ව කරන ලද්දේ වුවද හෝ නැතහොත් ලියාගන්නා ලද්දේ වුවද:

(ඇ) එම තැනැත්තා පොලිස් නිලධරයෙකුගේ අත්අඩංගුවේ සිටියේ හෝ නොසිටියේ හෝ පොලිස් නිලධරයෙකු ඉදිරියේ සිටියේ හෝ නොසිටියේ හෝ වුවද;

(ඈ) විමර්ශනයකදී හෝ නොඑසේව කරන ලද්දේ වුවද;

(ඉ) එය යම් ප්‍රශ්නයකට දෙන ලද සම්පූර්ණ පිළිතුරක් හෝ පිළිතුරකින් කොටසක් වුවද හෝ නොවුවද

එම ප්‍රකාශය සාක්ෂි ආඥා පනතේ 24 වගන්තිය යටතේ අදාළ නොවන්නේ නැතිනම්, එය එම තැනැත්තාට විරුද්ධව ඔප්පු කරනු ලැබිය හැකිය.

එසේ වුවද එම ප්‍රකාශය සහකාර පොලිස් අධිකාරිවරයකුගේ තත්ත්වයට පහළ පොලිස් නිලධරයකු වෙත කරන ලද්දේ නම්, එම තැනැත්තාට විරුද්ධව එවැනි කිසිදු ප්‍රකාශයක් ඔප්පු කරනු නොලැබිය යුතුය.

සාක්ෂි ආඥා පනතේ 24 වගන්තිය

24. A confession made by an accused person is irrelevant in a criminal proceeding if the making of the confession appears to the court to have been caused by any inducement, threat or promise having reference to the charge against the accused person, proceeding from a person in authority, or proceeding from another person in the presence of a person in authority with his sanction, and which inducement, threat or promise is sufficient in the opinion of the court to give the accused person grounds, which would appear to him reasonable, for supposing that by making it he would gain any advantage or avoid any evil of a temporal nature in reference to the proceedings against him.

තාවකාලික පනතක් ස්ථිර වූ හැටි !

1979 වර්ෂයේදී එවකට පාර්ලිමේන්තුව විසින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්මත කරන ලද්දේ තාවකාලික පනත් කෙටුම්පතක් වශයෙනි. නමුත් ඒ තාවකාලික පනත අද දක්වා ම මෙරට නීති පද්ධතිය තුළ රඳවාගෙන සිටී.

මෙම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් සහ නිදහස සම්බන්ධ ප්‍රතිපාදනවලට පටහැනි ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සෑම සැකකරුවෙකුට ම තහවුරු කර ඇති නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයට පටහැනි ය. නඩු නොමැතිව දීර්ඝ කාලයක් රඳවාගැනීම ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති වධහිංසාවන්ගෙන් සහ කෲර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම්වලින් වැළකීමේ නිදහසට පටහැනි ය.

විසාකේසගේ කාර්යයේ වටිනාකම !

අවස්ථා ගණනාවකදී පැවති ආණ්ඩු මගින් මෙම පනත සංශෝධනය කරන බව හෝ අහෝසි කරන බව හෝ පැවසුවද, මර්දන නීතියක් ලෙස එය තවදුරටත් කිසිදු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යනු ලබයි.

එවැනි තත්ත්වයක් යටතේ, ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් කළ කාර්යය අතිශය බරපතළ වටිනාකමක් සහිත කාර්යයකි.

සබැඳි පුවත්

80 කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතමයා කේ.බී.හේරත් දිවි සැරිය නිමාකරයි

0

ඔහු 80 කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම නාට්‍යවේදියා ය. 1979 සුදු කරල් නිෂ්පාදනය සමග 1999 තෙක් මායාදේවී,නාග ගුරුළා, දෝන කතිරිනා,දෙවෙනි මහින්ද හා වාසුදේව යන වේදිකා නාට්‍ය නිර්මාණකරුවා කේ.බී. ය. රාජ්‍ය සම්මානයෙන් මෙන්ම නාට්‍ය කීර්ති සම්මානයෙන් ද පිදුම් ලද ඔහුට පසුගිය වසරේ දී සෞන්දර්ය විශ්වවිද්‍යාලය විසින් ආචාර්ය උපාධිය ද පිරිනමන ලදි.

වේදිකා නාට්‍ය මෙන්ම රූපවාහිනී නාට්‍ය රචනයෙහි ද හපන් කේ.බී.ගේ රූපවාහිනී ටෙලිනාට්‍ය රචනා සඳහා OCIC සුමති ආදී ටෙලි සම්මාන දිනා ඇත. ඉසිවර අසපුව, ගජමන් නෝනා හා ඉන්ගම්මාරුව වැනි ටෙලි රචනා ඒ අතර ප්‍රධාන වේ. නාට්‍ය පෙළ සඳහා ද ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනා ඇත්තේ ය.

අවමඟුල් කටයුතු පහත පරිදි සිදු කිරීමට නියමිතය.

ජනවාරි 30 පෙරවරු 10 සිට එදින රාත්‍රිය තෙක් ජයරත්න අවමඟුල් ශාලාවෙහිද
ජනවාරි 31 පෙරවරුවේ සිට පෙබරවාරි 01 බදාදා දහවල් 2 තෙක් ජයරත්න VIP – Respect හි ද අවසන් ගෞරව සඳහා දේහය තැන්පත් කර තබනු ඇත.

අවසන් කටයුතු පෙබරවාරි 01 බදාදා පස්වරු 2.30 ට සිදුකිරීමට නියමිතය.

80 කණ්ඩායම

විසාකේසගේ “මනල්” රොටර්ඩෑම් උළෙලට අවතීර්ණ වේ

0

නවක සිනමා අධ්‍යක්ෂකවරුන් සඳහා විශේෂිකරණය වූ අන්තර්ජාතික සිනමා උළෙල (Specialized International Film Festivals for New Filmmakers) කාණ්ඩය යටතේ වූ ලොව ප්‍රමුඛතම සිනමා උළෙල ත්‍රිත්වයෙන් එකක් ලෙසට සැලකෙන නෙදර්ලන්තයේ රොටර්ඩෑම් අන්තර්ජාතික සිනමා උළෙල (International Film Festival Rotterdam) පසුගිය ජනවාරි 25 වෙනිදා ආරම්භ වූයේ, ශ්‍රී ලාංකේය සිනමාපටයකට ජාත්‍යන්තර සිනමා උළෙල ප්‍රවාහය තුළ තවත් සුවිශිෂ්ට නියෝජනයක් උදෙසා වූ දොරගුළු විවර කර දෙමිනි. ඒ රොටර්ඩෑම් උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශය ලෙසින් සැලකෙන “ටයිගර් තරගය” (Tiger Competition) නියෝජනය කිරීමේ දුර්ලභ අවස්ථාව විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ “මනල්” [(Munnel)/(Sand)] සිනමාපටයට හිමිවීම නිසාවෙනි.

රොටර්ඩෑම් උළෙලේ සමාරම්භය 1972 වර්ෂයේදී සටහන් ව ඇත. එහෙත් ශ්‍රී ලාංකේය චිත්‍රපටයකට උළෙල නියෝජනය කිරීමේ මුල්ම අවස්ථාව හිමිවන්නේ 1995 වර්ෂයේදීය. ඒ එච්.ඩී ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ “සෙයිලම” චිත්‍රපටය හරහාය. එතැන් පටන් 2022 වර්ෂය තෙක් ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට 02 ක් උළෙලේ ප්‍රධාන තරගකාරී අංශය (Tiger Competition) යටතේද, තවත් දීර්ඝ වෘත්තාන්ත සිනමාපට 13 ක් තරගකාරිත්වයෙන් බැහැර වූ අංශ (Out of Competitions) යටතේද ලෙසින් ශ්‍රී ලාංකේය චිත්‍රපට 15 ක් උළෙල නියෝජනය කිරීමට වරම් ලැබ ඇත. ඒ අනුව දශක පහක් ඉක්මවූ ඉතිහාසයකට හිමිකම් කියන රොටර්ඩෑම් උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනය කිරීමට අවස්ථාව ලද තෙවෙනි ශ්‍රී ලාංකේය චිත්‍රපටය ලෙසින් “මනල්” (Sand) පසුගියදා මෙරට සිනමා ඉතිහාසයකට එක් වේ. මීට පෙර එකී අවස්ථාව සත්‍යජිත් මාඉටිපේ අධ්‍යක්ෂණය කළ “බොරදිය පොකුණ” (Scent of the Lotus Pond) චිත්‍රපටයට 2004 වර්ෂයේදීත්, සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ “ඉගිල්ලෙන මාළුවෝ” (Flying Fish) චිත්‍රපටයට 2011 වර්ෂයේදීත් හිමිවිය.

රොටර්ඩෑම් උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශය (Tiger Competition) නවක සිනමාකරුවන්ගේ කුලුඳුල්, දෙවෙනි හා තෙවෙනි සිනමා නිර්මාණ වෙනුවෙන් පමණක් විවෘත වන අතර, මෙවර ඇමෙරිකාව, චීනය, ඉරානය, ස්පාඤ්ඤය, ජර්මනිය, ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 15 ක් නියෝජනය කරමින් දීර්ඝ චිත්‍රපට 16 ක් මෙම අංශය සඳහා සුදුසුකම් ලැබ ඇත. ජයග්‍රාගී සිනමාපට උදෙසා වැඩිම මූල්‍යම ත්‍යාග පිරිනමන අන්තර්ජාතික සිනමා උළෙල අතර ඉහළින්ම ශ්‍රේණිගත වන රොටර්ඩෑම් උළෙල, මෙවර ප්‍රධාන තරගකාරී අංශයේ ජයග්‍රාගී සිනමාපටය උදෙසා පිරිනමන මූල්‍යම ත්‍යාගයේ වටිනාකම ශ්‍රී ලාංකේය රුපියල් මිලියන 16 කට හෙවත් රුපියල් එක් කෝටි හැට ලක්ෂයකට ආසන්න වේ.

“සයපෙති කුසුම” (Frangipani) හා “පාංශු” (Earth) හරහා අන්තර්ජාතික උළෙල නියෝජනය කරමින් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ විසාකේස චන්ද්‍රසේකරම්ගේ තෙවෙනි සිනමා නිර්මාණය “මනල්” වේ. විසාකේස විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ “මනල්” හි ප්‍රධාන රංග දායකත්වය සිවකුමාර් ලිංගේස්වරන් සහ කමලා ශ්‍රී මෝහන්ගෙනි. කැමරාකරණයෙන් රිෂී සෙල්වම්, සංස්කරණයෙන් සිතුම් සමරජීව,

සංගීතයෙන් පත්මායන් සිවනාතන්, ශබ්ද සංකලනයෙන් අරුණ කළුආරච්චි සහ වර්ණ සංකලනයෙන් ආනන්ද බණ්ඩාර චිත්‍රපටයට දායකත්වය ලබා දී ඇත. “මනල්” හි නිෂ්පාදන හිමිකාරිත්වය විසාකේස චන්ද්‍රසේකරම් සතුවේ.

52 වෙනි රොටර්ඩෑම් අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනය කිරීමේ අවස්ථාව විසාගේ “මනල්”ට හිමිවන අතර තුර, උළෙලේ තරගකාරීත්වයෙන් බැහැර වූ අංශ (Non- Competitive Sections) යටතේ කාණ්ඩගත වන “බ්‍රයිට් ෆියුචර්” (Bright Future) නම් වූ අංශය නියෝජනය කිරීමේ අවස්ථාව ජගත් මනුවර්ණ කුලුඳුලේ අධ්‍යක්ෂණය කළ “රහස් කියන කඳු” (Whispering Mountains) චිත්‍රපටයට හිමිව ඇත. උළෙල ඉතිහාසයේ එකී අංශය නියෝජනය කරන 05 වෙනි ශ්‍රී ලාංකේය චිත්‍රපටය “රහස් කියන කඳු” වන අතර, මීට පෙර “බ්‍රයිට් ෆියුචර්” අංශය යටතේ විමුක්ති ජයසුන්දරගේ “අහසින් වැටෙයි” 2010 දීත්, ප්‍රසන්න ජයකොඩිගේ “28” 2011 දීත්, සංජීව පුෂ්පකුමාරගේ “දැවෙන විහඟුන්” 2017 දීත් , සුබා සිවකුමාරන්ගේ “නොමියන මතකය” 2019 දීත් රොටර්ඩෑම් උළෙල නියෝජනය කොට ඇත.

සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි

Munnel Film Trailer: https://youtu.be/6O58HPUsZ_E

Whispering Mountains Trailer: https://youtu.be/Ilb23PLeHOg

පුද්ගල විඳීම් විකසිත කළ ගොවිඳුහෙලෙහි අසිරිය

0

වෘත්තියෙන් ගුරුවරියක වන චමිලා මැණික්ගමගේ විසින් රචිත මංගල කවි සරණිය “සඳ බිඳුණු ගොවිඳුහෙල” නම් වේ. සක්නද ප්‍රකාශනයක් ලෙසින් මුද්‍රිත කෘතියේ කාව්‍ය නිර්මාණ පනස්හතක් අන්තර්ගත ය. ඇයගේ පබැඳුම් හතරක ඉංග්‍රීසි පරිවර්තනය ද එයට ම අන්තර්ගත වේ. විවිධ තේමා පාදක කරගනිමින් රචනා වුව ද පද්‍ය නිර්මාණ බොහොමයක් පුද්ගලානුබද්ධ ව නිර්මිත නිමැවුම් බව මෙම කෘතිය පරිශීලනයේ දී ප්‍රත්‍යක්ෂ වේ. ඒවා ඇතැම් විටෙක කිවිඳියගේ අතීත මතකාවර්ජනයන් විය හැකි ය.

ප්‍රේමයේ විප්‍රයෝගය අරමුණු කරගනිමින් රචිත “පෙම්වත් මිනිසකුට ඇබ්බැහි වුණෙමි” පැදි පෙළ ඉහත මා විසින් සඳහන් කළ අතීත කාමය මැනවින් සාක්ෂාත් කරයි.

“විටින් විට හඬ තලන පල්ලියේ බර බර ය
හෙමින් ඇවිදින් ආපු සුළඟටත් හිරිහැරය
පණිවිඩය මඟ හළපු කුරුලු තුඩු අවසරය
දැන් ඉතින් නුඹ නැති ව තව රැයක් යා යුතු ය”

“පල්ලියේ බර බරය” වැනි සරල කථන බැසිවහර කාව්‍යාත්මක පද සමඟ ඇය සංඝටනය කරන්නේ ඉතා සූක්ෂම ලෙස ය. එය කවියට හෝ ආකෘතියට හෝ අර්ථයට හෝ කිසිදු හානියක් සිදු නොකරයි.

පරිසරයේ සෞන්දර්යාත්මක බව “රහස් සැඟවූ අහසක්” යන පද්‍ය පන්තියෙන් මනාව නිරූපණය වේ. නිර්මාණය පුරාවට කිවිඳිය භාවිත කරනු ලබන සරල චිත්ත රූපිත බස්වහර ප්‍රශස්ත ය.

“මල් වඩා ගත් ගස්
උකුළට අරන් තුරු පත්
හෙමින් ගයනවා ඇති
සුළං සරින් ගීතයක්”

තුරුපත් අතර පිපුණු මල් සුළඟට සැලෙන ආකාරය කිවිඳිය පබඳන්නේ අපූරු ලෙස ය. චමිලා නිර්මාණය පුරා ම කාව්‍යාත්මක බස්වහරක් භාවිත කරන්නේ මෙලෙසිනි.

“මිහිඳුම් සළුවක සැඟවී
තුරුලු කරගෙන ආදරෙන්
සිඹිනවා ඇති නළල හෙමිහින්
නිල් පැහැය බොඳ කඳු හිස්”

මින් කිවිඳිය සතු කාව්‍ය ප්‍රතිභාව මැනවින් ගම්‍ය වේ.
සුනඛයකු හා මිනිසකු අතර පවත්නා මානුෂීය සබැඳියාව අනුභූති කරගනිමින් “කැටන්දොල බණ්ඩා සහ කඩියා” කව රචිත ය. කුඩා කල සිට ම ‘බණ්ඩා’ නම් අප කථකයාගේ කලණ මිතුරා ‘කඩියා’ ය. බණ්ඩා සමඟ කැලයේ මී වද කඩන්නට යන අනෙක් සගයා මේ සුනඛ මිතුරා ය. එක්තරා දිනෙක හදිසියේ ගසකින් ලිස්සා ඇදවැටෙන කථකයා එම මොහොතේම මිය යයි. ඉන් කම්පාවට පත් කඩියා ඉතා ම කලබලයෙන් ගම්වැසියන් සොයා දිව යයි.

“ලේ වැල් ගලා විත් පොඩි වුණු මුව පෙම්මා
කඩියා ඉවබලා ඉහ නළලත ඉම්බා
වැටි වැටි නියරෙ, බඩවැටි පහුකරමින් ආ
මඟ හමුවෙනා හැමට ම පණිවුඩ දුන්නා”

පෙම්වතියක ඝාතනය කරන පෙම්වතුන් සිටින, දරුවන් මරණයට පත්කරන මවුපියවරු වෙසෙන, මිතුරකුට උරණව තවත් මිතුරකුගෙ පණ නසන සමාජයක කඩියා නම් සුනඛයා මිනිසාට ම ආදර්ශයකි. කිවිඳියගේ පද සංයෝජනයෙන් මැවෙන වාග් සිත්තම පාඨක හදවතෙහි සංවේගය වඩාත් තීව්‍ර කරයි.

ස්ත්‍රිය පිළිබඳ අපූරු පාරිකල්පන නිමැවුමක් ලෙස “මල් නැති ගසක අවනඩුව” පද්‍ය පෙළ නම් කළ හැකි ය.

“තුරුපත් සිප අරන් එන සුළඟක් සේ ම
මල් කෙමි බිම හලාගෙන යන බඹරුන්ට
නෑ කිසි වගක් මලකට රිදවුම් කරුණ
මලකට වුණත් වටිනව කටු ඇති නටුව”

තුරුපත් අතර ඇති මල්වල රොන්සුනු විඳිනු පිණිස හිතුමතේ බඹරු පැමිණෙති. මේ නිසා ම මලකට වුව කටු ඇති නටුවක් යනු ආරක්ෂාවේ ආභරණය යි. එලෙසම මඩ ගොහොරෙන් මතුව එන සියපත් ද තම ගුණ සුවඳ පරිසරයට මුදාලයි. කිවිඳිය මෙහි ‘මල’ ලෙස සංකේත කරන්නේ දරු පරපුර යි. මල් සියුම් ය; සුවඳ ය; පැහැපත් ය; පියකරු ය. දරු දැරියන් ද එලෙසම ය. විශේෂයෙන් ම වත්මන් සමාජයේ දැරියන් මුහුණපාන ඛේදවාචකයන් චමිලා වක්‍රව සහෘදයා වෙත රූපණය කරයි.

“පල නොදරනා ගස් අවමන් ලැබ විඳවයි
මල් නැති ගසක් උයනක් මැද වුව තනිවෙයි”

කවියේ කූටප්‍රාප්තිය තුළින් කිවිඳිය තවත් සමාජ ඛේදයක් විශද කරයි.
යශෝදරා චරිතය අතික්‍රමණය කරමින් නව මානයකින් නිරීක්ෂණය කරන “ඉතින් සිදුහත්” පද්‍ය පන්තිය ද මෙහි අන්තර්ගත තවත් සාර්ථක නිර්මාණයකි.

“ඔබ ඔය කියන
යශෝදරා නම් නොවෙමි මම
පුරුෂයා හැර ගිය සොවින්
රජ බොජුන් ඉවත හළ
හාමතේ වැළපුන
අනේ, අසරණ ගැහැනියයි මම”

බෝසත් චරිතය තුළ අපට හමුවන යශෝදරා පිළිබඳව වරනගා ඇත්තේ වෙන ම දෘෂ්ටියකිනි. නමුදු චමිලා පාඨකයා හමුවේ චිත්‍රණය කරන්නේ ඇයගේ ජීවිතයේ ශෝකාන්ත ම පැතිකඩකි. කිවිඳිය නිර්මාණය අවසන් කරන්නේ ද උත්ප්‍රාසාත්මක ලෙසිනි.

“නුඹ බුදු වූ පසු ව
අවලාද නොඅසන්න
ජාතක පොතේ ලියන්නාට
බොරු ගොතා කී
යශෝදරා වෙමි ය මම”

වෘත්තියෙන් ගුරුවරියක නිසා ම දුෂ්කර සේවයේ පවත්නා අත්දැකීම් පාදක කරගනිමින් “පානමේ ගුරුතුමියට” කවි පන්තිය සංරචිත ය. එහි දී කථකයාට තම ගුරුවරිය අහිමිවීම දරාගත නොහැකි වේ. ඒ හේතුවෙන් ඔහු ඇයගේ ස්ථාන මාරුව අවලංගු කරන මෙන් කාරුණිකව අයාචනා කරයි.

“සේවයේ දුෂ්කර ම දැනුණා ද මහ හුඟක්
යුද්දෙ අහවරයි දැං නවතිමු ද තව ටිකක්
අවලංගු කළ හැකි ද ට්‍රාන්සර් ලියමනත්
පානමේ දරුවන්ට සුවඳ අහිමි ද හෙටත්…”

ගුරු වෘත්තියේ නියැලෙන බොහෝ දෙනකු දුෂ්කර සේවයේ ටික කාලයක් ගතකර කෙසේ හෝ ස්ථාන මාරුවක් සාදා ගනිමින් වැඩි පහසුකම් සොයා යෑම හේතුවෙන් එවැනි ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපනය කඩින් කඩ බිඳ වැටේ. කිවිඳිය නිර්මාණය තුළින් මේ සමාජ හා අධ්‍යාපනික ඛේදවාචකය ද වක්‍රව ප්‍රතීයමාන කරන්නී ය.

“තාත්තගෙ සොහොන මත
පිපුණු මල් සුවඳ නැත
පස් ගොඩැලි බොරලු මත
නොවියළුණු කඳුළු ඇත”

“රිදෙන මතකය” හිසින් යුත් ඉහත පැදි පෙළ මගේ පුද්ගලික විඳුම මත තරමක් දුරට අසාර්ථක පරිකල්පනයක් යැයි මම සිතමි. තාත්තාගේ සොහොන මත පිපෙන්නේ තාත්තාගේ දිරාගිය භෂ්මාවශේෂයන්ගෙන් මිශ්‍ර වූ පාෂණවලින් සුපෝෂණ ව හැඳුණු සරු ගසකි. එවන් සරු ගසක උපදින මලක් සුගන්දවත් නොවන්නේ කුමන හේතුවක් නිසා ද? එවැනි පුෂ්පයක් දුගඳ වන්නේ තාත්තා නිදන සොහොන අපිරිසිදු නිසා ද? යන්න මට නම් උභතෝකෝටික ගැටලුවකි. නමුදු තවමත් ඔහුගේ කඳුළු වියළි නොතිබීම ඔහුගේ ආදරය නැවත සිහිකරයි. පාඨකයාගෙන් පාඨකයාට නිර්මාණයක රසවිඳුම් විෂම විය හැකි ය. ඒ හේතුවෙන් තව අයකුට මෙය සංවේගයක් උපස්තම්භනය කළ හැකි ය.

“පපුව මැද්දේ ඇනුණු කටුවක්”, “අසමත් ගුරුවරිය”, “කළු ලප”, “ගැටබෙරයක කඳුළු”, “තාත්තා දුටුවෙමි”, “සිරගත කළ බුදුන්” සහ “නිදන් සොරකුට බිරිඳ කී කව” යන නිර්මාණ මා විඳි තවත් සාර්ථක නිර්මාණ කිහිපයකි.

සමස්තයක් ලෙස කාව්‍ය කෘතියේ නිර්මාණ සැලකීමේ දී ඇය භාවිත කරන සිවුපද මෙන් ම නිදහස් කාව්‍ය ආකෘති සහ සරල බස්වහර සාර්ථක ය. සංකේත භාවිතය හා චිත්ත රූප මවන වාග් පෙළහර ද පාඨකයා යම් සංවේදනාවකට පත්කිරීමත් බොහෝ නිර්මාණ හරහා කරුණා රසය මතුකිරීමත් අගනේ ය. ඇතැම් නිර්මාණ වඩාත් ඉවසීමකින් තව තවත් සංස්කරණයට භාජනය කළේ නම් වඩාත් සාර්ථක යයි හඟිමි. පුද්ගල විඳීම්වලට අමතරව නිර්මාණ හරහා සමාජ කැනීම්වලද යෙදෙන්නට මම ඇයට යෝජනා කරමි. මේ කාරණා සැලකීමේ දී චමිලා මැණික්ගමගේ විසින් රචිත “සඳ බිඳුණු ගොවිඳුහෙල” නම් මංගල කවි සරණිය සාර්ථක කවි මගක මංගල පියවරක් බව නිර්ලෝබි ලෙස සඳහන් කරමි.

අශෝක කුලතුංග