විසාකේසගේ “මනල්” රොටර්ඩෑම් උළෙලට අවතීර්ණ වේ

Share post:

නවක සිනමා අධ්‍යක්ෂකවරුන් සඳහා විශේෂිකරණය වූ අන්තර්ජාතික සිනමා උළෙල (Specialized International Film Festivals for New Filmmakers) කාණ්ඩය යටතේ වූ ලොව ප්‍රමුඛතම සිනමා උළෙල ත්‍රිත්වයෙන් එකක් ලෙසට සැලකෙන නෙදර්ලන්තයේ රොටර්ඩෑම් අන්තර්ජාතික සිනමා උළෙල (International Film Festival Rotterdam) පසුගිය ජනවාරි 25 වෙනිදා ආරම්භ වූයේ, ශ්‍රී ලාංකේය සිනමාපටයකට ජාත්‍යන්තර සිනමා උළෙල ප්‍රවාහය තුළ තවත් සුවිශිෂ්ට නියෝජනයක් උදෙසා වූ දොරගුළු විවර කර දෙමිනි. ඒ රොටර්ඩෑම් උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශය ලෙසින් සැලකෙන “ටයිගර් තරගය” (Tiger Competition) නියෝජනය කිරීමේ දුර්ලභ අවස්ථාව විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ “මනල්” [(Munnel)/(Sand)] සිනමාපටයට හිමිවීම නිසාවෙනි.

රොටර්ඩෑම් උළෙලේ සමාරම්භය 1972 වර්ෂයේදී සටහන් ව ඇත. එහෙත් ශ්‍රී ලාංකේය චිත්‍රපටයකට උළෙල නියෝජනය කිරීමේ මුල්ම අවස්ථාව හිමිවන්නේ 1995 වර්ෂයේදීය. ඒ එච්.ඩී ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ “සෙයිලම” චිත්‍රපටය හරහාය. එතැන් පටන් 2022 වර්ෂය තෙක් ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට 02 ක් උළෙලේ ප්‍රධාන තරගකාරී අංශය (Tiger Competition) යටතේද, තවත් දීර්ඝ වෘත්තාන්ත සිනමාපට 13 ක් තරගකාරිත්වයෙන් බැහැර වූ අංශ (Out of Competitions) යටතේද ලෙසින් ශ්‍රී ලාංකේය චිත්‍රපට 15 ක් උළෙල නියෝජනය කිරීමට වරම් ලැබ ඇත. ඒ අනුව දශක පහක් ඉක්මවූ ඉතිහාසයකට හිමිකම් කියන රොටර්ඩෑම් උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනය කිරීමට අවස්ථාව ලද තෙවෙනි ශ්‍රී ලාංකේය චිත්‍රපටය ලෙසින් “මනල්” (Sand) පසුගියදා මෙරට සිනමා ඉතිහාසයකට එක් වේ. මීට පෙර එකී අවස්ථාව සත්‍යජිත් මාඉටිපේ අධ්‍යක්ෂණය කළ “බොරදිය පොකුණ” (Scent of the Lotus Pond) චිත්‍රපටයට 2004 වර්ෂයේදීත්, සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ “ඉගිල්ලෙන මාළුවෝ” (Flying Fish) චිත්‍රපටයට 2011 වර්ෂයේදීත් හිමිවිය.

රොටර්ඩෑම් උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශය (Tiger Competition) නවක සිනමාකරුවන්ගේ කුලුඳුල්, දෙවෙනි හා තෙවෙනි සිනමා නිර්මාණ වෙනුවෙන් පමණක් විවෘත වන අතර, මෙවර ඇමෙරිකාව, චීනය, ඉරානය, ස්පාඤ්ඤය, ජර්මනිය, ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 15 ක් නියෝජනය කරමින් දීර්ඝ චිත්‍රපට 16 ක් මෙම අංශය සඳහා සුදුසුකම් ලැබ ඇත. ජයග්‍රාගී සිනමාපට උදෙසා වැඩිම මූල්‍යම ත්‍යාග පිරිනමන අන්තර්ජාතික සිනමා උළෙල අතර ඉහළින්ම ශ්‍රේණිගත වන රොටර්ඩෑම් උළෙල, මෙවර ප්‍රධාන තරගකාරී අංශයේ ජයග්‍රාගී සිනමාපටය උදෙසා පිරිනමන මූල්‍යම ත්‍යාගයේ වටිනාකම ශ්‍රී ලාංකේය රුපියල් මිලියන 16 කට හෙවත් රුපියල් එක් කෝටි හැට ලක්ෂයකට ආසන්න වේ.

“සයපෙති කුසුම” (Frangipani) හා “පාංශු” (Earth) හරහා අන්තර්ජාතික උළෙල නියෝජනය කරමින් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ විසාකේස චන්ද්‍රසේකරම්ගේ තෙවෙනි සිනමා නිර්මාණය “මනල්” වේ. විසාකේස විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ “මනල්” හි ප්‍රධාන රංග දායකත්වය සිවකුමාර් ලිංගේස්වරන් සහ කමලා ශ්‍රී මෝහන්ගෙනි. කැමරාකරණයෙන් රිෂී සෙල්වම්, සංස්කරණයෙන් සිතුම් සමරජීව,

සංගීතයෙන් පත්මායන් සිවනාතන්, ශබ්ද සංකලනයෙන් අරුණ කළුආරච්චි සහ වර්ණ සංකලනයෙන් ආනන්ද බණ්ඩාර චිත්‍රපටයට දායකත්වය ලබා දී ඇත. “මනල්” හි නිෂ්පාදන හිමිකාරිත්වය විසාකේස චන්ද්‍රසේකරම් සතුවේ.

52 වෙනි රොටර්ඩෑම් අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනය කිරීමේ අවස්ථාව විසාගේ “මනල්”ට හිමිවන අතර තුර, උළෙලේ තරගකාරීත්වයෙන් බැහැර වූ අංශ (Non- Competitive Sections) යටතේ කාණ්ඩගත වන “බ්‍රයිට් ෆියුචර්” (Bright Future) නම් වූ අංශය නියෝජනය කිරීමේ අවස්ථාව ජගත් මනුවර්ණ කුලුඳුලේ අධ්‍යක්ෂණය කළ “රහස් කියන කඳු” (Whispering Mountains) චිත්‍රපටයට හිමිව ඇත. උළෙල ඉතිහාසයේ එකී අංශය නියෝජනය කරන 05 වෙනි ශ්‍රී ලාංකේය චිත්‍රපටය “රහස් කියන කඳු” වන අතර, මීට පෙර “බ්‍රයිට් ෆියුචර්” අංශය යටතේ විමුක්ති ජයසුන්දරගේ “අහසින් වැටෙයි” 2010 දීත්, ප්‍රසන්න ජයකොඩිගේ “28” 2011 දීත්, සංජීව පුෂ්පකුමාරගේ “දැවෙන විහඟුන්” 2017 දීත් , සුබා සිවකුමාරන්ගේ “නොමියන මතකය” 2019 දීත් රොටර්ඩෑම් උළෙල නියෝජනය කොට ඇත.

සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි

Munnel Film Trailer: https://youtu.be/6O58HPUsZ_E

Whispering Mountains Trailer: https://youtu.be/Ilb23PLeHOg

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...